ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ බදු: ධනවාදයේ දූෂනය හා පන්ති වරප‍්‍රසාද

Trump’s taxes: Capitalist corruption and class privilege

2016 ඔක්තෝබර් 4

ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ පිටු තුනකින් යුත් බදු ආදායම පිලිබඳ වාර්තාව 2දා නිව්යෝර්ක් ටයිම්ස් පත‍්‍රයේ පල කල අතර එය, රිපබ්ලිකානු හා ඩිමොක‍්‍රටික් පක්ෂ විසින් 2016 මැතිවරන ව්‍යාපාරය තුල පවත්වනු ලබන කථා, වේදිකා රංගන හා ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන වලට වඩා, ධනවාදී ක‍්‍රමයේ යථා ස්වභාවය පිලිබඳ මනා අභිනිවේෂයක් සම්පාදනය කරයි.

නිශ්චල දේපොල හා කැසිනෝ ප‍්‍රකෝටිපතියෙක් වන ඔහු, නිශ්චල දේපොල කර්මාන්තයට වාසිදායක බදු ප‍්‍රතිපාදන, 1995 වසරේ ගනන් හිලව් අනුව ඩොලර් මිලියන 916ක අලාභයක් පෙන්වීම සඳහා යොදාගනු ලැබින. ඒ අනුව ඔහුට බදු සම්බන්ධ ප‍්‍රශ්න වලදී ඊලඟ වසර 18ක් සඳහා, ඒ හා සමාන ආදායමක් වසං කිරීමට අවකාශ සැලසේ. වෙනත් ප‍්‍රතිපාදනයක් අනුව තවත් මිලියන 15ක් කපා හැරීමට අවසර ලැබෙන අතර, ප‍්‍රතිලාභ ගිනුම්ගත කරන වසර තුල සිය මුලු ආදායමම වසං කිරීමට පුලුවන.

ට‍්‍රම්ප්ගේ පෙරමුන ටයිම්ස් වාර්තාවේ නිරවද්‍යකම හෝ සාධාරනත්වය ප‍්‍රතික්ෂේප නොකරන අතර විස්තර ගොනුකරන අවස්ථාවේ පැවති බදු නීතියට ඒවා අනුකූල බවත්, රිපබ්ලිකානු ජනාධිපති අපේක්ෂකයා විසින් කර තිබෙන්නේ, ඔහුගේ බදු ආදායමින් නීත්‍යානුකූල අඩුකර ගැනීම් පමනක් බවත් පැවසීම පමනි.

සැබවින්ම යථා අපරාධය, නීති විරෝධී වන්නේ කුමක් ද යන්න නොව, නීත්‍යානුකූල කුමක් ද යන්නයි.

තමන්ගේ කොන්ග‍්‍රස් හා සෙනේට් සභිකයින් විසින් තමන්ගේම නිර්වචනයන්ට අනුකූලව ලියන ලද, ඔවුන්ගේ ජනාධිපතිවරු විසින් නීතිගත කල, තමන්ගෙන් පඩි ලබන නීතිඥයන් හා ගනකාධිකාරීන් ඔවුන්ගේ වාසියට අර්ථ දක්වන, ඔවුන්ගේ ඔට්ටු ඇල්ලීම් සිදු කරන ෆෙඩරල් උසාවි හා විනිශ්චය කරුවන් විසින් කලාතුරකින් අභියෝගයට ලක්කර තිබෙන, බදු ප‍්‍රඥප්තිවල ප‍්‍රතිපාදන වලින් බිලියනපතියන්ට වාසි සලසාගත හැකිය.

“පද්ධතිය දූෂිතය” ට‍්‍රම්ප් කියා ඇත, ප‍්‍රධාන ප‍්‍රශ්නය බොඳ කර දැමීම පිනිස කර්මකාරකය යොදාගනිමින් ඔහු, කව් ද එය ගසාකා ඇත්තේ? ප‍්‍රකෝටිපතියන් එය ගසාකා ඇත. ඩිමොක‍්‍රටික් පක්ෂය සිය ඒජන්තයින් යොදාගෙන එසේ කර තිබේ.

අභ්‍යන්තර ආදායම් සේවා සමඟ ගනුදෙනු කර ඇති ඕනෑම කම්කරුවෙක් හෝ කුඩා ව්‍යාපාරිකයෙක්, බදු ආදායම් විගනනය කර හෝ අභියෝගයට ලක් කර හෝ අඩුකර ගැනීම් වලට ඉඩ නොදුන්නොත් සිදුවන දේ ගැන දනී. අභ්‍යන්තර ආදායම් සේවය තමන්ගේ ඒජන්තයින් යොදවා, වැටුප් අත්අඩංඟුවට ගනිමින් ද දේපොල තහනම් කරමින් ද කල්පසුවූ ගෙවීම් සඳහා දඩ හා අමතර ගාස්තු අයකරමින් ද තමන්ගේ අවාසනාවන්ත ගොදුරු බංකොලොත් කරමින් ද කටයුතු කරයි.

ට‍්‍රම්ප්ගේ පන්තියේ අයට එවන් විගනන ගැන බියවීමට දෙයක් නැත. එවන් ක‍්‍රියාදාමයන්ට ඔවුන් සලකන්නේ, ව්‍යාපාර කිරීමේදී දරන්නට වන හුදු වියදමක් ලෙස පමනි. ඔවුන් සතුව අභ්‍යන්තර ආදායම් සේවයට වඩා සම්පත් ඇත. අඩුම තරමින් සුපිරි ධනවතුන්ට අදාලව හිතාමතාම දුබල භාවයට පත් කරන ආයතනයකි එය. පසුගිය දශක ගනනාව තුල දැකගත හැකි වූයේ එම තත්වයයි.

ප‍්‍රකෝටිපතියන් හා මහ ව්‍යාපාර, දැවැන්ත අඩුකිරීම් හා ගිනුම් වල පාඩු ඉදිරිපත් කරති. එක් වසරකදී පමනක් ට‍්‍රම්ප්ගේ මිලියන 916 මුදල එවන් අය අතර අසාමාන්‍ය දෙයක් නොවේ. ඒවාට අභ්‍යන්තර ආදායම් සේවය රබර් මුද්‍රාව තබයි. ට‍්‍රම්ප්ගේ නිදසුනෙන් පෙන්වන පරිදි විගනනයකට මුහන පාන්නට සිදුවන විට, කිසිදු දඩයක් හෝ වෙනත් අවාසි සහගත ප‍්‍රතිවිපාක වලින් තොරව, ක‍්‍රියාදාමය වසර ගනනක් තිස්සේ ඇදී යයි.

2016 අප‍්‍රේල් මාසයේ රොයිටර් වාර්තාවකට අනුව, 2012 වසර සඳහා විශාල හා ලාභදායි සංගත කිසිදු ආදායම් බද්දක් ගෙවා නැත. ඒ වන විට ලබාගත හැකිව තිබුනු සංඛ්‍යා දත්ත වලට අනුව පසුගිය වසරේදී, ලාභදායි සංගත ගෙවන ලද සාමාන්‍ය බදු අනුපාතය සියයට 14ක් විය. එහෙත් නාමික සාමාන්‍ය ව්‍යාපාර ආදායම් බදු අනුපාතය සියයට 35ක් විය.

යූඑස්ඒ ටුඩේහි පලවූ වෙනම වාර්තාවකට අනුව ෆෝචූන් 500 සමාගම් වලින් 27ක් 2015 වසරට කිසිදු ෆෙඩරල් ආදායම් බද්දක් ගෙවා නැත. ඒ සැලකිය යුතු ලාභ වාර්තා කර තිබියදීය. ඊට, ජෙනරල් මෝටර්ස්, ඇමරිකන් එයාලයින්ස්, යුනයිටඩ් කොන්ටිනන්ටල් එයාලයින්ස්, ලොයිව්ස්, සිට්රික්ස්, ටවර්ස් වොට්සන්, සෙරොක්ස් හා ලෙවල් ත‍්‍රී කොමියුනිකේෂන්ස් ඇතුලත්ය. වෙනත් ප‍්‍රකාශිත අධ්‍යයනයන්ට අනුව, බොහෝ බිලියනපතියන් ද ඇතුලු මිලියනපතියන් දහස් ගනනක්, විවිධාකාර ගනකාධිකරන විජ්ජා හා උපාමාරු යොදාගනිමින් කිසිදු ෆෙඩරල් ආදායම් බද්දක් ගෙවා නැත.

සාර්ථක ව්‍යාපාරිකයෙක් ලෙස මැතිවරන ව්‍යාපාරයේ නියුතු ට‍්‍රම්ප්, ඇමරිකානු ආර්ථිකය හා ෆෙඩරල් ආන්ඩුව පරිවර්තනය කිරීම පිනිස සිය ව්‍යාපාරික සටකපටකම් ප‍්‍රයෝජනයට ගනු ඇත. බිලියනයකට ආසන්න ඔහුගේ වසරක අලාභයෙන් පෙන්නුම් කරන පරිදි, මෙය දේශපාලන ප්‍රෝඩාවකි. ඔහුගේ සැබෑ නිපුනත්වය වන්නේ පද්ධතිය සමඟ සූදු කෙලීමේ හැකියාවයි.

බංකොලොත්වීම් හයක් තිබියදීත් ට‍්‍රම්ප් දැවැන්ත වාසනාවකට හිමිකම් කියයි. එහිදී ඔහු උප කොන්ත‍්‍රාත්කරුවන් හා කුඩා ආයෝජකයින්ට වංචා කිරීම මේ අතර වේ. වඩාත්ම කුප‍්‍රකට වන්නේ, ට‍්‍රම්ප් විශ්වවිද්‍යාලයේ “අධ්‍යාපනය” වෙනුවෙන් ඉදිරිපත්වූ හා ට‍්‍රම්ප්ගේ නිශ්චල දේපොල ආයතනයට ගාස්තු ගෙවූ අයගේ කථාන්තරයයි. ඒ යටත් දේශපාලඥයින් හා ආන්ඩුවේ ආයතන වල පක්ෂග‍්‍රාහී සැලකුම් වලට පින්සිදු වන්නටය.

ට‍්‍රම්ප් ගසාකනු ලබන්නේ, 21 වන සියවසේ ඇමරිකාව මුදුනටම ඔසවා තබා ඇති සාපරාධී පාතාලය නියෝජනය කරන ධනපති මූල්‍යයේ වංශාධිපතිත්වයේ පිලිකුල් සහගත සමාජ, දේශපාලන හා සදාචාරයයි. හෝටල් හිමිකාරියක වන ට‍්‍රම්ප්ගේ නිශ්චල දේපොල ප‍්‍රකෝටිපති සහකරුවෙක්, ගෙදර මෙහෙකාරියට ඇසී ඇති පරිදි, අපකීර්තිමත් ප‍්‍රකාශයක් සිදු කලේය: “අපි බදු ගෙවන්නේ නැත. බදු ගෙවන්නේ පොඩි මිනිසුන් විතරයි.” ට‍්‍රම්ප් නියෝජනය කරන්නේ ද වැඩකරන ජනතාව කෙරෙහි වන එම පිලිකුල හා සතුරුකමමය.

පසුගිය 35 වසරක කාලය පුරාවට බදු පැහැර හැරීම, සුපිරි ධනපතියන්ගේ ජීවන රටාවක් බවට පත්ව තිබේ. රේගන්ගේ 1981 ද්විපාර්ශවික බදු කැපීමෙන් පටන්ගෙන, 1986 බදු කප්පාදුව, හා ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ගේ ද්වීපාර්ශවික බදු කපාහැරීමෙන් කුලුගැන්වුන, ඩිමොක‍්‍රටිකයන් හා රිපබ්ලිකානුවන් එකට ක‍්‍රියාවට නගන ලද හා යලි යලිත් සංශෝධනය කල බදු නීති යටතේ එසේ සිදු විය.

සීමාසහිත වගකීම් සමාගම් බදු පැහැර හැරීම සමග බද්ධව, උරුමක්කාර ධනය මත අයකරන දේපොල බදු අහෝසි කරනු ලැබ ඇත. මේ අවධිය පුරා ව්‍යාපාර බදු, ෆෙඩරල් බදු ආදායමෙන් තුනෙන් එකක මට්ටමේ සිට සියයට 10 දක්වා පහත වැටී ඇත. ධනවත්ම පුද්ගලයින්ගෙන් අයකරන බදු අනුපාතය සියයට 70 සිට 35 දක්වා අඩුවී ඇත. සුපිරි ධනපතියන් හා ධනපතියන් ගෙවන සැබෑ බදු අනුපාතය ඊටත් වඩා අඩුය.

ඉමෑනුවෙල් සායෙස් වැනි අර්ථශාස්ත‍්‍රඥයින් ලේඛනගත කර තිබෙන දැවැන්ත ධන රාශිකරනයේ මූලික සාධකය බවට පත්ව ඇත්තේ මෙම වෙනස්වීම්ය.

නිව් යෝර්ක් ටයිම්ස් හා ක්ලින්ටන්ගේ මැතිවරන ව්‍යාපාරය, ට‍්‍රම්ප් සුවිශේෂී පුද්ගලයෙක් ලෙස පෙන්වුව ද දැවැන්ත ධනයක් ගොඩගසා ගැනීමට බදු නීතිය අවභාවිතා කිරීම ඔවුන්ගේ පොදු නීතිය ලෙස පවතී. නිශ්චල දේපොල සමපේක්ෂනය, බැංකු හා කොටස් හුවමාරුව, ආරක්ෂන අරමුදල්, ඇමරිකාවෙන් පිටත බදු පැහැර හැරීම් වැනි සමස්ත මූල්‍ය පද්ධතියම වසාගෙන ඇති පරපුටුකම, සමස්ත සමාජ ස්ථරයකගේම පොදු මෙහෙයුම් ක‍්‍රියාවලිය බවට පත්ව තිබේ.

පාලක පන්තිය අතර ඇති දේශපාලන ගැටුම, මෙම දූෂනය හා දහජරාව, සීමිත ආකාරයකින් හෙලිදරව් වීමට හේතුවී තිබේ. ටයිම්ස් පුවත්පතට මෙම තොරතුරු දුන් නම් නොකල මූලාශ‍්‍රය, නිසැකවම උත්සාහ දරනවා ඇත්තේ, දුෂ්කර අඩියකට වැටී ඇති ක්ලින්ටන්ගේ මැතිවරන ව්‍යාපාරයට තල්ලුවක් දීමටය. එලෙසම ටයිම්ස් පත‍්‍රය මෙම තොරතුරු එහි මුල්පිටුවේ පලකිරීම ද එහි කොටසකි.

තරමක් කුඩා පරිමානයෙන් හා වෙනත් යාන්ත‍්‍රනයක් යොදාගනු ලැබ තිබුනේවී නමුත් ට‍්‍රම්ප් පමනටම, ක්ලින්ටන්ලා ද පුද්ගලාරෝපනය කරන්නේ මෙම දූෂිත පර්යායමය. බිල් ක්ලින්ටන් ජනාධිපතිකම හැර ගිය තැන් පටන් දශකය තුල ඔවුහු ඩොලර් මිලියන 150ක් රැස්කරගෙන සිටිති. ඒ ප‍්‍රධාන කොටම ව්‍යාපාරික හා වෝල් වීදියේ ප‍්‍රේක්ෂකයින් ඇමතීමේදී ලබාගත් අංක හයේ ගාස්තු වලින්ය. ටික දවසකින් බැරැක් ඔබාමා ද ගනු ඇත්තේ එම මාවතමය. පසුගිය අට වසර පුරා එතරම්ම භක්තියකින් ආරක්ෂාකර දුන් මූල්‍ය වංශාධිපතිත්වයේ අවශ්‍යතා වෙනුවෙන් පරිත්‍යාග ලෙස ඔහු මුදල් සරිකර ගනු ඇත.

කම්කරු පන්තිය සඳහා දේශපාලන පාඩම පැහැදිලිය, රැකියා, යහපත් ජීවන තත්වයන්, අත්‍යවශ්‍ය සමාජ සහන වැනි සිය ආර්ථික උත්සුකයන් රැකගත හැක්කේ ද අධිරාජ්‍යවාදී යුද්ධ හා ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන්ට එල්ල කෙරෙන ප‍්‍රහාර අවසන් කල හැක්කේ ද ධනවාදයට එරෙහිව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැඟීමෙන් පමනි. කම්කරු පන්තිය ලාභ පද්ධතියට එරෙහි දේශපාලන අරගලයේ මාවත ගත යුතුය. ඒ මූල්‍ය ප‍්‍රභූව අයථා ලෙස මඬි ගසාගෙන සිටින ධන සම්භාරය අත්පත්කර ගැනීම හා පුද්ගලික කෑදරකම නොව සමාජ අවශ්‍යතා ඉටුකිරීම සඳහා ශ‍්‍රමය විසින් නිර්මානය කල දැවැන්ත සම්පත් මුදාහැරීම පිනිස සමාජවාදී ක‍්‍රියාමාර්ගයක් වෙනුවෙන් සටන් වැදීමෙනි.

පැට්‍රික් මාටින්

Share this article: