එක්සත් ජනපද මැතිවරනය කෙලෙසා ඇත් ද?

Is the US election rigged?

2016 ඔක්තෝබර් 18

හිලරි ක්ලින්ටන්ට වාසි වන අයුරින්, ජනාධිපතිවරනය “කෙලෙසා” ඇති බවට පසුගිය දෙදින තිස්සේ රිපබ්ලිකානු අපේක්ෂක ට‍්‍රම්ප්ගේ “හෙලාදැකීම්” ඇමරිකානු මාධ්‍ය හා දේශපාලන සංස්ථාපිතය තලු මරමින් සිටිති.

ට‍්‍රම්ප්ගේ චෝදනා එන්ට එන්ටම වර්ගවාදී හා ෆැසිස්ට්වාදී ස්වරූපයක් ගනිමින් තිබේ. ලිංඟික අපචාර පිලිබඳ චෝදනා එල්ල කිරීම මත මාධ්‍යයනට කරන පහරදීම් ද විශේෂයෙන්ම සුලුජන කොටස්වල නිවහන් ප‍්‍රදේශයන්හි සිදු කෙරෙන ඡන්ද මගඩි ගැන පුහු කථාන්තර ද ඒ සමඟ අත්වැල්බැඳ ගනියි. ට‍්‍රම්ප් සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලන්නේ, සමූහ වශයෙන් රැස්ව ඡන්දය “නිරීක්ෂනය” කරන ලෙසයි. එය මැතිවරනය දා ප‍්‍රචන්ඩත්වය මුදාහැරීමට තුඩු දිය හැකිය.

හැමවිටම සිදුවන ආකාරයට ට‍්‍රම්ප්ගේ ප‍්‍රකාශ අර්ධ සත්‍යයන්ගේ හා බොරුවේ මිශ‍්‍රනයකි. මාධ්‍ය සංස්ථාපිතය ක්ලින්ටන් පිටුපස පෙලගැසී සිටින බවට සැකයක් නැත. “කෙලෙසූ මැතිවරනය” පිලිබඳ කථාව, “මැතිවරනය සොරාගත් එකක් බව පසුව පැවසීම පිනිස, ට‍්‍රම්ප් විසින් යොදාගැනීමේ ඉඩකඩ පවතියි.” “සොරාගත් මැතිවරනය” නොවැම්බර් 8න් පසුව පාර්ලිමේන්තුවෙන් පිටත අන්ත දක්ෂිනාංශික ව්‍යාපාරයක් වර්ධනය කිරීමේ සටන් පාඨය බවට පත්කර ගැනීමට ට‍්‍රම්ප් සූදානම් වේ.

මෙය කිසිසේත්ම ඩිමොක‍්‍රටික් පක්ෂයේ හා පොදුවේ දේශපාලන සංස්ථාපිතයේ උද්ධච්ඡ හා කුහක ප‍්‍රතිචාරයට කිසිදු විශ්වාසනීයත්වයක් අත්කර නොදෙයි. නොඑසේ නම් පාරිශුද්ධ ඇමරිකානු මැතිවරන ක‍්‍රමය කිලිටි කරන කුමන හෝ අදහසක් පිලිබඳව පල වෙන ඔවුන්ගේ කෝපය විකාරයකි.

ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිලිබඳව ජනතාවගේ පුලුල් කොටස් අතර පවතින කටුක අත්දැකීම් ට‍්‍රම්ප්ගේ ප‍්‍රකාශ තුලින් පිලිබිඹු වීම නිසා වර්ගවාදී උද්ඝෝෂනයන්ට බැසගෙන සිටින ඔහුගේ සාපේක්ෂ සුලුතර ආධාරකරුවන් බෙහෙවින් ඉක්මවා යමින්, ඔහුගේ චෝදනා දෝංකාර නංවයි. මෙය වනාහි මැතිවරන සොරාගත් රටකි. වසර 2000දී ඡන්ද සංඛ්‍යා අනුව ඩිමොක‍්‍රටික් අපෙක්ෂක අල් ගෝර්ට පරාජයවූ ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ට ජනාධිපති තනතුර පිරිනමමින්, ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරනය ෆ්ලොරිඩාවේ ඡන්ද යලි ගනන් කිරීම අත්හිටුවීය.

මෙය 2004 මැතිවරනයේදී යලි සිදු විය. ඡන්දදායකයින්ට අඩන්තේට්ටම් කල බවට පැවති පුලුල් චෝදනා හමුවේ ඔහායෝහි මතභේදාත්මක ඡන්දය මත පදනම්ව ජෝර්ජ් බුෂ් ජනාධිපති ලෙස යලි පත්විය.

කෙසේ වෙතත් ප‍්‍රශ්නය ඡන්දය කෙලෙසීමට වඩා දුරදිග යයි. අනෙකුත් ප‍්‍රධාන ධනේශ්වර රටවල පවතින මට්ටම හා සසඳන කල වුවත් ඇමරිකාවේ මැතිවරන ක‍්‍රමය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පහලම අඩියක පවතී.

මූල්‍ය වංශාධිපතිත්වයට මුලූමනින්ම හිස නමන දක්ෂිනාංශික පක්ෂ දෙකක දේශපාලන ඒකාධිකාරය බලගන්වමින්, ද්වි පක්ෂ ක‍්‍රමය ආයතන ගත කර තිබේ. මේ මිලියන 320ක ජනගහනයකින් යුත් විශාල හා විවිධාංඟීකරනය වූ රටකය!

ප‍්‍රාන්තවල ඡන්දය සඳහා නම් ඇතුලත් කිරීම හා මැතිවරන නීති තුලට, තහනම් අවශ්‍යතා අන්තර්ගත කර ඇත. ඊට ඇතුලු වන දස දහස් ගනනින් අත්සන් එකතු කිරීම, “තුන්වන පක්ෂයකට” හා ස්වාධීන අපේක්ෂකයෙකුට පලදායී මැතිවරන ව්‍යාපාරයක් ගෙන යාමේ හැකියාව මුලුමනින්ම පාහේ අවහිර කරයි.

ඇමරිකානු මැතිවරනවල හුවමාරු වන ව්‍යාපාරික මුදල්වල නිර්බාධක ක්‍රියාකලාපය මඟින් සවිමත් කරන මෙම දේශපාලන ද්විත්වාධිකාරය, වෙනත් ඕනෑම දියුනු ධනපති රටකට සමාන කල නොහැකි තරමේ නිර්ලජ්ජිත භාවයක් ද සමඟින් සමස්ත ක්‍රියාවලියම දූෂනය කරයි. ගනන් බලා ඇති පරිදි ජනාධිපති හා කොන්ග‍්‍රස් අපේක්ෂකයින් මේ වසර තුල ඩොලර් බිලියන 7.3ක මුදලක් වැය කරමින් වාර්තා තබුනු ඇත. සියලු ප‍්‍රායෝගික අරමුනු සැලකිල්ලට ගත් කල ඇමරිකාවේ ඉහලම තනතුර හිමිකර ගැනීමට නම් යමෙකුට බිලියන පතියන්ගේ රුකුල නැතිනම් ඔහුම මිලියනපතියෙක් වීම අවශ්‍යය.

ව්‍යාපාරික මාධ්‍ය සිය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී වැඩ කොටස ඉටුකරමින් විකල්ප පක්ෂ ආවරනය කිරීම ප‍්‍රතික්ෂේප කරයි. මේ මැතිවරනයේදී, ජාතික වශයෙන් පිලිවෙලින් සියයට 7ක් හා 3ක් ලබාගෙන ඇති ලිබටේරියන් පක්ෂයේ ගැරී ජොන්සන් හා හරිත පක්ෂයේ ජිල් ස්ටීන් රූපවාහිනී ජනාධිපති විවාදයෙන් බැහැර කර ඇත. සමාජවාදී සමානතා පක්ෂයේ අපේක්ෂක ජෙරී වයිට් ගැන කියනුම කවරේ ද?

එහි ප‍්‍රතිපලය වී ඇත්තේ, ජනගහනයේ අති මහත් බහුතරයකගේ උත්සුකයන් වෙනුවෙන් පෙනී සිටීමට අපොහොසත් වීම නිසා දේශපාලන ක‍්‍රමය එන්ට එන්ටම ශක්‍යතාවෙන් හීන වීමයි. ඡන්දදායකයින්ගෙන් අඩකටත් වඩා ඡන්දය දීමට කරදර නොවීම පිලිබඳ කාරනයම වුවත්, ඇමරිකානු මැතිවරන ක‍්‍රමය පිලිබඳ විනාශකාරී ප‍්‍රකාශනයකි.

බුෂ් කෙරෙහි පැවති මහජන වෛරයේ ද ඔහුගේ යුද්ධ හා කම්කරු පන්තියේ ජීවන තත්වයන්ට පහර දීම කෙරෙහි පැවති සතුරුකමේ ද රැල්ලක් මතින් බලයට පත්වූ ඔබාමා පාලනය පිලිබඳ කටුක අත්දැකීම්, ආන්ඩුව විසින් අනුගමනය කරනු ලබන ප‍්‍රතිපත්තීන් කෙරෙහි තම ඡන්දය හෝ තමන්ගේ අවශ්‍යතා හා උත්සුකයන් කිසිදු බලපෑමක් ඇති නොකරන්නේ යයි මිලියන ගනන් මිනිසුන්ට තවදුරටත් ඒත්තුගන්වනු ලබයි. පුද්ගලයාගේ වාර්ගිකත්වය නිසා ඔහු ප‍්‍රගතිශීලී වෙනසක නියෝජිතයෙකු බව වරදවා වටහාගනු ලැබූ “බලාපොරොත්තුවේ හා වෙනසේ” අපේක්ෂකයා, සිය පූර්වගාමීන්ගේ ව්‍යාපාරික කොල්ලකෑම හා යුද්ධයේ පිලිවෙත් දිගටම පවත්වාගෙන යමින් ඒවා තව තවත් ගැඹුරු කලේය.

වත්මන් මැතිවරනයේදී, පක්ෂ දෙකම නායකත්වය දුන් දශක ගනනක ආර්ථික දිරාපත්වීම හා දේශපාලන ප‍්‍රතිගාමිත්වයේ ප‍්‍රතිපලය, මතුපිටට කඩා වැදී ඇත. එමඟින් ද්වි පක්ෂ ක‍්‍රමයේ පැවැත්ම ප‍්‍රශ්නයට බඳුන් කර තිබේ. පද්ධතියේ බංකොලොත්කම පිලිබඳ එක් මිම්මක් නම්, සාවද්‍ය ලෙස තෙමේ වෝල් වීදියේ විරුද්ධවාදියෙකු යයි ද සමාජවාදියෙකු යයි ද කියා සිටි අපේක්ෂක බර්නි සෑන්ඩර්ස්ට ඡන්දය දුන් මිලියන ගනනක් ඉදිරියේ දැන්, “තේරීම” ෆැසිස්ට් වර්ගයේ බිලියනපතියෙක් හා වෝල් වීදියේ සහ මිලිටරි/ඔත්තු සංස්ථාපිතයේ දූෂිත හෙංචයියෙක් අතර යයි පැවසීමේ මැතිවරන චක‍්‍රය පිලිබඳ කාරනයයි.

විකි ලීක්ස් විසින් නිකුත් කරන ලද ගෝල්ඞ්මන් සැක්ස්හි පැවැත්වූ හිලරි ක්ලින්ටන්ගේ කථාවල හඬ පටි, දේශපාලඥයින් හා වෝල් වීදිය අතර පවත්නා සැබෑ සම්බන්ධතා කවරේදැයි පෙන්නුම් කෙරේ. ඔවුන් වනාහි රට දුවවන මූල්‍ය කතිපයාධිකාරයේ මුදල් ලබන දාසයින්ය.

මැතිවරනය අරක්ගෙන ඇති අති මූලික හා යෝධ ප්‍රෝඩාව, අපේක්ෂකයින් දෙදෙනා පිලිබඳව පුලුල්ව පතුරුවා හරින ප‍්‍රකාශ හා ඔවුන් සැබවින්ම ක්‍රියාත්මක කිරීමට අදහස් කර සිටින දේ අතර පරිපූර්න බිඳීමයි. නොවැම්බරයේදී කවුරු දිනුවත් සැබෑ න්‍යායපත‍්‍රය වන්නේ, යුද්ධය, කප්පාදු හා මර්දනයයි.

මැතිවරනය කෙලෙසා ඇත් ද? පාලක පන්තියට පිලිගත හැකි ප‍්‍රතිපලයක් ගෙන ඒමේදී, සත්තකින්ම එසේය. සමස්ත දේශපාලන පර්යායම කෙලෙසා ඇත. එසේම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීය. මක්නිසා ද යත්, ධනවාදය වනාහි, සැබෑ දේශපාලන බලය ව්‍යාපාරික-මූල්‍ය කතිපයාධිකාරය අත සංකේන්ද්‍රනය වී ඇති, පන්ති සූරාකෑමේ පද්ධතියක් වීම නිසාය.

බැරී ග‍්‍රේ

Share this article: