ඇමරිකානු මෙහෙයවීම යටතේ මොසුල් ප‍්‍රදේශයේ සිදු කෙරෙන ප‍්‍රහාරය හා අධිරාජ්‍යවාදී කුහකත්වය

The US-directed assault on Mosul and imperialist hypocrisy

2016 ඔක්තෝබර් 17

ඇමරිකානු මෙහෙයවීම යටතේ ඉරාකයේ හා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යය (අයිසිස්) සංවිධානය වෙතින්, උතුරේ මොසූල් නගරය යලි අල්ලා ගැනීම සඳහා දීර්ඝ කාලයක් තිස්සේ සැලසුම් කල ආක‍්‍රමනය ආරම්භ විය.“මෙම විජයග‍්‍රාහී මෙහෙයුම් ආරම්භ කල බව අද මම ප‍්‍රකාශ කරමි”යි ඉරාක අගමැති හෙයිඩර්-අල්-අබාඩි 17 දා උදෑසන ජාතික රූපවාහිනියෙන් නිවේදනය කලේ ය.

ඉස්ලාමීය සටන්කාමීන්ගෙන් නැගෙනහිර ඇලෙප්පෝ නගරයේ කොටස් යලි අත්පත් කර ගැනීමට දරන ව්‍යායාමය අතරතුර, සිවිල් ජනතාවට එරෙහිව සිදු කෙරෙන“යුද අපරාධ” පිලිබඳව රුසියාව සහාය දෙන සිරියානු හමුදාවට චෝදනා කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල එක්සත් ජනපදය හා යුරෝපය ගෙන එන යෝජනා හා අතොරක් නැති මාධ්‍ය ප‍්‍රචාරනයේ සීමා රහිත ප්‍රෝඩාව, මොසූල් වෙත එල්ල කෙරෙන ප‍්‍රහාරයෙන් ඉස්මතු කෙරේ. එක්සත් ජනපදය හා බෑග්ඩෑඩයේ එහි රූකඩ ආන්ඩුව ඉරාකයේදී, ලමුන් 600,000ක් ද ඇතුලු මිලියන 1.5ක තරම් සිවිල් වැසියන් කොටුවී සිටින ඈත පිටිසර විශාල නගරයකට ම්ලේච්ඡ ප‍්‍රහාරයක් එල්ල කිරීම අරඹා තිබේ.

ඉරාකයේ එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිලිබඳ සම්බන්ධීකාරක ලයිස් ග‍්‍රැන්ඬේ සති අන්ත නිව්යෝක් ටයිම්ස් පුවත්පතට මෙසේ පැවසී ය: “අතිශයින්ම සංකීර්න හා 2016 වසර තුල ලෝකයේ දැවැන්තම ව්‍යසනයක් බවට පත්විය හැකි මොසූල් මෙහෙයුම ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැඹුරින්ම අවධානය යොමුකරන අතර, මිලියනයක් තරම් සිවිල් වැසියන්ට නිවෙස් අතහැර පලා යාමට බල කෙරෙනු ඇතැයි අප බිය පත්ව සිටිමු.”

එසේ වුවත් නිව්යෝක් ටයිම්ස් පුවත්පත, ඔක්තෝබර් 14දා එහි කතුවැකියෙන්, “මොසූල් සඳහා එලැඹෙන සටන” සාදරයෙන් පිලිගත්තේ ය. නගරය “ත්රස්තවාදීන්ගේ පාලනයෙන්”- එහි මානව ව්‍යසනය කෙතෙක්ද යන්න නොතකා- “නිදහස්” කරගත යුතු බව එය සඳහන් කලේ ය. ඇලෙප්පෝ නගරය තුල “ජීවිත 250,000ට තර්ජනයක් වන” ප‍්‍රහාරය පිටුපස සිටීම හේතුවෙන්, යාන්තම් සති දෙකකට පමන ඉහතදී එහි කතුවැකිය, රුසියාව “අවනීතික රාජ්‍යයක්” ලෙස හංවඩු ගැසුවේ ය.

අධිරාජ්‍යවාදී කුහකයින්ගේ කනස්සල්ල, රුසියාවේ පිටුබලය ලබන සිරියානු ආන්ඩුව පෙරලා දැමීමේ යුද්ධයේ දී, ඇලෙප්පෝහි ප‍්‍රහාරයට මුහුනදී සිටින ඉස්ලාමීය අන්තවාදී කන්ඩායම්, එක්සත් ජනපදය හා යුරෝපීය බලෙවතුන්ගේ ආධාර ඇතිව සටන් කිරීම ය. එහිදී සිදුවන සිවිල් මරන “යුද අපරාධ” ගනයට වැටෙන්නේ ඒ අනුව ය.

එයට සපුරා වෙනස් ලෙස වොෂිංටනය අයිසිස් අවහිරයක් ලෙස සලකන්නේ, 2014දී උතුරු හා බටහිර ඉරාකයේ විශාල බිම් කොටසක් අල්ලා ගැනීම පිනිස ඔවුන්, සිරියාව තුල එක්සත් ජනපදය පිටුබල දුන් කුමන්ත්‍රනවල ප‍්‍රතිපලයක් ලෙස මතුව ආ සටන්කාමීන් හා ආයුධ අයිසිස් විසින් පාවිච්චියට ගෙන තිබීම හේතුවෙනි. මෙය දැන් බෑග්ඩෑගයේ හා කුර්දිෂ් පලාත්වල එක්සත් ජනපද හිතැති රූකඩ පාලන තන්ත‍්‍රවලට තර්ජනය කරමින් තිබේ. මේ අනුව ගත් කල, මොසූල් යලි අත්කර ගැනීමේ කි‍්‍රයාවලියේදී මරා දැමෙන ඕනෑම සිවිල් වැසියෙක් “අනුබද්ධ හානියක්” වසයෙන් සලකා පසෙකට අතුගා දැමෙනු ඇත.

සිරියාවේදී මෙන්ම ඉරාකයේදී ද එක්සත් ජනපදයේ අරමුනු එකක්මය: ඒ, ලෝකයේ ප‍්‍රධාන තෙල් නිපදවන කලාපය පුරා සිය ආධිපත්‍ය සහතික කරගැනීම යි.

ඉරාක පොලිස් භටයින් 6000ක් පමන, අයිසිස් විරෝධී කි‍්‍රස්තියානි, ටර්ක්මේනියන් හා සුන්නි මිලිෂියා සාමාජිකයන් දහස් ගනනක් සහ බෑග්ඩෑග් පාලන තන්ත‍්‍රය හසුරුවන ෂියා නිකාය පදනම්කරගත් දේශපාලන පක්ෂ වලට හිතවත්, තවත් හමුදා භටයින් දහස් ගනනකගේ පිටුබලය ලබන 20,000ක් වන ඉරාක හමුදාව සහ කුර්දිෂ් පෙස්මෙර්ගා භටයින් 10,000ක් විසින් මොසූල් නගරයට පහර දෙමින් සිටී.

තිරය පිටුපස සිට, එක්සත් ජනපද මිලිටරිය ප‍්‍රහාරය නිරීක්ෂනය කරමින් හා කි‍්‍රයාශීලිව මෙහෙයවමින් සිටී. ඇමෙරිකානු, බි‍්‍රතාන්‍ය, ප‍්‍රන්ස, ඔස්ටේ‍්‍රලියන් හා ජෝර්දානු ප‍්‍රහාරක ජෙට් යානා හා හෙලිකොප්ටර් යානා තැතිගැන්මෙන් යුත් ආන්ඩුවේ හමුදාවන්ට ගුවන් සහාය ලබා දෙයි. ඇමෙරිකානු, බි‍්‍රතාන්‍ය, ඔස්ටේ‍්‍රලියන්, ජර්මන් හා ඉතාලියානු විශේෂ භට කන්ඩායම් හා “පුහුනුකරුවෝ” සටනට සම්බන්ධව සිටින අතර ඉරාක හා කුර්දිෂ් ඒකකයන්ට උපදෙස් දෙමින් ද ගුවන් හා කාලතුවක්කු ප‍්‍රහාර මෙහෙයවමින් ද සිටිති.

රුසියානු තන්ත‍්‍රය හා සිරියාව තුල එහි අනුග‍්‍රාහක ආන්ඩුව ඇලෙප්පෝ නගරය තුල සිදු කල සියලුම ප‍්‍රචන්ඩ ක‍්‍රියා, ඉරාකය තුල එක්සත් ජනපද පිටුබලය ලබන හමුදා විසින් සිදුකරන ප‍්‍රචන්ඩ කි‍්‍රයා හමුවේ සුලු කොට සැලකිය හැකි වනු ඇත. මෙම වසරේ මුල බටහිර ඉරාක නගරය වන ෆලූජාව වෙත එල්ල කර ප‍්‍රහාරය ද ඇතුලු අතීත අත්දැකීම් සලකන කල, මොසූල් ප‍්‍රහාරයේ විපාක කවරක් වනු ඇත්ද යන්න හිතාගැනීමට අසීරු නැත. මංමුලාවට පත් සිවිල්වැසියන් කෙතරම් සංඛ්‍යාවක් ඒවායේ සැඟවී සිටිනු ඇත්ද යන කරුන නොතකා, ගුවනින් හා ගොඩබිමින් එල්ල කෙරෙන ප‍්‍රහාරවලින් ජනාවාස අතුගා දැමෙනු ඇත. නගරයේ විදුලිය, ජලය හා මලාපවහන පද්ධති අලු දූවිලි බවට පත් කෙරෙනු ඇත. සෞඛ්‍ය සේවා හා ප‍්‍රවාහන ජාල අඩපන කරනු ඇත.

මොසූල් නගරයේ සිදුවිය හැකි විනාශය හා තුවාලකරුවන්ගේ සංඛ්‍යාව, කල්තියාම සාධාරනීකරනය කර ඇත්තේ, උමතුසහගත අයිසිස් ප‍්‍රහාර හේතුවෙන් එවැනි සටනක් නොවැලැක්විය හැකි එකක් ලෙස හඳුන්වමිනි. නගරය තුල සිටින අයිසිස් සටන්කාමීන්ගේ සංඛ්‍යාව කීප දහසක සිට 10,000 දක්වා බවට ගනන් බලා ඇත. දිග් ගැස්සුනු හා ගෙන් ගෙට කරන සටනක් සඳහා අයිසිස් විසින් කෙරෙන පුලුල් සූදානම් වීම් ගැන ලොමුඩැහැ ගැන්වෙන වාර්තා පල වෙමින් තිබේ. ගොඩනැගිලි හා මෝටර් රථ පුපුරන ද්‍රව්‍ය යොදා විනාශ කරන බවත්, විශාල ප‍්‍රදේශයක බිම් බෝම්බ අතුරා ඇති බව හා ප‍්‍රධාන වීදිවල මාර්ග බාධක ගොඩ නගා ඇති බවත් මොසූල් වැසියන් උපුටා දක්වමින් එක්සත් ජනපද හා ඉරාක නිලධාරිහු මාධ්‍යයට කියා ඇත. නගරයේ විවිධ පලාත් ඒකාබද්ධ කරමින් උමං මාර්ග පද්ධතියක් ද ඉදිකර ඇතැයි කියැවේ.

1968 දී වියට්නාමයේ බේන් ටි‍්‍ර නගරය සම්බන්ධයෙන් එක්සත් ජනපද මිලිටරි ප‍්‍රකාශය සිහියට නගාගතහොත් “එය බේරා ගැනීමට” නම් මොසූල් නගරය විනාශ කල යුතු ය.

නගරයේ මහජනයාගේ යහපැවත්ම හා ජීවිත සම්බන්ධ නොතැකීම, පසුගිය සෙනසුරා රාති‍්‍රයේදී නගරය මත හෙලූ ලක්ෂ සංඛ්‍යාත පති‍්‍රකා වලින් හෙලිදරව් කරයි. “නිෂ්ශබ්දව ඉන්න. ඒ වගේම ඔබේ ලමුන්ට කියන්න ඒක [බෝම්බ දැමීම්] සෙල්ලමක් නැතිනම් වැස්සට කලින් අකුනු ගහනවා කියලා ගැහනුන් විසින් ලමුන් බියගැන්වෙන පරිදි වැලපීම හෝ බෙරිහන්දීම නොකල යුතු ය”. තවත් පති‍්‍රකාවක් පූර්ව අනතුරු ඇඟවීමක් කලේ ය: “ඔබ හමුදා ඛන්ඩයක් දුටුවොත්, අඩුගානේ මීටර් 25ක් ඈතින් සිටිය යුතු අතර නොසැලී සිටිය යුතු ය”.

එක්සත් ජනපදය මෙහෙයවන හමුදා, අයිසිස් සටන්කරුවන්ගෙන් “නිදහස” ලබාදීමෙන් පසුව, සුන්බුන්වූ නගරය අත්හැර අධික තෙරපීමක් හා පහසුකම්වලින් තොර සරනාගත කඳවුරුවලට යාමට මිනිසුන්ට බලකෙරෙනු ඇත. එවැනි වාතාවරනයකට මුහුනදීම පිනිස රෝහල්, ආහාර හා ජල සැපයුම් සහිත කල්තියා ඉදිකල කූඩාරම් නගර වැනි කිසිවක් ඇත්තේ නැත. තුවාල, පිපිරීම්, විජලනය හෝ කුසගින්න හේතුවෙන් ලක්ෂ ගනනක් මරනයට පත්විය හැකි බවට ආධාර ආයතන බිය පල කරයි.

ලෝකයේ පොහොසත්ම සම්පත් බහුල හා මූලෝපායාත්මකව වැදගත් කලාපවලින් එකක ආධිපත්‍යය පතුරුවාලීම සඳහා තල්ලුවේදී එක්සත් ජනපද අධිරාජ්‍යවාදය හා එහි මිලිටරි යාන්ත‍්‍රනය, වසර 25ක් තිස්සේ ඉරාක මහජනයා මත කඩාපාත්කල සන්ත‍්‍රාසයන් හා අපරාධවල දීර්ඝ ලැයිස්තුවට මොසූල් මත ප‍්‍රහාරය ද එක් වෙනු ඇත.

1991 ගල්ෆ් යුද්ධය; අනුක‍්‍රමයෙන් පැමිනි ඉරාකය මත පැනවූ සම්බාධක; යුරේනියම් ආයුධවල දූෂනය හා එක්වූ උරුමය; එක්සත් ජනපද ආක‍්‍රමනය විසින් පැහැදිලිවම කුපිතකරනු ලැබූ භාතෘ හාරක සුන්නි-ෂියා නිකායික යුද කෙලිය; හා 2010-11දී බහුතරයක් ඇමෙරිකානු සොල්දාදුවන් ඉවත්කර ගැනීමෙන් පසු එක්සත් ජනපදය පිටුබලය දෙන ඉරාක ආන්ඩුවේ මෙහෙයුම්වල ප‍්‍රතිපලයක් ලෙස සිය ජීවිත අහිමිකරනු ලැබූ අය අතරට අලුතෙන් මරුමුවට පත්වන දහස් ගනනක් එක් වනු ඇත;

විස්වාසනීය ඇස්තමේන්තු අනුව, පසුගිය වසර 25ක කාලය තුල සිදුවූ සමස්ත මරන සංඛ්‍යාව මිලියන 1.5ක සිට මිලියන 2 අතර ඉහල සංඛ්‍යාවක් විය හැකිය. 2003 වසරේ පටන් පමනක්, අඩුගානේ මිලියන 4ක ඉරාක වැසියන් අභ්‍යන්තරව අවතැන් කෙරී හෝ සරනාගතයින් ලෙස රට හැර ගොස් තිබේ.

අධිරාජ්‍යවාදී දුෂ්ටත්වයට එරෙහිව ඉරාකයේ හා මැදපෙරදිග මහජනයා ආරක්ෂා කිරීමේ සටන විප්ලවවාදී හා සමාජවාදී ඉදිරිදර්ශනයක් මත පදනම්වූ කම්කරු පන්තියේ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරය සඳහා අරගලය වන්නේය.

ජේම්ස් කොගන්

Share this article: