2016 ජනාධිපතිවරනය: ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදය අවුල් ජාලයක

The 2016 elections: American democracy in shambles

2016 ඔක්තෝබර් 21

ජනාධිපතිවරන අවසාන විවාදය පැවැත්වෙන බදාදායින් පසුව තමා, නොවැම්බර් 8දා මැතිවරන ප‍්‍රතිඵල නොපිලි ගනු ඇති බවට රිපබ්ලිකානු ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට‍්‍රම්ප් විසින් කරන ලද ප‍්‍රකාශ සම්බන්ධයෙන් එක්සත් ජනපද මාධ්‍ය මහත් කලබලයකට පත්ව සිටී.

“මෙම මැතිවරනයේ ප‍්‍රතිඵල නිසැකව ම පිලිගන්නේ දැ යි” විවාදය මෙහෙයවූ ෆොක්ස් නිව්ස් ඒජන්සියේ ක්රිවස් වොලස් විසින් අසන ලද ප‍්‍රශ්නයකට ට‍්‍රම්ප් උත්තර දුන්නේ, තමා “ඒක ඒ වෙලාවට බලා ගන්නවා, ඔබ දෙගිඩියාවේ තබනු” ඇති බවත් පවසමිනි. පසුදා වන විට ට‍්‍රම්ප් තම විවේචන වලින් පසු බැස, තමා “පැහැදිලි මැතිවරන ප‍්‍රතිඵලයක් පිලිගැනීමට” ඉඩ ඇති බව පැවසීය. කෙසේ නමුත් ක්ලින්ටන් “මෙතෙක් බලයට පත්වීමට බලාපොරොත්තු වන වඩාත්ම දූෂිත හා අපකීර්තිමත් තැනත්තිය” ඇය යයි තර්ක කරමින් ඔහු තවදුරටත් පැවසුවේ, “සැක මුසු ප‍්‍රතිඵලයක් ලැබුනහොත් විරුද්ධවීමේ හෝ නීතිමය අභියෝගයක් ගොනු කිරීමේ” අයිතිය ප‍්‍රයෝජනයට ගැනීමට ඉඩ ඇති බව යි.

විවාදය තුල ට‍්‍රම්ප් දැක්වූ අදහස්, ක්ලින්ටන්ට පක්ෂපාතීව මාධ්‍ය මැතිවරනය කෙලෙසා ඇතැයි ද ඇමරිකානුවන් මිලියන ගනනක්, විශේෂයෙන් ම නාගරික මධ්‍යස්ථානවල, හොර ඡන්ද දමනු ඇතැයි ද යන, පැහැදිලිවම වර්ගවාදී ඝෝෂාවක් සහිත, ඔහු මීට පෙර කල ප‍්‍රකාශ වලට අනුකූල වන්නේ ය. මැතිවරනයෙන් පසුව වර්ධනය වනු ඇති තත්වයන්ට සිය හඬ අනුකූල කරමින් ට‍්‍රම්ප් උත්සාහ දරන්නේ, සමස්ත දේශපාලන පද්ධතිය කෙරේ පලවන සමාජ කෝපය හා විරුද්ධත්වය, ආන්තිකව දක්ෂිනාංශික දිසාවකට හරවා යැවීමට ය.

මාධ්‍ය හා දේශපාලන සංස්ථාපිතයේ ප‍්‍රබල කන්ඩායම්වල ප‍්‍රතිචාරය, පාරිශුද්ධ ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදය කෙලෙසීම සම්බන්ධයෙන් ට‍්‍රම්ප් හෙලාදැකීම යි. “සිවිල් යුද්ධය අවසානයේ පටන් සාමකාමී ලෙස බලය මාරු කිරීමට ඉඩ සලසමින්, ඡන්දදායකයින්ගේ කැමත්තට ගරු කර ඇත. එමගින් මෙරට, ලෝකයාගේ ඊර්ෂ්‍යාවට ලක්වී ඇත” යයි වොෂින්ටන් පොස්ට් ප‍්‍රකාශ කලේ ය. “ඇමරිකානු ඡන්දදායකයාගේ බුද්ධියට නිගා කිරීමේ සිට ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ම නින්දා කිරීම” දක්වා ට‍්‍රම්ප් එය ඉදිරියට ගෙන ගොස් තිබෙන බව නිව් යෝක් ටයිම්ස් ලිවීය.

රිපබ්ලිකානු සෙනේට් සභිකයෙකු මෙන් ම හිටපු ජනාධිපතිවරන අපේක්ෂකයෙකු වූ ද ජෝන් මැකේන් ප‍්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ, මැතිවරනයක දී ජග‍්‍රහනය පිලිගැනීම “ඇමරිකානු මහජනතාවගේ කැමත්තට ගරු කිරීමේ ක්‍රියාවක් මෙන් ම එසේ ගරුකිරීම ඕනෑම ඇමරිකානු නායකයෙකුගේ පලමු වගකීම වන” බවයි. බක තපස් කෝපය පල වන, උප ජනාධිපති ජෝ බිඩෙන්ගේ 20දා කල කතාවේ දී, “ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරනයක් පිලිබඳව ඔබ ප‍්‍රශ්න මතු කරන්නේ නම් හා එය වංචා කර ඇතැයි ඔබ තරයේ කියන්නේ නම්, ඔබ පහර දෙන්නේ අපට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක් ඇතැ යි යන මතයේ හරයට ම” යයි පැවසීය.

පුවත්පත් කතෘ මන්ඩල හා ප‍්‍රධාන දේශපාලඥයින්ගේ ප‍්‍රකාශන, කුහකත්වයේ දුර්ගන්ධය පැතිරවීය. ඔවුන් ද පල කරන තිගැස්මෙහි හේතූ ට‍්‍රම්ප් මහතාගේ අදහස් ඉක්මවා බොහෝ දුර යයි. පාලක පන්තියේ දේශපාලන නියෝජිතයින් කලබල වී ඇත්තේ, ජනතාවගේ පුලුල් කොටස් වඩ වඩාත් අවජාතක යැයි දකිනු ලබන දේශපාලන පද්ධතියක් ආරක්ෂා කිරීමට ය.

ඓතිහාසික ආස්ථානයෙන් ගත් විට, විශේෂයෙන් ම පෙන්වා දිය යුත්තේ 20වැනි සියවසේ මැද භාගය වන තෙක් ම එක්සත් ජනපදයේ සෑම මැතිවරනයක් ම “වංචා කෙරුනු” බව යි. කුමන ආකාරයකට හෝ ජනගහනයෙන් විශාල කොටසක් ඡන්දය දීමෙන් වලක්වන ලදී. කාන්තාවන්ට ඡන්දය දීමේ අයිතිය දෙන ලද්දේ 1920දී ය. දකුනේ අප්‍රිකානු ඇමරිකානුවන්ගේ ඡන්ද බලය ක‍්‍රමානුකූලව අහිමි කිරීම―ඡන්ද බදු, ජිම් ක්‍රෝ ද සීමා කිරීම් (අප්‍රිකානු ඇමරිකානුවන්ගේ සිවිල් අයිතිවාසිකම් හා සිවිල් නිදහස සීමා කෙරුනු නීති -පරි) හා අනෙකුත් පියවර― 1960 ගනන්වල මැද භාගයේ දී අවසන් වූයේ, එම කාල පරිච්ඡේදයේ පැවති ඉමහත් සමාජ අරගලයන්ගේ අතුරු ඵලයක් ලෙස ය. ඡන්දය දීමේ සුදුසු වයස අවුරුදු 21 සිට 18 දක්වා පහල දැමුනේ ද 1971 දී ය. ඒ වන තුරු, ප‍්‍රධාන අනදෙන නිලධාරියා (ජනාධිපති) තෝරා ගැනීම සඳහා තරුනයන්ට ඡන්දය දිය නො හැකි වූව ද ඔහුගේ නියෝගය යටතේ යුද්ධ වලදී සටන් කිරීමට හා මියයාමට ඔවුන් තෝරා ගැනීමට හැකි වුනි.

පසු ගිය දශක හතර පුරා, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන රූපාකාරයන්ට ක‍්‍රමානුකූලව ප‍්‍රහාර එල්ලවී ඇති අතර ඒ සමාජ අසමානතාවේ අඛන්ඩ වර්ධනය හා බැඳී ගෙනය. හැරවුම් ලක්ෂ්‍යය පැමිනියේ, 1999දී ලිංගික සෝලිය මත බිල් ක්ලින්ටන් දෝෂාභියෝගයට ලක් කිරීමේ උද්ඝෝෂනය හා ඒ පසු පස පැමිනි 2000 මැතිවරනය සොරා ගැනීම සමගිනි. ට‍්‍රම්ප්ගේ ප‍්‍රකාශ පිලිබඳව දැන් සිදුවෙමින් ඇති සාකච්ඡාවේ දී, 2000 මැතිවරනය ගැන සඳහන් කෙරෙන්නේ පවා, එහි ජය ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ට පවරා දීමේ ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුව, අල් ගෝර් විසින් පිලිගනු ලැබීම හුවා දක්වා ඊට ප‍්‍රශංසා කිරීම දක්වා දුරට පමනි.

සත්‍ය වසයෙන් ම, රටේ ඉහල ම අධිකරනය විසින් 5-4 ක ඡන්දයෙන් ෆ්ලොරිඩාවේ ඡන්දය නැවත ගනන් කිරීම නතර කිරීමට තීරනයක් දෙනු ලැබීම මගින් මැතිවරනයෙන් පමනක් නො ව, සියලු ම ඡන්ද සාධාරන ලෙස ගනන් කෙරී තිබුනේ නම් ඡන්ද කොට්ඨාසයෙන් පවා පැරදුනු පුද්ගලයෙකු බලයේ තබන ලදී. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මෙම විකාරය තුල ඉහලම මට්ටමේදී දුන් තීරනය මගින් ශ්‍රේෂ්ඨාධිකරනය තහවුරු කලේ, එක්සත් ජනපදයේ ජනාධිපති සඳහා ඡන්දය දීමට ඇමරිකානු ජනතාවට ව්‍යවස්ථාමය අයිතියන් නැති බව යි. 2000 මැතිවරනය සොරාගැනීම සිදු වුනේ, ගම්බද උසාවියක පසු පස කාමරයක නො ව, රටේ ඉහල ම අධිකරනයේදී ය.

2000 දෙසැම්බර් මස මුල දී, බුෂ්-ගෝර් තීරනයට පෙරාතුව ලෝසවෙඅ කතෘමන්ඩල සභාපති ඩේවිඩ් නෝර්ත් සඳහන් කලේ, තීරනය හෙලිදරව් කරනු ඇත්තේ “සම්ප‍්‍රදායානුකූල ධනේශ්වර-ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා ව්‍යවස්ථානුකූල නියමයන් බිඳ දැමීම සමග කොතරම් දුර යාමට ඇමරිකානු පාලක පන්තිය සූදානම් ද” යන බව යි. අවසානයේ දී, ශ්‍රේෂ්ඨාධිකරනයේ පැහදිලි දේශපාලන මැදිහත්වීම, ඩිමොක‍්‍රටික් පක්ෂයේ හා අල් ගෝර්ගේ මෙන්ම සමස්තයක් වසයෙන් මාධ්‍යයේ හෝ දේශපාලන සංස්ථාපිතයේ බැරෑරුම් විරුද්ධත්වයකට මුහුන නො පෑවේ ය. ලෝසවෙඅ එම අවස්ථාවේ දී සඳහන් කල පරිදි, ප‍්‍රතිඵලය “හෙලිදරව් කලේ ජනාධිපතිවරනය පිලිබඳ ප‍්‍රජාතන්ත‍්‍රවාදී විනිශ්චයක් සඳහා පාලක ප‍්‍රභූව තුල කිසිදු සැලකිය යුතු සහයෝගිතා කන්ඩායමක් නැති බව යි.”

පසු ගිය දශක එකහමාරක කාලය තිස්සේ තම කටයුතු මගින් පාලක පන්තිය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධයෙන් වන තම පිලිකුල ප‍්‍රදර්ශනය කර ඇත. බුෂ් හා පසුව ඔබාමා යටතේ 2001 සැප්තැම්බර් 11දා ප‍්‍රහාර වලින් පසුව, “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය” විසින් යුක්තිසහගත කෙරුනු ප‍්‍රජාතන්ත‍්‍රවාද විරෝධී පියවර මාලාවක් මගිනි: එනම් දේශප්‍රේමී පනත; වරෙන්තු නොමැති පුලුල් සෝදිසි කිරීම්; නඩු විභාගයකින් තොරව දින නියමයක් නොමැතිව රඳවා ගැනීම්; වදහිංසා හා “අසාමාන්‍ය ලෙස සැක කරුවන් ප‍්‍රශ්න කිරීම පිනිස හොර රහසේ වෙනත් රටවලට පැටවීම”; එක්සත් ජනපද පුරවැසියන් ද ඇතුලු ඩ්‍රෝන් මගින් කෙරෙන මිනිස් ඝාතන; රට තුල වඩ වඩාත් මිලිටරිය යොදා ගැනීම අධීක්ෂනයට මිලිටරි අධිකරනයක් වන අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුව ස්ථාපිත කිරීම. මෙම ලැයිස්තුවට සෑම වසරක ම ඇමරිකානුවන් 1000ට වඩා ඝාතනය කරන මිලිටරීකරනය වුනු පොලිස් හමුදාව ද ඇතුලත් කල යුතු ය.

මැතිවරන ක්‍රියාදාමය සම්බන්ධයෙන් ගත් විට, ශ්‍රේෂ්ඨාධිකරන තීන්දු මගින්, ඡන්දය දීමේ හිමිකම් පනත යටපත් කර ඇති අතර, දුප්පත්, හා සුලුතර ඡන්දදායකයින් ඡන්දය දීමෙන් වැලක්වීම අරමුනු කර ගැනුනු ඡායාරූප හැඳුනුම්පත් අවශ්‍ය කෙරෙන ප‍්‍රාන්ත නීති හඳුන්වාදීම හා අනෙනකුත් සීමා කිරීම් අනුමත කර තිබේ. මිලියන 6ක් පමන පුරවැසියෝ (සුදුසුකම් ඇති සෑම ඡන්දදායකයින් 40කින් එක් අයෙකු) පූර්ව දන්ඩන හේතුවෙන් ඡන්දය දීමෙන් වලකනු ලැබූහ. 2010 සිටිසන් යුනයිටඩ් නම් අධිකරන තීන්දුව, අපේක්ෂකයින් හා ඔවුන්ගේ දේශපාලන ක්‍රියාකාරී කමිටුවලට අරමුදල් සපයන මහා ව්‍යාපාර මත වූ බාධාවන් ඉවත් කරන ලදී. 2016 මැතිවරනය සඳහා ඩොලර් බිලියන 7ක්, එනම්, 2012 වියදම් කරන ලද මුදල මෙන් දෙගුනයක් වැය කර ඇත යි ගනන් බැලේ.

ස්වාධීන හා තුන්වැනි පක්ෂ අපේක්ෂකයින්ගේ නම් ඡන්ද පත්‍රිකාවේ සඳහන් කිරීම වැලක්වීමට සෑම දෙයක් ම කෙරේ, ඔවුන්ට දහදහස් ගනන් හෝ ලක්ෂ ගනන් අත්සන් එකතු කිරීමේ අවශ්‍යතාවය ද එම නීතියට ඇතුලත් ය. බෙහෝ ප‍්‍රාන්තවල අපේක්ෂකයාගේ නම ලියූ ඡන්ද ගනන් කෙරෙන්නේ ද නැත. මේ අතර, මාධ්‍ය වැඩ කරන්නේ පාලක පන්තියට පිලිගත හැකි පටු රූපරාමුවකට නිල “විවාදය” ප‍්‍රවේසම් සහගතව සීමා කෙරී තිබීම සහතික කිරීමට ය.

“ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදය” මූල්‍ය කතිපයාධිකාරය හා මිලිටරිය විසින් පාලනය කෙරෙන පක්ෂ දෙක විසින් පාලනය කෙරෙන හිස් කටුවක් පමනි. “ඔබට විශ්වාස කල හැකි වෙනසක්” පොරොන්දු වෙමින් බලයට පැමිනි ඔබාමා පාලනාධිකාරයේ අත්දැකීම් මිලියන ගනනාවක් පුද්ගලයන්ට පෙන්නුම් කර ඇත්තේ පාලක පන්තියේ ප‍්‍රතිපත්ති මත ඔවුන්ගේ ඡන්දයට කිසිදු බලපෑමක් නොමැති බව යි.

ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ දිග්ගැස්සුනු පරිහානිය මුදුන් පෙත්තට නැග ඇත්තේ, ක්ලින්ටන් පෙලපතේ මිලියනපති උරුමක්කාරිය හා දේපල වෙලඳාම් සමපේක්ෂන බිලියනපති මෙන් ම රියලිටි රූපවාහිනී තරුව අතර පැවත්වෙන 2016 මැතිවරනය තුල දී ය.

ට‍්‍රම්ප් ම ද “ත‍්‍රස්තවාදය මත යුද්ධයේ” නීත්‍යානුකූල උරුමය වන රෝගී සමාජ හා දේශපාලන පද්ධතියේ නිර්මිතයකි. ක්ලින්ටන් සම්බන්ධයෙන් ගත් විට, ඈ ද එකී රෝගයේ හුදෙක් තවත් නිර්මිතයක් පමනි, ඇගේ උද්ඝෝෂනය දිව යන්නේ දීර්ග හා හානිකර ඉතිහාසයක් ඇති මැකාර්තිවාදී අපවාද සමග සංයෝජිත, ඇගේ සැමියාට එරෙහිව රිපබ්ලිකානුවන් විසින් යොදා ගන්නා ලද එක හා සමාන සෝලි වල පදනම මත ය.

වෝල් වීදිය සමග ක්ලින්ටන්ගේ සම්බන්ධකම් හෙලිදරව් කරන, කාන්දු වූ විද්‍යුත් තැපල් ගැන ඕනෑ ම ප‍්‍රශ්නයකට ඩිමොක‍්‍රටික් සංහතියේ ප‍්‍රතිචාරය වන්නේ ඒවා සියල්ල ම රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ගෙතීම් බව පවසමින් මුලුමනින් ම ඔප්පු නො කෙරුනු ප‍්‍රකාශයකට විෂය මාරු කිරීම යි. මැතිවරනය නීත්‍යානුකූල නො වේ යයි තමා පිලිගැනීමට ඉඩ තිබෙන බව ට‍්‍රම්ප් ප‍්‍රකාශ කරන අතර, ක්ලින්ටන් පැරදුනොත් ඩිමොක‍්‍රටිකයන් ප‍්‍රකාශ කරනු ඇත්තේ එය, මැතිවරන ක්‍රියාදාමය තුල රුසියානු මැදිහත්වීමේ ප‍්‍රතිඵලයක් බව ය.

සම්පූර්නයෙන් ම කුනු වූ ක්‍රියාදාමයට පිටු පසින්, අතිමූලික ප‍්‍රශ්න වසන් කරනු හෝ නොසලකා හරිනු ලැබේ. ඇමරිකානු “ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ” යතාර්ථය සමහර විට සම්පින්ඩනය කල හැක්කේ, නොවැම්බර් 8වැනිදාට සති තුනක් තිබිය දී ඇමරිකානු මිලිටිරිය මැද පෙරදිග දැවන්ත මිලිටරි උත්සන්නියක් දියත් කර තිබිය දී, මහජනතාවට පාලක පන්තියේ ප‍්‍රතිපත්ති කෙරෙහි බලපෑමක් කල හැකි යයි සැලකෙන මැතිවරනය තුල දී එහි ප‍්‍රතිවිපාක ගැන සැලකිය යුතු සාකච්ඡාවක් පවා නැත යන කාරනය තුල ය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අර්බුදය, විදේශවල යුද්ධය හා රට තුල කප්පාදු ප‍්‍රතිපත්තිය ― මෙය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය මත පෙර නො වූ විරූ ප‍්‍රහාරයන් ඉල්ලා සිටින ප‍්‍රතිපත්තියකි― පෙරට ගෙන යාමට අධිෂ්ඨාන සහගත පාලක පන්තියක් විසින් අධීක්ෂනය කරනු ලබන ඇමරිකානු අධිරාජ්‍යවාදයේ නිපයුමකි. නොවැම්බර් 8වැනිදා කුමක් සිදු වුවත්, එය කිසි දෙයක් නො විසඳනු ඇති අතර දිග්ගැස්සෙන දේශපාලන අර්බුදයකට වේදිකාව පමනක් සකසනු ඇත එය විසඳිය හැක්කේ විප්ලවවාදී සමාජවාදී ක්‍රියාමාර්ගයක පදනම මත කම්කරු පන්තියේ ස්වාධීන මැදිහත්වීම හරහා පමනි.

ජෝශප් කිෂෝර්

Share this article: