එක්සත් ජනපදයේ රුසියානු විරෝධී උද්ඝෝෂනය පිටුපස පවත්නේ කුමක් ද?

What is behind the anti-Russia campaign in the US?

2016 ඔක්තෝබර් 22

2016 එක්සත් ජනපද ජනාධිපතිවරන උද්ඝෝෂනයේ ප‍්‍රධාන තේමාවක් වී ඇත්තේ සයිබර් යුද්ධයක් හරහා මැතිවරන ප‍්‍රතිඵලය වෙනස් කිරීමට යොමුවුන රටක් ලෙස රුසියාව හෙලා දැකීම යි.

“රුසියානු ආන්ඩුව ඇමරිකානුවන්ට එරෙහි ව තොරතුරු රැස්කිරීමේ යෙදී සිටින සිටින” බවත් “අන්තර්ජාලයේ පල කිරීමට විකිලීක්ස් වෙත එම තොරතුරු ලබා දී ඇති” බවත් මේ සතියේ පැවති අවසන් විවාදයේ දී ඩිමොක‍්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් කියා සිටියා ය. “අපගේ මැතිවරනය මත බලපෑම් කිරීම සඳහා මෙම මෙහෙයුම පුටින්ගෙන් ම පටන්ගෙන ඇතැ”යි ඇය කීවා ය. රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට‍්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ “රූකඩයක්” යයි ඇය චෝදනා කලා ය.

ඔක්තෝබර් 7දා ජාතික රහස් තොරතුරු අධ්‍යක්ෂ ජේම්ස් ක්ලැපර් කල ප‍්‍රකාශය බොරු කල නො හැකි සාධකයක් ලෙස දක්වමින් ඇය තම චෝදනා ඉදිරිපත් කලා ය. ඩිමොක‍්‍රටික් පක්ෂයේ හා ක්ලින්ටන් උද්ඝෝෂනයේ පරිගනක තුලට කඩාවැදී ඉන් ලද තොරතුරු ප‍්‍රසිද්ධ කිරීම සඳහා විකිලීක්ස් වෙත ලබා දුන්නේ රුසියානු ආන්ඩුව බවට “එක්සත් ජනපද රහස් තොරතුරු ප‍්‍රජාවට විශ්වාස” යයි ක්ලැපර් කීවේ ය.

රුසියානු කඩාවැදීමක් පිලිබඳ ප‍්‍රකාශ තහවුරු කිරීමට එක්සත් ජනපද ආන්ඩුව හෝ වෙනත් කිසිවෙකු විසින් හෝ සාක්ෂි ඉදිරිපත් කර නැත. ක්ලැපර්ගේ වචන වැදගැන්මකට නැත. ඔහු වනාහි ආන්ඩුව, පුද්ගලික සන්නිවේදන මහා පරිමානයෙන් අධීක්ෂනය කිරීමක යෙදී සිටින්නේදැයි එක්සත් ජනපද සෙනෙට් අධිකරන කමිටුවේ දී 2013 මාර්තුවේ ඍජුව ප‍්‍රශ්න කලවිට දිවුරා බොරු සාක්ෂි දුන් බොරු කාරයෙකි.

ක්ලින්ටන් ද නිව් යෝක් ටයිම්ස් ඇතුලු ඇයගේ හෙංචයියන් ද සිතන බව පෙනෙන්නේ, අද දින රුසියානු විරෝධී ආඛ්‍යානය වෙලඳාම් කරන මාධ්‍යයන් විසින් ම අවිවේචනීය ව පිම්බූ එක්සත් ජනපද “රහස් තොරතුරු ප‍්‍රජාව”, 2003 ඉරාක ආක‍්‍රමනයට පෙරාතුව එරට ජන සංහාරක අවි ගැන කියූ පච ප‍්‍රකාශ, ඇමරිකානු ජනතාවට අමතක ව ඇති බව යි.

අවසාන විග‍්‍රහයේ දී ක්ලින්ටන්ගේ දූෂිත බව හා චපලකම අනාවරනය කරන ඊ-මේල් පනිවුඩ රුසියාව විසින් කාන්දු කලා වුවත් නොකලා වුවත් එය ද්විතීයික කාරනාවකි. ක්ලින්ටන්, ඩිමොක‍්‍රටික් පක්ෂය හා මාධ්‍ය මෙම කතන්දරය 2016 මැතිවරනය උද්ඝෝෂනයේ හරිමැදට ගෙන එන්නේ, නිශ්චිත දේශපාලන අරමුනුවලට ඒවා සේවය කරන නිසාවෙනි.

පලමු වැන්න, රුසියානු කඩාවැදීම පිලිබඳ චෝදනාව මගින්, විකිලීක්ස් නිකුත් කොට ඇති ඊ-මේල් පනිවුඩවල අඩංගු අතිශයින් සාපරාධී නො වේ නම් රහස්‍ය අන්තර්ගතයන් යටගැසීමට, සංගත පාලිත මාධ්‍ය බොහොමයකට ද ක්ලින්ටන්ගේ උද්ඝෝෂනයට ද ඉඩ ලබා දීම යි. (මේවා අතරට ක්ලින්ටන් වෝල් වීදිය අමතා කල කෙලතොලු කතා, බර්නි සෑන්ඩර්ස්ගෙන් ප‍්‍රාථමික මැතිවරනවල දී එල්ල වුනු අභියෝගය යටපත් කිරීමට ඩිමොක‍්‍රටික් පක්ෂ නායකත්වය ද සමගින් ඇය කල කුමන්ත‍්‍රන, රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිල කටයුතුවල දී සිය පුද්ගලික ඊ-මේල් ලිපිනය නීති විරෝධී ලෙස භාවිතා කිරීම පිලිබඳ නිල විමර්ශනවලට බලපෑම් කිරීමේ උත්සාහයන් සහ විවිධාකාර සංවිධාන හා ආන්ඩු සමග ක්ලින්ටන් පදනමට පවත්නා දූෂිත සම්බන්ධතා ආදිය ඇතුලත් ය).

එය පනිවුඩකරුවාට පහර දීම මගින් පනිවුඩය අපකීර්තියට ලක් කිරීමට උත්සාහ ගැනීම පිලිබඳ සම්භාව්‍ය උදාහරනයකි.

එහෙත් රුසියාව දඩමීමා කර ගැනීමට මුල් වන නිශ්චිත කාරනා පවතී. වොෂින්ටනය, රුසියාව සලකන්නේ යුරේසියාව තුල තම ආධිපත්‍යයට බාධාවක් ලෙස යි. තව ද මොස්කෝව සමග ආතතීන් උත්සන්න කිරීම, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ භූමූලෝපායික හා ආර්ථික න්‍යාය පත‍්‍රය පිටුපසින් ඇමරිකාවේ බටහිර යුරෝපීය සහචරයින් පෙලගස්වා ගැනීමට ඉඩ ලබා දෙයි. සීතල යුද්ධයේ ද ප‍්‍රධාන අරමුනක් වූයේ යුරෝපීය අධිරාජ්‍යවාදී බලවතුන්ට, නැගෙනහිර දෙසින් එන බාහිර තර්ජනයක් හුවාදක්වමින්, යුරෝපය තුල එක්සත් ජනපදයේ දේශපාලන ආධිපත්‍යය පවත්වා ගැනීම යි. වසර 25කට පෙර සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසුව මෙම භූමිකාව, තව දුරටත් ලෝකයේ දෙවන විශාලතම න්‍යෂ්ටික බලවතා වන ධනවාදී රුසියාවට එරෙහිව හරවන ලදී.

සෝවියට් සංගමය කියුබාව තුල න්‍යෂ්ටික මිසයිල රඳවා ඇති බව හා කියුබාව බලා යාත‍්‍රා කරන සියලු රුසියානු නැව් නවත්වා පරීක්ෂා කිරීමේ බාධකයක් එක්සත් ජනපද ආන්ඩුව විසින් ස්ථාපනය කොට ඇති බව ඇමරිකානු ජනතාවට නිවේදනය කරමින් ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි කල කතාවේ 54වන සංවත්සරය අදට යෙදී තිබීම අවධානයට ගත මනා ය. කියුබානු මිසයිල අර්බුදය යනු මානව ශිෂ්ටාචාරය න්‍යෂ්ටික විලෝපනයක් අද්දරට ගෙන ආ සමීපතම උදාහරනය යි.

එක්සත් ජනපදයේ ඉව බව නැති හා ගිනියම්වූ යුද වැඩපිලිවෙල 1962 වසරේ දින දහතුන තුල සිදුවීම් වල පටන් අන්කවරදාටත් වඩා ලෝකය න්‍යෂ්ටික සමූලෝත්පාඨනයක සමීපයට ගෙනැවිත් තිබේ. සිරියාව තුල තන්ත‍්‍ර මාරුව සඳහා එක්සත් ජනපදය ගෙනයන කුලීකාර යුද්ධය මෙන් ම මැද පෙරදිග අනෙකුත් ලේවැකි ආක‍්‍රමන සහ නැගෙනහිර යුරෝපය එක්සත් ජනපදයේ නායකත්වයෙන් මිලිටරීකරනය කිරීම, වොෂින්ටනය හා මොස්කෝව යලි වතාවක් භයානක ලෙස යුද්ධය අද්දරට ගෙනැවිත් ඇත. ජනාධිපතිවරනයේ ඉදිරියෙන් සිටින ක්ලින්ටන් විසින් පුටින් යක්ෂාරෝපනය කිරීම මෙම අනතුර ඉහල දමනවා පමනි.

සීතල යුද්ධය සමග, ඇමරිකානු දේශපාලනයේ හා සමාජයේ සියලු අංශ මත බල පෑ උන්මාදනීය ප‍්‍රති-කොමියුනිස්ට්වාදී දෘෂ්ටිවාදයක් එක්ව ගමන් ගත්තේ ය. සෝවියට් සංගමය සමග එක්සත් ජනපදයට පැවති ආරෝව මෙහෙයවන ලද්දේ, සෝවියට් සංගමය නො නැසී පැවැත්ම විසින් විකෘතාකාරයෙන් වුවත් ප‍්‍රකාශයට පත් කරන ලද, විප්ලවීය සමාජවාදයේ උරුමය කෙරෙහි ඇමරිකානු පාලක පන්තියට පැවති භීතිය යි. නැටෝව හා අනෙකුත් ආයතනවල ද වොෂින්ටනයේ අධිරාජ්‍යවාදී සහචරයින්ගේ ද උපකාරයෙන් ගෝලීය භූ-දේශපාලන පර්යාය තුල එක්සත් ජනපදයේ ආධිපත්‍යධාරී තැන සුරක්ෂිත කර ගැනීම ද සීතල යුද්ධයේ අභිප‍්‍රායයක් විය.

සෝවියට් සංගමය බිඳ විසුරුවීමෙන් ඉක්බිත්තේ, එක්සත් ජනපදය කියා සිටියේ, තමන්ගේ ආධිපත්‍යයට එරෙහි ගෝලීය නො වූවත් කිසිදු ප‍්‍රාදේශීය අභියෝගයක් පවා නො ඉවසන බවත් තමන් එක ම සුපිරි බලවතා බවත් ය. එහෙත් සෝවියට් සංගමය විසුරුවා හල තැන් පටන් ගත වූ වසර 25 අත් දැක ඇත්තේ එක්සත් ජනපදයේ මූලික ගෝලීය තත්ත්වයට වල කපන මූලෝපායික ව්‍යසනයන් මාලාවකි. 1991 පලමු ගල්ෆ් යුද්ධය සමගින් ඇරඹුනු තමන්ගේ ම ආධිපත්‍යය යටතේ මැද පෙරදිග ප‍්‍රතිසංවිධානය කිරීමේ මෙහෙයුම, මැද පෙරදිග රාජ්‍ය ව්‍යූහයන් මුලිනුපුටා දමා, සමස්ත කලාපයම ඝාතකාගාරයක් බවට පත් කර තිබුනත්, එය, එක්සත් ජනපදයට කිසිදු පැහැදිලි මූලෝපායික වාසියක් අත්කර දීමට සමත් ව නැත.

එක්සත් ජනපදයේ ආර්ථික ජීවිතය, පරපෝෂනයේ හා සමපේක්ෂනයේ විවිධ ආකෘතීන් මගින් වඩ වඩාත් ග‍්‍රහනයට ගනිමින් තිබියදී, චීනයේ හා ආසියානු ආර්ථිකයන්ගේ නැගීම හා ඒකාබද්ධ ජර්මනිය ලොව විශාල ප‍්‍රාග්ධන අපනයනකරුවෙකු බවට පත්වීම මගින් ගෝලීය ආර්ථිකය තුල එක්සත් ජනපද ආධිපත්‍යයට වැඩි දුරටත් වල කපා ඇත.

මෙම තතු යටතේ එක්සත් ජනපදය, සිය සමීපතම නැටෝ හවුල්කරුවන් සමග වැඩෙන ගැටලු වලට මුහුන දී සිටින අතර වෙලඳාම, තීරුබදු හා මිලිටරි පිලිවෙත පිලිබඳ අර්බුදයන් මාලාවක් ලෙස ඒවා පුපුරා ගොස් ඇත. අන්තර්-අත්ලාන්තික වෙලඳ හා ආයෝජන හවුල්කාරීත්වය පිලිබඳ සාකච්ඡා බිඳවැටීම හා විශාලතම ඇමරිකානු සංගතය වන ඇපල් සමාගම යුරෝපා සංගමයට පැහැරහැර ඇති ඩොලර් බිලියන 13ක බදු ආපසු ගෙවිය යුතුව ඇතැයි දැනුම් දීම මීට ඇතුලත් ය.

එක්සත් ජනපදය මෙයට ප‍්‍රතිචාර දක්වා ඇත්තේ, 2008 මූල්‍ය අර්බුදය තුල ඉටුකල භූමිකාවට දඩයක් ලෙස ජර්මනියේ කොර ගසන ඩොයිෂ් බැංකුවට ඩොලර් බිලියන 14ක් ගෙවන ලෙස අන කරමිනි. ඉහල පෙලේ ජර්මානු නිලධාරියෙක් මෙයට “ආර්ථික යුද්ධයක ලක්ෂන තිබෙන” බව කීවේ ය. මෙම ආර්ථික ආතතීන් සමග අත්වැල් බැඳගෙන ඇත්තේ එක්සත් ජනපදය ආධිපත්‍යය දරන නැටෝවට සමාන හෝ එය ඉක්මවා යන මිලිටරි සංධානයකට යුරෝපා සංගමයේ හැරීම යි.

2014 වසරේ යුක්රේන කුමන්ත‍්‍රනය, සිරියාව තුල තන්ත‍්‍ර මාරුව සඳහා තල්ලුව සහ රුසියානු දේශසීමාවේ නැටෝ මිලිටරි තරකිරීම යනාදියේ ඉලක්කය වන්නේ රුසියානු මිලිටරි ප‍්‍රතිප‍්‍රහාරයක තර්ජනයට මුහුන දෙන බටහිර යුරෝපය එක්සත් ජනපදය සමග මිලිටරි හා ආර්ථික සංධානයක දිගට ම රඳවා තබා ගැනීම යි. රුසියාව සමග මිලිටරිමය පිපිරීමක් මීලඟ පරිපාලනය යටතේ තීව‍්‍ර වනු ඇති බවට සෑම ඇඟවුමක් ම පවතී. අසාමාන්‍ය විවෘතභාවයකින් යුතු ව ඔක්තෝබර් 20දා වොෂින්ටන් පෝස්ට් පත‍්‍රය වාර්තා කලේ “ක්ලින්ටන්ගේ මීලඟ ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ට භූමිකාවන් ඉටු කරනු ඇත්තා වූ, වාර්තා කපාකොටා සකස් කරන ඩිමොක‍්‍රටිකයෝ හා රිපබ්ලිකානුවෝ ඇමරිකානු විදෙස් පිලිවෙතක් සඳහා මූලික වැඩකටයුතු කරමින් සිටිති” යනුවෙනි.

“අන්කවරදාටත් වඩා රට ධ‍්‍රැවාන්තගත වී ඇති වර්තමාන තතු තුල, ද්විපාක්ෂික හවුල්කාරීත්වය ඇතිව කෙරෙන රෙකමදාරු කිරීම්වල, රුසියාවට හා සිරියාවට එරෙහි ව එක්සත් ජනපද ප‍්‍රහාර තීව‍්‍ර කිරීම පිලිබඳ ව විදෙස් පිලිවෙත් සකසන්නන් අතර තිබෙන සිත්ගන්නාසුලු එකඟතාව පිලිබිඹු කරන්නේ” යයි පෝස්ට් පත‍්‍රය සඳහන් කලේ ය.

මෙම වර්ධනයන් මානව ශිෂ්ටාචාරයට ගෙන එන්නේ සීතල යුද්ධාවසානයෙන් මෙපිට දරුනු ම අනතුර යි. පසුගිය මාසය පුරා එක්සත් ජනපද කඩාවැදීම්වලට රුසියාව ප‍්‍රතිචාර දක්වා ඇත්තේ හුදෙක් එක්සත් ජනපද ප‍්‍රහාරක යානා බිම හෙලන්නේ යයි ඍජු ව තර්ජනය කිරීම මගින් පමනක් නො ව නැගෙනහිර යුරෝපයේ රටවලට කෙලින් ම තර්ජනය කරමින් රුසියාවේ බටහිරට වඩාත්ම සමීප කලිනින්ග‍්‍රාඩ් ප‍්‍රදේශයේ න්‍යෂ්ටික මිසයිල ස්ථානගත කරමිනි.

ඉදිරියෙන් සිටින හිලරි ක්ලින්ටන් යටතේ වොෂින්ටනය, රුසියාව සමග ඝට්ටනය ඉමහත් ලෙස තීව‍්‍ර කරන බවට සෑම සලකුනක් ම තිබිය දී (මෑත එලිදැක්වූ ප‍්‍රතිපත්ති අධ්‍යයන ගනනාවක් ම පෙන්නුම් කරන පරිදි) වොෂින්ටනය රුසියාවට එරෙහි පූර්න පරිමාන සාම්ප‍්‍රදායික හෝ න්‍යෂ්ටික යුද්ධයක් ඇරඹීමේ සැබෑ හැකියාව පවතී.

මේ සියල්ල හමුවේ මාධ්‍ය හා සමස්ත දේශපාලන සංස්ථාපිතය යුද්ධයේ තර්ජනය ගැන මුලුමනින් නිහඬ ය. යුද තර්ජනය ගැන අනතුරු අඟවා ඇත්තේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා සමාජවාදී සමානතා පක්ෂය පමනි. “ධනවාදයට හා යුද්ධයට එරෙහි ව සමාජවාදය” යන මැයෙන් නොවැම්බර් 5දා පැවැත්වෙන සම්මේලනයට සහභාගි වන ලෙසත් යුද්ධයට හා එය නිර්මානය කරන ධනේශ්වර පද්ධතියටත් විරුද්ධ ව කම්කරු පන්තික ව්‍යාපාරයක් ගොඩනැගීමට එක්වන ලෙසත් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පාඨකයන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

ඇන්ඩ්‍රෙ ඩෙමොන්

Share this article: