ශ්‍රී ලංකාවේ වතු කම්කරු අරගලය: ක්‍රියාකාරී කමිටු ගොඩනගනු! සමාජවාදී ප්‍රතිපත්ති සඳහා සටන් වදිනු!

Sri Lankan plantation workers struggle: build action committees! fight for socialist policies!

සමාජවාදී සමානතා පක්ෂය, 2016 ඔක්තෝබර් 07

දස දහස් ගනන් වතු කම්කරුවෝ, ඵලදායීතාවය ඉහල නැංවීම සමග ගැටගැසුනු වැටුප් ක්‍රමයක් පැනවීම සඳහා වතු සමාගම් සහ ආන්ඩුව දරන උත්සහයට දැඩි සේ විරුද්ධ වෙමින්, නිසි වැටුප් සහ යහපත් සේවා කොන්දේසි වෙනුවෙන් සැප්තැම්බර් 26 වනදා සිට විරෝධතා අරගලයන්හි යෙදී සිටිති.

අපකීර්තියට පත්ව ඇති ලංකා කම්කරු කොංග්‍රසයේ (සීඩබ්ලිව්සී) ප්‍රාදේශීය නායකයෝ මුලදී කම්කරුවන්ගේ කෝපය දියකර හැරීමේ අරමුනෙන්, නුවරඑලිය දිස්ත්‍රික්කයේ බොගවන්තලාව සහ අප්කොට් ප්‍රදේශවල පැය දෙකක විරෝධතාවක් කැඳවුහ. ඒ ඒ වතු වල විසිරී තිබුනේවී නමුත් කම්කරුවන් අතර ගැඹුරට මුල්බැස ගත් අසහනය හේතුවෙන් මෙම විරෝධතා වතුකරය පුරා ප්‍රබල අරගලයක් අවුලුවා තිබේ.

වසර එකහමාරකට ඉහතදී සීඩබ්ලිව්සී වෘත්තීය සමිතිය, දැනට ගෙවනු ලබන වැටුප රුපියල් 380න් වැඩිකර රුපියල් 1000ක දෛනික වැටුපක් සඳහා ඉල්ලීමක් සූත්‍රගත කලේය. දැන් පැනනැඟී ඇති විරෝධතාවන්හිදී කම්කරුවෝ, පැය ගනන් වැඩ නතර කර පෙලපාලි සහ පිකට් කිරීම් සඳහා එක්වූහ: වෘත්තීය සමිති නායකයන්ගේ ද සහයෝගය ඇතිව ආන්ඩුව මුදාහල පොලිස් මර්දනය නොතකා ඔවුහු, නගරවල මහාමාර්ග අවහිර කලහ.

මෙම අරගලය මඟින් තියුනු ලෙස මතු කෙරෙන්නේ, වෘත්තීය සමිති නායකයන් විසින් ගැතිකම් කෙරෙන සහ ආන්ඩුව විසින් පිටුබලය දෙන ධනපති සමාගම්වල ප්‍රහාරය පරදවමින්, කම්කරුවන්ට සිය වැටුප්, රැකියා සහ වැඩකිරීමේ කොන්දේසි ආරක්ෂාකර ගැනීම සඳහා සටන් කිරීමට නව ආකාරයක සංවිධාන, නව නායකත්වයක සහ දේශපාලන වැඩපිලිවෙලක අවශ්‍යතාවයයි.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) අවධාරනය කරන්නේ, කම්කරුවන් සමාජවාදී ප්‍රතිපත්ති මත පදනම් ව සෑම වත්තකම ක්‍රියාකාරී කමිටු ගොඩනඟමින් අරගලය සියතට ගත යුතු බවයි.

වෘත්තීය සමිති කම්කරු විරෝධතා කැඳවන්නේ හෝ ඒවාට සහය දෙන්නේ නැත. කම්කරු විරෝධතා ඉදිරියට යද්දී, දෙමල ප්‍රගතිශීලි පෙරමුන -ජාතික කම්කරු සංගමය (එන්යූඩබ්ලිව්), කඳුරට ජනතා පෙරමුන (යූපීඑෆ්), ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොංග්‍රසය (ඩීඩබ්ලිව්සී)- අඟහරුවාදා ප්‍රකාශ කලේ, විරෝධතාවන්ට තමන් දැන් ‘සහාය’ දෙන බවයි.

පිලිවෙලින් එන්යූඩබ්ලිව්, යූපීඑෆ් සහ ඩීඩබ්ලිව්සී නායකයින් වන පී.දිගම්බරන්, වී. රාධක්‍රිෂ්නන්, සහ මනෝ ගනේෂන් දැන් කම්කරු විරෝධය යටගැසීමටත්, පීලිපැන්නවීමටත් මං සොයමින් සිටිති. ආන්ඩුව සහ වතු සමාගම් සමඟ පෙලගැසී සිටින මෙම වෘත්තීය සමිතිවලට කම්කරු ඉල්ලීම් සඳහා කිසිදු විසඳුමක් ලබා දිය නොහැකිය.

දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප) විසින් පාලනය කෙරෙන එන්යූඩබ්, යූපීඑෆ්, ඩීඩබ්ලිව්සී සහ ලංකා ජාතික වතු කම්කරු සංගමය ආන්ඩුවේ හවුල්කාරයින් වන අතර ඒවායේ නායකයෝ ඇමතිකම් සහ නියෝජ්‍ය ඇමතිකම් දරති. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති කරවීමේ එක්සත් ජනපද පිටුබලය ලත් තන්ත්‍රමාරු මෙහෙයුමට මෙම වෘත්තීය සමිති සහාය දුන්හ. කලින් ආන්ඩුවල කොටස්කරුවෙකු වූ සීඩබ්ලිව්සී වත්මන් ආන්ඩුවෙන් ද ඇමතිකම් ඉල්ලා නායකයින් සමඟ කේවල් කරමින් සිටියි.

පොලිස් මර්දනයට සහ වතුසමාගම් වල කම්කරු සහ තරුන දඩයමට උල්පන්දම් දීමේ කුප්‍රකට වාර්තාවක් මෙම වෘත්තීය සමිති සතුය. ඉරිදා මස්කෙලියේ පැවති විරෝධතාවක් තහනම් කිරීමට උසාවි නියෝගයක් ගැනීම සඳහා පොලිසිය උනන්දු කරවීම ගැන කම්කරුවෝ, එන්යූඩබ්ලිව් ප්‍රාදේශීය නායකයෙකුට චෝදනා කලහ.

අතීතයේ මෙන්ම මෙම වෘත්තීය සමිති නායකයින්, වැඩ ප්‍රමානය ඉහල දැමීමේ කොන්දේසි පැනවීමට, හාම්පුතුන්ගේ සම්මේලනය සමඟ කුනු සම්මුතියකට එලඹීමේ අවදානමක් පවතී.

තේ සහ රබර් කර්මාන්තයේ ගෝලීය පරිමාන අර්බුදය හමුවේ වතු සමාගම්, වැටුප් වැඩිකිරීමක් ප්‍රතික්ෂේප කර ඇති අතර ජනාධිපති සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුවේ සහාය ඇතුව, වතුකරය තුල රුදුරු සුරාකෑමක් පැනවීමට තීන්දුකර සිටිති.

2015 මාර්තු මාසයේ පැවති වැටුප් ගිවිසුම කල් ඉකුත්වීමෙන් පසුව වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති රොෂාන් රාජදුරෙයි ප්‍රකාශ කලේ, සමාගම් වලට රුපියලකින්වත් වැටුප් වැඩිකල නොහැකි බවත්, කම්කරුවන් “ආදායම් බෙදාගැනීමේ ක්‍රමයක්” පිලිගත යුතු බවත්ය. ඒ අනුව තේ පඳුරු 1200-1500 අතර සංඛ්‍යාවක් රැකබලාගැනීමට කම්කරු පවුලකට පැවරෙන අතර අස්වනු නෙලීමෙන් පසු ආදායමෙන් කොටසක් ඔවුන්ට දෙනු ලැබේ. මෙය අඳ ගොවි ක්‍රමයට සමාන මොඩලයක් වන අතර ඉන් කම්කරුවන් පන්තියක් ලෙස පැවතීම අහෝසි කරනු ඇත.

ආර්ථික කඩාවැටීමේ ප්‍රවනතා හේතුවෙන් මෙන්ම එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් මැදපෙරදිග කලාපයයේ කලඹනු ලැබ තිබෙන යුද ආතතිය නිසා හැකිලෙමින් පවතින ලෝක වෙලඳපොල තුල තරග කිරීමට වතුකරයේ ඉහල ඵලදායිතාවක් සහ පහල ශ්‍රම වියදමක් නොමැතිව, සමාගම් වලට නොහැකි බව රාජදුරෙයි අවධාරනය කලේය.

ලංකා තේ ගැනුම්කරුවන්ගේ පුද්ගලික සමාගමේ විධායක අධ්‍යක්ෂ මෑතකදී ප්‍රකාශ කර තිබුනේ, අවසාන වසර දෙක තුල “ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය එක තැන පල්වීමේ තත්වයකට පත්ව ඇත.....2013 සිට ආදායම් ඉහලයාම ඇනහිට ඇත.... අපනයන අගයන්හි සැලකිය යුතු වැඩිවීමක සේයාවක් නොමැත.” යනුවෙනි.

මෙම අර්බුදයට විසඳුමක් ලෙස, තේ දලු නෙලීමේ ඉලක්ක ඉහල දැමීම සඳහා සමාගම් ගෙනා සැලසුම් වලට වෘත්තීය සම්තිවල සහාය ලැබුන නමුත් බොහෝ වතුවල කම්කරුවෝ ඊට විරෝධය පෑහ. හාම්පුතුන්ගේ සංගමය “දෙමුහුන් ක්‍රමය” හෙවත් ද්විත්ව ස්ථර ක්‍රමයක් යෝජනා කර ඇත. එනම් රුපියල් 720ක දෛනික වැටුපක් ද මසකට දින 12ක් සඳහා රුපියල් 100ක විචල්‍ය දීමනාවක් සහ දලු නෙලීමේ ඵලදායිතාව මත රඳාපවතින දින 13ක වැටුපක් ඇතුලු වැටුප් ක්‍රමයකි. රාජදුරෙයිට අනුව මෙය, සමාගම විසින් සැලසුම් කර ඇති අදායම් බෙදීමේ ක්‍රමය සඳහා “පෙර සූදානමක්” විය හැකිය.

ආන්ඩුව වතු සමාගම්වල වැඩපිලිවෙලට සහාය පලකරන අතර එය කඩිනම් කරන මෙන් ඉල්ලා සිටියි. බොහොමයක් වතු නිසරු ලෙස සලකා ඒවා සමාගම් වලින් ගලවා වෙනත් භෝග වගාවන් සඳහා පරිවර්තනය කිරීමට සමාගම් වලට සහයෝගය දීම සඳහා ආන්ඩුව සැලසුම් කරමින් සිටියි. එහි අර්ථය වන්නේ දස දහස් ගනනින් රැකියා විනාශයයි.

මෙය කම්කරු පීඩිත ජනතාවන්ගේ සමාජ අයිතීන් සහ ජීවන කොන්දේසි මතට සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව පුලුල් ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා දැරෙන සුදානමේ කොටසකි. ආන්ඩුව දැන් බදු ඉහල දැමීම්, අතවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහල දැමීම, පුද්ගලීකරනය, මහජන අධ්‍යාපනය සහ සෞඛ්‍යයට පහර එල්ල කිරීම මඟින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) පනවන කප්පාදු පියවර ක්‍රියාවට නඟයි. අනෙක් අතට ලාභ ශ්‍රමය සහ සම්පත් සූරාකෑම සඳහා විදේශ ආයෝජකයින්ට ඇරයුම් කරයි.

ලෝක ධනේශ්වරයේ ගැඹුරුවන අර්බුදය ඉදිරියේ සෑම රටකම කම්කරුවන් එක හා සමානව මුහුන දී සිටින්නේ, වැටුප් සහ සමාජ අයිතීන්ට එල්ල කෙරෙන ප්‍රහාරයට සහ පොලිස් රාජ්‍ය මර්දනයට ය. එම අර්බුදය විසින්ම මෙහෙයවනු ලබන ලෝක අධිරාජ්‍යවාදය, ලෝකය තවත් විනාශකාරී යුද්ධයක් කරා තල්ලුකරමින් සිටියි.

වතු කම්කරුවන්ට යහපත් ජීවිතයක් සඳහා ජීවන වියදමට සරිලන මාසික වැටුප්, යෝග්‍ය නිවාස, සෞඛ්‍යාරක්ෂාව සහ අධ්‍යාපනය, තරුනයන්ට රැකියා සහ පුරවැසි අයිතිවාසිකම් අවශ්‍යය. කොඳු කඩන වැඩ බරට අවසන් තිත තැබිය යුතුය.

මෙම අයිතීන්ගෙන් කිසිවක් ලාභය සඳහා දිවෙන වතුකරයේ ධනපති හිමිකාරීත්වය යටතේ ලබාගත නොහැකිය. වතු සමාගම් පවත්නා කොන්දේසි පවා විනාශ කරමින් සිටියි. මෙම අයිතීන් දිනාගත හැක්කේ කම්කරුවන්ගේ පාලනය යටතේ වතු ජනසතු කිරීමෙන් පමනි.

මෙම අරගලය වතු කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ, ශ්‍රී ලංකාවේ අනෙකුත් අංශවල සිය පන්ති සහෝදරයන් සහ සහෝදරියන් වෙත හැරී සමාජවාදී ප්‍රතිපත්ති සඳහා පොදු අරගලකට එක් වන ලෙසයි. එනම් සමාජයේ බහුතරයකගේ සුභ සිද්ධිය උදෙසා ආර්ථිකය ප්‍රතිසංවිධානය කිරීමට කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමයි. මෙම අරගලයේදී ඔවුන් ලෝක කම්කරු පන්තිය වෙත හැරිය යුතුය. මෙය ජාත්‍යන්තර සමාජවාදය සඳහා වන අරගලයේ කොටසකි.

මෙම අරගලය ඉදිරියට ගෙනයාමේදී කම්කරුවන්ට නව සංවිධාන අවශ්‍යය. වතුකරයේ මෙන්ම අනෙකුත් ක්ෂේත්‍රවලද සියලු වෘත්තීය සමිති, සමාගම් සහ ආන්ඩුව සමඟ උරෙනුර ගැටී වැඩකරන අතර කම්කරුවන්ගේ අවශ්‍යතා නියෝජනය නොකරයි. මෙම වෘත්තීය සමිති කම්කරුවන් දරිද්‍ර කොන්දේසිවලට යටත්කර තැබීම සඳහා ධනපති පන්තියේ උපකරන ලෙස ක්‍රියාත්මක වන බව අතීත අත්දැකීම්වලින් සනාථ වී ඇත.

සමාජවාදී ප්‍රතිපත්ති සඳහා කැපවුනු ජනතාවගේ ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම හරහා අරගලය තමන්ගේ අතට ගන්නා ලෙස සසප කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ එහෙයිනි. සෑම වත්තකම කම්කරුවන් වහාම ක්‍රියාකාරී කමිටු සඳහා තමන්ගේ නියෝජිතයන් පත්කරගත යුතු අතර සමස්ත වතුකරයේ මෙන්ම අනෙකුත් ක්ෂේත්‍රවලද අරගලය සම්බන්ධිකරනය කිරීම සඳහා එවන් කමිටුවල ඒකාබද්ධ සංවිධානයක් ගොඩනැගිය යුතුය.

සියල්ලටත් වඩා මෙම දේශපාලන අරගලයට විප්ලවවාදී පක්ෂයක නායකත්වය අවශ්‍යය. මෙම ඉදිරිදර්ශනය සඳහා සටන් වදින්නේ සමාජවාදී සමානතා පක්ෂය පමනි. සසප මහජන විප්ලවවාදී පක්ෂයක් ලෙස ගොඩනැගීමට සම්බන්ධ වන ලෙස අපි කම්කරුවන්ගෙන් සහ තරුනයන්ගෙන් ඉල්ලා සිටිමු.

Share this article: