වතු සමාගම් සහ සමිති කම්කරුවන් මත පැටවීමට යන ව්‍යසනකාරී වැටුප් ගිවිසුම ප‍්‍රතික්ෂේප කරනු!

සමාජවාදී සමානතා පක්ෂය, 2016 ඔක්තෝබර් 13

x වැටුප් අරගලය කම්කරුවන් අතට ගැනීමට ක‍්‍රියකාරීකමිටු

x වැටුප් හා සේවා අයිතීන් දිනා ගැනීමට සමාජවාදී ක‍්‍රියාමාර්ගයක්

සොච්චම් පඩි වැඩි කිරීමකට ඈඳා කොඳු කඩන වැඩ වැඩිකිරීමක් තමන් මත පැටවීම සඳහා වතු සමාගම් හා වෘත්තීය සමිති ආන්ඩුවේ පිටුබලය ඇතිව අත්සන් කිරීමට යන සාමූහික ගිවිසුම ප‍්‍රතික්ෂේප කරන ලෙස සමාජවාදී සමානතා පක්ෂය කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී.

ඔක්තෝබර් 15දා අත්සන් කිරීමට හොර රහසේ සූදානම් කෙරෙන මෙම ගිවිසුමට තමන්ගේ වැටුප්, රැකියා හා සේවා කොන්දේසි කෙරෙහි බලපාන කුමන වගන්ති ඇතුලත්දැයි මහා වතු සමාගම්වල සේවය කරන දෙලක්ෂයකට අධික කම්කරුවෝ නොදනිති.

සන්ඩේ ටයිම්ස් හා අනෙකුත් මාධ්‍ය වල පල කෙරී ඇති වාර්තා අනුව, සතියේ දින හතරක් සඳහා දෛනික දල වැටුප රුපියල් 620 සිට 730දක්වා රුපියල් 110ක සොච්චමකින් වැඩිකිරීමක් සිදුවන්නේ දිනකට තේ දලු කිලෝග්රෑම් 24ක් නෙලීමේ කොන්දේසිය මත ය. දැනට දිනකට නෙලන දලු ප‍්‍රමානය කිලෝ 16-18ක් වන තතු යටතේ එය, සියයට 50 ත් 33 අතර ප‍්‍රමානයකින් වැඩ වේගවත් කිරීමකි. ඉලක්කය නොදුන්නොත් දිනක පඩිය රුපියල් 632ට පහත වැටේ.

සතියේ ඉතිරි දින දෙකේ කම්කරුවා, තාවකාලික පදනමෙන් දිනකට රු.500කට වැඩ කරමින් එක් දිනකට කිලෝ 15ක් දලු නෙලිය යුතු ය. දලු කිලෝ ප‍්‍රමානය ඊට වඩා වැඩිවන්නේ නම්, කිලෝවකට රුපියල් 26ක් බැගින් ගෙවනු ලැබේ.

මේ වනාහී වැටුප් වැඩි කිරීමේ ගිවිසුමක් නොවේ, සියයට 33ත් 50ත් අතර වැඩ වේගවත් කිරීමත් සමග ගත් කල, මූර්ත වසයෙන් වැටුප් කැපීමේ සැලසුමකි.

පසුගිය මාර්තු මාසයේ පරන සාමූහික ගිවිසුම අවසන්වූ තැන් පටන්, වැවිලිකරුවන්ගේ සංගමය එකහෙලා කියා සිටියේ, රුපියලකින්වත් කම්කරුවන්ගේ වැටුප වැඩි කල නොහැකි බව යි. ඊට අවනතව, වැටුප් වැඩි කිරීමේ ප‍්‍රශ්නය සමිති විසින් ඉවත දැමුනි. කම්කරු විරෝධය වැඩෙන තතු යටතේ, ලංකා කම්කරු කොංග‍්‍රසය දිනකට රුපියල් 1000ක වැටුප් වැඩි කිරීමක් යෝජනා කොට, පසුව ඉනිදු අත සෝදා ගත්තේ ය.

සැප්තැම්බර් 26දා සිට රුපියල් 1000කට වැටුප් වැඩි කිරීමක් ඉල්ලා කම්කරුවන් වත්තක් වත්තක් පාසා උද්ඝෝෂනයට බසිමින් අරගලයක් අරඹා ඇත්තේ මෙම තතු තුල ය. දැනටමත් කම්කරුවන් රුපියල් 730ක පඩි වැඩි කිරීමේ ප්‍රෝඩාව ප‍්‍රතික්ෂේප කර ඇත. ජීවන වියදම පිම්මේ ඉහල යන කොන්දේසි යටතේ ඉන් අඩු වැටුප් වැඩිවීමක් පිලි ගැනීමට තමන් සූදානම් නැතයි ඔව්හු කියති.

කම්කරුවන්ගේ අරගලය නිසා දිනකට රුපියල් බිලියනයක් පමන තමන්ට අහිමි වන්නේ යැයි කියමින්, සමිතිවලද ආන්ඩුවේද ආධාර ඇතිව වැඩ වේගවත් කිරීමේ අලුත් වැඩ පිලිවෙල ක‍්‍රියාවට දමන්ට සමාගම් සූදානම් වේ. “කර්මාන්තයේ අනාගතය ගැන සැලකීමේ දී, මෙය නිෂ්පාදන පලදායිතාව මත පදනම්වූ වැටුපකට මාරුවීමට තබන පලමු පියවරක් නිසා සමාගම් වැටුප් වැඩිකිරීමට එකඟවූයේ ය” යි වැවිලි කරුවන්ගේ සංගමයේ නියෝජ්‍ය සභාපති එස්.එස්. පොහොලියද්ද ප‍්‍රකාශ කර ඇත.

වැවිලිකරුවන් ඉදිරිපත් කර ඇති සැබෑ සැලස්ම තේ පඳුරු 1,000ත් 1,500ත් අතර ප‍්‍රමානයක් කම්කරු පවුලකට බලාකියා ගැනීමේ පොරොන්දුව පිට භාරදී නිෂ්පාදනය වැඩිකරගෙන අමු තේ දලු කිලෝවකට ලැබෙන මිල අනුව මුදලක් එම කම්කරු පවුලට දීම ය. මෙය සමාන වන්නේ, කම්කරුවන්ගේ වත්මන් තත්වය නැතිකර, අඳ ගොවියන්ගේ සමාන තත්වයකට ඇද දැමීමටයි. එමගින් සංවිධානය වීමේ ශක්තිය ද බිඳලා රුදුරු සූරාකෑමකට ඔවුන් යටකරගනු ඇත.

වෘත්තීය සමිති අත්සන් කිරීමට යන ඉහත කී ගිවිසුමට එකහෙලා එකඟය ය. සීඩබ්ලිව්යූසී උපසභාපති එස්. අරුල්සාමි ගිවිසුමට එකඟ බවත් සතියකට දින 6ක්ම වැඩ ලබා ගැනීමට කේවල් කරන බවත් කියා ඇත.

ආන්ඩුවට සම්බන්ධ පී. දිගම්බරම් ගේ ජාතික කම්කරු සමිතිය (එන්ඩබ්ලිව්යූ), මනෝ ගනේෂන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කම්කරු කොන්ග‍්‍රසය (ඩීඩබ්ලිව්සී), වී. රාධක‍්‍රිෂ්නන් ගේ කඳුරට ජනතා පෙරමුන (යූපීඑෆ්) සහ එක්සත් ජාතික පක්ෂයට (එජාප) සම්බන්ධ ලංකා ජාතික වතු කම්කරු සංගමය (එල්ජේඊඩබ්ලිව්යූ) යෝජිත වැටුප් ගිවිසුම ගැන මෙතෙක් ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කර නැත. එහෙත් ආන්ඩුවට සම්බන්ධ සියලුම වතු වෘත්තීය සමිති ඊට එකඟ වූ බව කම්කරු හා වෘත්තීය සමිති සම්බන්ධතා ඇමති ජෝන් සෙනෙවිරත්න බ‍්‍රහස්පතින්දා ප‍්‍රකාශ කලේ ය.

වතු සමාගම් හා ආන්ඩුවට මෙන් ම වෘත්තීය සමිති වලට එරෙහිව වතු කම්කරුවන්ගේ විරෝධය වර්ධනය වන කොන්දේසි යටතේ වතු කම්කරුවන්ට උගුල් අටවා ඔවුන් ව දේශපාලනිකව නොමග යැවීමට තවත් කල්ලි කන්ඩායම් ඉස්මත්තට පැමින සිටිති.

ව්‍යාජ වාම පක්ෂයක් වන එක්සත් සමාජවාදී පක්ෂය (එසප) හා මා ඕවාදී නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ (එන්ඩීපී) හිටපු නායකයෙකු වන ඊ. තම්බයියාගේ මූලිකත්වයෙන් අටවා ඇති කඳුරට සමාජ ක‍්‍රියාකාරීන්ගේ සංගමය විසින් 11 වෙනිදා පවත් වන ලද මාධ්‍ය සාකච්ඡාවක දී වතු කම්කරුවන්ගේ වැටුප් ප‍්‍රශ්නය විසඳීමට මැදිහත් වෙමින් රුපියල් 1,000 වැටුප් ඉල්ලීම ඔවුන්ට ලබා දෙන ලෙස ඉල්ලා ඇත. එසේ නොවන්නේ නම් ආන්ඩුව බලයට ගෙනා කම්කරුවන් “ආන්ඩුව පෙරලා දමනු” ඇතැයි ආන්ඩුවට අවවාදයක් ද දී ඇත.

එමෙන් ම රුපියල් 730 වැටුපට එකඟ නොවන ලෙසත් ඔවුන්ගේ විරුද්ධත්වය නොතකා ආන්ඩුව එය ක‍්‍රියාවට දැමීමට සුදානම් වන්නේ නම් ආන්ඩුවෙන් ඉල්ලා අස්වෙන බවට “තර්ජනය” කරන ලෙසත් සමාජ ක‍්‍රියාකාරීන්ගේ සංගමය දිගම්බරම්, මනෝගනේෂන් හා රාධාක‍්‍රිෂ්නන් ගෙන් ඉල්ලා ඇත. වෘත්තීය සමිති අපකීර්තියට පත්ව ඇති තතු යටතේ ඒවාට සුදුහුනු ගාන මෙම සංවිධානය කම්කරුවන්ගේ ස්වාධීන අරගලයක් ඇරඹීමට ඉඳුරාම විරුද්ධය. අධිරාජ්‍යවාදීන් හා රට තුල මහා ධනපතියන් වෙනුවෙන් ක‍්‍රියා කරන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ හා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ආන්ඩුවට හෝ ලාබය හඹා යන සමාගම් වලට බලපෑම් දැමීමෙන් මොනම අයිතියක් වත් දිනාගත නොහැකි බව කම්කරුවන්ගේ අත් දැකීමයි.

විරෝධතා හා වර්ජනවලට එලඹෙමින් වැටුප් ඉල්ලීම් දිනා ගැනීමට පවතින අධිෂ්ටානය දහස් ගනන් වතු කම්කරුවන් විසින් පසුගිය දින කිහිපය තුල ප‍්‍රදර්ශනය කර ඇත. එහෙත් එය කිසිසේත් ම ප‍්‍රමානවත් නොවේ. කම්කරුවන් විසින් වැටුප් සටන සියතට නොගන්නේ නම් ඒ සඳහා අවශ්‍ය දේශපාලන ක‍්‍රියාමාර්ගයෙන් සන්නද්ධ නොවනේනම්, වෘත්තීය සමිති වලට ඔවුන් මත හාම්පුතුන්ගේ සැලසුම පැටවීමට ඉඩ ලැබෙනු ඇත. වැටුප් ඉල්ලීම් සම්බන්ධයෙන් 2011 සහ 2013 අරගල වල අත්දැකීම් පමනක් ම වුව ද මතකයට නගා ගැනීම ඒ සඳහා ප‍්‍රමානවත් ය.

ආන්ඩුව හා සමාගම් වෙනුවෙන් ක‍්‍රියාකරන කාර්මික පොලීසියක් බවට පත්ව ඇති වෘත්තීය සමිති තවදුරටත් කම්කරුවන්ගේ ඉල්ලීම් හා අයිතීන් දිනාගැනීමට ප‍්‍රයෝජනයට ගත නොහැකි ය.

එහෙයින් වැටුප් හා සේවා කොන්දේසි දිනා ගැනීමේ අරගලය කම්කරුවන් විසින් අප‍්‍රමාදව සියතට ගත යුතු ය. වෘත්තීය සමිතිවලින් පිටස්තරව, කම්කරුවන් තමන්ගේම ක‍්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමට වහා පියවර ගැනීම එහි ප‍්‍රථම පියවරයි. ජීවන වියදමට සරිලන වැටුප් ඉල්ලීම් සහ යහපත් සේවා කොන්දේසි පිලිබඳ කම්කරු ක‍්‍රියාකාරී කමිටු තුල කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාකච්චාවක් මගින් සමස්ත වතුකරය අලලා ගත් වතු කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයක් ඒ හරහා සංවිධානය කල යුතුය. එම අරගලය ජීවන වියදම ඉහල නැගීමෙන් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට එල්ල කෙරෙන ප‍්‍රහාරයන් ගෙන් බැට කන කම්කරු පන්තියේ සෙසු කොටස් සමග එකමුතු අරගලයක් ලෙස වර්ධනය කිරීම අවශ්‍ය වේ.

ධනපති සමාගම් අත වතුකරය පවතින තාක් කම්කරුවන්ට මෙම ඉල්ලීම් දිනා ගත නොහැකි ය. මෙම අයිතීන්ගෙන් කිසිවක් ලාභය සඳහා නිෂ්පාදනය කරන වතුකරයේ ධනපති හිමිකාරීත්වය යටතේ ලබාගත නොහැකිය. වතු සමාගම් පවත්නා කොන්දේසි පවා විනාශ කරමින් සිටියි. මෙම අයිතීන් දිනාගත හැක්කේ කම්කරුවන්ගේ පාලනය යටතේ වතු ජනසතු කිරීමෙන් පමනි.

මෙම අරගලය ඉල්ලා සිටින්නේ වතු කම්කරුවන් තමන්සේම ප‍්‍රහාරයට ලක්ව සිටින අවශේෂ කම්කරුවන් සමග එකමුතුව සමාජවාදී වැඩ පිලිවෙලට සටන් කිරීම හා එම වැඩ පිලිවෙල ක‍්‍රියාවට දැමීමට කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමට සටන් කිරීමයි. එය ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසකි.

මෙම වැඩපිලිවෙලට සටන් කිරීමට ඉදිරිපත්වන ලෙස කම්කරුවන්ගෙන් හා තරුනයන් ගෙන් අපි ඉල්ලා සිටිමු. මෙම ඉදිරිදර්ශනය සඳහා ශ‍්‍රී ලංකාව තුල සටන් කරන්නේ සසප පමනි. සසප කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය ලෙස ගොඩ නැගීමට එක් වන ලෙසටත් කම්කරුවන්ගෙන් සහ තරුනයන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

සමාජවාදී සමානතා පක්ෂය

2016 ඔක්තෝබර් 13

Share this article: