ආඥාදායක පියවර ගන්නා බවට ශී‍්‍ර ලංකා ජනාධිපතිගේ අනතුරු ඇඟවීම්

Sri Lankan president warns of autocratic measures

කේ. රත්නායක විසිනි, 2016 ඔක්තෝබර් 18

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන, අල්ලස් කොමිසම හා පොලීසිය “දේශපාලන න්‍යාය පත‍්‍රයක්” අනුව වැඩ කරන්නේ යයි චෝදනා කරමින්, ඊට විරුද්ධ ව කි‍්‍රයාකරන බව, තමන් යටතේ පවත්නා එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුවට අනතුරු ඇඟවී ය.

විශ‍්‍රාම ලත් නාවික හමුදාපතිවරු තිදෙනෙකු හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ උසාවියට කැඳවීමට අල්ලස් කොමිසම ගත් තීරනයට තමන් විරුද්ධ බව ඔක්තෝබර් 12දා කොලඹ පැවති මිලිටරි හමුවක දී කතාකරමින් සිරිසේන පැවසී ය. සැප්තැම්බර් 30දා ඔවුන් සිවුදෙනා කොලඹ මහේස්ත‍්‍රාත් උසාවියේ පෙනී සිටියේ ඇවන්ට් ගාඩ් නමැති පුද්ගලික සමාගමේ කටයුතු හරහා රජයට රුපියල් බිලියන 11ක පමන පාඩුවක් කිරීමේ චෝදනා යටතේ ය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව සමයේ එම සමාගම පිහිටුවන ලද්දේ නැව්වලට ආරක්ෂාව සැපයීමට ය.

කලින් ආන්ඩුවේ නායකයන් විසින් කරන ලද මූල්‍ය වංචා විමර්ශනය කරන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (එෆ්සීඅයිඩී) ද සිරිසේනගේ හෙලා දැකීමට ලක් විය. මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම පිලිබඳ සැකපිට මිලිටරි ඔත්තු අංශ නිලධාරීන් හතර දෙනෙක් මාස 16ක් රිමාන්ඩ් භාරයේ තබා ගැනීම ගැන, පොලීසියේ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව (සීඅයිඩී) ද සිරිසේනගේ විවේචනයට ලක් විය.

“හමුදාව දුර්වල කරන කිසිවක් මම කරන්නේ නැහැ. හමුදාව දුර්වල කිරීමට ද මම ඉඩ තියන්නේ නැහැ” යයි ජනාධිපති හඬ නැගීය. තමන් අතීතයේ නිශ්ශබ්ද ව සිටි බව කී ඔහු “ඒත් දැන් මට කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මම විවෘත ව කි‍්‍රයා කරන්න පටන් ගන්න ඕනෑ” යයි පැවසී ය.

අගමැති රනිල් වික‍්‍රමසිංහගේ එජාපය හා සිරිසේනගේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය (ශී‍්‍රලනිප) ආන්ඩුවේ පාර්ශවකරුවන්ය. ශී‍්‍රලනිපයේ කොටසක් මහින්ද රාජපක්ෂ නායකත්වය යටතේ ආන්ඩුවට විරුද්ධ ව ඒකාබද්ධ විපක්ෂය ලෙස සංවිධානය වී සිටී.

පසුගිය වසරේ ජනවාරියේ සිරිසේන බලයට පත්වීමෙන් පසු ව, පාර්ලිමේන්තුව සම්මත කල, 19වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්ථාපනය කරන ලද ව්‍යවස්ථාදායක සභාව විසින් පත් කරන ලද ස්වාධීන කොමිෂන් සභා යටතේ, අල්ලස් කොමිසම හා පොලීසිය කි‍්‍රයාත්මක වේ.

ආන්ඩුව බලයට පත් වුනේ, සාමාන්‍යයෙන් පැවැත්වෙන මැතිවරනයකින් නොවේ. ඔබාමා පාලනය විසින් සූදානම් කරන ලදුව, වික‍්‍රමසිංහ හා හිටපු ජනාධිපතිනි චනද්‍රිකා කුමාරතුංගගේ පිටුබලය සහිතව, මහින්ද රාජපක්ෂ ඉවත් කිරීමට කි‍්‍රයාවට දැමූ තන්ත‍්‍ර මාරු මෙහෙයුමක ප‍්‍රතිඵලය එය විය. එක්සත් ජනපදය රාජපක්ෂට විරුද්ධ වූයේ ඔහුගේ ආඥාදායක පාලනය හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් අමු අමුවේ උල්ලංඝනය කිරීම නිසා නො ව, ඔහු චීනය සමග සමීප සබඳතා වර්ධනය කරගැනීම නිසා ය.

යහපාලනයේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ, සාමයේ හා සංහිඳියාවේ නියමුවා ලෙස පුම්බාගෙන සිරිසේන මැතිවරන ව්‍යාපාරය ගෙන ගියේ, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි ව කොලඹ ආන්ඩු විසින් ගෙන ගිය දිග්ගැස්සුනු වාර්ගික යුද්ධයෙන් ඉක්බිති ව ය.

මෙම දේශපාලන වංචාව කිරීමට සිරිසේනට හැකි වූයේ, හුදෙක් වික‍්‍රමසිංහ, කුමාරතුංග හා විවිධාකාර දෙමල පක්ෂවල උදව්වෙන් පමනක් නොව, ඔහු ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙක් ලෙස පින්තාරු කල ව්‍යාජ-වාම සංවිධාන හා පුරවැසි බලය වැනි මධ්‍යම පන්තික කන්ඩායම් වල ද උදව්ව ඇතිවය.

මැතිවරනය නිවේදනය කරන තෙක් රාජපක්ෂගේ කැබිනට්ටුවේ ජ්‍යේෂ්ඨ සාමාජිකයෙක් වූ සිරිසේන සාරාර්ථයෙන්ම එම ආන්ඩුවේ සියලු අපරාධ හා දූෂනවලට දේශපාලනික ව වගකිව යුත්තෙකි. වික‍්‍රමසිංහ සම්බන්ධයෙන් නම් ඔහු, රාජපක්ෂගේ ආන්ඩුව තරම් ම ආඥාදායක වූ හා යුද්ධය ඇරඹීමට වගකිව යුතු එජාපයේ පූර්ව ආන්ඩුවල ඇමතියෙක් විය.

සිරිසේන හා වික‍්‍රමසිංහ යන දෙදෙනා ම අල්ලස් කොමිසමත් එෆ්සීඅයිඩීය හා සීඅයිඩීයත් පාවිච්චි කොට තිබෙන්නේ, විශේෂයෙන් ම රාජපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂය ඇතුලු දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කිරීමේ හා ආන්ඩුවට එරෙහි ව වැඩෙන ජනතා අතෘප්තිය අපසරනය කිරීමේ උපක‍්‍රමයක් ලෙසිනි.

දූෂනයට එරෙහිව යහපාලනය සඳහා තම කැපවීම පෙන්වන ආදර්ශයන් ලෙස සිරිසේන ම ඇටවූ ආයතනවලින් දැන් අයින් වීමට උත්සාහ කරන ඔහු පසුගිය සතියේ දැක්වූ අදහස්, වසර දෙකකට ආසන්න පාලනයෙන් පසුව ඊනියා ජාතික ආන්ඩුව ඇතුලත පවත්නා තියුනු ආතතීන් අනාවරනය කරයි.

200,000ක් වතු කම්කරුවන්ගේ සහභාගිත්වයෙන් තවමත් පවත්නා විරෝධතා සහ පැතිරෙන වැඩවර්ජන මගින් සංලක්ෂනය කෙරෙන පුපුරනසුලු දේශපාලන වාතාවරනයකට ආන්ඩුව මුහුන පා සිටී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු පිලිවෙත් කල් දැමීමට ජුනි මාසයේ දී ආන්ඩුවට බලකෙරුනේ කම්කරු පීඩිත ජනතාව අතර වැඩුනු විරුද්ධත්වය හේතුවෙනි. එහෙත්, එක්කෝ ජාමූඅ කප්පාදු නියෝග කි‍්‍රයාවට දැමීමට නැතහොත් ජාමූඅ පොරොන්දු වී ඇති නය මුදල අත්හිටුවීම මගින් නිර්මානය කෙරෙන ප‍්‍රධාන මූල්‍ය ගැටලුවලට මුහුන දීමට ආන්ඩුවට දැන් සිදු ව තිබේ.

ජීවන තත්ත්වයන් හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ගේ ආරක්ෂකයන් ලෙස පෙනී සිටිමින්, ආන්ඩුව කෙරෙහි වර්ධනය වන විරුද්ධත්වය ගසා කෑමට රාජපක්ෂ හා ඔහුගේ ඒකාබද්ධ විපක්ෂය උත්සාහ දරයි. සිවිල් වැසියන් දහස් ගනනක් මරනයට පත් වූ යුද අපරාධ පිලිබඳ කිසිදු ආකාරයකින් තමන් හෝ තමන්ගේ ආන්ඩුව වගකිව යුතු නැති බව හිටපු ජනාධිපති එකහෙලා කියා ඇත. එසේ කීම මගින් ඔහු හමුදාවේ හා “රනවිරුවන්ගේ” ආරක්ෂකයෙක් ලෙස පෙනී සිටී.

සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ද යුද අපරාධ පිලිබඳ කිසිදු බැරූරුම් විමර්ශනයක් වැලැක්වීමට වැඩ කරයි. වොෂින්ටනයේ ද උපකාරය ඇතිව ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂනයක් සිදු කිරීම වැලැක්වීමට ආන්ඩුව කටයුතු කලේය. එය සිදු කරන අභ්‍යන්තර විමර්ශනයක් වුවත් සුදු හුනු ගෑමක් වන අතර, රාජපක්ෂ දිගට ම ආන්ඩුව විවේචනය කරන්නේ, හමුදාවට දඬුවම් දීමට උත්සාහ කරන්නේ යයි එය හෙලා දකිමිනි.

මෙම තතු තුල සිරිසේන, තමා මිලිටරියේ දැනමුත්තා පෙනී සිටීමට උත්සාහ දරමින්, 2015 ජනවාරි මැතිවරනයේ දී තමන් විරුද්ධ යයි කියූ විධායක ජනාධිපති ධූරයේ ආඥාදායක බලතල පාවිච්චි කරන බවට තර්ජනය කරයි.

අල්ලස් කොමිසම හා පොලීසිය ස්වාධීන කොමිෂන් සභා යටතේ කි‍්‍රයාත්මක වුවත් ඒවායේ තීරන තමන්ට කල් තබා දැනුම් දිය යුතු යයි සිරිසේන තමන්ගේ කතාවේ දී ප‍්‍රකාශ කලේ ය. “තමන් රටෙහි විධායකයා නිසා ආරක්ෂක ඇමතිවරයා ද වන ජනාධිපති දැනුවත් කරමින් කටයුතු කිරීම කොමිෂන් සභාවල ප‍්‍රධානීන්ගේ වගකීම” යයි ඔහු අවධාරනය කලේ ය.

“රාජ්‍ය කලමනාකරනයේදී මතුවන විශේෂ තත්වයන් සැලකිල්ලට ගෙන” එම බලතල පාවිච්චි කිරීමේ අවශ්‍යතාවය අවධාරනය කරමින් සිරිසේන එය සාධාරනීකරනය කලේ ය. ඇත්තට ම නම් ඔහු උත්සාහ දරන්නේ, ස්වාධීන කොමිෂන් සභා විධායක ජනාධිපතිගේ අතකොලුවක් බවට පරිවර්තනය කිරීමට යි.

සන්ඩේ ටයිම්ස් පත‍්‍රය වාර්තා කලේ, ඔහුගේ කතාවට කලින් සමහර ඇමතිවරුන්ට හා අගමැතිට තමන්ගේ අදහස් දැන්වූ සිරිසේන අල්ලස් කොමිසම පිලිබඳ තම විවේචනවලට තමන් “බැඳී” සිටින බව අවධාරනය කල බව යි. ආන්ඩුව ශක්තිමත් බවත් කිසිවකුට එය බිඳ වැට්ටවිය නො හැකි බවත් කියමින් සිරිසේන තම කතාව හමාර කලේ ය. දැනට එජාපයේ ඇමතිවරයෙක් යටතේ පවතින පොලීසිය ජනාධිපතිවරයා යටතට ගැනීමේ ඉඩකඩ ගැන මාධ්‍ය අදහස් පලකරයි.

සිරිසේනගේ කතාවෙන් තමා “පුදුමයට” පත්වූ බවත් පමා වී හෝ අදහස වෙනස් කරගැනීම හොඳ බවත් හිටපු ජනාධිපති රාජපක්ෂ පැවසී ය. නිසැක ව ම ඔහු අරඅඳින්නේ ආන්ඩුවේ අර්බුදය ගසා කෑමට යි. දින කිහිපයකට පෙර රාජපක්ෂ ප‍්‍රසිද්ධියේ කියා සිටියේ, නව පාලනයක් පිහිටුවීම පිනිස ආන්ඩුවට අභියෝග කිරීමට තමන් සූදානම් වන බව යි.

සිරිසේන හා වික‍්‍රමසිංහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ, යහපාලනයේ හා දූෂනයෙන් තොර පාලනයේ නියමුවන් යයි ව්‍යාජ-වම්මුන් හා විවිධාකාර මධ්‍යම පන්තික සිවිල් සමාජ කන්ඩායම් කල කියාපෑම් සිරිසේනගේ ප‍්‍රකාශ මගින් මුලුමනින්ම සුන් කර තිබේ.

පසුගිය අවුරුද්දේ සිරිසේනගේ උද්ඝෝෂනයේ පෙරමුනේ සිටි පුරවැසි බලය කුහක ලෙස ඔහු විවේචනය කරයි. කොලඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය හා සාධාරන සමාජයක් සඳහා වන ව්‍යාපාරයේ කැඳවුම්කාර සරත් විජේසූරිය කියා සිටියේ, හමුදා බුද්ධි අංශ ප‍්‍රධානියා හා ආරක්ෂක ලේකම් විසින් ජනාධිපතිවරයා නො මග යවා ඇති නිසා වහා ම ඔවුන් ඉවත් කල යුතු බව යි. මෙය වනාහි සිරිසේන නරක පුද්ගලයන්ගේ අහිංසක ගොදුරක් යයි පින්තාරු කොට ඔහුගේ තර්ජනයේ සැබෑ දේශපාලන හේතු සැඟවීමේ විෂකුරු උත්සාහහයකි.

“ජනාධිපතිවරයා, වංචාවට, දූෂනයට හා රාජපක්ෂ පාලනයේ අපරාධවලට විරුද්ධ ව යහපාලනය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් ජනවාරි 8දා ඡන්දය දුන් හැටදෙලක්ෂයක් ජනතාවගේ අපේක්ෂාවන් අභියෝගයට ලක් කර තිබෙන බව පෙනෙන්නට ඇතැයි” ජනතා විමුක්ති පෙරමුනේ ප‍්‍රකාශයක් සඳහන් කලේ ය. “වංචා, දූෂන හා අපරාධ පිලිබඳ විමර්ශන දුර්මුඛ කරන” සිරිසේනගේ කථා “ජනවරමේ අභිලාෂයන්ට පයින් ගැසීමක්” බව ද එය පැවසී ය.

ජවිපෙ යනු “රාජපක්ෂ ඒකාධිපතිත්වයට” විරුද්ධ ව සිරිසේන වෙනුවෙන් උද්ඝෝෂනය කල තවත් පක්ෂයකි. ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, සිරිසේන පාලනයේ මුල් මාස හතර තුල ආන්ඩුවේ කටයුතු අධීක්ෂනය සඳහා ඇටවූ ජාතික විධායක සභාවට සහභාගි විය. ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙකු ලෙස සිරිසේන හුවා දැක්වූ ජවිපෙ දැන් උත්සාහ කරන්නේ, ආන්ඩුවට එරෙහි ව වැඩෙන විරුද්ධත්වය ගසාකෑමට යි.

දැනට හෝ තමන් අතර සබඳතාවන්ට පැලැස්තරයක් දමා ගැනීමට සිරිසේනට හා වික‍්‍රමසිංහට හැකිවී ඇති බව පෙනේ. ජනාධිපති හා වික‍්‍රමසිංහ “එකම බෝට්ටුවේ” සිටින බව හා “ශක්තිමත් ආන්ඩුවක” අවශ්‍යතාව ගැන දෙදෙනා ම එකඟ වූ බව, පසුගිය බ‍්‍රහස්පතින්දා සිරිසේන සමග පැවති සාකච්ඡුාවෙන් පසුව එජාප සභාපති කබීර් හෂීම් මාධ්‍ය වෙත පැවසී ය.

එන්ට එන්ටම නරක අතට හැරෙන ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ සෑම රටක ම පාලක පන්තීහු, ආඥාදායක පාලන ක්‍රම කෙරෙහි වඩ වඩාත් නැඹුරු වෙමින් සිටිති. ක්ෂනික හේතුව කුමක් වුවත් සිරිසේනගේ ප‍්‍රකාශ, වර්ධනය වන කම්කරු පීඩිත ජනතාවගේ විරුද්ධත්වයට එරෙහිව පාලක පන්තිය අතීතයේ මෙන් ම පොලිස් රාජ්‍ය පියවරයන් ගනු ඇති බවට අනතුරු ඇඟවීමක් සේ ගත යුතුය.

Share this article: