ඵලදායීතාවට ගැටගැසුනු වැටුප් ගිවිසුමකට වතු සමිති අත්සන් තබයි

පානි විජේසිරිවර්ධන විසිනි, 2016 ඔක්තෝබර් 21

කම්කරුවන්ගේ දැවැන්ත විරෝධය මධ්‍යයේ, පසුගිය අඟහරුවාදා, ඵලදායීතාවට ගැටගැසුනු නව වැටුප් ගිවිසුමකට වතු වෘත්තීය සමිති අත්සන් තැබූහ. කලින් පැවති සාමූහික ගිවිසුම අවසන් වී මාස 18 ක් කල් ඇදීමෙන් පසු අත්සන් කෙරුනු මෙම නව ගිවිසුම වනාහි, සමාගම්කරුවන්, සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව සහ සමිති නිලධරය එක්ව, කම්කරුවන්ට එරෙහිව කරන ලද කුමන්ත‍්‍රනයක ප‍්‍රතිඵලයකි.

කෝපයට පත් දහස් ගනන් කම්කරුවෝ නව ගිවිසුමට විරෝධය පල කරමින් ඊට පසුදිනම සටනට පිලිපන්හ. බොගවන්තලාවේ කොටියාගල, මස්කෙලියේ අප්කොට් අවට පිහිටි ස්ටොක්හෝම්, ස්ට‍්‍රැත්ස්පී සහ ලැඩ්බ්‍රෝක්, බන්ඩාරවෙල ඩයරබා සහ බලංගොඩ රත්වත්ත යන වතු ඇතුලු වතු ගනනාවක කම්කරුවෝ උදය වරුවේ වැඩ නවතා, ගිවිසුම ඉරා දමන ලෙසත් රුපියල් දහසක දෛනික වැටුපක් ලබා දෙන ලෙසත් ඉල්ලමින් විරෝධතාවයේ යෙදී ගත්හ. සමිති නිලධරයේ ද්‍රෝහී කි‍්‍රයා කලාපයට විරෝධය පල කරමින් හා සමිති වලට සාමාජික මුදල් අයකර ගැනීම නතර කරන ලෙස ඉල්ලමින් ඔවුහු හඬ නැගූහ. ඊයේ දිනයේ ද වතුකරයේ මෙම විරෝධතා පැතිරෙමින් පැවතුනි.

මීට අමතරව, වතු කම්කරුවන්ගේ දරුවන් ගුරුවරුන් ලෙස පුහුනු කෙරෙන කොටගල, ශ්‍රී පාද අධ්‍යාපන පීඨයේ සිසුහු තම දෙමාපියන්ගේ ඉල්ලීම වන රුපියල් දහසක දෛනික වැටුප ලබාදෙන ලෙස ඉල්ලමින් පසුගිය සඳුදා හැටන්-නුවරඑලිය මාර්ගයේ පීඨ හන්දියේදී උද්ඝෝෂනයක යෙදී ගත්හ.

මෙම විරෝධතාවන් මර්දනය කිරීම සඳහා සමාගම්, ආන්ඩුව සහ සමිති විවිධ පියවර අනුගමනය කරමින් සිටිති. ගිවිසුම අත්සන් කල දිනයේ ම නුවරඑලිය ලබුකැලේ වත්තේ විරෝධතාවයේ යෙදුනු කම්කරුවන් 25 දෙනෙකු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන අධිකරනයට ඉදිරිපත්කොට ඇත්තේ එම අධිකරනයේම විනිසුරුවරයාගේ රාජකාරි ගමනට බාධා කරමින් මහා මාර්ගය හරස් කරගෙන සිටීමේ චෝදනා එල්ල කරමිනි. ඊට පසු දිනයේ අප්කොට් හි සාමිමලේ මහා මාර්ගයෙහි විරෝධතාවයේ යෙදී සිටි ස්ට‍්‍රැත්ස්පී වත්තේ කම්කරුවන් පොලීසිය විසින් තර්ජනය කොට පලවාහැර ඇත. “දැන් ගිවිසුම අත්සන් කරල ඉවර නිසා වැඩට පලයල්ලා” කියමින් පොලීසිය ඔවුනට තර්ජනය කල බව කම්කරුවෝ පවසති.

වත්මන් ආන්ඩුවේ ඇමතිවරයෙකු වන පී. දිගම්බරම් නායකත්වය දෙන ජාතික කම්කරු සංගමයේ (එන්යූඩබ්ලිව්) ප‍්‍රාදේශීය නායකයෙකු වන පී. නගුලේශ්වරන්, මීට සති තුනකට පෙර මස්කෙලිය නගරයේ පැවති කම්කරු විරෝධතාවයක් මැඩලීම සඳහා අධිකරනය හරහා පොලීසිය මෙහෙය වීය. පසුගිය දා ඩීසයිඩ් වත්තේ කම්කරුවන් ඒ පිලිබඳව ඔහුගෙන් ප‍්‍රශ්න කලවිට තමා එය සිදුකල බව නගුලේශ්වරන් උජාරුවෙන් පවසා ඇත්තේ කම්කරුවන් මෙල්ල කරදීමේ කාර්මික පොලිස්කාරකම එලිපිටම කිරීමේ සූදානම ප‍්‍රකාශ කරමිනි.

කෙසේ නමුදු, රුපියල් දහසක දෛනික වැටුපක් ඉල්ලමින් පසුගිය 26 දා සිට විරෝධතාවයේ යෙදී සිටින වතු කම්කරුවන්ට නව ගිවිසුමේ ඇතුලත් වගන්ති මොනවාදැයි සමිති නිලධරය විසින් තවමත් හෙලිදරව් කොට නොමැත.

මාධ්‍ය තුලින් කාන්දුවෙන තොරතුරු වලට අනුව නව ගිවිසුමෙන් කම්කරුවෙකුගේ දෛනික වැටුප වැඩි වන්නේ රුපියල් 110 කින් පමනි. ඒ අනුව නව වැටුප රුපියල් 730 කි. මෙහිදී මූලික වැටුප රුපියල් 450 සිට රුපියල් 500 දක්වා වැඩිවෙයි. මිල අනුව ගෙවන කොටස (පීඑස්එස්) රුපියල් 30 එලෙසම පවතින අතර පැමිනීමේ දීමනාව රුපියල් 140 සිට රුපියල් 60 දක්වා අඩු කෙරෙයි. මෙම පැමිනීමේ දීමනාව ලබා ගැනීම සඳහා කම්කරුවෙකු මාසයේ වැඩ දින 25 න් සියයට 75ක් වැඩ කල යුතු ය.

මේ අතර රුපියල් 140 ක ඵලදායිතාව දිරිගැන්වීමේ දීමනාවක් අලුතෙන් හඳුන්වා දී ඇත. මෙය ලබාගත හැක්කේ එක් එක් වත්තේ දලූ ඉලක්කයන් සපුරාලුවහොත් පමනි. මෙම දලු ඉලක්කයන් එක් එක් වත්තට වෙනස් වන නමුදු, අදාල වත්තේ සමිති නායකයන්ගේ එකඟතාව මත ඉලක්කයන් ඉහල දැමිය හැකිබව ලංකා කම්කරු කොන්ග‍්‍රසයේ (සීඩබ්ලව්සී) සභාපති මුත්තු ශිවලිංගම් ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) පැවසුවේය.

මෙම කොන්දේසියේ රුදුරුබව වහාම ප‍්‍රකාශයට පත් කෙරෙමින් ආගරපතන හෙන්ෆෝල්ඩ් වත්තේ හෙන්ෆෝල්ඩ් කොටසේ දලු ඉලක්කය කිලෝග‍්‍රෑම් 16 සිට 18 දක්වා ද අග‍්‍රා කොටසේ ඉලක්කය කිලෝග‍්‍රෑම් 16 සිට 22 දක්වාද ඊයේ සිට ඉහල නංවා ඇත. නිසැකවම අනෙක් වතු වල සමිති නායකයන් කලමනාකාරිත්වය සමග එක්ව මෙම ඉලක්කයන් කොඳු කැඩෙන මට්ටමට ඉහල දමනු ඇත.

සමාජවාදී සමානතා පක්ෂය (සසප), ලෝසවෙඅ හරහා පෙන්වාදුන් පරිදි මෙම ඵලදායීතාව සූත‍්‍රය අඩංගු ගිවිසුම වැටුප් වැඩි කිරීමේ ගිවිසුමක් නොව වැටුප් කැපීමේ ගිවිසුමක් බව එය අත්සන් කොට දිනක් ඇතුලත සනාථ වී ඇත.

ගිවිසුමේ අඩංගු කරුනු හෙලිවීමත් එහි රුදුරු කොන්දේසි කි‍්‍රයාත්මක වීමත් සමග සමිති නිලධරය කෙරෙහි කම්කරුවන්ගේ කෝපය විවිධාකාරයෙන් ප‍්‍රකාශයට පත් වෙමින් පවතී.

ඊයේ ශක්ති ටීවී රාත්‍රී පුවත් තුලින්, ගිවිසුමට එරෙහිව නෝර්වුඩ් හි එල්බඩ වතුයායේ පැවති විරෝධතාවක දර්ශන සහ කම්කරුවන් කීප දෙනෙකුගේ අදහස් විකාශය විය. කම්කරුවන් විසින් සීඩබ්ලිව්සී සමිති කාර්යාලයේ දැන්වීම් පුවරුව කලු කොඩියකින් වසා දමා ඒ අවට ප‍්‍රදේශ පුරා කලු කොඩි එල්ලා තිබුනි.

කම්කරුවන් කෝපයෙන් කියා සිටියේ වෘත්තීය සමිති වලට තම සාමාජික මුදල් අයකර ගැනීම නතර කරන ලෙස ඉල්ලා වතු කලමනාකාරිත්වයට ලිපි භාර දී විරෝධතාවයට පැමිනි බවයි.

එම වත්තේ කම්කරු කාන්තාවක් මෙසේ පැවසුවාය: “දීපාවලියට ගියසැරේට වඩා වැඩි අත්තිකාරමක් දීල අපේ සටන කඩන්න පාලකයොයි සමිතියි වැඩ කරනව. දීපාවලී එන්නෙ අවුරුද්දට එක සැරයයි. රුපියල් 1000 කියන්නෙ අපිට දිනපතා අවශ්‍ය මුදල. අපි උන්ගෙ අත්තිකාරමට අපේ සටන පාවල දෙන්නෙ නෑ.”

බන්ඩාරවෙල ඩයරබා වත්තේ කම්කරු කාන්තාවක් කෝපයෙන් කියා සිටියේ තම ඡන්දයෙන් ඇමති ධුර සහ මන්තී‍්‍ර ධුර ලබාගත් සමිති නායකයන් යලි ඡන්දය ඉල්ලා පැමිනිය හොත් සෙරෙප්පුවෙන් පහරදී පලවා හරින බවයි.

ලෝසවෙඅ වාර්තාකරුවෝ මස්කෙලිය ප‍්‍රදේශයේ වතු කීපයක කම්කරුවන් මුන ගැසී ගිවිසුම පිලිබඳව ඔවුන්ගේ අදහස් විමසූහ.

“මම සීඩබ්ලිව්සී යෙ සාමාජිකයෙක්. සීඩබ්ලිව්සී ය ඇතුලු ඔක්කොම සමිති අපව පාවල දුන්න. මේ යූනියන්වල ඉන්න එකේ කිසිම තේරුමක් නෑ. අද උදේ මම වත්තෙ ඔෆිස් එකට ගිහිල්ල මීට පස්සෙ මගේ පඩියෙන් යූනියන් එකේ සාමාජිකත්වයට කපන්න එපා කියල ලියුමක් දුන්න. අනෙක් අයත් මං වගේ ලියුම් දෙනව කියල කිව්ව.” ඩීසයිඩ් වත්තේ කම්කරුවෙකු පැවසුවේය.

වෘත්තීය සමිති පිලිබඳව ඔහුගේ අත්දැකීම් කටුක බවත් කම්කරුවන් සටනට පිවිසි සෑම අවස්ථාවකම කම්කරුවන් නිෂ්කි‍්‍රය කිරීමට ඔවුන් කි‍්‍රයාකල බවත් හෙතෙම පැවසුවේය. “අපි සටනට ගිය හැම වෙලාවෙම යූනියන්කාරයො කලේ අපිව ෂේප් කරන එක. දැන් ඒ තත්වෙත් වෙනස් වෙලා. දැන් එවුන් එලිපිට ම වැඩ කරන්නෙ අපිට විරුද්ධව කොම්පැනිකාරයො වෙනුවෙන්.”

තම වැටුප් අරගලය ඉදිරියටම ගෙන යායුතු බවත් සමිති සමග එය කිසිසේත් කල නොහැකි බවත් ඔහු තවදුරටත් කීවේය.“සසප කියන විදියෙ අලුත් සංවිධාන ඕන කියල මම පිලිගන්නව. සසප යෝජනා කරන කම්කරු කි‍්‍රයාකරී කමිටු ගැන මට තවදුර සාකච්ඡා කරන්න ඕන.”

ග්ලෙනුජී වත්තේ කම්කරු කාන්තාවක් පැවසුවේ: “යූනියන්කාරයොන්ට කවුද කිව්වෙ රුපියල් 730 ට එකඟ වෙන්න කියල. අපි කිව්වෙත් නෑ. අපෙන් ඇහුවෙත් නෑ. මේක පුදුම වැඩක්. අපේ පඩිය තීන්දු කරන්නෙ කොම්පැනියයි, සමිතියි, ආන්ඩුවයි. අපි මේ පඩිය පිලිගන්නෙ නෑ. අපේ පඩිය අපිට තීන්දු කරන්න පුලුවන් අපේම සංවිධානයක් අපට අවශ්‍යයි.”

වත්මන් ආන්ඩුව බලයට ගෙන ආවහොත් වඩා යහපත් ජීවිතයක් ගතකලහැකි බව පවසමින් දිගම්බරම් සහ යූඑන්පී සමිති නායක රාධාකි‍්‍රෂ්නන් ඇතුලු නඩය තමාගේ ඡන්දය බොරුකියා ඩැහැගත් බවත්, වතු කම්කරුවන් පාතාලයට හෙලා ඔවුන්ගේ පිහිටෙන් ඇමතිකම් ලබාගත් මෙම නඩය සුරසැප විඳින බවත් ඇය පැවසුවාය.

එම වත්තේ තවත් කම්කරු කාන්තාවක් කියා සිටියේ දීපාවලී උත්සවය සඳහා වෙනදා ලබා දෙන අත්තිකාරම් මුදල පවා මෙවර දෙනු ලබන්නේ සමාගමෙන් ලබා දෙන පොලී සහිත නයක් ලෙස බවයි. “සමාගම දැන් වැඩ කරන්නෙ බැංකුවක් වගේ. නය ගන්න ගිවිසුමට වත්තෙන්ම සාක්ෂිකාරයො දෙන්නෙක් ඉල්ලනව. මේව තමයි මේ ආන්ඩුවෙන් අපිට දෙනව කිව්ව සහන වෙනුවට දෙන්නෙ.”

Share this article: