වතු කම්කරුවෝ වෘත්තිය සමිති වල වැටුප් ගිවිසුමට විරෝධය පාති

Sri Lankan plantation workers protest union wage deal

ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි, 2016 ඔක්තෝබර් 24

පසුගිය අඟහරුවාදා වෘත්තිය සමිති හා වතු සමාගම අතර ඇතිකරගත් සාමූහික ගිවිසුමට එරෙහි තම කෝපය ප‍්‍රකාශ කරමින් වතු කම්කරුවෝ රට පුරා විරෝධතා පැවැත්වූහ. ආන්ඩුවේ අනුමැතිය ලද මේ ගිවිසුම මගින්, නොසැලකිය හැකි තරමේ වැටුප් වැඩිවීමක් වෙනුවෙන් වතු කම්කරුවන් ඉදිරි අවුරුදු දෙකක කාලයකට තවත් වැඩි වැඩ කන්දරාවකට සිර කර තබයි. ගිවිසුම පිලිබඳ සම්පූර්න විස්තර තවමත් කම්කරුවන්ට හෙලිකර නැත.

පසුගිය සැප්තැම්බර් 26දා සිට රුපියල් 1000ක දෛනික වැටුපක්, හෙවත් රුපියල් 380ක වැටුප් වැඩි වීමක් ඉල්ලා දස දහස් ගනනක් වතු කම්කරුවෝ, විරෝධතා, පිකට් හා වැඩ වර්ජන වල නිරත වූහ.

වතු ගනනාවක කම්කරුවෝ, පසුගිය අඟහරුවාදා, ආන්ඩුවේ හා හාම්පුතුන්ගේ යෝජනාව ප‍්‍රතික්ෂේප කරන ලෙස වෘත්තිය සමිති වලට බල කරමින් උද්ඝෝෂනය කලහ. හැටන් ආසන්නයේ ඇති අප්කොට් හි ස්ටොක්හෝම්, ස්ට‍්‍රැත්ස්පි හා ලැඞ්බ්රොක් යන වතුවල පසුදින ද උද්ඝෝෂන ක්‍රියාත්මක විය.

“නව සාමුහික ගිවිසුම ප‍්‍රතික්ෂේප කරවූ! ගිවිසුම ඉරා දමවූ! රුපියල් දාහක දෛනික වැටුපක් ලබා දියවූ! වෘත්තීය සමිති වලට සාමාජික මුදල් නොගෙවනු!” යනුවෙන් සටන් පාඨ කියමින් වතු කම්කරුවන් මහා මාර්ග අවහිර කලහ. සමහර වතු වල කම්කරුවෝ තම විරෝධය ප‍්‍රකාශ කිරීමට කලු කොඩි ඔසවා තැබූහ.

නව ගිවිසුම යටතේ දෛනික වැටුප රුපියල් 730ක් දක්වා රු. 110 කින් වැඩි කරනු ඇත. නමුත් මෙයද ස්ථාවර වැඩි වීමක් නොවේ, සතියේ පලමු දින තුනේ මූලික වැටුප වැඩි කර ඇත්තේ රු. 50 කින් එනම් රු.450 සිට 500 දක්වා පමනි. කලින් පැවති වැටුපේ අමතර භාගය රු. 30ක් ලෙස එලෙසම පවතින අතර, එය පවතින තේ මිල මත පදනම් වනු ඇත. පැමිනීමේ දීමනාව දිනකට රු. 140 සිට 60 දක්වා අඩුකර ඇති අතර එය ලැබෙන්නේ දින 25ක මාසික වැඩකරන දින වලින් 75% පැමිනියහොත් පමනි.

රු. 140ක නව පලදායිතා දිරි-දීමනාවක්ද හඳුන්වා දී ඇත. මෙය ගෙවනු ලබන්නේ වතු පාලනය විසින් පනවන නිෂ්පාදන ඉලක්ක සපුරාලන කම්කරුවන්ට පමනි. වර්තමාන දලු කැඩීමේ නිෂ්පාදන සීඝ‍්‍රතා, වතු සමාගම අනුව දිනකට දලු කිලෝග‍්‍රෑම් 13 සිට 18 දක්වා වෙනස් වේ.

මෙම ගිවිසුම අත්සන් තැබු ලංකා කම්කරු කොන්ග‍්‍රසය (සීඩබ්ලිව්සී), පාලක එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ලංකා ජාතික වතු කම්කරු සංගමය (එල්ජේඊඩබ්ලිව්යූ) සහ ලංකා සමසමාජ පක්ෂයේ හා ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ එකතුවෙන් අටවාගෙන ඇති එක්සත් වතු වෘත්තිය සමිති මධ්‍යස්ථානය (ජේපීටීයූසී) යන වෘත්තිය සමිති මගිනි. ජාතික කම්කරු සංගමය (එන්යූඩබ්ලිව්), ප‍්‍රජාතන්ත‍්‍රවාදී කම්කරු කොන්ග‍්‍රසය (ඩීඩබ්ලිව්සී), හා කඳුරට ජනතා පෙරමුන (යූපීඑෆ්) ගිවිසුමට සහයෝගය දීමට එකඟ වී ඇත.

එන්යූඩබ්ලිව්, ඩීඩබ්ලිව්සී, හා යූපීඑෆ් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවේ හවුල්කරුවෝ වන අතර, ඒවායේ නායකයෝ ආන්ඩුවේ ඇමතිකම් ද දරති. සීඩබ්ලිව්සී දශක ගනනාවක් පුරා විවිධ ධනපති ආන්ඩුවල පාර්ශවකරුවෙක් ලෙස සිටි අතර වර්තමාන ආන්ඩුවට ද ඇතුලුවීමට වරින්වර උත්සහ දරා ඇත. පලදායිතාව ඉහල දැමීමේ තැතට වෘත්තිය සමිති සහය දෙන්නේදැයි ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) සීඩබ්ලිව්සී සභාපති මුත්තු සිවලින්ගම්ගෙන් විමසූ විට, ඔහු කියා සිටියේ, මෙම පලදායිතා ඉලක්ක ඉවත්කල හැක්කේ සෑම වත්තකම වෘත්තිය සමිති ශාඛා නායකයින්ගේ එකඟත්වයෙන් බවයි. වෙනත් වචනවලින් කිවහොත් වෘත්තිය සමිති මගින් මේ ඉලක්ක කම්කරුවන් මත පටවා ඊට එරෙහි සියලු විරෝධයන් යටපත් කිරීමට සැරසෙන බවයි. ආගරපතන ප‍්‍රදේශයේ සමහර වතු වලට සේවක විරෝධය හමුවේ දලු කැඩීමේ ඉලක්ක දිනකට කිලෝ ග්රෑම් 4 කින් අඩු කිරීමට දැනටමත් සිදුවී ඇත.

ආන්ඩුවේ ඇමතිවරුන් මෙම ගිවිසුම සකස් කිරීමට කෙලින්ම එක්ව සිටීම වෘත්තිය සමිති නිලධරයේ හා වතු සමාගම් වල ඉමහත් ප්‍රීතියට හේතු විය.

කම්කරු හා වෘත්තිය සමිති සම්බන්ධතා ඇමති ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කලේ, රු. 1000 දෛනික වැටුප හෝ කලින් පැවති ගිවිසුම බල රහිත වූ පසුගිය මාස 18ක් කාලය සඳහා හිඟ මුදලක් ලෙස මේ ලබා දුන් වැටුප් වැඩි වීම ලබාදීම හෝ කල නොහැක්කේ, තේ කර්මාන්තය මුහුන දී ඇති වර්තමාන අර්බුදය නිසා බවය. මෙයට සියලු වතු වෘත්තිය සමිති එකඟ වූ බවද ඔහු තව දුරටත් පැවසුවේය.

පලදායිතාව මත පදනම් වූ වැටුප් සූත‍්‍රය “ඉතාම වැදගත් පියවරක් බව” වැවිලිකර්මාන්ත සංගමය නිකුත් කල නිවේදනයක දැක්වේ. එනමුත්, එය අනතුරු ඇඟවූයේ, “මෙම ගිවිසුම එහි අවසාන ස්වරූපයෙන් ගත් කල තාමත් තේ කර්මාන්තය බරපතල ලෙස අනතුරේ හෙලන එකක්” බවයි, නිෂ්පාදන පලදායිතාවේ වැඩිවීමක් ඇති නොවූවොත් මේ ගනුදෙනුව පවත්වාගෙන යා නොහැකි වනු ඇත.

මෙහි අර්ථය වනුයේ වැඩ වේගවත් කිරීමටත්, තවත් රැකියා කප්පාදු කිරීමට හා වතු කම්කරුවන් කලින් දිනාගත් සුභසාදන ස්වල්පයද විනාශ කර දැමීමට වැවිලි සංගමය සියලු උත්සාහයන් දරනු ඇති බවයි.

2015 මාර්තු සිට වැවිලි සංගමය “ආදායම් බෙදා ගැනීමේ ක‍්‍රමවේදයක්” හඳුන්වාදෙන ලෙස බල කරයි. මේ යටතේ, කම්කරු පවුල් වලට තේ පඳුරු 1000 - 1200 අතර ප‍්‍රමානයක් පවරා, ඒවායින් ලැබෙන ආදායමෙන් කොටසක්, කඩන දලු ප‍්‍රමානය අනුව ගෙවනු ඇත. මේ ප‍්‍රතිගාමී ක‍්‍රමය මගින්, වතු කම්කරුවන් දිලිඳු අඳ ගොවීන්ගේ තත්වයට පහත හෙලනු ඇත.

ශ‍්‍රී ලංකාව ඇතුලු සියලු තේ හා රබර් නිෂ්පාදනය කරන රටවල්, හැකිලෙන වෙලඳපල හා නිරතුරුව පහල වැටෙන භාන්ඩ මිල පිලිබඳ අර්බුදයට මුහුනපා සිටී. 2014 සිට ලෝක වෙලඳපොලේ මෙරට තේ අපනයනයේ කොටස සියයට 23 සිට 17 දක්වා පහල වැටී ඇත. මිල පහත වැටීම, මැදපෙරදිග කලාපයේ යුද්ධ සහ තේ නිෂ්පාදනය කරන ඉන්දියාව හා කෙන්යාව වැනි අනෙකුත් රටවල් වලින් එල්ලවන තරඟය, මේ කඩාවැටීමට බලපා තිබේ.

ලෝසවෙඅ සමග කතාකල බොහෝ වතු කම්කරුවෝ කෝපයෙන් යුතුව රජය හා වෘත්තිය සමිති හෙලාදුටු අතර මේ නව ගිවිසුම ප‍්‍රතික්ෂේප කලහ.

සීඩබ්ලිව්සී සාමාජිකයෙක් වන මස්කෙලිය ඩීසයිඩ් වත්තේ කම්කරුවෙක් පැවසුවේ: “ඔක්කොම වෘත්තිය සමිති අපිව පාවා දීල තියෙනව. සමිතියට මගේ සාමාජික මුදල් නවත්තන්න කියල මම අද උදේ ලියුමක් දුන්න. සමාගම එක්ක එකතුවෙලා අපිට විරුද්ධව වැඩකරන සමිති වලට මුදල් දීමෙන් ඇති වැඩක් නැහැ.” ඉදිරි දින කීපය තුල තවත් බොහෝ කම්කරුවන් මෙයම කරනු ඇති බව කී ඔහු, වෘත්තිය සමිති පිලිබඳ තම අත්දැකීම ඉතා අයහපත් එකක් බවද කීය. “අපිට අපේ ඉල්ලීම් ඉදිරියට ගෙන යන්න ඕනේ, නමුත් අපේ ඉල්ලීම් සඳහා සටන් වැදීමට වෘත්තිය සමිති වෙනුවට නව සංවිධාන ව්‍යූහයන් අවශ්‍ය වෙලා තියෙනව.”

තවත් සීඩබ්ලිව්සී සාමාජිකාවක් හා ග්ලෙනුගි වත්තේ කම්කරු කාන්තාවක් පැවසුවේ ගිවිසුම අත්සන් කිරීමට කලින් වෘත්තිය සමිති කම්කරුවන්ගෙන් කරුනු විමසිය යුතුව තිබුනු බවයි. “ඔවුන් ඒක නොකර, අපේ කැමැත්තක් නැතිව රු. 730 වැටුපට එකඟ වුනා.”

සීඩබ්ලිව්සී නායකයින් මෙරට ආන්ඩුවල සිටියත්, කම්කරුවන්ගේ සුබ සිද්ධියට ඒවා කිසිවක් කර නොමැති බවත් ඇය කීවාය. “සමාගම්, ආන්ඩුව හා සමිති අපිට විරුද්ධව කුමන්ත‍්‍රනය කරලා, සොච්චමකට අපේ කර උඩ මහා වැඩ කන්දරාවක් පටවන්නයි යන්නේ. තිබුන සෑම ආන්ඩුවක්ම මේ විනාශයට වගකියන්න ඕනෑ.”

සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව කම්කරුවන්ගේ වැටුප් ඉල්ලීම් නොසලකා හැරීම ගැන චෝදනා කල ඇය, මේ අවුරුද්දේ දීපාවලි උත්සව අත්තිකාරම ලබා දුන්නේ පොලිය ගෙවිය යුතු නයක් ලෙස බවද පැවසුවාය. “අපි මේ ආන්ඩුවට චන්දය දුන්නේ, එමගින් හොඳ අනාගතයක් හැදෙයි කියල වෘත්තිය සමිති කරපු පෙරැත්තය නිසා”.

ආන්ඩුව, වතු සමාගම් හා වෘත්තිය සමිති තේ කර්මාන්තයේ ගැඹුරුවන මූල්‍ය අර්බුදය විසඳා ගැනීමට තැත් කරන්නේ දැනටමත් ජීවන කොන්දේසි වල දරුනු ඛාදනයකට ලක්වී ඇති වතු කම්කරුවන් සූරාකෑම තවත් ඉහල නැංවීම මගිනි. මේ ප‍්‍රහාරය ද සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව මගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධානයන්ට අනුව ක්‍රියාත්මක කරමින් සිටින කප්පාදු වැඩපිලිවෙලේ කොටසකි. මෙම අර්බුදය පුරාම, සමාජවාදී සමානතා පක්ෂය (සසප) පැහැදිලි කල අයුරින්, සියලු වතු කම්කරුවන් තම වැටුප්, රැකියා, ජීවන තත්වය හා මූලික අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට නම්, වෘත්තිය සමිති වලින් බිඳී සෑම වත්තකම ක්‍රියාකාරී කමිටු පිහිටුවාගත යුතුය.

මේ අරගලය, දැන් ප‍්‍රහාරයට ලක්වෙමින් සිටින අනෙකුත් කම්කරුවන් වෙත ද හැරවිය යුතුය. සියලු මහා වතු හා ප‍්‍රධාන කර්මාන්ත කම්කරු පන්තියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය යටතට ගන්නාවූ, සමාජවාදී වැඩපිලිවෙලක් මත පදනම්වූ කම්කරු ගොවි ආන්ඩුවක් සඳහා සටනක් බවට එය පත්විය යුතුය. මේ සඳහා විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීම අවශ්‍යවේ. මේ වැඩපිලිවෙල යටතේ ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට වතු කීපයකම කම්කරුවන් සහයෝගය පලකර තිබේ. ඔවුන්ගෙන් අප ඉල්ලා සිටින්නේ, සසප ප‍්‍රතිපත්ති හා වතුකරයේ අර්බුද ගැන කර ඇති විශ්ලේෂන අධ්‍යයනය කර එය හා එක්වන ලෙසයි.

Share this article: