ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ මැතිවරන ව්‍යාපාරය ෆැසිස්ට්වාදී හැරීමක් ගනියි

Donald Trump’s campaign takes a fascistic turn

පැට්‍රික් මාටින් විසිනි, 2016 ඔක්තෝබර් 14

ෆ්ලොරිඩාවේ වෙස්ට් පාම් බීච්හි ප‍්‍රේක්ෂකයින් දහස් ගනනක් ඉදිරියේ ට‍්‍රම්ප් කල කථාව, රිපබ්ලිකානු අපේක්ෂකයා සිය උද්ඝෝෂනය වඩාත් ෆැසිස්ට්වාදී දිශාවකට යොමු කර ඇති බවට නිදසුනකි. තමා ඇමරිකාවේ ගැලවුම්කරුවා ලෙසත් නිර්දය දේශපාලන හා ආර්ථික සංස්ථාපිතයේ ගොදුරක් වී ඇති බවත් ඔහු පැවසීය. ජනතාව අතර පවතින ගැඹුරු සමාජ අසන්තෘප්තිය, සංක‍්‍රමන විරෝධී හා විදේශිකයින් නුරුස්නාකම, මිලිටරිවාදය හා අත්තනෝමතික පාලනයේ ක‍්‍රියාමාර්ගය වන “පලමුව ඇමරිකාව” සමග බද්ධ කිරීමට ට‍්‍රම්ප් උත්සාහ කලේය.

ලිංඟික අඩන්තේට්ටම් කිරීම පිලිබඳ අලුත්ම චෝදනාවන්ට ප‍්‍රතිචාර දක්වමින් ඔහු, ජාත්‍යන්තර බැංකුකරුවන්, ව්‍යාපාරික පාලනය සහිත මාධ්‍යයේ හා ඔහු ජනාධිපති වුනොත්, තමන්ගේ අවශ්‍ය තාවන්ට වල කැපෙනු ඇතැයි බියපත්ව සිටින දේශපාලන සංස්ථාපිතය තමා ඉලක්ක කරන බව පැවසීය.

එවන් බලගතු සතුරන්ට විරුද්ධව, බාධක වලට මුහුන දීමට කැමති හා නිර්දය අරගලයක් සඳහා අවශ්‍ය කැපකිරීම් කල හැකි තමන්ගේම පුද්ගලාරෝපනය, ඊට විකල්පයක් ලෙස ට‍්‍රම්ප් ඉදිරිපත් කලේය. නොවැම්බර් 8 මැතිවරනය, හිලරි ක්ලින්ටන්ට සහයෝගය දැක්වීමට කැපවන බලගතු කොටස්වල අවශ්‍යතා පරාජය කිරීමට, ඇමරිකානු ජනතාවට ලැබෙන අවසන් අවස්ථාව වනු ඇති බවට ඔහු අනතුරු ඇඟවීය.

ට‍්‍රම්ප්ගේ කථාවෙහි පැහැදිලි ඇඟවුම, ඔහු මැතිවරනය පරාජය වුවහොත්, දේශපාලන සංස්ථාපිතයට එරෙහි අරගලය ගෙන යනු ඇත්තේ වෙනත් මාධ්‍ය හරහා බවයි, එනම්, බලය හා ප‍්‍රචන්ඩත්වයයි.

බොහෝකොටම බෙරිහන්දීම හා එකිනෙකට අසම්බන්ධිත ගොතන ලද කථා වලින් සමන්විත ට‍්‍රම්ප්ගේ අනෙකුත් කථා මෙන් නොව, සින්සිනාටියේ පැවති ඊට නොඅඩු ගෝරනාඩුවකින් පැය ගනනාවකට පසුව පැවැත්වූ වෙස්ට් පාම් බීච් කථාව, මනාව සූදානම් කල එකක් විය. ටෙලිවිෂන් තිරයක පෙනී සිටිමින් කල ට‍්‍රම්ප්ගේ කථාව තර්කානුකූලව ඉදිරිපත් කෙරුනි.

එම කථාව ට‍්‍රම්ප් මැතිවරන ව්‍යාපාරයේ සභාපති ස්ටෙෆන් බැනන් විසින් රචිත එකක් බව නිසැකය. ඔහු, ඊනියා අල්ට‍්‍රා-රයිට් හෙවත් අන්ත දකුන ව්‍යාපාරයේ සුදු ජාතිකවාදීන් හා නව නාසි ප‍්‍රවනතා නිරන්තරයෙන් ගැවසෙන, බ්රිට්බාර්ට් ඩොට්කොම් වෙබ් අඩවියේ ප‍්‍රධාන විධායකයා වන අතර ඉන් නිවාඩු ගෙන ට‍්‍රම්ප්ගේ මැතිවරන කටයුතු වලට උදව් කරයි.

කථාවේ ෆැසිස්ට් ලක්ෂන, “වැඩකරන ජනතාවගේ ඡන්ද අයිතිය උදුරා ගැනීම” ගැන ඔහු සුවිශේෂීව කථාකරමින්, සැබෑ සමාජ කම්කටොලු වලට ඇමතීමත්, ඊට වර්ගවාදී, ස්වෝත්තමවාදී හා ආඥාදායක විසඳුම් ඉදිරිපත් කිරීමත්, එකට පැටලවීම තුලින් ප‍්‍රකාශයට පත්වේ. ඊට අන්තර්ගත වන්නේ හිලරි ක්ලින්ටන් සිරගත කිරීමේ ඉල්ලීම පමනක් නොවේ. “සමහර ජනකන්ඩායම්” ඡන්දය දීමෙන් වැලැක්වීම මඟින් “ඡන්ද මගඩි” සිදුකිරීමට විරුද්ධව මැදිහත්වන ලෙස ඔහු තම ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.

“අපගේ කම්කරු පන්තිය කොල්ලකනු ලැබීම ද අපගේ රටේ ධනය පැහැර ගනිමින් එම මුදල් තමන්ගේ සාක්කුවල රුවාගන්නා දැවැන්ත ව්‍යාපාර හා දේශපාලන සංස්ථා විසින් ගන්නා ආර්ථික තීන්දු ගැන වගකිවයුතු ගෝලීය බල ව්‍යූහය” ඔහුගේ හෙලා දැකීමට ලක් විය.

“බලන්න, මේ දූෂිත සංස්ථාපිතය, මිචිගන්හි (ප‍්‍රාන්තයේ) ඩිට්‍රොයිට් හා ෆ්ලින්ට් වැනි නගර වලටත්, පෙන්සිල්වේනියාවේ, ඔහායෝ, උතුරු කැරොලයිනා හා අපගේ රට පුරාම ගම්බද නගර වලටත් සිදු කර ඇති දේ, ඔවුන් මේ නගර පාලු කර තිබේ. මිනිසුන්ගේ රැකියා පැහැරගෙන ධනය තමන්ගේ සාක්කු වලට දමාගෙන ඇත.”

මේ සතිය තුල විකිලීක්ස් විසින් ප‍්‍රසිද්ධියට පත් කල ක්ලින්ටන් මැතිවරන ව්‍යාපාරයේ අභ්‍යන්තර විද්‍යුත් තැපෑල ගැන ට‍්‍රම්ප් පැවසුවේ, “හිලරි ක්ලින්ටන්, මේ ගෝලීය මූල්‍ය බලවතුන් තර කිරීම පිනිස ඇමරිකාවේ ස්වෛරිත්වය විනාශ කල කුමන්ත‍්‍රනයක යෙදී සිටි අතර රහසිගතව ජාත්‍යන්තර බැංකුකරුවන් හමුවී ඇත” යනුවෙනි.

කොන්ග‍්‍රසයේ රිපබ්ලිකානු ප‍්‍රමුඛයෙක් වන කථා නායක පෝල් රයන් 10දා, තමා ඔහු වෙනුවෙන් පෙනී සිටින්නේ හෝ ඔහු ආරක්ෂා කරන්නේ හෝ නැතැයි කියමින් ට‍්‍රම්ප්ගෙන් ප‍්‍රසිද්ධියේ වෙන් වීමෙන් පසුව ඔහු ඊට ප‍්‍රතිචාර දැක්වූයේ, “විලංඟුව මගෙන් ඉවත් කිරීම ඉතා හොඳය, මට දැන් මා කැමති ආකාරයට ඇමරිකාව වෙනුවෙන් සටන් කල හැකිය”, යනුවෙන් පවසමිනි.

වෙස්ට් පාම් බීච් කථාව, ට‍්‍රම්ප්ගේ සිතෙහි පැවති දේ පෙන්නුම් කරයි. ට‍්‍රම්ප්ට සිය ෆැසිස්ට් වර්ගයේ උද්ඝෝෂනය පෙරට ගෙන යාමට ක්ලින්ටන්ගේ මැතිවරන ව්‍යාපාරය තීරනාත්මක ක‍්‍රියාකලාපයක් ඉටු කර තිබේ. ප‍්‍රාථමික මැතිවරන ව්‍යාපාරය තුල සෑන්ඩර්ස්, වෝල් වීදිය ද “කෝටිපතියන්ගේ හා ප‍්‍රකෝටිපතියන්ගේ” බලය හා වරප‍්‍රසාද හෙලා දැකීම තුලින් ට‍්‍රම්ප්ට වඩා විශාල හා උද්යෝගිමත් සෙනඟක් ගොනුකර ගත්තේය.

දේශපාලන සංස්ථාපිතයට හුරු පුරුදු පරිදි, සෑන්ඩර්ස් තරඟයෙන් ඉවත්වී ක්ලින්ටන්ට සහාය දැක්වීමට පටන් ගැනීමත් සමඟ ඩිමොක‍්‍රටික් පක්ෂය, පවතින ක‍්‍රමයේ එකම විරුද්ධවාදියා ලෙස පෙනී සිටීමට ට‍්‍රම්ප්ට හැකිවන කොන්දේසි නිර්මානය කර දුන්නේය. කලින් සෑන්ඩර්ස්ට සහාය ගොනුකර දුන් සමාජ කෝපය තමන් වටා රැලි කර ගැනීමට ට‍්‍රම්ප් උත්සාහ දරයි. සෑන්ඩර්ස්ට වල කැපීම පිනිස දූෂනය, තිරයෙන් පිටුපස උපාමාරු දැමීම් පිලිබඳව සැබවින්ම ට‍්‍රම්ප් යලි යලිත් ක්ලින්ටන් හෙලා දුටුවේය. ක්ලින්ටන් සඳහා තමන් ගෙන යන උද්ඝෝෂනයේදී සෑන්ඩර්ස්මත් ඒවා වසං කිරීමට වැඩ කලේය.

වැඩකරන ජනතාව වෙනුවෙන් සංස්ථාපිතයට විරුද්ධ වන බවට ට‍්‍රම්ප් කරන්නේ වාචාල කථාය. නිශ්චල දේපොල හා කැසිනෝ සූදුවේ බිලියනපතියෙක් ලෙස ඔහු හිමිකම් කියන ඔහුගේ චර්යාව, මූල්‍ය වංශාධිපතිත්වය, ව්‍යාපාරික මාධ්‍යය හා දේශපාලන සංස්ථාපිතය යන ඔහු සාවද්‍ය ලෙස විරුද්ධ වන බව කියන එම බලවේගයන්ගේම ජනාධිපති අපේක්ෂකයා කර තිබේ.

එහෙත් ක්ලින්ටන් මැතිවරන ව්‍යාපාරය, දහස් ගනන් හුයපට වලින්, ව්‍යාපාරික හා වෝල් වීදියේ කතිපයාධිකාරයට ගැටගැසී තිබීමේ කාරනයම නිසා, ට‍්‍රම්ප්ගේ සමාජ වාචාලයට පිලිතුරු දීමට උත්සාහයක්වත් නොදරයි. ක්ලින්ටන් ඉදිරියට යන්නේ බරක් ඔබාමාගේ උරුමක්කාරයා ලෙසය. ඔබාමා ඉතිහාසයට එක්ව ඇත්තේ, වැඩකරන ජනතාව වෙතින් දැවැන්තම ධන සම්භාරයක් මූල්‍යයේ වංශාධිපතීන් වෙත හරවා යැවීමට වගකිවයුත්තා ලෙසය.

අව්‍යාජ සමාජ ප‍්‍රතිසංස්කරන පිලිබඳ හාංකවිසියක්වත් ඉදිරිපත් කිරීමට අකමැති හා අසමත් ඩිමොක‍්‍රටික් පක්ෂය, බෙලහීන හා බංකොලොත් තැනක සිට ට‍්‍රම්ප්ට විරුද්ධව සටන් කිරීමට උත්සාහ කරයි. ක්ලින්ටන්ට එරෙහි ට‍්‍රම්ප්ගේ ප‍්‍රහාර හරියටම ඉලක්කයට වදින්නේ, ඇගේ දූෂනය හා සංස්ථාපිතය තුල ඇගේ ක‍්‍රියාකලාපය ස්වයං ප‍්‍රත්‍යක්ෂයක් නිසාවෙනි. ඇගේ උද්ඝෝෂනය කිසිදු අව්‍යාජ උද්යෝගයක් හෝ සහයෝගයක්, විශේෂයෙන්ම තරුනයින් අතර, ජනනය කිරීමට අසමත්ව ඇත.

ට‍්‍රම්ප් පිලිබඳ අව්‍යාජ හෙලිදරව්වක් වෙනුවට ඩිමොක‍්‍රටිකයින්, ප‍්‍රතිගාමී ස්වභාවයේ දේශපාලන ප‍්‍රකෝපකරනයේ පිහිට පතයි.

විකිලීක්ස් විසින් මුදාහරිමින් තිබෙන, දේශපාලනිකව හානිකර ලිපි ලේඛන තොගයෙන් බියපත්ව ඇති ක්ලින්ටන් ව්‍යාපාරය, මෙම හෙලිදරව්වන් රුසියාව හා එහි ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් උත්පාදනය කරන ලද දේ යයි හෙලාදකිමින් ඒවා පූර්ව භංග කිරීමට උත්සාහ කරයි. ක්ලින්ටන් රිපබ්ලිකන් පක්ෂයේ සමහර කොටස්වල, සියල්ලටත් වඩා, ඉරාක යුද්ධයට හා පුලුල් ලෙස යොදාගත් වධ බන්ධන හා අනෙකුත් අපරාධ සඳහා වගකිවයුතු, ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් පාලනයේ නව කොන්සවේටිව්වාදීන්ගේ සහාය ඉල්ලා සිටියි.

රුසියානු විරෝධී උද්ඝෝෂනය, ශ‍්‍රව්‍ය දෘෂ්‍ය වීඩියෝ පට හා ගොදුරුවූ අයගේ යයි පවසන පාපොච්ඡාරන යොදාගනිමින්, සාවද්‍ය ලිංඟික අපචාර තොගයකට වැරදිකරුවා ලෙස ට‍්‍රම්ප් හංවඩු ගැසීම සමඟ අත්වැල් බැඳගෙන ගමන් ගනියි.

ඩිමොක‍්‍රටිකයින් හා එහි මාධ්‍ය සහචරයින් යොදාගනිමින් ඇත්තේ, 1990 ගනන්වල බිල් ක්ලින්ටන් ධවල මන්ඳිරයෙන් නෙරපා හැරීමට අන්ත දක්ෂිනාංශය විසින් යොදාගන්නා ලද එම උපක‍්‍රමයන්මය. ඔවුහු, වඩ වඩාත් හැඟීම් බර තොරතුරු උපයෝගී කර ගෙන මහජන මතය පාගා දැමීමට උත්සාහ දරති. මෙම උපක‍්‍රම, දේශපාලන සාකච්ඡාව බාල්දු කර මැතිවරනයේ සැබෑ ප‍්‍රශ්න වෙතින් මහජන මතය අවමංගත කරයි.

ට‍්‍රම්ප්ගේ රැස්වීම් වලට හා ඔහුගේ මැතිවරන ව්‍යාපාරයට ජනතාව ඇදී එන්නේ, තමන්ගේ ප‍්‍රශ්න වලට ෆැසිස්ට් වර්ගයේ විසඳුම් ඔවුන් බලාපොරොත්තු වන නිසා යයි නිගමනය කිරීම වැරැද්දකි. ඔහු සහයෝගය රැලිකරගෙන ඇත්තේ, මධ්‍යම පන්තියේ පුලුල් කොටස් තමන්ගේ ප‍්‍රශ්න වලට කිසිදු අදාලත්වයක් නැතැයි සිතන, ඩිමොක‍්‍රටික් පක්ෂයේ අනන්‍යතා දේශපාලනය ද ඇතුලු මාරාන්තික ලෙස කුනුවූ නිල දේශපාලනය නිසාවෙනි. ට‍්‍රම්ප්ගේ උද්ඝෝෂනය, දේශපාලන ප‍්‍රභූව වෙත සාමූහික මිටි ගුලිය වැනීමක් ලෙස දැකගනු ලබයි.

කෙසේ වෙතත් සැබෑ අන්තරායක් පවතී. ක්ලින්ටන් මැතිවරනය දිනුවොත්, ඇය අනුගමනය කරනවා ඇති ප‍්‍රතිපත්ති, ජනතාවගේ පුලුල් කොටස්වල සමාජ අසන්තෝෂය හා කෝපය තවත් වැඩිකරනවා පමනි. ක්ලින්ටන් බලයට පත්වනු ඇත්තේ, ඇමරිකානු ඉතිහාසයේ වඩාත්ම වෛරයට පාත‍්‍රවූ අපේක්ෂකයා ලෙසය.

තවත් ඉතිරිව ඇත්තේ සති තුනක් පමනක් ඇති මැතිවරනය කිසිවක් නොවිසඳනු ඇත. තීරනාත්මක කර්තව්‍යය වන්නේ, වැඩකරන ජනතාවගේ අවශ්‍යතාවන්ට ප‍්‍රගතිශීලී, අව්‍යාජ ප‍්‍රකාශනයක් දිය හැකි දේශපාලන නායකත්වයක් ගොඩනැඟීමයි. ජෙරී වයිට් හා නීල්ස් නිමුත් ජනාධිපති හා උප ජනාධිපති අපේක්ෂකයින් ලෙස තරඟ කරන සමාජවාදී සමානතා පක්ෂයේ මැතිවරන ව්‍යාපාරයෙහි ඇති වැදගත්කම එයයි. මැතිවරනයෙන් ඉක්බිතිව, වැඩෙන ආර්ථික බර හා පුලුල් වන යුද්ධයේ වාතාවරනයට මුහුන දෙන වැඩකරන ජනතාව, පවතින දේශපාලන ව්‍යූහයට පිටින් විසඳුම් සොයනවා ඇත. එම විසඳුම ඉදිරිපත් කල යුත්තේ විප්ලවවාදී සමාජවාදී ව්‍යාපාරය විසිනි.

Share this article: