කාෂ්මීර ප‍්‍රහාරයෙන් පසුව ඇමරිකානු මාධ්‍යය, පකිස්ථානය සමඟ යුද්ධයක දී ඉන්දියාවට සහාය දෙන බවට තර්ජනය කරයි

After Kashmir attack, US media threaten to support India in war with Pakistan

කුමාරන් ඊරා විසිනි, 2016 සැප්තැම්බර් 29

මතභේදයට ලක්ව තිබෙන කාෂ්මීරයේ ඉන්දියානු ඌරි හමුදා මධ්‍යස්ථානයට ඉස්ලාමීය සටන්කරුවන් එල්ල කල ප‍්‍රහාරය සම්බන්ධයෙන් පකිස්ථානයට “දඬුවම්” කරන බවට ඉන්දියාව දිව්රුම් දෙන අතර, ඇමරිකානු මාධ්‍ය, පකිස්ථානයට එරෙහි ඉන්දියානු ආක‍්‍රමනයකට සහාය දක්වන බව ඇඟවුම් කරන සාමූහික ප‍්‍රචාරනයක් ගෙන යනු ලැබේ. එකිනෙකාට එරෙහිව ලේවැකි යුද්ධ හතරක් ගෙන ගොස් ඇති ඉන්දියාව හා පකිස්ථානය න්‍යෂ්ටික අවි දරන රාජ්‍යයන් දෙකක් බව සලකන කල, මෙම උද්ඝෝෂනය අත්‍යන්තයෙන්ම කුරිරු ය.

බදාදා වෝල් ස්ට්‍රීට් ජර්නලය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප‍්‍රතිපත්තිය පිලිබඳව “පකිස්ථානය සම්බන්ධයෙන් මෝදිගේ සංහිඳියාව” නමින් තීරු ලිපියක් පලකලේ ය. එය මෙසේ සඳහන් කලේ ය, “මේ අවස්ථාවේ දී මෝදි සංහිඳියාව ක‍්‍රියාත්මක කරමින් සිටින නමුත් එය දිගටම පවතී ද යන්න සම්බන්ධයෙන් ඉස්ලමාබාදයට විශ්වාසයක් ඇත්තේ නැත. මෝදි පිරිනමන සහයෝගය ප‍්‍රතික්ෂේප කරනු ලැබුවහොත්, පකිස්ථානය මේ වන විටත් වැටී සිටින නීච තත්වයෙන් තවත් පහලට වැටෙනු ඇත.”

ජර්නලය මෙසේ අනතරු ඇඟවී ය, “[පකිස්ථාන] මිලිටරිය දිගටම දේශසීමාව හරහා ආයුධ හා සටන්කරුවන් යවන්නේ නම්, අවශ්‍ය පියවර ගැනීම සඳහා ඉන්දියානු අගමැතිට ප‍්‍රබල යුක්ති යුක්ත භාවයක් ලැබෙනු ඇත.”

ඒ අයුරින් ම, ලොස් ඇන්ජලීස් ටයිම්ස් පත‍්‍රය ද “ඉන්දියාවට ලෝකයේ විශාලම හමුදාවන්ගෙන් එකක් ඇත, එය ප‍්‍රයෝජනයට නො ගන්නේ මන්ද?” යන ශීර්ෂ පාඨයෙන් යුක්තව ලිපියක් පල කලේ ය. “ලෝක බලවතෙක් වීමේ අපේක්ෂාව සහිත, දැනට ලෝකයේ වේගයෙන් ම වැඩෙන විශාල ආර්ථිකයක් සතු ඉන්දියාව තුල, සිය ශක්තිය මුදාහැරීම පිනිස කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින්” ඇති බව සඳහන් කරන එම ලිපිය, “එක්සත් ජනපදය සමග පකිස්ථානයේ දිගුකාලීන මිත‍්‍රත්වය මෙන් ම එරට ජාත්‍යන්තර තත්වය ද පිරිහෙමින් තිබේ” යයි සඳහන් කරයි.

පකිස්ථානය සම්බන්ධයෙන් “සංහිඳියාව” පිලිබඳ ප‍්‍රතිපත්තිය ගැන හිටපු ඉන්දීය ඔත්තුසේවා නිලධාරියෙකු වන වික‍්‍රම් සූද්ගේ විවේචන ද ටයිම්ස් පත‍්‍රය ගෙන හැර දැක්වූයේ ය: “තව තවත් මරන හා ඝාතනවලට අමතර ව, මෙම ප‍්‍රතිපත්තියෙන් අප ලබා ගෙන ඇත්තේ මොනවා ද? ...ඉන්දියානු අප නොකඩවා කියන්නේ යුද්ධයක් විකල්පයක් නොවේ කියලා. එය කොතරම් දරුනු වුවත්, යුද්ධය විකල්පයක් කියලා අපට දැන් කියන්න සිදුවෙලා තියෙනවා.”

මෙම ලිපි වලින් සිදු වන්නේ, සොල්දාදුවන් 18 දෙනෙකු ඝාතනය කෙරුනු සැප්තැම්බර් 18දා ඌරී ප‍්‍රහාරයෙන් පසුව, ඉන්දියානු දේශපාලඥයින්, ජාතික ආරක්ෂක සංස්ථාපිතය හා මාධ්‍ය විසින් උත්සන්න කරනු ලැබ ඇති යුදවාදී උන්මාදය අනුමත කිරීම ය.

නොවැම්බරයේ, පකිස්ථානයේ දී පැවත්වීමට නියමිත, දකුනු ආසියානු රටවල් අටක කලාපීය සහයෝගිතාව සඳහා දකුනු ආසියානු සංවිධානයේ (සාර්ක්) සම්මේලනයට මෝදි සහභාගී නොවන බව, අඟහරුවාදා ඉන්දියාව නිවේදනය කලේ ය. 1960 ඉන්දු ගංඟා ජල ගිවිසුම යටතේ නීත්‍යානුකූල උපරිම මට්ටම දක්වා ජලය ගැනීම සිදු කරන බව ද ඉන්දියාව නිවේදනය කලේ ය. ඒ මගින්, නියඟය හා විදුලි හිඟයෙන් නිරන්තරයෙන් හිරහැර විඳින පකිස්ථානය මැඩීම මෙන්ම ගිවිසුම මුලුමනින් ම අවංලගු කල හැකි බව ද එය ඇඟවී ය. ඊට පසු පකිස්ථානය අනතුරු ඇඟවූයේ, ජල ගිවිසුම උල්ලංඝනය කිරීම “යුදමය ක‍්‍රියාවක්” ලෙස දකින බව යි.

ඌරී ප‍්‍රහාරය 1965 ඉන්දු-පකිස්ථාන් යුද්ධයට සමාන කල මෝදි, ඉන්දියාව තුල ගොඩනැගෙන ජාතිකවාදී යුද උනුසුම පිලිබඳව සතුට පල කලේ ය. “රටේ ජනතාවට ඇති කෝපයට බොහෝ වටිනාකමක් ඇත. මෙය රට අවදිවීම පිලිබඳ සංකේතයකි” ඔහු පැවසී ය. “මෙම කෝපය ‘යමක් කිරීමේ’ කෝපයකි...1965දී [පකිස්ථානය සමග] යුද්ධය පිපිරීම හා ලාල් බහදූර් ශාස්ත‍්‍රී රටේ අගමැතිව සිටන විට තිබූ හැඟීම් මෙන් ම කෝපය ද මෙවැනි ම විය. එවිට ජාතිකවාදී උනුසුම පැවතුනි. සෑම අයෙකු ම උනන්දු වූයේ යමක් කිරීමට ය.”

ඒ ආකාරයෙන් ම, විශ‍්‍රාමික ඉන්දියානු මේජර් ජනරාල් වරයෙකු වන ජී.ඩී. බක්ෂි උන්මාදීය ඝෝෂාවක් කලේ, පැහදිලිව ම න්‍යෂ්ටික ආයුධවලින් පකිස්ථානු පංජාබය විනාස කිරීමට ඉන්දියාවෙන් ඉල්ලා සිටිමිනි. “පකිස්ථානය ඉන්දියාවෙන් පහෙන් එකක් විතර ඇති” යයි බක්ෂි ඉන්දියානු රූපවාහිනී විකාශයකට පැවසී ය. “අප අපගේ ආයුධ ගබඩාවෙන් කොටසක් එල්ල කරන්නේ නම් පවා, ඒවායින් බොහොමයක් පකිස්තාන් පංජාබය මත පතිත වනු ඇත, පකිස්ථානු හමුදාව සැදුම් ලද්දේ එම ජනතාවගෙනි. එහි වසර අටසීයකට භෝගයක් නො වැවෙනු ඇත...අප සංසුන් වීම නතර කරමු!”

අලුත් ම ඉන්දු-පකිස්ථාන් යුද අර්බුදය පිලිබඳ ඇමරිකානු මාධ්‍ය ආවරනය අඟවන්නේ, පකිස්ථානය සමග ගනුදෙනු කිරීමේ දී ඉන්දියාවට රිසි සේ කටයුතු කිරීමට ඉඩ දීමට කැමති, මිලිටරි ආරක්ෂක සංස්ථාපිතය ද ඇතුලුව වැඩිවෙමින් පවතින කන්ඩායමක් වොෂින්ටනයේ සිටින බව යි. මෙයට ඉන්දු-පකිස්ථානු ගැටුම සඳහා අශුභ ගම්‍යයන් ඇති අතර ප‍්‍රකාශයට පත් කරන්නේ ආසියාව තුල අධිරාජ්‍යවාදී යුද තල්ලුවේ භයානක තීව‍්‍ර කිරීමකි.

දශකයකට වැඩි කාලයක්, වොෂින්ටනය වැඩ කර ඇත්තේ, චීනයට ප‍්‍රතිතෝලනයක් ලෙස ඉන්දියාව ශක්තිමත් කිරීමට මෙන් ම, 2011 චීනයට එරෙහිව තම “ආසියාවට හැරීම” දියත් කිරීමේ තැන් සිට චීනය මූලෝපායාත්මකව හුදකලා කිරීම, වටකිරීම හා එය සමග යුද්ධයට සූදානම්වීම සඳහා වන එහි උත්සාහය තුල ඉන්දියාව “පෙරමුනු රාජ්‍යයක්” බවට හරවා ගැනීමට ය.

මෙය බීජීනය හා නව දිල්ලිය අතර පමනක් නො ව, ඉන්දියාව හා චීනයේ ප‍්‍රධාන දකුනු ආසියානු මිතුරා වන පකිස්ථානය සමග ද ආතතීන් උත්සන්න කරයි. මෙම හතුරුකම ඓතිහාසිකව මුල් බැසගෙන ඇත්තේ, 1947-48, නිල නිදහස ප‍්‍රදානය කල අවස්ථාවේ දී බ්‍රිතාන්‍යය, විසින් කරන ලද, පැහදිලිව ම මුස්ලිම් පකිස්ථානයක් හා හින්දු-බහුතර ඉන්දියාවක් අතර ප‍්‍රතිගාමී බෙදීම තුල ය. වසර හැත්තෑවකට පසු, මෙම හතුරුකම තර්ජනය කරන්නේ, එක්සත් ජනපදය හා චීනය ද පැටලිය හැකි, ඉන්දියාව හා පකිස්ථානය අතර, න්‍යෂ්ටික අවි ද භාවිතා කරනු ඇති පූර්න පරිමානයේ යුද්ධයක් ඇවිලවීමට ය.

සියවස ඇරඹීමත් සමග, වොෂින්ටනය, චීනයට එරෙහිව ඉන්දියාව සමග තම මිලිටරි මූලෝපායික බැඳීම් තර කර ගැනීමට පියවර ගත්තේය. 2005දී නව දිල්ලිය හා වොෂින්ටනය ආරක්ෂක ගිවිසුමක් අත්සන් කල අතර, 2008 ඉන්දු-ඇමරිකානු න්‍යෂ්ටික ගිවිසුම යටතේ, දියුනු සිවිල් න්‍යෂ්ටික තාක්ෂනය හා ඉන්ධනවලට ඉන්දියාවට ප‍්‍රවේශයක් ලැබුනි. ආයුධ දියුනු කිරීම සම්බන්ධයෙන් තම දේශීය න්‍යෂ්ටික වැඩසටහන මත අවධානය යොමු කිරීමට හැකියාව මේ අනුව ඉන්දියාවට ලැබුනි. ඉන්දියාව දියුනු එක්සත් ජනපද ආයුධ ක‍්‍රමවේද මිල දී ගනිමින් සිටන අතර, පසු ගිය මාසයේ දී වොෂින්ටනය හා නව දිල්ලිය ලොජිස්ටික් එක්ස්චේන්ජ් මෙමොරන්ඩම් ඇග‍්‍රිමන්ට් (එල්ඊඑම් ඕඒ) නම් ගිවිසුමක් අත්සන් කල අතර ඉන්දියානු කඳවුරුවලට හා ඒවාට “පෙරමුනු පිහිටුම්” ද්‍රව්‍ය වෙත නෛතික ප‍්‍රවේශය එමඟින් ලබා දුන්නේය.

වේගයෙන් වර්ධනය වන එක්සත් ජනපද-ඉන්දු මිත‍්‍රකමේ එක් ප‍්‍රධාන ඉලක්කයක් වන්නේ ව්‍යාප්ත වෙමින් පවතින චීන-පකිස්ථාන් බැඳීම් ය.

යුරේසියානු භූස්කන්ධය මත එක්සත් ජනපද ආධිපත්‍යයට අභියෝග කරමින්, චීනය මධ්‍යම ආසියාවට, මැද පෙරදිගට හා අවසානයේ යුරෝපයට ද සම්බන්ධ කිරීම ඉලක්ක කෙරුනු තම උන්නතිකාමී “එක තීරුව යි, එක මාවත යි” (ඕබීඕආර්) මාර්ග ව්‍යාපෘතිය වේගවත් කිරීමත් සමග පකිස්ථානය චීනයේ ප‍්‍රධාන හවුල්කරුවා වී ඇත. 2013දී බීජීනය ඕබී ඕආර් ව්‍යාපෘතිය නිවේදනය කලේ, වොෂින්ටනය ඇෆ්ගනිස්තානය තුල තම වාඩිලා ගැනීමේ හමුදා ඉවත් කර ගන්නා බව නිවේදනය කල වහාම ය.

ඕබීඕආර් ව්‍යාපෘතියේ ප‍්‍රධාන සංරචකයක් වන්නේ, චීන-පකිස්ථානු ආර්ථික කොරිඩෝරය (සීපීඊසී) යි. සීපීඊසී සමන්විත වන්නේ, පකිස්ථානයේ නිරිත දිග බලුකිස්තානයේ ග්වඩාර් සිට චීනයේ සින්ජියෑන්ග් හි වයඹ දිග කලාපය දක්වා වන විවිධ ඉන්ධන, මාර්ග හා දුම්රිය පොදු කාර්ය ව්‍යාපෘතිවලිනි. 2013 පෙබරවාරියේ දී, පකිස්ථානය ග්වඩාර් වරාය සඳහා මෙහෙයුම් කොන්ත‍්‍රාත්තුව චීනයට පිරිනැමී ය. ඉන්දියානු සාගරය හා දකුනු චීන මුහුදේ “මර්මස්ථාන” අල්ලා ගැනීම මගින් චීනය මත ආර්ථික සම්බාධක පැටවීමේ පෙන්ටගනයේ සැලැසුම, පාර්ශ්වීය වසයෙන් වැලැක්වීමට එයට හැකි වනු ඇති බැවින් චීනය පැත්තෙන් සීපීඊසී ව්‍යාපෘතියට ප‍්‍රධාන මූලෝපායික වැදගත්කමක් ඇත.

වොෂින්ටනය මෙන් ම ඉන්දියාව ද ඕබී ඕආර් හා සීපීඊසී ව්‍යාපෘති දකින්නේ, ආසියාව තුල තම මූලෝපායික බලපෑම යටපත් කරන ප‍්‍රධාන තර්ජන ලෙස ය. ද ඩිප්ලොමැට් නම් ප‍්‍රවෘත්ති සඟරාව මෙසේ සඳහන් කලේ ය, “යෝජිත සීපීඊසී මාර්ගය හා ග්වඩාර් වරායේ සංවර්ධනයට ඉන්දියාව දැඩි ලෙස විරුද්ධ වන්නේ, ප‍්‍රධාන කාරනා දෙකක් නිසා ය. පලමුව, සැලැසුම් ගත පාර දිවෙන්නේ පිලිවෙලින් ඉන්දියා-චීන හා ඉන්දු-පකිස්ථානයේ ජිල්ජිට්-බල්ටිස්තාන් හා කාෂ්මීරය හරහා ය. දෙවනුව, ග්වඩාර් වරාය චීන නාවුක කඳවුරක් ලෙස වර්ධනය කෙරෙනු ඇති බවට ඉන්දියාව බිය වෙයි.”

කිසිදු සැඟවීමකින් තොර අධිරාජ්‍යවාදී පිටුබලය ඇතිව ඉන්දියාව අනුගමනය කරන්නේ, චීනය හා පකිස්ථානය තුල වාර්ගික බෙදුම්වාදයන් අවුස්සන සාහසික ප‍්‍රතිපත්තියකි. අප‍්‍රේල් මාසයේ දී, එක්සත් ජනපද නිලධාරීන් ඉන්දියාවේ ධර්මසාලා හි පැවති එක්සත් ජනපදය පිටුබලය දෙන චීන බෙදුම්වාදී සංවිධානවල සමුලුවකට සහභාගී වූ අතර ඉන්, ටිබටයේ හා සින්ජියෑන්ග් හි බෙදුම්වාදයන් සඳහා එක්සත් ජනපදය හා ඉන්දියාවේ සහාය සලකුනු කෙරුනි.

කාෂ්මීරයේ ජේයිෂ්-ඊ-මොහමඞ් නම් පකිස්ථානු සටන්කාමී කන්ඩායමකට පකිස්ථානය පිටුබලය දෙන බවට ඉන්දියාව චෝදනා කර ඇති අතර, ඇෆ්ගනිස්තානයේ තම කොන්සල් කාර්යාලය හරහා බලුකිස්තානයේ කැරලි වලට හා ත‍්‍රස්තවාදයට පිටුබලය දෙන බවට, පකිස්ථානය ප‍්‍රසිද්ධියේ ඉන්දියාවට චෝදනා කර ඇත.

මෝදි ආන්ඩුව පකිස්ථානය විසින් බලුකිස්තානයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම හෙලාදකිමින් ජාත්‍යන්තර උද්ඝෝෂනයක් දියත් කර තිබීම, මූලෝපායික කුමන්ත‍්‍රනයක් ලෙස ඉන්දියානු මාධ්‍යයේ පැසසුමට ලක්ව තිබේ. එය වනාහි පකිස්ථානය බිඳ දැමීමේ සූදානම ඇඟවුම් කරන පියවරකි. බලුකිස්තාන බෙදුම්වාදීන්ට ඉන්දියාව තුල ක‍්‍රියාත්මක වීමට වඩා වැඩි “දේශපාලන අවකාශයක්” ලබා දෙන බව ද ආන්ඩුව ප‍්‍රකාශ කර ඇත.

ආසියාව තුල සාම්ප‍්‍රදායික සම්බන්ධතා ව්‍යූහයන් වේගයෙන් දෙදරා යමින් තිබේ. 2017 ජනවාරී වන විට එක්සත් ජනපද වාඩිලා ගැනීමේ භටයින් 10,000ක් පමන ඉතුරු කරමින්, තම හමුදාවන්ගේ වැඩි කොටස ඇෆ්ගනිස්තානයෙන් ආපසු ගැනීමට එක්සත් ජනපද තීරනය කිරීමත් සමග, වොෂින්ටනය හා ඉස්ලමාබාදය අතර සම්බන්ධතා දැඩි ලෙස දුර්වල වී ඇත.

පකිස්ථානය මත යෙදෙන වොෂින්ටනයේ රාජ්‍යතාන්ත‍්‍රික පීඩනයේ අරමුන, එක්සත් ජනපදය මෙහෙයවන නේටෝ වාඩිලාගැනීමේ හමුදාවන්ට හා ඇෆ්ගනිස්තානයේ රූකඩ ආන්ඩුවට එරෙහිව සටන් කරන තලීබාන් හා හකානි ජාලයේ කන්ඩායම් සමග ඉස්ලමාබාදයේ මිලිටරි සම්බන්ධතා කඩා දැමීමට ය. ගෙවී ගිය සතියේ දී, රිපබ්ලිකානු මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු පකිස්ථානය ත‍්‍රස්තවාදයේ රාජ්‍ය අනුග‍්‍රාහකයෙකු ලෙස නම් කරමින් කොංග‍්‍රසයට නීති හඳුන්වා දුන් නමුත්, එය දැනට සම්මත කිරීමට අපේක්ෂා නොකෙරේ.

වොෂින්ටනය හා ඉස්ලමාබාදය අතර සම්බන්ධතා පිරිහී යාමත් සමග, රුසියාව සමග මූලෝපායික බැඳීම් වර්ධනය කිරීමේ පෙර නො වූ විරූ පියවර ගැනීම සම්බන්ධයෙන් ද පකිස්ථානය සලකා බලමින් සිටී. සීතල යුද සමය අතරතුර දී, සාම්ප‍්‍රදායිකව පකිස්ථානයට අනුග‍්‍රහ දක්වන ලද්දේ වොෂින්ටනයයි. එහි ප‍්‍රතිවාදී ඉන්දියාව මිත‍්‍ර වුනේ සෝවියට් සංගමය සමගිනි.

කෙසේ නමුත්, සෙනසුරාදා, පන්ජාබ් ප‍්‍රාන්තයේ නැගෙනහිර කඳුකර ප‍්‍රදේශයේ දී රුසියාව පකිස්ථානය සමග සති දෙකක මිලිටරි අභ්‍යාස පැවත්වී ය. එයට භටයින් 200ක් සම්බන්ධ කෙරුනි. 70ක් රුසියාවෙන් වූ අතර පකිස්ථානයෙන් 130කි. එය දෙරට ඒකාබද්ධ මිලිටරි අභ්‍යාසයක යෙදුනු පලමු අවස්ථාව වූ අතර, එය සිදුවූයේ මොස්කෝව මෑත දී ඉස්ලමාබාදයට මිලිටරි හෙලිකොප්ටර් යානා විකිනීමෙන් පසු ය.

Share this article: