ලෝක වෙලඳාම වර්ධනයේ මන්දගාමීත්වය, ගෝලීය ආර්ථිකයේ එකතැන පල්වීම සලකුනු කරයි

Slowdown in growth of trade highlights global economic stagnation

නික් බීම්ස් විසිනි, 2016 සැප්තැම්බර් 29

ලෝවෙසං පුරෝකථන අනුව, මේ වසර තුල ලෝක වෙලඳාම වර්ධනය වනු ඇත්තේ, 1.7% කින් පමනක් බවයි. ඔවුන් අප‍්‍රේල් මාසයේදී පුරෝකථනය කල පහත් වර්ධන වේගයක් වූ 2.8% ටත් වඩා අඩු අගයකි මෙය. ජාමුඅ මගින් පලකරන “ලෝක ආර්ථික දැක්ම” වාර්තාවේ (World Economic Outlook) මෑතම ප‍්‍රකාශනය අනතුරු අඟවන්නේ, පුලුල්ව පැතිරෙන පහත් උද්ධමනයත්, එක දිගට පවතින පසුබෑමත් මහා පරිමාන අවධමනකාරී චක‍්‍රයකට මග පැදීමට ඉඩ ඇති බව හා එමගින් මිල හා ආයෝජන පහත වැටී තවදුරටත් ලෝක ආර්ථිකය සංකෝචනය වීමට ඉඩ ඇති බවත්ය.

“උද්ධමනයේ ප‍්‍රතිවිරුද්ධය රටවල් හා කලාප පුලුල් පරාසයක් පුරා පැතිර තිබේ” යයි වාර්තාව සඳහන් කරයි. කරන ලද පුලුල් නියැදියකට අනුව, 2015 දී රටවල් 120 න් 85%ක උද්ධමනය පැවතියේ, මධ්‍ය කාලීනව බලාපොරත්තු වූ අගයන්ට වඩා බොහෝ පහතිනි. මින් 20% ක් පූර්න අවධමනයකට මුහුන දී සිටිති”.

ලෝවෙසං වාර්තාව, විශේෂයෙන්ම පසුගිය වසර තුන තුල සිදුවූ ලෝක වෙලඳාමේ සීඝ‍්‍ර පසුබෑමට අවධානය යොමු කරයි. 1980 ගනන් වල සිට ලෝක වෙලඳාම, ලෝක දල දේශීය නිෂ්පාදිතයේ (දදේනි) වර්ධනයට වඩා 1.5 සිට 2 ගුනයක වේගයකින් වර්ධනය විය. මේ වසරේදී වෙලඳාම, දදේනි වර්ධනයෙන් යාන්තම් 80%ක් පමන වනු ඇත. මෙය 2001න් පසුව වෙලඳ වර්ධනය දදේනි වර්ධනයට වඩා පහත වැටුනු ප‍්‍රථම වතාව වන අතර, 1982 සිට එසේ පහත ගිය දෙවැනි වතාවයි.

ලෝවෙසං අධ්‍යක්ෂ ජෙනරාල් රොබර්ට් අසවේදු සඳහන් කලේ, “වෙලඳාම වර්ධනය වීමේ සිදුවන නාටකාකාර පහල වැටීම, ඉතා බරපතල තත්වයක් බවත්, එය අප අවදි කිරීමක් ලෙස සැලකිය යුතුයි” යනුවෙනි. ප‍්‍රධාන රටවල නැගී එන ආරක්ෂනවාදී පිලිවෙත් ගැන කලින් ද පෙන්වා දී තිබුනු ලෝවෙසං, නැවතත් ඒ ගැන තම කනස්සල්ල පලකර ඇත. මෙම පසුබෑම “වෙලඳාම සම්බන්ධයෙන් පමනක් නොව රැකියා උත්පාදනය, ආර්ථික වර්ධනය හා සංවර්ධනය යන අංශ වල ද තත්වය තවත් නරක අතට හරවන, මංමුලා සහගත ප‍්‍රතිපත්ති වලට පරිවර්තනය වීම” වලක්වා ගැනීමට වග බලාගතයුතු බව ද එය සඳහන් කලේය.

“මෙය ඉතිහාසයේ පාඩම් උකහා ගනිමින්, ආර්ථික වර්ධනය නැවත පනගැන්වීමට රුකුල් දෙන අයුරින්, වෙලඳාමේ විවෘත භාවයට යලි කැප විය යුතු මොහොතක්” යයි අසවේදු තවදුරටත් සඳහන් කලේය.

“ඉතිහාසයේ පාඩම්” ගැන කරන්නේ, 1930 ගනන්වල මහා අවපාතයේ අත්දැකීම් යාන්තමින් සඳහන් කිරීමකි. ලෝකයේ ප‍්‍රධාන ආර්ථික බලවතුන් සියලු දෙනාම මහා අවපාතය සමග පැන නැගුනු ලෝක වෙලඳපලේ සංකෝචනයට ප‍්‍රතිචාර දැක්වූයේ, විනිමය බාධක හා ආනයන බදු ඉහල නංවමිනි. එය ආර්ථික පරිහානිය තවත් උග‍්‍ර කරමින්, 1939 දෙවැනි ලෝක යුද්ධය ලෙස දිගහැරුනු ගැටුම් වලට මග පෑදීය.

අසවේදුගේ අදහස්ම, ජාමුඅ ප‍්‍රධානි ක‍්‍රිස්ටිනා ලැගාර්ඩි පෙර දිනයේදී චිකාගෝහි කල කතාවකදී ද ප‍්‍රතිරාවය නැංවීය. ඇය පැවසුවේ ලෝක ආර්ථිකය වෙලඳ බාධක හා වැඩිවන ආරක්ෂනවාදී පිලිවෙත් වල අනතුරට මුහුන දී ඇති බවයි.

“වෙලඳාමට සීමා පැමිනවීම ආර්ථික අව භාවිතය පිලිබඳ පැහැදිලි උදාහරනයකි.” ඇය ප‍්‍රකාශ කලාය. ආර්ථික විවෘත භාවය සීමා කිරීම “අනිවාර්යයෙන්ම ලෝක ආර්ථික වර්ධනය තවත් නරක අතට හරවනු ඇත, ආරක්ෂනවාදයට ඇති නැඹුරුව ආපසු හරවා, වෙලඳාම යලි පනගැන්විය හැකි වාතාවරනයක් නැවත සකස් කරගැනීම” අවශ්‍යව ඇත.

ජාමූඅ වෙලඳාම මන්දගාමී වීම පිලිබඳ අවධානය යොමු කරමින්, එය උදාසීන ආර්ථික වර්ධනයේ ලක්ෂනයක් බව සඳහන් කරයි. “පර්යේෂන වාර්තා සඳහන් කරන්නේ, 2012 වන විට 2003-2007 කාලයට සාපේක්ෂව ලෝක වෙලඳ වර්ධන අනුපාතයේ සිදුවූ අඩුවීමෙන් තුනෙන් දෙකකට පමන හේතුවී ඇත්තේ, දුර්වල ලෝක ආර්ථික වර්ධන වේගය හා අඩුවූ ආයෝජන නැඹුරුවයි”.

ආයෝජන ක්ෂය වීම විශේෂයෙන්ම සැලකියයුතු වන්නේ, ධනවාදී ආර්ථිකයේ ප‍්‍රධාන ධාවකය වන්නේ ආයෝජන වන බැවිනි. ආයෝජන සිදුකරනු ලබන්නේ, අනාගත ලාභ අපේක්ෂාවන් මෙන්ම එමගින් රැකියා අවස්ථා හා අමුද්‍රව්‍ය සඳහා ඉහල ඉල්ලුම ඉහල ගොස් සමස්ත ආර්ථිකයේ පුලුල් වීමට රුකුල් දෙනු ඇත යන බලාපොරොත්තුව ඇතිවය. නමුත් ලාභ අපේක්ෂා ක්ෂය වීමත් සමග, ආයෝජන පහල වැටෙමින්, ආර්ථික සංකෝචනයට මග පාදන අතර; ආයෝජකයන් තම ලාභ වර්ධනය කරගැනීම සඳහා වඩ වඩාත් මූල්‍ය සමපේක්ෂන හා වංචනික (වෙලඳපොල) හැසිරවීම් වලට යොමු වේ.

ජාමුඅ තවදුරටත් අනතුරු ඇඟවූයේ ලොව පුරා මහා බැංකු මගින් ක‍්‍රියාත්මක කල “ප‍්‍රමානාත්මක ලිහිල් කිරීම්” ක‍්‍රියාමාර්ග, ඒවායේ උපරිම සීමාවට පැමින ඇති බවයි. ඉතා අඩු පොලී අනුපාතිකයන් පවත්වාගෙන යාම මගින් උද්ධමනය ඉහල නැග ආයෝජන උනන්දු කරවනු ඇති යන අපේක්ෂාව මත ක‍්‍රියාත්මක කලද, මේ ක‍්‍රියාමාර්ග සත්‍යවශයෙන්ම හේතුවී ඇත්තේ මූල්‍ය සමපේක්ෂන ඉහල නැංවීමට පමනි. එය තවදුරටත් සඳහන් කරන්නේ උද්ධමනය චිරකාලීනව අපේක්ෂිත අගයන්ට වඩා අඩු වීමේත්, මූල්‍ය ප‍්‍රතිපත්ති වල විශ්වසනීය භාවය බිඳවැටීමේත් අවදානම වලක්වා ගැනීමට, විශේෂයෙන්ම දියුනු ආර්ථිකයන් තුල, “ධෛර්ය සම්පන්න ප‍්‍රතිපත්ති” අවශ්‍ය වී ඇති බවයි.

කලක සිටම ජාමූඅ, ආර්ථිකය උත්තේජනය කිරීම පිනිස, යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා රාජ්‍ය ආයෝජන කැඳවුම් කරමින් සිටී.

ලැගාර්ඩි චිකාගෝහි කල කතාවේදී යලිත් මේ ඉල්ලීම කරන ලදී. ඇය පැවසුවේ, “මූල්‍ය අවකාශයන්” සහිත රාජ්‍ය ලෙස සැලකෙන කැනඩාව, ජර්මනිය, හා දකුනු කොරියාව වැනි රටවල් නිර්භය ලෙස රාජ්‍ය වියදම් ඉහල නැංවීමේ ක‍්‍රියා මාර්ග අනුගමනය කල යුතු බවයි. ප‍්‍රධාන රටවල් අතර වැඩි සම්බන්ධීකරනයක අවශ්‍යතාව ද ඇය මතු කලාය. මෑත කාලයේදී G20 සමුලු වලදී මෙවැනි ඉල්ලීම් නිරතුරුව සිදු කල ද මෙතෙක් කිසිදු ප‍්‍රත්‍යක්ෂ ක‍්‍රියාමාර්ගයක් ගැනීමට සමත් වී නැත.

“වර්තමාන තත්වය, දැවැන්ත, කඩිනම් හා සම්බන්ධීකාරක මූල්‍ය ප‍්‍රතිචාරයන් අවශ්‍ය වූ 2008 අර්බුදයට වඩා වෙනස් බවට සැකයක් නැත” යයි ලැගාර්ඩි පැවසුවාය. නමුත් අපගේ මේ “නව උදාසීන” තත්වය තීව‍්‍රතාවයෙන් අඩු නිසාම, එය මහා පරිමාන ආර්ථික අර්බුදයකට වඩා බෙදුම්කාරී හා සියුම් ස්වභාවයක් ගන්න අතර, ප‍්‍රතිසාධනය ව්‍යාකූල කරමින් අතිශයින්ම විෂ සහිත ආර්ථික වාතාවරනයක් ඇතිකර තිබේ.

ඇය පැවසුවේ ලොව සියලුම රටවල් තම ආර්ථික වර්ධනය උත්තේජනය සඳහා ක‍්‍රියා කරන්නේ නම්, එය “ධනාත්මක ප‍්‍රතිපල” ගෙන එමින් “එකිනෙකා සවි ගන්වමින්” සමස්ත ලෝක ආර්ථිකයටම ප‍්‍රතිලාභ අත්කර දෙනු ඇති බවයි. මෙම ප‍්‍රවේශය සත්තකින්ම තර්ක බුද්ධියට ගැලපෙන නමුත් යථාර්තයේදී එයට එකිනෙක හා ගැටෙන අවශ්‍යතාවන් ඇති මහා ප‍්‍රතිමල්ලව බලවතුන් අතර ලෝකය බෙදී තිබීමේ වෛෂයික බාධකයට මුහුන දීමට සිදුවේ. මෙවැනි ක‍්‍රියාමාර්ග සඳහා ඕනෑම බලවත් රටක ප‍්‍රසාදය හිමිවනු ඇත, නමුත් ඒ වෙන කවුරුන් හෝ එය කිරීමට ඉදිරිපත් වන්නේ නම් පමනි.

උදාහරනයක් ලෙස, ජර්මනිය තම පිරිවැය ඉහල නංවමින් යුරෝපීය ආර්ථිකය පනගන්වනු දැකීමට ඇමරිකාව කැමති වන්නේ එමගින් තම ආයෝජකයන්ට හා අපනයනකරුවන්ට ප‍්‍රතිලාභ හිමිවන බැවිනි. අනෙක් අතට, එවැනි ක‍්‍රියා මාර්ග මගින් තම මූල්‍ය තත්වය දුර්වල වී ඇමරිකානු බැංකු හා මූල්‍ය සංගත වලට වාසි හිමිවනු ඇතැයි ජර්මනිය බියට පත්වේ.

මෙහි ප‍්‍රතිපලයක් ලෙස, සහයෝගීතාවන් ඉහල යනු වෙනුවට, ලෝක ආර්ථිකය වෙලාගෙන ඇත්තේ වර්ධනය වන ජාතික ආතතීන් හා එදිරිවාදිකම් මගිනි. දියුනු රටවල් අරඹා ඇති ආරක්ෂනවාදී පියවරයන් එන්ට එන්ටම ඉහල යාම, පූර්න ආර්ථික යුද්ධයක් සමග අත්වැල් බැඳගෙන ඇත. ඇමරිකානු ඇපල් සමාගමෙන් යුරෝ බිලියන 13ක පැහැර හැරි බදු අය කර ගැනීමට යුරෝපා සංගමය විසින් පියවර ගනු ලැබීම, ඇමරිකාව මුල්වී ඇති “අත්ලාන්තික් වෙලඳ හා ආයෝජන හවුල්කාරිත්වය” ජර්මනිය හා ප‍්‍රන්සයේ මැදිහත් වීමෙන් බිඳ දැමීම හා ජර්මානු ඩොයිෂ් බැංකුව බංකොලොත් කිරීමට සමත් ඩොලර් බිලියන 14ක දඩයක්, ඇමරිකානු නීති දෙපාර්තමේන්තුව විසින් එම බැංකුවට නියම කිරීම, යන සියල්ල මෙම නැගී එන ආරක්ෂනවාදී පිලිවෙත් වල ප‍්‍රකාශනය.

ලෝකය වෙලාගෙන ඇති නොවිසඳිය හැකි ප‍්‍රතිඝතිතා ඉස්මතු කරමින් ජාමුඅ වාර්තාවේ තවත් කොටසක්, “පවත්වාගෙන යා නොහැකි (ආර්ථික) වර්ධන වේගය” අඩුකරමින් නය ප‍්‍රසාරනය පාලනය කරන ලෙස චීනයෙන් ඉල්ලා සිටියි. ලෝක ආර්ථික මන්දගාමිත්වයට චීනය ප‍්‍රතිචාර දැක්වූයේ තම රටේ නය පරිමාව මෙම වසර තුල පමනක් 13% කින් වැඩි කරමිනි - මෙය 2008 මූල්‍ය අර්බුදයේ සිට සිදුවූ ලොකුම නය ප‍්‍රසාරනයයි.

එහෙත් නය හා දල දේශීය නිෂ්පාදිතය අතර අනුපාතය 250ක් තරම් ඉහල නැග තවදුරටත් වැඩිවෙමින් ඇති චීන ආර්ථිකය තුල, මෙවැනි පිලිවෙත් මගින් මූල්‍ය අර්බුදයක් ජනනය කල හැක. ජාමුඅ, (චීනයේ) මූල්‍ය අංශයේ ඇති “අනතුරුදායක” තත්වය අඩු කිරීමට විස්තීර්න සැලසුමක් සඳහා කැඳවුම් කලේය. “ඉව බව නැති බැඳුම්කර විකිනීම ... නැගී එන ආර්ථිකයන්ගේ මූල්‍ය වෙලඳ පොල වල වසංගත ආකාරයේ බිඳවැටීමක් ජනනය කල හැක” යයි එය සඳහන් කලේය.

ජාමුඅ, එක පසෙකින් ගෝලීය ආර්ථික වර්ධනය සඳහා කැඳවුම් කරන අතරම, අනෙක් අතට ලෝකයේ අන් බොහෝ ආර්ථිකයන්ට වඩා වැඩි 6.5% ක වර්ධන වේගයක් පවත්වාගෙන යන ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකය වන චීනයෙන්, මූල්‍ය අර්බුදයක් (ලෝක පරිමානව පැතිරීමට ඉඩ ඇති) වලක්වා ගැනීම සඳහා ආර්ථික උත්තේජක අවම කරන ලෙස ඉල්ලයි.

ලැගාර්ඩි හා අසවේදු යන දෙදෙනාගේම ප‍්‍රකාශ වලින් පෙන්වන්නේ, ලෝක ආර්ථිකය ජාතිකවාදී ආතතීන් මගින් ඉරිතලා තිබීම පිලිබඳ ප‍්‍රතිපත්ති සම්පාදකයන් තුල ඇති භීතියයි. අනතුරු ඇඟවීම් තිබියේවී නමුත් ඔවුන්ට එය වලක්වා ගැනීමේ කිසිදු හැකියාවක් නැත.

මෙය හා බැඳුනු, නමුත් සමහරවිට තරමක් ලිහිල් තවත් කනස්සල්ලක්ද ඔවුන්ට ඇත. එනම් ගෝලීය කරනයට එරෙහි “ප‍්‍රතික‍්‍රියාවකි.” ඇත්තවශයෙන්ම ගත් කල මෙය වැඩිවන සමාජ අසමානතාවන්ට හා මුලුමහත් දේශපාලන හා ධනේශ්වර සංස්තාපිතයටම එරෙහි සමාජ විරෝධය ගැන කරන සැඳහුමකි. ඇමරිකාවේ ජනපති අපේක්ෂක තේරීම් වලදී බර්නි සැන්ඩර්ස්ට ලැබුනු සහාය, එක්සත් රාජධානියේ බ්‍රික්සිට් මත විමසුම් ප‍්‍රතිපලය, සම්ප‍්‍රදායික පාලක පක්ෂ වල බිඳ වැටීම, යුරෝපයේ දක්ෂිනංශික පක්ෂ වල නැගීම හා ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඇමරිකානු රිපබ්ලිකන් පක්ෂ ජනපතිවරන අපේක්ෂකත්වයට පත්වීම යන මේ සියල්ල ඉහත සංසිද්ධියේ විවිධ ප‍්‍රකාශයන්ය. මෙම විරෝධයන් සමාජවාදී ඉදිරිදර්ශනයක් මත පදනම් වූ සවිඥානික කම්කරු පන්ති අරගලයක් බවට පරිවර්තනය වනු ඇතැයි ලෝක ධනපති පන්තිය තුල භීතියක් වර්ධනය වෙමින් ඇත. මේ ගැන සිදුවන රහස් සාකච්ඡා වලින් බිඳක් හෙලි කරමින් පසුගිය මස බ්‍රිතාන්‍ය “ඉකොනොමිස්ට්” සඟරාව අනතුරු හැඟවූයේ වර්තමාන ආර්ථික වාතාවරනය රුසියානු විප්ලවයට තුඩු දුන් තත්වයට බිය ගෙනදෙන සමානතාවක් දක්වන බවය.

සඟරාව තවදුරටත් පැවසුවේ, ශතවර්ශයකින් පසුව දැන් සිදුවෙමින් පවතින දෙය “1917 හා එයට බැඳුනු සියල්ල” යලි පැමිනීමක් විය හැකි බවයි.

Share this article: