එක්සත් ජනපද මැතිවරන විවාදය නිමාව දකිද්දී: විකාර ස්වභාවයේ දේශපාලනය

On the eve of the US election debate: The politics of the grotesque

2016 සැප්තැම්බර් 26

ඩිමොක්‍රටික් ජනාධිපතිවරන අපේක්ෂක හිලිරි ක්ලින්ටන් හා රිපබ්ලිකන් ඩොනල්ඩ් ට්රම්ප් අතර අද රාත‍්‍රියේ පැවැත්වෙන විවාදයත් සමග 2016 ජනාධිපතිවරන උද්ඝෝෂනයේ අවසන් අදියර ආරම්භ වේ. මිලියන සියයක පමන රූපවාහිනි නරඹන්නන් හමුවේ පලමුවතාවට, ප‍්‍රධාන ධනපති අපේක්ෂකයින් දෙදෙනා එකට පෙනී සිටිනු ඇත.

ඇමෙරිකානු දේශපාලනයේ නින්දිත තත්වයෙන් ගත් කල පවා, වත්මන් මැතිවරනය තත්වය තවත් පහත් අඩියකට ඇද ගෙන යයි. ඇමෙරිකානු ජනතාව ඉදිරියට පමුනුවනු ඇත්තේ, වත්මන් ඇමෙරිකානු ඉතිහාසයේ වඩාත්ම අපකීර්තිමත්, නින්දිත ඡන්ද අපේක්ෂකයන් දෙදෙනා අතර පැවැත්වෙන තුච්ඡ විවාදයක දර්ශනයකි: ෆැසිස්ට්වාදී බිලියනපතියෙකු හා හිටපු රියැලිටි ෂෝ තරුවක් වන ට්රම්ප් සහ වෝල්වීදිය හා මිලිටරි-බුද්ධි යාන්ත‍්‍රනය විසින් තෝරාගත් ඡන්ද අපේක්ෂක ක්ලින්ටය.

මෙම අවස්ථාවම සම්බන්ධයෙන් සැලකූ විට එය මොනම අර්ථයකින්වත් විවාදයක්, එනම් දේශපාලන අදහස් හා තර්ක යොදාගනිමින් කෙරෙන්නන් නොවනු ඇති අතර ඒ වෙනුවට, හිස් වාංමාලාවන්, පූර්වයෙන් සූදානම් කරගත් ලාමක සරදම්, වාචික ප‍්‍රකෝපකරන හා මඩගැසීම් තොගයකින් සමන්විත වනු ඇත. සාකච්ඡාවට ගැනෙන ප‍්‍රශ්න, පක්ෂ දෙක විසින්ම පිලිගනු ලැබූ සාමාන්‍ය එකඟතාව ඉක්මවා නොයනු ඇති බවට එන්බීසී සාකච්ඡාව මෙහෙයවන ලෙස්ටර් හෝල්ට් වගබලා ගනු ඇත.

ලන්ඩනයේ සන්ඩේ ටයිම්ස් පුවත්පතේ වාර්තාවක්, ඡන්ද අපේක්ෂකයන් දෙදෙනා පිලිබඳ මහජනතාව තුල පවතින සැබෑ හැඟීම් පිලිබඳ අංශුවක් ගෙනහැර දක්වයි. වොෂිංටන් ඩීසීහි වර්ජිනියාවේ ඡන්ද දායකයින් අතරින් තෝරාගත් කන්ඩායමක් පුවත්පත මෙයට යොදා ගත්තේ ය. ටයිම්ස් ඉදිරිපත් කරන ආකාරයට, “සැබෑ අවසනාවන්තයින් වන්නේ ඡන්දදායකයින් නොව ඡන්ද අපේක්ෂකයින්” බව ඔවුහු දැක ගනිති. ක්ලින්ටන් ගැන විස්තර කරන ලෙස කියූ විට, “රැවටිලිකාර”, “අප‍්‍රසන්න”, “අවිස්වසනීය”, “බොරුකාර”, “දූෂිත”, “නීරස” සහ “වංක” යනාදී වචන ඔවුහු යෙදූහ. ට්‍රම්ප්ගේ නමට ලද ප‍්‍රතිචාර අතරට “පිස්සු”, “අස්ථාවර”, “උද්ධච්ච”, “අහංකාර”, “දන්ඩාත්මක”, “චපල”, “මුග්ධ”, “වංචාකාර”, “ආධානග‍්‍රාහී” සහ “වෛරීසහගත” යන වචන ඉදිරිපත් කෙරින.

කෝටි සංඛ්‍යාත ජනතාව අද රාත‍්‍රියේ වැඩසටහන නරඹනු ඇත්තේ ඉදිරිපත්ව සිටින ඡන්ද අපේක්ෂකයන් ගැන මොනම ආදරයකින්වත් නොව බියකරු දුම්රිය ගැටුමක සාක්ෂිකරුවන් වසයෙනි. ඒ අතර, කවුරුන් ධවල මන්දිරයට යාමට අවස්ථාව ලැබුව ද මැතිවරන, ඇමෙරිකානු දේශපාලනයේ වැදගත් සැතපුම් කනුවක්ය යන අදහසක් පවතී.

මෙම මැතිවරනයෙන් කවරක් අත්කරගනු ඇත් ද යන්න වටහා ගැනීමට කෙනෙකු එය සිදුවෙමින් පවත්නා කොන්දේසි වටහා ගත යුතු ය. විවාදය වටා සැනකෙලියක් වැනි වාතාවරනයක් මාධ්‍ය විසින් ගොඩනගමින් තිබුන ද, එය නොවැම්බර් මාසයේ කවුරුන් තේරීපත්වේ ද යන්න නොතකා ඇමෙරිකානු මහජනයා මුහුනදී සිටින බරපතල ප‍්‍රශ්න සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් සිදුවීම වලක්වා තිබේ.

ජාත්‍යන්තරව ගත් කල දෙවන ලෝක යුද්ධයට පෙරාතු වසරවලින් පසුව ලෝකය, වෙන කවරදාකටත් වඩා ගෝලීය ඝට්ටනයකට සමීප ව සිටියි. එක්සත් ජනපදය සිරියාව තුල යෝධ මිලිටරි ආක්‍රමනයක අද්දර වැනෙමින් සිටී. ඒකාබද්ධ මෙහෙයුම් ප‍්‍රධානී ජෙනරාල් ජෝශප් ඩුන්ෆෝඩ්, “පියාසර තහනම් කලාපයක්” ඇතිකිරීමේ- මෙයට ක්ලින්ටන් සහාය පලකරයි- අර්ථය වනු ඇත්තේ, රුසියාව සමගම යුද්ධයකට යාම, එනම් ලෝකයේ විශාලතම න්‍යෂ්ටික බලවතුන් අතර ගැටුමකට යාම බව පසුගිය සතියේදී පිලිගත්තේ ය. මාධ්‍යය ද සමග ජනාධිපති අපේක්ෂකයින් දෙදෙනාම, තත්වය කෙතරම් අවිනිශ්චිත ද යන්න ඇමෙරිකානු ජනතාවගෙන් සිතාමතාම හා ක්‍රමානුකූලව වසන් කරමින් සිටී.

එක්සත් ජනපදය තුල සිදුවෙමින් පවතින්නේ කුමක්ද ? සාප්පු සංකීර්න තුල කෙරන මිනිස් සංහාර හා අනෙකුත් ඛේදවාචකයන් තුලින් ප‍්‍රකාශයට පත්කෙරෙන ගැඹුරු අවුල් ජාලයක වාතාවරනයකි. හුදෙක් අප‍්‍රිකානු-ඇමෙරිකානුවන්ට පමනක් නොව, සමස්ත කම්කරු පන්තියටම හානිකර පොලිස් ප‍්‍රචන්ඬත්වය කෙරෙහි වැඩෙමින් පවත්නා වෛරය, ඊලඟ එක්සත් ජනපද පාලානාධිකාරියේ, එය මෙහෙයවන්නේ ට්‍රම්ප් විසින් ද ක්ලින්ටන් විසින් ද යන්න නොතකා, මුද්‍රාව වනු ඇත්තේ කුමක්ද යන්න පිලිබඳව සංඥාවකි. එනම් එක්සත් ජනපදය තුල විවෘත පන්ති ගැටුම පුපුරා යාමයි. දේවල් “ඕනෑවටත් වඩා විශිෂ්ටය” යන ඩිමොක්‍රටිකයන්ගේ අවධාරනය වනාහී, යෝධ දිලිඳුබව, විරැකියාව හා ආර්ථික ආපදා පිලිබඳ යථාර්ථය නොතකා හැර ආවරනය කිරීමට දැරෙන පරිශ‍්‍රමයකි.

යුද්ධය කරා වන ධාවනය හා පන්ති ගැටුම උත්සන්නවීම, ලෝකයේ ප‍්‍රධාන කාර්මික කලාප තුල කෝටි සංඛ්‍යාත රැකියා විරහිතයන් හා ඌන සේවා නියුක්තියක කම්කරුවන් විසින් පමනක් නොව, 2008 වෝල්වීදිය කඩාවැටීමෙන් අනතුරුව දිග්ගැස්සෙන ආර්ථික පල්වීමට විසඳුමක් සොයාගත නොහැකි ධනේශ්වර දේශපාලනඥයින් හා මධ්‍යම බැංකුකරුවන් ද ප‍්‍රකාශයට පත් කරන, ලෝක ධනවාදී පද්ධතියේ සමහන්කල නොහැකි අර්බුදය තුලින් ජනනය කෙරේ. පසුගිය සතියේදී එක්සත් ජනපද ෆෙඩරල් රිසව් බැංකුව සැලසුම්කර තිබූ පොලී අනුපාතය ඉහලදැමීම යලිවතාවක් කල් දැමුවේ, මැතිවරනය අද්දර ගන්නා එවැනි පියවරක්, එක්සත් ජනපදය හා ලෝක මූල්‍ය වෙලඳපොල තුල කලබගෑනියක් අවුලුවනු ඇතැයි යන බියෙනි.

විවාදය මෙම කිසිදු ප‍්‍රශ්නයක් සාකච්ඡාවට නොගනු ඇති අතර අපේක්ෂකයන් දෙදෙනා සතුවම ඒවාට කිසිදු විසඳුමක් ඇත්තේ නැත.

මැතිවරනය එකිනෙකාට ප‍්‍රතිවිරුද්ධ අපේක්ෂකයින් දෙදෙනෙක් අතර පැවත්වෙන තරගයක් ලෙස ඉදිරිපත් කිරීමට දරන ප‍්‍රයත්නය, ක්ලින්ටන් හා ට්‍රම්ප් අතර පවතින සාපේක්ෂව සුලු උපායාත්මක වෙනස්කම් වලට වඩා, පොදුවේ සමානවූ වැඩපිලිවෙලක් වෙනුවෙන් පෙනී සිටින්නේය යන කරුන වසං කරයි. ඔවුන් දෙදෙනාම පැවත එන්නේ, ඇමෙරිකානු සමාජයේ සුපිරි සියයට එකකිනුත් දහයෙන් එක නියෝජනය කරන, මිලියනපතියන් හා බිලියන්පතියන්ගේ එකම සමාජ ස්ථරයෙනි.

මූල්‍යමය කතිපයාධිකාරිය උනන්දු වන ප‍්‍රමානයට, හිලරි ක්ලින්ටන් ආසන්න වසයෙන් ඔවුන්ගේ ඒකමිතික තෝරාගැනීම යි. 24දා වෝල් ස්ට්‍රීට් ජර්නලය වාර්තාකල පරිදි, ෆෝචූන් විශාලතම සංගතවල එකදු විධායක නිලධාරියෙකු හෝ ට්‍රම්ප්ට සහය පලනොකරන අතර එයින් වැඩිදෙනෙක් ක්ලින්ටන්ට සහය දෙමින් මූල්‍යමය ආධාර පිරිනමා තිබීම මගින් මේ කරුන සනාථ කරයි. ඇය, මිලිටරි-බුද්ධි යාන්ත‍්‍රනයේ සැලකිය යුතු කොටස්වල සහාය ද එක්සත් ජනපද මාධ්‍යයේ විශාල පංගුවක අනුමැතිය ද ලබන අතර කිසිදු ප‍්‍රධාන දිනපතා පුවත්පතක් ට්‍රම්ප් අනුමත කර නැත.

පාලක පන්තියේ සැලකිල්ල යොමුව ඇත්තේ, ට්‍රම්ප් ඕනෑවට වඩා තකතිරුකම් කරාවිය යන්න ගැන නොවේ. ඒ වෙනුවට, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පිලිබඳ ඔහුගේ ලෙන්ගතුකම, රිපබ්ලිකන් හා ඩිමොක්‍රටික් පාලානාධිකාරි දෙකම විසින් පසුගිය දශකය පුරා ගොඩ නැගූ, රුසියාවට හා චීනයට එරෙහි යුද සැලසුම් වලට හරස් කපනු ඇතැයි යන්න ගැන යි. තව ද ට්‍රම්ප් තේරීපත්වීම පාලනය කල නොහැකි සමාජ ඝට්ටනයක් අවුලුවනු ඇතැයි යන කනස්සල්ල ද පවතී.

පාලක-පන්තියේ මෙම සමීප ඒකමිතිය සැලකූ කල, පසුගිය සතියේ වාර්තාවූ ක්ලින්ටන් විසින්ම නගන ලද ප‍්‍රශ්නය ඇසීම යුක්තිසහගත ය, “මම ලකුනු 50කින් ට්‍රම්ප්ට ඉදිරියෙන් නැත්තේ ඇයි?” අපේක්ෂිකාවටම එයට පිලිතුරු නැත. ඉරිදා සංස්කරනය තුල පලකල දීර්ඝ කතුවැකියකින් ක්ලින්ටන් වෙත එහි පූර්වානුමාන අනුමැතිය පලකල නිව්යෝක් ටයිම්ස් පුවත්පතට ද පිලිතුරක් නැත.

“2016 (මැතිවරන) උද්ඝෝෂනය දුප්පතුන්ගේ හා මධ්‍යම පාන්තික ඇමෙරිකානුවන්ගේ අපේක්ෂා භංගත්වය හා වෛරය මතුපිටට ගෙනවිත් තිබේ”යැයි පිලිගන්නා අතරේ ටයිම්ස් පත‍්‍රය, කම්කරු පන්තික ඡන්දදායකයන් සමග “සම්බන්ධවීමට” ක්ලින්ටන්ට පවතින නොහැකියාව ගැන නිශ්චිත මංමුලාවක් ප‍්‍රකාශයට පත් කරයි. කෙසේ නමුත් පිලිතුර සරල ය. ජනතාව ඩිමොක්‍රටික් පක්ෂය සලකනු ලබන්නේ,රිපබ්ලිකානුවන්ට නොදෙවෙනි ලෙස සංගත හා ධනවතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කැපවූ සංස්ථාවක් ලෙස වීමය ඒ.

තීරනාත්මක ප‍්‍රශ්නය, එලැඹීමට ඇති දේට සූදානම් වීම යි. ජනාධිපතිවරයා වසයෙන් ජෙරී වයිට් ද උප ජනාධිපති ලෙස නයිල්ස් නිමුත් ද ගෙන යන සමාජවාදී සමානතා පක්ෂයේ මැතිවරන උද්ඝෝෂනයේ කේන්ද්‍රීය අරමුන මෙය යි. එක්සත් ජනපදයේත් ජාත්‍යන්තරවත් කම්කරුවන් හා තරුනයින් මුහුන දී සිටින හා ධනවාදී පද්ධතිය තුල මුල්බැස තිබෙන ප‍්‍රශ්නය පිලිබඳ වැටහීමක් මත පදනම්ව, කම්කරු පන්තියේ දේශපාලන නායකත්වයක් ගොඩනැගිය යුතු ය. එක්සත් ජනපද මැතිවරනය එහි අවසන් අදියරවලට සම්ප‍්‍රාප්ත වෙත්ම, අපගේ මැතිවරන උද්ඝෝෂනයට ආධාර කරන ලෙසත් සසපට බැඳී එය ගොඩනගන ලෙසත් සියලුම කම්කරුවන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

පැට්‍රික් මාටින්

Share this article: