“අපේ විප්ලවය” පිලිබඳ සෑන්ඩර්ස්ගේ කථාවෙහි විප්ලවවාදී කිසිවක් ඇත්තේ නැත

Nothing revolutionary about Sanders’ “Our Revolution”

2016 අගෝස්තු 29

වර්මොන්ට් සෙනෙට් සභික බර්නි සෑන්ඩර්ස් ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති නාම යෝජනා උද්ඝෝෂනයෙන් පසුව, අගෝස්තු 24දා “අපගේ විප්ලවය” දියත් කලේ ය. ව්‍යාජ නාමය හා කන්ඩායමේ වෙබ් අඩවියේ විකාශය කල ප්‍රෝඩාකාරී වීඩියෝව දැක්ම හැරෙන්නට “අපගේ විප්ලවයේ” මොනම විප්ලවවාදී ස්වභාවයක් හෝ ඇත්තේ නැත.

“මිලියන සංඛ්‍යාත ජනතාවගේ පරමාදර්ශය, ශක්තිය හා බුද්ධිය” ගැන වීඩියෝවේ කතාව තුල ඔවුන්ගේ කටයුතු වසර සියගනනක් නැත්නම් දහස් ගනනක් පවා අතීයයට දිවෙන මහජන අරගලයේ දීර්ඝ සම්ප්‍රදායක් සමග එකපෙලට සිටිනු ඇති බව අඟවයි. එහෙත්, සජීවිව විකාශය කල සෑන්ඩර්ස්ගේ කතාව තුලින් ඉදිරිපත් කල ඉදිරිදර්ශනයට අනුව, මෙම ඊනියා අරගලයේ ශක්තිමත් නදියේ ජලධාරවන්, ඩිමොක්‍රටික් පක්ෂය හා හිලිරි ක්ලින්ටන්ගේ උද්ඝෝෂනයේ නරාවල වෙතට දිවෙනු ඇත.

විද්‍යුත් තැපෑල හා ෆේස්බුක් නිවේදනවලට අනුව, “අපගේ විප්ලවය”, “ක්‍රියාවේ වෙනස් අංශ තුනක් වෙත කේන්ද්‍රගත වෙනු ඇත”: “(1) මිලියන සංඛ්‍යාත වැඩකරන ජනයා හා තරුනයින් දේශපාලන පද්ධතිය තුලට ගෙන එමින්; (2) පාසැල් මන්ඩලවල සිට එක්සත් ජනපද සෙනෙට් සභාව දක්වා- ආන්ඩුවේ සමස්ත ප්‍රේක්ෂාවලිය සිසාරා ප්‍රගතිශීලි ඡන්දදායකයින් උද්‍යෝගිමත් කරමින්, බඳවා ගනිමින් හා උදව් කරමින් ; (3) අපගේ ජාතිය මුහුනදී සිටින වඩාත් හදිසි ප්‍රශ්න හා ඒවා විසදීමට අවශ්‍ය පැහැදිලි වැඩපිලිවෙල පිලිබඳව මහජනතාව උගන්වා ගැනීම” යනාදිය යි.

යථාර්ථයේදී මෙයින් අදහස් කරන්නේ (1) මහජනයා ඩිමොක්‍රටික් පාක්ෂිකයන් ලෙස ලියාපදිංචි කරමින් ඩිමොක්‍රටික් පක්ෂයට ඡන්දය දීම සඳහා ඔවුන් දිරිමත් කිරීම; (2) ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රාථමික මැතිවරනවලදී හා මහමැතිවරනවලදී ඩිමොක්‍රටික් පක්ෂයේ ඡන්ද අපේක්ෂකයන්ට ආධාර කිරීම; (3) වැඩකරන ජනතාව මුහුන දී සිටින සමාජ ප්‍රශ්නවලට විසඳුම් වසයෙන් ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රතිගාමී, ධනවාදී හා අධිරාජ්‍යවාදී දේශපාලනය පින්තාරු කිරීමට ප්‍රචාරනය ගෙන යාම යන කාරනාවල් ය.

“අපගේ විප්ලවය” වෙබ් අඩවිය මගින් අනුමත කරන ඡන්ද අපේක්ෂකයන් සෑම අයෙක්ම ඩිමොක්‍රටිකයෙකි. මේ අතරට, දීර්ඝකාලීනව පක්ෂයේ ආස්ථානය වෙනුවෙන් පෙනී සිටින, 2010 වසරේදී දක්ෂිනාංශික රිපබ්ලිකානුවෙක් හමුවේ පරාජය වීමෙන් අනතුරුව සිය පැරැනි රැකියාව බලාපොරොත්තුවෙන් සිටින විස්කොන්සින්හි හිටපු සෙනෙට් සභිකයෙකුවූ රුස් ෆීන්ගෝල්ඩ්, වත්මන් ඩිමොක්‍රටික් නියෝජිතයන් වන ඇරිසෝනා ප්‍රාන්තයේ රාවුල් ග්‍රිජල්වා, හවායිහි තුල්සි ගැබාඩ්, මිනොසෝටාහි කීත් එලිසන් සහ ඔහියෝහි මර්සි කප්ටුර් හා කොන්ග්‍රසය හා ප්‍රාන්ත හා නාගරික ආයතන සඳහා ඩිමොක්‍රටික් අපේක්ෂකයන් කන්ඩායමක් ඇතුලත් වේ.

“අපගේ විප්ලවය” සමග සම්බන්ධව සිටින නාමිකව හෝ එකම “ස්වාධීන” ඡන්ද අපේක්ෂකයා වන්නේ, වර්මොන්ට් හි එක්සත් ජනපද සෙනෙට් සභිකයෙක් ලෙස සිය ධුරයට පෙරලා පැමිනි විට හුදු සංකේතයක් පමනක් වන සෑන්ඩර්ස්ම පමනි. මේ අනුව, “අපගේ විප්ලවය” රටේ දේශපාලන ජීවිතයේ පාලනය හා එහි අනසක ඇමෙරිකානු මූල්‍ය කතිපයාධිකාරය අතට පත් කරන ද්වි-පක්ෂ ක්‍රමයේ දේශපාලන අධිකාරිය යලි බලගන්වයි.

වර්මොන්ට්, බර්ලින්ග්ටන්හිදී නිල වශයෙන් එය දියත් කිරීමට මිනිසුන් කීප සියයක් පමනක් සහභාගිවූ අතරේ, ගෘහස්ථ එකතුවීම් 2600ක් සහ සජීවි ෆේස්බුක් නරඹන්නන් දෙලක්ෂයක ප්‍රේක්ෂකාගාරයකට සෑන්ඩර්ස් ආමන්ත්‍රනය කලේ ය. එතැන් සිට දින හතරක් ගත වෙන තැන, සමාරම්භක වීඩියෝව ලක්ෂ දෙකකට ආසන්න වාරගනනක් යූටියුබ් වෙබ් අඩවිය ඔස්සේ නරඹා ඇත. මෙම සංඛ්‍යාවන් පැහැදිලි කරන්නේ, ප්‍රාන්ත 22ක් හා මිලියන 13ක ඡන්ද ලැබූ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපතිවරන නාමයෝජනා උද්ඝෝෂනයකින් අනතුරුවත් වැඩකරන ජනයා හා තරුනයින් අතරින් සැලකිය යුතු ප්‍රතිචාරයක් සෑන්ඩර්ස් අඛන්ඩව ලබමින් තිබෙන බව යි.

සෑන්ඩර්ස් සිදුකල කතාව, මීට පෙර ඔහුගේ කතාවල කඩමාලුවූ වාචාලකමින් වෙනස්වූයේ යන්තමිනි, නොඑසේනම් එය තවත් හීලෑ කරනු ලැබ පැවතුනි. ඔහු එකදු තැනකදිවත්, “සමාජවාදය“, “ධනවාදය“, “කම්කරු පන්තිය“ හෝ “ධනේශ්වර පන්තිය“ යන වචන සඳහන් නොකලේ ය. ප්‍රාථමික මැතිවරන අතරතුර “මිලියනපතියන් හා බිලියනපතියන්“ ගැන, ඔවුන්ගේ දේශපාලන අනුහස නිරන්තරව හෙලාදකින ලද්දේ වුව ද “අපගේ විප්ලවය” ආරක්ෂා කරගැනීමට ඔවුන්ගේ උදව් බලාපොරොත්තු වන සෑන්ඩර්ස්, මෙවර ඒ ගැන කටක් නොඇරීය.

ප්‍රාථමික මැතිවරන උද්ඝෝෂනය පුරාම සිදුකලාක් මෙන්, සිරියාව හා ඉරාකය තුල එක්සත් ජනපද යුද මෙහෙයුම් උත්සන්න කිරීම, සීඅයිඒ හා පෙන්ටගනය විසින් ඉලක්ක කල අය ඝාතනය කිරීමට ඩ්‍රොන් යානා වලින් විදින මිසයිල බහුලව යොදාගැනීම සහ රුසියාවට හා චීනයට එරෙහිව අනවරතන මිලිටරි ප්‍රකෝපකරන ඇතුලු ඔබාමා පාලානාධිකාරියේ විදෙස් පිලිවෙත පිලිබඳ මොනම විවේචනයක් හෝ සෑන්ඩර්ස් විසින් ඉදිරිපත් නොකල අතර වැඩෙන යුද තර්ජනය පිලිබඳ කිසිදු සඳහනක්වත් නොවීය. “අපගේ විප්ලවය” වෙබ් අඩවිය තුල “අපේ ප්‍රශ්න” පිලිබඳ කොටසේදී මාතෘකා 17ක් පෙල ගස්වා තිබුනි. ඒ සියල්ල දේශීය ප්‍රශ්න වලට සීමා විය. විදෙස් පිලිවෙත හෝ යුද්ධය ගැන එකදු සඳහනක් පවා නොවීය.

යුද්ධය ගැන සෑන්ඩර්ස්ගේ නිහැඬියාව කැපී පෙනෙන්නේ, කතාව සිදුකල එම උදයේම එක්සත් ජනපද ගුවන් ආධාර සහිතව දේශසීමාව තරනය කරමින්, සිරියානු භූමිභාගයන් අල්ලා ගැනීම ඇරඹූ තුර්කි හමුදා ආක්‍රමනයත් සමඟ සිරියානු ගැටුම නාටාකාරව පුලුල් වීමේ තතු හමුවේය.

එක්සත් ජනපදය හා න්‍යෂ්ටික බලවතෙකු වන රුසියාව අතර සෘජු මිලිටරි ගැටුමක අනතුර මතු කරන මෙම ව්‍යසනකාරී වර්ධනය ගැන සඳහනකුදු නොකරන අතරේ, හිලරි ක්ලින්ටන් සමග ඔහු සාකච්ඡා කල ඩිමොක්‍රටික් පක්ෂ වේදිකාව, ඉතිහාසයේ “වඩාත්ම ප්‍රගතිශීලි” එක බව ඔහු පවසයි. රුසියාවේ බටහිර දේශසීමාව දිගට එක්සත් ජනපද-නැටෝ හමුදා තර කිරීම මෙන්ම, සිරියාව තුල නීනි විරෝධී මැදිහත්වීම ඇතුලු අයිසිස් සමග ඔබාමා පාලානාධිකාරියේ යුද්ධය සහ චීනයට පහරදිය හැකි දුරින් එක්සත් ජනපද නාවුක හා ගුවන් බලඇනි වලින් සියයට හැටක් ස්ථානගත කරනු ඇති ඔබමා-ක්ලින්ටන් ආසියාවට “හැරීමේ“ වැඩපිලිවෙලට අනුමැතිය දුන්නේ මේ වේදිකාවම ය.

ඩිමොක්‍රටික් පක්ෂ වැඩපිලිවෙලවල් ඩිමොක්‍රටික් ජනාධිපතිවරුන් හා ඔවුන්ගේ පාලාන තන්‍ත්‍ර විසින් සාමාන්‍යයෙන් නොසලකා හරින බව පැවසූ විවේචකයන්ට පිලිතුරු දෙමින් සෑන්ඩර්ස් කීවේ, “ ලේඛනය හා වේදිකාවේදි ඉදිරිපත් කල දේවල් දූවිලි කකා කොහේ හෝ පෙට්ටගමක තියෙන්ට හරින්නට පහසුවෙන් ඉඩ ලැබෙයි කියලා කවුරුහරි හිතනවා නම්, ඔවුන් සිදුකරන්නේ විශාල වැරැද්දක් ” යනුවෙනි.

වැඩපිලිවෙල තුල ලැයිස්තුගත කර ඇති ඇල්මැරුනු සමාජ ප්‍රතිසංස්කරනවලට පැමිනි විට සෑන්ඩර්ස්ගේ ප්‍රකාශය ප්‍රෝඩාවක් වන අතර ඔහු ද එය දැන සිටියි. ක්ලින්ටන් මැතිවරනය ජයගතහොත්, පුලුල් හෙල්ත්කෙයා වැඩපිලිවෙලක්, යෝධ රැකියා සම්පාදන වැඩපිලිවෙලක්, නිදහස් විද්‍යාල අධ්‍යාපනය හා පැයට ඩොලර් 15ක අවම වැටුපක් සම්බන්ධ පොරොන්දු කටුගා දමනු ඇත. අනෙක් අතට, ප්‍රබලතම එක්සත් ජනපද මිලිටරිය ගොඩ නැගීමටත් මැදපෙරදිග, නැගෙනහිර යුරෝපය හා ආසියා-පැසිෆික් කලාපය තුල එය යොදා ගැනීමට දුන් පොරොන්දු ක්‍රියාවට නැගීම නිශ්චිතවම ක්ලින්ටන්ගේ න්‍යාය පත්‍රය වනු ඇත.

සෑන්ඩර්ස් ඔබාමා පාලානාධිකාරය පිලිබඳව කලේ එකම විවේචනයකි. ගිවිසුමෙන් බැහැර කර ඇති චීනයට එරෙහිව එක්සත් ජනපද නායකත්වය යටතේ ආසියානු, උතුරු ඇමෙරිකානු හා දකුනු ඇමෙරිකානු රටවල් රැලිකිරීම අරමුනු කල වෙලඳ ගිවිසුමක් වන අන්තර්-පැසිෆික් සහයෝගිතාවට ඔමාමාගේ සහාය ලැබීමයි. සෑන්ඩර්ස්ට අවශ්‍යව ඇත්තේ, රිපබ්ලිකන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උමතු සහගත චීන-විරෝධී ස්වෝත්තමවාදය ප්‍රතිරාව නංවන, එයටත් එහා ගිය ජාතිකවාදී ආර්ථික පිලිවෙතකි.

සෑන්ඩර්ස් ඔහුගේ මැතිවරන උද්ඝෝෂනයේ කලමනාකරුවූ ජෙෆ් වීවර් ප්‍රධානියා වසයෙන් නම්කල විට, අපේ විප්ලවයේ ආරම්භක සාමාජිකයන් 15දෙනාගෙන් 8ක්ම ඉවත්වූහ. විශාල ආධාර එක්රැස් කිරීමටත් ආධාරකරුවන් හෙලි නොකිරීමටත් කන්ඩායමට අවසර දෙන 501 (c) (4) තත්වය පවත්වා ගැනීමට ගත් ඔහුගේ තීන්දුවට විරෝධතාවන් එල්ල විනි.

සමස්ත මෙහෙයුමම, සෑන්ඩර්ස්ගේ උද්ඝෝෂනයේ සැබෑ දේශපාලන අරමුන එහි ආරම්භයේදීම එලිදරව් කරයි. එය, එක්සත් ජනපදය තුල කම්කරුවන්ගේ හා තරුනයින්ගේ වැඩෙන ධනපති විරෝධී මනෝගතියේ දේශපාලන ප්‍රකාශනය නොව, මෙම අනතුරු අඟවන වර්ධනයට පාලක පන්තිය තුල කන්ඩායමකගේ ප්‍රතිචාරය යි. සමාජ අසමානතාවට ද වෝල්වීදිය විසින් දේශපාලන පද්ධතිය මත පවත්වන අධිකාරයට ද එරෙහිව එල්ලවෙන මහජන කෝපයේ ගෙල සිරකොට එය දියකර දැමීම පිනිස එම විරුද්ධත්වය ඩිමොක්‍රටික් පක්ෂයේ පිටුපසට හරවා යැවීමට “බිලියනපතියන්ගේ පන්තියට” එරෙහිව “දේශපාලන විප්ලවයක්” ගැන කතා ප්‍රයෝජනයට ගනිමින්, ධනපති දේශපාලන හෙංචයියෙකු වසයෙන් සෑන්ඩර්ස් ඉතා දැනුවත්වම සිය සේවය ප්‍රදානය කර තිබේ.

ඔහුගේ වාචාල දෙඩවිලිවලට ලද මහජන සහායෙන් සෑන්ඩර්ස්මත් තැතිගැන්මට පත්වූ අතර “ප්‍රජාතාන්ත්‍රික සමාජවාදියෙක්” වසයෙන් ඔහු හඳුන්වා ගැනීම මහජන ආකර්ශනය ලබා ගැනීමේ බලගතු ලකුනක් බව සනාථ වීමෙන් සමස්ථ මූල්‍ය කතිපයාධිකාරියම තිගැස්සුනේ ය.

“අපගේ විප්ලවය” පිහිටුවීම පෙන්නුම් කරන්නේ, ධනේශ්වර ද්වි-පක්ෂ ක්‍රමයට ඔහුගේ සහය එකදිගටම ප්‍රදානය කිරීමට සෑන්ඩර්ස් සූදානම් බව යි. එහෙත් සෑන්ඩර්ස් තාවකාලිකව හා ආරම්භක වසයෙන් භුක්ති විඳි දේශපාලනික රැඩිකලීකරනය ඇවිලවූ ධනේශ්වර අර්බුදය, විරැකියාව, දරිද්‍රතාව, සමාජ අසමානතාව හා යුද්ධය සඳහා කොන්දේසි මැතිවරනවලින් පසු පහව නොයනු ඇත. ෆැසිස්ට්වාදී බිලියනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා වෝල්වීදියේ හා පෙන්ටගනය හා සීඅයිඒහි සහචර ඡන්ද අපේක්ෂිකාව වන හිලරි ක්ලින්ටන් අතර තරඟයේ ප්‍රතිපලය වනු ඇත්තේ සංස්ථාපිතය තවදුරටත් දකුනට හැරීමත් ජාත්‍යන්තරව එක්සත් ජනපද මිලිටරි ප්‍රචන්ඩත්වය දැවැන්ත ලෙස ඉහල නැංවීමත් වනු ඇත.

කම්කරු පන්තියේ එලැඹෙන අරගලවලදී, සෑන්ඩර්ස්ගේ උද්ඝෝෂනයේ පාඩම් උකහා ගැනීම තීරනාත්මක ය. යුද්ධයට හා සමාජ අසමානතාවට එරෙහි අරගලය ධනේශ්වර දේශපාලනයේ රාමුව තුල ගෙනයා නොහැකි ය. පාලක පන්තියේ ධනය හා බලයට එරෙහි සෘජු ප්‍රහාරයක් එල්ල කිරීමෙන් වැලකී සිටිය නොහැක. කම්කරු පන්තිය ඩිමොක්‍රටික් පක්ෂයෙන් හා සමස්තයක් වසයෙන් ධනේශ්වර දේශපාලනයෙන් කැඩී කම්කරුවන්ගේ බලය හා සමාජවාදය සඳහා සටන් කරන ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගිය යුතු ය.

පැට්‍රික් මාටින්

Share this article: