ඇමෙරිකානු ඉතිහාසයේ වඩාත්ම අපකීර්තිමක් ඡන්ද අපේක්ෂකයෝ

The most unpopular candidates in American history

2016 සැප්තැම්බර් 5

2016 ජනාධිපතිවරන උද්ඝෝෂනයේ අවසන් අදියරේ අර්ධ-නිල සමාරම්භය, සති අන්ත කම්කරු දිනයෙන් සටහන් කලේය. ජනාධිපති හෝ උප-ජනාධිපති විවාද හතරක්, ඩොලර් මිලියන සියගනන්වල ඔලුව විකාර කරවන ප්‍රචාරක දැන්වීම් හා දේශපාලනය ප්‍රතිගාමිත්වයේ නව ගැඹුර, ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් පක්ෂ දෙකේම පුරසාරම් හා පච වලින් ඊලඟ මාස දෙක සංලක්ෂිත වනු ඇත.

එක්සත් ජනපදය තුල සැලකිය යුතු දේශපාලන අධිකාරියක් භුක්ති විඳින ප්‍රධාන ධනපති පක්ෂ දෙකේ දේශපාලන කුනු කන්ද, වාර්තාගත ජනසංඛ්‍යාවන් එයින් වියෝ කර තිබෙන බවට වැඩෙන සාක්ෂි පවතී. පසුගිය සතියේ ගන්නා ලද මත විමසුම් ඡන්ද පෙන්වා දී ඇත්තේ, ඩිමොක්‍රටික් හිලරි ක්ලින්ටන් හා රිපබ්ලිකන් ඩොනල්ඩ් ට්‍රම්ප් යන දෙදෙනාම සඳහා සහාය පහත වැටෙමින් තිබෙන බව යි. මෙයිනුත්, ක්ලින්ටන්ගේ ඡන්ද සංඛ්‍යාව ට්‍රම්ප්ට ද වඩා සීග්‍රයෙන් පහත වැටෙමින් තිබෙන අතර, ට්‍රම්ප් “හිඩැස පිරවීම” ආරම්භ කර ඇතැයි යනාදී සිරස්තල පල වෙමින් තිබේ.

දැන් පුලුල්ව පිලිගන්නා පරිදි, ක්ලින්ටන් හා ට්‍රම්ප් වත්මන් එක්සත් ජනපද ඉතිහාසයේ වඩාත්ම අපකීර්තිමත් ඡන්ද අපේක්ෂකයින් දෙදෙනා ය. ඡන්දය ලබා දුන් අයගෙන් තුනෙන් දෙකකට ආසන්න සංඛ්‍යාවක් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරන අතර එයින් සියයට 44ක් ඔහු වර්ගවාදියෙක් ලෙස ද සියයට 59ක් ඔහු ආධානග්‍රාහිත්වයට ආයාචනා කරන බව ද කියති. එතකුදු වුවත් ට්‍රම්ප් සිටගන්නේ, පසුගිය සතියේ තම විරුද්ධ ඡන්ද සංඛ්‍යාව සියයට 60ක ප්‍රතිශතයක් සලකුනු කල ක්ලින්ටන්ට යාන්තම් පිටුපසිනි. ඇයට ඡන්දය දීමට සැලසුම්කරන බොහෝ දෙනෙක්ද ඇතුලුව මත විමසුමේදී ඡන්ද දුන් තුනෙන් දෙකකට ආසන්න පිරිසක් කියන්නේ, හිටපු රාජ්‍ය ලේකම් දූෂිත, බොරුකාරියක් හා විස්වාසය තැබිය නොහැකි අයෙක් බව යි.

සංගත පාලිත මාධ්‍යයට කිව නොහැකි නමුත් නිශ්චිත සත්‍ය කාරනය වන්නේ, ඡන්ද අපේක්ෂකයින් දෙදෙනා ගැඹුරින්ම වෛරයට පාත්‍රව ඇත්තේ, ඇමෙරිකානු කම්කරුවන් හා තරුනයින් වමට නැඹුරු වන කොන්දේසි යටතේ, ඇමෙරිකානු පාලක පන්තියේ උත්සන්න වන දක්ෂිනාංශික පිලිවෙත් අපේක්ෂකයින් දෙදෙනාම විසින් නියෝජනය කිරීම නිසාය යන්න යි.

පසුගිය සතියේ ඡන්ද අපේක්ෂකයින් දෙදෙනාගේ ක්‍රියාවන් අවධාරනය කර ඇත්තේ, ඇමෙරිකානු දේශපාලන සංස්ථාපිතයේ දැවැන්ත ජරපත්වීම යි. ඇරිසෝනාවලදී ට්‍රම්ප් පැයක කතාවක් කලේ ය. එය, විරැකියාව, අපරාධ, අයවැය හිඟයන් හා ත්‍රස්තවාදය සඳහා ඔහුගේ චෝදනාව එල්ලවූ ලැයිස්තු ගත නොකල සංක්‍රමනිකයන්ට එරෙහිව පැයක් තිස්සේ සිදුකල වාග්ප්‍රහාරයකි. ඔහුගේ ෆැසිස්ට්වාදී තර්ජනය අවසන් කෙරුනේ, ජනාධිපති වසයෙන් ඔහුගේ පලමු ක්‍රියාව ලෙස මිලියන සංඛ්‍යාත සංක්‍රමනියකයන්ට රැඳවුම් කඳවුරු වලට කොටු කිරීමට නියෝග කරන්නෙමියි පොරොන්දු වෙමින් ඇමෙරිකාව තුල පොලිස් රාජ්‍යයක් ස්ථාපිත කිරීම සඳහා ඉදිරිපත් කල කරුනු 10ක සැලසුමක් ද සමගිනි.

ඇගේ පැත්තෙන් ක්ලින්ටන්, ඇමෙරිකානු හමුදා පද්ධතියට- දක්ෂිනාංශික කොමියුනිස්ට් විරෝධයේ හා මිලිටරිවාදයේ ප්‍රාකාරය- එක්සත් ජනපද මිලිටරි පිලිවෙත සම්බන්ධයෙන් කථාවක් කලා ය. එහිදී ඇය තමන් ඉදිරිපත් කර ගත්තේ, ඇය විසින් රුසියානු රූකඩයෙක් ලෙස නම් කල ට්‍රම්ප්ට වඩා බෙහෙවින් ආක්‍රමනශීලි හා විස්වාසනීය ත්‍රිවිධ හමුදා ප්‍රධානියා වසයෙනි. චීනය හා රුසියාව විසින් එක්සත් ජනපදයට එල්ල කෙරෙතැයි පැවසෙන තහවුරුනොකල සයිබර් ප්‍රහාරයක තර්ජනයකට ප්‍රතිචාර වසයෙන්, බලය යොදන බවට ඇය තර්ජනය කලා ය. එමෙන්ම, ඇගේ උද්ඝෝෂනය අනුමත කල ඉරාක යුද්ධයේ සියලුම සැලසුම්කරුවන් සියල්ලන් ද ඇතුලු රිපබ්ලිකන් ජාතික ආරක්ෂක නිලධාරීන්ගේ වැඩෙමින් පවත්නා ලැයිස්තුවට ඇය හුරේ දැම්මා ය.

හිටපු රිපබ්ලිකන් රාජ්‍ය ලේකම්වරුන් දෙදෙනෙක් වන හෙන්රි කිසිංගර් හා ජෝර්ජ් ෂූල්ට්ස් තමන් ට්‍රම්ප්ට සහාය නොදෙන බව සිකුරාදා දින ප්‍රසිද්ධියේම සඳහන් කිරීමත් සමඟ, එක්සත් ජනපද මිලිටරි-බුද්ධි අංශ යාන්ත්‍රනයේ දැනුවත් ඡන්ද අපේක්ෂිකාව වසයෙන් ක්ලින්ටන්ගේ තරාතිරම තවදුරටත් තහවුරු කෙරිනි. ට්‍රම්ප් අනුමත කිරීම ප්‍රතික්ෂේප කරමින්, හිටපු රිපබ්ලිකන් ජනාධිපතිවරුන් දෙදෙනෙක් වූ ජොර්ජ් එච්.ඩබ්ලිව් බුෂ් හා ඔහුගේ පුත් ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් සහ 2012 වසරේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂකමිට් රොම්නි ද ඔවුන්ට එකතු වූහ.

93 වියැති කිසිංගර් හා 95 වියැති ෂූල්ට්ස් ප්‍රසිද්ධියේම ක්ලින්ටන්ට අනුමැතිය පල නොකල නමුත්- කිසිංගර් වියට්නාම් යුද්ධය තුල ඔහුගේ භූමිකාව වෙනුවෙන් යුද අපරාධකරුවෙක් ලෙස පලල්ව නින්දාවට පත්ව තිබීම හේතුවෙන් ඇතැම්විට ක්ලින්ටන්ගේ ඉල්ලීම මත එසේ වූවා විය හැක- ඔවුන්ගේ තේරීම පිලිබඳව ඔවුන්ගේ ඒකාබද්ධ ප්‍රකාශය කිසිදු සැකයක් තබා නැත: “ ද්විපාර්ශවීය විදෙස් පිලිවෙතක් වර්ධනය කිරීමට කැපවී සිටින අප මෙම අරමුන වෙනුවෙන් දැන් හා මැතිවරනයට පසුව ද කැපවෙන්නෙමු”.

ට්‍රම්ප් හා ක්ලින්ටන්ගේ කතා හමුවේ රොයිටර්/ඉප්සොස් මත විමසුම පෙන්වා දුන්නේ, ඩිමොක්‍රටිකයන් රිපබ්ලිකානුවන්ට ඉදිරියෙන් සිටින්නේ සියයට 40ට 39ක් වසයෙන් පමනක් බව යි. සියයට 21ක් තුන් වැනි ඡන්ද අපේක්ෂකයෙකුට කැමත්තෙන් සිටින බව හෝ තවමත් තීන්දුවකට පැමින නැති බව මෙහි තේරුම යි. කෝටියකට වැඩි ඡන්ද දායකයින් පිරිසක්, එයින් වැඩි දෙනෙක් තරුනයින් හා කම්කරුවන් වන අතර, ප්‍රධාන සංගත පාලිත පක්ෂ විසින් ඉදිරිපත් කර ඇති “වරනය” පිලිබඳ කලකිරීමට පත්ව විකල්පයක් සොයමින් සිටින බව, මාධ්‍ය තුල “තුන්වැනි පක්ෂයේ” අපේක්ෂකයන් වසයෙන් හඳුන්වා දෙන ලිබර්ටේරියන් ගැරී ජොන්සන් හා හරිත පක්ෂයේ ජිල් ස්ටෙයින් සඳහා වැඩිවෙමින් පවත්නා ඡන්ද වලින් පෙන්නුම් කරයි.

ඡන්ද ප්‍රතිපල දල වශයෙන් පෙන්නුම් කරන්නේ ජොන්සන් සියයට 10ක් හා ස්ටෙයින් සියයට 5ක් වසයෙන් සියයට 15ක ඒකාබද්ධ ඡන්ද සංඛ්‍යාවක් ලබා තිබෙන බව යි. මෙය, 2012 ජනාධිපතිවරනයේදී ලිබටේරියන් හා හරිතයන් නියෝජනය කරමින් මෙම ඡන්ද අපේක්ෂකයින් දෙදෙනා ලබා ගත් ඡන්ද මෙන් දස ගුනයකි. මෙම අපේක්ෂකයින් දෙදෙනාගෙන් අයෙකුට ඡන්දය ලබා දීමට බලාපොරොත්තු වන බහුතරයක්, වර්මොන්ට් සෙනෙට් සභික බර්නි සෑන්ඩර්ස්ගේ ආධාරකරුවන්ගේ ගනයට අයත් වෙති: බහුතරයක්, එනම් සියයට 51 වයස අවුරුදු 34ට අඩු අය වන අතර තමන් ක්ලින්ටන්ට හෝ ට්‍රම්ප්ට වඩා සෑන්ඩර්ස්ට කැමැත්ත දක්වන අය වසයෙන් හඳුන්වා ගනිති.

මෙම සංඛ්‍යාවන් අවධාරනය කරන්නේ, ලිබටේරියන් හා විශේෂයෙන්ම, පෙනුමෙන් “වාමාංශය” වන හරිත පක්ෂය ගෙන යන උද්ඝෝෂන දෙකේම දේශපාලන කාර්යභාරය යි. ඔවුහු, ඩිමොක්‍රටිකයන් හා රිපබ්ලිකානුවන් කෙරෙහි වැඩෙන මහජන විරුද්ධත්වය ධනේශ්වර දේශපාලන රාමුව තුලසිර කර තැබීම පිනිස ක්‍රියාත්මක වෙති.

ලිබටේරියානුවන් පැහැදිලිවම ධනපති ගැති පක්ෂයකි. ඔවුහු, රාජ්‍ය සේවාවන් බිඳ දැමීම හා සංගත ව්‍යාපාරවල මෙහෙයුම්වලට පවතින සියලුම බාධාවන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ගත් කල ඩිමොක්‍රටිකයන් හා රිපබ්ලිකානුවන්ට ද වඩා දුරයන අන්ත දක්ෂිනාංශික පිලිවෙත්වලට අනුබල දෙති. ඒ අතරම, ආන්ඩුවේ ඔත්තුබැලීම් හා විදෙස් යුද්ධවලට විරුද්ධ බව කියමින් ජනප්‍රිය ප්‍රජාතාන්ත්‍රික හා යුදවිරෝධී හැඟීම්වලට ද ඔවුහු ආයචනා කරති.

ජනතාවගේ වාම නැඹුරුවක් සහිත ස්ථර, විශේෂයෙන්ම ආරම්භයේදී සෑන්ඩර්ස්ට ආකර්ශනයවූ අයට උගුල් ඇටවීමට මාන බලමින් හරිතයෝ, පාලක පන්තියට තීරනාත්මක සේවාවක් ඉෂ්ට කරති. සෑන්ඩර්ස් ඔහුගේ උද්ඝෝෂනය මහාමැතිවරනයේදී ද අඛන්ඩව ගෙනයාමට එකඟ වන්නේ නම් හරිත පක්ෂයේ නාමයෝජනාව ඔහුට දීමට ස්ටෙයින් පූර්වයේදී පෙරට ආවා ය. ඇගේ මෑත උද්ඝෝෂන මුහුනුවර සංලක්ෂිතව ඇත්තේ, ක්ලින්ටන් පෙන්ටගනය හා සීඅයිඒ වැලඳගෙන තිබීම ඉලක්ක කරගෙන ඉහල මට්ටමේ වාචාල යුද විරෝධී මවාපෑමකිනි.

එහෙත් හරිත පක්ෂය, ලිබටේරියන්, ඩිමොක්‍රටිකයන් හෝ රිපබ්ලිකානුවන්ට වඩා අඩු ධනපති පක්ෂයක් නොවේ. ඉහලම මට්ටමේ පාරිසරික ආරක්ෂනයකට පමනක් උපදෙස් දෙමින් ඔවුන් ලාභ පද්ධතියට පිටුබලය දෙයි. හරිත පක්ෂ වේදිකාවේ සමාජවාදය ගැන කෙරෙන එකම සඳහන ද එය දැඩි ලෙස ප්‍රතික්ෂේප කිරීමය.

ස්ටෙයින්ගේ හදිසියේම යුද විරෝධී පුරසාරම් කෙරෙහි නැඹුරු වීම ද සත්‍යවාදී හෝ විශ්වාසනීයත්වයෙන් තොර ය. හරිත පක්ෂ ධනේශ්වර ආන්ඩුවලට ඇතුලත්වූ කවර තැනක වේවා ඔවුහු මුලුහදවතින්ම මිලිටරිවාදය වැලඳගෙන ඇත. වඩාත්ම කුප්‍රකට උදාහරනක් වන්නේ, ග්‍රීන් විදේශ ඇමති ජොෂ්කා ෆිෂර්, කොසොවෝ යුද්ධයේදී හා අනතුරුව ඇෆ්ගනිස්ථානය තුල ජර්මන් මිලිටරියේ කාර්යභාරය පුලුල් කිරීමට මැදිහත් වීමත්, ප්‍රධාන මිලිටරි බලයක් වසයෙන් ජර්මන් අධිරාජ්‍යවාදය පුනර්ජීවනය කිරීම සඳහා ජර්මානු හරිත පක්ෂය විසින් පාර තනා දීමත් යි.

2016 ජනාධිපතිවරනයේදී ඇමෙරිකානු තරුනයින්ගේ හා කම්කරුවන්ගේ වාම නැඹුරුව වෙනුවෙන් අවංකව කතා කරන සහ පැහැදිලි සමාජවාදී හා යුද විරෝධී වැඩපිලිවෙලක් වෙනුවෙන් ඉදිරිපත්ව සිටින්නේ එක පක්ෂයක් පමනි. ඒ, සමාජවාදී සමානතා පක්ෂය හා ජනාධිපතිවරයා සඳහා ජෙරී වයිට් ද උපජනාධිපති සඳහා නයිල්ස් නිමුත් ද යන අපගේ ඡන්ද අපේක්ෂයන් දෙදෙනා ය.

ඉතාම හොඳ හේතුවක් නිසාවෙන්, සසප ඡන්ද අපේක්ෂකයන් සංගත මාධ්‍යවලින් අත්පොලොසන් හෝ අනුග්‍රහය දක්වන සම්මුඛ සාකච්ඡාවන් නොලබති: කම්කරු පන්තිය හා තරුනයින් බලමුලු ගැන්වීමටත් මහා ව්‍යාපාරවල ආඥාදායකත්වය අවසන් කිරීමට විප්ලවවාදී සමාජවාදී වැඩසටහනක් අපගේ උද්ඝෝෂනය ඉස්මත්තට ගෙන එයි. ධනේශ්වර පිලිවෙත්වලට සැබෑ විකල්පයක් සොයන සියලු දෙනාගෙන් අප ඉල්ලා සිටින්නේ, එම උද්ඝෝෂනයට ආධාර කරන ලෙසත් එය ගොඩනැගීමට පෙරට එන ලෙසත්ය.

පැට්‍රික් මාටින්

Share this article: