නිෂ්පාදන පලදායිතාව මත පාදක වැටුප් ක්‍රමය වහා ක්‍රියාවට දැමිය යුතුයැයි වැවිලි කර්මාන්ත ඇමති අවධාරනය කරයි

ඩබ්ලිව්.ඒ.සුනිල් විසිනි, 2016 සැප්තැම්බර් 23

නිෂ්පාදන පලදායිතාවට වතු කම්කරුවන්ගේ වැටුප ගැට ගසන යෝජිත “ආදායම් බෙදීමේ” නව වැටුප් ක්‍රමය තවදුරටත් පමා නොකර වහාම ක්‍රියාවට දැමිය යුතුයැයි‚ සැප්තැම්බර් 9දා පැවැති ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමේ දී වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක අවධාරනය කලේ ය.

වැවිලි කර්මාන්තය මුහුන පා ඇති අර්බුදයට “වෘත්තීය සමිති වගකිව යුතු තරමට ම ප්‍රාදේශීය වැවිලි සමාගම් ද වගකිව යුතු යැයි” ඇමති දිසානායක එහිදී සටකපට ලෙස වෘත්තීය සමිති සහ වතු සමාගම් වලට චෝදනා කරන ආකාරයෙන් කතා කල නමුත් ඇත්ත වසයෙන් ම ඔහු ඉස්මත්තට පැමින ඇත්තේ,අර්බුදයේ බර කම්කරුවන්ගේ කර මතට කඩිනමින් කඩාපාත් කිරීමට උත්සාහ කරන වතු සමාගම් සඳහා උද්ඝෝෂනය කරන්නෙකු ලෙස ය.

වතු සමාගම් “වඩා දෘඪතර ආස්ථානයක්” ගෙන තිබුනේ නම්‚ එවන් වැටුප් ක්‍රමයක් මුලදී ම ක්‍රියාවට දැමීමට හැකිව තිබුන බවට දිසානායක එහිදී ඇඟවුම් කල බව‚ ඩේලි එෆ්ටී පත්තරය වාර්තා කලේ ය. එහෙත් වතු සමාගම් “දෘඪතර ආස්ථානයක්”නොගැනීම ගැන දිසානායක ගේ ප්‍රකාශය‚ සාවද්‍ය මෙන් ම වංචනික ය. සත්‍යය නම්‚ වතු සමාගම් පමනක් නොව දිසානායක ඇතුළු ආන්ඩුව හා වෘත්තීය සමිති ද‚ වතු කම්කරුවන්ගේ වැටුප නිෂ්පාදන පලදායිතාවට ගැට ගැසීමේ දෘඪතර ප්‍රයත්නයක යෙදී සිටින බවයි.

2013 දී අත්සන් කල සාමූහික වැටුප් ගිවිසුමට‚ වැඩ ඉලක්කයන් ඉහල දැමීමේ කොන්දේසි‚ කම්කරුවන්ට හොරෙන් වෘත්තීය සමිතිවල අනුදැනුම ඇතිව වතු සමාගම් විසින් ඇතුලත් කලේ එහි ආරම්භක පියවරක් වශයෙනි. එමගින් දිනකට නෙලන තේ දළු ප්‍රමානය කිලෝ 16 සිට 18-20 දක්වා ඉහල දැමීමට ගත් උත්සාහය මුළුමනින් ම සාර්ථක නොවුයේ‚ කම්කරුවන්ගෙන් මතු වූ බරපතල විරුද්ධත්වය නිසාවෙනි. සමිති වල මග ඇවිරීම තිබියදී ම ඊට එරෙහිව හැටන්, මස්කෙලිය ඇතුළු ප්‍රදේශ වල දහස් ගනනක් කම්කරුවෝ වර්ජන හා වෙනත් විරෝධතා උද්ඝෝෂන වලට එලැඹුනහ.

පසුගිය වසරේ මාර්තු මාසයේ එම සාමුහික ගිවිසුම අවලංගුවීමෙන් පසු‚ දෛනික පදනම මත වැටුප් වැඩි කිරීම එකදිගට ම හා මුරන්ඩු ලෙස ප්‍රතික්ෂේප කල වතු සමාගම්‚ කම්කරුවන්ගේ වැටුප නිෂ්පාදන පලදයිතාවට ගැට ගසා ශ්‍රම සුරාකෑම තීව්‍ර කර “ආදායම් බෙදීමේ” ක්‍රමයක් යෝජනා කලෝ ය. යෝජිත ආදායම බෙදීමේ ක්‍රමයට අනුව‚ නිශ්චිත තේ පඳුරු ප්‍රමානයක නඩත්තුව හා දළු නෙලීම කම්කරුවන්ට පවරන අතර ආදායමෙන් පොහොර සහ කෘෂිරසායන ආදියට යන වියදම කපා ගැනීමෙන් පසු ඉතිරියෙන් සොච්චමක් කම්කරුවන්ට ගෙවනු ලබයි. මෙය කම්කරුවන් අඳ ගොවි ක්‍රමයකට යටත් කිරීමකි. මතුරට වැවිලි සමාගම ඇතුළු වතු සමාගම් ගනනාවක් දැනටමත් එය අත්හදා බලමින් සිටින නමුත් කම්කරුවන්ගේ විරුද්ධත්වය නිසා‚ සැලැස්ම මුලුමනින්ම ක්‍රියාවට දමා ගැනීමට වතු සමාගම් සමත් වී නැත.

වෘත්තීය සමිති කිසිසේත් ම යෝජිත සැලැස්මට විරුද්ධ නැත. වෘත්තීය සමිති මෙන් ම ආන්ඩුව ද බිය වුයේ, එය එකවර ක්‍රියාවට දැමීම මගින් බරපතල සමාජ පිපිරීමක් වතු කම්කරුවන් තුලින් පුපුරා යාමට ඇති ශක්‍යතාව ගැන ය. ආන්ඩුවේ සහ වෘත්තීය සමිතිවල අනුග්‍රහය ඇතිව යෝජිත නව වැටුප් ක්‍රමය වට වංගුවෙන් ක්‍රියාවට දැමීමේ සැලැස්මක් වතු සමාගම් විසින් පසුගිය මාසයේ යෝජනා කලේ ඒ නිසා ය. එය, වැඩ දින ගනනින් දින 12 ක් පවතින දෛනික වැටුප් ක්‍රමය යටතේ දළු නෙලීමටත්, ඉතිරි දින ගනනට නෙලන දළු ප්‍රමානය අනුව ගෙවීමේත් දෙමුහුන් ක්‍රමයකි. මේ සැලැස්මට කම්කරුවන් එකඟ කර ගැනීමේ උප්පරවැට්ටියක් ලෙස දෛනික වැටුපට වැඩකරන දින 12 සඳහා දිනකට රුපියල් 100ක් වැඩිපුර ගෙවන බව, එනම් රුපියල් 620 වර්තමාන දෛනික වැටුප 720 දක්වා වැඩිකරන බව ද සමාගම් කීහ.

කම්කරුවන්ගේ ඇස්වලට වැලි ගසා සැලස්ම ක්‍රියාවට දැමීමට අනුබල දීමක් ලෙස‚ මාසයකට රුපියල් 2,500 බැගින් මාස දෙකක අමතර දීමනාවක් ගෙවීමට වතු සමාගම්වලට ආන්ඩුවෙන් රුපියල් මිලියන 1000ක නය මුදලක් ද ලබාදුන්නේ ය. මාස දෙකක් ඇතුලත නව ගිවිසුම අත්සන් කල යුතු යැයි කම්කරු ඇමති ඩී.ඩබ්ලිව්.ජේ. සෙනෙවිරත්න වෘත්තීය සමිති වලට අවධාරනය කලේ ය.

යෝජිත නව වැටුප් සැලැස්ම ක්‍රියාවට දැමීමේ ආන්ඩුවේ සහ වතු සමාගම් වල මේ උප්පරවැට්ටියට හුරේ දැමු වෘත්තීය සමිති‚ එය “ජයග්‍රහනයක්” යැයි කම්කරුවන් ට කීහ. පෙර පැවති ධනපති ආන්ඩු මෙන් ම මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ ආන්ඩුව‚ කම්කරුවන්ගේ වැටුප් ඉල්ලීම් සහ සෙසු අයිතිවාසිකම් රැකීමට කැපවී සිටින ආන්ඩුවක් නොවේ. වැවිලි කර්මාන්තයේ වර්තමාන අර්බුදය තුල කම්කරුවන්ගේ වැටුප් ඉල්ලීම් සම්බන්ධයෙන් ආන්ඩුවේ සහ වතු හාම්පුතුන්ගේ ආස්ථානය දෙකක් නොව, එකකි. වැවිලිකරුවන්ගේ සංගමයේ වාර්ෂික සම්මේලනයේ දී සංගමයේ සභාපති රාජදුරෙයි සහ අගමැති වික්‍රමසිංහගේ ප්‍රකාශයන්ගෙන් එය වඩාත් තහවුරු වෙයි.

එහි දී‚ “කවර පීඩනය යෙදුවත් ඔබ උපයන්නේ නැති දෙය හෝ ඔබ සතුව නැති දෙය ගෙවිය නොහැකි” බව ප්‍රකාශ කල රාජදුරෙයි‚ “කම්කරුවන් සහ වෘත්තීය සමිති කර්මාන්තය හිඟමනට ඇද දැමීමේ පිලිවෙත අනුගමනය නො කල යුතු” යැයි අනතුරු ඇඟවීය. රාජදුරෙයිගේ ප්‍රකාශය වතු කම්කරුවන්ට කල ගැරහීමකි. සැබෑ නිෂ්පාදකයා වන්නේ කම්කරුවා ය. රාජදුරෙයි ඇතුළු ධනපති පරපුට්ටන් කරන්නේ‚ කම්කරුවන්ගේ ශ්‍රමය සූරාකෑම මගින් ලාබ මිරිකා ගැනීම ය. වතු කම්කරුවන් සිය අතීත අරගල මගින් දිනා ගත් යම් සොච්චම් සමාජ සුභාසාධනයන් අහෝසි කිරීමේ ද වැටුප නිෂ්පාදන පලදායිතාවට ගැට ගසා ශ්‍රම සුරාකෑම තීව්‍ර කිරීමේ සැලසුම් ක්‍රියාවට දැමීමේ ද ප්‍රයත්නයක රාජදුරෙයි ඇතුළු වතු හාම්පුතුන් යෙදී සිටින්නේ‚ කම්කරුවන් තව තවත් හිඟමනට ඇද දමා ලාබ මඩි ගසා ගැනීමට ය.

වතු සමාගම් වල දුෂ්ට සැලැස්මට අනුබල දෙමින් අගමැති වික්‍රමසිංහ ප්‍රකාශ කලේ‚ “වෙලඳපොලේ පවතින මේ දුෂ්කර කොන්දේසි නිසා‚ වතු කම්කරුවන්ගේ වැටුප් සම්බන්ධව සහතික විය හැකි යම් එකඟතාවන් ඇතිකර ගැනීම දුෂ්කර හා ඔවුන් ඉල්ලා සිටින වැටුප් වැඩිවීම් දිය නොහැකි” බව ය.

සමිති නිලධරය විසින් සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව කම්කරු හිතැති ආන්ඩුවක් ලෙස පින්තාරු කරන්න හදන්නේ‚ ආන්ඩුවේ කම්කරු විරෝධය මෙලෙස ඇස්පනාපිට ඔප්පු වන තත්වයක් තුල ය. එහෙත්, එය අහඹුවක් නො වේ. කම්කරු ජාතික සංගමයේ කඳුරට ජනතා පෙරමුන සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුන‚ ආන්ඩුවේ පාර්ශවකරුවන් වන අතර ලංකා ජාතික වතු කම්කරු සමිතිය මෙහයවනු ලබන්නේ‚ අගමැති රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය විසිනි. දැනට විපක්ෂයේ සිටින අනෙක් ප්‍රධාන වතු කම්කරු සමිතිය වන ලංකා කම්කරු කොන්ග්‍රසය‚බලයට පත් ධනපති ආන්ඩු හැම එකක ම පාර්ශවකරුවෙකු ලෙස ක්‍රියා කලේ ය. කෙසේනමුත්, ධනපතියන් හා ධනපති දේශපාලනඥයන් වන මේ සමිතිවල නායකයන් ආන්ඩුව තුල හෝ විපක්ෂයේ සිටියත්‚ ඔවුන් කැපවී සිටින්නේ ධනපති ආන්ඩුවේ හා වතු සමාගම් වල උත්සුකතාවන් වෙනුවෙන් මිස‚ කම්කරුවන්ගේ අයිතීන් සම්බන්ධයෙන් නො වේ.

ලෝක ආර්ථීක අවපාතය ගැඹුරුවීම, තේ නිෂ්පාදනය කරන කෙන්යාව, ඉන්දියාව ඇතුළු රටවල් සමග තරඟය තීව්‍රවීම සහ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ දේශපාලන හා මිලිටරි ප්‍රකෝපකරනයන් නිසා‚ ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ තේ මිලදී ගත් රුසියාවේ සහ මැද පෙරදිග රටවල ආර්ථික සහ දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන්‚ පසුගිය වසර දෙක තුල ශ්‍රී ලංකාවේ තේ අපනයන ආදායම බෙහෙවින් පහත වැටුනි. 2014 වසර හා සැසදීමේ දී‚ 2015 වසරේ තේ නිෂ්පාදනය සියට 2.7 කින් හා තේ අපනයන ආදායම සියයට 14.3 කින් පහත වැටී ඇත. එම කාලය තුල රබර් අපනයන අදායම රුපියල් බිලියන 5.9 සිට 3.5 දක්වා සියයට 40 කින් පහත වැටී ඇත. වැවිලි කර්මාන්තය දසවසරක් පුරා පහලට නැඹුරුවූ සර්පිලයක් තුල පවතින බව‚ වැවිලි කරුවන්ගේ සංගමයේ සභාපති රොෂාන් රාජදුරෙයි මෑත දී ප්‍රකාශ කලේ ය.

නිෂ්පාදන පලදායිතාවට කම්කරුවන් ගැටගැසීමට අමතරව ලෝක වෙලඳපොලේ තරඟයට මුහුන දීම සඳහා සමහර වතු සමාගම් ඒකාබද්ධ කිරීමේ සහ පාඩු ලබන වතු දේශීය හෝ විදේශීය ආයෝජකයන් ට යලි බදු දීමට ආන්ඩුව අපේක්ෂා කරයි. “ඔවුන් දේශීය හෝ විදේශීය වේවා පාඩු ලබන වතු සමාගම් ඒවා සංවර්ධනය කල හැකි අයට පැවරීමට මා යෝජනා කරනවා” යැයි වික්‍රමසිංහ අගෝස්තු 28දා හැටන් නගරයේ පැවති රැස්වීමක දී ප්‍රකාශ කලේ ය.

වතු සමාගම් සහ ආන්ඩුව, වෘත්තීය සමිතිවල උපකාරය ඇතිව‚ වතු කම්කරුවන් මත අර්බුදයේ බර පැටවීමේ සැලසුම් වේගවත් කිරීමට තීන්දු කර ඇති බව ඉතා පැහැදිලි ය.

Share this article: