සිරියානු “පියාසර තහනම්” කලාපයේ අර්ථය, රුසියාව සමඟ යුද්ධය බව ඇමරිකාවේ ප‍්‍රමුඛ ජෙනරාල් වරයා අනතුරු අඟවයි

Top US general warns Syrian "no-fly" zone means war with Russia

බිල් වෑන් ඕකන් විසිනි, 2016 සැප්තැම්බර් 24

සිරියාව තුල “පියාසර තහනම්” කලාපයක් ඇටවීම වනාහි, සිරියාව හා රුසියාව යන දෙරටම සමඟ ඇමරිකාව යුද්ධයට පැටලීම යයි ඇමරිකාවේ ප‍්‍රමුඛ මිලිටරි ආඥාපතියෙක් 22දා සෙනේට් හමුදා සේවා කමිටුව වෙත පවසා ඇත.

ඒකාබද්ධ මාන්ඩලික ප‍්‍රධානී මැරීන් ජෙනරාල් ජෝසෆ් ඩන්ෆෝර්ඩ්, රිපබ්ලිකන් පක්ෂයේ බලධාරී කොටස් මෙන්ම ඩිමොක‍්‍රටික් ජනාධිපති අපේක්ෂක හිලරි ක්ලින්ටන් විසින් ද කරගසාගෙන යන පිලිවෙතේ බරපතල ඇඟවුම් ගෙනහැර දැක්වීය. ඒ, සිරියාව තුල වැඩිවන ප‍්‍රචන්ඩත්වය මෙන්ම, සිරියානු හා රුසියානු ප‍්‍රහාරක ගුවන් යානා ඒක පාර්ශ්විකව බිමට බස්සන ලෙස වොෂින්ටනය රුසියානු ආන්ඩුවට වැඩි වැඩියෙන් බලපෑම් කරමින් සිටින තතු හමුවේය.

රාජ්‍ය ලේකම් කෙරී නැවත නැවතත් කියා සිටියේ, අවශ්‍යයෙන්ම එක් පැත්තකට යන “පියාසර තහනම්” කලාපයකට රුසියාව එකඟ විය යුතු බවය. ඒ ඇමරිකානු ප‍්‍රහාරක යානා නොකඩවා ගුවන් ප‍්‍රහාර එල්ල කරන අතරතුරය.

කෙරී සිය යෝජනා ඉදිරිපත් කලේ, ඔහු සහ රුසියානු විදේශ ඇමති සැප්තැම්බර් 9දා එකඟවූ සටන් විරාම ගිවිසුම පනගන්වමින් “විශ්වාසනීයත්වය” ගොඩනැඟීමේ උත්සාහයක් ලෙසය. මෙම සතුරුකම් දුරලීම, එය ක‍්‍රියාත්මක කර සතියක් යන්ටත් මත්තෙන් බිඳ වැටුනි. ඒ, ගිවිසුමේ කොන්දේසි පිලිගැනීම ප‍්‍රතික්ෂේප කල ඇමරිකාවේ සහාය ලබන ඉස්ලාමීය “කැරලිකරුවන්” සිය වතාවකටත් වැඩියෙන් එය උල්ලංඝනය කල තතු හමුවේ හා එකකට පසුව තවෙකක් වශයෙන් එල්ල කල ප‍්‍රහාර දෙකකට පසුවය.

සිරියානු සෙබලු 90ක් මරාදමමින් හා 100ට තුවාල සිදු කරමින් ඇමරිකාව හා එහි සහචරයින්ගේ ප‍්‍රහාරක යානා සතියකට පෙර සිරියානු හමුදා මධ්‍යස්ථානයකට පහර දීම පලමුවැන්නයි. වොෂින්ටනය එය අත්වැරදීමක් බව කියා සිටිය ද සිරියානුවන් පෙන්වා දී ඇත්තේ, බෝම්බ දැමූ මධ්‍යස්ථානය ඉක්මනින්ම අල්ලා ගැනීමට අයිසිස් යන ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් විසින් එල්ල කල ගොඩබිම් සටන හා ගුවන් ප‍්‍රහාරය එකට සම්බන්ධීකරනය කර තිබුන බවක් පෙනී යන බවයි.

ඉන් පසුව සැප්තැම්බර් 19දා ඇලේප්පෝහිදී මානවවාදී ආධාර රිය පෙලකට එල්ලවූ ප‍්‍රහාරයකින් 20ක් මියගොස් ට‍්‍රක් රථ 18ක් විනාශ විය. වොෂින්ටනය කිසිදු සාක්ෂියකින් තොරව ප‍්‍රහාරය ගැන රුසියාවට චෝදනා නැඟීය. රුසියානු හා සිරියානු ආන්ඩු වගකීම භාර ගැනීම ප‍්‍රතික්ෂේප කරමින් කියා සිටියේ ඊනියා “කැරලිකරුවන්” රිය පෙලට ෂෙල් වෙඩි දැමූ බවයි.

ඇමරිකාවේ ආස්ථානය 22දා ඩන්ෆෝර්ඩ් හා ආරක්ෂක ලේකම් සෙනේට් කමිටුව හමුවේ කල ප‍්‍රකාශ වලින් පිලිබිඹු කෙරේ. ජෙනරාල්වරයා සිය සාක්ෂියේදී පැවසුවේ, කුමන ගුවන් යානා, ප‍්‍රහාර එල්ල කලේ ද යන්න පිලිබඳව “මගේ අතේ සාක්ෂි නැත.” ඒ හුස්මටම ඔහු පැවසුවේ, “ඊට වගකිව යුත්තේ රුසියානුවන් බවට මට කිසිම සැකයක් නැත.” එලෙසම කාටර් පැවසුවේ, “රුසියානුවන්ම එය කලා හෝ නොකලා හෝ ප‍්‍රහාරයට වගකිව යුත්තේ ඔවුන්ය” යනුවෙනි.

මේ සිදුවීම්වල බරින් කඩා වැටුනු සටන් විරාමය, කාටර් හා පෙන්ටගනයේ අනදෙන්නන්ගේ දැඩි විරෝධයට ලක්වූ ගිවිසුම අවලංඟු කර ඇත. හමුදා ආඥාපතීන් සිය විරුද්ධත්වය ප‍්‍රසිද්ධියේම පලකොට තිබුනේ, ඊට හිස නොනමන බව පැවසීමෙනි. ඇමරිකාවේ ඉහල හමුදාපතීන් ප‍්‍රධාන සතුරා ලෙස සලකන රුසියාව සමඟ සම්බන්ධීකරන ක‍්‍රියා හා ඔත්තු තොරතුරු හුවමාරුව සඳහා ගිවිසුමෙන් ඉඩ සැලසී තිබුනි.

මෙම කාරනය 22දා ඩන්ෆෝර්ඩ් විසින් යලි ගෙනහැර දක්වා තිබුනි. “ඔවුන්ගේ හැසිරීම හා මිලිටරි හැකියාව” පදනම්කොට ගත්කල “අපගේ ජාතික අවශ්‍යතාවන්ට බලගතුම තර්ජනය රුසියාවයි.” ඔත්තු තොරතුරු බෙදාගැනීම සඳහා සහාය දෙන්නේ දැයි විමසූ කල ඩන්ෆෝර්ඩ් පැවසුවේ, “රුසියානුවන් සමඟ ඔත්තු තොරතුරු බෙදා ගැනීමට අපගේ කිසිදු අදහසක් නැත” යනුවෙනි.

එදිනම රාත‍්‍රියේ නිව් යෝර්ක්හිදී ඊනියා සිරියානු සහයෝගිතා කන්ඩායමේ රැස්වීම තුල පැවැත්වූ, ඇමරිකා-රුසියානු සටන් විරාම ගිවිසුම පිලිබඳ සාකච්ඡා කිසිදු ප‍්‍රගතියකින් තොරව අවසන් වීමෙන් පසුව, ජෝන් කෙරී මෙසේ පැවසීය. “එය (සතුරුකම් හා ප‍්‍රචන්ඩත්වය අත්හිටුවීම) අත්කර ගැනීමේ එකම ක‍්‍රමය, ගැටුමේ මේ කොටස තුල ගුවන් බලය දරා සිටින අය, දිනකට දෙකකට නොව, ඔවුන් බැරෑරුම් බව සෑම අයෙකුටම පෙනී යන තෙක් සරලවම එය පාවිච්චි කිරීම අත්හිටුවීම ය.”

එම රැස්වීමෙන් පිටව යද්දී රුසියානු විදේශ ඇමති සර්ගි ලැව්රොව්, ඇමරිකාවේ පිටුබලය ලබන “කැරලිකරුවන්” සටන් විරාමය ප‍්‍රතික්ෂේප කරන කොන්දේසි යටතේ, සිරියානු ආන්ඩුව “ඒකපාර්ශවිකව පියවර” ගත යුතුය යන ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරන බව පැවසීය. “අප අවධාරනය කලේ, මේ තත්වයෙන් ජබාට් අල් නුස්රාවරුන්ට වාසි ලබාගැනීමට ඉඩ නොතබා, විපක්ෂය ද ඊට සහාය දක්වන පියවර ගත යුතු බවය.”

කෙසේ වෙතත් වොෂින්ටනයේ සැබෑම අරමුන මෙයයි. ඇමරිකානු මිලිටරිය හා ඔත්තු අංශ වඩ වඩාත් කනස්සල්ලට පත්ව ඇත්තේ, රුසියාවේ හා ඉරානයේ සහාය ලබන සිරියානු ආන්ඩුව, සීඅයිඒ හා වොෂින්ටනයේ ප‍්‍රධාන සහචරයින් වන සව්දි අරාබිය, තුර්කිය හා කටාර් රාජ්‍යය විසින් මුදල් ගෙවා හා ආයුධ සන්නද්ධ කර ගොඩනඟන ඉස්ලාමීය මිලිෂියාවන් විසින් පවත්වාගෙන යන පස් අවුරුදු යුද්ධය බිඳ දැමීම අබියසට පැමින සිටීම ගැනයි.

“කැරලිකරුවන්” යටතේ පවතින ඇලෙප්පෝ නගරයේ නැගෙනහිර කොටසට එල්ල කෙරෙන සිරියානු හා රුසියානු ගුවන් ප‍්‍රහාර 23දා සිට උග‍්‍ර කෙරී ඇත. වාර්තා වන්නේ නගරයේ එම කොටස යලි අල්ලා ගැනීමේ ප‍්‍රධාන ගොඩබිම් මෙහෙයුම සඳහා සූදානමේ කොටසක් එය වන බවයි. ප‍්‍රහාරය සාර්ථක වුවහොත්, ඇමරිකාවේ තන්ත‍්‍ර මාරු මෙහෙයුම සඳහා යුද්ධය, මූලෝපායික පසුබෑමකට ලක් වනු ඇත.

ඇමරිකාව හා එක්සත් ජාතීන් නිල වශයෙන් ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර ඇති අල් කයිඩාවට සම්බන්ධ සිරියානු මිලිෂියාව වන අල් නුස්රා, සිරියාවේ තන්ත‍්‍ර මාරුව පිනිස ඇමරිකානු අධිරාජ්‍යවාදීන් විසින් මෙහෙයවා ඇති කුලී හමුදාවේ කොඳු නාරටියයි. ඇමරිකානු- රුසියා සටන් විරාම ගිවිසුම වටා ගොඩනැඟී ඇති එක් ප‍්‍රධාන මතභේදයක් වුනේ, සිය පඩි ලැයිස්තුවේ සිටින “කැරලිකරුවන්” අල් නුස්රාවෙන් වෙන්වීම සඳහා පොලඹවා ගැනීමට ඇමරිකාව පියවර ගත යුතු බවට එහි ඇති වගන්තියකි. එහෙත් මෙය ඉටුකිරීමට වොෂින්ටනය අසමත් වුනා මෙන්ම අකැමති ද විය. ඒ ඔවුන් අල් කයිඩාව සමඟ සමීපව සම්බන්ධ නිසා ය. එමෙන්ම ඔවුන් නොමැතිව “කැරලිකරුවන්ට” හමුදාවක් ලෙස පැවතීමට ද නොපුලුවන් නිසාය.

වඩ වඩාත් පෙනී යන්නේ, අල් නුස්රාව යටතේ ඇති ඇලෙප්පෝ හා අනෙකුත් ප‍්‍රදේශ මතින් පියාසර තහනම් කලාපයක් ඇටවීම, ඇමරිකාව සහාය දක්වන ඉස්ලාම්වාදීන්ට ජීවිතයත් මරනයත් අතර ප‍්‍රශ්නයක්ව තිබෙන බවයි. 22දා සෙනේට් විමසුම ඇඟවුම් කල පරිදි කෙරී, රුසියාව ස්වේච්ඡාවෙන්ම බිමට බැසිය යුතු යයි ඉල්ලා සිටින නමුත් ඇමරිකානු රජයේ සැලකිය යුතු කොටසක්, පියාසර තහනම් කලාපය බලහත්කාරයෙන් ඇටවිය යුතු බව කියා සිටිති.

මිසිසිපි ප‍්‍රාන්තයේ රිපබ්ලිකානු සෙනේට් සභික රොගර් විකර්, ඩන්ෆෝර්ඩ්ගෙන් විමසුවේ, පියාසර තහනම් කලාපයක් ඇටවීමේදී ඇමරිකාවට “තීරනාත්මක ක‍්‍රියාකලාපයක්” ඉටුකල හැකි ද යනුවෙනි. ප‍්‍රශ්නය ඩිමොක‍්‍රටිකයින් සමඟ සාකච්ඡා කල බව විකර් ඇඟවුම් කලේය. ඔවුන් පෙන්නුම් කර ඇත්තේ, ඇමරිකානු මැදිහත්වීමට වෙනත් නමක් දෙන්නේ නම් ඊට සහාය දෙන බවයි.

“දැනට නම්, සිරියාවේ සමස්ත ගුවනම අපගේ පාලනයට ගැනීම පිනිස, සිරියාව හා රුසියාව සමග යුද්ධයකට යා යුතු” බව ඩන්ෆෝර්ඩ් සෙනේට් සභිකයාට පවසා ඇත. “එය වනාහි බොහෝකොටම අති මූලික තීන්දුවකි, සැබවින්ම මා ගැනීමට නොයන තීන්දුවකි.”

ඩන්ෆෝර්ඩ්ගේ ප‍්‍රකාශය, කමිටුවේ සභාපති හා ඇරිසෝනාවේ රිපබ්ලිකන් සෙනේට් සභික ජෝන් මැකේන්ගේ කඩාපැනීමකට තුඩු දුන්නේය. සිරියානු ගුවනේ සම්පූර්න පාලනය ගැනීමට රුසියාව හා සිරියාව සමඟ යුද්ධයකට යාමට අවශ්‍යය යන කාරනයත්, පියාසර තහනම් කලාපයක් පිහිටුවීම ඊට අඩු දෙයකින් කිරීමේ හැකියාවත් පිලිබඳව පැහැදිලි කරන ලෙස ඔහු ඩන්ෆෝර්ඩ්ට බල කලේය.

මනුෂ්‍ය වර්ගයා විනාශයේ මුව විටට ඇද දමමින්, න්‍යෂ්ටික බලවතෙකු වන රුසියාව සමඟ පූර්න පරිමානයේ ගැටුමක් කරා ඉක්මනින්ම පරිවර්තනය විය හැකි ක‍්‍රියාවලියක් පිලිබඳව ඇමරිකානු රාජ්‍යය හා මිලිටරිය තුල කෙරීගෙන යන සාකච්ඡා ගැන ඇඟ කිලිපොලා යන හෙලිදරව්වක්, එම සෙනේට් සාක්ෂි විමසුම මඟින් ගෙනහැර දැක්වේ.

ඊට දිනකට පෙර කාටර් හා ඩන්ෆෝර්ඩ් යන දෙදෙනාම, දැනට සිදුවන ඉරාක හා සිරියානු මැදිහත්වීම් වල කඩතුරාව වන අයිසිස් පරාජය කිරීමෙන් පසුව ද දිගු කාලයකට ඇමරිකාව, මැද පෙරදිග සිය මිලිටරිය රඳවා තබන බව අවධාරනය කලහ.

ගුවන් හමුදා සමුලුවේදී ඩන්ෆෝර්ඩ් පැවසුවේ, “මා මෙන්ම ඔබ ද සිතනවා ඇත්තේ, ඉරාකයේ නැතිනම් කලාපය තුල වසර බොහෝ ගනනක් අප රැඳී සිටිනවා ඇතැයි කියාය.” ස්ථාවර මිලිටරි මූලස්ථානයක් ද අනදෙන, මෙහෙයුම් හා පාලන ව්‍යූහයක් ද ගොඩනැඟීම පිනිස තීරන ගත යුතුව ඇත.

“ඉතාමත් පැහැදිලි කාරනය වන්නේ, තවදුරටත් අප කලාපය තුල රැඳී සිටින්නේ ද යන්නයි” කාටර් පැවසුවේ “හමුදා කථා” යන වැඩසටහන සජීවීව විකාශනය කෙරෙන අතරතුරය. “අයිසිස් විශාල ප‍්‍රශ්නයකි. එහෙත් අපි ඔවුන් පරාජය කිරීමට වග බලා ගන්නෙමු. එහෙත් ඉරානය එහි තිබේ. මැද පෙරදිග තවත් ප‍්‍රශ්න ද අපට ඇත.”

වෙනත් වචන වලින් කිවහොත්, වොෂින්ටනය මැද පෙරදිග සිය නිමක් නැති යුද්ධ අඛන්ඩව කරගෙන යනු ඇති බවයි. ඉරානයට එරෙහි මිලිටරි කටයුතු ද ඇතුලත් මෙහි අරමුන, කලාපයේ දැවැන්ත බලශක්ති සම්පත් මත ඇමරිකානු ආධිපත්‍යය පිහිටුවාලීම ද රුසියාව හා චීනය යන ඇමරිකානු අධිරාජ්‍යවාදී ආක‍්‍රමනයේ ප‍්‍රධාන ඉලක්ක, මූලෝපායිකව දුබල කිරීම ද ය.

Share this article: