ඕස්ට්‍රේලියානු ආන්ඩුව, සරනාගතයන්ට එරෙහි ප‍්‍රහාර දැඩි කරන අතරම පවුල් හා ලමා සුභසාදන කපා දමයි

විජිත් සමරසිංහ විසිනි, 2017 අප්‍රේල් 18

ඕස්ට්‍රේලිියාවේ ලිබරල්-නැෂනල් සභාග ආන්ඩුව ජාතිකවාදය අවුස්සමින්, රැකවරන පතන්නන් දහස් ගනනක් රටින් පිටුවහල් කිරීමට සැරසෙන අතරම, සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත‍්‍ර එල්ල කරගෙන නිර්දය කප්පාදු වැඩපිලිවෙලක් ගෙනයන ආකාරය, මාර්තු මස අග ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) පලවූ වාර්තා මාලාවකින් අවධාරනය කෙරින.

මාර්තු 21 දා පල වූ, “ඕස්ට්‍රේලියාවේ රැකවරන පතන්නන් දහස් ගනනක් පිටුවහල් කිරීමේ තර්ජනයට මුහුදී සිටිති” යන මැක්ස් නිව්මන් ගේ ලිපියෙන් වාර්තා වන්නේ, දැනට තාවකාලික වීසා සහිතව, සොච්චම් සහනාධාර මත ජීවත්වන රැකවරන පතන්නන් 30,0000ක් පමන, ඉදිරි දින 60ක කාලයක් ඇතුලත පිටු 60කින් සමන්විත දීර්ග හා ඉතා සංකීර්න නෛතික ඉල්ලුම් පත් නිවැරදිව සම්පූර්න කර අදාල ආයතන වලට යොමු කිරීමට අසමත් වූවහොත් ඔවුන් පිටුවහල් කිරීමට ආන්ඩුව සැරසෙන බවයි.

මෙය මහා පරිමාන පිටුවහල් කිරීම් වල ආරම්භයක් වීමට බොහෝ සෙයින්ම ඉඩ ඇත. පසුගිය ලේබර් පක්ෂ ආන්ඩුවේ සරනාගත විරෝධී පිලිවෙත් නිසා, 2012 අගෝස්තු සිට 2014 ජනවාරි දක්වා ඕස්ට්‍රේලියාවට බෝට්ටු වලින් පැමිනි රැකවරන පතන්නන් 24,000ක්, තවමත් සිටින්නේ, තාවකාලික වීසා සහිතවය. ඔවුන්ට තම පවුල් ගෙන්වා ගැනීමට ද කිසිඳු අවසරයක් මෙතෙක් ලබාදී නැත. දැන්, මුලික ප‍්‍රජාතන්ත‍්‍රීය හෝ නීතිමය අයිතීන් පිලිබඳ කිසිඳු තැකීමකින් තොරව, විසා “කඩිනම් ඇගයීම්” සඳහා වහාම ඉල්ලුම් කරන්නයි ලිබරල්-නැෂනල් සභාග ආන්ඩුව බලපෑම් කරන්නේ මෙසේ රැකවරන පතන්නන්ටය.

1951 ජාත්‍යන්තර සරනාගත සම්මුතියද නොතකමින්, “නීති විරෝධීව මුහුදු මගින් පැමිනෙන්නන්” යනුවෙන් ආන්ඩුව විසින් හඳුන්වන මේ රැකවරන පතන්නන්ට, “කෙටිකාලීන රැකවරන වීසා” හා “සේෆ් හෙවන් වීසා” යන දෙවර්ගයක කෙටි කාලින වීසා සඳහා ඉල්ලුම් කල හැක. නමුත් එසේ ඉල්ලුම් කල හැක්කේ, බලධාරීන්ට රිසි අවස්ථාවක ඔවුන්ට ඉල්ලුම්කරන ලෙස දැනුම් දුන් විට පමනි. මෙතෙක් කල් බලාසිටීමෙන් පසු, හදිසියේම දින 60 ක් වැනි කෙටි කාලයක් ඇතුලත, නෛතික ප‍්‍රශ්න සියයකට වැඩියෙන් ඇති ඉල්ලුම් පත් නිවැරදිව සම්පූර්න කොට, වීසා සඳහා වහාම ඉල්ලුම් කරන මෙන් දැන් මේ පුද්ගලයින්ට ලිඛිත දැනුම් දීමක් කර ඇත. එසේ කිරීමට අපොහොසත් වන අය දින නියමයක් නැතිව රැඳවුම් කඳවුරු වල ගාල් වී සිටිමින් වදහිංසාවන්ට හෝ මරනයට මුහුන දීමට සිදුව ඇත. එසේත් නැතිනම් යලි තම රට වලට පිටුවහල් කිරීමේ තර්ජනයට ඔවුන් මුහුන දී සිටිති.

2014දී හඳුන්වා දුන් “කඩිනම් ඇගයීම්” ක‍්‍රමය මගින් විෂය භාර ඇමති වරයාගේ බලතල තවත් පුලුල් කරමින් රැකවරන පතන්නන්ට තම වීසා අයදුම්පත් ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව අභියාචනය කිරීමේ අයිතිය සීමා කෙරින. මේ සමග වීසා අයදුම් පත් සාර්ථක වීමේ ප‍්‍රතිශතය 90% සිට 70% දක්වා පහල ගොස් ඇත. රැකවරන පතන්නන්ට වීසා අයැදුම් කිරීමට සහය දීමට තිබූ උපදෙස් සේවාවට මුදල් වෙන් නොකිරීම නිසා එය අකර්මන්‍ය වී ඇති තතු යටතේ, ඉංග‍්‍රීසි භාෂාව හරිහැටි හසුරුවාගත නොහැකි අයදුම්කරුවන් බොහොමයකට සිදු වී ඇත්තේ, රාජ්‍ය-නොවන ස්වෙච්ඡා උපදේශන සේවා වල පිහිට පැතීමටය.

එවැනි සේවාවක් වන රැකවරන පතන්නන් සඳහා සම්පත් මධ්‍යස්ථානය (Asylum Seeker Resource Centre) ආයතයේ ප‍්‍රධානි කොන් කරපන්ගියෝදිට්ස් මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කර තිබුනේ, තම මධ්‍යස්ථානයේ පමනක් එවැනි උපදෙස් සඳහා ඉල්ලුම් කර බලා සිටින පුද්ගලයින් 1,150 ක් මේවන විට සිටින බවයි. “ආන්ඩුවට අවශ්‍ය මේ පුද්ගලයින් කැලඹීමට ලක් කර නීතිමය සහයක් නැතිව වීසා සඳහා ඉල්ලුම් කිරීමට ඔවුන් පොලඹවා ගැනීම” යයි ඔහු පැවසීය. “එවිට ඒ අයදුම් පත් ප‍්‍රතික්ෂේප කිරීම පහසු වෙනවා”.

වසර තුනකට වරක් අලුත් කල යුතු “තාවකාලික රැකවරන වීසා” ලාභියෙකුට කිසි විටෙක ඕස්ට්‍රේලියාවේ නිත්‍ය වීසා සඳහා අයදුම් කිරීමට නොහැකි අතර, පවුලේ අය ගෙන්වා ගැනීමටද නොහැකිය. ප‍්‍රාදේශීය නගර වලට ලාභ ශ‍්‍රමය යොමු කරවන අටියෙන් දියත් කර ඇති “සේෆ් හෙවන්” වීසා ක‍්‍රමය මීට වඩා දුෂ්ටය. අවම වැටුපටවත් හිමිකමක් නොමැතිව ඕස්ට්‍රේලියාවේ ප‍්‍රාදේශීය නගරයක අවුරුදු තුනහමාරකට වැඩි කාලයක් නොකඩවා වැඩකලහොත් පමනක් මෙම වීසාලාභීන්ට අනෙකුත් නිත්‍ය වීසා සඳහා අයදුම් කිරීමේ අවස්ථාව ලැබේ.

මෙලෙස පිටුවහල් කිරීමේ තර්ජනයට මුහුන දී සිටින රැකවරන පතන්නන් 30,000ක් පමන දෙනා, පසුගිය ලේබර් පක්ෂ රජය, 2012දී නාඋරු හා පැපුවා නිව්ගිනියාවේ මනුස් දූපත්වල පිහිටි සරනාගත සිර කඳවුරු යලි විවෘත කර, ඕස්ට්‍රේලියානු දේශ සීමාව ස්ථිරව වසා දැමීමට පෙර පැමින අවසන් රැකවරන පතන්නන් පිරිසය.

මෙලෙස ආගමන-විගමන නිලධාරීන්ගේ නිරන්තර පරික්ෂාව යටතේ තාවකාලික වීසා මත අවිනිශ්චිතව ජීවත් වීමට සිදු වීමේ පීඩනය නිසා රැකවරන පතන්නන් ගනනාවක් සියදිවි නසා ගැනීම දක්වා තල්ලු කොට ඇත. පසුගියදා, රැකවරන පතා බුරුමයෙන් පලා ආ රෝහින්ගා තරුනයෙක් මෙල්බන් හි බැංකුවක් තුල තම සිරුරට ගිනි තබා ගැනීම මීට නිදසුනකි.

රැකවරන පතන්නන් පත්වී ඇති මේ අසරන තත්වයට අගමැති මැල්කම් ටර්න්බුල් ගේ සන්ධාන ආන්ඩුව මෙන්ම ග‍්‍රීන් (හරිත) පක්ෂයේ සහයෙන් බලයේ සිටි පසුගිය ලේබර් පක්ෂ ආන්ඩුවද එක ලෙසම වගකිව යුතුය. ඇමරිකාවේ, යුරෝපයේ සහ ලෝකය පුරා සියලු ධනපති රාජ්‍ය මෙන්ම ඕස්ට්‍රේලියානු රජයත් ඇමරිකාව ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදීන්ගේ යුද්ධ නිසා අන්ත දුෂ්කරතාවන්ට මුහුන දී රැකවරන පතා එන ජනතාව විපතට හෙලමින් සිටී.

අසරන රැකවරන පතන්නන් බිල්ලට දෙමින් ජාතිකවාදය වපුරන අතරම ටර්න්බුල්ගේ සන්ධාන ආන්ඩුව, පසුගිය ලේබර් පක්ෂ ආන්ඩුව ලෙසම, ඔස්ට්‍රේලියානු ජනතාව මත නිර්දය කප්පාදු වැඩපිලිවෙලක් පටවමින් ඇත. “ඔස්ට්‍රේලියානු ආන්ඩුව ඕම්නිබුස් පනත හකුලා ගත්තත්, ලමා සුභ සාධන කපා දමයි” යනුවෙන් ලෝසවෙඅට මයික් හෙඞ් ලියූ ලිපයකින් අනාවරනය කෙරෙන්නේ, ඩොලර් බිලියන 13ක මාරක කප්පාදු ගනනාවක් ගොනු කර සකස් කර තිබු “ ඕම්නිබුස්” කප්පාදු පනත, නැග එන පොදු විරෝධය හමුවේ ආන්ඩුව තාවකාලිකව හකුලා ගත්තත්, ලමා සුභ සාධන මත ඩොලර් බිලියන 2.4 ක කප්පාදු පනවන වැඩපිලිවෙලක් වෙනම දියත් කර ඇති බවයි. මෙය 2014 සිට එකතැන පල්වෙමින් ඇති විශ‍්‍රාම වැටුප්, රැකියා විරහිතයින් සඳහා සුභසාධන හා පවුල් බදු සහන ඇතුලු සුභ සාධන වලට එල්ල කිරීමට නියමිතව ඇති සමස්ත කප්පාදුවෙන් පහෙන් එකකටත් අඩු ප‍්‍රමානයකි.

මේ කප්පාදු කෙටුම්පත් වල පලමුවැන්න මගින්, පවුල් මිලියන 1.5ක පමන අදායම අඩු වීමට තුඩුදෙන අයුරින්, පවුල් බදු සහන කපා දැමීමට යෝජිතය. මෙය මේ වන විටත් අහස උසට නැග ඇති ජීවන වියදම් හා රැකියා අහිමි වීම නිසා බැට කමින් සිටින පවුල් වලට එල්ලවූ දැවැන්ත පහරකි. දෙවන කෙටුම්පත මගින්, දෙමාපියන් දෙදෙනාම රැකියා කරන පවුල් වලට ලමා සුරැකුම් (දිවා සුරැකුම්) මධ්‍යස්ථාන සඳහා ලබාදෙන සහන යාන්තමින් වැඩිකර, ඒ වෙනුවට දුප්පත්ම පවුල් 100,000කට පමන ලැබෙන ලමා සුරැකුම් සනහනාධාර තීව‍්‍ර ලෙස කපා දැමෙනු ඇත. වාර්ෂික ආදායම ඩොලර් 65,710ට අඩු පවුල් වල දෙමාපියන් දෙදෙනාම “සක‍්‍රීයතා ඇගයීමකට” ලක්කර ඉන් අසමත් වෙතොත්, ඔවුන්ට ලමා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා ලැබෙන සහනය සතියකට පැය 24 සිට 12 දක්වා අඩු කිරීමට නියමිතය. “සක‍්‍රීයතා ඇගයීම” සමත් වීමට දෙමාපියන් දෙදෙනාම රැකියා, පුහුනුවීම් හෝ අනෙකුත් “පිලිගත් කටයුතු” වල අවම වශයෙන් සතියකට පැය 4ක් වත් නිරත විය යුතුය”.

මෙය එක අතකින්, දරිද්‍රතාව නිසා දෙමාපියන් දෙදෙනාටම වැඩ කිරීමට සිදුවී ඇති පවුල්, “මහන්සි වී වැඩ කරන්නන්” යනුවෙන් කුහක ලෙස වර්නනා කර, ඔවුන්ට සහන දීමට යයි මවාපාමින්, තව තවත් කම්කරු පන්තික දෙමාපියන් වහල් වැටුප් සහිත රැකියා වලට දැක්කීමේ ප‍්‍රයත්නයකි. අනිත් අතින් එය, මේවන විටත් ඩොලර් බිලියනය ඉක්මවා වර්ධනය වී ඇති ලමා සුරැකුම් මධ්‍යස්ථාන ව්‍යාපාරයේ ලාභ තරකර දීමේ තැතකි. මේ මධ්‍යස්ථාන වල සේවා ලබා ගැනීමට දැන් බොහෝ දෙමාපියන්ට දිනකට ඩොලර් 190 ක් පමන වැය කිරීමට සිදුවී ඇත්තේ පසුගිය වසර කීපය තුල ඒවායේ ගාස්තු වසරකට 7% කින් පමන ඉහල ගිය තතු යටතේය. මේවන විට, කුඩා දරුවන් 660,000ක් පමන සුරැකුම් ලබන්නේ ලාභ සඳහා පවත්වාගෙන යන මධ්‍යස්ථාන වලය.

අන්ත දක්ෂිනාංශික පෝලින් හැන්සන් ගේ “වන් නේෂන්” පක්ෂය හා නික් ක්සේනෆෝන්ගේ කන්ඩායම් ඇතුලු සංවිධානයන්ගේ සහාය ද සහිතව, ටර්න්බුල්ගේ ආන්ඩුව ලක්ෂ ගනනක් ජනතාවගේ ජීවිත අනතුරේ හෙලමින් මේ නිර්දය කප්පාදු වැඩසටහන් ඉදිරියට ගෙන යන්නේ, ඕස්ට්‍රේලියාව මුහුන දී ඇති දැවැන්ත සහ ගොඩ ඒගත නොහැකි ආර්ථික අර්බුදයේ මුලු බර කම්කරු පන්තිය මත මුර්ග ලෙස පැටවීමට යි. ආන්ඩුවට එරෙහිව මහා ධනපතීන්ගෙන් එල්ල වන දැඩි විවේචන හමුවේ, මැයි 9 දා ඉදිරිපත් කිරීමට නියමිත අයවැයට පෙර ව්‍යාපාර සඳහා ඩොලර් මිලියන 10ක බදු සහන ලබා දීම සඳහා ආන්ඩුව සෙනෙට් සභාවේදී මේ දක්ෂිනාංශික කන්ඩායම් සමගම ගිවිසුමකට යනු ඇතැයිද විශවාස කෙරේ.

මෙලෙසම නිර්දය කප්පාදු වැඩපිලිවෙලක් දියත් කරමින් සිටි ලේබර් පක්ෂ ආන්ඩුව 2013 දී ලද දැවැන්ත මැතිවරන පරාජයෙන් පසුව ආන්ඩුවේ වසරක අයවැය හිඟය ඩොලර් බිලියන් 40 ඉක්මවා යමින්, රාජ්‍ය නය ඩොලර බිලියන 152 සිට 317.2 දක්වා වර්ධනය වී ඇත. කලින් පතල් කර්මාන්තය මත පදනම්ව තිබු ප‍්‍රදේශද ඇතුලුව රටේ අති විශාල ප‍්‍රදේශයක් ආර්ථික අවපාතයක ගිලී, බදු ආදායම් සීග‍්‍ර ලෙස පහත වැටෙමින් ඇත.

පසුගියදා ප‍්‍රධාන ධනපති පුවත්පතක් වන “ඕස්ට්‍රේලියන්” පුවත් පත මහ ධනපතීන්ගේ උත්සුකයන් වචනයට නගමින් මුලුමහත් දේශපාලන සංස්ථාපිතයටම බල කර සිටියේ, වඩාත් දැඩි කප්පාදු වැඩපිලිවෙලක් ක‍්‍රියාවට දමන ලෙසටයි. “වර්තමාන ආන්ඩුවේ වියදම් මට්ටම තිරසාර නොවන බව සෑම පැත්තකම දේශපාලනඥයින් පිලිගත යුතුයි” එය සඳහන් කලේය. “මැයි මස අයවැයට පෙර, දේශපාලන සංවාද වල හරි මැදට පැමිනිය යුත්තේ, ආන්ඩුව මගින් සපයා දිය හැකි යයි [ජනතාව] බලාපොරොත්තු වන දේ සීමා කල යුතුද යන්නයි.”

මීට මාස 18කට පෙර හිටපු සන්ධාන අගමැති ටෝනි ඇබට් අගමැති කමින් හා ලිබරල් පක්ෂ නායකත්වයෙන් විස්ථාපනය කරමින් ටර්න්බුල් බලයේ පිහිටවනු ලැබුවේ, තමාට වඩා හොඳින් “ආර්ථිකය කලමනාකරනය” , හෙවත් කප්පාදු වැඩපිලිවෙල දියත් කිරීම, කල හැකිය යනුවෙන් ඔහු ධනපති පන්තියට ලබාදුන් ප‍්‍රතිඥාව නිසාය. උග‍්‍ර වෙමින් ඇති අර්බුදය හමුවේ ටර්න්බුල්ට මේ ධනපති ඉල්ලීම් සපුරාලිය නොහැකිනම් ඔහුගේ ආන්ඩුවේ අනාගතයද අස්ථිර වනු ඇත.

Share this article: