ආන්ඩුව හලාවත නගරසභා කම්කරුවන්ගේ නිවාස උදුරා ගැනීමේ උත්සාහයක

අපේ වාර්තාකරුවන් විසිනි, 2017 අප්‍රේල් 8

නිවාස ඉදි කිරීමේ දී වැය වූ මුදල් නොගෙවන්නේ නම් හලාවත නගර සභා කම්කරුවන් දැනට පදිංචි වී සිටින නිවාසවලින් ඉවත් කරන බවට හලාවත නගරසභාවේ හා නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ (නාජසඅ* බලධාරීන් කම්කරුවන්ට පසුගිය දා තර්ජනය කොට තිබේ.

පසුගිය මස 29 දා හදිසි රැස්වීමක් කැඳවූ, කොලඹින් පැමිනි නාජසඅ නිලධාරියෙකු හා හලාවත නගර සභාවේ ලේකම්, වැටුපෙන් නිවසට අදාල වාරික මුදල් අඩු කර ගැනීමට එකඟවන ලිපියකට අත්සන් තබන ලෙස කම්කරුවන්ට දැනුම් දී ඇත. එයට අත්සන් තැබීම ප‍්‍රතික්ෂේප කල බවත්, වාරික ගෙවීමට එකඟ නොවන්නේ නම් නිවාසවලින් ඉවත් කිරීමට සිදුවන බවට එම නිලධාරීන් තර්ජනය කල බවත් හලාවත නගරසභා කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවි (ලෝසවෙඅ) වාර්තාකරුවන්ට ප‍්‍රකාශ කලහ. රැකියාව අතරතුර දී පලිගැනීම්වලට ලක් වීමේ බියෙන් කම්කරුවන් කිහිප දෙනෙකු අදාල ලිපියට අත්සන් තබා තිබේ.

මීට වසර තුනකට පෙර, එනම් මහින්ද රාජපක්ෂ ආන්ඩුව යටතේ, නාගරික සංවර්ධන අධිකාරියේ මැදිහත් වීම මත කම්කරුවන් දශක ගනනක් රැඳී සිටි හලාවත බස් නැවතුම්පල අසල ඉඩමෙහි වූ පැල්පත් නිවාසවලින් ඔවුන් ඉවත් කරන ලද්දේ අලුතින් නිවාස තනා දෙන පොරොන්දුව මතයි. එම ඉවත් කිරීම, රාජපක්ෂ ආන්ඩුව යටතේ දෙස් විදෙස් ධනපති ආයෝජකයන් සඳහා කොලඹ ඇතුලු හා අවශේෂ නාගරික ප‍්‍රදේශවල වටිනා ඉඩම් ලබාදීමේ කොටසකි. ‘මෙගාපොලිස් ව්‍යාපෘති’ ලෙසින් වත්මන් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ඉදිරියට ගෙන යන්නේ ද එම වැඩපිලිවෙලයි.

නගර මධ්‍යයේ පිහිටි හෙක්ටෙයාර භාගයක් පමන වූ එම වටිනා ඉඩමෙන් ඉවත් කිරීමෙන් පසු හලාවත නගරයේ සිට කිලෝ මීටර් 2 ක් පමන නැගෙනහිර දෙසින් පිහිටි නරියගොඩැල්ල නම් වගුරු බිමක, කම්කරුවන්ගේ ද ශ‍්‍රම දායකත්වයෙන් නිමවූ කිසිදු ප‍්‍රමිතියකින් තොර නිවාසවල මෙම කම්කරුවන් පදිංචි කෙරුනි. එක් නිවසක් සඳහා වැය වූයේ යයි කියන රුපියල් 915,148 ක මුදල කම්කරුවන්ගේ වැටුපෙන් කපා ගැනීමකට යටත් කරමිනි. මේ වන විට නරියගොඩැල්ලේ පදිංචිව සිටින මුලු කම්කරු පවුල් සංඛ්‍යාව 57 කි.

නිවාස ඉදිරිපිටින් ගලන අපවිත්‍ර කානු

ඉදිකරන ලද එම නිවාස ජලය, විදුලිය සහ සනීපාරක්ෂක සේවාවන්ගෙන් තොර වූ අතර එම අවශ්‍යතා අවම වශයෙන් හෝ සම්පාදනය කර ගැනීම සඳහා සෑම කම්කරුවෙකුම පාහේ රුපියල් ලක්ෂයකට වැඩි මුදලක් වැය කලේ බොහෝ කොට නයට මුදල් ගැනීම මගිනි. පසුගිය ජනාධිපතිවරනයේ දී හා පාර්ලිමේන්තු මැතිවරනයේ දී ද නගරසභා කම්කරුවන්ගේ ඡන්ද කොල්ල කෑම සඳහා මෙම කම්කරුවන්ගේ නිවාස ප‍්‍රශ්නය බලයේ සිටින එක්සත් ජාතික පක්ෂයේ හා විපක්ෂයේ ප‍්‍රාදේශීය දේශපාලනඥයන් විසින් එකසේ ගසා කනු ලැබූ අතර තව දුරටත් කම්කරුවන් රැවටීමේ යෙදී සිටියි.

දරිද්‍ර වැටුප් හා දරුනු ජීවන කොන්දේසි යටතේ දිවිගෙවන නගර සභා කම්කරුවන් නිවාස සඳහා සිය වැටුපෙන් වාරික කැපීමට දිගින් දිගටම විරුද්ධ වන්නේ මේ කොන්දේසි යටතේ ය. දැනට නියම කර ඇති මාසික වාරිකය රුපියල් 2542 ක් වන අතර අවුරුදු තිහක් තුල අදාල මුලු මුදල ගෙවීමට කම්කරුවන් යටත් කර තිබේ.

මේ වසරේ ජනවාරි මස නිවාස සංවර්ධන අධිකාරිය කම්කරුවන් වෙත එවන ලද ලිපියකින් කම්කරුවන්ට ගෙවීමට සිදුවන මුදලින් සියයට 50 ක් අඩු කිරීමේ කම්කරුවන්ගේ ඉල්ලීම පැත්තකට විසි කොට මුලු බරම කම්කරුවන් පිට පටවා ඇත.

නාජසඅ අධ්‍යක්ෂ ජනරාල් විසින් එවා ඇති එම ලිපියේ හලාවත නගර මධ්‍යයේ පිහිටි ඉඩම, නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘතියක් සඳහා ලබා නොදෙන බව හලාවත නගරසභාව සහ පලාත් පාලන අමාත්‍යංශය විසින් තහවුරු කර ඇති හෙයින් “නැවත ඉහත කී මුදලට කම්කරුවන් විසින් ගිවිසුම අත්සන් කිරීමට එකඟවිය යුතුව ඇතැ” යි සඳහන් කෙරෙයි. ලිපියේ වැඩි දුරටත් සඳහන් කෙරෙන්නේ “එසේ නොවුනහොත් මේ පිලිබඳව නීත්‍යානූකූල මාර්ගයෙන් කටයුතු කිරීමට සිදුවන බව වැඩි දුරටත් අවධාරනය කරමි” යනුවෙනි.

එම ඉඩමෙහි නාගරික සංවර්ධන අධිකාරිය සිදු කිරීමට ගිය ව්‍යාපෘතිය පිලිබඳව හෝ ඉඩම ලබා නො දෙන්නේ කවර හේතුවක් නිසා ද යන්න ලිපිය තුල කරුනු පැහැදිලි නොකර ම නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය, පලාත්සභාව හා නගරසභාව ඇතුලු සියලු ආයතන ආන්ඩුව වෙනුවෙන් කම්කරුවන් මත බර පැටවීමට කරබදු වී සිටී.

ලෝසවෙඅ අදහස් දක්වමින් එක් කම්කරුවෙක් දේශපාලනඥයින්ගේ හා අමාත්‍යංශ බලධාරීන්ගේ මැදිහත්වීම මෙසේ පැහැදිලි කලේ ය: “පසුගිය ජනාධිපතිවරනය කාලෙ හලාවත ශාන්ත අබේසේකර මන්ත්‍රීතුමා ඇවිත් අපට පොරොන්දු වුනා මේ නිවාසවලට මෙතරම් මුදලක් අය කිරීම අසාධාරනයි. ඒනිසා ඒ මුදල ලක්ෂ 5 ක් දක්වා අඩු කරලා දෙනවා කියලා. අපි ඒ මැදිහත්වීම් උඩ නිවාස ඇමති සජිත් ප්‍රේමදාස හමුවෙන්න ගියා. ඔහු හමුවෙන්න බැරි වුනා. නමුත් එතුමාගේ ලේකම් අපේ ප‍්‍රශ්නය මාස තුනෙන් විසඳලා දෙන්න පොරොන්දු වුනා. මේ කව්රුත් අපි ගැන හොයා බලන්නේ නෑ. දැන් ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙෙ) ලාල් කන්තගේ නියෝජිතයෙක් ඇවිත් අපට කියනවා එයාලගේ වෘත්තීය සමිතියට බැඳෙන්න කියලා. ජවිපෙ වෘත්තීය සමිති කම්කරුවන්ගේ ප‍්‍රශ්න විසඳයි කියාලා අපිට විශ්වාසයක් නෑ.”

නිවාසවල තත්වය පිලිබඳව තවත් කම්කරුවෙක් මෙසේ විස්තර කලේ ය: “පර්චස් 6 ක පමන ඉඩමක හැදුව මේ ගෙයක වපසරිය වර්ග අඩි 300 ක් විතර වෙනවා. වර්ග අඩි 100 ක සාලයක්, කාමර දෙකක්, කුස්සියක් හා වැසිකිලියක් තියෙනවා. මේ නිවාසවලට යොදා තිබෙන අමුද්‍රව්‍යවල කිසිදු ප‍්‍රමිතියක් නෑ. බිත්ති හදලා මාස කිහිපයකින්ම පිපිරිලා පැලීම් මතු වුනා.” වහලට යොදා ඇත්තේ ශක්තියෙන් අඩුම පොල් ලී බවත් පසුගිය වැස්සත් සමග පැවති සුලෙඟන් හෙවිලි තහඩු ගැලවී ගිය බවත් ඔහු පැවසීය. නල ජලය සහ විදුලිය ලබා ගැනීමට එක් නිවසක් සඳහා පිලිවෙලින් රුපියල් 18,000 ක් සහ 21,000 ක් වැය වී ඇත. වැසිකිලි වලවල් වලට යොදා තිබූ කුඩා කොන්ක්‍රීට් ටැංකි ප‍්‍රමානවත් නොවූ බැවින් නව ටැංකි යෙදීමට සිදු වූ බවත් ඔහු පැවසීය.

“සෑම ගෙයක්ම වාසයට සුදුසු විදියට හදා ගන්න ලක්ෂයකට වැඩිය වියදම් වූනා. ඒ වියදම් අපි දැරුවේ නය වෙලා. මෙහෙම මිනිස්සුන්ට තමයි ලේකම්තුමා තර්ජනය කරන්නේ මුදල් ගෙවන්න කැමති නැත්නම් ගෙවල් ආපසු ගන්නවා කියලා. මේක හරි අසාධාරනයයි.”

තවත් කම්කරුවෙක් මෙසේ පැවසීය: “පසුගිය මැතිවරන දවස්වල නියෝමාල් ප‍්‍රනාන්දු බැකෝ එකක් ගෙනල්ලා වතුර බැහැල යන්න කියලා හදිසියේ කානු කැප්පෙව්වා. ඒක කිසිම ප‍්‍රමිතියකට නෙමේ කෙරුවේ. දැන් ඒ කානුවල හැමදාම වතුර පිරිලා, වතුර පල්වෙලා, ගෙම්බෝ පිරිලා. සර්පයොත් බෝ වෙනවා. මේ වගේ වැඩ තමයි කරන්නේ. ඡන්දේ ඉවර වුනාම මේ පලාතේ එන්නේ නෑ. වත්තට ලයිට් දාලා දෙන්න කියලා අපි ඉල්ලපුවාම ලේකම්තුමා කියනවා ලයිට් දෙන්න නම් වාරික ගෙවීමේ ලිපියට අත්සන් කරන්න කියලා.”

හලාවත නගර සභා බල ප‍්‍රදේශයේ කුනු කසල ඉවත් කිරීම සඳහා කම්කරුවෝ ප‍්‍රමානවත් සංඛ්‍යාවක් නොමැති බැවින් කසල ප‍්‍රශ්නයෙන් මෙම නිවැසියන් ද සමස්ත හලාවත ජනතාව ද බරපතල ලෙස පීඩාවට පත් කරති.

පලාත් පාලන ආයතනයන්හි වියදම් කප්පාදුවේ කොටසක් ලෙස ස්ථිර සේවකයන් බඳවා ගැනීම ක‍්‍රමානුකූලව අඩු කරමින් විවිධ සේවා කටයුතු කොන්ත‍්‍රාත් සමාගම්වලට පවරා ඇති අතර ඒවායේ රැකියාවේ නිරත කම්කරුවන් කොන්ත‍්‍රාත් පදනමින් දරුනු රැකියා කොන්දේසිවලට යටත් කොට තිබේ.

හලාවත නගරසභා කම්කරුවන් මුහුන දෙන දරුනු රැකියා හා ජීවන කොන්දේසි, ලංකාව පුරා පිහිටි නගර සභා, මහ නගර සභා හා ප‍්‍රාදේශීය සභාවන් 400 ක පමන සනීපාරක්ෂක අංශවල රැකියාවේ නිරත දහස් ගනනක් වූ කම්කරුවන්ගේ ජීවන කොන්දේසි පිලිබඳ චිත‍්‍රයක් සම්පාදනය කරයි. සැබැවින්ම, හලාවත නගර සභා කම්කරුවන්ගේ චෝදනා සහ දුක් ගැනවිලි වනාහි, දශක හතක් ශ්‍රී ලංකාව පාලනය කල ධනපති පාලකයන්ට එරෙහි අධිචෝදනාවකි.

Share this article: