ශ‍්‍රී ලංකා ආන්ඩුව ප‍්‍රධාන රාජ්‍ය සංස්ථා පුද්ගලීකරනය කිරීමට යයි

Sri Lankan government moves to privatise major state corporations

සමන් ගුනදාස විසිනි, 2017 මාර්තු 27

මේ මස මුලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නියෝජිතයන් විසින් කල නියෝග, ශ‍්‍රී ලංකා ආන්ඩුව විසින් සීඝ‍්‍රගාමීව ක‍්‍රියාත්මක කරනු ලබමින් සිටී. ජාමූඅ සංචාරය අතරතුරදී, හයත්, ග‍්‍රෑන්ඞ් ඔරියන්ටල්, වෝටර්ස් එජ් හා හිල්ටන් හෝටලය සහ ලංකා හොස්පිටල්ස් යන රජයට අයත් ආයතන විකුනා දමන අතර ඩොලර් බිලියන 1 ක් උපයා ගැනීමේ ප‍්‍රයත්නයක් ලෙස ඒවා කොලඹ කොටස් වෙලඳපොලෙහි ලැයිස්තු ගත කරන බව සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව පැවසීය.

රජයට අයත් ප‍්‍රධාන ආයතන වන ලංකා විදුලිබල මංඩලය (ලංවිම), ලංකා ඛනිජතෙල් සංස්ථාව (ලංඛස), ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මංඩලය, ශ‍්‍රී ලංකා ගුවන් තොටුපල හා ගුවන් සේවා අධිකාරිය හා ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය වානිජමය පදනම යටතේ ක‍්‍රියාත්මක වන බව මාර්තු 15 දා ආන්ඩුව ප‍්‍රකාශ කලේය. පුද්ගලීකරනය සඳහා වන පලමු පියවර වන මෙම තීරනය රැකියා කප්පාදු හා සේවා තත්වයන් මත දරුනු ප‍්‍රහාර එල්ල කරනු ඇත. රාජ්‍ය ආයතනවල කම්කරුවන් ස්ථිරසාර ලෙස පුද්ගලීකරනයට විරුද්ධ වී තිබේ.

නය දීමේ හා තැන්පතු අනුපාත, ලකුනු (පොයින්ට්) 25 කින්, පිලිවෙලින් සියයට 8.75 හා සියයට 7.25 කට නංවමින්, මූල්‍ය ප‍්‍රතිපත්තිය තද කරමින් පවතින බව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ගිය සතියේ ප‍්‍රකාශ කලේය. මේ තීරනය ජාමූඅ නිර්දේශයන් සමග පෑහේ.

මූල්‍ය හිඟය අවම කර ගැනීමට හා නය ආපසු ගෙවීමේ අර්බුදයක් වලක්වා ගැනීමට “ආර්ථික ප‍්‍රතිසංස්කරන” ඉක්මන් කරන ලෙස ජාමූඅ කන්ඩායම කොලඹින් ඉල්ලා සිටියේය. විදේශ නය වාරික හා පොලිය ගෙවීමට මේ වසරේදී එජ ඩො බිලියන 3.4 ක් තමන්ට උවමනා බව ආන්ඩුව ප‍්‍රසිද්ධියේ පිලිගත්තේය. මෑත කාලයේදී ග‍්‍රීසිය, රොමේනියාව, ඊජිප්තුව, ඉන්දියාව, පකිස්ථානය හා බංගලාදේශය යන රටවල ආන්ඩු මත තම නියෝග පැනවූ ජාමූඅ, පුද්ගලීකරන වැඩපිලිවෙල සඳහා කුප‍්‍රකටය.

“විශාල රාජ්‍ය ආයතන සඳහා ආයතනික අභිප‍්‍රායන්ගේ ප‍්‍රකාශන නිකුත් කර අවසන් කිරීම හා ප‍්‍රසිද්ධ කිරීම ප‍්‍රතිසංස්කරන වැඩසටහනේ විනිවිදභාවය හා වගවීම වැඩි දියුනු කිරීම සඳහා අවශ්‍ය පලමු පියවර” බව ජාමූඅ කන්ඩායම මාර්තු 7 නිකුත් කල පුවත්පත් නිවේදනයෙන් පැවසීය.

සතියකට පසුව, එනම් මාර්තු 15 දා, ලංකා විදුලිබල මංඩලයේ (ලංවිම), ලංකා ඛනිජතෙල් සංස්ථාවේ (ලංඛස), ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මංඩලයේ, ශ‍්‍රී ලංකා ගුවන් තොටුපල හා ගුවන් සේවා අධිකාරියේ කලමනාකරුවෝ හා ඒ ආයතන යටත් වන රජයේ අමාත්‍යාංශ, මුදල් අමාත්‍යාංශයත් සමග “ආයතනික අභිප‍්‍රායන්ගේ ප‍්‍රකාශනයකට” අත්සන් කලහ. “ඵලදායීතාවය වැඩිදියුනු කිරීම”, “සේවකයන්ගේ කාර්යක්ෂමතාව ඉහල නැංවීම”, “ආයතනික ව්‍යුහාත්මක වෙනස්කිරීම්” හා “මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුනු කිරීම” මේවාට අයත් වේ. මේවා වෙනත් වචනවලින් පවසතොත්, වැඩ පරිමාවන් ඉහල දැමීම, රැකියා කප්පාදු හා සියලු වැටුප් ඉල්ලීම් සීමා කිරීම් වේ.

මෙම රාජ්‍ය ආයතනවල වර්තමානයේදී 50,000 කට වැඩි සේවක පිරිසක් සේවයේ යොදවා ඇති අතර, වියදම් කපා හැරීමට කලමනාකාරිත්වය අඩු වැටුප් ලබන කොන්ත‍්‍රාත් සේවකයන් සේවයට යෙදවීම ඉහල ගොස් තිබේ. කම්කරුවන් හා දුගී ජනතාව මත තව දුරටත් බර පැටවෙන, සේවාවන් හි මිල ගනන් ඉහල දැමීමෙන් “මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි දියුනු කිරීමට” ද කලමනාකාරිත්වය සැලසුම් සකස් කරමින් සිටිති.

“පාඩු ලබන රාජ්‍ය සමාගම්වල සමස්ත පාඩුව වසරකට රුපියල් බිලියන 167 ක්” බව මුදල් ඇමති රවි කරුනානායක ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. මෙම සමාගම්වල “වැඩිදියුනු කල ආයතනික භාවිතයන් හරහා මෙහෙයුම් හා මූල්‍ය කාර්යක්ෂමතාව” ඉහල නැංවීමට හා “ලාභ ලබන ව්‍යාපාර” කිරීමට ආන්ඩුව බලාපොරොත්තු වේ.

එජ පොලී අනුපාත ඉහලයෑම විසින් ජනිත කල අරමුදල් ඉවතට ඇදීයාම හේතුවෙන් පහලට වැටුනු රටෙහි දල ජාත්‍යන්තර සංචිත සඳහා දී ඇති ඉලක්ක හැරුනු විට, සියලු ජාමූඅ ඉලක්ක රජයට ජූනි වන විට සපුරා ගත හැකි බව කරුනානායක ප‍්‍රකාශ කලේය.

දැනටමත් අනුමත කර ඇති ඩොලර් බිලියන 1.5 ක ජාමූඅ නයෙහි තුන්වන වාරිකය වන ඩොලර් මිලියන 120 එහි නියමිත දිනය වන අපේ‍්‍රල් 20 දාට නිකුත් කරයි දැයි යම් අවිනිශ්චිතතාවක් ඇත. ශ‍්‍රී ලංකාව ගෙවිය යුතු නය බැඳීම් සලකාබලන විට මෙම මුදල සොච්චමක් වුවද, මූල්‍ය අගහිඟකමින් පෙලෙන ආන්ඩුව අනෙකුත් නය දෙන්නන් හා විදේශ ආයෝජකයන් පොලඹවාගැනීමට එම නය මුදල ඇපයක් ලෙස භාවිතා කිරිමට බලාපොරොත්තුවෙන් පසු වේ. 2020 දී අයවැය හිඟය දල දේශීය නිෂ්පාදනයෙන් (දදේනි)සියයට 3.5 තෙක් අඩු කිරීමට කොලඹ ප‍්‍රතිඥා දී තිබේ.

ගිය සතියේ සිදු කල පොලී අනුපාත ඉහල දැමීම කෙරුනේ ජාමූඅලේ බල කිරීම මතය. “උද්ධමන පීඩනයන් නිරීක්ෂනය කිරීම සුපරික්ෂාකාරීව දිගටම කරගෙන යන ලෙසත් හා උද්ධමනය හෝ නය වර්ධනය අඩු නොවේ නම් මූල්‍ය ප‍්‍රතිපත්තිය තද කිරීමට සූදානමින් සිටින ලෙසත් දූත පිරිස ශ‍්‍රී ලංකා මහ බැංකුව උනන්දු කර තිබේ” යැයි මාර්තු 7 දා එය නිකුත් කල ප‍්‍රවෘත්ති නිවේදනයේ සඳහන් වේ. “අන්තර්ජාතික සංචිත නැවත ගොඩනැගී” සඳහා ශක්තිමත් ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස එය මහ බැංකුවට බල කර තිබේ.

තම වැඩපිලිවෙලෙන් ආර්ථිකය වැඩි දියුනුවේ යැයි ජාමූඅ ප‍්‍රකාශ කලත්, ඉහල නය අනුපාත ඊට ප‍්‍රති විරුද්ධ බලපෑමක් එල්ල කරනු ඇත. “ප‍්‍රාග්ධනය ඇදීයාමෙන් බැට කෑ රුපියල අලූත් කල පීඩනයන් යටතට පැමිනීමෙන් ප‍්‍රතිපත්ති සම්පාදකයන් දුෂ්කර සමබර කිරීමේ ක‍්‍රියාවකට මුහුන දෙන අතර අනුපාත ඉහල දැමීම දැනටමත් අබලන් ආර්ථිකයක් තවදුරටත් මන්දගාමී කිරීමට ඉඩ තිබේ” යැයි රොයිටර් පුවත් සේවය ගිය සතියේ ප‍්‍රකාශ කලේය.

ගිය සතිය අගදී, මහ බැංකුව තම ආර්ථික වර්ධන අනාවැකි තවදුරටත් පහත දැම්මේය. 2017 දී වර්ධනය දදේනි යෙන් සියයට 5.5 හා 6 අතර පවතීවි යැයි එය පෙරදී ගනනය කලේය. මෙය සියයට 5 - 5.5 තෙක් අඩු කර ප‍්‍රතිශෝධනය කර ඇත. ගිය වසරේ වර්ධනය සියයට 4.8 ක් යැයි අනාවැකි පල කල නමුත් එය සියයට 4.4 තෙක් පහලට වැටුනි.

ඉහල නය අනුපාතවලට ප‍්‍රතිචාර ලෙස ආර්ථික වර්ධනය තවදුරටත් ඇද වැටෙනු ඇත. වසරක් පාසා නය වර්ධනය පිලිවෙලින් සියයට 22 හා පසු ගිය දෙසැම්බරයේ හා ජනවාරියේ සියයට 21 විය. ඉහල නය අනුපාත නිසා මේ වසර අවසාන වන විට නය වර්ධනය සියයට 15 තෙක් අඩු විය හැකි බවට අපකේෂා කෙරේ.

ගෝලීය ආර්ථික පසුබැසීම ශ‍්‍රී ලංකාවේ අපනයන මත දැවැන්ත බලපෑමක් එල්ල කොට තිබේ. 2015 දී, වාර්ෂික අපනයන සියයට 5.6 කින් අඩු වුන අතර 2016 පලමු මාස 11 තුල එය තවත් සියයට 2.8 කින් ඇ වැටුනි. මේ වසරේ මේ දක්වා විදේශ ආයෝජකයන් ඩොලර් මිලියන 420 ක් (රුපියල් බිලියන 63) ශ‍්‍රී ලංකා භාන්ඩාගාර බැඳුම්කර තුලින් ඉවත් කර ගෙන ඇති අතර 2016 දී ඩොලර් මිලියන 324.30 ක් ඉවත් කර ගැනීම මෙම අර්බුදය උග‍්‍ර කර ඇත.

Share this article: