“රට විනයගත කරන ලෙස” ජනාධිපති සිරිසේන ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකාගෙන් ඉල්ලයි

කේ. රත්නායක විසිනි, 2017 අප්‍රේල් 28

“මේ රට විනයගත කිරීම සඳහා” පියවර ගැනීමට හමුදාපති ලෙස හෝ සන්නද්ධ හමුදාවල අනදෙන නිලධාරියා ලෙස, ඇමති ධුරයෙන් අස්වී දෑවුරුද්දකට වැඩ භාර ගන්නා මෙන් හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන යෝජනා කර ඇත. සෞඛ්‍ය ඇමති සහ කැබිනට් ප‍්‍රකාශක රාජිත සේනාරත්න බදාදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව නිවේදනය කලේ ය.

වැඩවර්ජන, විරෝධතා හා උද්ඝෝෂන මැඩලන්නේ කෙසේදැයි මෙම කැබිනට් මන්ඩල රැස්වීමේ දී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුනු බව සේනාරත්නගේ ප‍්‍රකාශවලින් පැහැදිලිවේ. ඉන්ධන බෙදා හැරීම මුලූමනින් ම ඇනහිටුවමින් සඳුදා දියත් වූ රජයට අයත් ලංකා තෙල් සංස්ථාවේ කම්කරුවන්ගේ වර්ජනය ආන්ඩුව කම්පනයට පත් කල ආසන්නතම සිද්ධිය යි.

ජනාධිපති සිරිසේනගේ හා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ආන්ඩුව ත‍්‍රිවිධ හමුදාව මෙහෙයවා ගෙන කම්කරුවන්ට දුගීන්ට හා තරුනයින්ට එරෙහිව රුදුරු පන්ති යුද්ධයක් දියත් කිරීමට ලහිලහියේ සැලසුම් සකස් කරන බව ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකාට කරන ලද මේ යෝජනාවේ තේරුමයි. රට විනයගත කිරීමේ නමින් අවුරුදු දෙකකට මිලිටරිය අතට බලතල දීමේ මේ යෝජනාව මිලිටරි ආඥාදායකත්වයකට පාර කැපීමේ පියවරකි. ෆොන්සේකා යටතේ විශේෂ බලකායක් තැනීමගැන ද තෙල් සංස්ථාව, විදුලිබල මන්ඩලය වරාය වැනි ප‍්‍රධාන ආර්ථික මධ්‍යස්ථානවල හමුදා සේනාංක යෙදවීමට පුහුනු කිරීම පිලිබඳව ද අදහස් පලවූ බව සේනාරත්නගේ ප‍්‍රකාශවලින් හෙලිවේ.

ෆොන්සේකාගේ කි‍්‍රයා කලාපය හා සැලසුම්ගැන කැබිනට් මන්ඩලය නිශ්චිත තීන්දු ගෙන නැත. එසේ වුවත් ජනාධිපති සිරිසේනගේ යෝජනාවෙන් පෙන්නුම් කෙරෙන්නේ ආන්ඩුවේ හා පාලක පන්තියේ අර්බුදයේ ඉහල අවධියක පාර්ලිමේන්තුවෙන් පිටස්තර පාලනයකට මාරු වෙමින් සිටින බවය.

කැබිනට් සාකච්ඡාව හා තීන්දු දැනුම්දීමේ පුවත්පත් සාකච්ඡාවේ දී සේනාරත්න තවදුරටත් සඳහන් කලේ තමන්ට “නිසි බලතල හා වගකීම් භාරදෙන්නේ නම්” ඇමතිධුරයෙන් ඉවත්වී යෝජනා කල පරිදි කි‍්‍රයාකිරීමට සූදානම් බව ෆොන්සේකා ප‍්‍රකාශ කල බවයි. බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධයේ දිගු කලක් නිරතව සිට, ආන්ඩුවේ හමුදා යුද අපරාධ සිදුකරමින් 2009දී යුද්ධය අවසන් කිරීම බලා කියා ගත් හමුදාපති ලෙස ෆොන්සේකා කුප‍්‍රකට ය.

මිලිටරි සැලසුම් පිලිබඳව යෝජනා කෙරුනේ “රටේ සංවර්ධිත සැලසුම්වලට බාධා කරමින්” මහජන විරෝධතා හා උද්ඝෝෂන ඉහල යන තත්වය නිසා බව සේනාරත්න සඳහන් කලේ ය. ආන්ඩුව වෘත්තීය සමිති සමග සාකච්ඡා කලත් නිසි දැනුම්දීමකින් තොරව වර්ජන කැඳවීම සිදුවන බව කී ඇමතිවරයා මෙසේ ද ප‍්‍රකාශ කලේ ය: “ජනාධිපතිවරයා හා අගමැතිතුමා දිගු ලක් තිස්සේ නිශ්ශබ්ධව සිටින බවට මහජනයා පැමිනිලි කරනවා. ආන්ඩුවට කොන්දක් නෑ කියනවා. කොන්ද කෙලින් කර ගන්නයි යන්නේ.”

මේ “මහජනයා” වනාහි ආරක්ෂක හමුදා ම බව ඔහුගේ කතාවෙන් හෙලිවේ. සේනාරත්න මෙසේ සඳහන් කලේ ය: “මේ රටේ සිදුවන්නේ මොන විහිලූවක් දැ’යි ආරක්ෂක හමුදා අපෙන් අහනවා. මේ විධියට ගියොත් ආයෝජකයන් හා සංචාරකයන් රටට එයි දැයි ඔවුන් අපෙන් ප‍්‍රශ්න කරනවා. ‘අපට වැඩියෙන් බලතල දෙන්න, කොලඹ ගැන අපි වග බලාගන්නම් යයි ඔවුන් කියනවා.’”

ගිය ඔක්තෝබර් මාසයේ දහස් සංඛ්‍යාත වතු කම්කරුවන්ගේ අරගලයේ පටන් හම්බන්තොට හා කොලඹ වරාය, විදුලි බල මන්ඩලය, ජල සම්පාදන මන්ඩලය ඇතුලූ තැන් ගනනාවක කම්කරුවන් වර්ජන හා විරෝධතා දියත් කල අතර කොලඹ නගරය විවිධ උද්ඝෝෂන වලින් ඇලලී ගියේය. අධ්‍යාපනය පුද්ගලීකරයට එරෙහිව වෛද්‍යවරුන්ගේ උද්ඝෝෂන එක දිගට සිදුවෙයි. ඊයේ උතුරු - නැගෙනහිර වැඩ කරන ජනතාව යුද්ධයේ දී අතුරුදහන්වූ සිය ඥාතීන් ගැන තොරතුරු ඉල්ලා හර්තාලයක යෙදුනාහ.

අප්‍රේල් 14 දා මීතොටමුල්ල කුනු කන්ද නාය යෑමෙන් දුසිම් ගනනක් ජනයා මිය යාමට එරෙහිව බරපතල විරෝධයක් පැතිරී ඇත. එබඳුම අන්තරායන් හා පරිසර දූෂන ප‍්‍රශ්න පැන නැගීීම ගැන බියෙන් කොලඹ නගරයේ කසල වෙනත් ප‍්‍රදේශවලට බැහැර කිරීමට එරෙහි සිය ගනන් ජනයා විරෝධය පල කලහ. ආන්ඩුව ඒවා මැඞීමට පොලීසිය යෙදවීම සඳහා කසල බැහැර කිරීම අත්‍යවශ්‍ය සේවයක් බවට නියෝග පැනවූයේ ය.

සන්නද්ධ බලකායන් තමන් අතට බලතල දෙන ලෙසට මිලිටරිය ආන්ඩුවට බලපෑම් කරන්නේ ද මෙලෙස වැඩෙන සමාජ පිපිරීම් තලා දැමීමට යි.

මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිලිතුරු දෙමින් සෞඛ්‍ය ඇමති සඳහන් කලේ හිටපු අගමැති සිරිමා බන්ඩාරනායක හා හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන හමුදාව එලෙස ස්ට‍්‍රයික් බිඳ දැමීමට යොදාගත් බවයි. බන්ඩාරනායක හදිසි නීතිය යටතේ 1976 මහා වර්ජනය බිඳීම සඳහා කම්කරුවන් වැඩට ගෙන ආවේ බයිනෙත්තු තුඩ එල්ල කර ගෙන ය. ජයවර්ධන වර්ගවාදී යුද්ධය හා හදිසි නීතිය පාවිච්චි කරගෙන 1987-1990 කම්කරුවන්ට හා ගම්බද තරුනයින්ට එරෙහිව මිලිටරිය මර්දනය සඳහා උසිගැන්වීය.

සිරිසේන ආන්ඩුවේ විරුද්ධවාදියෙකු නිසා ඔහු ගැන සඳහන් නොකලත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යුද්ධය තුල දී හා එය අවසන් වූ 2009 මැයි මස පටන් මත් කම්කරුවන්ගේ හා දුගීන්ගේ අරගල මැඞීමට මිලිටරි පොලිස් ප‍්‍රචන්ඩත්වය රුදුරු ලෙස යොදා ගත්තේ ය.

ආන්ඩුව වැඩ වර්ජනවලට හා උද්ඝෝෂනවලට පහර දෙන්නේ ඒවා රාජපක්ෂ ප‍්‍රමුඛ කන්ඩායම ආන්ඩුවට එරෙහිව ගෙන යන ව්‍යාපාරයට සහයෝගය දෙන බව ප‍්‍රකාශ කරමිනි.

මහජනයා විසින් පෙරලාදැමූ ඒකාධිපති රාජපක්ෂ පාලනය ආපසු බලයට ගෙන එන්න වෘත්තීය සමිතිකාරයන්ට ඉඩ දෙන්න බැරි යයි සේනාරත්න පුවත්පත් සාකච්ඡාවේ දී ගෝරනාඩු කලේ ය. කම්කරුවන්ට පහර දීම සඳහා ඔහු ගසා කන්ට තැත්කලේ ඇතැම් වෘත්තීය සමිති නිලධරයන් රාජපක්ෂට ආවඩන්නට පටන් ගැනීමයි. ජනාධිපති සිරිසේන සභාපතිත්වය දරන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ඔහුට හිතවත් මන්තී‍්‍රවරු කන්ඩායම සමග තනා ගෙන ඇති “ඒකාබද්ධ විපක්ෂය” නම්වූ ව්‍යාපාරය මගින් ආන්ඩුව පෙරලා බලය ගන්නා බවට රාජපක්ෂ තර්ජනය කරමින් සිටී.

ජීවන අයිතීන්ට පහර දෙමින් අධිකාරිවාදී පාලනයක් ගෙන ගියත් තමන් ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙකු හා සමාජ සාධාරනත්වය ඇති කල අයෙකු ලෙසට බේගල් දෙසා බාමින් සිරිසේන ආන්ඩුවට එරෙහිව වැඩෙන මහජන විරෝධය ගසා කෑමට රාජපක්ෂ තැත් කරයි. සිරිසේන- වික‍්‍රමසිංහ ආන්ඩුවට වාවා ගත නොහැකි ලෙස සමාජ පිපිරීම් වර්ධනය වන තතු තුල, දෙමල විරෝධී හා ඉන්දියානු විරෝධී වර්ගවාදය ද උසිගන්වා ගෙන, යුද ජයග‍්‍රහනය ගැන පම්පෝරි ගසමින් හා මිලිටරියට කැඳවුම් කරමින් අරගල කරන මහ ජනයා තලා දැමීම සඳහා රාජපක්ෂ නඩය තමන්ගේ පැත්තෙන් සූදානම් වෙයි.

පන්ති අරගලය වැඩෙන කොන්දේසි තුල පාලනය ගෙන යාම පිලිබඳ බරපතල දේශපාලන අර්බුදයකට ආන්ඩුව මුහුන දී සිටියි. විදේශ නය සීඝ‍්‍රව ඉහල යමින් හා අපනයන වැටෙමින් ආර්ථික අර්බුදය ඉහවහා යන තත්වයක තව තවත් බදු පැනවීම්, සහනාධාර කැපීම්, පුද්ගලීකරනය ඇතුලූ කප්පාදු වැඩපිලිවෙල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කෙරී ඇත. ජනවාරි-පෙබරවාරි මාස දෙකේ රටේ උද්ධමනය සියයට 8.2 ඉහල නැගුනි.

ව්‍යාජ වම්මුන්ගේ හා වෘත්තීය සමිතිවල කර උඩින් “යහ පාලනයක්” ඇති කිරීමේ මුවාවෙන් රාජපක්ෂට එරෙහිව පැනැගුනු නොසන්සුන්තාව නොමග යවමින් බලයට ආවත් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ජීවන කොන්දේසිවලට හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එල්ල කල ප‍්‍රහාර නිසා අපකීර්තියට පත්ව ඇත. ඇමරිකානු අධිරාජ්‍යවාදීන් චීනයට එරෙහිව ගෙන යන යුද සූදානමට ලංකාව වඩවඩාත් සමීපව ගැට ගැසීමට ආන්ඩුව කි‍්‍රයා කරගෙන යයි.

ජාත්‍යන්තරව ම ධනපති අර්බුදය තුල රටක් රටක් පාසා පාලක පන්තීන්ගේ දක්ෂිනාංශික ප‍්‍රතිගාමී හැරීමක් ගනිමින් කම්කරු පන්තිය දිනාගත් අතීත ජයග‍්‍රහන සමතලා කරමින් ඒකාධිපති ආන්ඩු බලයට ගෙන ඒමට කි‍්‍රයා කරති. කොලඹ ආන්ඩුවේ දක්ෂිනාංශික ගමනින් ද ප‍්‍රකාශයට පත් වන්නේ එයයි.

සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී කි‍්‍රයාවන් සහ ජීවන හා සමාජ කොන්දේසිවලට එල්ල කරන ප‍්‍රහාර පරාජය කිරීමට කම්කරු පන්තිය සූදානම් විය යුතු ය. කම්කරු පන්තියට එය කල හැකි වන්නේ ධනේශ්වරයේ සියලුසංවිධාන වලින් බිඳී තමන්ගේ ස්වාධීන පන්ති ශක්තිය මෙහෙයවාගෙන ගම්බද දුගීන් හා තරුනයන් රැලි කර ගනිමින් සමාජවාදී වැඩ පිලිවෙල කි‍්‍රයාවට දමන කම්කරු-ගොවි ආන්ඩුවකට සටන් කිරීමෙන් පමනකි.

Share this article: