මීතොටමුල්ලේ ඛේදවාචකයෙන් දිවි ගලවා ගත් ප‍්‍රදේශවාසීහු ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතා කරති

අපේ වාර්තාකරුවන් විසිනි , 2017 අප්‍රේල් 23

මීතොටමුල්ල කුනු කන්ද නාය යාමෙන් විපතට පත්වූවන් පිලිබඳ විමසා බැලීමට ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන් පිරිසක් 17දා ව්‍යසනය සිදුවූ ප‍්‍රදේශයට ගියහ. ඊට දින තුනකට පෙර සිදු වූ මහා ඛේදවාචකයේ කම්පනයෙන් ප‍්‍රදේශය ඇලලී තිබුනි.

කැඩී බිඳී ගිය නිවාස වලට පිටුපසින් ඇත්තේ කුනු කන්දයි

කුනු කන්දට යට වී වැලලී ගිය අයගේ මලසිරුරු සෙවීමේ හා ගොඩගැනීමේ කටයුතු ඒ වනවිටත් සිදුවෙමින් පැවතුනි. එතෙක් සොයාගෙන තිබුන මලසිරුරු ගනන 32කි. මියගිය සංඛ්‍යාව නිශ්චිතව කීමට කිසිවෙකු නොදනියි. හානියට පත්වූ මුලු නිවාස ගනන188 කි. ඉන් නිවාස 98 ක් මුලූුනින් ම විනාශ වී ඇත. ව්‍යසනය පාලකයන් විසින් නිර්මානය කල එකක් බවට චෝදනා කරන ප‍්‍රදේශවාසීහු ආන්ඩුවටත්, දේශපාලනඥයන්ටත් ඒ ගැන දෙස් දෙවොල් තබති.

මියගිය හිමාෂා ගිමිහානිගේ මව වන ගයානි ගාල්ලගේ. ඇගේ ඥාති පුත්‍රයන් දෙදෙනෙකුද මිය ගොස් ඇති අතර සැමියා බරපතල තුවාල ලබා කොළඹ මහ රෝහලේ ප්‍රතිකාර ගනිමිනි සිටියි

තමන්ගේ වයස අවුරුදු 3-4 අතර දියනියත් සිය නැගනියගේ පුතුන් දෙදෙනාත් නායගිය කුනු කන්දට යටවීමෙන් මිය යාමේ සොවින් වැලපෙන ගයානි ගාල්ලගේ නම් කාන්තාවක් ලෝසවෙඅ වාර්තාකරුවන් වෙත තමන් මුහුන දී සිටින ඛේදවාචකය විස්තර කලා ය. ඇගේ සැමියාද කුනු කන්දට යටවී බරපතල තුවාල ලබා හදිසි අනතුරු ඒකකයේ ප‍්‍රතිකාර ලබන බව ඇය කීවා ය. සිය දියනිය මිය ගොස් ඇති බව ඔහු තවම දන්නේ නැත.

ගයානිගේ නැගනිය පදිංචි වී සිටින්නේ අනුරාධපුරයේ ය. මිය ගිය ඇගේ පුතුන් දෙදෙනා ගයානිගේ නිවසේ නතරවී කොලඹ ප‍්‍රධාන බේකරි නිෂ්පාදන ආයතනයක සේවය කරමින් සිට ඇත. ඔවුන් මියගොස් ඇත්තේ ඇගේ සැමියා බේරා ගැනීමට වෑයම් කරන අතරතුර ය. තම දියනිය කුනු කන්දට යටවන ආකාරය තමන් දුටු බව ගයානි කීවා ය. පැය අටක් පමන ඇය සුන්බුන් යට සිරවී සිට ඇත.

අනතුරට පත්වූවන් ගලවා ගැනීමට පැමිනි කන්ඩායම් අත අවශ්‍ය මූලික උපකරන පවා නොතිබූ බවත් ආපදා තත්වයට මුහුනදීමට රජයට කිසිදු සූදානමක් නොතිබූ බවත් ඇය කෝපයෙන් පැවසුවා ය.

“ගලවා ගැනීමේ කන්ඩායම් ආවේ රෑ 8 ට විතර. එතකොට අනතුර වෙලා පැය ගනනක් ගත වෙලා. අඩුම ගනනේ ලයිට් එකක්වත්, ලනු පොටක්වත් ඒ ගොල්ල අතේ තිබුනේ නැහැ. ඒ අය ටෝච් ගේන්න ලයිට් ගේන්න කියල කිව්වේ අනතුරට පත්වෙලා හිටපු මිනිස්සුන්ට. යටවෙලා හිටපු අයට ඔක්සිජන්වත්, ක්ෂනික ප‍්‍රථමාධාර ලබා දීමට අවශ්‍ය කිසිම දෙයක් තිබුනේ නැහැ”.

පසුගිය වසරේ මැයි මාසයේ ඇති වූ ගංවතුරින් මෙම ප‍්‍රදේශයේ ජනතාව බරපතල ගැටලුවලට මුහුන දුන්හ. බොහෝ අයට දේපල ද අහිමි විය. එම ඉරනමට ගයානි ද ගොදුරුවී සිටියා ය. ඇගේ නිවසේ සියලුම භාන්ඩ විනාශ වී ඇත.

“ආන්ඩුව වන්දි දුන්නේ රුපියල් 10,000 යි. දෙනවා කිව්ව ඉතිරි රුපියල් 15,000 මේ වනතුරුත් ලැබුනේ නැහැ” ඇය කීවා ය. සිය ඥාතීන්ගේ මෘත ශරීර තුන ලබා ගැනීම සඳහා ගිය විට එහිදී මුහුන දුන් දුෂ්කරතාව ගැන ගයානිගේ ඥාති සහෝදරියක් විස්තර කලා ය. රෝහලේ සිට පොලිස් මෘතශරීරාගාරයට මෘත ශරීර ප‍්‍රවාහනය කිරීම සඳහා ප‍්‍රවාහන පහසුකම් සපයා නොතිබනු බවත් ඔවුන්ගේ මෘත ශරීර නිදහස් කර ගැනීමට පැය 24 කට වඩා රස්තියාදු වීමට සිදු වූ බවත් ඇය පැවසුවාය.

සසිත සංජීව - මියගිය දියනිය, සඳුනිගේ ඡායාරූපයක් අතැතිය. ඔහුගේ බිරිඳ හා තාත්තාද මිය ගියේය

ව්‍යසනයෙන් පසුව, සහන සැපයීම ගැන ආන්ඩුවේ හා ආන්ඩුවේ මාධ්‍යයන්හි පූච්ඡානම් කතා සම්බන්ධයෙන් ඇය කතා කලේ පිලිකුලෙනි. “දේශපාලනඥයො නිලධාරියො කිව්වා සුපිරියටම වැඩේ කරන්නම් කියල. අන්තිමට ගෙදරට ලමයින්ගේ මලමිනී එව්වේ. සීල් කරලා එව්වෙ මිනිසුන්ට බලන්න බැරිවෙන්න. අන්තිම මෙහොතෙ අපි ලමයින්ගෙ මුහුනවත් දැක්කෙ නැහැ. එම්බාම් කරලවත් නැහැ. පැය දෙකක් යන්නත් කලින් ගඳ ගහන්න පටන් ගත්ත. පෙට්ටි ඔක්කොම ගැලවිලා. මිනිස්සු කලු පටි වලින් ගැට ගහල පෙට්ටි ගෙනිච්චෙ.” ඇය කීවාය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කොලඹ නගරයේ කසල කිසිම කලමනාකරනයකින් තොරව එම ස්ථානයට ගෙනවිත් දැමීමට කොලඹ නගර සභාවට අවසර දීම ගැන ගයානිගේ අසල්වැසි පුරුෂයකු සහ කාන්තාවක් පසුගිය ආන්ඩුවට චෝදනා කලහ. “විරුද්ධ වුන අයට කඳුලු ගෑස් පවා යොදාගනිමින් පහරදුන්නා. පහරකෑමට ලක්වූ බොහොම දෙනෙක් රෝහල්ගත කලා” යැයි ඔවුහු කීහ.

ප‍්‍රදේශයේ ජනතාව ගැන කිසිම තැකීමක් නැතිව කසල බැහැර කිරීම පිලිබඳව පක්ෂ දෙකටම -එක්සත් ජාතික පක්ෂය (එජාපය) හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) - ඔවුහු චෝදනා කලෝ ය. කසල ප‍්‍රතිචක්‍රීකරන යන්ත‍්‍ර කලින් තිබූ බවත් ඒවා පසුව නවතා දැමූ බවත් ඔවුන් පැවසූහ.

කුනු කන්දට යටවීමෙන් තමන් පදිංචිවී සිටි නිවස අහිමි වී අසල්වැසි නිවසේ නවාතැන් ගෙන සිටින සුපර්නිකා තමන්ට සිදුවූ ව්‍යසනය මෙසේ විස්තර කලා ය: “මෙයාගෙ අනුකම්පාව පිට අපි ඇවිල්ල ඉන්නෙ. සද්දෙට අර ගේ (පසු පසින් පිහිටි ගෙයක්) කඩාගෙන ආව. ගේ එනව දැකල මායි, මහත්තයයි, පුතයි කෑ ගහගෙන එලියට පැන්න”. ඔවුන් සතුව පැවැති ඇඳුම් යම් ප‍්‍රමානයක් බේරා ගැනීමට හැකි වු බවත් තම නිවස මුලුමනින් ම යට නොවූවත් දැන් එය පදිංචියට නුසුදුසු බවත් ඇය පැවසුවේ ඉමහත් වේදනාවෙනි.

ඇගේ සැමියාගේ රැකියාව ඇලුමිනියම් වැඩ කිරීම ය. තම එකම පුතා අපොස උසස් පෙල විභාගයට ලියා බී සාමාර්ථයන් 3 ක් ගත් බවත්, මෙම වසරේ නැවතත් විභාගයට පෙනී සිටීමට සිතා සිටි නමුත් දැන් එය කිරීම අපහසු බවත් ඇය පැවසුවාය.

මහා තෙරපුමක් ඇතිකරමින් නාය යාම සිදු වූ ආකාරය ගැන උදාහරන දෙමින් තවත් ප‍්‍රදේශවාසියෙක් විස්තර කලේ ය. “තට්ටු තුනක ගෙයක් මීටර් 30 ක් විතර ඉස්සරහට තල්ලු වෙලා ආවා. දැන් තියෙන්නෙ ගේ කැරකිලා. තවත් තට්ටුවක් උඩ තියලා තියෙනවා වගේ පෙනෙන්නෙ”.

ඉහල වානිජ වටිනාකමක් ඇති මෙම භූමිවලින් මහජනයා ඉවත් කිරීමට රාජපක්ෂ ආන්ඩුව මෙන්ම සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ද අදිටන් කරගෙන සිටින බව ඔහු කෝපයෙන් කීවේ ය. ඒ, ඉඩමකට රුපියල් ලක්ෂ 25 ක් පමන සුලු මුදලක් ලබා දීමේ පොරොන්දුව පිට ය.

“මේක ස්වභාවික විපත්තියක් නෙමෙයි. ඇති කරපු එකක්. මැරිච්ච කෙනෙකු වෙනුවෙන් ආන්ඩුව දෙන්නේ රුපියල් ලක්ෂයක සොච්චම් මුදලක්. ගේකට ලක්ෂ විසිපහක් දෙනවා කියලා තියෙනවා. කලින් කියලා තිබුනේ පර්චස් එකකට ලක්ෂ පහලොවක් දෙනවා කියලා. දැන් උත්සාහ කරන්නේ විනාශය පාවිච්චි කරලා සොච්චම් වන්දියක් දීල අපිව එලියට ඇදලා දාන්න” ඔහු කීවේ ය.

මීට පෙරාතුව අවස්ථා දෙකකදී කුනු කන්දේ පීඩනය නිසා ගෙවල් ගනානවකට හානි සිදුවූ බවත්, ඒවායින් කොටසකට වන්දි ගෙවා එම ජනයා ඉවත් කල බවත් ඔහු සඳහන් කලේ ය. කුනු කන්ද ඉවත් කිරීම දේශපාලකයන් එම ප‍්‍රදේශයේ ජනයා රවටා ඡන්ද ගැනීමට දුන් බොරු පොරොන්දු පමනක් බව ද ඔහු කීවේ ය. “මරික්කාර්ල (එජාප පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්. මරික්කාර්) ආවෙ මාසෙන් දෙකෙන් මේවා අයින් කරනවා කියලා. ඡන්දෙ ගන්න ඕන නිසා වේදිකාවල කෑ ගහනවා දකින්න ඇතිනේ...එතකොට රනිල් වික‍්‍රමසිංහ අගමැති කීවේ, අපි ආපු ගමන් කුනු කන්ද අයින් කරනවා කියලා”, ඔහු අවඥා ස්වරයෙන් කීවේ ය.

ප‍්‍රදේශයේ ජනයාගේ දුක්ගැනවිලි ගැන ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලනයට පැවති නොතැකීම ද ඔහුගේ විවේචනයට ලක් විය. “මහින්දගේ කාලයේදී මෙම කුනු පුත්තලමට ගෙනියන්න සැලසුමක් තිබුනලු. ඒ කාලේ ගෙවල් හතලිහක් විතර කඩන්න ලකුනු කරලා තිබුනා. මිනිස්සු කවුරුත් කැමති වුනේ නැහැ යන්න. අන්තිමේදී එයාලා (ඡන්දෙන්) පරදින්නත් ඒක බලපෑවා”.

මීතොටමුල්ල කසල කන්දට එරෙහි ජනතා ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂන වලට මෙම රජය ද ප‍්‍රහාර එල්ල කල බව ඔහු පැවසුවේ ය. “උද්ඝෝෂන ගොඩක් කලා. මිනිස්සු බලාපොරොත්තු වුනා මේ ආන්ඩුව ආවම සහයෝගය දෙයි කියල. ඒත් මේ ආන්ඩුවත් මිනිස්සුන්ට ගැහැව්වා. පොලීසියත් ගැහැව්වා. චන්ඩි දමලත් ගැස්සෙව්වා.”

රජයේ පොරොන්දු ගැන මොවුනට කිසිදු විශ්වාසයක් නැත. “ගිය අවුරුද්දේ මැයි මාසේ ගංවතුරට අහුවෙලා අනාත වුන පවුල් සෑහෙන ගනනක් තවමත් ඉන්නේ කුනු ගොඩ එහා පැත්තෙ තියෙන ටෙන්ට් වල. ඔවුන්ට නෑමට වතුරවත් අවශ්‍ය තරම් වැසිකිලි පහසුකම්වත් නැහැ. ඉතින් ආන්ඩුව දෙන පොරොන්දු ගැන අපි කොහොම ද විශ්වාස කරන්නේ?”

Share this article: