මීතොටමුල්ල ව්‍යසනය ගැන අගමැති කල ප‍්‍රකාශයේ කුහකත්වය

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2017 අප්‍රේල් 21

මීතොටමුල්ල කසල කන්ද නාය ගිය ප‍්‍රදේශයේ බදාදා (19) නිරීක්ෂන චාරිකාවක යෙදුන අගමැති රනිල් වික‍්‍රමසිංහ ඉන් සිදු වී ඇති ව්‍යසනය හා ඉන් විපතට පත් ජනතාවට සහන සැලසීම පිලිබඳව කල ප‍්‍රකාශය කුහක සහ වංචනිකය.

කුනු කන්ද ඉවත් කිරීම සඳහා “අපි (ආන්ඩුව) එක එක පියවර ගත්තා. සමහර පියවර ගන්න ප‍්‍රමාදයක් ඇතිවුනා. අපි ඒ වගකීම භාර ගන්නවා.” යයි එහි දී පැවසූ වික‍්‍රමසිංහ එසැනින් ම “සමාජයත් වගකීම භාර ගන්න තියෙනවා” යැයි ව්‍යසනයේ වගකීම ඊට ගොදුරු වූ ජනයාගේ කරපිට තැබුවේ ය. පරම්පරා කීයක් එහි පදිංචිව ඉන්නවා දැයි කාන්තාවකගෙන් විමසූ ඔහු “මගෙත් පරම්පරා පහක අය මේ පලාතේ පදිංචිව හිටිය ඒ ඉඩනුත් කවුරු හරි අල්ලගෙන ද දන්නේ නැහැයි” විපතට පත් ජනයාට ඔලොක්කු කරන නරුම කතාවක් කීවේ ය.

කසල කන්ද ඉවත් කිරීමට ආන්ඩුව පියවර ගනිමින් සිටි බවට ඔහු කියන කතාව බොරුවකි. එය ඉවත් කිරීමට පියවර නොගත්තා පමනක් නොව ඊට එරෙහිව මතුවූ ජනතා උද්ඝෝෂන පොලීසිය හා හමුදාව යොදා මෘග ලෙස මර්දනය කිරීමට ආන්ඩුව ක‍්‍රියා කලේ ය. ප‍්‍රදේශයේ ජනයා 2016 දෙසැම්බර් 27 උද්ඝෝෂනය කලේ එහි කුනු දැමීම තවත් වසර දෙක හමාරකින් දික් කිරීමට ආන්ඩුව ගෙන තිබූ තීන්දුවකට එරෙහිව ය. කොලොන්නාවේ නගර සභාවේ සභාපති ගේ මෙහෙයවීමෙන් උද්ඝෝෂකයන් ට මැර ප‍්‍රහාරයක් එල්ල කෙරුනු අතර උද්ඝෝෂනයේ මූලිකත්වය ගත් කිහිප දෙනෙකු අත් අඩංගුවට ගත් පොලීසිය ඔවුන්ට එරෙහිව නඩු පැවරීය.

මීතොටමුල්ල ව්‍යසනයෙන් සිදු වූ මරන සංඛ්‍යාව මේ වන විට 33 දක්වා ඉහල ගොස් ඇති අතර මිය ගිය මුලු සංඛ්‍යාව පිලිබඳ නිශ්චිත ගනන් බැලීමක් මෙතෙක් කෙරී නැත. දේපල හානිය පිලිබඳ තක්සේරුව ද තවමත් අවසන් වී නැත. හානි වූ නිවාස සංඛ්‍යාව ප‍්‍රදේශවාසීන්ට අනුව 188 කි.

“ඕගොල්ලන්ට නාගරික සංවර්ධන අධිකාරියේ තට්ටු නිවාස වෙන්කරලා තියෙනවා. ගෙවල් හානි වුනු අයට අපි සහන හොයල දෙන්නම්” යයි කියමින් ඛේදවාචකයෙන් විපතට හා කෝපයට පත් ජනයා අස්වැසීමට උත්සාහ කල වික‍්‍රමසිංහ “අපේ කනගාටුව ජීවිත බේරගන්න බැරිවුනු එක ගැන,” යයි කිඹුල් කඳුලු හෙලීම ට ද අමතක නොකලේ ය.

නමුත් ආන්ඩුවේ නිවේදනවලට අනුව නිවාස ලබා ගැනීම සඳහා ව්‍යසනයට ගොදුරු වූවන් මැයි, ජූනි සහ ජුලි දක්වා මාස තුනක් බලා සිටිය යුතු ය.

වික‍්‍රමසිංහ ගේ හා ආන්ඩුවේ බොරු පොරොන්දු ගැන පුර්වාදර්ශයන් මහජනතාවට ඇත. අරනායක සාමසැර කන්ද නාය යාමෙන් හා කොස්ගම ශාලාව හමුදා අවි ගබඩාව පුපුරා යාමෙන් සිදු වූ මහා ව්‍යසනයන් හි දී ද වික‍්‍රමසිංහ හා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ද විපතට පත් ජනයාට “කඩිනම් සහන” සලසන බවට පොරොන්දු වූහ. එහෙත්, ඒ පොරොන්දු ඒ ආකාරයෙන් මෙතෙක් ඉටු වී නැත.

වික‍්‍රමසිංහත් ආන්ඩුවත් බියට පත්ව සිටින්නේ ඛේදවාචකයෙන් ප‍්‍රදේශයේ ජනයා අතර අවුලුවා ඇති කෝපය, ජීවන තත්වයන් ට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට ආන්ඩුව එල්ල කරන ප‍්‍රහාරවලින් නොසන්සුන්ව සිටින පලල් මහ ජනතාව අතර සමාජ පිපිරීමකට කොන්දේසි නිර්මානය කිරීම කෙරෙහිය. පසුගිය සති හා මාසවල පැන නැගී කම්කරුවන්ගේ, දුගී ගොවීන්ගේ හා ශිෂ්‍යයන්ගේ අරගල හා කසල තම ප‍්‍රදේශයන් හි බැහැර කිරීමට විරුද්ධව ප‍්‍රදේශ ගනනාවක මතු වී ඇති බරපතල විරෝධය එවන් සමාජ පිපිරීමක් පිලිබඳ පෙර ඇඟවුම් බව පාලක පන්තිය දනී.

මීතොටමුල්ල ව්‍යසනයේ වගකීම විපතට පත් ජනයා මත පැටවීමට වික‍්‍රමසිංහ හා ආන්ඩුව උත්සාහකලත්, එය ධනපති ආන්ඩු විසින් නිර්මානය කරන ලද එකකි. අනෙක් අතට වික‍්‍රමසිංහ හා ආන්ඩුව සලකන්නේ එම ව්‍යසනය ආයෝජකයන් හා සංචාරකයන් ආකර්ශනය කර ගන්න වානිජ මධ්‍යස්ථානයක් බවට කොලඹ නගරය පරිවර්තනය කිරීම පිනිස රාජපක්ෂ තන්ත‍්‍රය විසින් ආරම්භ කරන ලදුව මේ ආන්ඩුව විසින් පෙරට ගෙන යනු ලබන “මහා නගර” සැලැස්ම සඳහා ඉඩම් අත් පත් කර ගැනීම ට ලැබුන මහගඟු අවස්තාවක් ලෙසය.

දැනටමත් අවදානම් කලාප ලෙස සලකුනු කර ඇති කොටසෙහි නිවාස කඩා ඉවත් කිරීමට කටයුතු කරන බවටත් “අනවසර” පදිංචිවීම් වලට යලි කිසිසේත් ඉඩ නොදෙන බවටත් ආන්ඩුව ප‍්‍රදේශයේ ජනතාවට කෙලින් ම තර්ජනය කර ඇත. මහා නගර සැලැස්ම යටතේ කොලඹ නගර සීමාව තුල පදිංචිව සිටින දුගී පවුල් 70,000ක් පමන ඉවත් කිරීමට නියමිත ය. පසුගිය ආන්ඩුව යටතේ ඉවත් කල ජනයාගෙන් කොටසක් තවමත් තාවකාලික කූඩාරමවලට කොටුකර සිටින අතර ස්ථීර නිවාස ලෙස දී ඇති ඒවා ප‍්‍රමානවත් පහසුකම්වලින් තොරය.

සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව මීතොටමුල්ල ජනයාට අත්කර දෙනු ඇත්තේ ඊට නෙවෙනස් ඉරනමකි.

මීතොටමුල්ල ඛේදවාචකය ආන්ඩු හා ධනපති පන්තිය විසින් නිර්මානය කල එකකි. පෙන්නුම් කර ඇත්තේ මහා ජනතාවගේ මොනම අති මූලික ප‍්‍රශ්නයක් හෝ විසඳීමට නොහැකි තරමට ධනපති පන්ති පාලනය කුනුවී ඇති බවයි. ජනාධිපති සිරිසේන වහා ප‍්‍රශ්නය විසඳා කුනු දැමීම නතර කිරීමට ද ප‍්‍රදේශයේ විපතට පත් ජනයාට වහා සහන සැලසීමට ද අන පනවා ඇතැයි ජනමාධ්‍ය ප‍්‍රකාශ කලේය. සිරිසේන හා වික‍්‍රමසිංහ බිය පත්වී සිටින්නේ ආන්ඩුවේ ප‍්‍රහාරවලට එරෙහිව කම්කරුවන් හා දුගීන් අතර වැඩෙන විරෝධය උත්සන්න කිරීමට මේ විපත ද එකතු වීම ගැනයි.

Share this article: