ඉන්දියාව: හජාජාක ආධාරකරුවෝ මරුති සුසුකි කම්කරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා විරෝධය පලකරති

India: ICFI supporters protest to demand release of Maruti Suzuki workers

අපේ වාර්තාකරුවන් විසිනි , 2017 අප්‍රේල් 19

දකුනු ඉන්දියාවේ තමිල් නාඩු ප‍්‍රාන්තයේ අග නගරය වන චෙන්නායි සිට කිලෝ මීටර් 40 කින් පමන පිහිටා ඇති ප‍්‍රධාන වාහන නිෂ්පාදන මධ්‍යස්ථානයක් වන ශ‍්‍රීපෙරුම්බුදූර් හිදී අප්‍රේල් 17 දා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාකෙ) ඉන්දියානු ආධාරකරුවෝ විරෝධතා දැක්වූහ. ශ‍්‍රීපෙරුම්බුදූර් මගී බස් පර්යන්තයේදී පැවැත්වූ විරෝධතාවෙහිදී කුමන්ත‍්‍රනයට ලක් වූ මරුති සුසුකි කම්කරුවන් වහාම නිදහස් කරන ලෙස බල කෙරිනි.

උතුරු ඉන්දියාවේ හර්යානා ප‍්‍රාන්තයේ මනෙසාර් හි පිහිටි මරුති සුසුකි වාහන එකලස් කිරීමේ කම්හලෙහි කම්කරුවන් දහතුන් දෙනෙක් ව්‍යාජ මිනීමැරුම් චෝදනා යටතේ ජීවිතාන්තය දක්වා සිර ගත කරන ලදී. එම කම්හලෙහිම තවත් කම්කරුවන් 18 දෙනෙක් අඩු චෝදනා යටතේ වසර 3 සිට 5 තෙක් සිර ගත කෙරුනි.

එම ප‍්‍රදේශයේ ඇති විශේෂ ආර්ථික කලාපයේ (විආක) පිහිටා ඇති විවිධ කම්හල්වල සිය ගනන් කම්කරුවන්ගේ අවධානය හා සැලකිල්ල දිනා ගනිමින් හජාජාක ආධාරකරුවෝ මගී බස් පර්යන්තයේදී පැයකට වඩා විරෝධතාවේ නියැලුනහ. ඉන්දියානු රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීහු සිද්ධිය වීඩියෝ ගත කරන ලද අතර සහභාගීවූවන්ගේ නම් ඉල්ලා සිටියහ. විරෝධතා සංවිධායකවරු කිසිදු නමක් හෙලිකිරීම ප‍්‍රතික්ෂේප කලහ.

“කුමන්ත‍්‍රනයට ලක් වූ මරුති සුසුකි කම්කරුවන් නිදහස් කරනු!” යැයි ඉංග‍්‍රීසියෙන් හා දෙමලෙන් කියවෙන බැනරයක් විරෝධතාකරුවෝ ප‍්‍රදර්ශනය කරන ලද අතර, “මරුති සුසුකි කම්කරුවන්ට එරෙහි හඹා යෑම පරාජය කරන්නට එක්සත් වෙමු”, “කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුවට පෙරට යමු” සහ “අධිරාජ්‍යවාදී යුද සැලසුම්වලට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් කරමු” ඇතුලත් පෝස්ටර් ගනනාවක් රැගෙන සිටියහ. ඔව්හු මරුති සුසුකි කම්කරුවන් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා සටන් පාඨ කීහ.

තමන්ගේ ලාබ ශ‍්‍රම වෙලඳපොල කොන්දේසි වලට මරුති සුසුකි කම්කරුවන්ගේ විරෝධය පාගා දමන්නට අධිෂ්ඨාන කරගත් වාහන සමාගම හා රාජ්‍ය නිලධාරීන් විසින් කර අති දුෂ්ට කුමන්ත‍්‍රනය හෙලි කරමින් හජාජාක ආධාර කන්ඩායමේ අරුන් කුමාර් කෙටි දේශනයක් පැවැත්විය.

විරෝධතාවයෙහිදී අරුන් කුමාර් කතා කරමින්

කුමන්ත‍්‍රනය එලිදරව් කරමින් ලෝක සමාජවාදී වෙබ් අඩවියෙහි පල වූ හජාජාක ඔන්ලයින් (on-line) පෙත්සම, විරෝධතා, මහජන රැස්වීම් හා විවිධ ලිපි, කුමාර් විසින් සඳහන් කරන ලදී. සමාගම හා පොලීසිය අතර දුස්සංධානය, ගොතන ලද සාක්ෂි, පෙලගස්වන ලද සාක්ෂි, හා චෝදනා ඔප්පු කිරීමේ වගකීම පැමිනිලි පාර්ශවය මතින් ඉවත් කර කම්කරුවන් මතට පැට වූ අධිකරන තීරන කුමාර් විසින් හෙලි කරන ලදී. මරුති සුසුකි කම්කරුවන්ට එරෙහිව දුන් තීන්දුව, සමස්ත ඉන්දියානු කම්කරුවන් තැතිගැන්වීමේ උත්සාහයක් වන අතර සියලු කම්කරු පන්ති විරෝධතා මැඩ ලන්නට ඉන්දීය බලධාරීන් උත්සාහ කරන බවට සුසුකි හා අනෙකුත් ආයෝජකයන්ට දෙන ලද සහතික කිරීමක් බව ඔහු පැවසීය.

මගී බස් පර්යන්තයේ කල විරෝධතාවය තෙක් දින කිහිපයේදී, හජාජාක ආධාරකරුවෝ හජාජාක ප‍්‍රකාශනය වන“කුමන්ත‍්‍රනයට ලක් කල මරුති සුසුකි කම්කරුවන් නිදහස් කරනු!” හි දහස් ගනන් පිටපත් බෙදා හරින ලද අතර ශ‍්‍රීපෙරුම්බුදූර්, ඔරගාදම් හා ඒ අසල පිහිටි අනෙකුත් විආක වල කම්කරුවන් සමග සාකච්ඡා කලහ. මෙම විආක වල බොහෝ ගෝලීය වාහන, ඉලෙක්ට්‍රොනික් හා වාහන අමතර කොටස් නිෂ්පාදන කම්හල් පිහිටා තිබේ. හජාජාක ආධාරකරුවෝ කම්කරුවන් හා තරුනයන් සමග මරුති සුසුකි කුමන්ත‍්‍රනය සාකච්ඡා කලහ.

වයස අවු: 20 ක ඇපලෝ ටයර්හි සේවකයෙක් වන, තමරායි විරෝධතාවයට තම සහයෝගය පල කලේය. “මරුති සුසුකි කම්කරුවන් වගේම, අපිත් වැටුප් වැඩිකර ගැනීමට හා සමිතියක් පිහිටුවා ගැනීමේ අයතිය වෙනුවෙන් මෑතකදී අරගලයක නිරත වුනා. අපි රුපියල් 12,000 ක මාසික වැටුපක් ඉල්ලූවා. දැනට ඩිප්ලෝමාවක් සහිත සේවකයෙකුට ලැබෙන්නේ මාසෙකට රුපියල් 8,500 ක් පමනයි.” ඔහු පැවසීය.

“සමාගමේ කලමනාකාරිත්වය සමිතියක් පිහිටුවීමේ අපේ ඉල්ලීමට මුලදී එකඟ වුනත් පසුව තම අදහස වෙනස් කරගෙන එපා කීවා. ඔවුන් වසර දෙකක පලපුරුද්ද සහිත කම්කරුවන්ට අමතර රුපියල් 2,000 ක් ගෙවන්නට පොරොන්දු වුන නමුත් සේවකයන් කලමනාකාරිත්වයේ යෝජනාව ප‍්‍රතික්ෂේප කරලා වැඩි සහන ලබා ගැනීමට බලාපොරොත්තුව නිසා සමිතියක් පිහිටුවීමට උනන්දු වුනා.”

ඔරගාදම් විආක යේ අනෙකුත් සමාගම්වල කම්කරුවන් තමන්ගේ ප‍්‍රධාන ඉල්ලීම් සඳහා සටන් කිරීමට සමිති ස්ථාපිත කිරීමට උත්සාහ දරමින් සිටින බව තමරායි පැවසීය. “ගෝලීයව මෙහෙයෙවන සමාගම්වලට එරෙහිව සටන් කිරීමට කම්කරුවන්ට ඔබේ ජාත්‍යන්තර පක්ෂය සුදුසු සේම වැදගත්.” ඔහු කියා සිටියේය.

රෙනොල්ට් නිසාන් සේවකයෙක් හා පොන්ඩිචෙරිහි ගොවි පවුලක ඉංජිනේරු උපාධිධාරියෙක් වන අවු: 22 වයස ජීවා, මරුති සුසුකි කම්කරුවන් 13 දෙනාට එරෙහිව පනවා ඇති ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හෙලා දුටුවේය.“අධිකරන ආයතනික කලමනාකාරිත්වයට පක්ෂපාතීව තීන්දු දෙන බවට මෙයින් හෙලි දරව් වෙනවා.” ඔහු පැවසීය.

“සීපීඑම් හා සීපීඅයි කියන කොමියුනිස්ට් පක්ෂ [ප‍්‍රධාන ස්ටැලින්වාදී පක්ෂ, ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී), හා ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය] තමන්ගේ පක්ෂ හුදු ප‍්‍රසිද්ධිය සඳහා පමනක් පවත්වාගෙන යනවා. සාමාන්‍ය (ස්ථිර) කම්කරුවන් සඳහා ඔවුන් හයිඋන්ඩායි වාහන කම්හලේ සමිතියක් ස්ථාපිත කල නමුත් කොන්ත‍්‍රාත් සේවකයන්ගේ, පුහුනුවන්නන්ගේ හා ආධුනිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කවදාවත් හඬ නැගුවේ නෑ.

“2009 පටන්, පුහුනුවන්නන් අවුරුදු තුන සම්පූර්න වූවායින් පසු සමාගම ඔවුන්ව නෙරපා දැම්මා. මෙම සියලුම සේවකයන් -20,000 ක් පමන- ස්ථිර නොකර ගෙදර යැව්වා. මම හිතන්නේ මේ විදිහටමයි මරුති සුසුකි වැඩ කරන්නෙත්. සෑම රටකම කම්කරුවන් එක්සත් කිරීමට පාලමක් ලෙස ක‍්‍රියා කරන ඔබේ පක්ෂයට මම කැමතියි.”

ඉන්දීය සෙන්ට්-ගෝබියන් හි සේවය කරන ඉංජිනේරු ඩිප්ලෝමාවක් හදාරා ඇති, විජේ, “මරුති සුසුකි කම්කරුවන් 13 දෙනාගේ ජීවිතාන්තය තෙක් සිරගත කිරීම මම දැනගත්තේ ඔබෙන් පමනයි. මෙම කම්කරුවන් කොන්ත‍්‍රාත් ශ‍්‍රම ක‍්‍රියා පිලිවෙලට එරෙහිව සටන් කලා. අපි සෙන්ට්-ගෝබියන් හිදීත් හා ශ‍්‍රීපෙරුම්බුදූර් හා ඔරාගදම් හි සමාගම් ගනනාවකදීත් ඒ වගේ සමාන තත්වයන්ට මුහුන දෙනවා. මට මාසෙකට රුපියල් 12,000 ක් ලැබෙන නමුත් බොහෝ කම්කරුවන්ට ඊට අඩු වැටුපක් තමයි ලැබෙන්නේ. ගමේ මගේ තාත්තා ඇඳුම් මසන්නෙක් ලෙස වැඩ කරන අතර මාසෙකට රුපියල් 3,000 ක් විතර උපයනවා. මගේ අම්මා ගොවිපොලක වැඩ කරමින් සොච්චමක් හොයා ගන්නවා.”

Share this article: