මරුති සුසුකි කම්කරුවන්ට එරෙහි බොරු නඩුව - පලමු කොටස: විකෘත යුක්තිය

The frame-up of the Maruti Suzuki workers—Part 1: A travesty of justice

එරික් ලන්ඩන් සහ කීත් ජෝන්ස් විසිනි , 2017 අප්‍රේල් 5

2017 මාර්තු 10 වනදා දඩයමට ලක් කෙරුනු මරුති සුසුකි ඉන්දියානු සමාගමේ සේවකයන් 13 දෙනා 2012 වසරේදී ජපානය හිමිකාරීත්වය දරන මෙම වාහන නිෂ්පාදක සමාගමේ හර්යානා හි මනෙසාර් එකලස් කිරීමේ කම්හල තුල කලමනාකාරිත්වය විසින් අවුස්සන ලද කලහයකදී ඇතිවූ ගින්නකට හසුව මියගිය සමාගම් කලමනාකරුගේ මරනය සම්බන්ධයෙන් බොරු මිනීමැරුම් චෝදනාවලට වැරදි කරුවන් කෙරින.

රාම් මෙහෙර්, සංදීප් ඩිලෝන්, රාම් බිලාස්, සරබ්ජීත් සිං, පවන් කුමාර්, සොහාන් කුමාර්, අජ්මර් සිං, සුරේෂ් කුමාර්, අමර්ජීත්, ධන්රාජ් බම්බි, ප‍්‍රදීප් ගුජ්ජර්, යෝගේෂ් කුමාර් සහ ජියා ලාල් යන 13 දෙනාගේ නඩුව දින අටකට පසුව විනිසුරු රාජේන්ද්‍ර පාල් ගෝයාල් විසින් විමසන ලදුව ඔවුන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම කරන ලදී. තරුන කම්කරුවන්ගේ සිත් වේගයෙන් ගැහෙමින් තිබෙන්නට ඇත. ඔවුන්ගේ ජීවිතයේ ඉදිරි කාලය මිහිපිට අපායවල් බඳු ඉන්දියානු හිරගෙවල් තුල ගතකෙරෙන තැනට පමුනුවනු ලැබීමෙන් පසුව අමුත්තන්ගේ කාමරයේ යකඩ කූරු තුලින් මිස කිසිදා ඔවුන් ඔවුන්ගේ බිරින්දෑවරුන් සහ කුඩා දරුවන් නොදකිනු ඇත. රෝගාතුරව අන්ත දරිද්‍ර ජීවිත ගෙවන තමන්ගේ දෙමව්පියන් රැකබලාගැනීමට හෝ මුදලින් උපකාර කිරීමට ඔවුන්ට නොහැකිවනු ඇත.

සොච්චම් වැටුප්, කොන්ත‍්‍රාත් කම්කරු සහ මුර්ග මෙහෙකාර රෙජීමය ඇතුලු රුදුරු ශ‍්‍රම සූරාකෑමේ කොන්දේසි වලට අභියෝග කිරීමේ“අපරාධය” හේතු කොටගෙන එම කම්කරුවන්ගේ ජීවිත ඔවුන්ගෙන් උදුරාගැනීම සඳහා ඉන්දියනු ආන්ඩුව සහ දේශපාලන සංස්ථාපිතය මරුති සුසුකි කලමනාකාරීත්වයට ඉඩහැර ඇත.

13 දෙනාගෙන් දොලොස් දෙනෙක් මරුති සුසුකි සේවක සංගමයේ (එම්එස්ඩබ්ලිව්යූ) නායකයින් ලෙස තේරීපත්වූ අයයි. කලහය සහ ගින්න ඇතිවූ 2012 ජුනි 18ට පෙර ගතවූ මාස 18 තුල මනෙසර් හි එකලස් කිරීමේ කම්හලේ කම්කරුවෝ සමාගම විසින් පාලනය කෙරුනු, ආන්ඩුවේ තල්ලුව ලැබුනු, පන්දම්කාර වෘත්තීය සමිතියට එරෙහිව කෙරුනු කටුක අරගලයක් හරහා එම්එස්ඩබ්ලිව්යූව සංවිධානය කලහ.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) කම්කරුවන්, තරුනයන් සහ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් පිලිගන්නා සියල්ලන් මරුති සුසුකි කම්කරුවන් 13 දෙනාට සහයෝගය දීම සඳහා බලමුලු ගැන්වීමේ උද්ඝෝෂනයක් ගොඩනගමින් සිටියි: සමාගම සහ ආන්ඩුව එක්ව බොරු නඩු ඇටවීමේ කොටසක් ලෙස ඔවුන් සහ දෙවන පෙල චෝදනා ලබා සිටින අනෙක් කම්කරුවන් 18 දෙනා වහාම නිදහස් කරගැනීම, ඔවුන්ට එරෙහි චෝදනා ඉවත්කිරීම සහ 2012 අගෝස්තු මාසයේදී ආන්ඩුවේ උදව්ව ඇතිව මනෙසර් කම්හලේ සේවකයින් නෙරපාහැරීමේදී රැකියාවෙන් දොට්ට දැමුනු 2300ක් සේවකයින් යලි සේවයේ පිහිටුවීම ඊට ඇතුලත්ය.

සමාගම, මරුති සුසුකි කම්කරුවන් බොරු චෝදනා වලට පැටලවීම සඳහා නීති බලධාරීන්, හර්යානා ප‍්‍රාන්ත ආන්ඩුව සහ ඉන්දියාවේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ අතර කෙරුනු කුමන්ත‍්‍රනය සහ ඔවුන්ගේ තුච්ඡ දේශපාලන අභිප‍්‍රාය පිලිබඳව ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) පුලුල් ලෙස ලියා ඇත. චෝදකයින්, විනිසුරන් සහ දේශපාලනඥයින් පුන පුනා පැවසුවේ විදේශීය ආයෝජකයින් සැනසීම සඳහා කම්කරුවන්ට තදින්ම දඬුවම් කලයුතු බවයි. එක් ආසන්නතම උදාහරනයක් පමනක් ගෙනහැර දක්වන්නේ නම් පැමිනිලි පක්ෂය විසින් කම්කරුවන් 13 දෙනා එල්ලා මරන ලෙස තීන්දු කරන මෙන් විනිසුරුවරයාගෙන් ඉල්ලා සිටින්නේ ඇයිදැයි විමසූවිට, විශේෂ චෝදක අනුරාග් හූඩා ප‍්‍රකාශ කලේ “අපේ කාර්මික වර්ධනය පල්ලම් බැස තිබෙනවා. විදේශීය සෘජු ආයෝජන වියලී ගිහින්. අගමැති නරේන්ද්‍ර මෝඩි ‘මේක් ඉන් ඉන්ඩියා’ ඉල්ලා සිටිනවා. නමුත් මෙවැනි සිද්ධි අපේ ප‍්‍රතිරූපයට කැලලක්” යනුවෙනි.

අද ලෝසවෙඅ ආරම්භ කරන කොටස් කිහිපයකින් සමන්විත ලිපි මාලාව ඉලක්ක වන්නේ ඉන්දීය රජය පදනම් වන “සාක්ෂි” සහ නීති තර්ක ඛන්ඩනය කිරීමටයි. එය විශාල වශයෙන් පාදක කර ගන්නේ විනිසුරු ගෝයාල්ගේ පිටු 535ක් සහිත නඩු තීන්දුවේ විමර්ශනයයි.

රාජ්‍යයේ නඩු තීන්දුව පිලිබඳ සුපරික්ෂාකාරී විමර්ශනය සහ ක‍්‍රමානුකූල ඛන්ඩනය ජාත්‍යන්තර ආරක්ෂක උද්ඝෝෂනයන් හි තීරනාත්මක කොටසකි. ආන්ඩුව, පොලීසිය, පැමිනිලි පාර්ශවය සහ උසාවිය ඇතුලු ධනපති රාජ්‍යයේ ආයතන විසින් නිර්නය කෙරෙන පන්ති සාධාරනත්වය හෙලිදරව් කිරීම මහජන සහයෝගය රැලිකරගැනීමෙහි ලා තීරනාත්මක වේ. තවද එය ආන්ඩුවේ බොරු චෝදනා ඇටවිල්ලට හසුව හිංසනයට ලක්වූ කම්කරුවන්, සමාජවාදීන් සහ අනෙකුත් ගොදුරුකරගනු ලැබූවන්, සඳහා යුක්තිය දිනාගත හැක්කේ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන සහ කාර්මික ශක්තිය බලමුලුගැන්වීමෙන් පමනක්ය යන කරුන ඉස්මතු කරයි.

2011 දී මරුති සුසුකි කම්කරුවෝ වැඩවර්ජනයේ නිරත වෙමින් [ඡායාරුපය: රාහුල් රෝයි ද ෆැක්ටරි (2015) චිත‍්‍රපටයෙන් ][Photo credit to Rahul Roy, from The Factory (2015)]

මෙහි සහ ඉදිරි ලිපිවලින් අප පෙන්වා දෙන පරිදි, මරුති සුසුකි කම්කරුවන් වැරදිකරුවන් කිරීමේ පොලිස් විමර්ශනය සහ නඩු විභාගය මුල සිට අග දක්වාම විකෘතියකි.

නින්දිත ලෙස නීතිය උල්ලංඝනය කිරීම සඳහා පොලීසිය මරුති සුසුකි සමාගම සමග සැලසුම් කල බවත් වෙන් වෙන් අවස්ථා දෙකකදී සාක්ෂි ගෙතූ බවත් තමන්ගේ මාර්තු 10 නඩු තීන්දුවේදී විනිසුරු ගෝයාල් ට පිලිගැනීමට සිදුවිය.

සාපරාධී ක‍්‍රියාවක නිරත වූ බවට ඔවුන්ව හසුකර තැබූ අයට පැමිනිල්ලේ සාක්ෂිකරුවන්ව ක‍්‍රමානුකුලව හඳුනා ගැනීමට නොහැකි වු අතර වැරදි ලෙස හඳුනාගනු ලැබුනි.

චෝදනාවේ කඩ ඇනය වූ සිද්ධිය වූයේ කම්කරුවන් සමාගම් කලමනාකාර වරයාව පනපිටින් පුලුස්සා දැමීමේ අභිප‍්‍රාය සහිතව ගින්න ඇවිලවූ බවට කෙරුනු ප‍්‍රකාශයයි. නමුත් ගින්න ඇවිලවීමට එකම කම්කරුවෙකු හෝ සම්බන්ධ කිරීමට එය අපොහොසත් විය. අඩු තරමේ ගින්න දල්වාගන්නා ලද්දේ කොහෙන්ද, කොයි මොහොතේ දැයි තහවුරු කරගැනීමටවත් බැරිවිය.

සාක්ෂියේ ප‍්‍රධාන කොටස් ඇසුරෙන් සාමාන්‍ය අපරාධ අධිකරන පරීක්ෂනය කිරීමට පොලීසිය අසමත් විය.

අභිචෝදනා නඩුවේ ප‍්‍රධාන නොගැලපීම්, පරතරයන් සහ පරස්පරතා තිබුනි: කලහයේදී කම්කරුවන් භාවිත කල බවට වාර්තා වන ආයුධ සම්බන්ධව සහ කම්කරුවන්ට සානුකම්පිත වූ අවිනිශ් දේව් හැරුනු කොට සියලු සමාගම් කලමනාකරුවන් සහ ආරක්ෂක කාර්යමන්ඩලය දරුනු තුවාල රහිතව බේරුනේ කෙසේද යන දේ ඊට අඩංගු විය.

2012 ජුලි 18 වනදා සිද්ධිය ඇසින් දුටු කම්කරුවන් කිසිවෙක් සාක්ෂියට කැඳවීමෙන් වැලැක්වීම ඇතුලුව පැමිනිල්ලේ අත ශක්තිමත් කරන සහ නෛතික ක‍්‍රියාවලිය මුලා කරවන්නාවූ අත්තනෝමතික තීන්දු දිගින් දිගටම විනිසුරු විසින් ගනු ලැබුනි.

අභිචෝදන නඩුව මොනතරමින් තහවුරු කල නොහැක්කක් වූයේද යත් කම්කරුවන් 148 දෙනාගෙන් 117 දෙනෙක්ම ඔවුන්ට එරෙහි සියලු චෝදනාවලින් නිදහස් යැයි උසාවිය ඉදිරියේ ප‍්‍රකාශ කිරීමට විනිසුරු ගොයාල්ට සිදුවිය.

ඔහු එසේ කලද, විනිසුරුවරයා හිතාමතා නීතිය මැඩීය. ඔහුගේ මාර්තු 10 තීන්දුවේදී විනිසුරු ගෝයාල් අභිචෝදනා නඩුවේ හිදැස් වලින් සිදුවන හානි වසා දැමීමට සහ පොලිසියේ විෂමාචාර ඔප්පු වූ අවස්ථා හුදකලා ඒවා මිස යම් රටාවකට අනුව සිදු නොවූ බවත් සමස්ථ නඩුවට බල නොපාන බව ප‍්‍රකාශ කිරීමට දිගින් දිගටම කුතර්කයන් යොදාගත්තේය. තීරනාත්මක අවස්ථාවලදී ඔහු ඔප්පු කිරීමේ වැඩි බර පැමිනිල්ලේ සිට කම්කරුවන් වෙත මාරුකලේය. වෙනත් වචන වලින් කියතොත් තමන්ගේ නිර්දෝෂී භාවය ඔප්පු කරගැනීම කම්කරුවන්ට බාර වන අතර ඔවුන් සාධාරන සැකයෙන් තොරව වැරදිකරුවන් ලෙස ඔප්පු කිරීම රාජ්‍යයේ වගකීම නොවේය යන අභූත, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී සංකල්පය මත විනිසුරු ගෝයාල්ගේ නිගමන පදනම් වී ගත්තේය.

සිද්ධි සම්බන්ධයෙන් කම්කරුවන්ගේ තොරතුරු සලකා බැලීම උසාවිය ප‍්‍රතික්ෂේප කරයි.

2012 ජුලි 18 මරුති සුසුකි සමාගමේ මනෙසර් එකලස් කම්හලේ කලහය මතු වූයේ වැඩබිම් අරගලකිනි.

එදින කම්කරුවන් බියවැද්දවීමේ අරමුන සහිතව කලමනාකාරිත්වය විසින් “ආරක්ෂක කාර්යමන්ඩලය” යැයි නම්කල කන්ඩායමක් සහ මැරයින් ඇතුලු සියගනනක පිරිසක් කැඳවා තිබුනි. ඔවුන් කම්කරුවන්ට ගිවිසුම් ප‍්‍රකාරව හිමිව තිබූ තේ විවේකයේදී ඔවුන්ව බලෙන් වැඩට තල්ලු කිරීමට උත්සාහ කලේය. දැන් ජීවිතාන්තය දක්වා සිර දඬුවමට පමුනුවා ඇති කම්කරුවෙක් වන ජියා ලාල් ඊට විරෝධය පෑවේය.

තමන්ගේ තීන්දුවේදී සමාගමේ පාර්ශවයෙන් කෙරෙන විස්තරය පුනරුච්චාරනය කරමින් ජියා ලාල් “වැරදි හැසිරීම ආරම්භ කල බවත්” එය කම්කරු කොන්ත‍්‍රාත් කරුවකු වන සංග‍්‍රාම් මන්ජි සහ ඔහු අතර පොරයකට මග පෑදු බවත් ප‍්‍රකාශ කලේය. කම්කරුවන්ට අනුව සංග‍්‍රාම් මන්ජි ජියා ලාල්ගේ දුප්පත් කමට සහ කුලය සම්බන්ධයෙන් අවමං කර ඇත. ජියා ලාල් දලිත් කුලයට (පහත් යැයි සම්මත කුලයක්) අයත් අයෙකි එනම් “ස්පර්ශයට නුසුදුසු” පරම්පරාවකින් පැවත එන්නෙකි. තම ඉහල නිලධාරීන්ට සිද්ධිය සැලකල වහාම මන්ජි වැඩබිමෙන් පිටව ගියේය.

මනෙසර් මරුති සුසුකි කම්හල [ඡායාරුපය රාහුල් රෝයි. ද ෆැක්ටරි (2015 ) චිත‍්‍රපටයෙන් ]

කලමනාකාරිත්වය ඉන්පසුව ජියා ලාල්ව රැකියාවෙන් දොට්ට දමන බව නිවේදනය කල අතර කම්කරුවන්ගේ කමිටුවක්, සටන්කාමි කම්කරුවන් එලියට ඇද දැමීමේ දීර්ඝ ඉතිහාසයක් හිමි, සමාගම් කලමනාකාරිත්වය සමග ප‍්‍රශ්නය පිලිබඳ සාකච්ඡා කිරීමට වැඩබිමෙන් පිටත්ව ගියහ.

කම්කරුවන් ජියා ලාල් යලි සේවයේ පිහිටුවීම ඉල්ලා සිටි අතර සමාගම එය ප‍්‍රතික්ෂේප කරන්නේ නම් වර්ජනය කරන බවට තර්ජනය කලේය. ඝට්ටනය සහ ජියා ලාල්ගේ නෙරපීම පිලිබඳ පුවත පැතිරී යද්දී කම්කරුවෝ වැඩකිරීම අත්හැරියහ.

කලමනාකාරිත්වය සමග රැස්වීමකට සහභාගී වූ කම්කරුවන් පවසන්නේ කලමනාකරුවන් ජියා ලාල් අස්කර දැමිය යුතුය යන්න පිලිබඳව තදින් සිටි බවත් ජියා ලාල් ඇත්ත වශයෙන්ම දලිත් කුලයේ කෙනෙක් නිසා කම්කරු කොන්ත‍්‍රාත්කරු ඔහුගේ උප්පත්තිය සම්බන්ධයෙන් අපහාස කිරීමේදී වරදක් කර නැති බව ඔවුන් පැවසූ බවත්ය. කෙසේ වෙතත් මානව සම්පත් කලමනාකරු අවිනිශ් දේව් ඊට එකඟ නොවී ඔහු හා අනෙකුත් සමාගම් නිලධාරීන් සමග “උනුසුම් වාදයකට” ඇදී ගියේය. ජියා ලාල් යලි සේවයට බඳවාගෙන ඔහුට දෙවන අවස්ථාවක් ලබාදෙන්නැයි දේව් කලමනාකාරිත්වයෙන් ඉල්ලා සිටි අතර ඔවුන් එය ප‍්‍රතික්ෂේප කල පසු තමන් සමාගමෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කලේය.

සේවකයන් පවසන්නේ රැස්වීම විසිර යාමෙන් පසුව පිටත රැඳී සිටි බර මුගුරු සහ පිති වලින් සන්නද්ධව සිටි සමාගමේ මැරයන් 25 ත් 30 අතර පිරිසක් අතින් තමන් ප‍්‍රහාරයට ලක්වූ බවයි. කම්කරුවන් විසින් 2012 ගොනුකරන ලද නිල පැමිනිල්ලකට අනුව එක් කලමනාකාරවරයෙක් “අවිනිශ් දේව් ගේ කකුල් කඩා” ඔහුව ගෙනගොස් “කාමරයකට දමා ඊට ගිනි තබන” මෙන් මැරයින්ට අනදී ඇත.

කම්කරුවන් පවසන්නේ ඔවුන් මැරයන්ගේ ප‍්‍රහාරයට එරෙහිව සටන් කල බවයි. කලමනාකාරිත්වය පවසන්නේ සිය ගනනක් කම්කරුවන් ආයුධ ඩැහැ ගෙන කලමනාකාර කාර්යාලයට කඩා වැදී කෲර අන්දමින් සමාගමේ නිලධාරීන්ට පහරදුන් බවයි. සමාගම පවසන්නේ කම්කරුවන් අවිනිශ් දේව් ගේ කකුල් කඩා දේව් පනපිටින් පුලුස්සා දමන අභිප‍්‍රායෙන් ගින්න ඇවිලූ බවයි.

විනිසුරු කම්කරුවන් කියූ කතාව කිසිම සෙවීමකින් බැලීමකින් තොරවම ප‍්‍රතික්ෂේප කලේය. කම්කරුවන් 2012 දී සමාගමේ මැරයින් පහරදීම පිලිබඳ විස්තර ඉදිරිපත් කල පැමිනිල්ල “මුසාකරනය කරන ලද” සහ “ව්‍යාජ” එකක්යැයි තීන්දු කලේය. විනිසුරු ගෝයාල් පැවසුවේ සිද්ධි අනුක‍්‍රමය ගැන විස්තර දක්වමින් කම්කරුවන් පැමිනිල්ල ඉදිරිපත් කලේ ජූලි 18 සිදුවීමෙන් සති කිහිපයකට පසුව නිසා චෝදනාවෙන් ගැලවීමට කම්කරුවන් “පසුව සිහියට ආ සිතුවිල්ලක්” ලෙස එම කතාව ගොතා ඇති බවයි.

මෙම තර්කය ඉදිරිපත් කිරීමේදී ජූලි 18 කලහය සහ ගින්නෙන් පසු ආසන්නතම සති සහ දිනවල සිදුවූයේ කුමක්ද යන්න පිලිබඳ කිසිවක් සලකාබැලීම පැහැර හැරියේය. පොලීසිය ඔවුන්ගේ නිවෙස් වටලමින් සියගනනක් අත්අඩංගුවට ගනිමින් කම්කරුවන්ට එරෙහිව දඩයමක් දියත් කලේය. තවද හිරේ විලංගුවේ වැටුනු බොහොමයක් කම්කරුවන්, සිවිල් අයිතීන් පිලිබඳ සංවිධාන පසුව ලේඛනගත කර තිබූ පරිදි විදුලි සැර ඇල්ලීම, තදින් දෙපා දෙපසට ඇද ගැට ගැසීම, දියේ ගිල්ලීම ආදී ශාරීරික වදයන්ට පමුනුවා තිබුනි.

විනිසුරු ගෝයාල් ප‍්‍රකාශ කලේ “කිසිම සාක්ෂියක් නැහැ...කලමනාකරිත්වයට කිසිදා ප‍්‍රශ්නයක් තිබී නැහැ [අවිනිශ් දේව් සමග]” යනුවෙනි. අපගේ ඉදිරි ලිපිමාලාවේදී මේ පිලිබඳ තවත් දේ පැවසීමට ලැබෙනු ඇත. මේ මොහොතේදී සටහන් කරගත යුත්තේ දේව් ගේ ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කිරීමට කම්කරුවන් අසමත් වීම ගැන විනිසුරු ඔවුන්ට අවඥා කරන බවයි. එහෙත් එවන් ලිපියක් අත්‍යවශ්‍යයෙන්ම යවා තිබිය යුත්තේ සමාගම වෙතටයි.

මූලික පොලිස් වාර්තාව වන පලමු තොරතුරු වාර්තාව (එෆ්අයිආර්) “කලමනාකාරිත්වය අවිනිශ් [දේව්] සමග උරනව සිටි බවක් පවසා නොතිබීම” නෛතිකව වැදගත්වන බව විනිසුරු තවදුරටත් පවසයි. නමුත් එය ස්වාධීන පොලිස් විමර්ශනයක් මත පදනම් නොවන අතර සෑහෙන දුරට පොලීසිය සහ මරුති සුසුකි සමාගම අතර වංචනික හවුලක් බව පිලිගැනීමට විනිසුරුට බලකෙරී ඇත. තවද ජියා ලාල්ට සහ සමස්ථයක් ලෙස ශ‍්‍රම බලකායට වාහන නිෂ්පාදන සමාගම දැක්වූ සැලකිල්ලට විරෝධතාවය පලකරමින් තමන්ගේ මරනයට මඳකට පෙර දේව් ඉදිරිපත් කල ඔහුගේ ඉල්ලා අස්වීම ස්වේච්ඡාවෙන් ඉදිරිපත් කිරීමට උනන්දුවක් සමාගමට තිබෙනු නැත.

සිරගත කල මරුති සුසුකි කම්කරුවාගේ බිරිඳ සහ දියනිය (දකුනේ) ඔහු බැලීමට සිරගෙදරට පැමිනෙයි. [ඡායාරුපය රාහුල් රෝයි. ද ෆැක්ටරි (2015 චිත‍්‍රපටයෙන්) Photo credit to Rahul Roy, from The Factory (2015)]

වඩාත් බරපතල වන්නේ ජුලි 18 වනදා සිද්ධිය ඇසින් දුටු පැමිනිල්ල විසින් කිසිඳු වරදකට හසුකර නැති කම්කරුවන්ගේ සාක්ෂි ඉවතලීමට විනිසුරු ගන්නා තීරනයයි.

කලමනාකාර නිලධාරීන්ට කතාවේ තමාගේ සංස්කරනය ඉදිරිපත් කිරීමට නිදහස් පාලනය දෙන ලද නමුදු කම්කරුවන් සිය සාක්ෂි ඉදිරිපත් කිරීමෙන් වලකන ලදී.

විනිසුරු ගෝයාල් මාර්තු 10 තීන්දුවේදී පහත පරිදි එය ආරක්ෂා කලේය “යලිත් කිසියම් හෝ බලපෑමකින් තොරව කිසිම කම්කරුවෙක් සාක්ෂිකරුවෙකු ලෙස ඉදිරිපත් නොවීය යන තර්කය එසේ වන්නේ විත්තිකරුවන් ලෙස පෙල නොගැස්සූ කම්කරුවන් හෝ සිද්ධිය දුටු කම්කරුවන් සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් වීමට නොහැකි වීම සිදුව ඇත්තේ ඔවුන් කිසි දිනක සත්‍ය ප‍්‍රකාශ නොකරන නිසා සහ සමිති සාමාජිකයන්ට හා පහර දුන්නවුන්ට එරෙහිව ඔවුන් කතා නොකරන නිසාය.”

සියලු කම්කරුවන් කවර තත්වයක් යටතේ වුව බොරු කියනු ඇතැයි යන පදනම මත ගෝයාල් ඔවුන්ගේ සාක්ෂි බැහැරලීම ම නඩු තීන්දුව වංචනික බව පැවසීමට ප‍්‍රමානවත්ය. නිශ්චිතවම නඩු පටිපාටියක අරමුන සාක්ෂිකරුවන්ගේ ප‍්‍රකාශවල සත්‍යවාදී බව නිර්නය කරගැනුම පිනිස ඊට සවන්දීම සහ ප‍්‍රශ්න කිරීමයි. තවද බොරු සාක්ෂි නිරාවරනය කරගැනීමට සහ දිවුරා බොරු කියන්නන්ට දඬුවම් කිරීම සඳහා ඊට සහය දැක්වීමට උසාවියට පුලුල් බලතල ඇත.

විනිසුරු ගෝයාල් අත්තනෝමතික ලෙස කම්කරුවන්ගේ සාක්ෂි නිෂ්ප‍්‍රභ කිරීමට තවත් උදාහරනයක්, ඔහු මිනීමැරුමට වැරදිකරුවන් ලෙස තීන්දු කල එම්එස්ඩබ්ලිව්යූ හි විධායක නිලධාරීන් දෙදෙනෙක් වන යෝගේෂ් කුමාර් සහ රාම් බිලාස් එහි නොසිටි බව ප‍්‍රතික්ෂේප කිරීම තුලින් සැපයේ. ඔවුන් දෙදෙනාම තමන් ජුලි 18 කර්මාන්තශාලාවේ වත් නොසිටි බවට සැලකියයුතු තරම් සාක්ෂි ඉදිරිපත් කලහ. තමන් කවාරා නිවාඩුව සැමරීමට නගරයෙන් පිටත යාදව් ධරම්ශාලා වෙත ගොස් සිටි බව යෝගේෂ් කුමාර් පැහැදිලි කලේය. කම්හලේ කලහය සහ ගින්න ඇති වූ දිනයේ රාම් බිලාස් උපන්දින සමරුවක් සඳහා තමන්ගේ පවුල වෙත පැමින සිටි බව ඔහුගේ මාමා සනාථ කලේය. එම කම්කරුවන් දෙදෙනාම තමන් එහි නොසිටි බවට බොරු ගොතා තිබෙන බව විනිසුරු තීන්දු කලේය. රාම් බිලාස් “ජංගම දුරකතනයකින් හෝ අන් ක‍්‍රමයකින් තමන්ගේ ඡායාරූපයක් ගැනීමට කිසිදු ඡායාරූප ශිල්පියෙකුට පවසා නොතිබුනු” බව සඳහන් කල ඔහු එනයින් ඔහු එම දිනයේ ඔහුගේ පවුලේ අය සමග නොසිටි බවට සාක්ෂි සැකසෙන බව ප‍්‍රකාශ කලේය. සමාගමේ පැමිනීමේ නාමලේඛනය ගින්නෙන් දැවී ගොස් තිබුනි.

ලිපි මාලාවේ දෙවැන්න බලාපොරොත්තුවන්න

Share this article: