සිරියාවට හා ඇෆ්ගනිස්ථානයට ඇමරිකානු ප‍්‍රහාර: ලංකාවේ පාලක පන්තිය හා ජනමාධ්‍ය වැඩෙන ලෝක යුද අන්තරාය වසන් කරයි

2017 අප්‍රේල් 22

ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සිරියාවට කෲස් මිසයිල ප‍්‍රහාරයක් එල්ල කිරීමට නියෝග කිරීම හා ඇෆ්ගනිස්ථානයට න්‍යෂ්ටික නොවන ලොව විශාලතම බෝම්බය හෙලීම ද දැන් උතුරු කොරියාවට එරෙහිව කරන තර්ජන ද පෙන්නුම් කරන්නේ ඇමරිකාව ප‍්‍රමුඛ ගෝලීය අධිරාජ්‍යවාදී බලයන් විසින් මනුෂ්‍ය සංහතිය තුන්වන ලෝක යුද්ධයක අන්තරාය අද්දරට තල්ලු කර දමා ඇති සැටියි.

අප්‍රේල් 6 දා සිරියාවේ ගුවන් තොටුපොලකට මිසයිල ප‍්‍රහාරයක් එල්ල කිරීමට ට‍්‍රම්ප් නියෝග කලේ දින දෙකකට පෙර ඉඩ්ලිබ් ප‍්‍රදේශයේ ලමුන් කාන්තාවන් ඇතුලූ 70 පමන ක්ෂනිකවම මරනයට පත්කරමින් සිදු කෙරුනු රසායනික අවි ප‍්‍රහාරය පිලිබඳව ජනාධිපති බෂාර් අල්-අසාද් ආන්ඩුවට චෝදනා කරමිනි. සත්‍යය නම්, මෙම රසායනික අවි ප‍්‍රහාරය වොෂින්ටනයේ සහාය ලබන අන්තවාදී කැරලිකරුවන් ලවා සිදු කරවන ලද ප‍්‍රකෝපකරනයක් බවයි. ඇමරිකාව දිගු කලක් තිස්සේ මෙම කැරලිකරුවන් යොදාගෙන සිරියාවේ යුද්ධයක් ගෙන යන්නේ අසාද් තන්ත‍්‍රය පෙරලා දමා තමන්ගේ රූකඩ ආන්ඩුවක් අටවා ගැනීමටයි. රුසියාව මෙම කැරලි කරුවන්ට විරුද්ධව අසාද් ගෙනයන යුද්ධයට සෘජුව ම සහාය දෙයි. ඉරානයේ සහාය ද අසාද්ට ලැබෙයි.

රුසියානු, ඉරාන හා සිරියානු විදේශ ඇමතිවරුන් ඒකාබද්ධ ප‍්‍රකාශයක් මගින් අනතුරු ඇඟවූයේ තවදුරටත් සිරියාවට ප‍්‍රහාර එල්ල කල හොත් කලාපයේ පමනක් නොව ගෝලීය ආරක්ෂාව පවා තර්ජනයේ හෙලන බරපතල ප‍්‍රතිවිපාකවලට මුහුන දීමට සිදු වනු ඇති බවටයි. සිරියාව තුල ඇමරිකානු මැදිහත්වීම, න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ රුසියාව සමග යුද්ධයක් බවට පරිවර්තනය වීමේ තර්ජනය කෙලින්ම මතුවී තිබේ.

මේ මස 13 දා, ඇමරිකාව නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ කඳුකර ප‍්‍රදේශයක අධිබලැති මහා බෝම්බය පුපුරුවා හැරියේ හුදෙක් සැඟවී සිටින “ඉස්ලාමීය රාජ්‍ය” කන්ඩායමක් මැඩීමේ තැතක් ලෙස නොවේ. එය වනාහි, භූ-දේශපාලන ආධිපත්‍යය හඹා යෑමේ දී රුසියාව, ඉරානය, උතුරු කොරියාව හා චීනය ඇතුලු තම තරඟකරුවන්ට කොතරම් රුදුරු ලෙස පහර දීමට පෙන්ටගනය සූදානම් ද යන්න ගැන දෙන ලද මාරක පනිවුඩයකි.

උතුරු කොරියාවට එරෙහි පූර්ව-භංග ප‍්‍රහාරයක් සම්බන්ධව සංඥා කරමින් සිටින ට‍්‍රම්ප් පරිපාලනයේ ප‍්‍රකෝපකාරී මැදිහත්වීම් වල සැබෑ ඉලක්කය නම් සිය දීර්ඝ කාලීන ආර්ථික හා භූ-දේශපාලනික තරඟකරුවෙක් ලෙස නම් කරගෙන සිටින, න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ, චීනය තම ආධිපත්‍යයට යටත් කර ගැනීමයි.

1991 දී ප‍්‍රථම ඉරාක ආක‍්‍රමනයේ සිට 25 වසරක් තිස්සේ ගෝලීය ආධිපත්‍ය සඳහා මිලිටරි ධාවනය ගෙනගිය ඇමරිකානු අධිරාජ්‍යවාදීන් සිදුකල මෙම ප‍්‍රකෝපකිරීම් පෙන්නුම් කරන්නේ න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ බලවතුන් අතර ලෝක යුද්ධයක් හට ගන්වන නව කාල පරිච්ඡේදයක් විවෘත වීමයි. එවන් න්‍යෂ්ටික යුද්ධයක් මානව සංහතිය, ඔවුන් දිනාගත් විද්‍යාත්මක හා සංස්කෘතිකමය ජයග‍්‍රහනයන් ද සමග, මිහිතලයෙන් අතුගෑවී යනු ඇත.

සිරියාවට හා ඇෆ්ගනිස්තානයට එල්ල කෙරුනු ඇමරිකානු ප‍්‍රහාර එතරම් ගිනිගන්නා සුලු වුවත්, ලංකාවේ පාලක පන්තියේ සෑම කොටසක්ම ඒවා ගැන දක්වන්නේ අතිශය කෛරාටික ආකල්පයකි, නැතහොත් නොතැකීමකි. අධිරාජ්‍ය ගැති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ආන්ඩුව ජාත්‍යන්තර නීති හා සිරියාවේ ස්වාධිපත්‍යය උල්ලංඝනය කරමින් එල්ල කල පෙන්ටගනයේ ප‍්‍රහාර ගැන මොනම ප‍්‍රකාශයක් වත් නිකුත් කර නැත. දකුනු ආසියාවේ, ලංකාවට ඉතා නුදුරු ඇෆ්ගනිස්තානයට ඒසා බලවත් බෝම්බයක් හෙලීම ගැන සිරිසේනට හෝ වික‍්‍රමසිංහට වගේවගක් නැත. මෙය, අහම්බයක් නොවේ.

වත්මන් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව 2015 දී බලයට පැමිනියේ චීනයට එරෙහි යුද සූදානමේ ම කොටසක් ලෙස, රාජපක්ෂ ආන්ඩුව බෙයිජිනය සමග ගොඩනගා ගෙන පැවති දේශපාලනික හා ආර්ථික සම්බන්ධතා බිඳ ලංකාව තම කක්ෂය තුලට ගැනීම සඳහා වොෂින්ටනය තිරයෙන් පිටුපස සිදුකල තන්ත‍්‍ර මාරු මැදිහත්වීමකිනි. මෙම ආන්ඩුව බලයට පත් වූ තැන් පටන් වේගයෙන් ලංකාව ඇමරිකානු යුද මූලෝපායට ගැට ගසා ඇත. ඇමරිකාවේ පැසිෆික්-ආසියා මිලිටරි මෙහෙයුම් මධ්‍යස්ථානයත් සමග සමීප කරනු ලැබ ඇති ලංකාව යුද්ධයකදී යොදා ගනු ඇත්තේ ඉන්දියානු සාගරයේ ඇමරිකානු ප‍්‍රහාර දියත් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙසයි. මේ සම්බන්ධතා, ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදී ආන්ඩුව ඇමරිකාවේ මූලෝපායික සහකරුවෙකු හා චීනයට එරෙහි යුද සූදානමේ පෙරමුනු රාජ්‍යයක් ලෙස පෙල ගැසීම සමග පෑහී යයි.

අප්‍රේල් 9 දා සන්ඩේ ටයිම්ස් හි පල වූ දීර්ඝ දේශපාලන කොලමක යාන්තමින් කෙරුනු සඳහනකින් සිරියාවට එරෙහි ඇමරිකානු ප‍්‍රහාරය ගැන ලංකාවේ ආන්ඩුවේ ආස්ථානය ඇඟවුම් කෙරී ඇත. එහි සඳහන් කරුනු අනුව අප්‍රේල් 7 දා සිරියාවට එරෙහි ඇමරිකානු මිසයිල ප‍්‍රහාරය පිලිබඳව කරුනු පැහැදිලි කරදීම සඳහා ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ ප‍්‍රධානියෙකු වන රොබට් හිල්ටන් නමැත්තා ලංකාවේ නියෝජ්‍ය විදේශ ඇමති හර්ෂ ද සිල්වා අමතා තිබේ. එහිදී හිල්ටන්, බෂාර් අල් සදාර් ආන්ඩුව විසින් එරට සාමාන්‍ය වැසියන්ට රසායනික අවි ප‍්‍රහාර එල්ල කිරීම හේතුවෙන් සිරියාවට එරෙහිව ඇමරිකාව මිසයිල ප‍්‍රහාරය එල්ල කල බවට කල කරුනු පැහැදිලි කිරීම සිල්වා අනුමත කලේය. “ශ්‍රී ලංකාව එය [සිරියාවට එරෙහි ප‍්‍රහාරය] අනුමත කිරීමට නියමිතය” යි ටයිම්ස් ලිපිය සඳහන් කරන්නේ ඒ ගැන මොනම විවේචනයක් හෝ නොමැතිව ය.

ලංකාවේ ස්වාධිපත්‍යය හා ස්වෛරීත්වය ගැන වර්ගවාදී හඬ තලන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිරියාවේ ස්වාධිපත්‍යය උල්ලංඝනය කිරීම ගැන කට ඇර නැත. රාජපක්ෂ හා ඔහු වටා රැලි වී සිටින සිංහල ස්වෝත්තමවාදී නඩ ට‍්‍රම්ප් ආන්ඩුවේ දක්ෂිනාංශික ජාතිකවාදී වැඩපිලිවෙලට වහවැටී ප‍්‍රකාශ නිකුත් කරමින් තමන්ට සහාය දෙන ලෙස ට‍්‍රම්ප් ගෙන් ඉල්ලා සිටියි.

ලංකාවේ ප‍්‍රධාන මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය සම්බන්ධයෙන් ගත් කල, සිරියාවට හා ඇෆ්ගනිස්තානයට එල්ලවූ ප‍්‍රහාරවලින් මතුවී ඇති අනතුර ගැන ඇත්තේ පරිපූර්න නොතැකීමකි. මෙම සිදධීන් දෙක සම්බන්ධයෙන් මාධ්‍ය වල පල වූයේ ජාත්‍යන්තර ඒජන්සි වාර්තාවන්ය.

ලෝකයේ මහා න්‍යෂ්ටික බලයන් දෙක වන ඇමරිකාව හා රුසියාව අතර යුද්ධයක දී, එමෙන්ම ඇමරිකාව හා චීනය අතර ගැටුමක දී එසේත් නැත්නම්, යුරෝපයේ අධිරාජ්‍යවාදී බලයන් හා ඇමරිකාව අතර යුද වැදීමකදී ඇති කෙරෙන ප‍්‍රතිවිපාක කවරාකාර වනු ඇද්ද වැනි භයංකර ප‍්‍රශ්න ගැන මොනම බරපතල වාර්තාවක් හෝ සාකච්ඡාවක් දක්නට ඇත්තේ නැත. ඒවා මේ දුපත් මානසිකත්වයෙන් පෙලෙන පාලක පන්තියේ හෙන්චයි විශ්ලේෂකයන්ට විෂය නොවේ. දීර්ඝ ලිපියක් වෙතොත් එම ලිපි, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමක් ඉල්ලීම වැනි දිරිසුන් අධිරාජ්‍ය ගැති ප්‍රෝඩාවකට සිඳුවා ගත්, මහජනයා තවදුරටත් ව්‍යාකූල කිරීමේ ගෙතූ ඒවාය.

එහෙත්, කම්කරුවන්, තරුනයන් ඇතුලු මහජනතාවන්ට මේ යථා අන්තරාය නොතකා හැරිය නොහැක. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ අප්‍රේල් 17 දා “ට‍්‍රම්ප් ආන්ඩුව කොරියාව සමග ගැටුම ඉවක්බවක් නැතිව උත්සන්න කරයි” යන මාතෘකාවෙන් පලවූ ඉදිරිදර්ශන ලිපියේ සඳහන් කල පරිදි:

“ලෝක මහජනතාවන්ගේ අතිමහත් බහුතරය යුද්ධය උමතුවක් බව ද, න්‍යෂ්ටික හෝ න්‍යෂ්ටික නොවන අධිබලැති අවි වලින් කෙරෙන ගැටුමක් ව්‍යසනයකට තුඩුදෙන බව ද දනිති. මහා යුද්ධයක ප‍්‍රතිපල කොතරම් බියකරු ද යත් සාමාන්‍ය මහජනයා එවැන්නක් සිදුවේ යයි හිතන්නට පවා අකමැති ය. ඔවුන්ට විස්වාස කිරීමට උවමනාවන්නේ, මොන ක‍්‍රමයකින් හෝ ආන්ඩු ප‍්‍රපාතය අද්දරින් අඩිය පස්සට ගනු ඇති බවයි.

“එහෙත්, මෙම අපේක්ෂාව මුලාවකි. යුද්ධයේ අන්තරාය මුල් බැස ඇත්තේ ධනවාදයේද, අධිරාජයවාදයේද ජාතික රාජ්‍ය පද්ධතියේද අත්‍යන්ත ස්වභාවය තුලම ය. මිලියන සංඛ්‍යාත ජීවිත අනතුරේ හෙලන ඇදහිය නොහැකි තීන්දු ගැනීම සම්බන්ධ පාලක පන්තියේ නොතැකීම, වෛෂයික අර්බූදයේ ආත්මීය ප‍්‍රකාශනයකි.”

යුද්ධය සඳහා අධිරාජ්‍යවාදී බලයන් තල්ලු කර ඇති ධනවාදයේ පරස්පරවිරෝධතා ම සමාජවාදී විප්ලවය සඳහා ද කොන්දේසි සකසා තිබේ. ට‍්‍රම්ප්ගේ “ශ්‍රේෂ්ඨ ඇමරිකාව” ඇතුලු යුරෝපය හා ජාත්‍යන්තර පරිමානව පාලක පන්තීන් ගෙන ඇති ජාතිකවාදී හා ස්වෝත්තමවාදී හැරීම ඒ ඒ රටවල ධනපති පන්තියේ ලාභ පොදි රැක ගැනීම සඳහා කාකොටා ගැනීමේ හා ලෝක ආධිපත්‍ය සඳහා තරඟයේ විසකුරු ප‍්‍රකාශනයකි. දැනටමත්, යුද්ධය සඳහා දැරෙන දැවැන්ත වියදම කම්කරු පන්තියේ සමාජ අයිතීන්ගේ සෘජු කප්පාදුවත් කම්කරු පන්තික සටන් මැඩීමේ පොලිස් රාජ්‍ය විධික‍්‍රමත් සමග බැඳී තිබේ.

ධනේශ්වර සංස්ථාපිතයේ කිසිදු කොටසකින් යුද්ධය නතර කිරීමේ මගක් කම්කරුවන්ට හා දුගීන්ට බලාපොරොත්තු විය නොහැකිය. ඔවුහු යුද්ධයේ කොටස් කරුවන් ලෙස මහජනතාවන්ට එරෙහිව මුර්ග කඩා පැනීමකට හැරී සිටිති. ලංකාව වැනි පසුගාමී රටවල බයාදු, ධනපතියන් හා ඔවුන්ගේ ආන්ඩු හැරී සිටින්නේ බලවත් ලෙස පෙනෙන අධිරාජවාදී බලය පිටුපස පෙල ගැසීමටයි. තවමත් මිලිටරි සුපිරි බලය වන ඇමරිකාව පිටුපස සිරිසේන වික‍්‍රමසිංහ හා රාජපක්ෂලා පමනක් නොව ඉන්දියාවේ ධනපති සංස්ථාපිතයේ කොටස් ද පෙල ගැසී සිටින්නේ ඔවුන්ට ඉතිහාසයේ කිසිදු ස්වාධීන කර්තව්‍යයක් ඉටු කිරීමට නොහැකි නිසාය. තමන් ලෝක යුද ගිනි ජාලයට බිලිදීම හැර වෙනත් වැඩපිලිවෙලක් නැති ධනපති පන්තියේ සෑම කොටසකින්ම දේශපාලනිකව ස්වාධීනවෙමින් ලංකාවේ කම්කරුවන්, ඉන්දියාව ඇතුලු දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එකමුතුව යුද විරෝධී සමාජවාදී ව්‍යාපාරයක් ගොඩ නැගීමට එක්වී ලෝක යුද්ධයක අන්තරාය නතර කිරීමට එක් විය යුතුය.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, එහි ප‍්‍රකාශනය වන ලෝක සමාජවාදී වෙබ් අඩවිය, එහි ශාඛා වන සමාජවාදී සමානතා පක්ෂ (සසප) හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) ධනවාදය පෙරලා දැමීම සඳහා සමාජවාදී ඉදිරිදර්ශනය මත ලොව පුරා කම්කරු පන්තියේ හා තරුනයන්ගේ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමට සටන් වදී. යුද්ධයට එරෙහි අරගලය සමාජ අසමානතාවට සහ ඒකාධිපතිත්වයට එරෙහි සටන සමග අත්‍යන්තයෙන් බැඳී ඇති අතර කම්කරු පන්තියේ රාජ්‍ය බලය ස්ථාපිත කොට ලෝක ආර්ථිකය මානව අවශ්‍යතා මත ප‍්‍රතිසංවිධානය ට පදනම සකස් කරයි.

අප්‍රේල් 30 දා ජාත්‍යන්තර අන්තර්ජාල මැයි දින රැලිය පවත්වන්නේ මෙම එල්ලය මතයි. මෙම අන්තර්ජාල රැලියට සම්බන්ධ වී යුද්ධයට එරෙහි සමාජවාදය සඳහා සටනේ කොටස්කරුවන් වෙමින් යුද්ධයේ මූලය වන ධනවාදය පෙරලා දැමීමේ දැනුවත් අරගලයට සෘජුව සම්බන්ධ වන්නැයි ලංකාවේ කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් හා බුද්ධිමතුන්ගෙන් සසප හා සසජාතශි ඉල්ලා සිටී.

එමෙන් ම, මෙම තේමාව මතම ලංකාවේ සසප හා සසජාතශි කොලඹ නව නගර ශාලාවේ දී මැයි 1 දින සවස 4 පවත්වන මැයි දින රැස්වීමට ද සහභාගි වන ලෙස කම්කරුවන්ගෙන් තරුනයන්ගෙන් හා බුද්ධිමතුන්ගෙන් අපි ඉල්ලමු.

කපිල ප‍්‍රනාන්දු

Share this article: