හමුදා සාමාජිකයන් සුරකින බවට ජනාධිපති සිරිසේන දෙන ප‍්‍රතිඥා වල සැබෑ අර්ථය

2017අපේ‍්‍රල් 7

කවර තත්වයක් යටතේ වුවත්, යුද්ධය කල “රනවිරුවන්” ආරක්ෂා කරන බවට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන යලියලිත් දෙන ප‍්‍රතිඥාවන්ගෙන් ප‍්‍රකාශයට පත් කෙරෙන්නේ, මහජන වෛරයට පාත‍්‍රව ඇති ඔහුගේ ආන්ඩුව, මිලිටරිය මත වඩවඩාත් වාරු වීමට තීන්දු කොට ඇති බව යි. වැඩකරන ජනතාවට එරෙහිව රාජ්‍ය මර්දනය තීව‍්‍ර කරන පොලිස් රාජ්‍ය සැලසුම් ඉස්මත්තට ගැනීමේදී මිලිටරියේ විශ්වාසය තහවුරු කර ගැනීමේ ප‍්‍රතිඥාවන්ගේ අරමුන යි.

“මගේ ආන්ඩුවේ ප‍්‍රතිප්තිය අනුව, මගේ ප‍්‍රතිපත්තිය අනුව, මේ රටේ කිසිම රනවිරුවෙක් විත්තිකරුවෙක් කිරීමට මා සූදානම් නැහැ. විත්තිකාරයෙක් කරන්නෙත් නැහැ. මා එය පැහැදිලිව සඳහන් කරනවා. රනවිරුවන් ආරක්ෂා කිරීම අපේ යුතුකම හා වගකීම ලෙස සලකනවා. හමුදාවල ගෞරවය, කීර්තිනාමය සුරැකීමට ආන්ඩුව කටයුතු කරන” බව මාර්තු 29දා කුරුනෑගල ආරක්ෂක විද්‍යාලයේ පැවති රැස්වීමක දී සිරිසේන ප‍්‍රකාශ කලේ ය.

සිරිසේනගේ මෙම ප‍්‍රකාශය, හුදෙක් බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) විරුද්ධ යුද්ධය තුලදී සිදු කෙරුනු, යුද අපරාධ සහ මානව හිම්කම් උල්ලංඝනය කිරීමේ චෝදනා වලින් ආරක්ෂක හමුදාවන් ආරක්ෂා කිරීමට පමනක් සීමා නොවේ. ඔහුගේ මෙම ප‍්‍රකාශය වනාහි, කම්කරු පන්තියට හා පීඩිත ජනතාවට එරෙහිව ධනපති පාලක පන්තිය දැන් තීව‍්‍ර කරමින් ඇති පන්ති යුද්ධය තුල දී හමුදාව විසින් සිදු කරන ඕනෑම ම්ලේච්ඡ කි‍්‍රයාවක් ආරක්ෂා කරන බවට දුන් පොරොන්දුවකි. රැකියා ස්ථිර කරන ලෙස ඉල්ලා උද්ඝෝෂනය කල, හම්බන්තොට වරාය කම්කරුවන්ට නාවික හමුදාව එල්ල කල රුදුරු ප‍්‍රහාරය සාධාරනීකරනය කිරීමෙන් ආන්ඩුව එය දැනටමත් ඔප්පු කර ඇත.

ආන්ඩුව, ගැඹුරු වන ආර්ථික අර්බුදයකට මුහුන දී ඇත. ජීවන තත්වයන්ට හා ප‍්‍රජාතාන්ති‍්‍රක අයිතීන්ට පහර එල්ල කරමින් එහි බර තමන් මත පැටවීමට එරෙහිව කම්කරු පන්තිය හා පීඩිත ජනතාව අතර ආන්ඩුව කෙරෙහි අප‍්‍රසාදය වේගයෙන් වැඩෙමින් පවතී. එය සමාජ පිපිරීමක් දෙසට වර්ධනය වෙමින්, ධනපති පන්ති පාලනයට වල කැපීමේ තර්ජනය ඉස්මතු කර ඇත. මේ හේතුවෙන්, ආන්ඩුවේ දේශපාලන අර්බුදය උග‍්‍ර කෙරී, රටේ දේශපාලන අස්ථාවරත්වය වැඩිදියුනු කෙරෙමින් පවතී.

2010 වසරේ, එක්සත් ජනපද ඩොලර් බිලියන 30ක් (රුපියල් බිලියන 4,500) වූ ආන්ඩුවේ නය, පසුගිය වසරේ දී ඩොලර් බිලියන 62 ක් දක්වා ඉහල නැගුනි. රටේ නිල විදේශ සංචිතය, මේ වසරේ ජනවාරි මාසයේ දී ඩොලර් බිලියන 5.5 දක්වා බිලියන භාගයකින් පහත වැටුනි. අපනයන ආදායම, 2014 සිට වසර තුනක් තිස්සේ එක දිගට පහත වැටෙමින් ඇත. 2015 දී ඩොලර් මිලියන 600ක්වූ සෘජු විදේශ ආයෝජන, 2016 දී ඩොලර් මිලියන 300 දක්වා හරි අඩකින් කඩා වැටුනි.

නය පියවීම සඳහා රාජ්‍ය ආයතන විකුනා දැමීම, ක්ෂනික හා එක ම පිලියම බවට මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ආන්ඩුවට උපදෙස් දී ඇත. රාජ්‍ය වියදම් කප්පාදු කර, අයවැය පරතරය අඩු කිරීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කර ඇති නිර්දේශයන්ට අනුව, රාජ්‍ය ආයතන පුද්ගලීකරනය හා ප‍්‍රතිව්‍යුහකරනය, සමාජ සුබසාධන කප්පාදුව වේගවත් කිරීමට සහ ජනතාව මත වඩවඩා බදු පැනවීමට ආන්ඩුවට බල කෙරී ඇත.

විදේශ ආයෝජන සඳහා බංග්ලාදේශය, ඉන්දියාව ඇතුලු කලාපයේ සෙසු රටවල් සමග තරගය උග‍්‍ර වන කොන්දේසි යටතේ, විදේශ ආයෝජන කැඳවා ගැනීමට ආන්ඩුව මංමුලාසහගත ප‍්‍රයත්නයක යෙදී සිටියි.

කම්කරුවන්ගේ සේවා කොන්දේසි හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට පහරදීමට ආන්ඩුව හැරී සිටින්නේ මේ තතු තුල ය.

ආන්ඩුවේ මෙම ප‍්‍රහාර මගින් කම්කරුවන්ගේ, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ හා දුගී ගොවීන්ගේ අරගල අවුලුවා ඇත.

වෘත්තීය සමිති නිලධරයේ හා නව සම සමාජ පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුලු ව්‍යාජ-වම්මුන්ගේ මග ඇවිරීම් හා දේශපාලන උගුල් ඇටවීම් පමනක් වැඩෙන පන්ති අරගලය මැඩීමට නොසෑහෙන බව, ආන්ඩුවත් සමස්තයක් ලෙස ධනපති පාලක පන්තියත් ඒත්තු ගෙන ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිර්දේශිත හා ආයෝජන හිතැති ආර්ථික පිලිවෙත් කි‍්‍රයාවට දැමීමේ දී වර්ධනය වන පන්ති අරගල, ප‍්‍රධාන බාධාවක් ලෙස පාලක පන්තිය සලකයි.

මෙම උත්සුකය ප‍්‍රකාශයට පත් කෙරෙන ලිපියක් සන්ඩේ ටයිම්ස් පත‍්‍රයේ ආර්ථික ලියුම්කරු නිමල් සඳරත්න පසුගිය සතියේ ලියා තිබුනි. “ආන්ඩුවේ පිලිවෙත් වලට එරෙහි අඛන්ඩ මහජන විරෝධතා සහ ඒවායේ අතුරු ප‍්‍රතිඵල ලෙස සිදුවන පීලීපැනීම් හෝ එම පිලිවෙත් කි‍්‍රයාවට නොදැමීම විදේශ ආයෝජකයන්ගේ විශ්වාසය ඛාදනය වීමේ බැරෑරුම් හේතූන් බවට පත්ව ඇතැ” යි ඔහු ලියුවේ ය. වෙනත් වචනවලින් කියතොත් ආන්ඩුවේ පිලිවෙත් කි‍්‍රයාවට දැමීමට නම් විරෝධතා මර්දනය කල යුතු ය.

ආන්ඩුව හමුදා භටයන් ‘රනවිරුවන්’ ලෙස පුම්බමින්, හමුදාවේ අධිකාරිය මහජනයා මත තහවුරු කිරීමේ හා හමුදාව හැම අතින් ම ශක්තිමත් කරමින් වඩවඩා ඒ මත යැපීමට නැඹුරුවන්නේ එම තතු තුලය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සහ පිවිතුරු හෙල උරුමය ඇතුලු සිංහල ස්වෝත්තමවාදී හා අන්ත දක්ෂිනාංශික බලවේග, “රනවිරුවන්” සහ “රට පාවාදීම”ගැන ආන්ඩුවට චෝදනා කරන්නේ, වර්ගවාදය ඇවිස්සීමට පමනක් නොව, ආන්ඩුවටත් ඉහලින් තමන් මිලිටරියට සලකන බව තහවුරු කිරීමට යි. සිරිසේන හා රාජපක්ෂ මිලිටරිය ශුද්ධ කර තමන් පිටුපස පෙලගස්වා ගැනීමට පොර ඇල්ලීම පෙන්නුම් කරන්නේ, මහජන වෛරයට පාත‍්‍රව සිටින පාලක පන්තියේ සෑම කොටසක්ම වාරු වී සිටින්නේ ආරක්ෂක හමුදා මත බව යි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේ සම්මත කෙරුනු නව යෝජනාව කි‍්‍රයාවට දැමීමට එකඟවීම, “ශී‍්‍ර ලංකාවේ හමුදාවන්ට සහ මහජනතාවට එකහෙලාම ද්‍රෝහිවීමේ කි‍්‍රයාවක්” බව මාර්තු 30දා නිකුත් කරන ලද නිවේදනයක රාජපක්ෂ ප‍්‍රකාශ කර ඇත. මානව හිමිකම් උල්ලංඝනය සහ යුද අපරාධ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයට සහ ආන්ඩුවට පිලිවෙත් දෙකක් නැත. රාජපක්ෂ ආන්ඩුව මෙන් ම, සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ද යුද ආපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම ගැන චෝදනා එල්ලවූ එකදු ආරක්ෂක හමුදා නිලධාරියෙකුට හෝ සෙබලෙකුට විරුද්ධව කිසිදු නීතිමය පියවරක් ගෙන නැතිවා පමනක් නොව, කම්කරු පන්තියේ හා පීඩිත ජනතාවන්ගේ ජීවන තත්වයන්ට රුදුරු ලෙස පහර දෙන අතරේ, හමුදාව තරකිරීමට වැඩිවැඩියෙන් වියදම් කරයි.

යුද්ධයේ අවසන් මාසවල හමුදාවේ 58 වෙනි රෙජමේන්තුවේ ප‍්‍රධානියාව සිටි, යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් චෝදනා එල්ල කෙරී ඇති මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, මාර්තු 30දා -එනම් සිරිසේනගේ ප‍්‍රකාශයෙන් පසුදින- ශී‍්‍ර ලංකා හමුදාවේ ප‍්‍රධාන පරිපාලන නිලධාරියා ලෙස ඉහල තනතුරකට පත් කිරීම, හමුදාවේ මෘග හස්තය වඩා ශක්තිමත් කිරීමේ ආන්ඩුවේ සැලසුම් වල කොටසකි.

හමුදාව හා පොලීසිය ශක්තිමත් කරමින් පොලිස් රාජ්‍යයක් කරා පාලක පන්තිය යන ගමනේදී, මිලිටරියේ විශ්වාසය දිනා ගැනීමටත් එහි අධිකාරිය මහජනතාව තුල ස්ථාපිත කිරීමටත් ජනාධිපති සිරිසේන දෙන මෙම ප‍්‍රතිඥාවන් කම්කරු පන්තිය විසින් ඉතා බැරෑරුම්ව ගත යුතු ය.

ඩබ්ලිව්. ඒ. සුනිල්

Share this article: