එජ- යුරෝපීය-රුසියානු යුද්ධය කුමන ස්වරූපයක් ගනු ඇත්ද?

What would a US-European-Russian war look like?

2017 අප්‍රේල් 13

ඇමරිකා එක්සත් ජනපදය සහ ප‍්‍රධාන යුරෝපීය අධිරාජ්‍යවාදී බලවතුන් අතරත් රුසියාව අතරත් ආතතීන් සීතල යුද්ධ කාලසීමාවේ සිට එහි උච්ඡතම අවස්ථාවට පත්ව ඇත. විශාලතම න්‍යෂ්ටික බලවතුන් දෙදෙනා අතර මිලිටරි ගැටුමක තර්ජනය ඉතිහාසයේ වෙන කවරදාකටත් වඩා ඉහල ගොස් ඇත.

අප්‍රේල් 6 වැනිදා එල්ල කරන ලද මිසයිල ප‍්‍රහාරයේ සිට, ට‍්‍රම්ප් පරිපාලනය රුසියාවට එරෙහිව නව තර්ජන නිකුත් කොට ඇති අතර බෂාර් අල්-අසාද්ගේ තන්ත‍්‍රයට ලබා දෙන සහයෝගය අවසන් කිරීම සඳහා රුසියාවට නව අවසන් නිවේදනයන් නිකුත් කොට ඇත. පසුගිය බදාදා, ජනාධිපති ට‍්‍රම්ප් අප‍්‍රකුපිත ප‍්‍රහාරය ආරක්ෂා කල අතර අසාද් “මස් මරන්නෙකු” බවට ප‍්‍රකාශ කලේය.

එක්සත් ජනපද ප‍්‍රහාරය සහ එයට යොදාගත් ව්‍යාජ නිමිත්ත වන කැරලිකරුවන් අත පැවති නගරය මත සිරියානු රජය විසින් රසායනික අවි ප‍්‍රහාරයක් එල්ල කල බවට කිසිසේත්ම සනාථ නොකෙරුනු එක්සත් ජනපද චෝදනාව පිටුපස ජී 7 බලයන් පසුගිය සති අන්තය පුරා පෙල ගැසිනි. ඔවුහු, මැද පෙරදිග සිටින මොස්කව්හි එකම අරාබි සගයා වන අසාද් පෙරලා දැමීමට වොෂිංටනයේ නව ධාවනය අනුමත කලහ.

රුසියාව අසාද් සඳහා වූ සිය මිලිටරි සහයෝගය තීව‍්‍රකිරීමට පියවර ගැනීම මගින් එයට ප‍්‍රතිචාර දක්වා ඇත. එක්සත් ජනපදය හා රුසියානු ප‍්‍රහාරක ජෙට් යානා එකිනෙකට අභිමුඛ වීමෙන් වැලැක්වීම ඉලක්ක කොට ගත් එක්සත් ජනපදය සමඟ සිය සම්බන්ධීකරනය නතර කල බවත් දියුනු එස්-400 හා එස්-300 රේඩාර්/මිසයිල බැටරි දැනටමත් අන්තර්ගත කරගත් සිරියානු මිසයිල ගුවන් ආරක්ෂක පද්ධතිය ඉහල දැමීමට කටයුතු කරන බවත් පසුගිය සිකුරාදා රුසියාව නිවේදනය කලේය. එය නැගෙනහිර මධ්‍යධරනී මුහුදට කෲස් මිසයිල සහිත ආරක්ෂිත නෞකාවක් හරවා යැවීය. එමෙන්ම එය සිරියාවට එරෙහිව ඕනෑම නව ආක‍්‍රමනකාරී බලය සහිතව ප‍්‍රතිචාර දක්වන බවට ඉරාන හමුදාව සමග ඒකාබද්ධ අනතුරු ඇඟවීමක් ද නිකුත් කලේය.

තවත් රසායනික ප‍්‍රහාරයකදී - සීඅයිඒ සහ අල්කයිඩාවේ ඉත්තන් විසින් නිසැකව ම සිරියාව තුල දැනටමත් එවැන්නක් සූදානම් කරමින් සිටිනු ඇත- සිරියාවට “ඉතා දැඩි මිලක්” ගෙවීමට සිදුවනු ඇතැයි ආරක්ෂක ලේකම් හා විශ‍්‍රාමික ජනරාල් ජේම්ස් මැටිස් විසින් පසුගිය අඟහරුවාදා වාර්තාකරුවන්ට කල ප‍්‍රකාශයෙන් එක්සත් ජනපද පිලිවෙතේ ඉවබව නැතිබව ඉස්මතු විය. රුසියාව ඔවුන්ගේ උපරිම යහපත වෙනුවෙන් ක‍්‍රියා කරනු ඇතැයි එනම් පසුබසිනු ඇතැයි යන උපකල්පනය මත තත්වය “ක්ෂනිකව පාලනයෙන් තොර” නොවනු ඇතැයි මැටිස් සහතික විය.

වඩාත්ම කැපී පෙනෙන දෙය වන්නේ එක්සත් ජනපදය හා රුසියාව අතර යුද්ධයක අන්තරාය සහ සිද්ධීන්ගේ එබඳු හැරීගැනීමක ප‍්‍රතිවිපාක පිලිබඳව එක්සත් ජනපද සහ යුරෝපීය මාධ්‍ය තුල කිසිදු සාකච්ඡාවක් මුලුමනින්ම පාහේ නොමැතිකම යි. රුසියානු ගුවන් යානා නාශක පද්ධතිය විසින් හෝ රුසියානු ජෙට් යානයක් විසින් එක්සත් ජනපද ගුවන් යානයක් වෙඩි තබා බිම හෙලීම සිදුකලහොත් සිදු වන්නේ කුමක්ද? යමෙකුට සිතා ගත හැකි එකම දෙය වනුයේ දෙරටේ මාධ්‍ය හා දේශපාලනඥයන් ප‍්‍රතිප‍්‍රහාර එල්ල කිරීම සඳහා උන්මාදනීය ඉල්ලීම් වමාරන අයුරුය.

රුසියාව හා එක්සත් ජනපදය අතර න්‍යෂ්ටික ප‍්‍රහාර හුවමාරුවක ආරම්භක මිනිත්තු කිහිපයේදීම කොපමන මිලියන සංඛ්‍යාවක් මිය යනු ඇත් ද? නිව් යෝර්ක් ටයිම්ස්, වොෂින්ටන් පෝස්ට්, වෝල් ස්ට්රීට් ජර්නලය, ටයිම්ස් ඔෆ් ලන්ඩන්, ලා මොන්ඩි, ෆ‍්‍රැන්ක්ෆර්ටර් ඇල්ජිමේන් සෙයිටුන්ග්, සිඩ්නි මෝර්නින් හෙරල්ඩ් යන කවර හෝ මාධ්‍යයක් මෙකී ප‍්‍රශ්න මතු කරනුයේ නැත.

කෙසේ වුවද නිශ්චිතව වඩාත් විශේෂිත ප‍්‍රකාශන තුල අනාවරනශීලි අටුවාවන් අන්තර්ගත වී ඇත. ඉකුත් අප්‍රේල් 7 වැනි දා ද කොන්වර්සේෂන් හි පලවූ, සිරියාවට එරෙහි එජ ගුවන් ප‍්‍රහාරය රුසියාව සමග ගැඹුරු මිලිටරි ගැටුමක තර්ජනය මතුකරනුයේ ඇයි? යන හිසින් යුත් ලිපියක, එක්සත් ජනපදය හා රුසියාව අතර ඇතිවන ගැටුමක අන්තරාය, සිරියාව තුල රුසියානු මිලිටරි ස්ථානගත කිරීම ස්ථිර ලෙස පිහිටුවා ඇති තත්වයක් තුල, 2013 දී පැවති අන්තරායට වඩා විශාල බව පෙන්වා දෙයි.

“එමනිසා ට‍්‍රම්ප් පරිපාලනයේ නව ඉලක්කය අසාද් බලයෙන් පහකිරීම නම්, මෙය සිදුවනු ඇත්තේ රුසියාව සමග ප‍්‍රධාන ගැටුමක් හරහා පමනක් බව” ලිපිය ප‍්‍රකාශ කරයි. “රෂියා බියොන්ඩ් ද හෙඩ් ලයින්ස්” නම් වූ ප‍්‍රකාශනය, සිරියාවට එරෙහි එක්සත් ජනපද ප‍්‍රහාරයක වූ පහත සඳහන් ශක්‍ය කාරනා තුන ගෙන හැර දක්වමින් අප්‍රේල් 07 වනදා ලිපියක් පල කලේය. පලමු හා බොහෝදුරට අනුමාන කාරනය වනුයේ “රුසියාව සහ එජ අතර සන්නද්ධ ගැටුමකි.” ලිපියේ සටහන් කරන පරිදි ක්ෂනිකවම හෝ කල් පසුවී “ගැටුමේ තර්කනය විසින් මිලිටරි වශයෙන් ප‍්‍රතිචාර දැක්වීමට රුසියාවට බලකෙරෙනු ඇත.” රුසියාවට “න්‍යෂ්ටික අවි භාවිතය සම්පූර්නයෙන්ම බැහැර කල නොහැකි” බවට අනතුරු අඟවන ලද රුසියානු ජාත්‍යන්තර ආරක්ෂක විශේෂඥයෙකු ලිපිය උපුටා දක්වයි.

ඩිෆෙන්ස් වන් වෙබ් අඩවියේ අප්‍රේල් 7 දා පල වූ ලිපියකින් පෙන්වා දෙන්නේ, සිරියාවට එරෙහි එක්සත් ජනපද ප‍්‍රහාරයක් මගින්, “දශක ගනනාවක් පැරනි ත‍්‍රස්තවාදයට එරෙහි සටන” තුල, ප‍්‍රථම වරට “මහා පරිමානයේ යුද්ධයකින් ප‍්‍රතිපල ගෙන දෙන”, “නවීන හා හොඳින් සන්නද්ධ හමුදාවකට” එරෙහි සටනකට එක්සත් ජනපදය ඇදවැටෙනු ඇති බවයි.

වොෂින්ටනය හා මොස්කව් අතර න්‍යෂ්ටික ප‍්‍රහාර හුවමාරුවක් එක් වරක් සිදුවීමේදී පලමු පැය තුල දස මිලියන ගනනක මරන සංඛ්‍යාවක් සිදුවෙනු ඇති බවත්, එය බිහිසුනු ආරම්භය පමනක් වනු ඇති බවත්, “න්‍යෂ්ටික ශීත සෘතුවක” ජීවිත-නාශක පාරිසරික විපාක පිලිබඳ ප‍්‍රකට විශේෂඥයෙකු වන, සමාජ වගකීම් සඳහා වූ වෛද්‍යවරුන්ගේ පදනමේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයකු සහ න්‍යෂ්ටික යුගයේ සාම පදනම හා සම්බන්ධිත විද්‍යාඥයෙකු වන ස්ටීවන් ස්ටාර් පෙන්වා දෙයි.

පැයක් තුල පුපුරවා යැවිය හැකි මෙහෙයුම් මූලෝපායික න්‍යෂ්ටික අවි 3500ක් මෙම දෙරට අතර ඇත. භාවිතය සඳහා සූදානම් තවත් න්‍යෂ්ටික අවි 4,600 ක් ඔවුන්ගේ සංචිතවල ගබඩා කර තිබේ. මෙම සුවිසල් ආයුධ සංඛ්‍යාව හේතුවෙන්, රටවල් දෙකෙහිම සුවිසල් නගර ප‍්‍රහාරයට ලක්වීමට දැඩි ඉඩකඩක් ඇත. එක්සත් ජනපද හා රුසියානු ජනගහනයෙන් සියයට 30 ක් පලමු පැය තුල ඝාතනය වනු ඇති බවට ස්ටාර් තක්සේරු කරයි. සති කිහිපයකට පසුව, විකිරනශීලී පැතිරයාම හේතුවෙන් තවත් සියයට 50 ක් හෝ ඊටත් වැඩියෙන් මරා දැමෙනු ඇත.

න්‍යෂ්ටික යුද්ධයේ පාරිසරික බලපෑම නිසා ඇතිවන නව අයිස් යුගයක්, එනම් න්‍යෂ්ටික ශීත සෘතුව වසර කිහිපයක් තුල හාමතින් සිදුවන මරනවලට පෘථිවිය මත බොහෝ මිනිසුන් පාත‍්‍ර‍්‍ර කරනු ඇත.

වර්ග සැතපුම් දස දහස් ගනනක ප‍්‍රදේශයක් පුරා විද්‍යුත් පරිපථ විනාශ කරන ඉහල උන්නතාංශයක විද්‍යුත් චුම්බක ස්පන්දන ස්ඵෝඨනයක් ද ඇති වීමේ හැකියාව ඇත. “එක්සත් ජනපද නැගෙනහිර වෙරලේ ඇතිවන තනි ස්පෝඨනයක් හේතුවෙන් ඇතිවන විද්‍යුත් චුම්භක ස්පන්දනයන් හි බලපෑම මගින් එහි ඇති විදුලි බල පද්ධතිය විනාශ කරනු ඇති අතර සියලු න්‍යෂ්ටික බලාගාර උනුකර හරිනු ඇත. එක්සත් ජනපදය තුල ෆුකුෂිමා ඛේදවාචකයන් 60 ක් එක්වර සිදුවෙතැයි පරිකල්පනය කරන්න.

මෙය වනාහි, පක්ෂ දෙකෙහි හා දේශපාලන හා මාධ්‍ය සංස්ථාපිතයෙහි පූර්න සහයෝගය සහිතව පෙන්ටගනය හා සීඅයිඒ සංවිධානය තුල සිටින බලය සහ ලාභය වෙනුවෙන් උමතුවට පත් අපරාධකරුවන් විසින් ඇමරිකානු හා ලෝක ජනගහනයට හොරෙන් සූදානම් කෙරෙමින් පවත්නා ලෝක අවසානයේ දර්ශනයයි. නිව් යෝර්ක් සිට බොස්ටන්, පිලඩෙල්පියා, ඩිට්රොයිට්, චිකාගෝ, ලොස් ඇන්ජලීස් හා සැන් ෆ‍්‍රැන්සිස්කෝ දක්වා නගරයන්හි ජීවත් වන සියලු මිනිසුන් එවන් යුද්ධයක පලමු මිනිත්තු කිහිපය තුල මරා දැමෙනු ඇත.

කුමන දේ සූදානම් කරමින් තිබේද? දිවි බේරා ගැනීමේ සැලැස්ම කුමක්ද? කිසිවක් නැත. මාධ්‍යයේ සහ දේශපාලනඥයන්ගේ නිශ්ශබ්දතාව ප‍්‍රමාද දෝෂයක් නොවේ. මෙය මහජන සාකච්ඡාවකට විෂයක් බවට පත්වනු ඇති බවත් ඉන් සිදුවන කම්පනයෙන් පාලනය කල නොහැකි සමාජ කැලඹීම් මතුකරනු ඇති බවත් ඔවුන් දනී.

පාලක ප‍්‍රභූවේ ඇදහිය නොහැකි ඉවබවනැති බවට වෛෂයික මූලයක් ඇත. එය වනාහි, ධනපති ක‍්‍රමයේ ගෝලීය අර්බුදය එහි තියුනුම ප‍්‍රකාශනය අත්කරගන්නා එක්සත් ජනපදයේ දිගු කාලීන ආර්ථික පරිහානිය යි. සීතල යුද්ධය සමයේ පවා පාලක පන්තියේ අධිපති කොටස් තුල යම් අනතුරු ඇඟවීමක් තිබුනි. මාධ්‍යවල නිර්දය හා ආක‍්‍රමනශීලී හඬ ද රුසියානු ජනාධිපති පුටින් යක්ෂයකු සේ මවාපෑමේ නිරන්තර උත්සාහයන් ද මිලිටරි ගැටුමක් ඇවිලවීමට ගනන් බලා කරන්නක් බව පෙනේ. සත්‍ය වශයෙන්ම එසේ කිරීමට සූදානම් සැලකිය යුතු කන්ඩායමක් පාලක ප‍්‍රභූව හා රාජ්‍යය තුල ඇත.

පවත්නා බලයන්ට ආයාචනා කිරීම හරහා මෙම බිය ජනක දර්ශනය මඟහරවා ගත නොහැකි ය. 20 වැනි සියවසේ සමස්ත ඉතිහාසය, එහි විනාශකාරී යුද්ධයන් ද සමග, යුද්ධය නතර කිරීමට ඇති එකම මාර්ගය ඇත්තේ කම්කරු පන්තියේ මහජන ව්‍යාපාරය හරහා බව පෙන්නුම් කරයි. අධිරාජ්‍යවාදය හා ධනවාදය අවසන් කිරීම සඳහා කම්කරු පන්තිය මත පදනම් වූ ජාත්‍යන්තර යුද-විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම දෙසට යොමු වූ මහජන විරෝධතා සංවිධානය කිරීම මගින් කම්කරුවන් හා තරුනයන් තත්වයේ හදිසිභාවයට මුහුන දිය යුතුය.

යුද්ධයට, අධිකාරිවාදයට හා දරිද්‍රතාවයට එරෙහිව සාමය, සමානතාව හා සමාජවාදය සඳහා යන මැයෙන් අප්‍රේල් 30 දා ජාත්‍යන්තර මැයි දින ඔන්ලයින් රැලියක් පැවැත්වීමට හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව වැඩකටයුතු සංවිධානය කරයි. මෙම රැලිය ලංකාවේ වේලාවෙන් රාත්‍රී 8.30 ට ලෝකය පුරා සජීවීව විකාශය වේ. මෙයට සහභාගී වන ලෙස අපි අපගේ පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු. වැඩි විස්තර සඳහා, wsws.org/mayday වෙබ් අඩවියට පිවිසෙන්න.

බැරී ග්‍රේ

Share this article: