ශ්‍රී ලංකා ආන්ඩුව විෂකුරු නීති ක්‍රියාවට දැමීමට මීතොටමුල්ල ඛේදවාචකය ගසා කයි

වසන්ත රූපසිංහ විසිනි, 2017 අප්‍රේල් 23

කොලඹ මීතොටමුල්ල යෝධ කුනු කන්ද කඩාවැටීමෙන් සිදුවූ මරන හා විනාශය කෙරෙහි පුලුල්ව වැඩෙන වෛරය මධ්‍යයේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔහුගේ අධිකාරවත් විධායක බලතල පාවිච්චි කරමින් බ‍්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පලාත්පාලන ආයතන විසින් කසල ඉවත්කිරීම “අත්‍යවශ්‍ය සේවාවක්” වසයෙන් සඳහන් කරමින් සුවිශේෂි ගැසට් නිවේදනයක් නිකුත් කලේ ය.

ජනාධිපති සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ආන්ඩුව කම්කරුවන්ගේ හා සිසුන්ගේ විරෝධතා මර්දනය කිරීමට පොලිසිය මුදාහැර තිබුනත් එවැනි භයානක නීතියක් ක්‍රියාත්මක කල ප‍්‍රථම අවස්ථාව මෙය යි. එම නීති කසල දැමීමට එරෙහිව විරෝධතාවේ නියැලෙන ජනයා සඳහා පමනක් නොව, සමස්ත වැඩකරන ජනතාවට පුලුල් ඇඟවීම්වලින් යුක්ත ය.

අප්‍රේල් 14දා මීතොටමුල්ල යෝධ කුනු කන්ද කඩා වැටී එයට යටවී මියගිය අයගෙන් මලසිරුරු 32ක් දැනට සොයා ගෙන ඇත. අඩුම ගනනේ තවත් මිනිසුන් 30ක් පමන අතුරු දහන්වී සිටින අතර නිවාස සියයක් පමන විනාශ වී යාමෙන් දහසක් පමන අවතැන්ව සිටිති. කුනු කන්ද ඉවත් කරන ලෙස ඉල්ලා එයට ගොදුරුවී සිටින ජනයා ගෙන ගිය උද්ඝෝෂනවලට නෑසූකන්ව සිටීම ගැන වත්මන් ආන්ඩුවට මෙන්ම පෙර පැවති ආන්ඩුවට ද රට පුරාම ජනයා සිය අසතුට පල කරමින් සිටිති.

පසුගිය දවස් කීපයේම පර්යන්ත ප‍්‍රදේශ ගනනාවක සිය ගනන් ජනයා කොලඹ හා මීතොටමුල්ලෙන් ඉවත් කරන කසල තම ගම් ප‍්‍රදේශවලට ගෙනත් දැමීමට එරෙහිව විරෝධතා දක්වමින් පාරට පැමිනියහ. ආන්ඩු තමන්ට ද මීතොටමුල්ලට සමාන ප‍්‍රශ්න නිර්මානය කිරීමට සූදානම්වන බවට ඔවුහු චෝදනා කලහ. කුනු බැහැර කිරීම අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට ආසන්නතම ව්‍යාජ හේතුව වන්නේ මෙම විරෝධතා නැවත්වීම යි.

මහජන ආරක්ෂන පනත යටතේ නිකුත් කල ගැසට් පත‍්‍රය, “වීදියෙන් ඉවත ලන කැලි කසල, නිවාස වලින් ඉවතලන කැලි කසල හෝ එබඳු වෙනත් දෑ ඉවත් කරලීම, එක්රැස් කරලීම, ප‍්‍රවාහනය, තාවකාලිකව ගබඩා කිරීම, පිරිසැකසුම, වෙන් කිරීම, පිලියම් යෙදීම, බැහැර කිරීම සහ විකිනීම සඳහා යම් පලාත් පාලන ආයතනයක් විසින් හෝ එබඳු යම් පලාත් පාලන ආයතනයක් සඳහා හෝ වෙනුවෙන් ඉෂ්ඨ කරනු ලබන හෝ පවත්වාගෙන යනු ලබන හෝ කිසියම් කාර්යය පැවරුමක් සම්බන්ධයෙන් ඉටු කරනු ලැබිය යුතු හෝ ඉටු කිරීමට අවශ්‍ය වන්නා වූ කවර වුව ආකාරයේ සියලුම සේවාවන්, වැඩ හෝ “ශ‍්‍රමය යෙදවීම” යන සේවාවන් “අත්‍යවශ්‍ය සේවා” ලෙස නම් කලේ ය.

”ඉහත දක්වන ලද සේවාවන්හි නියුතු පුද්ගලයන්ට, බලහත්කාරය යෙදීමෙන් හෝ වාචිකව, ලිඛිතව හෝ අන් අයුරකින් හිංසාකාරීව හැසිරීමෙන් හෝ එකී කාර්යයන් පමා කිරීමට හෝ ඒවාට බාධා කිරීමට තැත් කිරීම වරදකැ” යි පනත සඳහන් කරයි. එමෙන්ම, “එවන් සේවාවන් ක්‍රියාත්මක කිරීමේදී ඒවාට බාධාවන හෝ එම සේවාවන්හි යෙදී සිටින සේවකයන්ට තම රාජකාරි වලින් ඉවත්ව සිටීමට බලපෑම් කෙරෙන හෝ කවර අන්දමේ ප‍්‍රකෝපකරනයක් සඳහා මහජනතාව දිරි ගැන්වීම නීති විරෝධී” වන බවද එහි සඳහන් වෙයි.

පනතට අනුව “උක්ත කල්ක්‍රියාවන් සඳහා යමෙකු සැකසහිත නම් හෝ එවන් අපරාධයකට යමෙකු වගකිවයුතුයැයි විශ්වාස කිරීමට සාධාරන හේතු ඇතිවිට හෝ, ඕනෑම පොලිස් නිලධාරියෙකුට වරෙන්තු රහිතව, ඕනෑම අවස්ථාවක එවැන්නෙකු අත්අඩංගුවට ගත හැකි ය”. එලෙස අත්අඩංගුවට ගත් අයෙකු “මහේස්ත‍්‍රාත්වරයෙකු ඉදිරිපිට සිදු කෙරෙන නඩු විනිශ්චයකින් පසුව බරපතල වැඩ සහිත සිරදඬුවමකට යටත් කල හැකි වේ”.

පනතට අනුව එහි සඳහන් කල ක්‍රියාවන්හි නිරත අයෙකු හෝ එවැනි ක්‍රියාවල නිරතවූයේයැයි සැකකරන ඕනෑම අයෙකු අත්අඩංගුවට ගැනීමට පනත මගින් පොලිසියට අවසරය දී තිබේ. මේවා පොලිස් රාජ්‍ය විධික‍්‍රමයන් ය. ආන්ඩුව විරෝධතාවන්හි නිරත ජනයාට එරෙහිව මෙම නීති යොදාගනිමින් පලාත් පාලන ආයතනවල සේවයේ නිරත ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන්ගේ ප‍්‍රජාතාන්ත්‍රික අයිතීන් සෘජුවම තලා දමනු ඇත.

ව්‍යසනය සිදුවී පැය කිහිපයකින් අනතුරුව, ගලවා ගැනීමේ මෙහෙයුම්වල නාමයෙන් සිරිසේන ලහිලහියේම දහසකට වැඩි හමුදා සොල්දාදුවන් ව්‍යසනය සිදුවූ පලාතට බලමුලූ ගැන්වූයේ ය. එහි සැබෑ අරමුන කෝපයට පත්ව සිටි ජනයා බිය ගැන්වීම යි. ඕනෑම අනවසර ඉදිකිරීමක් ආන්ඩුව විසින් තහනම් කරනු ඇති බව 19දා පැවැති පුවත් සාකච්ඡාවකදී සිරිසේන පැවසී ය. ව්‍යසනයට ගොදුරුවූ පවුල්වලට එම ප‍්‍රදේශයේ යලි පදිංචිවීමට ඉඩ නොදී ඔවුන්ගේ ඉඩම් අත්කර ගැනීමට ආන්ඩුව වෑයම් කරයි. කොලඹ නගරය මූල්‍ය හා වානිජ මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කරමින් කොලඹ කේන්ද්‍ර කරගත් ආන්ඩුවේ මහනගර ව්‍යාපෘතියේ කොටසක් ලෙස මිනිසුන් ඉවත්කිරීමට සලකුනු කර තිබූ ප‍්‍රදේශ අතර ව්‍යසනය සිදුවූ ප‍්‍රදේශය ද නම් කර පැවතුනි.

20දා කොලඹින් කිලෝමීටර් 15ක් පමන දුරින් පිහිටි දොම්පේදී එහි කසල බැහැරකිරීමට ගිය වාහන අවහිර කල විරෝධතාකරුවන්ට ජලප‍්‍රහාරක හා කඳුලුගෑස් යොදාගනිමින් පොලිසිය පහර දුන්නේ ය. ඊයේ දින, ඒ ආකාරයෙන්ම කොලඹට නුදුරු බෝපිටියේදී වාහන අවහිර කල ජනයා, පොලිස් විශේෂ කාර්ය බලකාය හා කැරලි මර්දන ඒකකය විසින් විසුරුවා හැරිනි. එමෙන්ම, කොලඹට නුදුරු තවත් පලාතක් වන කරදියානට කසල බැහැර කිරීමට යන වාහන විරෝධතාකරුවන් විසින් අවහිර කිරීම සති දෙකකට තහනම් කරමින් ඊයේ දින පොලිසිය උසාවි නියෝගයක් ලබා ගත්තේ ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් මෙහෙයවන විපක්ෂ කන්ඩායම හා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ* මහජනයා අතර පවතින විරුද්ධත්වය තම දේශපාලන පදනම් පුම්බා ගැනීම සඳහා ගසාකෑමට වෑයම් කරමින් සිටිති. කෙසේ වෙතත් යන්තම් දෙවසරකට පෙර බලයෙන් පහ කල රාජපක්ෂ හා ඔහුගේ ආධාරකරුවෝ, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පීඩාකාරී පාලනය හා ජීවන තත්වයන්ටත් සමාජ කොන්දේසි වලටත් පහර එල්ල කිරීම නිසා අපකීර්තියට පත්ව සිටිති.

දරුනු නව නීතිි පනවමින් සිටින ආන්ඩුව, විපක්ෂය විසින් උසිගන්වනු ලබන විරෝධතා තහනම් කරන බව ඇඟවුම් කර තිබේ. එහෙත් ආන්ඩුවේ සැබෑ ඉලක්කය විපක්ෂය නොව කම්කරු පීඩිත ජනතාවන්ය. මෙම විරෝධතා හුදෙක් කසල පිලිබඳ ප‍්‍රශ්නයක් නොව, ආන්ඩුවේ ජනතා විරෝධී හා ව්‍යාපාර ගැති පිලිවෙත් කෙරෙහි පලවන විරෝධයේ කොටසක් පමනක් බව ඔවුන් හොඳින් දැන සිටියි.

සිරිසේන බලයට පත්වුනේ, රාජපක්ෂ ආන්ඩුව කෙරෙහි පලවූ ජනතා විරෝධය ගසා කමින් “යහ පාලනයක්” පිලිබඳ පොරොන්දු දෙමිනි. දෙවසරක් ගතවෙද්දී සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව තම ප‍්‍රතිපත්ති කෙරේ පලවන මහජන විරෝධයකට මුහුනපා සිටියි. පසුගිය මාස හතක කාලය තුල කම්කරුවන් ගොවීන් ද ඇතුලු ගම්බද ජනතාව හා සිසුන් වැඩි වැටුප්, පොහොර සහනාධාරය ද ඇතුලු සමාජ සහන කැපීමට හා අධ්‍යාපනය පෞද්ගලීකරනයට විරුද්ධව නැඟී සිටියහ.

මේ ප‍්‍රහාර ජාමූඅ විසින් ඉල්ලා සිටිනු ලබන කප්පාදු වැඩසටහනේ කොටසකි. එය, විදුලි බලය, ජලය, වරාය හා පෙට්ට්‍රෝලියම් වැනි ප‍්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් තවදුරටත් පෞද්ගලීකරනයටත්, ඉතිරි බැංකු නය වාරිකය නිදහස් කිරීමට නම් තවත් වටයකින් බදු වැඩිකරන ලෙසටත් නියෝග කර තිබේ.

අත්‍යවශ්‍ය සේවා නියෝගය වනාහි ආරක්ෂක හමුදා බලමුලු ගැන්වීමේ හදිසි අවස්ථාව ප‍්‍රකාශ කිරීමට පෙර පියවරයි. කම්කරු පීඩිතයින්, තරුනයින්ට එරෙහිව මර්දන බලය යෙදීමට පසුබට නොවන බව සිරිසේන පවසා ඇත. කම්කරුවන් මෙම දරුනු නීති තියුනු අනතුරක් ලෙස ගත යුතුය.

Share this article: