මරුති සුසුකි දඩයම පිටුපස
සුසුකි සමාගමේ ප‍්‍රතිමූර්තිය: කෲර බහුජාතික සේවා යෝජකයෙක්

In the background of the Maruti Suzuki frame-up
Portrait of the Suzuki corporation, a ruthless transnational employer

ෂැනන් ජෝන්ස් හා සමන් ගුනදාස විසිනි, 2017 අප්‍රේල් 4

මරුති සුසුකි මනෙසාර් කර්මාන්ත ශාලාවේ හිටපු සේවකයන් 13 දෙනෙකුට එරෙහිව ඉන්දීය උසාවියක් විසින් දුන් අනුකම්පා විරහිත ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම් ඉන්දියාවේත් ඊනියා සංවර්ධනය වන රටවල් පුරාත් වාහන නිෂ්පාදනයේ නියැලෙන සේවකයන් මුහුන දෙන කෲර සේවා තත්වයන් උලූප්පා දක්වයි. ඉන්දියාවේ ඇති මරුති සුසුකි ආයතනයේ හා අනෙකුත් දැවැන්ත බහුජාතික සමාගම්වලත් පවතින ලාබ ශ‍්‍රම වෙලඳපොල තත්වයන්ට එරෙහිව කම්කරුවන්ගේ විරෝධය නිහඬ කරවීමේ අරමුනින් නිවැරදිකරුවන් වරදකරුවන් බවට පත්කල කුමන්ත‍්‍රනයේදී, තවත් කම්කරුවන් 18 ක් අඩු දඬුවම්වලට යටත් කොට වරදකරුවන් කරන ලදී.

2011දී වර්ජිත මරුති සුසුකි කම්කරුවන්

අගමැති නරේන්ද්‍ර මෝඩිගේ “ඉන්දියාවේ නිපදවනු” ව්‍යාපාරයේ කොටසක් ලෙස ඉන්දීය ප‍්‍රභූ පැලැන්තිය විසින් රටෙහි කම්කරුවන් අඩු වියදම් ශ‍්‍රම බලකායක් ලෙස ඉදිරිපත් කරනු ලැබේ. ලාබ, ඉහලින්ම සූරාකත හැකි ශ‍්‍රම බලකායක් දිගටම සැපයීම ආයෝජකයන්හට නැවත සහතික කරන්නට මරුති සුසුකි කලමනාකරනය හා ගැලතුනු රාජ්‍ය නිලධාරීහු මෙම සේවකයන් කෲරතර උදාහරනයක් කරන්නට අදහස් කරති.

සීමාසහිත මරුති සුසුකි ඉන්දීය සමාගම (සීමසුඉස) ජපානයේ ප‍්‍රධාන දිවයින වන හොන්ෂු හි පැසිෆික් වෙරලේ ෂිෂු ඕකා ප‍්‍රාන්තය තම මූලස්ථානය කරගත් ගෝලීය දැවැන්තයෙක් වන සුසුකි මෝටර් සමාගමේ (සුමෝස) උප සමාගමකි. එය ජපානයේ හතරවන විශාලතම වාහන නිෂ්පාදකයා වන අතර ලාබම ශ‍්‍රමය හා අවම නිෂ්පාදන වියදම සොයමින් ලෝකය පීරන දැවැන්ත බහුජාතික වාහන නිෂ්පාදන සමාගම්වල ආකෘතියකි. එය අඩු වියදම් වාහන වෙලඳපොලෙහි තරඟ කරන නිසා සුසුකි සමාගමේ ප‍්‍රධාන ඉලක්කය වන්නේ අඩු වියදම් ශ‍්‍රම බලකායකි. සමාගමේ වෙබ් අඩවියට අනුව, තම කථා වස්තුව ගෙතී ඇත්තේ, “උසස් කාර්ය සාධනය, කාර්යක්ෂමතාව, හා පරිසර හිතකාමිත්වය සමග අඩු වියදම් අයිතිය සහිත විප්ලවීය වාහන පිලිබඳවයි.”

ඉන්දීය මගී වාහන වෙලඳපොලෙහි සියයට 50 කට (සියයට 46.8) ආසන්න කොටසකට සුමෝස හිමිකම් කියයි. තමන් රටවල් 125 කට වාහන අපනයනය කරන බවත්, දිගටම අපනයනය කරන රටවල් අතර ශ‍්‍රී ලංකාව, චිලී, පිලිපීනය, පේරු හා බොලීවියාව සිටින බවත් මරුති සුසුකි පවසයි. 2015-16 මූල්‍ය වර්ෂයේදී එහි දල ලාභය (ඉන්දියානු) රුපියල් බිලියන 45.7 (එජ ඩො. මිලියන 700) විය. 2015 දී ඉන්දීය මරුති සුසුකි සමාගමේ සමස්ත වාහන නිෂ්පාදනය මිලියන 15 කට ලඟා විය.

හිටපු සභාපති ඔසාමු සුසුකිගේ පුත් වන තොෂිහිරෝ සුසුකි මරුති සුසුකි හි මව් සමාගම වන සුමෝස හි වර්තමාන ප‍්‍රධානියා වේ. රජයේ සම්මතයන් සමග අනුකූල නොවන ඉන්ධන පිරිමැසුම් පරීක්ෂන ක‍්‍රියාවලියක් පාවිච්චි කිරීම ගැන අපචාරයක් මධ්‍ය යේ 2016 දී තම පුත‍්‍රයාට බලය පවරමින් මහලූ සුසුකි තනතුර අත්හලේය. 2010 පටන් සමාගම දේශීය සම්මතයන් සමග අනුකූල නොවී ඇති බව අභ්‍යන්තර විමසීමකදී නිගමනය විය.

වර්තමානයේදී සුසුකි සමාගම වාහන, යතුරුපැදි හා බෝට්ටුවල පිටත සවිකරන මෝටර් සාදයි. සමාගමේ 2016 වාර්ෂික වාර්තාවට අනුව, ජපානයේදී වාහන 650,000 ක්ද, යුරෝපයේදී 230,000 ක් හා ආසියාවේදී 1,890,000 ක් හා “වෙනත් තැන්හිදී” 190,000 ක් ඇතුලුව, 2016 මූල්‍ය වර්ෂයේදී සුමෝස වාහන 2,960,000 ක් විකුනා තිබේ. එය ආසියාවේදී යතුරු පැදි 1,150,000 ක් ද විකුනා ඇත.

මරුති සුසුකි වෙලඳ දැන්වීමක්

ඩොලර් බිලියන 24 ක සමස්ත වත්කම් සමග 2016 මූල්‍ය වර්ෂයේදී ඩො. බිලියන 28.2 ක දල විකිනුමකට හිමිකම් කියන සුසුකි ෆෝබ්ස් හි ඉහලම ගෝලීය සමාගම් 2,000 අතරින් නොම්මර 488 වේ. 2016 දී එහි දල ආදායම ඩො. බිලියන 1 කට වඩා ඉහල අගයක් ගත් අතර සියයට 8 කට එහා යන සුසුකි හි ලාභ ආන්තිකය ගිය වසරේදී තම ජපාන ප‍්‍රතිවාදීන් වන ටොයෝටා හා නිසාන් ඉක්මවා ගියේය.

1983 දී සීමාසහිත මරුති සුසුකි ඉන්දීය සමාගම ඉන්දියානු (සීමසුඉස) රජයේ හා සුමෝස අතර බද්ධ ව්‍යාපාරයක් ලෙස ස්ථාපිත කරන ලද අතර ඉන්දියානු රජය තම පාලිත කොටස් විකුනා දැමීමෙන් පසු 2002 දී එය පුද්ගලීකරනය විය. වර්තමානයේදී සීමසුඉස හි කොටස්වලින් සියයට 54.2 ක් සුසුකිට හිමි වේ. බොම්බායේ හා නව දිල්ලියේ කොටස් වෙලඳපොලවල අලෙවි වන සමාගමේ කොටස් 2012 සිට එහි අගය මෙන් තුන් ගුනයකින් ඉහල ගොස් ඇත.

මරුති සුසුකි හි ඉලක්කය වන අවම නිෂ්පාදන වියදම තබා ගැනීමට සරිලන අයුරින්, ඉන්දියාවේ එහි 25,000 ක් වන ශ‍්‍රම බලකාය අතරේ 13,250 ක් ස්ථිර සේවකයන් වන අතර 12,000 ක් කොන්ත‍්‍රාත්, තාවකාලික සේවකයන් පවත්වා ගෙන යයි. තාවකාලික සේවකයන්ට මසකට රුපියල් 14,000 (එජ ඩො. 214) වේතනයක් හෝ ස්ථිර සේවකයන්ගේ වැටුපෙන් අඩකටත් වඩා අඩුවෙන් ගෙවන පිලිකුල් සහගත කොන්ත‍්‍රාත් සේවා ක‍්‍රමය අහෝසි කරන ලෙසට 2012 දී තම නව වෘත්තීය සමිතියේ ඉල්ලීම හා සමාගමේ පාලනය යටතේ පවතින වෘත්තීය සමිතියට එරෙහි තම නැගී සිටීමට පසුව, මරුති සුසුකි සේවකයන් දඩයම් කිරීම ඇරඹීම මෙහිලා ඉහල වැදගත්කමක් උසුලයි.

මරුති සුසුකි දෙරටටම ඉතා ලාභදායී ව්‍යාපාරයක් ලෙස ජපානය හා ඉන්දියාව විසින් හඳුනාගෙන ඇති අතර ඉන්දීය හා ජපාන ආන්ඩු දෙක විසින් මරුති සුසුකි සභාපති ආර්.සී. භාර්ගවට බුහුමන් දක්වනු ලැබ තිබේ. 2011 දී, ජපාන රජයේ “නැග එන සූර්යයාගේ ආඥාව” නමැති රාජකීය ගෞරව සම්මානය අකිහිතෝ අධිරාජයා විසින් භාර්ගව වෙත පිරිනැමීය. 2015 දී, ඔහුට ඉන්දීය ජනාධිපති ශ‍්‍රී ප‍්‍රනාබ් මුකර්ජි විසින් ඉහලම පෙලේ ගෞරව සම්මානයක් වන “පද්ම භූෂන්” ප‍්‍රදානය කරන ලදී.

මරුති සුසුකි ඉන්දීය ආයතනික අංශයෙන් ජුගුප්සාජනක වර්නනා ලබා ගෙන ඇත. ෆෝර්චූන් සඟරාව රටෙහි හතරවන වඩාත් ගෞරවයට පත් සමාගම ලෙස මරුති සුසුකි ලැයිස්තු ගත කර ඇති අතර 2016 දී ඉන්දියාවේ වඩාත්ම ජනප‍්‍රිය ඉංග‍්‍රීසි භාෂා රූපවාහිනී නාලිකාව වන එන්ඩීටීවී විසින් මරුති සුසුකි “වසරේ මෝටර් රථ නිෂ්පාදකයා” ලෙස නම් කරන ලදී.

පීඩාකාරී තත්වයන් යටතේ, අඩු වැටුප් ලාභී කොන්ත‍්‍රාත්, තාවකාලික සේවකයන්ගේ දැවැන්ත ශ‍්‍රම තටාකයක් පවත්වාගෙන යන අතරේ, සමාගම තම වෙබ් අඩවියෙහි මෙසේ පුරාජේරු පවසයි. “රට පුරා මරුතිවරු සියල්ලෝම පොදු බැඳීමකින් එක්සත් වී සිටිති. එය ශ‍්‍රම බලකායක් නොවන අතර වැඩ කිරීමේදී මිනිසුන්ගේ බලයයි, වෙන කිසිවක් හා අසමාන බලගැන්වූ කන්ඩායමකි.”

2016 අප්‍රේල් දාතම, සුසුකි සමූහයේ ආචාරධර්ම සංග‍්‍රහයේ, “මානව අයිතිවාසිකම් හා සම්බන්ධ අන්තර්ජාතික සම්මතයන් ගැන සුසුකි සමූහය දැනුවත් වන අතර ඕනෑම රටක හෝ කලාපයක දී මූලික මිනිස් අයිතිවාසිකම් නීති පිලිබඳව සැලකිලිමත් වේ” පවසයි. එසේම “සුසුකි සමූහයේ සාමාජිකයෙක් ලෙස, පුද්ගල ලක්ෂන මත වෙනස්කම් නොකරන, එමෙන්ම අපහසුවට පත්කිරීම් සිදු නොකරන වැඩකරන පරිසරයක් ඇති කිරීමට අපි එකිනෙකා සමග සහයෝගයෙන් වැඩ කරමු.”

ඇත්තෙන්ම මෙම වගාලංකාරය මහජනතාවගේ හා පාරිභෝගිකයන්ගේ පරිභෝජනය සඳහා පමනක් වන අතර කර්මාන්ත ශාලාවලදී මරුති සුසුකි පාලනයේ කෲර යථාර්තය සමග ඒ්වා කිසිසේත් අදාල නොවේ.

සමාගම සතුව නිෂ්පාදන කර්මාන්ත ශාලා හර්යානා ප‍්‍රාන්තයේ මනෙසාර් හි (අක්කර 600) හා ගුර්ග ඕන් හි (අක්කර 300) පිහිටා ඇති අතර එහි නවතම කර්මාන්ශාලාව 2017 දී ගුජරාට් හි මෙහෙයුම් ආරම්භ කලේය. වාර්ෂික නිෂ්පාදනය මෝටර් රථ මිලියන 1.5 හෝ සෑම තත්පර 12කටම එක් රථයක් නිෂ්පාදනය කරන බවට එය උදම් අනයි. 2012 දී, කලමනාකරනය මනෙසාර් කර්මාන්ත ශාලාවේ කම්කරුවන්ට ප‍්‍රහාර එල්ල කරන විට, සමාගම තත්පර 44 කට එක මෝටර් රථයක් නිෂ්පාදනය කිරීමට උත්සාහ දරමින් සිටියේය. මෙම වහල් සේවා තත්වයන්ට එරෙහිව සටන් කිරීමට දඬුවම් ලැබූ කම්කරුවන් ප‍්‍රබල අධිෂ්ඨානයක් පෙන්වා තිබුනි. පෙරමුන ගත් කම්කරුවන් දඬුවමට ලක් කිරීමත් සමග, මරුති සුසුකි කලමනාකාරිත්වය කර්මාන්ත ශාලා තුල සූරා කෑම උත්සන්න කර තිබේ.

සුමෝස හි ප‍්‍රධාන උප සමාගම ඉන්දියාවේ මරුති සුසුකි වන අතරේ, එයට ජපානයෙන් පිටත තවත් නිෂ්පාදන කම්හල් ගනනාවක් තිබේ. එහි නිෂ්පාදන කර්මාන්ත ශාලා බොහොමයක් දෙවැනි ලෝක යුද සමයේත් හා ඊට පෙරත් ජපාන අධිරාජ්‍යවාදීන් විසින් තම බලය පතුරුවන්නට මාන බැලූ නැගෙනහිර ආසියාවේ, ගිනිකොන දිග ආසියාවේ හා දකුනු ආසියාවේ රටවල්වල පැතිරී ඇත.

චීනයේ යතුරුපැදි කර්මාන්ත ශාලා තුනක් හා මෝටර් රථ නිෂ්පාදන කම්හල් දෙකක්, තායිලන්තයේ නිෂ්පාදන කම්හල් දෙකක් හා අනෙකුත් මෝටර් රථ කම්හල් ඉන්දුනීසියාවේ (පීටී සුසුකි ඉන්දුමොබිල් මෝටර්), පකිස්ථානයේ (පක් සුසුකි මෝටර් සමාගම), වියට්නාමයේ (වියට්නාම් සුසුකි සමාගම), පිලිපීනයේ (සුසුකි පිලිපීන සමාගම), මියන්මාරයේ (සුසුකි - මියන්මාර් මෝටර් සමාගම), හා කාම්බෝජයේ හා ලා ඕසයේ පිහිටා ඇති කම්හල්ද ඊට අයත්ය. සුසුකි හංගේරියාවේ හා ඊජිප්තුවේ ද නිෂ්පාදනය කෙරේ. සුසුකි විකිනුම්වලින් සියයට හැත්තෑවකට වඩා සිදු වන්නේ ජපානයෙන් පිටත ය.

ජපානයේ දී ද සුමෝස කුඩා මෝටර් රථ නිෂ්පාදනය සඳහා ප‍්‍රසිද්ධියක් උසුලන අතර, ඇමෙරිකානු කුඩා වාහනවලට වඩා ඉතා කුඩා එම මෝටර් රථ ප‍්‍රධාන නගරවල අතිශයින් ජනාකීර්න තත්වයන් නිසා ජනප‍්‍රියය. එයට ජපානයේ නිෂ්පාදන කම්හල් හයක් ඇති අතර සේවකයන් 15,000 ක් සේවයේ යොදවා තිබේ. සුසුකි 2012 දී එක්සත් ජනපදයට හා 2013 දී කැනඩාවට මෝටර් කාර් විකිනීම නතර කෙරුවත්, එය තවමත් එම රටවලට යතුරුපැදි, සියලු භූමි තත්වයන් සඳහා වන වාහන හා නාවික නිෂ්පාදන අලෙවි කරයි.

සුසුකි හි ඉතිහාසය

මිචියෝ සුසුකි විසින් හමමට්සු හිදී සුසුකි ලූම් වර්ක්ස් ලෙස ආරම්භ කල සුසුකි හි ඉතිහාසය 1909 තෙක් ඇදී යයි. ආරම්භයේදී සුසුකි ජපාන සේද කර්මාන්තය සඳහා රෙදි වියන යන්ත‍්‍ර සෑදූ අතර පිටරටට අපනයනය කලේය. එම කාල සීමාවේදී, රෙදිපිලි ජපානයේ ප‍්‍රධාන කර්මාන්ත අතර එකක් විය, සමාගම 1920 දී පොදු සමාගමක් බවට පත් කරන ලද අතර එය සුසුකි රෙදි වියන යන්ත‍්‍ර නිෂ්පාදන සමාගම ලෙස නම් කලේය.

1954 දී වර්ජිත ජපන් සිල්ක් කම්කරුවන්

1930 ගනන්වල ජපාන මිලිටරිවාදය පැන නැගීමත් සමග, ජපාන ආන්ඩුව යුද-ආශ‍්‍රීත නිෂ්පාදන සඳහා සුසුකි පවරා ගන්නා ලදී, 1937 දී එය කුඩා කාර් සඳහා ව්‍යාපාරයක් ආරම්භ කල නමුදු, දෙවන ලෝක යුද්ධයේදී සිවිල් මගී කාර් රථ “අත්‍යාවශ්‍ය නොවන වෙලඳ භාන්ඩයක්” ලෙස ජපාන රජය ගත් තීරනය නිසා නවතා දැමීමට සිදු විය. යුද සමය තුල, එය ජපාන යුද හමුදා සඳහා යුද්ධෝපකරන නිෂ්පාදනය කලේය.

වාර්තාවන ලෙසට යුද සමයේදී සමාගමේ හමමට්සු හි කම්හලට ප‍්‍රධාන හානියක් නොවුන නමුත් එහි සැපයුම් ජාලය සුනු විසුනු විය. යුද්ධය අවසානයේදී, එය ස්ථිර සේවකයන් 2,900 ක් නෙරපා දැමූ අතර එයින් බහුතරය කාන්තාවන් වීය. ඒ ලෙසම බලහත්කාරයෙන් සේවයට බඳවා ගත් කම්කරුවන් 800 ක් හා කොරියානු යුද සිරකරුවන් 110 ක් ද නෙරපනු ලැබීය.

වියන ලද නිෂ්පාදනවලට ඇති ඉල්ලුම පහත වැටුනු නිසා, 1947 දී සමාගම මෝටර්බල ගැන්වුනු වාහන නිෂ්පාදනය සඳහා සැලැස්මක් සකස්කිරීමට පටන් ගත්තේය. 1952 දී, සුසුකි මෝටරයකින් බල ගැන්වනු බයිසිකලයක් නිෂ්පාදනය පටන් ගත් අතර 1954 දී කාර් නිෂ්පාදනය ආරම්භ කෙරුනි.

1946 අප්‍රේල් 12 ජපන් කම්කරු පෙලපාලියක්: බොහෝ බැනර වල සටන් පාඨය වන්නේ ”සයිසන් කන්රි” හෙවත් “කම්කරු පාලනය යටතේ නිෂ්පාදනය” යන්නයි.

දෙවන ලෝක යුද්ධය අවසන් වීමත් සමගම යුදකාමී කම්කරු අරගල රැල්ලක් ජපානය වෙලා ගත්තේය. 1947 දී විප්ලවවාදී ඇඟවුම් සමග මහා වැඩ වර්ජනයක් දක්වා යන දැවැන්ත ව්‍යාපාරයක් ගොඩ නැගුනි. කෙසේවුවද, ජපාන කොමියුනිස්ට් පක්ෂය වැඩ වර්ජනය නවතා දමමින් එය කඩා කප්පල් කල අතර ජපානය “ප‍්‍රජාතන්ත‍්‍රකරනය කිරීමට” යයි ප‍්‍රකාශ කරමින් ජෙනරාල් ඩග්ලස් මැක්ග්‍රෙගර් විසින් නායකත්වය දුන් එජ වාඩිලාගත් හමුදාවේ අනසකට ව්‍යාපාරය යටත් කලේය.

සුසුකි හි කම්කරුවන් සමිතිගත වුනු අතර වර්ජන හා වාඩිලාගැනීම් ඇතුලත් යුදකාමී අරගල ගනනාවක නියැලෙමින්, 1948 අගෝස්තුවේදී ප‍්‍රථම කොන්ත‍්‍රාත්තුව දිනා ගත්තේය. 1949 දී, සුසුකි අනෙකුත් සේවා යෝජකයන් හා ආක‍්‍රමනික එජ ආන්ඩුව සමග ඒකාබද්ධ වෙමින් ප‍්‍රතිකොමියුනිස්ට්වාදී වියරුවක් මත පදනම්ව ස්වාධීන වෘත්තීය සමිතිවලට එරෙහිව ප‍්‍රතිමෙහෙයුමක් දියත් කලේය. 1950 ජූනි මාසයේදී කොරියන් යුද්ධය පැන නැගීමත් සමගම, චෝදනා ලද කොමියුනිස්ට්වරු රජයේ තනතුරුවලින් හා ජාතික ආයතනවලින් එසේම පුද්ගලික කර්මාන්ත වලින්ද නෙරපනු ලැබින.

1950 රතු විරේක කිරීම් වලදී අස්කල සේවකයන් හා සමිති සාමාජිකයින් ඉවත් කරන අයුරු

සුසුකි වැටුප් කපා හැරි නිසා ඊට ප‍්‍රතිචාර ලෙස කම්කරුවන් වැඩ වර්ජනයකට ගිය විට, කම්කරුවන්ට ප‍්‍රහාර එල්ල කරන්නට කලමනාකරනය පොලීසිය හා වාඩිලාගත් හමුදා යොදා ගත්තේය. කලමනාකරනය සමාගමේ සමිතියක් පිහිටුවීමට හා වාමාංශික හා යුදකාමී කම්කරුවන් නෙරපා හැරීමට කටයුතු කලේය. අවසානයේදී සුසුකි වර්ජනය පරාජය කිරීමෙන් හා ශ‍්‍රම බලකාය තමාගේම “සමිතියට” බැඳීමට බලකිරීමෙන් ජයග‍්‍රහනය කලේය. සමිතිය වැටුප් කපාහැරීම් හා නිෂ්පාදන ඉහලදැමීම සඳහා නියෝගවලට එකඟ වූ අතර වැඩි වශයෙන් කලමනාකරනයට සහයෝගය දැක්වූයේය.

ඒ අතරේදී, සමාගම කාර්ය සාධනය මත පදනම් වූ වැටුප් ක‍්‍රමයක් හඳුන්වා දුන් අතර කාන්තා සේවිකාවන්ට එරෙහිව වෙනස්ව සැලකීමේ වැටුප් ක‍්‍රමයක් පටන් ගත්තේය. රැකියා විස්තර හා රැකියා වර්ගීකරන කටුගා දැමීමත් සමග එය බද්ධ විය. 1958 වනතුරු සම්මත වැඩ සතිය පැය 48 ක් විය. කම්කරු වැටුපෙන් වැඩි කොටසක් අර්ධ වාර්ෂික බෝනස්වලට අඩංගු විය.

සුසුකි ඇතුලුව ටොයෝටා හා නිසාන් වැනි අනෙකුත් වාහන නිෂ්පාදකයන් විසින් පුරෝගාමීවූ “සිහින් නිෂ්පාදනය” හඳුන්වා දීමේදී මේ ඊනියා ව්‍යවසායික සමිති ආකෘතිය කේන්ද්‍රීය කුලුන බවට පත් විය. මෙය නිෂ්පාදනය හා ලාභ ඉහල නැංවීමේ ඉලක්කය ඇතිව “තත්ව කව” වැනි ඊනියා සේවායෝජක-සේවක කමිටු පිහිටු වීම තෙක් ඇදී ගියේය.

සිහින් නිෂ්පාදනය ලෝකය පුරා වාහන නිෂ්පාදකයින් විසින් ක‍්‍රියාවට නැංවුනු ආකෘතියක් බවට පත් විය. එක්සත් ජනපදයේදී, ජපාන පූර්වාදර්ශය මත පදනම්ව කෝපරේට්වාදී සමිති-කලමනාකරන වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම සඳහා යුනයිටඩ් ඔටෝ වර්කර්ස් සමිතියේ සහයෝගය ඇතිව, ඩෙට්‍රොයිට් හි විශාලතම වාහන නිෂ්පාදකයෝ තිදෙනාම 1980 දී කම්කරු වැටුප්, දීමනා හා ප‍්‍රතිලාභ මත ප‍්‍රහාර එල්ල කරන්නට පටන් ගත්හ.

ජපානයේදී තම ශ‍්‍රම බලකාය අනුකම්පා විරහිතව සූරා කන අතරේදී, සුසුකි ඊටත් වඩා ලාබ ශ‍්‍රමය හා සාර්ථක දැවැන්ත ලාභ සම්පත් සඳහා විදේශයන් වෙත බැල්ම හෙලීය.

1958 තරම් මුලදී, වාහන අමතර කොටස් සැපයීමට කම්හලක් ස්ථාපිත කරමින් සුසුකි ඉන්දුනීසියාවෙන් ලාබ ශ‍්‍රම අස්වැන්න නෙලීමට පටන් ගත්තේය. 1978 දී, එය පකිස්ථානයේදී තම ප‍්‍රථම කාර් එකලස් කිරීමේ කම්හල ආරම්භ කලේය.

ගෝලීය මෙහෙයුම් පුලුල් කිරීම

1980 ගනන්වලදී ගෝලීය නිෂ්පාදනය පුලුල්කිරීමත් සමග, සුමෝස තම විදේශ මෙහෙයුම් දැවැන්තව ඉහල දැමීය.

1980 ගනන්වල මුල් කාලයේදී, දැවැන්ත ඉන්දීය වෙලඳපොල වෙත සුසුකි ව පිලිගනිමින් ඉන්දිරා ගාන්ධිගේ කොන්ග‍්‍රස් ආන්ඩුව තම සැලකිල්ල පෙන්වීය. 1982 අප්‍රේල් වලදී “සුසුකි කාර් ඒකාබද්ධව නිෂ්පාදනය සඳහා සුසුකි” කොන්ග‍්‍රස් ආන්ඩුව සමග මූලික ගිවිසුමක් අත්සන් කලේය. මරුති සුසුකි ලෙස නැවත නම් කරමින් ආරම්භයේදී ඉන්දීය ආන්ඩුවට පරිපාලන කොටස් අයිතිය සහිතව, සුමෝස හා ඉන්දීය රජය අතර බද්ධ ව්‍යාපාරයක් ලෙස සීමාසහිත මරුති උද්යෝග් සමාගම 1983 දෙසැම්බරයේදී තම නිෂ්පාදන ආරම්භ කලේය.

එසේම 1982 දී, සුසුකි පකිස්ථාන හමුදා පාලක ජනරාල් මොහමඩ් සියා උල්-හක් සමග කාර් නිෂ්පාදනයට ගිවිසුමක් අත්සන් කලේය. අත්සන් කරන විටදී සුසුකිට සියයට 25 ක් පමනක් ව්‍යාපාරයේ අයිති තිබුනේ නමුත් පසුව එහි අයිතිය සියයට 73 තෙක් ඉහල ගියේය. පක් සුසුකි දැන් පකිස්ථාන වාහන වෙලඳපොලේ සියයට 60 කට උරුමකම් කියයි.

සුසුකි හංගේරියාවේ, චීනයේ හා ඊජිප්තුවේ ද බද්ධ ව්‍යාපාර හා නිෂ්පාදන පහසුකම් ස්ථාපිත කර තිබේ. විකිනුම් හා තාක්ෂනික හුවමාරු සඳහා සුමෝස විසින් ස්පාඤ්ඤයේ, නවසීලන්තයේ, ප‍්‍රන්සයේ, ජර්මනියේ, එජ සහ කැනඩාවේ උප සමාගම් හා බද්ධ ව්‍යාපාර පිහිටුවා තිබේ. 1996 දී, සුසුකි වියට්නාමයේදී තම යතුරුපැදි නිෂ්පාදනය ආරම්භ කල අතර 1998 දී මියන්මාරයේ කාර් නිෂ්පාදනයට ගිවිසුමක් අත්සන් කලේය. 1999 දී සුසුකි තායිලන්තයේ ද ඊට පසු වසරේ ආර්ජෙන්ටිනාවේ ද තම නිෂ්පාදන පහසුකම් විවෘත කලේය. 2006 දී, යතුරුපැදි නිෂ්පානය සඳහා නව නිෂ්පාදන කම්හලක් වියට්නාමයේදී ස්ථාපිත කලේය.

1980 ගනන්වලදී සුසුකි එක්සත් ජනපදයේ ජෙනරල් මෝටර්ස් (ජීඑම්), දකුනු කොරියාවේ ඩෙයිවූ සමූහය හා මැස්ඩා මෝටර් කෝපරේෂන් සමග විවිධ නිෂ්පාදන ආශ‍්‍රිත ගිවිසුම්වලට ද එලැඹියේය. 1989 දී ජීඑම් සමග බද්ධ ව්‍යාපාරයක් ස්ථාපිත කල සුසුකි කැනේඩියන් ඔටෝමෝටිව් මනුෆැක්චරින් ඉන්කෝපරේෂන් (සීඒඑම්අයි) නාමය යටතේ, නිරිත දිග ටොරොන්ටෝ හි දැවැන්ත කම්හලක් ඇරඹීය. කොලම්බියාවේදී ද සුසුකි සමග කාර් නිෂ්පාදනය කරන ජීඑම්, 2008 දී ජීඑම් බංකොලොත්වුන අවධියේදී ආපසු පැවරීමට පෙර සුමෝස හි කොටස් සියයට 20 ක් මිලට ගත්තේය.

2009-10 කාල සීමාවේදී, වොක්ස්වැගන් සුමෝස හි ඩො. බිලියන 2.5 ක (හෝ සියයට 20) කොටස් මිලට ගත් අතර සමාගම සමග “මූලෝපායික ගෝලීය සහයෝගීතාවයකට” එලැඹි නමුත් කෙටි කාලයකට පසුව ජර්මානු මෝටර් රථ දැවැන්තයා ගනුදෙනුව අවසන් කලේය.

මේ වීරෝදාර මරුති-සුසුකි කම්කරුවන්ට විරුද්ධව ආයතනික-රාජ්‍ය බද්ධ වෛරයේ ඓතිහාසික පසුබිමයි. ගෝලීයව සංවිධානය වී ඇති අන්තර්ජාතික සමාගම් වලට අවශ්‍යව ඇත්තේ ඉන්දියාවේ ප‍්‍රධාන ධනපති පක්ෂ වන කොංග‍්‍රස් පක්ෂයේ හා භාරතීය ජනතා පක්ෂයේ පූර්න පිටුබලය ඇතිව ඉන්දියාව ලෝකයේ ලාභ ශ‍්‍රම අංගනය බවට පත්කිරීමටත් ලෝකය පුරා වාහන කම්කරුවන් සඳහා වැටුප්, පහසුකම් හා වැඩපල කොන්දේසි සම්බන්ධ ප‍්‍රමිතිය බවට ඉන්දියාව පත් කිරීමටත්ය.

මෙමගින් පැහැදිලිවන්නේ දඩයමට ලක්ව සිටින මරුති සුසුකි කම්කරුවන් මුදා ගැනීම සඳහා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) විසින් දියත් කර ඇති ජාත්‍යන්තර උද්ඝෝෂනය සියලුම කම්කරුවන් සඳහා තීරනාත්මක වැදගත්කමක් දරන ආකාරයයි. ලෝක ධනවාදයට එරෙහිව කම්කරුවන්ගේ ප‍්‍රතිප‍්‍රහාරයේ කොටසක් ලෙස ජාත්‍යන්තර කම්කරු පන්තියේ ශක්තිය බල මුලු ගැන්වීමෙන් පමනි මෙම දඩයම පරාජය කල හැක්කේ. මෙම උද්ඝෝෂනය හැකිතාක් පුලුල් ලෙස පතුරුවන ලෙසත් මෙම පන්ති යුද්ධයේ සිරකරුවන් වහාම නිදහස් කිරීම සඳහා වන ඉල්ලීමට සහෙයා්ගය දෙන ලෙසත් අපි කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

හජාජාක මරුති සුසුකි කම්කරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා ඔන් ලයින් පෙත්සමක් දියත්කර ඇත. අපගේ සියලුම පාඨකයන්ගෙන් මෙම පෙත්සමට අත්සන් කරන ලෙස ඉල්ලා සිටින අපි මේ සඳහා සහයෝගය ගොනු කිරීමට ඇති කර තිබෙන ෆේස් බුක් පිටුවටද සම්බන්ධ වන ලෙස කැඳවුම් කර සිටිමු.

Share this article: