උදුරාගත් ඉඩම්වලට වන්දි ඉල්ලා හම්බන්තොට ගොවියෝ උද්ඝෝෂනය කරති

ඒ.කේ. ලක්ෂ්මන් සහ එල්.පී. උදයප්‍රේම විසිනි, 2017 අගෝස්තු 04

මහාමාර්ග සඳහා අත්පත්කරගත් තම ඉඩම් සහ දේපොල සඳහා වන්දි මුදල් ඉල්ලා හම්බන්තොට නෑබඩගස්වැව නිවැසියෝ පසුගිය ජුලි 17දා උපවාසයක් ආරම්භ කලහ. ජුලි 15දා සියලු වන්දි මුදල් ලබාදෙන බවට මාර්ග සංවර්ධන අධිකාරියේ (මාසඅ) හි සභාපති දුන් පොරොන්දුව ඉටු නොකිරීම උපවාසය සඳහා ආසන්නතම නිමිත්තවිය. පොරොන්දුව දී ඇත්තේ නෑබඩගස්වැව නිවැසියන් ජුලි 14දා සූරියවැව මාසඅ දිසා කාර්යාලය ඉදිරිපිට පිකටින් උද්ඝෝෂනයක නියැලීමෙන් අනතුරුවයි.

උද්ඝෝෂකයෝ (ලෝසවෙඅ) වාර්තාකරුවන් වෙත කරුනු පවසමින්

උපවාසය අතරතුර මැදිහත් වූ සජිත් ප්‍රේමදාස සහ මහින්ද අමරවීර යන අමාත්‍යවරු දින 14 ක් තුල වියදම් ලබාදෙන බවට දුන් පොරොන්දුව මත උපවාසය නතර කිරීමටත් ඉල්ලීම් ඉටුකරදෙන තෙක් සත්‍යග‍්‍රහ පැවැත්වීමටත් අනතුරුව උද්ඝෝෂකයෝ එලැඹුනාහ.

උද්ඝෝෂකයන් සඳහන් කල පරිදි 2013 වසරේ මහින්ද රාජපක්ෂ ආන්ඩුව යටතේ ඇරැඹි අඩි 100 මාර්ගයට හා අධිවේගී මාර්ගය සඳහා වූ ප‍්‍රවේශ මාර්ගයට මේ ඉඩම් අත්කර ගැනීම සිදු කෙරුනි. පවුල් 467ක් සතු ඉඩම්, නිවාස, ව්‍යාපාරික ස්ථාන හා වගාවන් ඊට යට කෙරී ඇත.

ඉඩම් අත්පත් කර ගැනීමෙන් නොනැවතුනු බලධාරීහු, නිවැසියන්ගේ විරෝධතා නොතකා, ඔවුනගේ ඉඩම් හා නිවාස මතින් විදුලි රැහැන් ඇදීම සිදු කලහ. නිවාස මැදින් ජල නල එලීමට බලධාරීන් ගත් බලහත්කාරී පියවර නිවැසියන්ගේ විරෝධතාවන් නිසා තාවකාලිකව නතර කර තිබේ. ඕනෑම විටක එය යලි ක‍්‍රියාවට දමනු ඇතැයි උද්ඝෝෂකයෝ පැවසූහ.

මෙසේ අත්පත් කරගත් ඉඩම් හා දේපලට වන්දි නොලැබීම ගැන ගොවි ජනයා අතර විරෝධය වැඩෙන තතු යටතේ එය යටපත් කිරීම සඳහා රාජපක්ෂ ආන්ඩුව කලේ නිවැසියන් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට කැඳවා ඉඩම් බලපත‍්‍ර හා ලියකියවිලි ආදිය පරීක්ෂා කොට වන්දි මුදල් ලබා දීමේ ඇස්තුමේන්තු සකසන බවට මවා පෑමයි.

පර්චසයකට රුපියල් ලක්ෂයක් බැගින් ගෙවන බවට පොරොන්දු වී ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ලිපි ලේඛන වලට අත්සන් ගත් නමුදු, එසේ අත්සන් ලබාගෙන ඇත්තේ ඉඩම් දීමට එකඟතාව පල කිරීමට මිස වන්දි දීමට නොවන බව පසුව දැනගන්නට ලැබුන බව 73 හැවැරිදි ගොවියකු වන සාන්ත පැවසීය.

සිය ඉඩම්, නිවාස අහිමිවීමෙන් පීඩාවට පත් දුගී ගොවි ජනයාගේ ඉල්ලීම් නොතකා හරිමින් රාජපක්ෂ ආන්ඩුව ක‍්‍රියාකල ආකාරයටම වසර දෙකකට වැඩි කාලයක් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවද ක‍්‍රියා කරමින් සිටින බව උද්ඝෝෂකයෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) පැවසූහ.

උද්ඝෝෂනයේ අතීත අත්දැකීම් විස්තර කරමින් නිවැසියෙකු පැවසුවේ තම ඉල්ලීම් සහිත ලිපිය භාරගැනීම පවා අමාත්‍ය සජිත් ප්‍රේමදාස ප‍්‍රතික්ෂේප කල බවයි. අමාත්‍ය අමරවීර නිවැසියන්ගේ ඉල්ලීම් වෙනුවෙන් සිදු කර ඇත්තේ බලධාරීන්ට ලියුමක් යවා මග හැරීමයි. වසර 4ක් පුරාම ලිපි යවමින් බලධාරීන් දැනුවත් කිරීම් ඇතුලුව උද්ඝෝෂන කලමුත් වගකිවයුතු කිසිවෙකු ඊට ඇහුම්කන් නොදුන් බව උද්ඝෝෂකයෝ පැවසුහ.

මහින්ද රාජපක්ෂගේ සහචරයන් දැන් ප‍්‍රශ්නය මග හරින්නේ, උද්ඝෝෂනය පිටු පස පොදු විපක්ෂය සිටින බවට ආන්ඩුව චෝදනා කරන බැවින් අරගලයට සහය දිය නොහැකි බව පවසමිනි. සිව් වසරක් පුරා මෙම දැවෙන ප‍්‍රශ්නය නොතකා සිටි ජනතා විමුක්ති පෙරමුනේ හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිහාල් ගලප්පත්ති කලේ උපවාසය අතරතුර පැමින සංවර්ධන සභා රැස්වීමේ දී මේ පිලිබදව කතා කරන බවට ප‍්‍රකාශ කොට මාරුවීමයි.

වන්දියක් හෝ නොමැතිව තම ඉඩම් සහ නිවාස අහිමි වීමේ අනතුරට පත්ව සිටින මෙම ගොවි ජනතාව 1964 වසරේදී මහවැලි ඉඩම් බලපත‍්‍ර ලැබී පැමිනි අය වෙති. වල් අලින්ගේ ප‍්‍රහාර වලට මුහුන දෙමින්, කිලෝමීටර් ගනන් බීමට ජලය සොයා යමින් සහ අල බතල කමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කල බවත්, තම ඉඩම් උදුරා ගැනීම නිසා වඩාත් දුෂ්කර තත්වයන්ට පත්ව ඇති බවත් ගොවීහු පැවසූහ.

ගොවියකු වන ගුනවර්ධන: “මට අක්කර දෙකක ඉඩමක් තිබුනෙ. එයින් අක්කර 1/3 ට වැඩි කොටසක් අහිමි වුනා. ඒ ඉඩම් කොටසේ කෙසෙල් වගා කරා දැන් ඒ ආදායමත් නැහැ. වන්දියත් නැහැ. ඉතින් අපි කොහොමද ජීවත් වෙන්නේ?”

30 හැවිරිදි විවාහක, ගොවි කාන්තාවක වන දිල්රුක්ෂි: “අපේ ඉඩමේ පර්චස් 7ක් අඩි 100 පාරට ගියා. ඒ කොටසේ බුරුත, කෙසෙල්, බෙලි වගා කරලයි තිබුනේ. තක්සේරුව රුපියල් ලක්ෂ පහක් කිව්වට එක සතයක් ලැබුනේ නැහැ.”

ඒ.පී. අසෝක ගොවිතැනෙහි නියැලී සිටි අයෙකි. ජල හිඟය නිසා ගොවිතැන් අත හැර දමා කුලී වැඩෙහි නිරතව සිටින ඔහු පැවසුවේ කුලීවැඩක් සොයාගැනීම ද ඉතා දුෂ්කර බවයි. ඉඩම් කොටස් අහිමිවීම නිසා තමා ඇතුලු ප‍්‍රදේශයේ සියලුම ගොවීන්ට පාඩු සිදු වී ඇතැයි ඔහු පැවැසීය.

ගොවි කාන්තාවක් වන ශාන්ති: “අපි පාරට බැහැලා සතියක් විතර මේ උද්ඝෝෂනය කරනවා. මේ වන විටත් අපේ වගාවන් ගෙවල් වල් අලි විනාශ කරලා. විසඳුමක් ලැබෙන තුරු අපි සටන් කරනවා. වෙන කරන්න දෙයක් නැහැ. අපි පාරවල් හදනවට විරුද්ධ නැහැ. හොඳින් ජීවත් වෙන්න පුලුවන් තැනක් හදාගන්නයි මේ උද්ඝෝෂනය කරන්නෙ.”

මෙම උද්ඝෝෂනයට මාස කිහිපයකට පෙර හම්බන්තොට, මිරිජ්ජවිල හා අම්බලන්තොට නගරයන්ට එකතු වූ ගොවීහුු විදේශ ආයෝජනයන් සඳහා ඉඩම් පවරා ගැනීමේ ආන්ඩුවේ සැලසුමට එරෙහිව උද්ඝෝෂනයක නිරත වූහ. සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ඊට ප‍්‍රතිචාර දැක්වුවේ මුර්ග මර්දනයන් මුදාහැරීමෙනි.

ඉඩම් සඳහා ගෙවිය යුතු වන්දි මුදල් නොගෙවීම සහ දැඩි මර්දනය ආන්ඩුව විසින් ක්‍රියාවට දමමින් සිටින ආයෝජන-හිතකාමී පිලිවෙතෙහිම කොටස්ය. විදේශ ආයෝජකයක් කැඳවා ගැනීම සඳහා ලංකාවේ පිහිටුවීමට නියමිත ආර්ථික කලාප 45න් හම්බන්තොට ප‍්‍රදේශය එක් කලාපයක් ලෙස තෝරාගෙන ඇත. ඩොලර් බිලියන 5ක ආයෝජන මුදලක් කැඳවා ගැනීම අපේක්ෂාවෙන් සිටින සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ඒ සඳහා ගොවිජනයාගේ ඉඩම්ද ඇතුලුව අක්කර 15,000 ක ආයෝජන කලාපයක් පිහිටුවීමට පියවර ගනිමින් සිටී.

විදේශ හා දේශීය ආයෝජකයන්ට අවශ්‍ය යටිතල පහසුකම්වල කොටසක් වන නවීන ගොඩනැගිලි සහ මංමාවත් ඉදිවන්නේ දුගී ජනයාගේ ජීවිත තලා දමමිනි. ඉඩම් අහිමි වූ හම්බන්තොට නෑබඩගස්වැව දුගී ගොවීන් වේවා, කොලඹ නගරයේ ඉදිවෙන හෝටල් සංකීර්න හා මංමාවත් නිසා නගරයෙන් පලවාහැරෙන දුගී ජනයා වේවා මුහුන පා සිටින්නේ එකම ඉරනමකටයි.

Share this article: