යුරෝපීය සංගමය, උතුරු කොරියාවට එරෙහි ඇමරිකාවේ න්‍යෂ්ටික යුද තර්ජන විවේචනය කරයි

European Union criticizes US nuclear war threats against North Korea

ඇලෙක්ස් ලැන්ටියර් විසින්, 2017 අගෝස්තු 11

වොෂින්ටනය හා උතුරු කොරියාවේ පියොංයෑන් තන්ත‍්‍රය අතර මතුවෙමින් ඇති මිලිටරි ආරවුල, යුරෝපය ද ඇතුලු සමස්ත ලෝකයටම එරෙහි න්‍යෂ්ටික යුද්ධයේ තර්ජනය එල්ල කරයි. යුරෝපීය සංගමයේ (යුසං) නිලධාරීන් හා යුරෝපීය මාධ්‍යම, යුද්ධයේ තර්ජනය ගැන අනතුරු අඟවමින්, න්‍යෂ්ටික බෝම්බ හෙලා උතුරු කොරියාව ගිනිතැබීමට ට‍්‍රම්ප් පාලනය කරන තර්ජන වාඩාත් විවෘත ලෙස විවේචනය කරයි.

නාගසාකියට පරමානු බෝම්බය හෙලීමේ 72වන සංවත්සරයට දිනකට පෙර උතුරු කොරියාවට “ලෝකය මෙතෙක් නුදුටු ආකාරයේ ගින්දර හා ප‍්‍රචන්ඩත්වය” මුදාහරින බවට කරන ට‍්‍රම්ප්ගේ තර්ජනය ගැන යුරෝපීය මාධ්‍යය සඳහන් කරයි. එසේම මාධ්‍යය, ඇමරිකානු ශාන්තිකර ගුවාම් දිවයිනට බෝම්බ හෙලන බවට පියොංයෑනය හා එහි කොරියානු මධ්‍යම පුවත් ආයතනය (KCNA) තුලින් කරන තර්ජන ගැන ද පුලුල් ලෙස වාර්තා කරයි. ට‍්‍රම්ප් සමග සාකච්ඡා ප‍්‍රතික්ෂේප කරන උතුරු කොරියානු ජෙනරාල් කිම් රක්ගේ ප‍්‍රකාශයක් ද එම ආයතනය වාර්තා කරයි: “හේතු යුක්තිය ගැන නොතකන එවන් පුද්ගලයෙක් සමග පලදායී සාකච්ඡාවක් කල නොහැකි අතර ආන්තික බලය යෙදීමෙන් පමනක් ඔහුට දැනවිය හැකිය.”

ජර්මානු විදේශ ඇමති සිග්මාර් ගේබ්‍රියෙල් ඇඟවුම් කලේ, ජර්මනියේ නාමමාත්‍රික සහචරයා වන ඇමරිකාව හා උතුරු කොරියාව යන දෙරටේම ප‍්‍රතිපත්ති පිලිබඳව බර්ලිනය ගැඹුරින්ම කනස්සල්ලට පත්ව සිටින බවයි. “අපගේ ප‍්‍රමුඛ කනස්සල්ල නම් දැන් මේ අරගලය තීව‍්‍ර වෙමින් තිබීමයි. දෙපාර්ශවයම එය ගිනි අවුලුවමින් සිටීමයි. සැබවින්ම මෙය මිලිටරි ගැටුමකින් කෙලවර විය හැකි” යයි ගේබ්‍රියෙල් පැවසීය.

ප‍්‍රන්සයේ ලා ක්රොගයික්ස් යන කතෝලික දිනපතා පත‍්‍රය, ඊසානදිග ආසියාවේ සීමිත යුද්ධයකට පවා මෙය බලපෑ හැකි බව පවසයි. “මිලිටරි ගැටුමකින් පසුව උතුරු කොරියානු පාලන තන්ත‍්‍රය බිඳ වැටීමෙන් පවා, කලාපයේ රටවල මානව හා දේශපාලන පිරිවැය සැලකිය යුතු තරම් වනු ඇත. එවන් යුද්ධයක ආර්ථික ප‍්‍රතිවිපාක සැලකිය යුතු තරම් වනු ඇත. විශේෂයෙන්ම ලෝක ආර්ථිකයේ එන්ජිම ලෙස කලාපය ඉටුකරන ක්‍රියාකලාපය වැදගත්ය. පිලිවෙලින් චීනය, ජපානය හා දකුනු කොරියාව ලෝකයේ දෙවන, තුන්වන හා 11වන විශාලතම ආර්ථිකයන්ය.”

ලේ ෆිගාරෝ පත‍්‍රය, හිටපු ජෙනරාල් ජීන් බර්නාඩ් පිනටෙල් පැවසූ බව සඳහන් කලේ, ඇමරිකානු ප‍්‍රහාරයක් න්‍යෂ්ටික හොලකෝස්ටයකින් කෙලවර විය හැකි බවය. ට‍්‍රම්ප් ගැන සඳහන් කල පිනටෙල්, “ඔහුට කල හැක්කේ කුමක් ද? පූර්ව භංග ප‍්‍රහාරයක්? අද උතුරු කොරියාව සතුව, දකුනු කොරියාව, ජපානය හා ගුවාම් වෙත පවා ලඟාවීමට සමත් න්‍යෂ්ටික අවි 10-20 අතර ගනනක් ඇත. මිසයිල් නාෂක පලිහක් ඇත. එහෙත් ඔහු (ට‍්‍රම්ප්) තම මිලිටරි නායකයින්ගෙන් ඇසුවොත් මට ඇති සහතිකය මොකක් ද කියා, ඔහුගේ ජෙනරාල්වරු කියනු ඇත්තේ මිලිටරි ක්‍රියාන්විතයකදී ශුන්ය අවදානම කියා දෙයක් නැති බවය. සියෝල්වල හෝ ටෝකියෝවේ මිලියන ගනනකගේ ජීවිත විනාශ කරන උතුරු කොරියාවේ ප‍්‍රති ප‍්‍රහාරයක අවදානම ඔහුට ගත හැකි ද?”

ලේ ෆිගරෝ වාර්තා කලේ, ට‍්‍රම්ප්ගේ න්‍යෂ්ටික යුද තර්ජන බොහෝ දුරකට “තමන්ගේ දේශීය දේශපාලනයේ දුෂ්කරතා ඇමරිකානු ජනතාවට අමතක කරවන, ඔවුන් ඉලක්ක කර ගන්නා බව” පිනටෙල් විශ්වාස කරන බවය.

යුරෝපීය ධනපති දේශපාලඥයින්ගේ හා මාධ්‍යවල ප‍්‍රකාශ වලින් නොවැලැක්විය හැකි පරිද්දෙන් මතු කෙරෙන්නේ, පසුගිය සියවසේ ලෝක යුද්ධ අවධියේ පැවතියාට සමාන පරිමානයේ දේශපාලන කඩාවැටීමක් තුලින් ලෝක ධනවාදය ගමන් ගන්නා බවයි. දශක ගනනාවක් තිස්සේ ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් යොදාගන්නා ලද, එහි යුරෝපීය අධිරාජ්‍යවාදී සහචරයින්ගේ සහාය ලත්, ප‍්‍රතිපත්තිය වූ පූර්ව භංග යුද්ධ හා, සමාජ ප‍්‍රශ්න වලින් කෝපගැන්වී හා දුප්පත් කමින් මිරිකී සිටින ජනතාවගේ අවධානය වෙනතකට හැරවීම සඳහා ඒවා යොදාගැනීම තුලින්, නේටෝ රටවල දේශීය පාලන තන්ත‍්‍ර ප‍්‍රචන්ඩත්වය වෙත හරවා ඇත. ඔවුන් දැන් ව්‍යසනයක් නිර්මානය කරමින් මානව වර්ගයාට තර්ජනය කරයි.

යුරෝපීය දේශපාලඥයින්ගේ හා ජෙනරාල්වරුන්ගේ ප‍්‍රකාශවල මූලික ලක්ෂනය, කොරියානු අර්බුදය මගින් මානව වර්ගයාටත් විශේෂයෙන් යුරෝපීය ජනතාවටත් එල්ල කෙරෙන තර්ජනය අඩු ලංසුවට දැමීමයි. එක් හෝ තවත් ඇමරිකානු හෝ උතුරු කොරියානු මිසයිල් ප‍්‍රහාරයක විනාශකාරී ආරම්භක බලපෑම් පිලිබඳ සමපේක්ෂනයක යෙදෙන ඔවුහු, එවන් යුද්ධයක ප‍්‍රතිපලය වනු ඇත්තේ කුමක්දැයි නොපවසති.

කෙසේ වෙතත්, යුද්ධයක් යුරෝපයේ ආර්ථිකයට පමනක් බලපානු ඇතැයි හෝ, උතුරු කොරියාව, (දකුනු කොරියාව, ජපානය හා සමහරවිට ඇමරිකාවම සමග) අලුවී යාමෙන් පසුව ගැටුම අවසන් වනු ඇතැයි සිතන කවරෙක් වුවත් අල්ලන්නේ, ඉතිහාසයට විරුද්ධ නරකම ඔට්ටුවකි. මතුවෙමින් ඇත්තේ ඉක්මනින්ම ලෝක යුද්ධයක් කරා පැතිර යා හැකි ගැටුමක් බව පැහැදිලිය.

ඇමරිකානු හමුදාව උතුරු කොරියාව විනාශ කිරීම වැලැක්වීමටත්, දකුනු කොරියාවේ ඇමරිකානු හමුදා හා තම රට අතර බෆරයක් ඇති කිරීමටත් චීනය, 1950-53 කොරියානු යුද්ධයට මැදිහත් වීම ගැන ඉතිහාසයෙන් දැනටමත් පාඩම් උකහාගත හැකිය. මහ බලවතෙකු වන රුසියාව, උතුරු කොරියාවේ අනෙක් අසල්වැසියා ලෙස, 2014දී යුක්රේනය තුල නේටෝවේ පිටුබලය ඇතිව රුසියානු ගැති තන්ත‍්‍රය පෙරලා දැමීමෙන් පසුව හා නැගෙනහිර යුරෝපය පුරා පැවැත්වෙන නේටෝ යුද අභ්‍යාස වලින් පසුව, දැනටමත් සීරුවෙන් සිටින අතර, උතුරු කොරියාවට එරෙහි ඇමරිකානු ප‍්‍රහාරයකදී යුද්ධය සඳහා සූදානම්ව සිටිනවා නිසැකය.

අවසාන විග‍්‍රහයේදී ඇමරිකාවේ යුද තර්ජනවල එල්ලය උතුරු කොරියාව නොව, තම එදිරිවාදීන් යයි වොෂින්ටනය විසින් සලකනු ලබන වඩාත් බලවත් රාජ්‍යයන් ය. සියල්ලටත් වඩා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ආසියානු පිලිවෙත, යුරෝපයේ එහි නාමික සහචරයින් සමග උත්සන්න වෙමින් තිබෙන ආතතීන් මගින් දුවවනු ලබයි. ස්ටැලින්වාදී නිලධරය විසින් සෝවියට් සංගමය විසුරුවා හරිනු ලැබීමෙන් පසුව, ඇමරිකානු ගෝලීය මිලිටරි අධිකාරයේ “ඒක ධ‍්‍රැවීය” මොහොත වේගයෙන් මැකී යන අතර, නේටෝ රටවල් තුල පන්ති ගැටුම් නැගී එමින් ද යුරෝපය හා ඇමරිකාව අතර අන්තර් අධිරාජ්‍යවාදී ආතතීන් තියුනු වෙමින් ද ඇත.

විශේෂයෙන්ම ආසියාව සම්බන්ධ ප‍්‍රශ්නය මෙයයි. ඇමරිකාවේ විරුද්ධත්වය නොතකා, බ්‍රිතාන්‍යය ද හා යුරෝපීය බලවත්තු 2015දී, චීනයේ ආසියානු යටිතල ව්‍යූහ බැංකුවට සම්බන්ධ වූහ. පසුගිය වසරේදී හේග්හි එක්සත් ජාතීන්ගේ අධිකරනය වෙතින්, දකුනු චීන මුහුදු ප‍්‍රදේශය අරභයා චීනයට එරෙහිව වොෂින්ටනය නියෝගයක් ලබාගැනීමෙන් පසුව, යුරෝ සංගම් නිලධාරීහු චීනය සමග සිය මූලෝපායික බැඳීම් හුවා දැක්වූහ. ට‍්‍රම්ප් බලයට පත්වීමෙන් පසුව, තනි චීනයක් පිලිබඳ ප‍්‍රතිපත්තියෙන් ඉවත්වන බව ඇඟවීමත් සමග බර්ලිනය හා ප‍්‍රන්සය ඔහුට පහර ගැසූහ. ප‍්‍රන්ස නිලධාරීන් අනතුරු ඇඟවූයේ, ඇමරිකානු පිලිවෙතේ අර්ථය, චීනයේ “එක්සත්කම ප‍්‍රශ්නයට භාජනය කෙරෙන බවය.”

ජර්මනිය සිය විදේශ පිලිවෙත යලි මිලිටරීකරනය කරන බව නිවේදනය කිරීමත්, යුරෝපය පුරා රටවල් තම මිලිටරි යාන්ත‍්‍රනයන් සඳහා යුරෝ බිලියන ගනන් වියදම් කිරීම සඳහා දැවැන්ත වියදම් කප්පාදු වලට සූදානම් වීමත් හමුවේ එම රටවල්, ආසියාවේ තම වානිජ්‍ය විනිවිදීම පුලුල් කර ගැනීමට උත්සුක වූහ. මෑත සති වලදී ට‍්‍රම්ප් ආන්ඩුව රුසියාවට හා චීනයට එරෙහිව දැවැන්ත වෙලඳ සම්බාධක පනවන බවට එල්ල කරන තර්ජන බොහෝකොටම, යුරෝපයේ තම අධිරාජ්‍යවාදී එදිරිවාදීන් එල්ල කරගත් වෙලඳ යුද්ධයේ පියවරයන් ය. ඇමරිකානු විදේශ පිලිවෙත් සංස්ථාපිතයම දැන්, ආසියාව තුල ඇමරිකානු-යුරෝ සංගම් ආතතීන් ගැන කථා කරයි.

මැයි මාසයේදී එමෑනුවෙල් මැක්‍රොං ප‍්‍රන්සයේ ජනාධිපති ලෙස පත්වීමෙන් පසුව, බර්ලිනය හා පැරිසිය අතර මූලෝපායික බැඳීම්වල සමීප අවධියක් පිලිබඳව ඇඟවුම් කෙරුනි. The National Interest (ජාතික අවශ්‍යතා) පුවත්පත පෙන්නුම් කලේ, ෆ‍්‍රැන්කෝ-ජර්මානු අක්ෂය මගින් ආසියාවේ ඇමරිකානු ආසක්තයන්ට විභව අනතුරක් මතු කෙරෙන බවයි. එය මෙසේ ලිවීය, “මෙය සලකුනු කරනු ඇත්තේ, ඇමරිකානු කීර්තියටත්, විදේශයන්හි එහි ආනුභාවයටත් සැලකිය යුතු තරමේ අවාසියක් බවයි. නිදසුනක් ලෙස මෙසේ සිතන්න, ඉරානය හුදෙකලා කර සම්බාධක පැනවීම සඳහා වන ට‍්‍රම්ප්ගේ තල්ලුව කඩාකප්පල් කිරීම සඳහා මර්කෙල්, අවි ආයුධ සැපයීම ද ඇතුලුව උතුරු කොරියාව සමග වෙලඳ සම්බන්ධකම් ගොඩනගා ගැනීමට තීරනය කලොත්.”

යුරෝපයේ හා ජාත්‍යන්තරව යුද්ධයට විරුද්ධත්වය පල කරන කම්කරුවන්ට හා තරුනයින්ට, වොෂින්ටනයට එරෙහි යුරෝ සංගමයේ බලවතුන්ගේ විදෙස් පිලිවෙත අනුමත කිරීම මගින් උතුරු කොරියාවට විරුද්ධව පැතිර යන යුද්ධයේ තර්ජනයට එරෙහි විය නොහැකිය. වඩ වඩාත් පැහැදිලි වෙමින් ඇත්තේ, වානිජ්‍යමය හා මිලිටරිමය වශයෙන් වොෂින්ටනයට වඩා මූලික වෙනසක් නැති අධිරාජ්‍යවාදී අවශ්‍යතා පෙරට ගැනීම පිනිස, වඩාත් නියම අවස්ථාව එලඹෙන තෙක් බලා සිටීම යුසං පිලිවෙත බවයි.

පෙන්ටගනයට සතුරු වීමට හැකියාව ඇති මිලිටරි යාන්ත‍්‍රනයක් ගොඩනැගීම සඳහා දැනට බර්ලිනය හා එහි සහචරයෝ, කම්කරු පන්තියේ ජීවන තත්වයන්ට ඇති තරම් පහර දීමට ඉදිරිපත් නොවෙති. යුසං බ්‍රිතාන්‍යය ඉවත් වීමෙන් පසුව ලන්ඩනය, බර්ලින්-පැරිස් අක්ෂයට සතුරුව, උතුරු කොරියාවට හා චීනයට එරෙහි ඇමරිකාවේ ආක‍්‍රමනික පියවර සමග පෙලගැසී සිටියි. මේ තතු හමුවේ යුසං බලවතුන්, පියොන්යෑනයේ වියදමෙන් වොෂින්ටනය සමග එකඟත්වයකට කපුකම් කරන ලෙස චීනයට බලපෑම් කරති.

ජර්මානු ආරක්ෂක ඇමති උර්සුලා වොන් ඩර් ලෙයන්, “උතුරු කොරියාව මත අනුහස පැතිරවිය හැකි එකම රට චීනය” බව අවධාරනය කරයි. ලා ක්රොඅයික්ස් ලියන්නේ, “එකම රාජ්‍ය තාන්ත්‍රික තුරුම්පුව පියොන්යෑනයේ සහචරයා වන චීනයයි. පසුගිය සතිය අවසානයේ, උතුරු කොරියාවට අලුත් සම්බාධක පැනවීමේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලයේදී බීජිනය පක්ෂව ඡන්දය දීමෙන් පසුව, සාර්ථකත්වයක් නොමැතිව ඩොනලඩ් ට‍්‍රම්ප්, බීජිනයට උනුසුම හා සීතල පිඹියි.”

ජර්මානු විදේශ අමාත්‍යාංශයේ ප‍්‍රකාශක මාටින් ස්කාෆර් මෙසේ පැවසීය, “සියල්ලටත් වඩා මේ සම්බාධක දැඩි ලෙස ක්‍රියාත්මක කල යුතුය. ඒ අනුව අපට සාකච්ඡා සඳහා සම්බන්ධ වන ලෙස පියොන්යෑනයට කරන බලපෑම වැඩි කල හැකිය. එබැවින් සාකච්ඡා සඳහා රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන්ගේ ආරාධනාව හරි මගට යොමුවී ඇති බව අපට පෙනී යයි. එනම් (උතුරු කොරියානු) තන්ත‍්‍රය සිය නීති විරෝධී මිසයිල් අත්හදා බැලීම් නතර කල වහාම, උතුරු කොරියාව සමග සාකච්ඡා ආරම්භ කල හැකිය යන (ටිලර්සන්ගේ) ප‍්‍රකාශයයි.”

Share this article: