හිමාලයානු මතභේදය දිග්ගැස්සෙද්දී, ඉන්දියාව හා චීනය යුද සූදානම උත්සන්න කරති

India and China heighten war readiness as Himalayan standoff continues

කේ.රත්නායක විසිනි, 2017 අගෝස්තු 14

චීනය හා භූතානය යන දෙරට ම අයිතිවාසිකම් කියනු ලබන හිමාලයානු කඳු පාමුල පිහිටි ඩොක්ලම් සානුව ලෙස හැඳින්වෙන පටු බිම් තීරුව මුල්කරගෙන සති අටක් තිස්සේ ඇදෙන ආරවුල, යුද්ධයක් කරා වර්ධනය වීමේ අනතුර ගැඹුරු කරමින් චීනය හා ඉන්දියාව, සිය විවාදාපන්න දේශ සීමාව ඔස්සේ මිලිටරි ස්ථානගත කිරීම් දැඩි කර ඇති බව මාධ්‍ය වාර්තා ඇඟවුම් කරයි.

ඉන්දියානු හමුදාවන්ට “මුහුනට මුහුන” ලා ඩොක්ලම් සානුවේ රඳවා සිටින චීන භටයින් 300ට අමතරව බීජීනය, මහජන විමුක්ති හමුදා භටයින් 800ක් ස්ථාන ගත කර ඇති බව පැවසේ. ඇතැම් ඉන්දියානු මූලාශ‍්‍ර ප‍්‍රකාශ කරන්නේ, චීනය චෙන්ග්ඩු ජේ-19 හා ජේ-10 ප‍්‍රහාරක ජෙට් යානා ටිබෙටයට යවා ඇති අතර ඊසානදිග ඉන්දියානු අරුනාචල් ප‍්‍රදේශයේ මතභේදයට ලක්ව ඇති දේශ සීමාවේ ගොඩබිම සිට ගුවනට විදින මිසයිල සවිකර ඇති බව යි.

මේ අතර, ඉන්දියානු හමුදාව තම 3 හා 4වැනි බලකායේ හමුදාවන්ට, අරුනාචල් ප‍්‍රදේශය චීන ටිබටයෙන් වෙන් කෙරෙන සැබෑ පාලන රේඛාව ආසන්නයට ගමන් කරන ලෙස නියෝග කර ඇති අතර “යුද්ධයෙන් තොර සාමයක් නැත යන ආකාරයට” ඔවුන් සීරුවෙන් තබා ඇත.

අර්බුදය ආරම්භයේදී මතභේදාත්මක ස්ථානයට කිට්ටුම ඉන්දියානු ප‍්‍රාන්තය වන සිකිම් හි ඉන්දියානු හමුදා රැඳවුම් වැඩි කෙරුනි. එම අවස්ථාවේ චීන දේශසීමාව වෙත යැවූ හමුදා ඒකක පෙරමුනු රැඳවුම් ස්ථානයක රැඳී සිටී.

ඩොක්ලම් සානුවේ සිට කිලෝ මීටර් 35ක පමන දුරක පිහිටි ගම්මානයක් වන නාතන්ග්හි වැසියන් ප‍්‍රදේශය හැර යමින් සිටින බව 10දා, නිව්ස් 18 වාර්තා කලේ ය. ජනතාව ඉවත් කිරීමට නියෝග කෙරී ඇතැ යි යන්න, ඉන්දියානු ආන්ඩුව හා හමුදා නිලධාරීන් ප‍්‍රතික්ෂේප කර ඇත. වාර්තාවන පරිදි, “බටහිර බෙංගාලයේ සුක්නාවල සිට ඩොක්ලම් දක්වා ගමන් ගන්නා 33වන සේනාංකයේ දහස් ගනනක් සොල්දාදුවන් නතර කිරීම සඳහා හෝ අනපේක්ෂිත යුද ගැටුමක් අවස්ථාවක සිවිල් වැසියන්ට සිදුවිය හැකි හානි වැලක්වීමේ ආරක්ෂක පියවරක් ලෙස, ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කෙරී ඇත් ද” යන්න අපැහදිලි ය.

“මාසයකට පමන පෙර බලමුලු ගැන්වුනු 33 සේනාංකය, සිකීම්වල ඉන්දු-චීන දේශසීමාවේ 'ඉතා ආසන්නයට' මෙහෙයවා ඇති අතර, ඩොක්ලම් ප‍්‍රශ්නය දිග්ගැස්සෙන තතු තුල, දැවන්ත හමුදා රැඳවුම්වල කොටසක් හැටියට” එය සිදුවන බව, ඉන්දියානු ද ක්වින්ට් නම් වෙබ් අඩවිය තහවුරු කර ඇත.

ආරවුල හටගත් ජූනි 18දා සිට බීජීනය හා නව දිල්ලිය යන දෙපාර්ශවයම අවධාරනය කර ඇත්තේ, අනෙකා පෙර නොවූ විරූ පරිදි කටයුතු කරන බැවින් දැඩි ප‍්‍රතිචාරයක් දැනවීම අවශ්‍ය කෙරෙන බව යි.

බීජීනය පවසන්නේ, ඉන්දියාව අයිතිවාසිකම් නො කියන භූමිභාගයක් මත චීන හමුදාවන්ට එරෙහිව ඉන්දීය හමුදාව යෙදවීම පෙර නොවූ විරූ තත්වයක් බවයි. එය සැලකෙන්නේ තුන්වැනි රටක් වන භූටානයට අයත් භූමි භාගයක් ලෙසය. සානුව හරහා මාර්ගය පුලුල් කිරීමේ යෙදී සිටින චීන ඉදි කිරීමේ කම්කරුවන් වැලක්වීමට හමුදා රැඳ වූ නව දිල්ලිය, බීජීනයට භූතානය සමග ඇති සිය දේශසීමා අර්බුදය පිලිබඳ විසඳුමක් බලාපොරොත්තුවෙන් ඇතිකරගෙන තිබෙන (standstill agreement) ගිවිසුම මාර්ග ඉදිකිරීම් වැඩ මගින් උල්ලංඝනය කර ඇති බව පවසයි. තව ද ඩොක්ලම් සානුවේ චීන පාලනය, සිල්ගුරි කොරිඩෝවේ ( ඉන්දියාවේ ඊසාන දිග ප‍්‍රාන්ත හතක් රටේ සෙසු කොටස හා සම්බන්ධ කෙරෙන පටු භූමි තීරුවකි) අනාරක්ෂිත බව වැඩි කරන බැවින් තමන්ගේ ප‍්‍රමුඛ “මූලෝපායික” අවශ්‍යතා පරදුවට තැබෙන බවත් ඉන්දියාව පවසයි.

ගෙවී ගිය සති අන්තයේ ඉන්දීය විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් භූතාන විදේශ ඇමති ඩම්කෝ ඩොර්ජි හමුවූවා ය. ඒ, බහු-ආංශික තාක්ෂන හා ආර්ථික සහයෝගිතාව සඳහා වන බෙංගාල බොක්ක බද ආරම්භකත්වයේ රැස්වීම අතරතුරය. එය වනාහි චීනයේ වියදමින් තම ආර්ථික හා මූලෝපායික අනුහස පුලුල් කර ගැනීමට ඉන්දියාව ඒකාබද්ධ කරගත් රටවල් හතක කන්ඩායමකි.

ස්වරාජ් හා ඩොර්ජි ඔවුන්ගේ සාකච්ඡාවේ නිගමන පිලිබඳ විස්තර සැපයූවේ නැති නමුත්, “ඩොක්ලම්වල තත්වය සාමකාමීව හා මිත‍්‍රව ලීලාවෙන් විසඳෙනු ඇතැ යි අප බලාපොරොත්තු වන” බව භූතාන ඇමති මාධ්‍යකරුවන්ට පැවසී ය.

නව දිල්ලිය චීන බියවැද්දීම්වලට එරෙහිව භූතානයට සහාය දක්වන බව කියන නමුත්, ඉන්දියාව ද දීර්ග කාලයක් තිස්සේ හිමාලයානු රාජ්‍යයට සලකා ඇත්තේ තම වැයික්කියක් ලෙස ය. ඉන්දියානු මාධ්‍ය කන්ඩායම් පවා පවසා ඇත්තේ, සිල්ගුරි කොරිඩෝව පිලිබඳ නව දිල්ලියේ ප‍්‍රකාශ අතිශයෝතියක් වන අතර එහි සබෑ කනස්සල්ල වන්නේ, බීජීනය විසින් විශාල වශයෙන් නම්මා ගැනීමට තැත් කෙරෙන භූතානය, තම අසීමිත ආධිපත්‍යයයෙන් ගැල වී යනු ඇත කියා බව යි.

භූතානය ඩොක්ලම්හි චීන “කඩාවැදීමට” විරුද්ධත්වය දක්වා ඇති නමුත්, ඉන්දියානු හමුදා මැදිහත් වූයේ තම ඉල්ලීම මත ය යන ඉන්දියානු ප‍්‍රකාශ පුනුරුච්චාරනය කර නොමැත.

ඉන්දියාවට එරෙහිව සිය ආක‍්‍රමනකාරී තල්ලුවේ කොටසක් ලෙස බීජීනය, භූතානයේ ස්වාධිපත්‍යය උල්ලංඝනය කිරීම ගැන නව දිල්ලියට චෝදනා කරයි. සති ගනනාවක් තිස්සේ චීන ආන්ඩුවේ නිලධාරීන් හා රාජ්‍ය මාධ්‍යය, යුදවාදී ප‍්‍රකාශන නො නවත්වා පල කරති. මෙයට, චීන හමුදා විසින් ඉන්දියානු හමුදා පරාජයට පත් කරන ලද 1962 මාසයක් දීර්ග චීන-ඉන්දු දේශසීමා යුද්ධය සම්බන්ධයෙන් නිතර සඳහන් කිරීම් හා වඩා මෑත දී, බීජීනයේ ඉවසීමේ සීමාව වේගයෙන් අවසන් වන බවට කෙලින්ම අනතුරු ඇඟවීම් ද අතුලත් වුනි.

තමන්ගේ යැයි පවා නො කියන භූමිභාගයක් මත චීන හමුදාවන්ට එරෙහිව ඉන්දියාවේ පෙර නො වූ මැදිහත් වීම හේතුවෙන් චීනය, තම නව, දැඩි ආස්ථානය ප‍්‍රසිද්ධියේම පවසා ඇත.

කෙසේ නමුත්, ඉන්දියාවට එරෙහිව චීනයේ වඩා ආක‍්‍රමනකාරී ආස්ථානය සඳහා සැබෑ හේතුව, චීනයට එරෙහි ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මිලිටරි-මූලෝපාය තුලට ඉන්දියාව පෙර නො වූ විරූ ලෙස ඒකාබද්ධ වීම යි. නරේන්ද්‍ර මෝදි හා ඔහුගේ හින්දු ස්වෝත්තමවාදී බීජේපීයේ තුන් වසරක පාලනය යටතේ ඉන්දියාව, වොෂින්ටනයේ චීන-විරෝධී යුද තල්ලුව තුල සැබෑ “පෙරමුනු රාජ්‍යයක්” බවට පරිවර්තනය කෙරී ඇත. නව දිල්ලිය පෙන්ටගනයේ නිරන්තර ප‍්‍රයෝජනය සඳහා තම මිලිටරි කඳවුරු හා වරායන් විවෘත කර දී ඇත; දකුනු චීන මුහුද ගැන වොෂින්ටනයේ ප‍්‍රකෝපකාරී ආස්ථානය ගිරවුන් සේ හඬ නගයි; එමෙන් ම ඇමරිකාවේ ප‍්‍රධාන ආසියා-ශාන්තිකර සහචරයන් වන ජපානය හා ඕස්ට්‍රේලියාව සමග ද්විපාර්ශ්වීය හා ත්‍රෛ පාර්ශ්වීය මූලෝපායික බැඳීම් පුලුල් කර ඇත.

ඩොක්ලම් ආරවුල ඇරඹීමත් සමගම වාගේ ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදී හා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්, ධවල මන්දිර හමුවක දී, ඉන්දු-එක්සත් ජනපද “ගෝලීය මූලෝපායික හවුල්කාරිත්වය” තව දුරටත් දැඩි කිරීමට සපත කලහ.

නිල වොෂින්ටනය හිමාලයානු දේශ සීමා අර්බුදය ගැන කිසිවක් පවසා නැති තරම්ය. එහෙත් මෑත දිනවල දී රාජ්‍ය තාන්ත්‍රික විසඳීමක් සඳහා වන ඉල්ලීම් නිරන්තරයෙන් නිකුත්වේ. එක්සත් ජනපදය උතුරු කොරියාව සමග ආතතීන් තියුනු කරමින් හා චීනය බියවැද්දීමට, කොරියානු අර්ධද්වීපය මත වොෂින්ටනය විසින් අවුලුවන ලද අර්බුදය යොදා ගනිමින් සිටින මොහොතේ ම, කිසි සැකයකින් තොර ව, මෙම සිදුවීම් පාලනයෙන් පිට පැනිය හැකි බවට වර්ධනය වන්නා වූ උත්සුකයක් ඇති බවට සංඥාවකි මෙය.

“සිය වෙනස්කම් රාජ්‍යතාන්ත්‍රික ලෙස විසඳාගන්නා ලෙස” තමා ඉන්දියාව හා චීනය “දිරිගැන්වූ” බව, 12දා ශාන්තිකර සාගරයේ එක්සත් ජනපද අද්මිරාල් හැරී බී. හැරිස් තමන්ට පැවසූ බව, ප්‍රෙස් ට‍්‍රස්ට් ඔෆ් ඉන්දියා ප‍්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කලේය. “ඕනෑ ම වෙලාවක මහා බලවතුන් දෙදෙනෙකු පොදු දේශසීමාවක් හරහා උරනව සිටිය හැකි යයි මම සිතනවා, එය කනස්සල්ල දනවන ක්ෂේත‍්‍රයක්. ඇත්තට ම එය භයානක විය හැක.”

හැරිස්ගේ ප‍්‍රකාශය අතිශයින්ම නරුම ය. චීනයට එරෙහි එක්සත් ජනපද මිලිටරි වැටලීමට ඉන්දියාව සන්නද්ධ කිරීමේ ව්‍යායාමයේදී ඔහු ප‍්‍රධාන වැඩ කොටසක් ඉටුකර තිබේ. දකුනු චීන මුහුද ඇතුලුව, ඉන්දු-ශාන්තිකර සාගරය තුල එක්සත් ජනපදය සමග ඒකාබද්ධ මුර සංචාර ඉහල නැංවීම සඳහා ඔහු ප‍්‍රසිද්ධියේ ඉන්දියාවට බල කර ඇත. පසු ගිය මාසයේදී ඉන්දියාව, එක්සත් ජනපදය හා ජපානය, මෙතෙක් ඉන්දියානු සාගරයේ පවත්වා ඇති විශාලම අභ්‍යාසය යයි ට‍්‍රම්ප් පාලනාධිකාරය විසින් කයිවාරු ගසන ලද, යුද අභ්‍යාසය පැවත් වූහ. රටවල් තුනේ ම මාධ්‍යද මෙම අභ්‍යාසය “චීනයට පනිවුඩයක්” ලෙස විදහා පෑහ.

උතුරු කොරියාව සමග සිදුවිය හැකි න්‍යෂ්ටික ගැටුමක් මධ්‍යයේ ඉන්දියාව හා චීනය අතර සිදුවීම ගිනියම් වනවා දැකීම වොෂින්ටනයට අවශ්‍ය නො වේ. කෙසේ නමුත් එම තත්වය, ඊසානදිග ආසියාවේ එක්සත් ජනපද ආක‍්‍රමනකාරී ආස්ථානය, තර්ජනයට ලක්ව ඇති බීජීනය සමග කේවලයේදී තමන්ට තදින් සිටීමට අවස්ථාව සලසනු ඇතැ යි නව දිල්ලියේ ගනන් බැලීම් දිරිමත් කිරීමට ඉඩ ඇත.

තව ද එක්සත් ජනපදය, තමන් ඉන්දියාව සමග එක් වන්නේ, නව දිල්ලිය ශක්තිමත් කිරීම පිනිස උදව් වීමට මෙන් ම ඉන්දු-එක්සත් ජනපද මිත‍්‍රත්වයේ “වාසි” වලට වල නොකැපෙන බව පැහැදිලි කර ගැනීම අවශ්‍යය යන උත්සුකය වොෂින්ටනය තුල ඇත.

දීර්ගකාලීන සීඅයිඒ උදව්කරුවෙකු ද ඔබාමා පාලනාධිකාරියේ හිටපු නිලධාරියෙකු මෙන් ම බෘකින්ග්ස් ආයතනයේ සාමාජිකයෙකු ද වන බෘස් රීඩෙල්ගේ අගෝස්තු 9දා ලිපියේ වැදගත්කම මෙය යි. “ජේඑෆ්කේ (ජෝන් එෆ්. කෙනඩි) චීන-ඉන්දියා යුද්ධයක් නතර කලේ ය. ට‍්‍රම්ප්ට හැකි ද? න්‍යෂ්ටික ඔට්ටු දැන් බොහෝ ඉහල ය” යන හිසින් යුත් ලිපිය තර්ක කලේ, “ඉන්දියානුවන්ට උපකාර පිනිස එක්සත් ජනපද ගුවන් හමුදාව ඉන්දියාවට යැවීම හා බෙංගාල බොක්කට ප‍්‍රහාරක යුද නැව් කන්ඩායමක්” යැවීම මගින් 1962දී ඒකපාර්ශ්වීයව තම හමුදා ඉන්දියාවෙන් ඉවත් කර ගැනීමට කෙනඩි පාලනාධිකාරය චීනයට බල කල බව යි.

වර්තමාන මතභේදය “ලෝකයට දරුනු ප‍්‍රතිවිපාක ගෙන එනු ඇති” බව හා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අවශ්‍යතා බොහෝකොටම පරදුවට තැබී ඇති බව සඳහන් කරමින් රීඩෙල්, ඉන්දු-චීන මතභේදයේදී වොෂින්ටනය ආක‍්‍රමනකාරී ලෙස මැදිහත්වීමට සූදානම් විය යුතු බව කියා සිටියි. ඔහු මෙය බොහෝකොටම රාජ්‍යතාන්ත්‍රික වචනවලින් ඉදිරිපත් කරන අතර, ගම්‍යයන් පැහැදිලි ය: ඉන්දු-චීන දේශසීමා අර්බුදය උත්සන්න වන්නේ නම් ට‍්‍රම්ප් පාලනාධිකාරය, නව දිල්ලියට මිලිටරි මය වශයෙන් සහාය දීමට සූදානම් විය යුතු ය.

Share this article: