සමාජවාදී සමානතා පක්ෂය
මීතොටමුල්ල ඛේදවාචකය පිලිබඳ ස්වාධීන කම්කරු පරීක්ෂනය
සාක්ෂි කැඳවීම
2017 සැප්තැම්බර් 3 ඉරිදා - උදේ 10 ට
කොලඹ මහජන පුස්තකාල ශ‍්‍රවනාගාර ප‍්‍රවේශාගාරයේදී

2017 අගෝස්තු 28

අප්‍රේල් 14 දා මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් තෙමසක් ඉක්ම ගොස් ඇති නමුදු, විපතටපත් දහසකට අධික ජනතාව මුහුන දී සිටින බරපතල ගැටලු කිසිවකට මෙතෙක් සැබෑ විසඳුම් ලැබී නොමැත.

විපතටපත්වූවන් පවසන්නේ, සම්පූර්නයෙන්ම විනාශ වීගිය තම ජීවිත යලි සකස් කර ගැනීමට අවශ්‍ය දීර්ඝ කාලීන සහාය ලබාදෙනු වෙනුවට ආන්ඩුව සොච්චම් වන්දියක් දී තමන් අමතක කර දමා ඇති බවයි. කොලොන්නාව සාලමුල්ලේ පිහිටි අඩු ආදායම් තට්ටු නිවාස වල පදිංචිකල පවුල්, කිසිදු පහසුකමක් නොමැති එම නිවාසයන්හි හිරවී සිටිති. ඔවුනට එම නිවාස සම්බන්ධයෙන් කවර හෝ නෛතික හිමිකාරිත්වයක් ලබා දී නොමැත. විනාශ වී ගිය තම නිවාස සහ ඉඩම් තක්සේරු කර වන්දි ලබා දෙනතෙක් බලා සිටි පවුල් බොහොමයකට, ආන්ඩුවෙන් තක්සේරු කර ඇති මුදල නව නිවසක් ලබාගැනීමට කිසිසේත්ම ප‍්‍රමානවත් නොවන බැවින් යන-එන මං නැති තැනට පත්වී ඇත.

ව්‍යසනයෙන් නිවාස 148 ක පවුල් 198 ක් ආපදාවට ලක්වූහ. නිල මරන සංඛ්‍යාව 32 ක් බව ආන්ඩුව පැවසුව ද සැබෑ මරන සංඛ්‍යාව ඊට බෙහෙවින් වැඩි බව ප‍්‍රදේශවාසීහු පවසති. 1000 ක් පමන දෙනා නිවාස අහිමිවීමෙන් අවතැන් වූහ.

මීතොටමුල්ල ව්‍යසනය ස්වභාවික විපතක් නොව, වර්තමාන සිරිසේන-වික‍්‍රමසිංහ තන්ත‍්‍රය සහ පසුගිය මහින්ද රාජපක්ෂ තන්ත‍්‍රය ඇතුලු අනුප‍්‍රාප්තික ධනපති ආන්ඩු විසින් සිතාමතා සිදුකල අපරාධයකි. ධනපති පන්තිය හා අනුප‍්‍රාප්තික ආන්ඩු විසින් නිර්මානය කල මේ ව්‍යසනයේ වින්දිතයෝ මෙලස පීඩාවට පත්ව සිටියදී, ආන්ඩුව යුහුසුලු වන්නේ, මීතොටමුල්ල කසල කන්ද අවට ඉඩම් හැකි ඉක්මනින් නිදහස් කර ගනිමින් ඒවා පුද්ගලික ආයෝජකයන්ට පවරාදීමටය. විනාශයට වගකිවයුත්තෝ, සියලු චෝදනා වලින් නිදහස් වී ඇතුවා පමනක් නොව, ඒ ව්‍යසනයම යොදාගනිමින් ධනපතියන්ගේ ලාභ පොදි තවතවත් තරකර දීමට මාන බලති.

මීතොටමුල්ල ව්‍යසනයේ සැබෑ හේතු හා වගකිවයුත්තන් හෙලිදරවු කිරීම සඳහා, සමාජවාදී සමානතා පක්ෂය (සසප) විසින්, ස්වාධීන කම්කරු පරීක්ෂනයක් කැඳවුයේ මෙම තතු යටතේය. මෙවන් බරපතල ව්‍යසනයන්ට මුහුනදී සිටිනුයේ, මීතොටමුල්ල ජනතාව පමනක් නොවේ. රටේ විවිධ පලාත් වල කසල කඳු අසල ජීවත් වන ජනතාව මෙවැනිම අන්තරායන්ට මුහුන දී සිටිති. එපමනක් නොව ධනපති පාලකයන්ගේ නොතැකීමෙන් ඇති කෙරුනු ගංවතුරෙන් හා ඩෙංගු උවදුරෙන් පසුගිය වසර තුල පමනක් 500 කට අධික ජනතාවක් මිය ගියහ.

ලන්ඩනයේ ග්‍රෙන්ෆෙල් තට්ටු නිවාසයේ ඇතිවූ ගින්නෙන් මියගිය 100 කට අධික බ්‍රිතාන්‍ය වැසියනුත්, ඇමරිකාවේ ෆ්ලින්ට් නගරයේ නලජලය විෂ වීමෙන් මියගිය හා බරපතල ලෙස රෝගාතුරව සිටින සියගනනක් දෙනාත් ලක්වූයේ, අර්බුදග‍්‍රස්ත ලෝක ධනවාදයේ මේ මීනිමරු ප‍්‍රහාරයටයි.

කම්කරුවන් හා පීඩිතයන් මුහුන දී ඇති මෙම ජීවිතයත් මරනයත් අතර ගැටලු ජයගත හැක්කේ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ වාම පක්ෂ, ජනතා විමුක්ති පෙරමුන සහ වෘත්තීය සමිති පවසන අයුරින් ධනපති ආන්ඩුවලට බලපෑම් දැමීමේ විරෝධතාවලින් නොව, අර්බුදයේ මූලය වන ධනපති ලාභ පද්ධතිය පෙරලා දමා, සමාජවාදී ප‍්‍රතිපත්ති මත සමස්ත ආර්ථිකය ප‍්‍රතිසංවිධානය කර ගැනීමෙනි.

ධනේශ්වර පද්ධතියට ගැඹුරින්ම බැඳීගත් ඉහත සංවිධානයන්ගෙන් සහ ඔවුනගේ දේශපාලනයෙන් බිඳී වෙන්වී තමාගේම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින්, ඉහත සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නගන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමට කම්කරුවන්, තරුනයන් සහ අවශේෂ පීඩිතයන් පෙරට පැමිනිය යුතුය.

මේ සඳහා වැදගත් මුල් පියවරක් වශයෙන් සසප කැඳවා ඇති මීතොටමුල්ල ස්වාධීන කම්කරු පරීක්ෂනයේ සාක්ෂි විමසීමේ සාකච්ඡාවක් සැප්තැම්බර් 3 දා උදේ 10 ට කොලඹ මහජන පුස්තකාල ශාලාවේදී පැවැත්වේ. එයට සහභාගී වී පරීක්ෂනයට තම පූර්න සහය දෙන මෙන් කම්කරුවන්ගෙන්, නාගරික පීඩිතයන්ගෙන්, තරුනයන්ගෙන්, ශිෂ්‍යයන්ගෙන් හා බුද්ධිමතුන්ගෙන් සසප ඉල්ලා සිටී.

Share this article: