විපතටපත් මීතොටමුල්ලේ ජනතාව විරෝධතා දේශපාලනය තුල තවදුරටත් සිරකර තැබීමට පෙසප යත්න දරයි

රොහාන්ත ද සිල්වා විසිනි, 2017 අගෝස්තු 10

පනහකට ආසන්න ප‍්‍රමානයක් මරනයට පත් කරමින්, කොලඹ මීතොටමුල්ල කසල කන්ද කඩා වැටී මේ වන විට මාස හතරකට ආසන්න කාලයක් ගත ව ඇත. එනමුදු විපතටපත් මහජනතාවගේ කවර ප‍්‍රශ්නයක් හෝ විසඳී නොමැත. ව්‍යසනයෙන් මියගිය අය වෙනුවෙන් සහ අහිමි වූ නිවාස වෙනුවෙන් ආන්ඩුවෙන් ලබාදුන් වන්දි මුදල්වල සොච්චම් පරිමාවමත් පීඩිත මහජනතාවගේ ජීවිත සම්බන්ධයෙන් ආන්ඩුව ඇතුලු පාලක පන්තියේ තුච්ඡ නොතැකීම යලි ප‍්‍රකාශයට පත් කරයි. නිවාස අහිමිවූවන්ට ලබාදුන් විකල්ප නිවාසයන් හි පවත්නා ඉඩකඩ කිසිසේත් ප‍්‍රමානවත් නොවේ. කන්ද තවදුරටත් නායයාමේ තර්ජනය පැවතියදීම, නව වාසස්ථානයක් සොයාගැනීමේ දුෂ්කරතාව හේතුවෙන් මෙතෙකුදු ඒ අසල ජීවත්වන ජනයා, ‘අනවසර ඉදිකිරීම්’ යන කඩතුරාව යටතේ පලවා හැර එම ඉඩම් මහා පරිමාන ආයෝජකයන්ට ලබා දීමට ආන්ඩුව ක්‍රියාකරමින් සිටී.

ව්‍යසනය සම්බන්ධයෙන් මහජනතාව තුල විශාල විරෝධයක් මතු වූ තතු තුල ආන්ඩුව විවිධාකාර පොරොන්දු දුන්නද ඒවා මහජනතාව රැවටීම අරමුනු කල ඒවා බව ගතවූ සිවුමස තුල සනාථ වී ඇත.

මේ අතර, ධනපති ආන්ඩු වලට බලපෑම් දැමීම මගින් තම අවශ්‍යතා ඉටුකර ගත හැකිය යන මිථ්‍යාව මීතොටමුල්ල මහජනතාව අතර ආරම්භයේ සිටම වපුරමින් සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප), එම ජනතාව විරෝධතා දේශපාලනය තුල සිරකොට තැබීමේ ව්‍යායාමයක නිරතව සිටී. පෙසපයේ නායකත්වයෙන් ගොඩනැගූ “මීතොටමුල්ල කසල කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ” අරමුන වූයේ කසල කන්දට එරෙහිව කලෙක සිට වැඩුනු මහජන විරෝධය, කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් දෙසට වර්ධනය වීම වලකාලීමයි.

2013 අප්‍රේල් මාසයේ දී, පෙසප නායකයකු වූ උදුල් ප්‍රේමරත්නගේ නායකත්වයෙන් ක‍්‍රියාත්මක වූ “සත්‍යග‍්‍රහය” පෙසප යේ විරෝධතා දේශපාලනයේ බංකොලොත්භාවය මනාව පෙන්නුම් කෙරුනු අවස්ථාවකි. “සත්‍යග‍්‍රහයෙහි” එල්ලය වූ යේ විසඳුමක් සපයන බවට බලධාරීන්ගෙන් ලිඛිත පොරොන්දුවක් ලබා ගැනීම යි. රාජපක්ෂ ආන්ඩුව ඊට ප‍්‍රතිචාර දැක්වූයේ, විරෝධතාවය කඩා දැමීම සඳහා පොලිස් ප‍්‍රහාරයක් ද එල්ල කරමිනි.

කසල කන්ද කඩා වැටීමෙන් අනතුරුව, එනම් පසුගිය අප්‍රේල් 24 දා, පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් පෙසප මධ්‍යම කාරක සභික රවීන්ද්‍ර මුදලිගේ කල ප‍්‍රකාශයෙන්, ධනපති ආන්ඩු සමඟ ඒකාබද්ධව වැඩ කිරීමට ඔවුන්ගේ ඇති සූදානම පැහැදිලිව පෙන්නුම් කෙරුනි. මෙම ආන්ඩුව “අවුරුද්දකින් දෙකකින් මුදල් වෙන් කරලා කැබිනට් තීරන අරගෙන වැඩපිලිිවෙලක් හැදුවා කියලා පෙන්වනවා නම් අපිට පුලුවන් මොකක්ද කරන්නේ කියලා සාකච්ඡා කරන්න.” යැයි ඔහු පැවසීය.

පෙසප යේ නායකයෙකු වන, “මීතොටමුල්ල කසල කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ” ප‍්‍රධාන සංවිධායක නුවන් බෝපගේ මෙම විරෝධතා දේශපාලනයෙහි ලා ප‍්‍රමුඛ කාර්යයක් ඉටු කරයි. මැයි 26 දා ද අයිලන්ඩ් පත‍්‍රයට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් බෝපගේ කියා සිටියේ, මීතොටමුල්ලේ ව්‍යසනයට පත් පවුල් වලට ප‍්‍රමානවත් පරිදි වන්දි ලබාදීම සඳහා කොලඹ දිස්ත‍්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු නියෝජිතයන්, පාර්ලිමේන්තුව තුල මැදිහත්විය යුතු බවයි. බෝපගේ මෙම ආයාචනය කරනුයේ, මීතොටමුල්ල කසල කන්ද අන්තරායකාරී ලෙස පුරා වසර 22ක් වර්ධනය කල සහ එයට එරෙහිව පැනනැගි මහජන විරෝධතා තලා දැමූ ආන්ඩු නියෝජනය කල සහ නියෝජනය කරමින් සිටින ධනපති පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රොත්තකටයි. ඉන් සනාථ කෙරෙනුයේ ධනේශ්වර දේශපාලන සංස්ථාපිතය ගැන බෝපගේ ට සහ පෙසපට පවතින විශ්වාසය පමනක් නොව මහජනතාව එම මිථ්‍යාවේ ගිල්වීම සඳහා ඔවුන් විසින් දරන ප‍්‍රයත්නයේ පරිමාවයි.

ධනපති පාර්ලිමේන්තු නියෝජිතයන් සමග බෝපගේ ට දිගු කාලීන සම්බන්ධතාවයක් තිබේ. කොලඹ දිස්ත්‍රික්, එක්සත් ජාතික පක්ෂ (එජාප) මන්ත්‍රී හා කොලොන්නාව එජාප සංවිධායක එස්.එම්.මරික්කාර් සමග පවතින සම්බන්ධතාවය මීට මනා නිදසුනකි. රාජපක්ෂ පාලන සමයේ දී, බෝපගේ ඇතුලු පෙසප, කසල කන්දට එරෙහි ව්‍යාපාරය මෙහෙයවනු ලැබුවේ මරික්කාර් සමඟ ඒකාබද්ධවය. මෙලෙස එජාපය ප‍්‍රජාතත්ත‍්‍රවාදී බලවේගයක් යැයි පින්තාරු කිරීම මගින් වත්මන් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවට බලයට ඒමට පෙසප මඟ පෑදීය.

පෙසප, දක්ෂිනාංශික ජනතා විමුක්ති පෙරමුනෙන් (ජවිපෙ) බිඳී වෙන් වූ වද, තවමත් ඉදිරියට ගෙන යන්නේ එම පැරනි දේශපාලන උරුමයයි. ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයේ කොටසක් බවට පත්ව ඇති ජවිපෙට එරෙහිව මහජනතාව අතර, විශේෂයෙන්ම තරුනයන් හා ශිෂ්‍යයන් අතර, වර්ධනය වූ විරුද්ධත්වය ගසා කෑම සඳහා වාම පූච්චානම් පාවිච්චි කරන නමුත් ඔවුන්ගේ දේශපාලන පිලිවෙත වන්නේ ජවිපෙ පැරනි ධනපති ගැති දේශපාලන පිලිවෙතමය.

දෙවන ලෝක යුද්ධයට පසු කාල පරිච්ඡේදයේ දී කම්කරු පීඩිත ජනයා තමනට එල්ල කල අභියෝගය පීලි පැන්න වී ම සඳහා ධනපති පන්තිය විසින් සීමිත ප‍්‍රතිසංස්කරන ක‍්‍රියාත්මක කරන ලදි. පශ්චාත්-යුද කාලීන උත්පාතය තුල දී එවැනි ක‍්‍රියා මාර්ග සඳහා ධනපති පන්තිය ට හැකියාවත් තිබුනි. නමුත් අදදින වඩවඩාත් ගැඹුරු වන ධනේශ්වර ආර්ථික අර්බුදය හමුවේ, එවැන්නක් සඳහා කිසිදු ඉඩක් නැත. පශ්චාත් යුද කාලීන සමයේ කම්කරු පන්තිය හා පීඩිත මහජනයා අරගල මගින් දිනා ගත් සියලු අයිතීන් හා සමාජ සුභ සාධක සේවාවන් කපා දමා කම්කරු පන්තිය ඇට පොත්තටම සූරා කෑම අරමුනු කරගත් සමාජ ප‍්‍රතිවිප්ලවයක් අද දින ලෝක පරිමානව ක‍්‍රියාවට දමා ඇත.

පෙසප මෙසේ ධනපති ආන්ඩුව ගැන මිත්‍යාවන් පතුරවන අතරතුර සන්ධාන ආන්ඩුව ඇත්තටම කරන්නේ, එම ප‍්‍රහාරයන්ට එරෙහිව මතු වන මහජන විරෝධය, පොලීසිය සහ මිලිටරිය යොදා තලා දමමින් තම සමාජ ප‍්‍රතිවිප්ලවීය වැඩපිලිවෙල ඉදිරියටම ගෙන යාමයි. පෙසප දේශනා කරන්නේ දූෂනයෙන් හා නාස්තියෙන් තොර ධනපති ක‍්‍රමයක අවශ්‍යතාව පිලිබඳවයි. ඔවුන් නිරතුරුව පාර්ලිමේන්තුව හා එහි නියෝජිතයන් හෙලා දකින්නේ දේශපාලන සංස්ථාපිතයට තම අනුගත වීම ආවරනය කර ගැනීම සඳහා ය.

මෙය කිසිසේත්ම අහම්බයක් නොවේ. පෙසප ද කොටසක් වන ව්‍යාජ වම්මුන්ගේ ස්වරූපය එයයි. කම්කරු පන්තිය, පන්ති අරගලය හා ඓතිහාසික භෞතිකවාදය ප‍්‍රතික්ෂේප කරන මොවුන් මහජනතාව නොමඟ යැවීම සඳහා ජනප‍්‍රිය සටන් පාඨ හා ප‍්‍රජාතත්ත‍්‍රවාදී වාගාලාප පාවිච්චි කරයි. අනන්‍යතා දේශපාලනය මත තම වැඩ කටයුතු පදනම් කරන මොවුන්, කම්කරු පන්තිය දේශපාලනිකව නිරායුධ කිරීමට දැනුවත්ව වැඩ කරයි.

පෙසප සහ අනෙකුත් ව්‍යාජ-වාම සංවිධානයන්ට විපරීතව, මීතොටමුල්ල ව්‍යසනය සම්බන්ධයෙන් වත්මන් ආන්ඩුවේ සහ පැවති ආන්ඩුවල වගකීම් අනාවරනය කරමින්, විපතේ සැබෑ හේතු හෙලිකිරීම සඳහා සමාජවාදී සමානතා පක්ෂය (සසප), ස්වාධීන කම්කරු පරීක්ෂනයක් කැඳවා ඇත. මීතොටමුල්ල කසල කන්දේ ඉතිහාසය හා එයින් ජනිත කල සමාජ ආර්ථික ගැටලු, අප්‍රේල් 14 සිදුවූ කන්ද කඩාවැටීමට හේතු සාධක මෙන්ම, කම්කරු පන්තිය අනුගමනය කල යුතු විකල්ප දේශපාලන හා සමාජ වැඩපිලිවෙල ද මෙම පරීක්ෂනයේ දී විමර්ශනයට ලක් කරනවා ඇත. මෙම පරීක්ෂනයට සහාය දෙන ලෙස සසප, කම්කරුවන්, පීඩිතයන්, තරුනයන් හා බුද්ධිමතුන් ගෙන් ඉල්ලා සිටී.

Share this article: