මරුති සුසුකි බොරු නඩුව හා ජාත්‍යාන්තර කම්කරු ආරක්ෂන ව්‍යාපාරයන්හි ඉතිහාසය

The Maruti Suzuki frame-up and the history of international labor defense campaigns

ෂැනන් ජෝන්ස්, 2017 ජූලි 5

ඉන්දියාවේදී ජීවිතාන්තය තෙක් සිර ගෙට නියම වූ මරුති සුසුකි මෝටර් රථ කම්කරුවන් 13 දෙනාගේ නිදහස වෙනුවෙන් ලෝක පරිමාන ව්‍යාපාරයක් සඳහා හතරවන ජාත්‍යාන්තරයේ ජාත්‍යාන්තර කමිටුවේ (හජාජාක) කැඳවුම ධනවාදී “සාධාරනත්වයේ” වින්දිතයන් උදෙසා ජාත්‍යන්තර කම්කරුවන්ගේ සටන්වල දීර්ඝ සම්ප‍්‍රදාය මත රැඳේ.

සමාගමේ මනෙසාර් මෝටර් රථ එකලස් කිරීමේ කම්හලෙහි 2011 කෝලහාලයෙන් කලමනාකරුවෙක් මරාදැමීමෙන් පැන නැගුනු ව්‍යාජ මිනීමැරුම් චෝදනා පදනම් කර ගෙන හර්යානා ප‍්‍රාන්තයේදී බොරු නඩු ඇටවීමකින් කම්කරුවන් 13 දෙනෙක් වැරදි කරුවන් කෙරින. කම්කරුවන් 13 දෙනාගෙන් 12 ක් ම කම්හලෙහි සමාගම-ගැති පන්දම් සමිතියට එරෙහිව කම්කරුවන් විසින් පිහිටුවා ගත් මරුති සුසුකි කම්කරු සමිතියෙහි (මසුකස) නායකත්වය දැරූ අය වූහ. තවත් කම්කරුවන් 18 දෙනෙක් අඩු චෝදනා යටතේ වැරදි කරුවන් කෙරුනි.

කම්කරුවන්ට තර්ජනය කිරීමට හා බහුජාතික සමාගම් සඳහා ලාබ ශ‍්‍රම වේදිකාවක් බවට රට පරිවර්තනය කිරීමේ ඉන්දීය පාලක ප‍්‍රභූවේ උත්සාහයට විරෝධය පෑම් මර්දනය කිරීමට මෙම බොරු නඩු ඇටවීම ඉලක්ක කෙරී ඇත. ගොතන ලද සාක්ෂි, සමාගමේ නිලධාරීන්, පොලීසිය හා පැමිනිල්ල මෙහෙයෙවන්නන් අතර දුස්සංධානය හා සාක්ෂිකරුවන් පුහුනු කිරීම් ගැන විත්තියේ නීතීඥයන් විසින් සාක්ෂි ඉදිරිපත් කිරීම් තිබියදීත් ඒ ගැන නොසලකා දඬුවම් පැමිනවීම සිදුවිය. කෝලහාලයේදී මරා දැමුනු කලමනාකරු කම්කරුවන් වෙත අනුකම්පාසහගත වූ එකම කලමනාකරන නිලධාරියා වීම යන සත්‍යය හා ගොතන ලද සාක්ෂි පවා නොමැතිවීම නිසා මුලදී චෝදනා ලත් 148 දෙනාගෙන් 117 ක් නිදහස් කිරීමට විනිසුරුට බලකෙරීමත් යන සත්‍ය කාරනා විසින් නඩුවේ ව්‍යජ ප‍්‍රබන්ධ ලක්ෂන තවදුරටත් ප‍්‍රදර්ශනය විය.

සමාජවාදී කම්කරු ව්‍යාපාරයේ හොඳම සම්ප‍්‍රදාය ක‍්‍රියාවට දමමින්, මෙම කම්කරුවන් නිදහස් කර ගැනීමට සෑම රටකම කම්කරු පන්තිය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම්වල සෑම ආරක්ෂකයෙක්ම බලමුලුගැන්වීමට හජාජාක බලාපොරොත්තුවෙන් සිටී.

ජේම්ස් පී. කැනන්

1927 දී, ඇමෙරිකානු ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය නායකත්වය දීමට පෙරමුන ගත්, ජේම්ස් පී. කැනන්, එවැනි ජාත්‍යන්තර කම්කරු ආරක්ෂක ව්‍යාපාරයක් හැසිරවිය යුතු මූලධර්ම මෙසේ ලූහුඬින් දැක්වීය. “අපේ ප‍්‍රතිපත්තිය පන්ති අරගලයේ ප‍්‍රතිපත්තිය යි. එය ඇමරිකාවේ හා සමස්ත ලෝකයේ කම්කරුවන්ගේ විරෝධතා ව්‍යාපාරයන්හි ගුරුත්ව කේන්ද්‍රය වෙයි. එය කිසිසේත්ම අධිකරනයන්ගේ සාධාරනත්වය කෙරෙහි නොව මහජනතාවගේ බලය මත සිය විශ්වාසය තබයි. හැකි සියලු නීතිමය ක‍්‍රියාවන්ගෙන් උදව් ලබන අතරේ, එය උද්ඝෝෂන, ප‍්‍රචාරයන්, පෙලපාලි - ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ සංවිධානාත්මක විරෝධතා - කැඳවනු ඇත. අනෙකුත් ප‍්‍රශ්න ගැන පරස්පර අදහස් පසෙක තබා, එය මෙම දැවෙන ප‍්‍රශ්නය වෙනුවෙන් සමස්ත කම්කරුවන්ගේ එක්සත්භාවයට හා සහයෝගීතාවයට ආයාචනා කරයි.”

කම්කරු පන්ති ව්‍යාපාරයේ ඉතිහාසය පුරාම, බොරු නඩු ඇටවීම්වලට එරෙහිව සටන්කිරීමට කම්කරු පන්තිය ස්වාධීනව බලමුලූගැන්වීම සඳහා වඩා පන්ති විඥානය සහිත හා වීරෝදාර කම්කරුවන් සෑමවිටම සටන් කර තිබේ. වර්ජිත කම්කරුවන්ට, යුද-විරෝධී විරෝධතාකරුවන්ට, සිවිල් අයිතිවාසිකම් ක‍්‍රියාකාරීන්ට, සමාජවාදී ව්‍යාපාරයේ යෙදෙන්නන්ට හා ධනපති-විරෝධී මත සහිත වෙනත් ප‍්‍රකාශනයන්ට එරෙහිව තම ආයුධ සන්නද්ධ මැරයන් නිදහස් කරමින්, පන්ති අරගලයේ සෑම විද්‍යමානවීමකටම එරෙහිව මෙලස පාලක පන්තිය සාහසික හා කටුක විරෝධයක් සමග සම්මුඛ වීම, විශේෂයෙන්ම, ලෝක ධනවාදයේ හදවත වන එක්සත් ජනපදයෙහිදී සත්‍යයක් වී තිබේ.

ජාත්‍යන්තර කම්කරු ආරක්ෂාව යන සංකල්පය වසර සිය ගනනකට වඩා අතීතයකට උරුම කම් කියයි. 1891 දී දෙවන ජාත්‍යන්තරය විසින් ස්ථාපිත කල ජාත්‍යාන්තර මැයි දිනයේදී, පැය 8 ක වැඩ දිනයක් ඉල්ලා 1886 මැයි 1 දා එක්සත් ජනපදය පුරා ආරම්භ කල මහා වැඩ වර්ජනයෙන් පැන නැගුනු චිකාගෝ හි හේමාකට් සමූල ඝාතනය හා බොරු නඩු ඇටවීම, සැමරේ. මැයි 4 දා චිකාගෝ හි හේමාකට් චතුරස‍්‍රයේදී පැවැත් වූ රැුලියකට ප‍්‍රකෝපකරවන්නෙක් බෝම්බයක් එල්ල කලේය. ඊලඟ මොහොතේ පොලීසිය සෙනග වෙත විවෘත වෙඩි ප‍්‍රහාරයක් එල්ල කරන ලද අතර පසුව ඇති වූ අවුල් සහගත සටනකදී බොහෝ සිවිල් ජනයා ද සමග පොලිස් නිලධාරීන් අට දෙනෙක් ද මරා දැමින.

සිය ගනන් සංක‍්‍රමනික හා වාමාංශික කම්කරුවන් සිර ගතකරමින් හෝ අත් අඩංගුවට ගනිමින්, බෝම්බ පිපිරීමට එක්සත් ජනපද පාලක පන්තිය උමතු ප‍්‍රතිචාරයක් දැක්වීය. අවසානයේදී එම සටනට මූලිකත්වය ගත් අරාජිකවාදීන් 8 දෙනෙකුට එරෙහිව මිනීමැරුම් චෝදනා එල්ල කෙරුනු අතර හත් දෙනෙකුට මරන දඬුවම නියම කෙරින. බෝම්බ ප‍්‍රහාරයට එම මිනිසුන් සම්බන්ධ කිරීමට කිසිඳු බරපතල උත්සාහයක් නොදැරින. කම්කරු පන්තිය සංවිධානය කිරීමේ ඔවුන්ගේ අදහස් හා භූමිකාව හේතුව නිසාම ඔවුන්ට චෝදනා එල්ල කොට වරද කරුවන් කෙරින.

හේමාකට් සමූල ඝාතනයේ පින්තාරුව හාපර්ස් වීක්ලි හි මුල්වරට පලවූ අයුරු

මරනීය දන්ඩනයට නියම කල පසු, චෝදනාලද්දන්ගෙන් අයෙක් වූ, ඕගස්ට් සිපයිස්, විරෝධය පලකරමින් විනිශ්චයකාරයාට පැවසුවේ, “නමුත් ඔබ හිතනවා නම් අපව එල්ලා මැරීමෙන් ඔබට කම්කරු ව්‍යාපාරය නැතිකල හැකියි කියා - මිලියන ගනනක පීඩිතයන්ගේ, අගහිඟකමේ හා දුක්ඛිතභාවයේ වෙසෙනෙ මිලියන ගනනකගේ, වැටුප් වහලුන්ගේ, ගැලවීමේ මාර්ගය සොයන්නන්ගේ ව්‍යාපාරය - මේක ඔබේ අදහස නම්, අපව එල්ලාපන්! මෙතැන නුඹ ගිනි පුලිඟුවක උඩ නටාවි, නමුත් එහෙ හා මෙහෙ හා ඔබ පිටුපස හා ඔබ ඉදිරි පිට හා හැමතැනම ගිනි සිලූ දැල්වේවි. ඒක පොලව යට ඇති ගින්නක්. ඔබට එය නිවා දැමිය නොහැකියි. ඔබ සිට ගෙන සිටින පොලොව ඇත්තේ ගිනි ගොඩක් මතය.”

මිනිසුන්ගෙන් හතර දෙනෙක් එල්ලා මරා දමන ලද අතර තවෙකෙක් සිය දිවි හානි කර ගත්තේය. කෲර නඩු තීන්දුව හා සාහසික පාලක පන්්ති යුක්තිය, සිර ගත කරන ලද අරාජිකවාදීන් නිදහස් කර ගැනීම සාක්ෂාත් කිරීමේ ඉලක්කය සහිතව ජාත්‍යාන්තර ආරක්ෂක උත්සාහයක් නිර්මානය කිරීමට මග පෑදීය. මරා දමන ලද මිනිසුන්ගේ අවමංගලෝත්සවය සඳහා දස දහස් ගනනක් සහභාගී වූ අතර ඒ සමගම කම්කරු පන්ති සහෝදරත්වයේ ජාත්‍යාන්තර සංකේතය ලෙස මැයි දිනය පත් වූවේය.

අවසානයේ 1893 දී, චෝදනාවල බොරු නඩු ඇටවීමක ස්වභාවය පිලි ගනිමින්, ඉලිනොයිස් ආන්ඩුකාර ජෝන් පීටර් ඇල්ට්ගෙල්ඩ් ඉතිරිව සිටි විත්තිකරුවන් තිදෙනාට පූර්න සමාව ප‍්‍රදානය කලේය.

1906 දී විප්ලවවාදී සින්ඩිකේට් ඉන්ඩස්ට්‍රිල් වර්කර්ස් ඔෆ් වර්ල්ඩ් ( අයිඩබ්ලිව්ඩබ්ලිව්) හි නායකයන් තුන් දෙනා වන බිල් හේවුඞ්, චාල්ස් මෝයර් හා ජෝර්ජ් පෙටිබෝන්, ඉඩාහෝ ප‍්‍රාන්තයේ හිටපු ආන්ඩුකාරවරයා මරා දැමීම සම්බන්ධව බොරු නඩු චෝදනාවලට මුහුන දුන්හ.

1905 දී අස්ථිර හා සැක කටයුතු ප‍්‍රකෝපකරන්නෙක් වන හැරී ඔචාඞ් විසින් බෝම්බයක් ඇටවීමෙන් හිටපු ආන්ඩුකාර ෆ‍්‍රෑන්ක් ස්ටියුනෙන්බර්ග් මරා දමන ලදී. හේවුඞ්, මෝයර් හා පෙටිබෝන් චෝදනා වලට ලක් වූයේ, ඔචාඞ්ට ඔවුන්ව සම්බන්ධ වන ද්‍රව්‍යමය සාක්ෂි මත නොව, ඔවුන්ගේ සින්ඩිකල්වාදී අදහස් මත විශාල වශයෙන් පදනම් වෙමිනි.

ඔවුන්ව කොලරාඩෝ හි වෘත්තීය සමිති කාර්යාලයේදී ඉඳුරාම පැහැර ගැනුනු අතර නඩු විභාගයට ඉදිරිපත් කිරීමට ඉඩාහෝ හි බොයිස් වෙත ප‍්‍රවාහනය කෙරින.

මරා දැමීමට ආසන්නව තිබියදී අයිඩබ්ලිව්ඩබ්ලිව් නායකයන් තිදෙනා බේරා ගන්නා ලද්දේ කමකරු පන්තියේ වීරෝදාර මැදිහත් වීම මත පමනක්මය.

ඇමරිකානු සමාජවාදී පක්ෂ නායක ඉයුජින් වී. ඩෙබ්ස් විසින් පෙරමුන ගත් දැවැන්ත ජාත්‍යාන්තර ආරක්ෂක උත්සාහයක් කම්කරු සංවිධාන දියත් කලේය. විශිෂ්ට විත්තියේ නීතීඥ ක්ලැරන්ස් ඩැරොව් ගේ සහයෝගය මත මුලදීම ආරක්ෂක ව්‍යාපාරය සුරක්ෂිත කලේය. රුසියානු ලේඛක මැක්සිම් ගෝර්කි එක්සත් ජනපදයට පැමිනි අතර “රුසියාවේ කම්කරුවන්ගෙන් සුභපැතුම්” යනුවෙන් සිර ගත කල රැඳවියන්ට කේබල් පනිවිඩයක් යැවීය.

නඩු විභාගය දක්වා සති කිහිපයෙහිදී, නිව් යෝක් නගරයද ඇතුලත්ව, එක්සත් ජනපදයේ ප‍්‍රධාන නගරවල දැවැන්ත පෙලපාලි පැවතුනි. 1907 මැයි වලදී නඩු විභාගය ආරම්භ කෙරින. එහි නිගමනයේදී, ස්ටියුනෙන්බර්ග් ගේ මරනය සම්බන්ධව හේවුඞ් වැරදිකරුවෙක් නොවන බව ජූරිය තීරනය කලේය. පසුකාලීනව මෝයර් වැරදිකරුවෙක් නොවන බවට තීරනය වූ අතර පැමිනිලි පාර්ශවය පෙටිබෝන් චෝදනාවන්ගෙන් නිදහස් කලේය.

1916 දී සැන් ෆ‍්‍රැන්සිස්කෝහිදී නරඹන්නන් 10 දෙනෙකු මරා දැමුනු “සූදානම්වීමේ දිනයේ” බෝම්බ පිපිරවීම සම්බන්ධව වොරන් බිලින්ස් හා ටොම් මූනි හට බොරු නඩු පැටලවීමේ දී කම්කරු පන්තියේ ජාත්‍යන්තර බලමුලුගැන්වීම පෙන්වා දෙන්නේ තවත් උදාහරනයකි. එවකට ජනාධිපතිව සිටි වූඩ්‍රෝ විල්සන්ගේ සහයෝගය ඇතිව, දේශමාමක ලැදියාව ප‍්‍රචලිත කරන්නට ව්‍යාපාරික කන්ඩායම් විසින් දේශමාමක රැලි සංවිධානය කරන ලද අතර ඒ හරහා පසුකාලීනව එක්සත් ජනපද පලමුවන ලෝක යුද්ධයට ඇතුලූවීමට අවශ්‍ය පසුබිම සකස් කරන ලදී.

තම යුද විරෝධී අස්ථානය හා ඔහුගේ වීරෝදාර සමිති ක‍්‍රියාකාරකම් මත පදනම්ව පොලිස් නිලධාරීන් විසින් වෘත්තීය සමිති සංවිධායකයෙක් හා සමාජවාදී පක්ෂයේ නායකයෙක් වූ මූනි ව වෙන් කර ගන්නා ලදී. රැවටිලිකාර නඩු ඇසීමකට පසු එක්සත් ජනපද උසාවිය විසින් මරන දන්ඩනයට නියම කරන ලදුව, 1917 අපේ‍්‍රල් පෙට්‍රොග‍්‍රෑඞ් හි ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට දී, ව්ලඩිමීර් ලෙනින්ගේ නායකත්වයෙන් බොල්ශෙවික් පක්ෂය විසින් සංවිධානය කරන ලද රුසියානු කම්කරුවන්ගේ විරෝධතාවයක් විසින් කුලු ගැන්වුනු වැඩපිලිවෙලක් තුලින් ඔහුව මරන දඬුවමෙන් ගලවා ගන්නා ලදී. ඒ වකවානුවේදී අලූතෙන් ස්ථාපිත කල රුසියානු තාවකාලික ආන්ඩුවට සැලකිල්ල යොමු වෙමින්, විරෝධතාවයෙන් එක්සත් නපදජ ආන්ඩුව අපහසුතාවයට පත්ව, එවකට එජ ජනාධිපති වුඩ්‍රෝ විල්සන් මූනිගේ දඬුවම ජීවිතාන්තය තෙක් සිර දඬුවමකට වෙනස් කරන මෙන් කැලිෆෝනියා ආන්ඩුකාරයාගෙන් හදිසියේම ඉල්ලා සිටියේය.

බොහෝ ජාත්‍යාන්තර විරෝධතා පැවැතියේය. අවසානයේදී, 1939 දී මූනි හට සමාව පිරිනැමූ අතර අපකීර්තිමත් සැන් ක්වෙන්ටින් සිරගෙදරින් වසර 22 කට පසුව නිදහස ලැබීය. 1942 දී ඔහු ඛේදජනකව මිය ගියේය.

බොල්ශෙවික් නායකත්වයෙන් 1917 ඔක්තෝබර් හිදී විප්ලවයෙන් රුසියානු කම්කරු පන්තියේ ජයග‍්‍රහනයෙන් පසුව, පාලක පන්්තියේ යුක්තියෙන් වින්දිතයන් නිදහස් කර ගැනීමේ අරමුනු සහිතව ජාත්‍යන්තර කම්කරු ආරක්ෂක (අයිඑල්ඩී) කමිටුවක් ස්ථාපිත කිරීමට අලුතෙන් පිහිටුවා ගත් කොමියුනිස්ට් ජාත්‍යාන්තරය ආයාචනා කලේය. අපක්ෂපාතී මුහුනුවරකින්, පන්ති අරගලයේ ක‍්‍රම මත පදනම් වී ලෝකය පුරාම බොරු නඩුවලට පැටල වූ වින්දිතයන්ගේ ආරක්ෂාව සඳහා එය ආයාචනා කලේය. එජ සමාජවාදී පක්ෂයේ නායක ඉයුජින් වී ඩෙබ්ස් එහි තනතුරු හොබවන්නන්ට ඇතුලත් විය. අයිඑල්ඞී හි මුල් වසරවලදී, ඇමරිකානු කොමියුනිස්ට්වාදියෙක් හා ලෝකයේ කාර්මික කම්කරුවන්ගේ හිටපු නායකයෙක් වූ ජේම්ස් පී. කැනන්, ප‍්‍රධාන භූමිකාවක් ඉටු කලේය.

වේතන සොරකම්කිරීම හා සම්බන්ධව 1920 දී සොරකම් හා මිනීමැරුම් චෝදනා ලත්, ඉතාලි-ඇමරිකානු අරාජිකවාදීන් වූ නිකොලා සකෝගේ හා බාර්ටොලොමියෝ වැන්සෙටිගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතුකිරීම අයිඑල්ඩී විසින් පලමුවෙන්ම සිදු කල ඒවා අතුරින් එකකි. 1917 රුසියානු විප්ලවය ආරම්භයේදී, එජ පාලක පන්තිය විසින් බොල්ශෙවික්-විරෝධී හා සංක‍්‍රමනික-විරෝධී දඩයම හේතුවෙන් මෙම කාරනාව වර්ධනය විය. එය පාල්මර් වැටලීම් කරා ලූහු බැඳුනු අතර එමගින් විදේශ-උපත් සහිත කම්කරුවන් 4,000 කට වඩා කොමියුනිස්ට්වරු ලෙස චෝදනා කෙරුනු අතර රැඩිකලූන් අත්අඩංගුවට ගැනීම් හා 1,000 ක් පිටුවහල් කෙරින.

නිකොලා සකෝ හා බාර්ටොලොමියෝ වැන්සෙටි නඩුව අසන තෙක්

දෙදෙනාම වැඩ වර්ජන, දේශපාලන උද්ඝෝෂන හා යුද විරෝධී ක‍්‍රියාකාරකම්වල නියැලී තිබින. දිවුරා බොරු කී සාක්ෂි හා ගොතන ලද සාක්ෂි ඇතුලත් වූ පැමිනිල්ලේ විෂමාචාරී හැසිරීම ගැන විත්තිය චෝදනා එල්ල කලේය. මහා ව්‍යාපාර පුවත්පත්හි භයංකර විස්තර විසින් වර්ධනය කරන ලද හිතුවක්කාරී අවනීතික වාතාවරනයකදී නඩු ඇසීම සිදුවින.

සකෝ හා වැන්සෙට්ටි විදුලි පුටුවෙහි තබා මරා දැමීමට විනිසුරු තීරනය ලබා දුන් අතර, කෙසේවුවද, කම්කරුවන් විසින් ජාත්‍යන්තරව කරන ලද දැවැන්ත විරෝධතා ඝාතකයන්ගේ දෑත් වසර හතකට නවත්වා ගත්තේය.

දඬුවම්වලට එරෙහිව ලෝකය පුරා විරෝධතා ව්‍යාපාරයක් අයිඑල්ඞී සංවිධානය කලේය. ලෝකය පුරා සෑම ප‍්‍රධාන නගරයකදීම දැවැන්ත පෙලපාලි පැවැත්වීය. ටොරොන්ටෝ හි ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂකයෝ පිකට් කලහ. උරුගුවේ හි මොන්ටිවීඩියෝ හි විරෝධතා වර්ජනය නගරය පැය 24 ක් වසා දැමින. විරෝධතා වර්ජන බොස්ටන්, නිව් යෝක් නගරයේ හා එක්සත් ජනපදය පුරා වෙනත් කුඩා නගරවල ද පැවැත්විනි. නිව් යෝක් නගරයේ පමනක්, සමාජවාදී පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය විසින් සංවිධානය කරන ලද එක් දින මහා වැඩ වර්ජනයකට දස දහස් ගනන් ඇඟලූම් කම්කරුවෝ සහභාගී වූහ. තම මරනයට පෙර ඔහුගේ අවසන් ප‍්‍රසිද්ධ නිවේදනයෙහි ඩෙබ්ස් ලියූ උත්තේජනාත්මක ආයාචනයක පිටපත් දස දහස් ගනන් බෙදා හැරින.

නිව් යෝක්, බර්ලින්, ලන්ඩන්, කෝපන්හේගන්, බුවනෝස් අයර්ස්, සිඩ්නි, හෙල්සින්ෆර්ස් හා ජොහැන්නස්බර්ග් ඇතුලත්ව, ජාත්‍යාන්තර විරෝධතා මධ්‍යයේ 1927 අගෝස්තු වලදී අධිකරනය මරන දන්ඩනය ක‍්‍රියාත්මක කලේය.

ඝාතනයන් අභිමුඛ ලියමින් කැනන් මෙස් ප‍්‍රකාශ කලේය: “මහජනතාවගේ පරිකල්පනය උත්තේජනය කරන්නට වික‍්‍රමාන්විත උදාහරනයකට බලය ඇති අතර ඔවුන් තුල ධෛර්ය, සහයෝගීතාවය හා විශ්වාසය පොලඹවාලන්නට හැකි ඒවා නොමැති තැන සටන්කල නොහැකි අතර ජයග‍්‍රහනයක්ද තිබිය නොහැක. 1887 හි වීරයන් හා මේ වසරේ අගෝස්තු වේ වීරයන් වර්තමාන හා අනාගත පරම්පරා ඉදිරියේ ඉතිහාසයේ සෑම කාලයකද සෑම පන්තියකද පරම ගෞරවයේ හා පරාර්ථකාමී නිර්භීත ශ්‍රේෂ්ඨත්වයේ උදාහනරයක් සපයයි.” කැනන් ප‍්‍රකාශ කලේය.

සකෝ හා වැන්සෙට්ටි වෙනුවෙන් ජාත්‍යාන්තර ආරක්ෂක ව්‍යාපාරයක්

සකෝ හා වැන්සෙට්ටි ආරක්ෂාකිරීමේ ව්‍යාපාරය තුලින් දස ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් ඉදිරියේ ඇමරිකාවේ ධනපති යුක්තියේ සැබෑ ස්වරූපය මුලුමනින්ම හෙලිදරව් විය. ලෝකය පුරා පැවැත් වූ දැවැන්ත විරෝධතා හා දේශපාලන වර්ජන ක‍්‍රියා හරහා කම්කරුවන් මිලියන ගනනක් එක්සත් වූ ආරක්ෂක ව්‍යාපාරය ජාත්‍යාන්තර කම්කරු පන්තියේ ශක්තිමත් බලමුලුගැන්වීමක් හා වික‍්‍රමාන්විත උදාහරනයක් විය. එජ යේ ඇලබාමා ප‍්‍රාන්තයේ හිතුවක්කාර නීති ප‍්‍රචන්ඩත්වයේ කාල සීමාවේදී, දූෂනයක් සම්බන්ධව බොරු නඩු ඇටවීමකට හසුවූ අප‍්‍රිකා-ඇමරිකානු තරුනයන් වූ ස්කොට්ස්බොරෝ තරුනයන් ආරක්ෂා කිරීම ඇතුලත්, පසුකාලීන ජයග‍්‍රාහී ආරක්ෂක ව්‍යාපාරයන් සඳහා වේදිකාව සැකසීමට එය උපකාරී විය.

එක්සත් ජනපදයේදී ගුවන්ගමන් පාලකයන්ගේ වර්ජනය 1981 දී පරාජයට පත්වීමෙන් පසු කාලසීමාවේදී පාලක පන්තිය කම්කරුවන්ට බොරු නඩු පැටලවීමේ ක‍්‍රම පන පිහිටවනු පෙනින. ප‍්‍රතිවිරෝධතා මධ්‍යයේ, රාජ්‍ය මැඩලීමට හසු වූ වින්දිතයන්ට අඩුම තරමේ වාචික සහයෝගය දීමට බොහෝ අවස්ථාවලදී වෘත්තීය සමිතිවල ප‍්‍රතිසංස්කරනවාදී නායකයන් හට බල කෙරුනු මුල් කාලයට ප‍්‍රතිකූලව, එක්සත් ජනපදයේ පිරිහුනු, වැඩි වැඩියෙන් කොපරේට්වාදී වෙමින් පැවති වෘත්තීය සමිති රාජ්‍යයේ දඬු අඬුවට හසුවුනු වීරෝදාර කම්කරුවන් හෙලාදැකීමට සැමවිටම ධනවාදී මුද්‍රිත මාධ්‍ය හා අධිකරනය සමග හවුල් විය.

1980 මැද භාගයේදී, නැගෙනහිර කෙන්ටකි හී ඒටී මෙසී පතල් කම්කරුවන් හතර දෙනා; ඩොනී තෝන්ස්බරී, ඬේවිඞ් තෝන්ස්බරී, ආනෝල්ඞ් හයිට්ලන්ඞ් හා ජේම්ස් ස්මිත්; 1930 ගනන්වලදී දැවැන්ත කාර්මික සමිති පිහිටුවීමෙන් මෙපිට, වඩාත් සාහසික බොරු නඩු ඇටවීමක වින්දිතයන් වූහ. එක්සත් ජනපද අධිකරන දෙපාර්තමේන්තුව විසින් අධීක්ෂනය කෙරුනු විස්තරාත්මක බොරු නඩු ඇටවීමකින් හා වැටුප් ගෙවූ ඔත්තුකාරයන්ගේ සාක්ෂි මත පදනම්ව, ෆෙඩරල් කුමන්ත‍්‍රන චෝදනා මත එෆ්බීඅයි හා සුරා, දුම්කොල හා ගිනි අවි (බීඒටීඑෆ්) බියුරෝවේ ඒ්ජන්තයින් විසින් පතල් කම්කරුවන් අත් අඩංගුවට ගන්නා ලදී. මෙම දඩයම, ඒටී මෙසී පතල් කම්කරුවන් 2,000 ක් විසින් කරන ලද වැඩ වර්ජනය එක්සත් පතල් කම්කරු සංගමය (යූඑම්ඩබ්ලිව්) විසින් හුදකලාකිරීමේ හා පාවාදීමේ ප‍්‍රතිපලය විය.

බොරු නඩුවලට හසුවූ කෙන්ටකි පතල් කම්කරුවන් (වමේ සිට දකුනට* ඩොනී තෝන්ස්බරී, ඬේවිඞ් තෝන්ස්බරී, ආනෝල්ඞ් හයිට්ලන්ඞ් හා ජේම්ස් ඩැරල් ස්මිත්

පැමිනිල්ලට අනුව, 1985 මැයි වලදී කෙන්ටකි හි කැනඩාව අසලදී මිනිසුන් සිව්දෙනා කන්දක සිට අඟුරු කැබලි සහිත ට‍්‍රක් රථයකට විවෘත වෙඩි ප‍්‍රහාරයක් එල්ල කර තිබේ. සාක්ෂි ලෙහෙසියෙන් බිඳ දැමිය හැකි නිසා ඔවුනට මිනීමැරීමේ චෝදනා ඉදිරිපත් නොකිරීමට රාජ්‍ය බලධාරීහු කටයුතු කලහ. ඒ වෙනුවට ෆෙඩරල් අපරාධයක් සේ ගැනෙන අන්තර් ප‍්‍රාන්ත වෙලඳාමට බාධාකිරීම ගැන ඔවුනට චෝදනා ගොනු විය. 1987 වන තුරු ඔවුන්ව අත් අඩංගුවට නොගැනුනි. සෑම කම්කරු බොරු නඩු ඇටවීමකදී හමුවන එකම විදිහේ පිරිහුනු සමාජ අවයව වන හොරිකඩයන්, තෑගි වෙනුවෙන් අපරාධකරුවන් අල්ලන්නන්, හා බොරු දිවුරන්නන් වැනි සාක්ෂිකරුවන්ගෙන් පැමිනිල්ල සමන්විත විය. වෙඩි තැබීමට එම මිනිසුන් අතර සම්බන්ධය ගැන කිසිදු ද්‍රව්‍යමය සාක්ෂි නොතිබුන අතර බොහෝ දෙනෙකුට එතැන නොසිටි බවට ස්ථිර සාක්ෂි තිබුනේය. වෙඩි තැබීම ඇත්තටම සිදු කල පුද්ගලයා හැටියට චෝදනා ලත් පස්වැනි පතල් කම්කරුවා වන පෝල් ස්මිත් වෙනත් නඩු ඇසීමක දී ජූරිය විසින් නිදොස් බවට සොයා ගනු ලැබින. මෙසේ වුවත්, පතල් කර්මාන්තවලින් පිටස්තර කලාපයක සිදුකල නඩු ඇසීමකදී අතිප‍්‍රමුඛ ලෙස මධ්‍යම පන්තික ජූරියක් විසින් හතර දෙනාම වැරදිකරුවන් කෙරුනි. එවර නඩුකාරයා වසර 35-40 තෙක් උපරිම සිර දඬුවම් කාලය නියම කලේය.

පතල් කම්කරුවන් ආරක්ෂාකරමින් නිවේදනයක් නිකුත් කිරීම ප‍්‍රතික්ෂේප කල යූඒඩබ්ලිව්, ඊලඟ මොහොතේ, ගහෙන් වැටුනු මිනිසාට ගොනා ඇන්නා සේ, දඬුවම් නියම කිරීම අනුව යමින් ඔවුන්ගේ පවුල් වෙත වෘත්තීය සමිතිය විසින් ගෙවන වැටුප් කපා හැරියේය. නිල කම්කරු ව්‍යාපාරයෙන් ඔවුන්ගේ හුදකලාවීමේ ප‍්‍රතිපලයක් ලෙස, ගල් අඟුරු බිම් පුරා වීරෝදාර කම්කරුවන්ගේ කෝපය හා විරෝධය තිබියදී, හතරදෙනාට තම සිර දඬුවම් විඳීමට බල කෙරුනි. මේ කාරනාව මත යූඒඩබ්ලිව් හි නිෂ්ශබ්දතාවය ගල් අඟුරු සමාගම් විසින් කෙරුනු ප‍්‍රකෝපකාරීත්වයන් තවදුරටත් ධෛර්යමත් කෙරුනු අතර, 1990 දී, බටහිර වර්ජිනියා හි තවත් ඒටී මෙසී පතල් කම්කරුවෙක් වූ ජෝන් මැක්කෝයි වෙඩි තබා මරා දැමීමෙන් එය උච්චස්ථානයට පත් විය. මරනයට වග කිව යුතු සමාගමේ මැරවරයන් කිසිදා අත් අඩංගුවට නොගැනින.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා එහි ඇමෙරිකානු ඒකකය, වර්කර්ස් ලීගය, සමාජවාදී සමානතා පක්ෂයේ පෙරගමන්කරු, බොරු නඩු ඇට වූ ඒටී මෙසී පතල් කම්කරුවන් නිදහස් කර ගැනීම සඳහා කම්කරු පන්තිය පුරාම කටයුතු කරමින්, ඔවුන්ගේ නිදහස වෙනුවෙන් අධිෂ්ඨාන සහගත ව්‍යාපාරයක් දියත් කලේය. යූඒඩබ්ලිව් නිලධාරීන් විසින් කල ශාරීරික තර්ජන නොතකා හරිමින් වර්කර්ස් ලීගය කෙන්ටකි හා බටහිර වර්ජිනියා වල පතල් බිම්වලදී ගල් අඟුරු පතල් කම්කරුවන් හා අනෙකුත් කම්කරුවන් වෙත තම ව්‍යාපාරය ගෙන ගියේය.

පිකට් වැටේ මරනය: ජෝන් මැක්කෝයිගේ කතාව

මේ කාලසීමාව තුල, බටහිර වර්ජිනියාවේ මිල්බර්න් කොලියර්ස්ට එරෙහිව පැවැත් වූ වර්ජනයකට සම්බන්ධව උගුලකට හසුකර ගැනීමේ වැඩපිලිවෙලක වින්දිතයෙක් වූ පෝල් මෙසී නිදහස් කර ගැනීමේදී වර්කර්ස් ලීගය ප‍්‍රධාන භූමිකාවක් ඉටු කලේය. ඔහුව නිදහස් කිරීම ඉල්ලා වර්කර්ස් ලීගයේ පෙත්සම දහස් ගනන් පතල් කම්කරුවන් අත්සන් කල පසු මෙසී නිදහස් වුන අතර බොරු නඩු ඇටවීම පක්ෂය විසින් අනාවරනය කරනු ලැබීම, චෝදනා ලද බෝම්බ කුමන්ත‍්‍රනයේ මෙසීගේ සහකරුවා යැයි කියනු ලබන පුද්ගලයා ඇත්තෙන්ම ප‍්‍රකෝපකරන්නෙක් හා බීඒටීඑෆ් ඔත්තුකරුවෙක් බව පෙන්වාදෙන්නට මෙසී ගේ විත්තියේ නීතීඥයා හට හැකියාව ලබා දුනි.

අද දින, පන්ති අරගලය වෙන කවරදාටත් වඩා ගෝලීයව එකිනෙකට සම්බන්ධය. මරුති සුසුකි කම්කරුවන්ට හිංසා කිරීම සෑම රටකම කම්කරුවන්ට එරෙහිව පන්ති යුද්ධය කෙරී ගෙන යන බවට උච්ච අවස්ථාවක් වේ. ඉන්දියාවේ ලාභ ශ‍්‍රම වෙලඳපොල සපයන රෙජීමයට එරෙහිව මෙම කම්කරුවන් එල්ල කරන අභියෝගය එක්සත් ජනපදයේ, ජර්මනියේ, ජපානයේ හා ලෝකය පුරාම කම්කරුවන් වෙත කෙරෙන සයිරන් නාදයකි.

මරුති සුසුකි කම්කරුවන්ගේ නිදහස ජයග‍්‍රහනය කල හැක්කේ ධනවාදී අධිකරන මත හෝ වඩා අඩුවෙන් ¥ෂිත, සමාගම්-ගැති හා ජාතිකවාදී වෘත්තීය සමිති මත බලාපොරොත්තු තැබීමෙන් නොව ජාත්‍යාන්තර කම්කරු පන්තියේ ශක්තිය බලමුලුගැන්වීමෙන් පමනක් මය. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ජාත්‍යන්තර කම්කරු ආරක්ෂාවේ ශක්තිමත් සම්ප‍්‍රදාය නැවත ප‍්‍රානවත් කිරීමට බලාපොරොත්තු වන්නේ මේ ජීව ගුනය මතය.

Share this article: