ගැඹුරුවන වෙනිසියුලානු අර්බුදය මධ්‍යයේ (එක්සත් ජනපද) උප ජනාධිපති පෙන්ස් ලතින් ඇමරිකාවේ සංචාරය කර යි

Vice President Pence visits Latin America amid deepening Venezuelan crisis

ඇන්ඩ්‍රියා ලොබෝ, 2017 අගෝස්තු 22

වෙනිසියුලාව හා එක්සත් ජනපදය තුල තීව‍්‍ර වන දේශපාලන අර්බුද මධ්‍යයේ, ට‍්‍රම්ප් පාලනාධිකාරිය කලාපය තුල මිලිටරි බලය පාවිච්චි කිරීම ඉවත දමා නැති බව පැහදිලි කරමින්, එක්සත් ජනපද උප ජනාධිපති මයිකල් පෙන්ස් පසු ගිය සතියේ දකුනු ඇමරිකාවෙහි සංචාරය කලේ ය. ඔහුගේ ප‍්‍රසිද්ධ ප‍්‍රකාශ එල්ල කෙරුනේ, සමාජ විරෝධයට මෙන් ම බාහිර-මහාද්වීපක බලවතුන්ගේ, ප‍්‍රධාන වශයෙන් ම චීනය හා රුසියාවේ, වැඩෙන බලපෑමට එරෙහිව, අර්ධගෝලය හා ලෝකය පුරා එක්සත් ජනපද ආධිපත්‍යය ආරක්ෂා කිරීමේ දී මොන්රෝ ප‍්‍රවාදය(1) යලි තහවුරු කිරීම වෙතට ය. ඔහු පලමුව අගෝස්තු 13වැනිදා කොලොම්බියාවේ නැවතුනේ, අසල්වැසි වෙනිසියුලාවේ මදුරෝගේ ආන්ඩුවට එරෙහිව ට‍්‍රම්ප් “මිලිටරි විකල්පයක්” යොදා ගන්නා බවට තර්ජනය කිරීමෙන් යන්තම් දින දෙකකට පසු ය. ලතින් ඇමරිකානු නායකයින් අතර මිලිටරි මැදිහත්වීම කෙරෙහි ඒකමතික විරුද්ධත්වය පල කිරීමට ප‍්‍රතිචාර වශයෙන්, “සාමකාමී” විසඳුමකට මනාප බව පෙන්ස් සඳහන් කලේ ය. “මම මෙහි සිටින්නේ වෙනිසුවෙලාව හුදකලා කිරීම සඳහා පෙර නො වූ විරූ සන්ධානයක් ගොඩනැගීමට” බව ඔහු ප‍්‍රකාශ කල නමුත්, “සියලු විකල්ප සාකච්ඡා කෙරෙන” බව අවධාරනය කලේ ය.

වෙනිසියුලාවේ එක්සත් සමාජවාදී පක්ෂ (පීඑස්යූවී) ආන්ඩුව, එක්සත් ජනපද තර්ජන හා සම්බාධකවලට ප‍්‍රතිචාර දක්වා ඇත්තේ, තම නව ව්‍යවස්ථාදායක සභාව තුල බලය සංකේන්ද්‍රනය කිරීම මගිනි. ගෙවී ගිය සතියේ, තමන්ට ම සම්පූර්න ව්‍යවස්ථාදයක බලය ප‍්‍රදානය කර ගනිමින් පීඑස්යූවී පාලක මන්ඩලය, එක්සත් ජනපදය අනුබල දුන් විරුද්ධත්වය නිල වශයෙන් ප‍්‍රතික්ෂේප කලේය.

එක්සත් ජනපද මැදිහත්වීමටත් වඩා පීඑස්යූවීයේ උත්සුකය වන්නේ, සමාජ කැලඹීම් හා කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් පැනනැගීමේ හැකියාවයි. එයට ප‍්‍රතිචාර වශයෙන්, “වෛරය හා නො ඉවසීම” පිලිබඳ අපැහැදිලි අරමුනක් ඉදිරිපත් කරමින් සියලු විරුද්ධත්වයන් ගැන “සොයා බැලීමට හා නඩු දැමීමට,” ව්‍යවස්ථාදායක සභාව “සත්‍ය කොමිසමක්” පිහිටුවා ඇත.

දකුනු ඇමරිකාව තුල පෙන්ස්ගේ ප‍්‍රකාශන බියකරු අනතුරු ඇඟවීකින් සමන්විත ය. උතුරු කොරියානු ජනතාවට එරෙහිව එක්සත් ජනපද න්‍යෂ්ටික සංහාරයක තර්ජනය පෙන්නුම් කරන පරිදි, තම උත්සුකයන් හඹා යාමේ දී පූර්ව සම්මතයන් මගින් වොෂින්ටනය අසීරුතාවයට පත් නොවෙනු ඇති අතර එක්සත් ජනපදයට සම්පූර්නයෙන් අවනත වන්නා වූ ද චීන හා රුසියානු ප‍්‍රාග්ධනයට හතුරු වන්නා වූ ද තන්ත‍්‍රයක් ඇටවීමට එය වෙනත් මගක් නො දකින්නේ නම්, ලතින් ඇමරිකානු ආන්ඩුවල විරුද්ධත්වය නො තකා එය “මිලිටරි විකල්පයක්” තෝරා ගනු ඇත.

පසු ගියදා පෙන්ස්, මෙම වසර මුල දී චීනයට පක්ෂව තායිවානය සමග රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා බිඳ දැමූ පැනමාවට ගියේ ය. පෙන්ස් ට‍්‍රම්ප්ගේ “දැක්ම, ශක්තිය, කල-හැකි යි යන ජීව ගුනය”, “අර්ධගෝලය පුරා අපගේ මුතුන්මිත්තන්ගේ දැක්ම යලි දැල්වීමට” පොරොන්දු වුන තියොඩොර් රූස්වෙල්ට්ගේ එවන් ගුනයන්ට සමාන කලේ ය.

එක්සත් ජනපද පාලක පන්තියේ අරමුනු සමග ගැටෙන, ලතින් ඇමරිකාව තුල තම ප‍්‍රධාන තරඟකරුවන්ගේ වැඩෙන වෙලඳ හා ආයෝජන ක්‍රියාවලියට අභියෝග කිරීම පමනක් නොව, වොෂින්ටනයේ ග‍්‍රහනය තද කිරීම මෙන් ම කලාපයේ ශ‍්‍රමබලකාය හා සම්පත් මත එක්සත් ජනපද සූරාකෑම තීව්‍ර කිරීම ද පෙන්ස්ගේ පනිවුඩයට ඇතුලත්ය.

20වැනි සියවස හා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ආරම්භය අතරතුර, ගෝලීය බලවතෙකු ලෙස තම තැන රැක ගැනීමට, ලතින් ඇමරිකාවේ යුරෝපීය පාලනය අතු ගා දැමීම හා එක්සත් ජනපද ප‍්‍රාග්ධනය මගින් කලාපයේ අර්ධ-යටත්විජිත සූරා කෑමට පලවූ සියලු දේශපාලනික හා සමාජ විරුද්ධත්වයන් මැඩලීම මගින් එක්සත් ජනපදය, මොන්රෝ ප‍්‍රවාදය තහවුරු කල යුතු ව තිබුන බව රූස්වෙල්ට් අවධාරනය කලේ ය. 1901 සිට 1909 දක්වා රූස්වෙල්ට් පාලනාධිකාරය, ලේවැකි එක්සත් ජනපද මර්දනය ආරම්භ කරමින්, (පැනමා) ඇල ඉදි කිරීම වටා පැනමාව, එමෙන් ම කියුබාව, හොන්ඩ්‍යුරාස්, ඩොමිනිකානු සමූහාන්ඩුව හා නිකරගුවාවේ නාවික මැදිහත්වීම් අධීක්ෂනය කලේ ය.

ජූනි 22වැනිදා විල්සන් කේන්ද්‍රයේ දී සිය දකුනු ඇමරිකානු සංචාරය නිවේදනය කරමින් පෙන්ස්, උතුරු ත්‍රිකෝනයේ (ගෝතමාලා, හොන්ඩ්‍යුරාස් හා එල් සැල්වඩොර් යන රටවල් අයත් කලාපය) සෞභාග්‍ය සඳහා ඔබාමා යුගයේ ඇතිකරගෙන තිබෙන සන්ධානයේ කොටසක් ලෙස, ලතින් ඇමරිකාව මත මිලිටරි හා ආර්ථික ග‍්‍රහනය දැඩි කිරීමේ එක්සත් ජනපද උත්සාහයේ රාමුව තුල එය පිහිටුවී ය. “අපගේ ලෝකය වටා වර්ධනය වෙමින් තිබෙන අක‍්‍රමවත් තර්ජනය පුලුල් වෙමින් තිබෙනවා දකිත් ම, මධ්‍යම හා දකුනු ඇමරිකාව බලා ගැනීමට අප වඩාත් සමීපව කටයුතු කල යුතුව ඇති” බව ඔහු පැවසී ය.

“මෙම ලතින් ඇමරිකාවට හැරීමේ” කොටසක් ලෙස එක්සත් ජනපදය හඹා යනු ඇති දැනුවත් ව්‍යායාමය, පෙන්ස් සාරාංශ කලේ ය. පැනමාවේ දී කතා කරමින්, ට‍්‍රම්ප් පාලනාධිකාරය, එක්සත් ජනපද-ලතින් ඇමරිකානු ආර්ථික සම්බන්ධතාවල සැබෑ විභවය “මුදා හැරීමට” බලාපොරොත්තු වන බව ඔහු පැවසුවේ, මේ වන විටත් “මෙම අර්ධගෝලය පුරා රටවල් ඔවුන්ගේ ආර්ථිකයන් මුදවා ගැනීමට පුලූල් සංශෝධන නීති පනවමින් සිටින” බව අඟවමිනි.

මෙම තේමාව වඩාත් පූර්න ලෙස ප‍්‍රකාශ කෙරුනේ, එක්සත් ජනපද උප ජනාධිපති අඟහරුවාදා ආර්ජන්ටිනාවට ගිය අවස්ථාවේ දී ය. දක්ෂිනාංශික ජනාධිපති මොරිසියෝ මක්රිගේ සමාජ වියදම් කප්පාදු කිරීම හා ප‍්‍රචන්ඩ ලෙස රැකියාවලට පහර දීමේ “නිර්භීත ප‍්‍රතිසංස්කරන න්‍යායපත‍්‍රයට” මෙන් ම ”වඩා පුලුල් ලෝකය හරහා ආවේශයක්” ලෙස ඉහල පොලී බැඳුම්කර සමග අමු කෑදර මූල්‍ය පරපුටුකම පෝෂනය කිරීමට ද පෙන්ස් ප‍්‍රශංසා කලේ ය.

මැක්රිගේ ඊ ලඟ විශාල පියවර වන්නේ, ඒකාබද්ධ ගිවිසුම් පමනක් නොව පැය 8 වැඩ දිනය වැනි මූලික අයිතීන්ට පවා පහර දෙන, බ‍්‍රසීලයේ වැනි කම්කරු“සංශෝධන” සම්මත කර ගැනීම යි. ප‍්‍රබල එක්සත් ජනපද බුද්ධි මන්ඩලයක් වන ස්ට‍්‍රැට්ෆෝ පසු ගිය සතියේ ලිපියක ප‍්‍රශංසා මුඛයෙන් වාර්තා කලේ, “කෙටියෙන් කියතොත්, බ‍්‍රසීලියානු නීති, මර්කෝසර් සාමාජිකයින්ට ද (බ‍්‍රසීල, ආර්ජන්ටීනා, උරුගුවේ හා පැරගුවේ යන රටවල වෙලඳ එකමුතුවකි) ඒ ආකාරයේ ම නීති ක්‍රියාත්මක කිරීමට බල කරනු ඇති” බව යි.

කලාපය පුරා කම්කරු පන්තියේ සමාජ කොන්දේසි වලට එරෙහි ව්‍යායාමය අන්තයටම සවිබල ගැන්වීම සඳහා, “ඇමරිකාව පලමුව යනු ඇමරිකාව පමනක් යනුවෙන් අර්ථ ගැන්වෙන්නේ නැතැ” යි පෙන්ස් පොරොන්දු විය. තෝරා ගැනීම් සහිතව මෙම වැකි කඩ යොදා ගනිමින් (පසු ගිය මාසයේ යුරෝපයේ එක්සත් ජනපද සහචරයන්ගෙන් හා දැන් ලතින් ඇමරිකානු සංචාරයේ දී) ඔහු තම හවුල්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ, තම ආර්ථික හා මිලිටරි තරඟකරුවන්ට එරෙහිව එක්සත් ජනපදය සමග එක්වන ලෙස යි.

වර්ජීනියා ප‍්‍රාන්තයේ චාලොට්ස්විල් හි සුදු ස්වොත්තමවාදී හා නාසි පෙලපාලිකරුවන් අතර “යහපත් මිනිසුන්” වෙනුවෙන් ඩොනල්ඩ් ට‍්‍රම්ප් ඔහුගේ සහයෝගය ප‍්‍රකාශ කල දිනට පසු දින චිලී රටේ දී, ඔහු ට‍්‍රම්ප්ගේ අදහස් දැක්වීම් සමග එකඟ වන්නේ දැ යි පෙන්ස්ගෙන් අසන ලදී. නිශ්ශබ්ද අපහසු තත්පර කීපයකට හා “ඛේදවාචකය” සම්බන්ධයෙන් ඇතැම් කුහක කථා වලට පසු, “මම ජනාධිපතිට සහයෝගය දක්වමි, මම එම වචන වෙනුවෙන් පෙනී සිටිමි” යි ඔහු කීවේ ය.

මාස හතක තම පාලන කාලයේ දී, ට‍්‍රම්ප් පාලනාධිකාරය මහාද්වීපය පුරා ද ජාත්‍යන්තරව ද කම්කරුවන්ගේ සමාජ අයිතීන්ට එරෙහි ප‍්‍රහාරය විශාල වශයෙන් උග‍්‍ර කර ඇති අතර, සෑම තැන ම වැඩෙන සමාජ විරෝධයකට මුහන දෙමින් සිටී. චිලී හි දී ට‍්‍රම්ප් වෙනුවෙන් පෙන්ස්ගේ සමාව දිය නො හැකි සහාය මෙන් ම එක්සත් ජනපදය තුල ෆැසිස්ට්වාදී ව්‍යාපාරයක් පෝෂනය කිරීමට වන ට‍්‍රම්ප්ගේ උත්සාහයට කලාපීය නායකයින්ගේ මොන යම් හෝ විවේචනයක් නැතිකම ප‍්‍රදර්ශනය කරන්නේ, උතුරු දකුනු ඇමරිකාව සිසාරා සමාජ උත්සුකයන් වෙනුවෙන් නැගී සිටින කම්කරුවන් ප‍්‍රචන්ඩ ලෙස මර්දනය කිරීමට සැලැසුම් දැනටමත් සැකසෙමින් තිබෙන බව යි.

මෙම දිග්ගැස්සෙන ප‍්‍රහාරය සමග මූල්‍ය හා සංගත කතිපයාධිකාරය ඉල්ලා සිටින්නේ, වැටුප් හා රැකියා, සෞඛ්‍ය හා අධ්‍යාපන වැනි සමාජ වැඩසටහන් කප්පාදු, විශාල ලෙස සංක‍්‍රමනිකයන් වැටලීම හා කලාපය පුරා දේශසීමා හා නගර මිලිටරීකරනය කිරීම යි. තව ද, සමස්තයක් ලෙස විදේශ ප‍්‍රතිපත්ති හා මිලිටරි සංස්ථාපිතය ලතින් ඇමරිකාව වෙතට තවත් නින්දිත හැරීමක් ගනිමින් සිටී.

මූලෝපායික හා ජාත්‍යන්තර අධ්‍යයන කේන්ද්‍රයේ (සීඑස්අයිඑස්) ඇමරිකානු වැඩසටහන් අධ්‍යක්ෂ මොයිසෙස් රෙන්ඩන්, බ‍්‍රහස්පතින්දා ලිපියක, පෙන්ස් ගේ දකුනු ඇමරිකානු සංචාරයට ප‍්‍රශංසා කලේ ය. වෙනිසියුලාව තුල මිලිටරිමය වශයෙන් මැදිහත්වීමට, ඉරාකය, සිරියාව, හා ලිබියාව තුල මිනීමරු තන්ත‍්‍ර-වෙනස් කිරීමේ මෙහෙයුම් සඳහා යොදා ගැනුනු කඩතුරාව ම යොදා ගත යුතු බව ඔහු යෝජනා කලේ ය: එනම් “එක්සත් ජනපද උත්සුකයන් සමග හවුල් නොවන රටවල් සමග ආයුධ වෙලඳාම හා න්‍යෂ්ටික සහයෝගතාව ගොඩනගා ගැනීමට” වෙනිසියුලාව දක්වනවා යයි කියන කැමත්ත ගැන සඳහන් කරමින් “ජනඝාතක අවි ගොඩනැගීම” පිලිබඳ තුච්ඡ කඩතුරාව යොදා ගැනීම ගැන ඔහු පැවසීය.

මැද පෙරදිග සිදුව ඇතිවාක් මෙන්ම වෙනිසියුලාව තුල එවැනි යුද්ධයක්, රට තුල මෙන් ම කලාපය පුරා වේගවත් ලෙස සමාජ ව්‍යසනය හා සංක‍්‍රමනික අර්බුදයක් නිර්මානය කරනවා ඇත. එසේ නමුත්, සීඑස්අයිඑස් අවධාරනය කරන්නේ පෙන්ස් හා ආන්ඩුව තමන්ගේ දෑස් ත්‍යාගය වෙත යොමු කල යුතු බව යි: “ලෝකයේ විශාල ම ප‍්‍රත්‍යක්ෂ තෙල් සංචිතය (ගෝලීය සංචිතයෙන් සියයට25ක්) සමග ඇමරිකානු විරෝධී වෙනිසියුලාවෙන් එන වඩා පුලුල් මූලෝපායික තර්ජනයක් නො සලකා හැරිය නො හැක.”

ට‍්‍රම්ප් ඔහුගේ මාන්ඩලික ප‍්‍රධානීයා ලෙස, මධ්‍යම හා දකුනු ඇමරිකාවේ මිලිටරි මෙහෙයුම් අධීක්ෂනය කරන දකුනු බලඇනියේ (SOUTHCOM) ඔබාමාගේ ප‍්‍රධානීයා වූ, හිටපු මැරීන් ජනරාල් ජෝන් කෙලී පත් කිරීම පෙන්නුම් කරන්නේ, දේශීය සමාජ ප‍්‍රතිගාමිත්වය හා මිලිටරීකරනය අර්ධගෝලය පුරා ඒ සමාන ප‍්‍රතිපත්ති සමග කිට්ටුවෙන් ඒකාබද්ධ කෙරෙනු ඇති බව යි.

වාර්තා වන පරිදි ස්ටීවන් බෙනන් සමග ගැටුම් හේතුවෙන් දොට්ට දැමුනු, බටහිර අර්ධගෝලීය කටයුතු පිලිබඳ ට‍්‍රම්ප්ගේ හිටපු අධ්‍යක්ෂ ක්‍රෙග් ඩෙයා, චාර්ටින් අ කෝස් නම් ඔහුගේ මෑත පොත තුල තර්ක කරන්නේ, අර්ධගෝලීය ප‍්‍රතිපත්ති මෙම ඒකාබද්ධ වීම වෙත එල්ල විය යුතු බව යි. මෙහි අර්ථය කුමක් දැ යි පැහැදිලි කිරීමට ඔහු හිටපු දකුනු බලඇනි හා නේටෝ අනදෙන නිලධාරී, අද්මිරාල් ජේම්ස් ස්ටාව්රිඩිස් උපුටා දක්ව යි: “දකුනු බල ඇනිය හා උතුරු බලඇනිය තනි ඇමරිකානු බලඇනියක් තුලට එක්කරනු. දකුනු බලඇනියෙන් මෙක්සිකෝව කෘතිම ලෙස බෙදීම, ලතින් ඇමරිකාව හා කැරීබියන් කලාපය පුරා අපගේ එක්සත් අරමුනට හානිකරයි.”

(සටහන්: (1) මොන්රෝ ප‍්‍රවාදය: මොන්රෝ ප‍්‍රවාදය යනු, ඇමරිකා මහාද්වීප තුල යුරෝපීය යටත්විජිතවාදයට එරෙහිව එක්සත් ජනපදය 1823දී අරඹන ලද ප‍්‍රතිපත්තිය යි. උතුරු හෝ දකුනු ඇමරිකාවේ කිසියම් හෝ ස්වාධීන රාජ්‍යයක පාලනය ගැනීමට යුරෝපීය ජාතීන් තවදුරටත් උත්සාහ ගැනීම “එක්සත් ජනපදයට හතුරු ප‍්‍රවනතාවක ප‍්‍රකාශනයක්” ලෙස සලකනු ඇතැ යි එය ප‍්‍රකාශ කලේ ය. ප‍්‍රවාදය 1823 දෙසැම්බර් 2වැනිදා නිකුත් කෙරුනේ ස්පාඤ්ඤය හා පෘතුගාලයේ සියලු දකුනු ඇමරිකානු යටත්විජිත නිදහස අත් කර ගෙන හෝ එය ලබා ගැනීමේ අවස්ථාවක සිටි විට දී ය. එවකට එක්සත් ජනපද ජනාධිපති ජේම්ස් මොන්රෝ පලමුව එය පක්ෂයට පත් කල බැවින් එය මොන්රෝ ප‍්‍රවාදය යයි නම් කෙරුනි.)

Share this article: