එක්සත් ජනපදයේ ෆැසිස්ට් ප‍්‍රචන්ඩත්වයේ දේශපාලන හා සමාජ මූලයන්

The political and social roots of fascist violence in the US

2017 අගෝස්තු 15

සති අන්තයේ වර්ජිනියා ප‍්‍රාන්තයේ චාලොට්ස්විල් නගරයේ දී නාසි ප‍්‍රචන්ඩත්වය පුපුරා යාම එක්සත් ජනපදයේ හා ලෝකය පුරා මිලියන සංඛ්‍යාත ජනයා කම්පනය කරන්නක් බවට පත්ව තිබේ. 32 හැවිරිදි හෙදර් හේයර්ගේ කුරිරු ඝාතනය හා ප‍්‍රති විරෝධතාකරුවන්ට පහර දීමේ නාසි හිතවාදී සුදු-වර්ගෝත්තමවාදීන්ගේ ප‍්‍රතිරූප මගින් ඇමරිකානු සමාජයේ දේශපාලනික සහ සමාජයීයව ගඳ ගසන තත්වය හෙලිදරව් කර තිබේ. නාසි මැරයන් විශ්ව විද්‍යාල නගරයකට කඩා වැදී ශිෂ්‍යයන් හා අනෙකුත් නිවැසියන් ත‍්‍රස්ත කරන අතරතුර දත් විරිත්තමින් සිටගෙන සිටි පොලිස් නිලධාරියා ප‍්‍රහාරකයන් වෙත ඔවුන්ගේ දිරිගැන්වීමේ ඉඟි පල කලේය. ලෝකයට සදාචාරය දේශනා කරමින් තමන් නීතිය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ස්ථාවරභාවයේ ප‍්‍රදීපය යැයි කියනු ලබන රටක පල්ල බිඳී යමින් ඇත්තේ එසේ ය.

චාලොට්ස්විල්හි සිදුවීම් පිලිබඳව මිලියන සංඛ්‍යාත සාමාන්‍ය ජනතාවගේ ගැඹුරු වෛරය හා ඩිමොක‍්‍රටික් හා රිපබ්ලිකන් පක්ෂවල දේශපාලනඥයින්ගේ සහ මාධ්‍ය සංගතයන්ගේ රූපික අත මිරිකීම් හා ප‍්‍රචන්ඩත්වය පිලිබඳ කුහක හෙලා දැකීම් අතර අතිවිශාල වෙනසක් තිබේ. ඔවුන්ගේ ප‍්‍රකාශ තුලින් කෛරාටිකත්වයේ දුගඳ විහිදේ. චාලොට්ස්විල්හි ප‍්‍රචන්ඩත්වය පිලිබඳ ඔවුන්ගේ නාම මාත‍්‍ර හෙලා දැකීම්, එම පැන නැගීම පිටුපස ඇති සමාජ හා දේශපාලන කොන්දේසි පිලිබඳ කිසිදු බැරෑරුම් පරීක්ෂනයකින් තොර ය.

ඩිමොක‍්‍රටික් පක්ෂය වෙනුවෙන් සාමාන්‍යයෙන් කතා කරන නිව්යෝර්ක් ටයිම්ස්හි සඳුදා කතුවැකියද (“වෛරය, ඔහු කතා නොකිරීමට සාහසික වේ”) එසේම විය. ප‍්‍රචන්ඩත්වයට වගකිව යුතු සුදු ස්වෝත්තමවාදී කන්ඩායම් හෙලා දැකීමට ට‍්‍රම්ප්ට නොහැකි වීම ගැන කර්තෘවරු විවේචනයට ලක් කොට ඇත. ට‍්‍රම්ප් “තමාට සේවය කිරීම සඳහා අගතිගාමී සහ නොඉවසීමේ යක්ෂයන් කැඳවීමට තමන් තුල ඇති කැමැත්ත අනුව නූතන ජනාධිපති ඉතිහාසයේ තනිව සිටියි,” යනුවෙන් ඔවුන් ප‍්‍රකාශ කර ඇත. සුදු ජාතික ස්වෝත්තමවාදීන්ගේ එල්ලී සිටින ජනාධිපතිවරයා, “තම කඩාවැටෙන ජනාධිපති ධුරය ගලවා ගැනීමේ අපේක්ෂා භංගත්වයේ” සිටින බව කතුවරු ඊට එකතු කොට ඇත.

ටයිම්ස් ඉන් අදහස් කරන්නේ, ට‍්‍රම්ප් සඳහා නොවේ නම්, සහෝදරත්වයේ ආදරනීය ගීතිකා ඇමරිකාවේ වීදි පුරා රැව්පිලිරැව් දෙනු ඇත. එහෙත් “දුෂ්ට ට‍්‍රම්ප්” අර්ථ නිරූපනයේ ඉතිහාසය කිසිවක් පහදා දෙන්නේ නැත. චාලොට්ස්විල්හි හි ප‍්‍රචන්ඩත්වය මෙන් ම ධවල මන්දිරයේ උද්ධච්ඡ මැරයා ද, ගැඹුරු හා නොහික්මුනු අර්බුදයක රෝග ලක්ෂනයකි.

දේශපාලන හා සමාජ සංසිද්ධියක් ලෙස ෆැසිස්ට්වාදය අතිශයින් අර්බුදග‍්‍රස්ත ධනවාදයේ නිෂ්පාදනයක් වේ. 1932 දී ජර්මනියේ නාසි ව්‍යාපාරය නැගීම පිලිබඳ විශ්ලේෂනය තුල දී, පාලක පන්තිය ෆැසිස්ට්වාදයට හැරීම ට්‍රොට්ස්කි පැහැදිලි කලේ මෙසේ ය; “තත්වය ‘සාමාන්‍ය’ වන විට පොලිස් හා මිලිටරි උපකරන සමග ඔවුන්ගේ ධනපති ආඥාදායකත්වයේ පාර්ලිමේන්තු තිරයට මුවාවී සිට, සමතුලිත තත්වයක තව දුරටත් සමාජය පවත්වාගෙන යා නොහැකි විට දී... ෆැසිස්ට් ඒජන්සි හරහා, කුපිතවූ සුලු ධනේශ්වරය හා දිරිසුන් අපන්තික ලුම්පන් නිර්ධන කන්ඩායම් චලනය කිරීමට යොමු වන ධනවාදය - මුලු මහත් මනුෂ්‍ය වර්ගයාම මුල්‍ය ප‍්‍රාග්ධනයේ වියරු සහ මංමුලා සහගතභාවයට ඇද දමනු ලබයි.” ( “ඊලඟට කුමක් ද? ජර්මානු කම්කරු පන්තියට ඇති ඉතා වැදගත් ප‍්‍රශ්නය”)

ෆැසිස්ට්වාදය තවමත් එක්සත් ජනපදයේ මහජන ව්‍යාපාරයක් නොවේ. කොන්ෆෙඩරෙට් (ඇමරිකානු සිවිල් යුද්ධය අවධියේ දකුනේ) ජෙනරල් රොබට් ඊ ලීගේ ප‍්‍රතිමාවක් ඉවත් කිරීමට එරෙහි අන්ත දක්ෂිනාංශික සංවිධානවල ජාතික බලමුලු ගැන්වීම සඳහා ඇදී ආවේ කිහිප සියයක් පමනි.

ජනගහනයේ පුලුල් මහජනතාව අතර ඔවුන්ට ඇත්තේ සීමිත සහයෝගයක් වුවත්, මෙම ප‍්‍රතිගාමී කොටස්, ධවල මන්දිරයම ඇතුලු රාජ්‍යයේ ප‍්‍රබල කොටස්වල පිටුබලය භුක්ති විඳිති. ප‍්‍රකෝටිපති ආධාරකරුවන්ගේ මූල්‍යමය සහයෝගය (ස්ටීවන් බැනන්, ට‍්‍රම්ප්ගේ ෆැසිස්ට් ප‍්‍රධාන මූලෝපායඥයා, හෙජ් අරමුදලේ විධායක රොබර්ට් මර්සර් සමග සමීප සබඳතා වර්ධනය කරගෙන සිටී) ඔවුන්ට තිබේ. එමෙන් ම ඔවුන්ට පොලිස් හා මිලිටරි යාන්ත‍්‍රනයේ සැලකිය යුතු කොටස්වල ක‍්‍රියාකාරී අනුකූලතාව තිබේ.

ට‍්‍රම්ප් බලයට පත්ව පලමු මාස හත පුරාම ඔහුගේ උද්ඝෝෂනය තුල දී, ඔහු සහ ඔහුගේ ෆැසිස්ට් උපදේශකවරු, නිශ්චිත දේශපාලන උපාය මාර්ගයක් අනුගමනය කර තිබෙන අතර එය පදනම් වන්නේ අන්ත මිලිටරිවාදයට හා සමාජ ප‍්‍රතිගාමිත්වයට එරෙහි ඕනෑම මහජන විරුද්ධත්වයක් ප‍්‍රචන්ඩ ලෙස මර්දනය කිරීම සඳහා පාර්ලිමේන්තුවෙන් බාහිර ව්‍යාපාරයක් වර්ධනය කිරීමට පුලුල්ව පැතිරුනු සමාජ කෝපය හා දේශපාලනික අපසරනය යොදා ගත හැකිය යන විශ්වාසය මතයි.

කෙසේ වෙතත්, දිග් ගැස්සුනු ආර්ථික, සමාජීය හා දේශපාලන ක‍්‍රියාවලියේ ප‍්‍රතිපලය ට‍්‍රම්ප්ගේ නිර්මාපකත්වය අබිබවා යයි. කතිපයාධිකාරීන් හා ජෙනරාල්වරුන්ගෙන් සමන්විත ඔහුගේ පරිපාලනය, ශතවර්ෂ කාර්තුවක නොනවතින යුද්ධයක්, දශක හතරක සමාජ ප‍්‍රතිවිප්ලවයක් හා ඇමරිකානු දේශපාලනයේ වැඩෙන ඒකාධිපති ස්වභාවයෙන් පැන නැගී තිබේ. වධදීම්, ඩ්‍රෝන් ඝාතන, ආක‍්‍රමනකාරී යුද්ධ, ඩිමොක‍්‍රටික් හා රිපබ්ලිකන් යන දෙපිරිස ම අභිප්‍රේක්ෂනය කරන ලද පොලිස් ඝාතන - චාලොට්ස්විල්හි සිදුවීම්වලට පසුබිම සකස් කර තිබේ.

ට‍්‍රම්ප්ගේ විශාලතම වත්කම වූයේ පාලක පන්තිය තුල ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන්ගේ ස්වාභාවය සහ දිශානතියයි. 2016 මැතිවරනයේ දී ඔහු හිලරි ක්ලින්ටන් පරාජයට පත් කලේ ඩිමොක‍්‍රටිකයන් ස්වයං තෘප්ත සහ උදාසීනත්වය ගැබ් කර ගත් සංස්ථාපිතයේ පක්ෂයක් ලෙස වැඩ කල නිසා ය. මැතිවරනයේ සිට ම, ට‍්‍රම්ප්ට එරෙහි ඔවුන්ගේ විරුද්ධත්වය මුලුමනින් ම ඉලක්ක කර ඇත්තේ, රුසියාවට එරෙහිව වඩාත් ආක‍්‍රමනශීලී පිලිවෙතක් සඳහා වන ඉල්ලීම් මත පදනම්ව, ෆැසිස්ට් අංගයන් දලුලා වැඩෙන්නාවූ බුද්ධි අංශ සහ මිලිටරිය වෙත ය. වෝල් වීදියෙහි හා ඉහල මධ්‍යම පන්තියේ වරප‍්‍රසාදිත ස්ථරයන් සමග සන්ධානයක් නියෝජනය කරන බැවින් ඔවුන් කුමන හෝ අර්ථභාරී මහජන සහයෝගයක් ලබා ගත හැකි ක‍්‍රියාමාර්ගයක් ඉදිරියට ගෙන යාමට නොකැමති හා නො සමත් වේ.

ආර්ථික ජාතිකවාදයේ විෂකුරු දෘෂ්ටිවාදයට එරෙහි වනු වෙනුවට එය ප‍්‍රවර්ධනය කරමින්, දිගු කලක සිට සංගතවල ඉල්ලීම්වලට එරෙහිව කිසියම් හෝ විරුද්ධත්වයක් පෑම අතහැර දමන ලද, වෘත්තීය සමිතිවල ප‍්‍රතිගාමී ක‍්‍රියාකලාපයේ වාසියෙන් නිර්කාර්මිකකරනය මගින් විනාශයට පත් වූ රටේ ඇතැම් කලාපවල යම් පදනමක් දිනා ගැනීමට ට‍්‍රම්ප්ට හැකි වී තිබේ. ට‍්‍රම්ප් පරිපාලනයේ “ඇමරිකාව ප‍්‍රථම” න්‍යාය පත‍්‍රයට වරප‍්‍රසාදිත හා මුලුමනින්ම දූෂිත වෘත්තීය සමිති විධායකයින් අතර සාරවත් භූමියක් හමු වී තිබේ.

සුදු ජාතිකවාදී සංවිධානවල නැගීමට ඉන්ධන සැපයූ අතිරේක දෘෂ්ටිවාදාත්මක සාධකයක් වන්නේ: ඩිමොක‍්‍රටික් පක්ෂය විසින් සුප‍්‍රකාශව වාර්ගික දේශපාලනය සුජාතකරනය කිරීමය. ඩිමොක‍්‍රටිකයන් හා ඔවුන්ගේ මාධ්‍ය අනුචරයින් චාලොට්ස්විල්හි දී නව-නාසීන්ගේ විවෘත ජාතිවාදී ක‍්‍රියාවන් හෙලා දුටුව ද, වාර්ගිකත්වය සමාජ හා දේශපාලන විශ්ලේෂනයේ ප‍්‍රාථමික ප‍්‍රවර්ගය බවට ඩිමොක‍්‍රටික් පක්ෂය හා එහි අනුචරයින්ගේ නිර්දය ප‍්‍රවර්ධනය මගින් සුදු ජාතිකවාදීන්ට ආධාරය හා අනුබලය දෙනු ලැබ තිබේ.

නිව් යෝර්ක් ටයිම්ස් හි සහ අනෙකුත් ප‍්‍රකාශනවල පිටු පුරා ප‍්‍රාදුර්භූත නිමක් නැති තීරු සහ ලිපි වල “සුදු වරප‍්‍රසාද” සහ “සුදුගතිය” යන සංකල්ප ප‍්‍රවර්ධනය කිරීම දක්නට ලැබේ. ටයිම්ස් හි තීරු රචක චාල්ස් බ්ලෝ 2016 ජූනි මස තීරු ලිපියක දී ජෝන්ස්ගේ නිදහස් රාජ්‍යය (ෆ‍්‍රී ස්ටේට් ඔෆ් ජෝන්ස්) චිත‍්‍රපටය හෙලා දකිමින්, “සුදු ලිබරල් අවධාරනය වන්නේ ජාතිය යනු හුදු පන්තියට යටත් ගොඩ නැංවීමක් බවයැ”යි යන්නට පහර දුන්නේය. එකල ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඒ පිලිබඳව සඳහන් කලේ, බ්ලෝ “ෆැසිස්ට්වාදියෙක් නොවෙයි, නමුත් ඔහු බොහෝ සේ සිතන්නේ එවැන්නෙක් ලෙස ය” යනුවෙනි.

ඩිමොක‍්‍රටික් පක්ෂය හා එහි කක්ෂය තුල ක‍්‍රියාත්මක වන ව්‍යාජ වාම සංවිධානවල වාර්ගික දේශපාලනය පිලිබඳ ග‍්‍රස්තික ඔල්මාදය, හිලරි ක්ලින්ටන්ගේ මැතිවරන උද්ඝෝෂනයේ දී ඉහලම මට්ටමට ලඟා වූ අතර, එම උද්ඝෝෂනය සියලු සමාජ ගැටලුවල මූලය වර්ගය සහ වර්ගවාදය කරා සිඳෙන බවත් සුදු කම්කරුවන්ගේ දුක්ගැනවිලි, විරැකියාව හා දරිද්‍රතාවයේ නොව, වර්ගවාදය හා වරප‍්‍රසාදිත්වයේ ප‍්‍රතිඵලයක් යන්න මතත් සංවිධානය කෙරුනි.

දේශපාලනය, සංස්කෘතිය හා සමාජය පිලිබඳ ඩිමොක‍්‍රටික් පක්ෂයේ වර්ගවාදී අර්ථකථනය, ධනපති ක‍්‍රමයට හෝ පාලක පන්තියට නොව, සුදු කම්කරුවන්ට දෝෂාරෝපනය කිරීම, යුද්ධය සහ සමාජ අසමානතාවයේ ප‍්‍රශ්නවලින් අවධානය වෙනතකට හැරවීමටත්- ට‍්‍රම්ප් තෝරා ගැනීම සඳහාත් දේශපාලනිකව පහසු කරනු ලැබීය.

ට‍්‍රම්ප් පරිපාලනය පසුගිය මාස කිහිපය පුරා ෆැසිස්ට්වාදී බලවේගයන් වගාදිගා කිරීම තීව‍්‍ර කල අතර, රාජ්‍යයේ එබඳු කන්ඩායම් සමග විශේෂයෙන්ම ඩිමොක‍්‍රටික් පක්ෂයට සම්බන්ධ වූ අය සමග සන්ධානගත ගූගල්- වාමවාදී හා ප‍්‍රගතිශීලී වෙබ් අඩවි, සියල්ලටත් ඉහලින් ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඉලක්ක කරගත් වාරන වැඩසටහනක් ක‍්‍රියාවට දැමීය. පාලක පන්තියේ සියලු කන්ඩායම් සමාජ හා දේශපාලන අර්බූදය ට‍්‍රම්ප්ගේ නිෂ්පාදිතයක් ලෙස දක්වන ප‍්‍රතිචාරයේ අභිප‍්‍රාය වන්නේ ධනේශ්වර පද්ධතියට එරෙහි ඕනෑම අභියෝගයක් වැලැක්වීම සහ මර්දනය කිරීම ය.

දිගු ඓතිහාසික අත්දැකීම් මගින් පෙන්නුම් කර ඇති පරිදි ෆැසිස්ට්වාදයට එරෙහිව සටන් කල හැක්කේ සමාජවාදී හා විප්ලවවාදී වැඩපිලිවෙලක් මත කම්කරු පන්තිය බලමුලු ගැන්වීමෙන් පමනි. අන්ත දක්ෂිනාංශයට එරෙහි සටන වර්ධනය කල යුත්තේ සියලු වාර්ගික, ලිංගික සහ ජාතිකත්වයන්ගේ, කම්කරු පන්තියේ සියලු කොටස් ඒකාබද්ධ කිරීම තුලිනි. ෆැසිස්ට්වාදයට එරෙහි විරුද්ධ පාර්ශ්වය යුද්ධයට, සමාජ අසමානතාවට, විරැකියාවට, අඩු වැටුප්වලට, පොලිස් ප‍්‍රචන්ඩත්වයට හා ධනවාදය මගින් නිර්මානය කල සියලු සමාජ ව්‍යසනවලට එරෙහි සටන සමග සම්බන්ධ විය යුතුය.

කම්කරු පන්තියේ අවශ්‍යතාවන් ස්වාධීන දේශපාලන ස්වරූපයක් අත්කර ගැනීමෙන් ප‍්‍රකාශයට පත් නොවී ඉදිරියට ගෙන යන තාක් කල්, එය වාසිදායක වනු ඇත්තේ අන්ත දක්ෂිනාංශයේ බලවේගයන්ට ය. හදිසි කර්තව්‍යය වන්නේ කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වයක් - සමාජවාදී සමානතා පක්ෂය ගොඩනැගීමයි.

ජෝසෆ් කිෂෝර්

Share this article: