ඩිමොක‍්‍රටිකයෝ සංගත හිතකාමී “සමථයක්” සෞඛ්‍ය ආරක්ෂනය සඳහා යෝජනා කරති

Democrats offer pro-corporate health care “compromise”

2017 අගෝස්තු 05

සහනදායී සෞඛ්‍ය ආරක්ෂන පනත (Affordable Care Act -ACA), ඉවත්කර වෙනත් පනතක් ගෙන ඒමට සෙනේට් රිපබ්ලිකානුන් දැරූ උත්සාහය ව්‍යර්ථ වීමෙන් පසු ඔබාමාකෙයාර් (හෙවත් ACAය) “හරිගස්සා ගැනීමේ” නාමයෙන් රක්ෂන සමාගම්වලට මුක්කු ගැසීම පිනිස වූ සැලැස්මක්, නියෝජිත මන්ත‍්‍රී මන්ඩලයේ පක්ෂ දෙකෙන්ම සැදුම් ලත් මන්ත‍්‍රී කන්ඩායමක් විසින් කෙටුම්පත් කර ඇත. ඩිමොක‍්‍රටික හා රිපබ්ලිකානු මන්ත‍්‍රීන් සමව සිටිනා 40ක් පමන නියෝජිත මන්ත‍්‍රී මන්ඩල සාමාජිකත්වයෙන් සැදුම්ලත්, යෝජනාවේ කතු වරුන් වන මෙම කන්ඩායම තමන්ව ප‍්‍රශ්න විසඳන්නන්ගේ මන්ඩලය ලෙස හඳුන්වා ගනිති.

ඔබාමාකෙයා (සෞඛ්‍ය සේවා සඳහා ඔබාමාගේ පනත) ඉවත් කොට වෙනෙකක් ස්ථාපනය කිරීමට ජනාධිපති ට‍්‍රම්ප් දුන් පොරොන්දුව ඉටුකිරීමේ උත්සාහය බිඳවැටීම සිදුවූයේ, නියෝජිත මන්ත‍්‍රී මන්ඩලයේ මැයි මස සම්මත කරවා ගත් යෝජනාව කෙරේ පුලුල් ජනතා විරෝධයක හා ධනවතුන් සඳහා බදු කපා, මිලියන සංඛ්‍යාත ඇමරිකානුවන් සඳහා වාරික ගෙවීම් ඉහල දමමින්, සේවා කප්පාදු කරමින්, මිලියන 22 සිට 33 පමන ජනතාවකගේ රක්ෂනාවරනය අහිමි කරන්නාවූ, සෙනෙට් රිපබ්ලිකානුවන් ඉදිරිපත් කල ඒ හා සමාන තරමටම ප‍්‍රතිගාමීවූ සැලැස්මක පසුබිම යටතේය. එමෙන්ම එය, දුප්පතුන් හා ආබාධිතයන් සඳහා සහතික කල සමාජ ප‍්‍රතිලාභයක් ලෙස මෙඩිකේඩ් වැඩසටහනේ අවසානයේ ආරම්භය සනිටුහන් කරන්නක් විය හැකිව තිබුනි.

ට‍්‍රම්ප් හා රිපබ්ලිකානුවන්ගේ මහා පරාජයට ඩිමොක‍්‍රටික පක්ෂයේ ප‍්‍රතිචාරය වූයේ, පිරිවැය අඩු කර ගැනීමට හා වඩා තර ලාභ සඳහා ඔබාමාකෙයා “පිලිසකර” කිරීම සඳහා රක්ෂන යෝධයන්ගේ බලපෑම් ඉටුකර දීමට, තම සහාය ඉදිරිපත් කිරීමය. ඩිමොක‍්‍රටිකයන් කිසිසේත්ම අපේක්ෂා නොකල දෙය වූයේ, රිපබ්ලිකානු සැලැස්මට එරෙහිව වූ ජනතා විරෝධය, ඔබාමා කෙයා මගින් මුලුමනින්ම අතහැර දැමූ මිලියන 28 ක ජනතාවගේ, සෞඛ්‍ය ආරක්ෂන ප‍්‍රසාරනය කිරීමට හා සංගත ආධිපත්‍ය දැරූ, කම්කරු විරෝධී එම වැඩ සටහන, සැම දෙනා සඳහා ඉහල ගුනාත්මක බවින් යුත් සෞඛ්‍ය සේවයක් සහතික කිරීම සඳහාවූ සංවිධිත ව්‍යාපාරයක රූපය ගැනීමයි.

ඩිමොක‍්‍රටිකයන්ගේ මන්ත‍්‍රය වූයේ, “රක්ෂන වෙලඳපොල ස්ථාවර කිරීමේ අවශ්‍යතාවයි”, එනම්: වැඩ කරන ජනතාවගේ (වෛද්‍ය රක්ෂන) ආවරන තව දුරටත් සීමා කරමින් ලාභ වඩාත් ආරක්ෂිතව සහතික කර ගැනීම සඳහා ACA ය වෙනස් කර ගැනීමේ සංගත වල බලකිරීම් ඉටු කර දීමයි. ඒ අනුව ගැටලු විසඳන්නන්ගේ පස් වැදෑරුම් සැලැස්ම මෙසේය:

පලවන කරුන: ට‍්‍රම්ප් කපා දැමීමට තර්ජනය කල, ආන්ඩුව සමග බෙදාගෙන කරන්නාවූ අවකරන ගෙවීම් (CSR) රක්ෂන සමාගම් සඳහා දිගටම ගෙවීම සහතික කිරීම. මෙම බිලියන 8ක්වූ ක්‍ CSR අරමුදල්, ඔබාමාකෙයා සැලසුම් මත සිටිනා ඉතා අඩු ආදායම්ලාභී පුද්ගලයන්ට සහන (වඩා අඩු බෙදා ගෙන කරන ගෙවීම් හා අඩු කිරීම් සඳහා) සැලැසීම සඳහා ද බදු මුදල් මගින් සැපයෙන සහනාධාරයක් රක්ෂන සමාගම් වෙත සැපයීම සිදු කරයි. ඔවුන් සඳහා දිගටම CSR සහනාධාර සැපයීම සහතික නොකෙරෙන්නේ නම් ඔබාමා කෙයා රක්ෂන හුවමාරු වලින් ඔවුන් අස්වෙන බවට තර්ජනය කරමින්, රක්ෂන සමාගම් ආන්ඩුව බ්ලැක්මේල් කර ඇත.

දෙවන කරුන: ලාභ ඛාදනය කරන වැඩි වියදම් සහගත රෝගීන්ට රක්ෂන ආවරන සැපයීමේ වියදම රක්ෂන සමාගම් සඳහා හිලව් කිරීම වෙනුවෙන් “කැපකල ස්ථායිකරන අරමුදලක්” හෙවත් පුන-රක්ෂන වැඩ සටහනක් ස්ථාපනය කිරීම.

තුන්වන කරුන: මිලියන සංඛ්‍යාත කම්කරුවන් සඳහා සේවායෝජක අනුග‍්‍රහය ලත් රක්ෂන ආවරනය අහිමි කරමින්, සමාගමක් විසින් රක්ෂන ආවරනය සැපයීම අවශ්‍ය කරන සේවක සංඛ්‍යාව, 50 සිට 500 දක්වා ඉහල දමමින් ACA රෙගුලාසිය වෙනස් කිරීම.

සිව්වන කරුන: සංගත සඳහා බිලියන ගනන් මුදල් ඉතිරිකර දෙමින් වෛද්‍ය උපකරන නිපදවන්නන් සඳහා බදු අහෝසි කිරීම.

පස්වන කරුන: සෞඛ්‍ය රක්ෂනාවරන වෙලඳපොලෙහි ඒකාධිකාරීභාවය තව දුරටත් දිරිමත් කරමින්, ප‍්‍රාන්ත සීමා වලින් තොරව රක්ෂන ඔප්පු විකිනීමට ඉඩ සලසන, “තාක්ෂනික වෙනස්කම් හා පැහැදිලි මාර්ග සූචක සැපයීම”.

ප‍්‍රශ්න විසඳන්නන්ගේ සැලැස්මෙහි සංගත ලැදි ස්වභාවය, සෞඛ්‍ය ආරක්ෂනය මත ද්වීපාර්ශ්වික ප‍්‍රහාරය, රිපබ්ලිකානු පරාජයත් සමග අත් හැර නැති බව ට අනතුරු ඇඟවීමක් සම්පාදනය කරයි. උපරිම වශයෙන් ගතහොත් එය තාවකාලිකව පසුබෑමක් පමනි. කොන්ග‍්‍රසය තුල සහ මහා ව්‍යාපාරික පක්ෂ දෙකේ මග පෙන්වීම යටතේ, බලවේග යලි කාන්ඩ ගැසීම සිදු වෙමින් ඇත. විශේෂයෙන්ම මිලියන 77 ක දුගීන්, වියපත්වූවන් හා ආබාධිතයන් හට අද දින සේවා සපයන, අවශ්‍යතාවය මත පදනම්වූ හිමිකම් වැඩ සටහනක් වශයෙන් මෙඩිකේඩ් හි පැවැත්ම අවසානයට ගෙන ඒමේ උත්සාහය ඇතුලු කප්පාදු කිසිවක් දර්ශන පථයෙන් ඉවත් කර නැත.

සෙනේට් නීති සම්පාදනයේ පරාජය නොතකා මෙඩිකේඩ් මත රහස්‍ය ප‍්‍රහාරය වේගවත් වෙමින් තිබේ. ආර්කන්සාස්, ඇරිසෝනා, ඉන්ඩියානා කෙන්ටකි, මේන් හා විස්කොන්සින් ඇතුලු ප‍්‍රාන්ත ගනනාවක් වැඩ කිරීම අවශ්‍ය කරන රෙගුලාසි පැනවීම, මත්ද්‍රව්‍ය පරීක්ෂන, ප‍්‍රතිලාභ සඳහා කාලසීමා පැනවීම හා වාරික ගෙවීම නොකිරීම හේතුවෙන් පුද්ගලයන් වැඩ සටහනෙන් ඉවත් කර තැබීම, ආදී වෙනස්කම් ප‍්‍රාන්ත වලට ක‍්‍රියාත්මක කල හැකි වනසේ, මධ්‍යම රජයෙන් අවසර ලබා ගැනීමට උත්සාහ කරති.

සෞඛ්‍යය ආරක්ෂනයට එරෙහි රිපබ්ලිකන් ප‍්‍රහාරය සඳහා පදනම සකස් කලේ ඔබාමාකෙයා වැඩ සටහනයි. පුද්ගලික කොම්පැනි වලින් රක්ෂන මිලදී ගැනීමේදී, කොටසක් සඳහා ආන්ඩුවේ වවුචර් පත් මගින් සහනාධාර සැපයීමේ යාන්ත‍්‍රනයක් පිහිටුවීම මගින් එය මෙඩිකේඩ්, මෙඩිකෙයා හා අවසානයේදී සමාජ ආරක්ෂනයම පුද්ගලිකකරනය සඳහා පූර්වාදර්ශයක් සැපයීය.

ජාතියේ සෞඛ්‍යය තත්ත්වය ගැන කුමන මිම්මක් ගෙන බැලුවද, මත්ද්‍රව්‍ය වසංගතය, සීඝ‍්‍රයෙන් වැඩීයන යෞවන සිය දිවි නසා ගැනීම් රේට්ටුව, “අපේක්ෂා භංගත්වයේ මරන” වලට ගොදුරුවන මැදි වයස් පිරිමින්ගේ වැඩෙන මර්ත්‍යතාව (මරන සංඛ්‍යාව), ලදරු හා මාතෘ මර්ත්‍යතාවයේ වැඩිවීම, සමස්ථ ජීවිතාපේක්ෂාවේ පහල බැසීම, ඇමරිකාවේ සෞඛ්‍ය ආරක්ෂනය අති මහත් අර්බුදයකට මුහුන පා ඇති බව පැහැදිලි වේ.

එනමුත්, අති මූලික මානව හා සමාජ අයිතියක් වන ඉහල ගුනාත්මක බවින් යුත් සෞඛ්‍ය ආරක්ෂනයක් සඳහා අයිතිය ස්ථිර කර ගැනීම සඳහා සටන ඩිමොක‍්‍රටිකයන් සඳහා පීඩනය දැමීමේ ඉදිරි දර්ශනයක් මත පදනම්ව කල නොහැක. වැඩ කරන ජනතාව සඳහා ඔබින ශිෂ්ඨ සම්පන්න සෞඛ්‍ය ය ආරක්ෂනයක්, පුද්ගලික අයිතිය යටතේ ඇති සංගත හා ලාභය සඳහා නිෂ්පාදනය පදනම් කොට ගත් පද්ධතියක්; එනම් ධනවාදය සමග නොපෑහේ.

සාමාන්‍ය ඇමරිකානුවන්ගේ දුක් වේදනාවන්ගෙන්, අසනීපවලින් හා අකල් මරනයන් ගෙන් ලාභ ගරන පුද්ගලික රක්ෂන කරුවනට, ඖෂධ සමාගම්වලට හා යෝධ රෝහල් දාමයන්ට බැඳී ඇති, ඩිමොක‍්‍රටිකයන් හා රිපබ්ලිකානුන් ගෙන් ස්වාධීනව, තමන්ගේම පන්ති මූලෝපායක් කම්කරු පන්තිය පෙරට ගත යුතුය.

සෞඛ්‍ය ආරක්ෂන කර්මාන්තය පුද්ගලික ග‍්‍රහනයෙන් මුදාගෙන, සෞඛ්‍ය ආරක්ෂන පද්ධතිය සමාජගත වෛද්‍ය ක‍්‍රමයක පදනම මත, කම්කරු පන්තියේ ප‍්‍රජාතාන්ත‍්‍රික පාලනය යටතේ ක‍්‍රියාත්මක වන මහජන උපයෝගීතාවක් ලෙස සංවිධානය කල යුතුය.

කේට් රැන්ඩෝල්

Share this article: