ශ්‍රී ලංකාවේ ජනාධිපති අධිකරන ඇමති නෙරප යි

Sri Lankan president sacks justice minister

කේ.රත්නායක විසිනි , 2017 අගෝස්තු 25

“එකමුතු ආන්ඩුවේ” ප‍්‍රධාන හවුල්කරුවා වන එජාප විසින් කරන ලද ඉල්ලීමකින් පසුව, ජනාධිපති සිරිසේන 23දා අධිකරන හා බෞද්ධ කටයුතු පිලිබඳ අමාත්‍ය විජේදාස රාපක්ෂ ධුරයෙන් පහ කලේ ය. ප‍්‍රමුඛ එජාප සාමාජිකයෙකු වන විජේදාස මුලින් අමාත්‍ය තනතුර සඳහා තෝරා ගන්නා ලද්දේ ඔහුගේ පක්ෂය වන එජාපය විසිනි.

පසු ගිය සතියේ, අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් රැස් වූ එජාප විධායක සභාව විජේදාස ඉවත් කරන ලෙස ඉල්ලා යෝජනාවක් සම්මත කලේ ය. අල්ලස් හා දූෂන විරෝධී නව නීති හඳුන්වාදීමට අසමත්වීම හා එවැනි ක්‍රියාවල නියුතු පුද්ගලයන්ට එරෙහිව අපරාධ නඩු පැවරීමට පියවර ගැනීම ප‍්‍රමාද කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල කෙරුනි.

යෝජනාවේ සඳහන් නොකෙරුනු නමුදු, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඔහුගේ තන්ත‍්‍රයේ ප‍්‍රමුඛ සාමාජිකයින්ට එරෙහිව කටයුතු කිරීම ප‍්‍රමාද කිරීම ගැන චෝදනා කරමින් ආන්ඩුවේ ප‍්‍රමුඛයින් ප‍්‍රසිද්ධියේ ඔහු හෙලා දැක තිබුනි.

විජේදාස රාජපක්ෂ ඉවත් කිරීම, දූෂනයේ විරුද්ධවාදීන් ලෙස මවා පෑමට හා මහින්ද රාජපක්ෂගේ ආධාරකරුවන් හා අනෙකුත් විරුද්ධවාදීන් මැඩීමට සිරිසේන-වික‍්‍රමසිංහ විසින් ගනන් බලා ගන්නා ලද පියවරකි. “දූෂනයට එරෙහිව සටන් කිරීමේ” ප්‍රෝඩාකාරී කොඩිය උස්සාගෙන ආන්ඩුව, තම අත් ශක්තිමත් කර ගැනීමට උත්සාහ ගන්නේ කම්කරු පීඩිත ජනතාවට එරෙහිව රුදුරු සමාජ කප්පාදු වැඩසටහනක් ක‍්‍රියාත්මක කරන අතර ය.

විජේදාස රාජපක්ෂ මුලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරයෙකු ව සිටි අතර පසුව එජාපට එක් වී, එක්සත් ජනපදයේ මූලිකත්වයෙන් ක‍්‍රියාත්මක කල තන්ත‍්‍ර මාරුවේ කොටසක් ලෙස, 2015 ජනවාරි මැතිවරනයේදී සිරිසේන ජනාධිපති කිරීම පිනිස වැඩ කලේය. පාර්ලිමේන්තු මැතිවරනයෙන් පසුව අධිකරන හා බෞද්ධ කටයුතු ඇමති ලෙස ඔහු පත් කරන ලදී. විජේදාසට ප‍්‍රතිගාමී බෞද්ධ සංස්ථාපිතය සමග මෙන් ම බොදු බල සේනා හා රාවනා බලකාය වැනි ෆැසිස්ට් කන්ඩායම් සමග කිට්ටු සම්බන්ධකම් ඇත.

හම්බන්තොට වරාය ව්‍යාපෘතිය චීන සමාගමකට බදු දීමට ආන්ඩුව ගත් තීරනය පිලිබඳව විජේදාස කල ප‍්‍රසිද්ධ විවේචන සම්බන්ධයෙන් එජාප දේශපාලන නායකත්වය කෝපයට පත්ව සිටියහ. ගිවිසුමට මුලින් සහාය දුන් විජේදාස පසුව තම අදහස වෙනස් කරමින්, ආන්ඩුව විදේශ රටවලට රජයේ වත්කම් විකුනමින් සිටින බවත්, ගිවිසුම අහෝසි කිරීම සඳහා තමන් උද්ඝෝෂනය කරන බවත් පවසා තිබුනි.

දැවැන්ත බැඳුම්කර වංචාවක චූදිත පුද්ගලයෙකු සමග පැවති මූල්‍ය ගනුදෙනු නිසා මෑත දී විදේශ ඇමති කරුනානායකට ඉල්ලා අස්වීමට සිදුවීම, දේශපාලනිකව අපකීර්තියට පත්ව ඇති ආන්ඩුවේ අර්බුදය තවත් ගැඹුරු කලේය. විජේදාසගේ උදව් ඇතිව නීතිපති දෙපාර්තමේන්තුව, මහින්ද රාජපක්ෂ හා ඔහුගේ හවුල්කරුවන්ට එරෙහිව දූෂන නඩු යට ගසමින් සිටින බව, සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න ඇතුලු එජාප ප‍්‍රමුඛයෝ කියා සිටියහ. මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන විපක්ෂ කන්ඩායම සමග ගනුදෙනු ඇති බවට ද විජේදාසට චෝදනා කෙරුනි.

මෙම ගැඹුරුවන අර්බුදය මධ්‍යයේ, සිරිසේනගේ මූලිකත්වයෙන් අගෝස්තු 15 දා පැවති කැබිනට් මන්ඩල රැස්වීමේදී, රාජපක්ෂ ආන්ඩුවේ නායකයින්ට එරෙහි දූෂන චෝදනා නඩු “ඉක්මන්” කල හැක්කේ කෙසේ දැ යි සාකච්ඡා විය. විශේෂයෙන් දූෂන හා අපරාධවලට වෙන්වුනු “ඉහල උසාවි” ස්ථාපිත කිරීම පිලිබඳව ද කැබිනට් රැස්වීමේ දී සාකච්ඡා කෙරුනි.

දූෂන විභාග 87න්, නීතිමය පියවර සඳහා යොමුකර ඇත්තේ 12ක් පමනක් බව නීතිය හා සාමය පිලිබඳ ඇමති සාගල රත්නායක පැවසී ය. ඉහල උසාවි සංඛ්‍යාව වැඩි කිරීමට ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ අවශ්‍යතාවක් නැති බව සේනාරත්න පැවසී ය. “නීතිපති හා අග‍්‍ර විනිශ්චයකරු එකඟ වන්නේ නම්, එය කල හැකි” යි ඔහු ප‍්‍රකාශ කලේ ය. “මින් හොරුන් අල්ලන්නේ කවදා ද කියා මිනිස්සුන්ට ඇති සැකය දුරු කෙරෙනු ඇත.”

මෙම කටයුතු පිලිබඳ ව්‍යවස්ථානුකූල භාවය ගැන ඇමති සේනාරත්න පවසන දේ සාවද්‍ය ය. අධිකරනයට හා නීතිපතිවරයාට කිසිදා මෙම බලය පැවරී නැත. කැබිනට් මන්ඩලය අධිකරනයේ පාලනය සියතට ගැනීමේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පියවර මගින්, ආන්ඩුවේ දේශපාලන අවශ්‍යතා ඉටුකර ගැනීමේ උත්සාහයක යෙදී සිටී.

දූෂන විරෝධී ප‍්‍රචාරක ව්‍යාපාරයක් ඇරඹීමට උත්සාහ ගන්නා ආන්ඩුව, හිටපු ජනාධිපති රාජපක්ෂට සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා පවුලේ අනෙකුත් සාමාජිකයින් ඇතුලු ඔහුගේ කල්ලියට එරෙහිව නීතිමය පියවර ගැනීමට තල්ලු වෙමින් සිටින බව පෙනේ.

රාජපක්ෂ ඍජුව ආන්ඩුවට අභියෝග කරන අතර ආන්ඩුව පෙරලා දැමීමට ද තර්ජනය කරයි. සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පියවරයන්ගෙන් වාසි ලබා ගැනීමට උත්සාහ කරන රාජපක්ෂ හා ඔහුට සහාය දෙන ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු පිරිස, තමන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හා සමාජ අයිතීන්ගේ ආරක්ෂකයන් ලෙස පෙනී සිටිති. “එක්සත් ආන්ඩුවට” ඔවුන් දෙන සහයෝගය අස්කර ගන්නා ලෙස සිරිසේනට සහාය දෙන- ශ්‍රීලනිප පාර්ලිමේන්තු කන්ඩායමෙන් රාජපක්ෂ ඉල්ලා සිටී.

2015දී සිරිසේන බලයට ආවේ, නොයෙකුත් ව්‍යාජ වාම කන්ඩායම්, රාජ්‍ය නොවන සංවිධාන, ශාස්ත‍්‍රාලිකයින් හා බුද්ධිමතුන්ගේ සහාය ඇතිව ය. රාජපක්ෂ ආන්ඩුවේ දෙමල විරෝධී යුද්ධය මෙන් ම ජීවන තත්වයන් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට එරෙහි ප‍්‍රහාර කෙරෙහි පලවූ මහජන විරෝධය ගසා කමින් මෙම පිරිස් කියා සිටියේ, සිරිසේන “යහ පාලනය” ස්ථාපිත කර ජීවන තත්වයන් ඉහල දමනු ඇති බව යි.

ආසන්න වශයෙන් වසර තුනක් තිස්සේ, ආන්ඩුව කුරිරු ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු පියවර ක්‍රියාත්මක කරමින් ද විරෝධතා දක්වන කම්කරු හා පීඩිතයින්ට එරෙහිව පොලිිසිය හා මිලිටරිය මුදා හරිමින් ද සිටී. තව ද ආන්ඩුව, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට පක්ෂව තීරනාත්මක ලෙස විදේශ ප‍්‍රතිපත්තිය වෙනස් කර ඇත. සිරිසේන බලයට ගෙන ආ වොෂින්ටනය මෙහෙය වූ තන්ත‍්‍ර මාරුව යටතේ, බීජීනය හා කොලඹ අතර පැවති කිට්ටු සම්බන්ධතා අවසන් කිරීමට ද චීනයට එරෙහි වොෂින්ටනයේ දේශපාලන හා මිලිටරි මෙහෙයුම් සමග ශ්‍රී ලංකාව එක පෙලට ගැනීමට ද පියවර ගැනේ.

මාධ්‍ය ආන්ඩුවේ “දූෂන විරෝධී පරිශ‍්‍රමය” උලුප්පා දක්වයි. ගිය සති අන්තයේ සන්ඬේ ටයිම්ස් පුවත්පත, “ප‍්‍රධාන දූෂන නඩු: ජනාධිපතිගේ ගර්ජනයෙන් පසුව යුක්තියේ රෝද කරකැවීම පටන් ගන්නවා ඇත” යන මාතෘකාවෙන් යුතු දීර්ග ලිපියක් පල කලේ ය. එම ලිපිය දූෂන නඩු ප‍්‍රමාද වීම පිලිබඳව සිරිසේන කලින් කී දේට සම්බන්ධ ය. මාධ්‍යයේ අනෙකුත් කන්ඩායම්, ආන්ඩුව සූදානම් කරන මර්දනකාරී පියවර වසන් කරමින්, විජේදාස ඉවත් කිරීම පිලිබඳ වේගකාරී ප‍්‍රවෘත්ති පල කරයි.

ආන්ඩුව ගනිමින් සිටින පියවරයන්ගේ ප‍්‍රධාන ඉලක්කය, අරගලයන්ට ඇදෙමින් සිටන කම්කරු පන්තිය හා පීඩිත ජනතාවන් ය. පසුගිය සතියේ, සමෘද්ධි සහන කැපීමට එරෙහිව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ඉදිරිපිට දහස් ගනනකගේ විරෝධතා පැවැත්වින. මෙම සීමිත සහන පවා කපන ලෙස ජාමූඅ බලකරයි. මෙම මහජන විරුද්ධත්වයට මුහුන දුන්, සමාජ සවිබල ගැන්වීමේ ඇමති එස්.බී. දිසානායකට, සමාජ සුභසාධන කප්පාදු අත්හිටවන බව ප‍්‍රකාශ කිරීමට බල කෙරුනි.

ව්‍යාපාර බදු අඩු කරන අතර, කම්කරුවන්, විශ‍්‍රාමිකයන්, වෘත්තිකයන් හා කුඩා ව්‍යාපාර ඇතුලු ජනතාවගේ පුලුල් කන්ඩායමක් මත බදු පටවමින් ආන්ඩුව, අද නව දේශීය ආදයම් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරි පත් කිරීමට නියමිතය. මෙම පනතට කම්කරුවන් අතර වැඩෙන විරෝධයක් පවතී.

මෙම ප‍්‍රහාරයන් ක්‍රියාත්මක කිරීමේ දී ව්‍යාජ වාම නව සම සමාජ පක්ෂය ද සමාජ සාධාරනත්වය සඳහා ජාතික ව්‍යාපාරය, පුරවැසි බලය වැනි වෙනත් කන්ඩායම් හා වෘත්තීය සමිති ද ආන්ඩුවට සහාය දෙති. පසුගිය කැබිනට් මන්ඩල රැස්වීමට පෙරාතුව මෙම කන්ඩායම්, විශේෂ දූෂන විරෝධී උසාවි පිහිටුවන ලෙස ඉල්ලමින් කොලඹ දී ප‍්‍රසිද්ධ රැස්වීමක් පැවත්වූහ.

ආන්ඩුවට සහාය දෙන දඹර අමිල භික්ෂුව රැස්වීම අමතමින් මෙසේ පැවසී ය: “විශේෂ උසාවි පිහිටුවනු, රාජපක්ෂවරුන්ට එරෙහිව දිවා රෑ නඩු අසා ඔවුන් හිරේ දමනු.” උද්ඝෝෂනය ගැන සිය උද්යෝගය පල කරමින් ඇමතිවරු පස්දෙනෙක් රැස්වීමට සහභාගීවූහ යි නව සම සමාජ පක්ෂ නායක වික‍්‍රමබාහු කරුනාරත්න පසුව මාධ්‍ය හමුවේ කයිවාරු ගැසීය.

ගිය මාසයේ මෙම කන්ඩායම්, අධ්‍යාපනය පුද්ගලීකරන කිරීමට එරහිව විරෝධතා දැක් වූ ශිෂ්‍යයන්ට එරෙහි ප‍්‍රහාරයට ද පෙට්‍රෝලියම් කම්කරුවන්ගේ වැඩවර්ජනයක් මර්දනය කිරීමට මිලිටරිය යෙදවීමට ද සහාය දුන්හ.

ගැඹූරුවන මූල්‍ය අර්බුදයකට මුහුන පා සිටින ආන්ඩුව, සමාජ ශුභසාධන කප්පාදු පැටවීමට හා ඒකාධිපති පාලනයක දේශපාලන හා නීතිමය රාමුවක් සැකසීමට, සහාය ලබා ගනු පිනිස මෙම ව්‍යාජ වම්මු, වෘත්තීය සමිති හා රාජ්‍ය නොවන සංවිධාන යොදා ගනියි. ආන්ඩුවේ ඊනියා දූෂන විරෝධී උද්ඝෝෂනයේ තේරුම මෙයයි.

Share this article: