ලංකාවේ ආන්ඩුව පොලීසිය නවීකරනය කිරීමේ නාමයෙන් මර්දන යන්ත‍්‍රය ශක්තිමත් කිරීමට සැරසෙයි

පානි විජේසිරිවර්දන විසිනි, 2017 අගෝස්තු 13

“වත්මන් අභියෝගයන්ට මුහුනදීම සඳහා ශ්‍රී ලංකාවේ පොලීසිය නවීකරනය කල යුතු” යැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ පසුගිය 8 වන දා කොලඹ බන්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රන ශාලාවේදී පැවසීය. වික‍්‍රමසිංහ මෙම ප‍්‍රකාශය කලේ, ජාත්‍යන්තර පොලීසිය (ඉන්ටපෝල්) සහ ශ්‍රී ලංකාවේ පොලීසිය එක්ව, දකුනු සහ ගිනිකොනදිග ආසියානු රටවල ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සඳහා සංවිධානය කෙරුනු, “ත‍්‍රස්ත ක්‍රියාවන් සහ ජාත්‍යන්තර අපරාධයන් වැලැක්වීම” සඳහා වූ වැඩමලුවක් අරඹමිනි. ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය, පකිස්ථානය, ඉන්දුනීසියාව, මැලේසියාව සහ පිලිපීනය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 45 දෙනෙකු වැඩමුලුවට සහභාගි වූ බැව් වාර්තා වෙයි.

“ගෝලීයකරනය, අන්තර් සම්බන්ධතාවයේ වර්ධනය සහ තාක්ෂනයේ වර්ධනය විසින් නීතිය සහ සාමය ආරක්ෂා කිරීමේ ස්වභාවය වෙනස් කර ඇතැයි” ද, ඒ හේතුවෙන් ලොවපුරා පොලිස් බලකායන්ට නව අභියෝගයන්ට මුහුන දීමට සිදුව ඇතැයි ද වික‍්‍රමසිංහ තම කතාවේදී පැවසීය. පොලීසිය “ප‍්‍රතිසංස්කරනය” කිරීමේදී “වැදගත්” ව්‍යාපෘති දෙකක් ක්‍රියාවට නංවන බව ද අගමැතිවරයා හෙලි කලේය. ජාත්‍යන්තර පොලීසිය සමග සහයෝගීතාව වර්ධනය කිරීමේ යාන්ත‍්‍රනයක් ඇති කිරීම සහ පොලීසිය සඳහා විශ්ව විද්‍යාලයක් ස්ථාපනය කිරීම මෙම “වැදගත්” ව්‍යාපෘතීන් වෙයි.

අගමැති වික‍්‍රමසිංහ ගේ කතාවේ ඇඟවුම් ඉතාදුුරදිග යයි. විශේෂයෙන්ම කම්කරු පන්තිය සම්බන්ධයෙන් ගත්කල එම ඇඟවුම් ඉතා අන්තරායකාරී ය.

“ජාත්‍යන්තර ත‍්‍රස්තවාදය” සහ එම ත‍්‍රස්ත කටයුතු වලට අරමුදල් සම්පාදනය කර ගැනීම සඳහා සිදු කරන “ජාත්‍යන්තර අපරාධ” තුරන් කිරීම පොලීසිය මුහුන දෙන “අභියෝගයන්” ලෙස වික‍්‍රමසිංහ විසින් හැඳින්වූ නමුදු, ඔහුගේ ආන්ඩුව සහ එය විසින් මෙහෙයවන පොලීසිය තමා මුහුන දෙන බරපතලම අභියෝගය ලෙස සලකනු ලබන්නේ තියුනු වෙමින් පවත්නා පන්ති අරගලය යි.

ලංකාව ඇතුලු පන්ති ආතතීන් තියුනු වෙමින් පවත්නා රටවල පාලක පංතීහු, “නීතිය සහ සාමය ආරක්ෂා කිරීමේ” කඩතුරාව යටතේ, කම්රු පන්තියට එරෙහි නව මර්දන නීති හඳුන්වා දෙන අතරේම පොලීසිය ඇතුලු මර්දන යන්ත‍්‍ර වඩාත් සවිබල ගන්වමින් සිටිති. අගමැති වික‍්‍රමසිංහගේ කතාවෙන් පැහැදිලිවම පෙනී යන්නේ වැඩෙන පන්ති අරගලවලට මුහුනදීම සඳහා මනාලෙස පුහුනු කෙරුනු සහ නවීනතම තාක්ෂනයෙන් සන්නද්ධ කෙරුනු පොලිස් භටකායක් නිර්මානය කිරීමට ආන්ඩුව තීන්දුකොට ඇති බවයි.

ඉහලම ආකාරයේ මර්දනයක් සඳහා වන ජාත්‍යන්තර දැනුමෙන් පොලීසිය සහ අනෙකුත් නීතිමය අංශයන් සන්නද්ධකර ගැනීම සඳහා ස්ථාපනය කිරීමට යන නව විශ්ව විද්‍යාලය ගැන කතා කරමින් වික‍්‍රමසිංහ මෙසේ පැවසීය: “ත්‍රිවිධ හමුදාව මෙන් නොව, විශ්ව විද්‍යාලයක් නොමැති බැවින්, පර්යේෂන කටයුතු සඳහා පොලීසියට ලැබෙන අවස්ථා විරලය. පොලිස් නිලධාරීන්ට අමතරව, නීතිපති දෙපාර්තමේන්තුවට, නීතීඥ සංගමයට, රේගු සහ ආගමන-විගමන නිලධාරීන්ට මෙම අපරාධ පසිඳලීම් විශ්ව විද්‍යාලය සමග එක්ව කටයුතු කල හැක.”

“තාක්ෂනයේ වර්ධනය විසින් නීතිය සහ සාමය ආරක්ෂා කිරීමේ ස්වභාවය වෙනස් කර ඇතැයි” පවසන විට ද වික‍්‍රමසිංහගේ ප‍්‍රධාන උත්සුකය වන්නේ “ජාත්‍යන්තර ත‍්‍රස්තවාදය” හෝ “ජාත්‍යන්තර අපරාධ” නොව, කම්කරුවන්, සිසුන් සහ අවශේෂ පීඩිතයන් තම අරගලයන් සංවිධානය කිරීමේදී සන්නිවේදන කටයුතු සඳහා යොදා ගැනෙන නව තාක්ෂනික මාධ්‍යයන් තුලට කාවැදී එම තොරතුරු සොයා ගැනීමට පොලීසිය පුහුනුකර ගන්නේ කෙසේද යන්නයි. වසර කීපයකට පෙර සිදුවූ ඊජිප්තු විප්ලවයේදී මහජනතාව විසින් සමාජ වෙබ් අඩවි සහ ජංගම දුරකථන යොදාගත් ආකාරය සම්බන්ධයෙන් වික‍්‍රමසිංහ ඇතලු ලොවපුරා ධනපති පාලකයන් ඉතා දැනුවත් ය. අන්තර්ජාල සෙවුම් යන්ත‍්‍ර අතරින් ප‍්‍රධානතම එකක් වන ගූගල් සෙවුම්යන්ත‍්‍රය, සමාජවාදී, යුද-විරෝධී සහ ප‍්‍රගතිශීලී වෙබ් අඩවි වලට වන පිවිසුම් සීමා කිරීම පිටුපසින් පවතින්නේ මෙම උත්සුකයයි.

තියුනුවන පන්ති අරගලයන්, කම්කරු පන්තියේ ජාත්‍යන්තර පරිමාන අරගලයන් බවට වර්ධනයවීමේ ශක්‍යතාව පිලිබඳව ද වික‍්‍රමසිංහ ඇතුලු කලාපයේ පාලකයන් ගනන් බලා ඇතිබව නිසැකය. ජාත්‍යන්තර සබඳතා පිලිබඳව නිරන්තරව ඇසගසා සිටින ඔත්තු ජාලයන්ගෙන් සමන්විත බවට කුප‍්‍රකට, “ජාත්‍යන්තර පොලීසිය” හෙවත් ඉන්ටපෝලයෙන් වඩාත් සමීප සහයෝගීතාවයක් ඔහු ඉල්ලා සිටින්නේ එබැවිනි.

බලයට පත්ව ගතව ඇති වසර දෙකහමාර තුල, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග මත සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව එල්ල කරන ලද ප‍්‍රහාරයන්ට එරෙහිව නිරන්තරව අරගලයට අවතීර්න වූ කම්කරුවන්, ශිෂ්‍යයන් සහ ගොවියන් ට මුහුන දීමට සිදුවූයේ රුදුරු රාජ්‍ය මර්දනයන්ටයි.

කොන්ත‍්‍රාත් පදනමේ රැකියා ක‍්‍රමයට එරෙහි අරගලයට පිවිසි හම්බන්තොට වරාය සේවකයන්ට නාවික හමුදාව යොදා ම්ලේච්ඡ ප‍්‍රහාරයක් එල්ල කල ආන්ඩුව පුද්ගලීකරනයට එරෙහිව අරගලයට පිවිසි තෙල් සංස්ථා කම්කරුවන් මර්දනය කලේ මිලිටරිය බලමුලු ගන්වමිනි.

තම ඉඩම් කොල්ල කෑමට එරෙහිව උද්ඝෝෂනය කල හම්බන්තොට ගොවියන්, පොලීසිය සහ මැරයන් යොදා පහර දී මර්දනය කල සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව, අධ්‍යාපනයේ පුද්ගලීකරනයට එරෙහිව සටන් වදින සිසුන් මර්දනය කිරීම සඳහා නිරන්තර පොලිස් ප‍්‍රහාරයන් එල්ල කරමින් සිටී. ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් දඬු ගැසීම සඳහා ගෙනයන අධිකරන ක්‍රියාදාමයන් ඒ හා සමගාමීව වර්ධනය කෙරෙමින් පවතී.

මේ අතර, ධනේශ්වර මාධ්‍යයන් ද යොදා ගනිමින් ත‍්‍රස්තවාදය යලි හිස ඔසවමින් සිටින බවට වපුරන ප‍්‍ර‍්‍රලාපයන් හරහා උතුරු සහ නැගෙනහිර පලාත්වල දෙමල කතා කරන පීඩිත ජනයාට එරෙහි පොලිස්-මිලිටරි මර්දනය නව ඉහලකට නංවා ඇත. ගැඹුරුවන ආර්ථික අර්බුදයකට ද තීව‍්‍ර වන පන්ති අරගලයකට ද මුහුන දී සිටින සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව වේගයෙන් ගමන් කරමින් සිටින්නේ පොලිස් රාජ්‍යයක් දෙසටයි.

මෙම තතු තුල, පොලිස් වැඩමුලුව අරඹමින් වික‍්‍රමසිංහ කල කතාව තුලින් එලිමහනට පැමිනෙන නව පියවරයන්, ඔහුගේ සහ ජනාධිපති සිරිසේන ගේ ආන්ඩුව වර්ධනය කරමින් සිටින මර්දන යන්ත‍්‍රයේ ගුනාත්මක වෙනසක් පෙන්නුම් කරයි.

Share this article: