සසප සටන්කරු සමිතියෙන් නෙරපීමට ගත් උත්සාහය සාමාජිකත්වයේ විරෝධය හමුවේ ව්‍යර්ථ වෙයි

පානිනී විජේසිරිවර්ධන විසිනි, 2017 අගෝස්තු 25

විශ්ව විද්‍යාල කාර්මික නිලධාරීන්ගේ සංගමයේ (විවිකානිස) සාමාජිකයෙකු වන මොරටුව විශ්ව විද්‍යාලයේ එම්. දේහින් වසන්ත, එම සංගමයෙන් නෙරපා දැමීම සඳහා නිලධරය දැරූ ප‍්‍රතිගාමී උත්සාහය ශාඛා සාමාජිකත්වයේ බලගතු විරෝධය හමුවේ පසුගිය දා ව්‍යර්ථ විය.

දේහින් වසන්ත

දේහින් වසන්ත නෙරපා හැරීමේ කුමන්ත‍්‍රනය එලිමහනට පැමිනියේ, අගෝස්තු 11 වැනිදා පැවැත්වූ මොරටු සරසවි ශාඛා රැස්වීමේදී ය. දේහින් වසන්ත සාමාජිකත්වයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා, ශාඛා ලේකම් වසන්ත එදිරිසූරිය විසින් උපසභාපති රුවන් ප්‍රේමරත්නගේ සහාය සහිතව, මව් සංගමයට යවන ලද ලිපිය සභාගත කරන ලෙස, ශාඛා සමිති නිලධරයේ බහුතරයක් ඉල්ලා සිටියහ. බහුතර අනුමැතියකින් තොරව හොර රහසේම එම ලිපිය මව් සංගමයට යොමු කිරීම ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී බව ඔවුනගේ මතය විය.

තම වෘත්තීය සමිතිය විවේචනයට ලක්කරමින් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) පලවූ ලිපියක් විශ්ව විද්‍යාලය ඉදිරිපිට බෙදාහරිමින් සමිතියට අපහාස කලේයැයි දේහින් වසන්තට චෝදනා කරමින් ඔහු සංගමයෙන් ඉවත් කරන ලෙස ලිපියෙන් ඉල්ලා තිබුනි.

ලෝසවෙඅ යනු හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) නිල මාධ්‍ය වන අතර, දේහින් වසන්ත හජාජාක හි ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) දිගු කාලීන සාමාජිකයෙකි. ඔහු, දශක තුනකට ආසන්න කාලයක් පුරා, කම්කරුවන්, ශිෂ්‍යයන් සහ අවශේෂ පීඩිතයන්ගේ සෑම දැවෙන ප‍්‍රශ්නයකටම පාහේ මැදිහත් වෙමින් ඔවුන් ජාත්‍යන්තර සමාජවාදී විඥානයෙන් සන්නද්ධ කර ගැනීම සඳහා අරගලයේ යෙදෙමින් සිටින විප්ලවවාදී සටන්කරුවෙකි.

විශේෂයෙන්ම, අනුප‍්‍රාප්තික ආන්ඩුවලින් සහ පරිපාලනයෙන් එල්ල කෙරෙන ප‍්‍රහාරයන්ට එරෙහිව පසුගිය කාලය පුරා නිරන්තරව අරගලයට පිවිසි විශ්ව විද්‍යාල අනධ්‍යන කම්කරුවන්ගේ සටන්කාමිත්වය විරෝධතා වටවංගුවල දියකර හැරීමට කටයුතු කල විවිකානිස ඇතුලු ද්‍රෝහී නිලධරයට එරෙහිව, එම කම්කරුවන් හා උරෙනුර පැහැර සටන් වදිමින් ඔවුන් සමාජවාදී වැඩපිලිවෙලක් මත ස්වාධීනව බලමුලු ගන්වා ගැනීමට අනවරතව සටන් වැදීම හේතුවෙන්, ඔහු නිලධරයේ වෛරයටත් පහල සාමාජිකත්වයේ ගෞරවයටත් පාත‍්‍ර වූවෙකි.

දේහින් වසන්ත විසින් බෙදාහලේයැයි කියන ලෝසවෙඅ ලිපිය ද ඔහු විසින් සටන් වදින එම මූලධර්ම මත මුලුමනින්ම පිහිටා සිටී. ඩෙංගු රෝගයට ගොදුරු වූ සරසවි සිසුවියගේ මරනයේ වගකීම අසල්වැසියන් හා සේවකයන් මත පැටවෙයි යන ශීර්ෂය රැගත් එම ලිපියෙන් මෑතදී ඩෙංගු රෝගය වැලඳී මියගිය මොරටු සරසවි ශිෂ්‍යාවගේ මරනය සම්බන්ධයෙන්, අනුප‍්‍රාප්තික ආන්ඩු විසින් සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ සිදු කරන ලද දැවැන්ත කප්පාදු බලපා ඇත්තේ කෙසේද යන්න පැහැදිලි කෙරුනි. එමෙන්ම සරසවි පිරියත තුල ඩෙංගුමදුරු කීටයන් පැතිරයාම සම්බන්ධ වගකීම සරසවි කාර්මික නිලධාරින්හට පවරමින් ඔවුන් උසාවි දැක්කීමට විශ්ව විද්‍යාල පරිපාලනය සමග එක්ව එදිරිසුරිය ඉටුකල ද්‍රෝහී භූමිකාව ද ලිපියෙන් හෙලිදරව් කෙරුනි. එදිරිසූරිය පරල වී ඇත්තේ එබැවිනි.

මෙම ලිපිය බෙදා හැරීම සම්බන්ධයෙන් පරලවූයේ එදිරිසූරිය පමනක් නොවේ. ලිපිය බෙදාහල දිනයේම දේහින් වසන්ත කැඳවූ පාලකයෝ “විශ්ව විද්‍යාලයට අපහාස කලේය” යන චෝදනාව ඉදිරිපත් කරමින් මින් මතුවට එසේ නොකරන ලෙස “අවවාද” කලහ. ලිපියේ අන්තර්ගත කරුනු සහ ලිපිය බෙදා හැරීමට තමාට ඇති ප‍්‍රජාතන්ත්‍රීය අයිතියත් ආරක්ෂා කරමින් වසන්ත පාලකයන්ගේ “අවවාද” ප‍්‍රතික්ෂේප කලේය.

ශාඛා සමිති රැස්වීමේදී ප‍්‍රකාශයට පත්ව ඇත්තේ දේහින් වසන්තට එරෙහිව පාලකයන් සහ සමිති නිලධරය එක්ව ගෙනයන දඩයම සම්බන්ධයෙන් පහල සාමාජිකත්වය අතර වැඩී ඇති විරුද්ධත්වයයි. තම සේවා කොන්දේසි වලට සහ ජීවන තත්වයන්ට එල්ල වන ප‍්‍රහාරයන් හමුවේ ආන්ඩුව, විශ්ව විද්‍යාල පරිපාලනය සහ සමිති නිලධරය යන ත්‍රිත්වයට එරෙහිව කම්කරුවන් අතර වැඩෙන විරෝධයේ දැනුවත් ප‍්‍රකාශකයෙකු ලෙස සාමාජිකත්වය විසින් දේහින් වසන්ත හඳුනා ගනිමින් සිටින බව ලිපියට එරෙහිව සියලුම සාමාජිකයන් දැක්වූ විරෝධයෙන් ප‍්‍රකාශයට පත් විය. අවසානයේ සාමාජිකත්වයේ බලගතු විරෝධය හමුවේ ලිපිය ඉල්ලා අස්කර ගැනීමට එදිරිසූරියට සිදුවුුනි.

ශාඛා නිලධරය විසින් රැස්වීමේ අනෙක් මුලු කාලයම පාහේ යොදාගනු ලැබුවේ තම සාමාජිකත්වය මුහුන දෙන කවර හෝ ගැටලුවක් සම්බන්ධයෙන් නොව, වාර්ෂික සම්මේලනය පැවැත්වෙන ගුරුතලාව ශාන්ත තෝමස් විද්‍යාලය වෙත යන ගමනේදී, එහි ගතකරන කාලය තුලදී හා ආපසු එනගමනේදී විනෝද ආස්වාදය උපරිම ලෙස සලසා ගන්නා ආකාරය පිලිබඳවයි.

මෙම විනෝදාස්වාද සාකච්ඡාව බිඳී ගියේ විශ්ව විද්‍යාලයේ එක් එක් දෙපාර්තුමේන්තු ඉදිරිපස ඇඟිලි සලකුනු යන්ත‍්‍ර සවිකිරීමට කටයුතු කරන්නේ මන්දැ යි දේහින් වසන්ත විසින් විමසු පසුවයි. මීට සිවු වසරකට පමන පෙර මෙම යන්ත‍්‍ර හඳුන්වා දීමේදී ඒවා ස්ථාපනය කලේ විශ්ව විද්‍යාලයේ ඇතුලුවීමේ දොරටුවට ආසන්න ස්ථානයකය. නව ස්ථාපනයන් සමග ඇතුලුවීමේ දොරටුවේ සිට ඈත කෙලවර අංශයක පිහිටි යන්ත‍්‍රයකට ලඟා වීමට විනාඩි 20 ක් පමන ගතවන බැවින් කම්කරුවෙකුට දිනකට මිනිත්තු 40 ක අතිරික්ත කාලයක් වැය කිරීමට සිදුවෙයි.

පාලකයන් වෙනුවෙන් කතා කරමින් ලේකම් වසන්ත එදිරිසූරිය පැවසුවේ දැනටමත් නව ඇඟිලි සලකනු යන්ත‍්‍ර ඇනවුම් කොට ඇති බව සහ ඒවා භාවිතා නොකිරීම විගනන පරීක්ෂන වලට තුඩුදියහැකි බවයි. ඒ හේතුවෙන් නව ස්ථාපනය වැලැක්විය නොහැකිබව ඔහු සාමාජිකත්වයට පැවසීය. ආරම්භයේ සිටම මෙම යන්ත‍්‍ර ස්ථාපනය කෙරෙහි කම්කරුවන් අතරින් පැනනැගි විරුද්ධත්වය නොතකා පාලකයන් සමග එක්වූ සමිති නිලධරය මේ අවස්ථාවේ ද එම ද්‍රෝහී කාර්යයෙහිම නිරතවීම සම්බන්ධයෙන් සාමාජිකත්ව තුලින් පැනනැගි විරුද්ධත්වය සමනය කරනුවස්, ඕනෑම යන්ත‍්‍රයකින් පැමිනීම සටහන් කිරීමට හැකිවන පරිදි යන්ත‍්‍ර ජාලගත කිරීම ඉල්ලා සිටීමේ යෝජනාවක් ඔවුහු සම්මත කර ගත්හ.

සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධානයන් මත, සියලු රාජ්‍ය සේවකයන්ගේ වැඩ වේගවත් කරමින් සිටින තතු තුල මෙම ඇඟිලි සලකුනු යන්ත‍්‍ර සෑම රජයේ ස්ථානයකම ස්ථාපනය කරමින් සිටී.

මොරටුව විශ්ව විද්‍යාලයේ පාලකයන් සමග එක්ව සමිති නිලධරය ගෙනයන වැඩ කටයුතු ආන්ඩුවේ එම වැඩ පිලිවෙල සමග බැඳී පවතී. මෑතකදී උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවේ විශ්වවිද්‍යාල ස්වාධීන කිරීමට පියවර ගන්නා බවයි. දැනටමත් දිනකට විනාඩි 15 ක් වැඩියෙන් වැඩකරන මොරටුව විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන්ට එරෙහිව ඔවුන් මෙම තත්වය හොඳින් භාවිතයට ගනු ඇත.

Share this article: