නිර්මාල් රංජිත් දේවසිරි ධනපති පාලනයේ ආරක්ෂාව සඳහා ජවිපෙට ඡන්ද ඇහිඳියි

කපිල ප්‍රනාන්දු විසිනි , 2017 දෙසැම්බර් 29

කොලඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් හා හිටපු රැඩිකලෙක් වන ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, සිය මුහුනු පොත මගින් හා පුවත්පත්වලට ලිපි සම්පාදනය කරමින්, එලැඹෙන පලාත් පාලන මැතිවරනයේ දී ලංකාවේ ධනපති සංස්ථාපිතයේ පක්ෂයක් වන, ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) සහාය ගොනු කිරීමේ උද්ඝෝෂනයක් ආරම්භ කොට තිබේ.

2015 ජනවාරියේ දී ජවිපෙ හා තවත් මධ්‍යම පාන්තික ව්‍යාජ-වාම සංවිධාන රොත්තක්, මහින්ද රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව පැන නැගි මහජන විරෝධය ගසාකමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බලයට ගෙනඒමට කැස්සේ, යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරනවා යැයි ද දූෂනය හා වංචාව අවසන් කරන බවට ද පොරොන්දු දෙමිනි. දේවසිරි, එම නඩයේ ප්‍රමුඛයෙක් විය. බලයට පැමිනීමෙන් මාස කිහිපයක් ගතවන තැන කම්කරු පීඩිත මහජනයා හට හෙලිදරව් වුයේ, ජනාධිපති සිරිසේනගේ හා අගමැති රනිල් වික්‍රමසිංහගේ ඊනියා යහපාලන සමගි ආන්ඩුව, රැකියා හා ජීවන තත්වයන් කබාසිනියා කිරීම, අධ්‍යාපනය, සෞඛ්‍යය ඇතුලු සුභසාධන කප්පාදුව, මහජන මුදල් කොල්ලකෑම, උතුරු-නැගෙනහිර දෙමල ජනතාව මත මිලිටරි පාලනය පවත්වාගෙන යාම සහ විශේෂයෙන් කම්කරු පන්තියට හා තරුනයන්ට එරෙහිව පොලිස්-මිලිටරි ප්‍රහාර දිගේලි කිරීම සම්බන්ධයෙන් රාජපක්ෂ ආන්ඩුවට නොදෙවෙනි බව යි.

දේවසිරි, දැන් ජවිපෙ පෙරට දමාගෙන කම්කරු පන්තියට හා තරුනයන්ට තවත් උගුලක් ඇටවීමට ඉදිරිපත් වෙයි. ඊනියා යහපාලනය වෙනුවෙන් මහජනයා ඉදිරියේ ගෙතු බේගල් සම්බන්ධ කිසිදු වගවීමක් නැති දේවසිරි, දැන් මහජනයා රැවටීමට තවත් ප්‍රලාප ගෙතීමට ලැජ්ජාවක් නැති බව ද පල කරයි.

“විකල්පය ජනතා විමුක්ති පෙරමුන යි” යන හිසින් මේ මස 17 දා රාවය පුවත්පතට ලිපියක් ලියන දේවසිරි මෙසේ කියා සිටී: “ජවිපෙ යනු තවදුරටත් 1990 පෙර පැවති තරුන දේශපාලන පක්ෂය නොවේ. එහි බොහෝ වෙනස්කම් සිදු වී ඇත. දිගු කතාවක් ඉතාම කෙටියෙන් කියනවා නම්, ජවිපෙ වනාහි එක්තරා ආකාරයකට වර්තමාන දේශපාලනය පිලිබඳ පොදු මහජනයාට ඇති කලකිරීම නියෝජනය කරන ප්‍රමුඛ දේශපාලන පක්ෂය යි.”

දේවසිරි අතගසා ඇත්තේ, ජවිපෙ සඳහා නිකන්ම ඡන්ද ගොනු කිරීමේ උද්ඝෝෂනයකට නොවේ. ලංකාවේ ප්‍රධාන ධනපති පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂය (එජාප) හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) කම්කරු පීඩිතයන් හා තරුන කොටස් අතර බරපතල අප්‍රසාදයකට ලක් වී, සමස්ථ පාලක පන්තිය පෙර නූ විරූ අර්බූදයකට මුහුන දී සිටින තත්වයක දී ජවිපෙ ධනපති පාලක පන්තියේ ප්‍රධාන උපකරනයක් ලෙස ඔසවා තැබීමේ කාර්යයට යි.

“ලංකාවේ දේශපාලනය අර්බූදයකට මුහුන දී තිබේ ය යන්න දේශපාලන යථාර්තය පැහැදිලි කිරීමට ප්‍රමානවත් නැත” යි දේවසිරි රාවයට ලියු ලිපිය ආරම්භයේදීම කියා සිටී. ලෝක ධනේශ්වර ක්‍රමයේ අර්බූදයේ කොටසක් ලෙස වර්ධනය වන, ලංකාවේ ධනපති පන්ති පාලනයේ අර්බූදය සහ ජවිපෙ, මධ්‍යම පන්තික ව්‍යාජ-වාම සංවිධාන හා වෘත්තීය සමිති, කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන වැඩපිලිවෙලකට වැට බඳිමින් ධනපති ක්‍රමය රැක දීමට කරබදු වීමේ වාර්තාව වසන් කිරීම සඳහා දේවසිරි වැල්වටාරම් ගොතයි.

“ලංකාවේ පශ්චාත් යටත් විජිත පර්යාය බිඳ වැටීමෙන් ඇති වූ දේශපාලන අසමතුලනයේ ආවරනය මේ වනවිට බෙහෙවින් තීව්‍ර වී තිබේ” යැයි ඔහු කියයි. "ආවරනය තීව්‍ර වී තිබේ”ය යන්නේ තේරුම කුමක්ද? ආවරනයේ ඝනකම වැඩිවීම ද? නැතිනම් ආචරනයේ දිග-පලල වැඩිවීම ද? ආචාරියා මේ පටලැවීමෙන් පෙන්නුම් කරන්නේ, ධනපති පාලනයේ සමතුලිතතාව බිඳවැටීමෙන් බඩජාරී මධ්‍යම පන්තිකයන් අතර පැතිරගොස් ඇති භීතිය යි.

“1983 න් පසු උතුරේ යුද්ධයට මුහුන දීම පිනිස දකුන සංවිධානය වීම විසින් පශ්චාත්-යටත්විජිත අසමතුලනය තාවකාලිකව යටපත් කෙරිනි” යයි පවසන දේවසිරි, “2009 දී යුද්ධය නිම වීමත් සමග එය යලි ඉස්මතු වූ බව” කියයි. රාජපක්ෂ පරාජය කිරීමට ගොඩනැගූ සංවිධාන දැන් නන්නත්තාරවී ඇති බව පිලිගන්නා දේවසිරි, තටම තටමා එලියට දමන විසඳුම, “නව දේශපාලන සමතුලිතයක්” සඳහා “ජවිපෙ වෙත හැකිතාක් දුරට ඡන්ද හරවා යැවීම” ය.

දේවසිරි යටගසන “පශ්චාත් යටත්විජිත ඉතිහාසයේ” සංක්ෂිප්ත සාරය මෙයයි: 1948 ඊනියා නිදහසින් පසු, එවකදී එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ පැවති ආර්ථික ශක්තියට හා ස්ටැලින්වාදී සෝවියට් සංගමයට වාරු වී, කම්කරු පන්තියේ විප්ලවවාදී අරගල (1953 හර්තාලය වැනි) ලෙයින් මඩිමින් ධනපති පාලනය රැක ගැනුනේ, සීමිත සුභසාධන පවත්වාගෙන යමිනි. එකදිගටම ලංකාවේ ධනපති පාලනයේ ස්ථාවරභාවය, කම්කරු පන්තිය ප්‍රමුඛ පීඩිත ජනතාවගේ අභියෝගයට ලක්කෙරුනි. මෙය හසුරුවා ගැනීම සඳහා ධනපති පාලකයන් සමසමාජ-කොමියුනිස්ට් නායකයන් යොදාගැනීම කුලු ගැන්වුනේ, 1964 සිරිමා බන්ඩාරනායකගේ ආන්ඩුවට එම ද්‍රෝහී නායකයන් ඇතුලු කරගැනීමෙනි.

කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වයට සමසමාජ-ස්ටැලින්වාදී නායකයින් විසින් වලකපනු ලැබීමෙන් පසුව, කම්කරු පන්තියෙන් ලබාගත හැකි දේශපාලන නායකත්වය පිලිබඳව විස්වාසභංගත්වයට පත් පීඩිත තරුනයින් අතර “බලයක්” ගොඩනගා ගැනීමට ඉදිරිපත්වූයේ, ජනතා විමුක්ති පෙරමුන යි. එවකදී, ජාත්‍යන්තර රැඩිකල් දේශපාලනයේ විරාජමානවූ මාඕවාදයෙන් හා චේගුවේරාවාදයෙන් වර්නගන්වාගත් ජවිපෙ, මුලපටන්ම කම්කරු පන්තිය කෙරෙහි ද සුලුතර දෙමල ජනතාව කෙරෙහි ද සිය වෛරය නොඅඩුව ප්‍රදර්ශනය කලේ ය.

1977න් පසු ධනපති යූඇන්පී ආන්ඩුවේ මුල්සමයේදීම පිපිරුනු, 1980 ජූලි වැඩවර්ජනයට ප්‍රසිද්ධියේම හොරිකඩකම් කල ජනතා විමුක්ති පෙරමුන, 1983න් පසු දියත් කෙරුනු දෙමල සංහාරක යුද්ධයේ ප්‍රමුඛ කසකරුවෙකු විය. 1987/90 කාලපරිච්ඡේදයේ දී ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව, “මව්බිම නැත්නම් මරනය” හා “පලමුව මව් බිම දෙවනුව වැඩබිම” වැනි ප්‍රතිගාමී සටන්පාඨ යටතේ ගෙන ගිය සිංහල ස්වෝත්තමවාදී උද්ඝෝෂනය කම්කරු පන්තියට එරෙහි පාලක පන්තියේ ෆැසිස්ට් අත්ගෙඩියක් විය. දෙමල ජනයාට එරෙහි යුද්ධය උග්‍රකිරීම සඳහා ද දකුනේ වැඩීඑමින් පැවැති කම්කරු අරගල මැඩීම සඳහා ද ලංකාවේ ධනපති පාලනයට සහායවීම සඳහා, ඉන්දියානු හමුදා මැදිහත් කිරීමට පියවර ගැනුනු, ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිවීමේ මුවාවෙන් ජනතා විමුක්ති පෙරමුන රිංගා ගත්තේ, එවක අගමැති (පසුව ජනාධිපති) රනසිංහ ප්‍රේමදාසගේ තුරුලට ය. මේ දීගකෑම් කෙලවරවූයේ, 60,000 ට අධික ගම්බද තරුන සංහාරයක් සඳහා ධනපති පාලනයට දොර ඇර දීමෙනි.

දේවසිරි කියන පරිදි, “ජවිපෙ යනු තවදුරටත් 1990ට පෙර පැවැති තරුන දේශපාලන පක්ෂය නොවේ” යන්න ජනතා විමුක්ති පෙරමුනට ගැලපෙන පිරුවටයක් නොවේ. 2001දී, ධනපති බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) හා එජාප රනිල් වික්‍රමසිංහ අතර අත්සන් තැබුනු සටන් විරාමය ඉරා දමමින්, යලි යුද්ධය ඇවිලවීමේ දී ජවිපෙ ඒකාබද්ධ වූයේ, චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ සමග පමනක් නොව, ඇමරිකන් අධිරාජ්‍යවාදය ද සමග ය. ස්ටැලින්වාදී නිලධරය විසින් සෝවියට් සංගමය බිඳ විසුරුවීමෙන් පසු, ඇමරිකන් අධිරාජ්‍යවාදය සිය ලෝක ආධිපත්‍ය තහවුරුකර ගැනීම සඳහා මැදපෙරදිග කලාපයට කඩා වදිමින්, 2001 දී ඊනියා “ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධය” දියත් කලේ ය. ජනතා විමුක්ති පෙරමුන කලේ, 2004 දී යලි බලයට පත් වූ ජෝජ්.ඩබ්ලිව්. බුෂ්ට සුභ පතමින්, එල්ටීටීඊය පරාජය කිරීම සඳහා සහාය දෙන්නැයි ඇමරිකන් අධිරාජ්‍යවාදය ඉදිරියේ දනින් වැටීම ය. එතැන් පටන්, 2005 සිට මහින්ද රාජපක්ෂ ආන්ඩුව යටතේ උග්‍රකෙරුනු මිනීමරු යුද්ධයේ ප්‍රධාන කසකරුවා වූයේ ද ජවිපෙ යි.

මේ වකවානුව තුල දේවසිරිගේ ඉතිහාසය ගැන කියතොත්, ඔහු විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් ලෙස පත්වීමෙන් පසු තම භූමිකාව කරගත්තේ, ලංකාව තුල ප්‍රතිගාමී පශ්චාත්-නූතනවාදී ප්‍රවනතාව ඔජවැඩවීම යි. ඒ සඳහා “එක්ස් කන්ඩායම” පිහිටුවා ගෙන සමාජවාදයට හා මාක්ස්වාදයට සතුරුව විශ්වවිද්‍යාල තරුන කොටස් මුලාකරමින් සිටි දේවසිරි, විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය මෙහෙයවා ගෙන, අධ්‍යාපන වියදම් සියයට 6දක්වා ඉහල නංවන ලෙසට රාජපක්ෂ ආන්ඩුවට බලපෑම් දැමීමේ ප්‍රෝඩාවක නිරත විය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අයිතීන් මෙන් ම නිදහස් අධ්‍යාපනයේ ද සුරක්ෂිතතාව තහවුරු කල හැක්කේ, සමාජවාදී වැඩපිලිවෙලක් මත පමනි යැයි අවධාරනය කල, සමාජවාදී සමානතා පක්ෂයට එරෙහිව දේවසිරි බුරාපැන්නේ, සමාජවාදය “කල්ගන්නා වැඩකි”යි සමච්චල් කරමිනි. දේවසිරිගේ බලපෑම් දැමීමේ ඊනියා අරගලය කෙලවරවූයේ, මහින්ද රාජපක්ෂගේ ඇස්බැන්දුමකට යටත්ව, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය පාවාදීමෙනි.

ජවිපෙ හා දේවසිරි සමීපව වැඩට බැස ගත්තේ, 2015 දී රාජපක්ෂ ආන්ඩුව චීනය සමග වර්ධනය කරගෙන පැවති ආර්ථික හා දේශපාලන සම්බන්ධතා බිඳ දමා, ලංකාව චීනයට එරෙහි ලෝක යුද සැලසුම්වල අක්ෂයට ගැනීම සඳහා ඇමරිකාවේ ඔබාමා පරිපාලනය සහ ඉන්දියාවේ පාලක පන්තිය ගෙන ගිය තන්ත්‍ර මාරු මෙහෙයුමෙහි දී ය.

ලෝක ධනේශ්වර අධිරාජ්‍යවාදී පද්ධතියේ අර්බූදයේ තියුනුම ප්‍රකාශනය, දැන් ට්‍රම්ප්ට් පරිපාලනය යටතේ ඇමරිකන් අධිරාජ්‍යවාදය ගෙන යන ඉව බව නැති යුද ධාවනය හා ආර්ථික ආරක්ෂනවාදය මගින් පෙන්නුම් කර තිබේ. ලෝක යුද්ධයකට වේගයෙන් ගමන් කරන ඇමරිකන් පාලක පන්තිය මෙන්ම ඔවුන් සමග පෙල ගැසී සිටින ඉන්දු උපමහද්වීප කලාපයේ, ඉන්දියානු මෝඩි ආන්ඩුව මෙන්ම ලංකාවේ සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව ද මුහුන දී සිටින්නේ විප්ලවවාදී අර්බූදයකට යි. එය මතු කරන්නේ, කම්කරු පන්තියේ නායකත්වය යටතේ ගම්බද ගොවීන් ඇතුලු පීඩිත ජන ‍කොටස් ද තරුනයන් ද බලමුලු ගන්වා ගනිමින්, ධනවාදය පෙරලා දමා සමාජවාදය ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව යි. ධනේශ්වර පද්ධතියට තදින්ම ඇලී ගත් දේවසිරි වැනි ධනේශ්වර ශාස්ත්‍රාලිකයන් මෙන්ම, මධ්‍යම පන්තික ව්‍යාජ-වාම පක්ෂ ද ජනතා විමුක්ති පෙරමුන වැඩම්මවීමට වලකන්නේ, මෙම ප්‍රගතිශීලි වැඩපිලිවෙලට ඔවුන්ගේ ඇති දැඩි විරුද්ධත්වය නිසා ය.

ජවිපෙ ය, සුලු ධනේශ්වර ජාතිකවාදී සංවිධානයක සිට ධනපති දේශපාලන සංස්ථාපිතයේ පක්ෂයක් බවට පරිවර්ථනය වී තිබීම පෙන්නුම් කරන්නේ, ලෝක ධනේශ්වර ක්‍රමයේ නිෂ්පාදනයේ භූගෝලීයකරන සංතතිය විසින් සියලු ජාතිකවාදී සංවිධානයන්ට හා වැඩපිලිවෙලවල්වලට මලබෙරයට හඬවනු ලැබ ඇත යන්න යි. මෙම තතු යටතේ, ස්ටැලින්වාදීන්, වෘත්තීය සමිති නිලධරය හා ධනපති සුභසාධන ව්‍යාපෘති කරපින්නාගත් සියලු ඊනියා රැඩිකල්වාදී ව්‍යාපාරවල පා යටින් වලකැපී තිබේ. දේවසිරි, ජනතා විමුක්ති පෙරමුනට හේත්තුවී ගෙන පිටපොට ගසන්නේ, මේ දේශපාලන ගතිකය ආපසු හැරවීමට යි.

කතුවරයා පහත ලිපි ද නිර්දේශ කරයි:

ආචාර්ය නිර්මාල් දේවසිරි විධායක ජනාධිපති ක්‍රමය රැකගත යුතුයැයි ආන්ඩුවට උපදෙස් දෙයි

ආචාර්ය දේවසිරි: අධිරාජ්‍යවාදයේ කඳවුරට සේන්දුවූ බුද්ධිමය වංචනිකයෙක්

Share this article: