වර්ගවාදී යුද්ධයේ සහායකයෙකු වූ ජනතා විමුක්ති පෙරමුන උතුරේ චන්දය ඉල්ලයි

වී. කමලදාසන් විසිනි (සමාජවාදී සමානතා පක්ෂයේ කයිට්ස් අපේක්ෂක), 2017 දෙසැම්බර් 30

පෙබරවරි 10වන දින පැවැත්වීමට නියමිත පලාත් පාලන මැතිවරනය සඳහා යුද්ධයෙන් විනාශයට පත් උතුරේ යාපනය දිස්ත්‍රික්කයට ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ද ඉදිරිපත්වේ.

2009 මැයි මාසයේ ශ්‍රී ලංකා මිලිටරිය විසින් පරාජයට පත් කල බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) විරුද්ධව කොලඹ ආන්ඩු විසින් ගෙනයන ලද 26 අවුරුදු වර්ගවාදී යුද්ධයට හවුල්වූ ජවිපෙ සිංහල ස්වෝත්තමවාදය කරපින්නාගත් සංවිධානයකි. ජවිපෙ දේශපාලනය හා සමාජවාදය සඳහා අරගලය අතර කිසිදු සමානකමක් නැතත් එය සමාජවාදී ලෙස මවා පෙන්වා ගන්නා අතර දෙමල ජනතාවගේ හිතවතෙකු ලෙස පෙනී සිටීමට ද මෑතක සිට මහත් උත්සාහයක යෙදී සිටියි.

යුද්ධයට දුන් සහයෝගය නිසා දෙමල ජනතාව අතර අපකීර්තියට පත්ව සිටින ජවිපෙහි නාමයෝජනා භාරදීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාමලිංගම් චන්ද්‍රසේකරන් කොලඹ සිට යාපනයට පැමිනියේ ය. යුද්ධයට මුලුමනින්ම සහයෝගය දුන් ජවිපෙ දැන් උතුරේ චන්දයට ඉදිරිපත්වන්නේ කුමන පදනමකින් දැයි ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවෙකු රාමලිංගම්ගෙන් ප‍්‍රශ්න කලේය.

ඊට පිලිතුරු දුන් රාමලිංගම් “යුද්ධයට සහයෝගය දුන්නු බව ඇත්ත, එයට හේතු තිබෙනවා” යයි ප‍්‍රකාශ කලේය. එහෙත් ඔහු එම හේතු මොනවාදැයි පැහැදිලි නොකිරීමට වග බලා ගත්තේය.

තවත් මාධ්‍යවේදීන් කිහිපදෙනෙක් විසින් දෙමල ජනතාව බහුලව ජීවත්වන උතුර හා නැගෙනහිර පලාත් බෙදීම සඳහා ජවිපෙ නඩු පැවරුවා නේද යනුවෙන් ප‍්‍රශ්නයක් මතු කරන ලදී. ඊට පිලිතුරු දෙමින් රාමලිංගම් මෙසේ කිවේය: “දෙමල ජනතාවගේ මව්බිම උතුර හා නැගෙනහිර නොවේ. ලංකාව පුරාම දෙමල ජනතාවගේ මවු බිමය යන්න අපේ පක්ෂයේ ආස්ථානයයි. ප‍්‍රදේශය, භාෂාව, ආගම, හා කුලය මූලික කරගෙන ජනතාව බෙදීමට අපි විරුද්ධයි.”

රාමලිංගම් ප‍්‍රකාශ කලේ යුද්ධයට දුන් සහයෝගය වංචනික ලෙස යුක්තියුක්ත කිරීමට ජවිපෙ ගෙන යන ප‍්‍රචාරයයි. ජවිපෙ කිසිදාක දෙමල ජනතාවගේ එරෙහි වෙනස්කම් වලට විරුද්ධව ඔවුන්ගේ සමාන අයිතිවාසිකම් සඳහා හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් වෙනුවෙන් ඉදිරිපත්වූ සංවිධානයක් නොවේ. ඒ වෙනුවට, ජවිපෙ සිංහල භාෂාවට හා බෞද්ධාගමට මුල්තැන දෙන ඒකීය රාජ්‍යය හා ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමේදී පෙරමුන ගෙන සිටියි. උතුරු-නැගෙනහිර පලාත් යලි බෙදීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරනයේ නඩු පැවරීමට ජවිපෙ මූලිකත්වය ගත්තේ මේ පදනම මත, අනෙකුත් වර්ගවාදී කන්ඩායම් වලට ද උඩගෙඩි දෙමිනි.

ජවිපෙ එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුව 1983 යුද්ධය ඇවිලවූ තැන්පටන් ඊට දිගටම සහයෝගය දුන්නේය. 1987දී ඉන්දු ලංකා ගිවිසුම යටතේ පලාත් සභා ස්ථාපිත කල විට, ඊලම්වාදීන්ට කප්පම් වසයෙන් රට බෙදන බවට චෝදනා කල ජවිපෙ, අවුරුදු තුනක පමන දිගට ගිය භීෂනයක් මුදා හැරියේ දේශපාලන විරුද්ධවාදීන් දහසක් පමන ඝාතනය කලේය. ජනාධිපති ජේ. ආර් ජයවර්ධනගේ හා ඔහුගේ අනුප‍්‍රාප්තික ආර්. පේ‍්‍රමදාසගේ ආන්ඩු එය යොදා ගත්තේ ජවිපෙ සාමාජිකයන් ද ගම්බද රැඩිකලීකරනය වූ සිංහල තරුනයන් හැටදහසක් පමන ඝාතනය කිරීමටයි.

මෙම ව්‍යසනයෙන් පසු 1990 ගනන් මුල ජවිපෙ යලිත් කරලියට ආවේ ටික කලකින්ම ධනේශ්වර දේශපාලන සන්ස්තාපිතයේ පක්ෂයක් බවට පත්විය. 2004 දී ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ ආන්ඩුවේ ඇමති පදවි 4ක් ලබාගෙන මාස කිහිපයකින් ඉන් ඉවත්වූයේ සුනාමි ආධාර බෙදීම සඳහා එල්ටීටීඊය සමග යාන්ත‍්‍රනයක් හැදීමට විරුද්ධත්වය පාමිනි.

එජාප පාලනය 2002 එල්ටීටීඊය කොලඹ පාලනයේ කනිෂ්ට සහකරුවෙක් කරගැනීමට ඇති කර ගත් සටන් විරාම ගිවිසුමට විරුද්ධ වුයේද වර්ගවාදී පදනම මතය. එම ගිවිසුම අහෝසි කල යුතුය යන කොන්දේසිය සහිතව 2005 ජනාධිපතිවරනයේ දී ජවිපෙ මහින්ද රාජපක්ෂට සහයෝගය දුන්නේය. ඉන් ඇඟවුම් කලේ එල්ටීටීඊයට එරෙහි යුද්ධය යලි ආරම්භ කල යුතුය යන්නයි. දිගින් දිගටම සිද්ධ කෙරුනු ප‍්‍රකෝපකිරීම් වලින් පසු 2006 මැද භාගයේ දී රාජපක්ෂ විසින් යුද්ධය යලි ආරම්භ කෙරුනි.

ඒ කාලපරිච්ජේදයේ දී ආරක්ෂක හමුදාවන් විසින් හෝ ඔවුන් සමග එකට වැඩකල දෙමල පැරාමිලිටරි කන්ඩායම් විසින් විශේෂයෙන්ම තරුනයන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම, ඝාතනය කිරීම හා සැකපිට අත්අඩංගුවට ගෙන රඳවාගෙන තැබීම ඇතුලු අපරාධ වලට ජවිපෙ සහයෝගය දුන්නේ ඒවා යුද්ධය ගෙන යාම සඳහා අවශ්‍ය පියවර ලෙස අවධාරනය කරමිනි. ජවිපෙ සිය ඊනියා රතු බලකාය මිලිටරියට යුද අගල් කැපීමට මෙහෙයවීම මෙම යුද සහාය කෙතරම් දුෂ්ට මට්ටමකට ගියේද යන්න පෙන්නුම් කරයි.

යුද්ධය අවසානයේදී ලක්ෂ තුනකට ආසන්න දෙමල ජනතාවක් රැඳවුම් කඳවුරුවලට ගාල් කෙරුනි. මෙම පක්ෂය එයද යුක්තියුක්ත කලේ එල්ටීටීඊ සැකකරුවන් අල්ලා ගැනීම අවශ්‍ය බවට මිලිටරිය ඉදිරිපත් කල තර්කය ඇදබාමින් ය. හතලිදාහක් පමන සාමාන්‍ය දෙමල ජනයා අවසන් මිලිටරි ප‍්‍රහාර වල දී ඝාතනය කෙරුනු බව එක්සත් ජාතීන්ගේ සංගමයේ වාර්තා වල සඳහන් වේ.

2015 ජනවාරි මාසේ පැවැත්වූ ජනාධිපති මැතිවරනයේ දී, හිටපු ජනාධිපති රාජපක්ෂ ඉවත්කර මෛත‍්‍රීපාල සිරිසේන බලයේ පිහිටුවීමට ඇමරිකාව සැලසුම් කල තන්ත‍්‍රමාරු මෙහෙයුමට ජවිපෙ අනෙකුත් ධනපති පක්ෂ සහ ව්‍යාජ වම සමග එක්ව මුලුමනින්ම සහයෝගය දුන්නේය. ඇමරිකාව මෙම තන්ත‍්‍ර මෙහෙයුම සිදුකලේ රාජපක්ෂගේ ඉන්පසුව සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය ද ඒකාබද්ධව පිහිටුවූ ජාතික විධායක සභාවේ මූලික සහකරුවෙක් ලෙස මෙම පක්ෂය ක්‍රියා කලේය.

මේ සියල්ල කිරීමෙන් පසු ජවිපෙ එහි පනස් වසරක ඉතිහාසය තුල දෙමල ජනතාවට කිසිම “ද්‍රෝහී කමක් කල පක්ෂයක් නොවේ” යයි රාමලිංගම් කරන ප‍්‍රකාශය ඉතිහාසය කනපිට පෙරලීමකි. ජවිපෙ එහි ආරම්භයේ සිටමත් දෙමල විරෝධී සිංහල ස්වෝත්තමවාදය, මා ඕවාදය හා ගුවෙරාවාදය සමග මිශ‍්‍ර කරගත් දෘෂ්ටියක් හා දේශපාලනයක් මත පාදකව සිටියේය. පෙර කෙටියෙන් සඳහන් කල එම පක්ෂයේ ක්‍රියාකලාපය මෙම දේශපාලනයේ තර්කානුකුල ප‍්‍රතිපලයන්ය. එය සිංහල කම්කරුවන්ගේ හා දුගීන්ගේ අයිතීන් මැඞීමට ධනපති ආන්ඩුවලට සහයෝගය දීමේ වාර්තාවක ද හිමිකරුවෙකි.

ජවිපෙ මෙන්ම එල්ටීටීඊය බිහිවීම ලංකා සම සමාජ පක්ෂය 1964 සිදු කල මහා පාවාදීමේ ප්‍රතිපලයකි. එම වසරේ ලංකා සමසමාජ පක්ෂය, ධනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආන්ඩුවට ඇතුලු වී සමාජවාදී ජාත්‍යන්තරවාදයේ මූලධර්ම පාවාදී කම්කරු පන්තිය ධනේශ්වරයට ගැටගසා එහි දේශපාලන ස්වාධීනත්වයට වල කැපුවේය. එය තුඩුදුන්නේ කම්කරු පන්තිය වෙත ආකර්ශනය වී සිටි සිංහල හා දෙමල තරුනයන් අතර දකුනේ ජවිපෙත් උතුරේ එල්ටීටීඊයත් වැඞී ඒමට කොන්දේසි සකස් වීමයි.

උතුරු නැගෙනහිර වර්ගවාදී යුද්ධය ගෙන ගිය එජාපය, ශ්‍රීලනිප ඇතුලු ධනපති පක්ෂ ද දෙමල ජාතික සන්ධානය (දෙජාස) ඇතුලු ධනපතියන්ගේ කර මතින් පැමින මෙම පලාත්වල තරඟ කරයි. ලංකාවේ අනෙකුත් ප‍්‍රදේශවල මෙන්ම උතුරු නැගෙනහිර ජනයා අතර ද මෙම පක්ෂ මෙන්ම ටීඑන්ඒ ඇතුලු දෙමල ධනපති පක්ෂ කම්කරුවන්, දුගීන් සහ තරුනයන් අතර අපකීර්තියට හා අර්බුදයට පත්ව සිටියි. ජවිපෙ අලුත් වෙස් මුහුනක් දමාගෙන සිය දේශපාලන ව්‍යාපාරය දැන් ගෙන යන්නේ මෙම වැඩකරන ජනතාවට එල්ලවූ ප‍්‍රහාරවලට තමන් කිසිසේත්ම වකිවයුතු නැති සුදන උපාසක ලීලාවෙනි.

මෙම සියලු පක්ෂ මහජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් හෝ ජිවන කොන්දේසි හා සමාජ අයිතීන් වෙනුවෙන් නොව ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයේ හා එහි ඒජන්ත ලංකාවේ මහා ධනපතියන්ගේ ලාභ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටි.

සමාජවාදී සමානතා පක්ෂය යාපනයේ කයිට්ස්, වතුකරයේ අඹගමුව සහ කොලඹ කොලොන්නාව පලාත්පාලන ප‍්‍රාදේශීය සභාවට අපේක්ෂකයන් ඉදිරිපත් කර ඇත. වර්ගවාදී යුද්ධයට එරෙහිව ද, උතුරු නැගෙනහිරෙන් ශ්‍රී ලංකාවේ හමුදා කොන්දේසි විරහිතව ඉවත් කරන ලෙස සටන් කිරීමේ දීර්ඝ ඉතිහාසයක් සමාජවාදී සමානතා පක්ෂයට ඇත. සිංහල වර්ගවාදයට ද, දෙමල බෙදුම්වාදයට ද එරෙහිව සිංහල, දෙමල සහ මුස්ලිම් කම්කරු පන්තිය සමාජවාදී වැඩපිලිවෙලක් මත එක්සත් කොට ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමුහාන්ඩුවක් ගොඩනැගීමට සටන් කිරීම අපගේ වැඩපිලිවෙලයි. එය දකුනු ආසියාවේ ද ජාත්‍යන්තරව ද සමාජවාදය සඳහා අප ගෙනයන අරගලයේ කොටසකි.

Share this article: