එක්සත් ජනපද ආන්ඩුව හා රුසියානු මැතිවරනය

The US government and the Russian election

2017 දෙසැම්බර් 27

ගෙවී ගිය වසර තිස්සේ, ඩිමොක‍්‍රටික් පක්ෂය ද ප‍්‍රමුඛ ඇමරිකානු මාධ්‍ය හොරනෑ ද ඒකෝන්මාදී ව නාබි ගත කෙරී ඇත්තේ රුසියානු මැදිහත්වීම් මගින් 2016 එක්සත් ජනපද ජනාධිපතිවරනයට යටිකූට්ටු ලෙස පීඩා කල බවට කෙරෙන සනාත නො කල චෝදනා මත ය.

එලඹෙන රුසියානු මැතිවරනයට සහභාගීවීමෙන් ඇලෙක්ෂේයි නවල්නි වැලක්වීමට රුසියානු නිලධාරීන් ගත් තීරනයට වන ප‍්‍රතිචාර යමෙකු විසින් තක්සේරු කරන්නේ නම් මෙම ප‍්‍රකාශ සලකා බැලීම වැදගත් වන්නේ ය. (රුසියානු නිලධාරීන්ගේ) ඉහත කී පියවර ඇමරිකානු මෙන් ම ජාත්‍යන්තර මාධ්‍යවල ස්වයං-ධාර්මික හෙලාදැකීම්වලට ලක් වී ඇත. ප‍්‍රවෘත්ති පත‍්‍ර ලිපි පල කර ඇත්තේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට විරුද්ධ “දූෂන විරෝධී කුරුස යුද්ධකරුවා” මෙන් ම “මහජන විරුද්ධත්වයේ” “ප‍්‍රජාතන්ත‍්‍රවාදී” ආකෘතිය ලෙස නවල්නිට ප‍්‍රශංසා කරමිනි.

නවල්නි වැලක්වීමේ පියවර හෙලා දකිමින් වොෂින්ටන් පෝස්ට් පත‍්‍රය කතුවැකියක් පල කලේ ය. නවල්නිගේ “සැබෑ අපරාධය වන්නේ පුටින්ගේ ‘ආඥාදායක’ ආන්ඩුවට එරෙහි විරුද්ධත්වය මෙහෙවීමට උදව් කිරීම” හා “මෙම වසරේදී තන්ත‍්‍රය හෙලා දැකීමට රුසියාව පුරා නගරවල දස දහස් ගනනක් අනුගාමිකයන් වීදිවලට බැස්සවීම” බව එය ප‍්‍රකාශ කලේ ය.

මෙහි පවතින කුහකත්වය හා නරුමත්වය හුස්මහිරකරවන සුලු ය. එක්සත් ජනපද මැතිවරනය තුල චූදිත රුසියානු “ඇඟිලි ගැසීම්” ෆේස්බුක් දැන්වීම්වලට වැය කෙරුනු ඩොලර් ලක්ෂ කීපයකින් සමන්විත වූ අතර, නවල්නි බොහෝ සේ මුලුමනින් ම එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිර්මානයකි.

යේල් (විශ්වවිද්‍යාලයේ) ලෝක අධිශිෂ්‍යත්ව වැඩසටහනේ උපාධිධාරියෙකු වන නවල්නි, යේල් වෙබ් අඩවියේ නාම ගත කෙරී ඇත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී විකල්ප ව්‍යාපාරයේ සාමාරම්භකයා ලෙස ය. එකී සංවිධානය එක්සත් ජනපද ආන්ඩුව අනුග‍්‍රහ දක්වන ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා ජාතික පුන්‍යස්ථානයේ අරමුදල් ලබා ඇති බව කාන්දු වූ රාජ්‍යතාන්ත‍්‍රික කේබල් පනිවුඩයක පෙන්වූ අතර, එය වසන් කෙරුනේ “ඇමරිකානු සම්බන්ධයක් මගින් සන්ධානගතවීම හෙලිවෙතැ යන බිය” හේතුවෙනි.

දේශපාලන විරුද්ධවාදීන් මත පුටින් ආන්ඩුවේ කඩා පැනීමට ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහාය නො දෙන නමුත්, “මානව හිමිකම්” හා “ප‍්‍රජාතන්ත‍්‍රවාදය” ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපද ප‍්‍රවෘත්ති පත‍්‍රවල මවාපෑම් සහාසික ය. ලෝකයේ බොහෝ විෂම මෙන් ම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී සංවර්ධිත රට ද ලෝකය පුරා යුද්ධ හා ඒකාධිපතිත්වය සඳහා ප‍්‍රධාන බලවතා ද වන එක්සත් ජනපදය, අනෙකුත් අයට “ප‍්‍රජාතන්ත‍්‍රවාදය” ගැන දේශනා කිරීමේ තත්වයක නො සිටී.

එක්ස් ජනදපය තරම් සෘජුව, නිතිපතා හා ලජ්ජාවිරහිත ව විදේශ රටවල දේශපාලන කටයුතුවලට ඇඟිලි ගසන වෙනත් රටක් නොමැත. එක්සත් ජනපද විදේශ ප‍්‍රතිපත්තිය අනෙකුත් රටවල දේශපාලනය තුල දැවැන්ත ලෙස මැදිහත් වන එකකි, (එය ක‍්‍රියාත්මක වන්නේ) ප‍්‍රචාරය මගින් සියල්ල පාලනය කරමින්, (රටවල්) අස්ථාවර කරමින්, විරුද්ධ පක්ෂවලට මුදල් දෙමින්, මැතිවරන වංචා සහ මිලිටරි බෝම්බ දැමීම් හා වැඩිලාගැනීම්වලට කුමන්ත‍්‍රනය කරමිනි, මේ සියල්ල එකට ගත් කල ජර්මනියේ නාසීන්ගෙන් පසු අනෙකුත් ඕනෑ ම රටකට වඩා එය මිනිසුන් මරා දමා ඇත.

කානගී මෙලන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩොව් ලෙවින්, 1946 හා 2000 අතරතුර කාලයේ වොෂින්ටනය අනෙකුත් රටවල මැතිවරනවල දී මැදහත්වුනු අවස්ථා 81ක් ලේඛනගත කරමින් දත්ත පදනමක් එක්රැස් කර ඇත. මෙම සංඛ්‍යාවට ඉරානය, කොංගෝව, ගෝතමාලාව, චිලී හා වෙනත් බොහෝ ජාතීන්ගේ රටවල එක්සත් ජනපදය විරුද්ධ වූ අපේක්ෂකයින් ජය ගැනීමෙන් පසු සිදු කෙරුනු මිලිටරි කුමන්ත‍්‍රන හෝ තන්ත‍්‍ර වෙනස් කිරීම් ඇතුලත් නො වේ.

1996 රුසියානු මැතිවරනයේ දී බොරිස් යෙල්ට්සින්ගේ නැවත පත්වීම තහවුරු කිරීමට එක්සත් ජනපද ආන්ඩුව හා පුද්ගලිකව බිල් ක්ලින්ටන්ගේ මැදිහත්වීම කෙතරම් තුච්ඡ එකක් වූයේද යත්, ටයිම් සඟරාව 1996 ජූලි මුද්‍රනයේ පිටකවරය හැඩ ගැන්වූයේ “ගලවා ගැනීමට යැංකින්” යන ශීර්ෂපාඨය සමගින් ඇමරිකානු ධජය ඔසවා සිටින යෙල්ට්සින්ගේ පින්තූරයකිනි.

තමන්ගේ පැත්තෙන්, එක්සත් ජනපද මැතිවරන ක‍්‍රමය, එක්සත් ජනපද ජනගහනයේ අතිවිශාල බහුතරයගේ හඬ මැතිවරනය තුලින් ඇසීම වලක්වන්නේ, බිලියනපතියන් හා සංගත විසින් යොදවන බලපෑම හා තුන්වන පක්ෂ අපේක්ෂකයින් සඳහා අතිවිශාල බාධක පනවන ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී නීති අවුල් ජාලයක් සමගිනි.

මෙම සතියේ තම එක්සත් ජනපද සංචාරය ගැන වාර්තා කරමින්, අන්ත දරිද්‍රතාව හා මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු මෙසේ ප‍්‍රකාශ කලේ ය, “බොහෝ ඡන්දදායකයින්ගේ ඡන්ද බලය අහිමි කෙරුනා වූ ද...එමෙන් ම සාමාන්‍ය ඡන්දදායකයින්ට අවසානයේ දී දේශපාලන ප‍්‍රතිඵල මත ඉතා ම කුඩා බලපෑමක් පමනක් ඇත්තා වූ ද වෙනත් දියුනු රටක් නොමැත.”

සම්පූර්න නවල්නි උද්ඝෝෂනය ම රුසියානු දේශපාලනය තුල මැදිහත්වීමට එක්සත් ජනපද ඔත්තුසේවා ආයතන විසින් ගෙන යනු ලබන උත්සාහයක් නියෝජනය කරන බවට සැලකිය යුතු සාක්ෂි තිබිය දී, ක්‍රෙම්ලිනය ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදය යටපත් කරමින් සිටි තැ යි යන ප‍්‍රකාශය සමගින් නවල්නිට එරෙහිව පුටින්ගේ පියවර ගැටගැසීමට එක්සත් ජනපද මාධ්‍ය පොටක් පාදා ගෙන ඇත.

“තෙමේ ම රුසියාව තුල දේශපාලනික තරඟය නීතියෙන් තහනම් කරද් දී පවා, පුටින් මහතා බටහිර මැතිවරන යටින් කැන හෙලීමේ හා ඇල කිරීමේ උත්සාහයන් නොකඩවා අධීක්ෂනය කරතැ” යි වොෂින්ටනේ පෝස්ට් කතුවැකියක් සඳහන් කලේ ය. “ඔහුට අනුව, ප‍්‍රජාතන්ත‍්‍රවාදී තරඟය යනු තම රටේ දී වැලක්විය යුතු වන්නා වූ ද විදේශයන් හි දී ගසා කෑ යුතු වන්නා වූ ද උපද්‍රවයකි. එම අර්ථයෙන්, බටහිර රටවලට මෙන් ම රුසියාව තුල ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ට පුටින් මහතා වලකාලීමේ පොදු අභිප‍්‍රායක් ඇත.”

ඔත්තුසේවා ඒජන්සිවල හොරනෑවක් වන පෝස්ට් පත‍්‍රයට අනුව, රුසියානු ආන්ඩුව එක්සත් ජනපද මැතිවරනයේ දී මැදිහත්වීමට උත්සාහ කලේ තුන්වැනි පක්ෂ අපේක්ෂකයෙකු පුම්බමිනි. පසු ගිය සතියේ දී, සෙනෙට් සභා ඔත්තු සේවා කමිටුව නිවේදනය කලේ, ඇයගේ මැතිවරන උද්ඝෝෂනය රුසියානු පාදක රූපවාහිනී ජාලයක් වන ආර්ටී මගින් ප‍්‍රසිද්ධියක් ලැබීය යන පදනම මත, 2016 ජනාධිපතිවරනයේ හරිත පක්ෂ අපේක්ෂිකා ජිල් ස්ටේන් සම්බන්ධයෙන් විමර්ශනයක් කරමින් සිටින බව යි. මෙය තුන්වැනි පක්ෂ හා ඒවායේ අපේක්ෂකයින් බියවැද්දීමට දරන උත්සාහකට වඩා වෙනස් දෙයක් ලෙස දැකිය නො හැක.

අදහාගත නොහැකි ඉන්ද්‍රජාලයක් හරහා, පෝස්ට් පත‍්‍රය රුසියාව තුල තුන්වැනි පක්ෂ අපේක්ෂකයෙකු මර්දනය කිරීම හෙලා දකින්නේ එක්සත් ජනපදය තුල හරිත පක්ෂ ආධාරකරුවන් පාවාදෙන්නන් ලෙස හංවඩු ගැසීමේ ප‍්‍රයත්නයන් නීත්‍යානුකූල කරමින් සිටන අතර ම ය.

රුසියානු කතිපයාධිකාරයට වන මහජන විරුද්ධත්වයේ හඬ ලෙස නවල්නි පිලිබඳ නිල ඉදිරිපත් කිරීම සමග තවත් ගැටලුවක් ඇත, එනම් ඔහු රුසියානු ඡන්ද කොට්ඨාශ අතර ආන්තික සහයෝගයක් ලබන දක්ෂිනාංශික අන්තවාදියෙකැ යි යන කාරනය යි.

දූෂන විරෝධී ලට්ටලොට්ට පිටුපස ඔහුගේ දක්ෂිනාංශික දේශපාලනය ආවරනය කරන අතර, අන්ත ජාතිකවාදය, නාසිවාදී කන්ඩායම් සමග සම්බන්ධකම් හා වර්ගවාදී සංකල්ප ප‍්‍රචාරය පිලිබඳ දීර්ග ඉතිහාසයක් නවල්නිට ඇත. එක් වීඩියෝවක දී ඔහු රුසියාව තුල සුලුතරයන් “කැරපොත්තන්” ලෙස සන්සන්දනය කරන්නේ, කැරපොත්තන් සෙරෙප්පුවකින් මරා දැමිය හැකි අතර, මිනිසුන් සඳහා ඔහු පිස්තෝලයක් යෝජනා කරන බව පවසමිනි. 2008 රුසියානු-ක‍්‍රිමියානු යුද්ධය අතරතුර දී, නවල්නි නැවතනැවතත් ජෝර්ජියානුවන් “මූෂිකයින්” යැයි නම් කල අතර, සියලු ජෝර්ජියානුවන් රුසියාවෙන් පිටමං කල යුතු යැයි ඉල්ලා සිටියේ ය.

එක්සත් ජනපදය සමග පෙල ගැසුනු මාධ්‍ය නවල්නි වීරයෙකු ලෙස ප‍්‍රශංසා කරන අතර, “නවල්නි ගැන නිතර ම අඩුවෙන් පැවසෙන දේවල් වන්නේ ඔහුගේ ජාතිකවාදී නැඹුරුව, නව-නාසි කන්ඩායම්වලට ඇති බැඳීම්, විදේශිකයන් නොරිස්සීමේ අදහස් දැක්වීම් හා අන්ත සංක‍්‍රමනික විරෝධී අදහස් ය. නවල්නිගේ ජාතිකවාදය පිලිබඳ සඳහන් කිරීම් බටහිර දී සාමාන්‍යයෙන් වලලා හෝ කටුගා දැමේ” යයි සැලොන් වෙබ් අඩවියේ ලියමින් ඩැනියලී රයන් සඳහන් කලා ය.

රාජ්‍ය දෙපාර්තමේන්තු මුදල්වලට සැබවින් ම පිටු බලය සැපයෙන්නේ එක්සත් ජනපදය තුල මෙන් ම ජාත්‍යන්තර මාධ්‍යයේ අතිබලවත් අවිවේචනාත්මක සහාය මගිනි. නවල්නි පිලිබඳව නිව් යෝක් ටයිම්ස් ලිපි 387ක් ද වොෂින්ටන් පෝස්ට් ලිපි 344ක් ද ෆිනෑන්ෂල් ටයිම්ස් ලිපි 200ක් ද ප‍්‍රසිද්ධ කර ඇත.

ඔහුගේ උද්ඝෝෂනය ලබන ජාත්‍යන්තර මාධ්‍ය ආවරනය මෙන් ම එක්සත් ජනපදයේ තරමට ම රුසියාවේ ද ඉහල, සමාජ අසමානතාව සඳහා වන පුලූල් විරුද්ධත්වය නො තකා, මෑත මත විමසුකට අනුව, නවල්නිට මැතිවරන කොට්ඨාසවල ඇත්තේ යන්තම් සියයට 2ක සහයෝගයකි.

පුටින් හා නවල්නි අතර දේශපාලන ගැටුම අවසානයේ දී නියෝජනය කරන්නේ, එක්සත් ජනපදය බලහත්කාරයෙන් මැදිහත් වන්නාවූ, රුසියානු චෞරතන්ත‍්‍රය තුල ගැටුමකි. පුටින් ද එයට පක්ෂව ඔහු කතා කරන කතිපයාධිකාරිය ද අතුගා දැමිය යුත්තේ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව හා ඔත්තුසේවා ආයතන නොව රුසියානු කම්කරු පන්තිය විසිනි.

ආන්ද්‍රේ ඩමොන්

Share this article: