ඇමරිකානු ආන්ඩුව විද්‍යාල ශිෂ්‍යයන්ට පහර දෙයි

The government attack on US college students

2017 නොවැම්බර් 20

ඇමරිකානු මන්ත්‍රී මන්ඩලය බ‍්‍රහස්පතින්දා සම්මත කල බදු කපා හැරීම සම්බන්ධ පනත තරම්, එහි ප‍්‍රතිගාමී සහ කම්කරු පන්ති විරෝධය ප‍්‍රදර්ශනය කරන මෑත කාලයේ වෙනත් කිසිදු නිදසුනක් නැති තරම්ය. ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.5 ක ඇස්තමේන්තු ගත බදු කපාහැරීමක්, සංස්ථාවන්ට සහ සුපිරි ධනපතියන්ට ප‍්‍රධානය කෙරේ. මින් කොටසක් අයවැය හිඟය වැඩි කිරීමෙන් -මෙය සමාජ ආරක්ෂන සහ සෞඛ්‍ය රක්ෂන වැනි වැඩසටහන් බිඳ වට්ටනු ඇත- සිදු කරන අතර තවත් කොටසක් මිලියන ගනනක් කම්කරු පන්තික සහ මධ්‍යම පන්තික ජනතාව මත බදු වැඩි කිරීම මගින් පියවා ගනු ඇත.

මෙම කප්පාදු කිරීම් වලින් වඩාත්ම රුදුරු ඒවා නම්, සිය ඵලදායි ජීවිතය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන, පාසල් හා විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන තරුන සිසුන් ඉලක්ක කෙරේ. මෙම තරුනයින් දැනටමත් දැවැන්ත, ඇතැම් විට ගෙවිය නොහැකි තරමේ, ශිෂ්‍ය නය වලින් මැඩුනු අනාගතයකට මුහුන දෙයි. මිලියන 44 කට වැඩි ඇමරිකානුවන් පිරිසක්, ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.4ක් වන ශිෂ්‍ය නය බරක් දරාගෙන සිටියි. මෙය ඇමරිකානු ක්‍රෙඩිට් කාඞ් නයට හෝ මෝටර් රථ සඳහා ගත් නයට වඩා වැඩිය.

ශිෂ්‍ය නය ප‍්‍රමානය ඉක්මනින්ම නිවාස නය ප‍්‍රමානයේ මුලු එකතුවට සමාන වනු ඇත. ශිෂ්‍ය නයක් ගෙවීමේ සාමාන්‍ය කාලය වසර විස්සකට ආසන්න වෙමින් පවතී. දිනපතා 3000කට වැඩි පිරිසක් ෆෙඩරල් ශිෂ්‍ය නය පැහැර හැරීමේ පෝලිමට එක්වෙයි.

මන්ත්‍රී මන්ඩලයේ බහුතරයකගේ බදු සැලැස්ම, සෙනට් මන්ඩලයෙන් සම්මත වී ජනාධිපති ට‍්‍රම්ප් විසින් නීති ගත කලහොත්, දැනටමත් මහත් පරිශ‍්‍රමයකින් දිවි ගෙවන මිලියන ගනනක් තරුනයන්ගේ ජීවන කොන්දේසි තවත් දුෂ්කර වනු ඇත. මෙම පනත ඊලඟ වසර දහය තුල විද්‍යාලයන්ට ඇතුලු වීමේ ගාස්තු ඇමරිකානු ඩොලර් බිලියන 65කින් ඉහල දමනු ඇතැයි, අධ්‍යාපනය පිලිබඳ ඇමරිකානු කවුන්සිලයේ (ඒසීඊ) ඇස්තමේන්තුවක් මගින් පෙන්වා දෙයි.

වසරකට ඩොලර් 65,000 අඩුවෙන් උපයන ශිෂ්‍ය නය ගැතියන් හෝ වසරකට 130,000 අඩුවෙන් උපයන විවාහක යුවලකට වසරකට ඩොලර් 625ක ඉතිරි කර දෙන ශිෂ්‍ය නය සඳහා ගෙවන පොලිය සඳහා වන බදු අඩුකිරීම් මෙ මගින් අවලංගු කෙරේ. 2015 දී මිලියන 12 කට වැඩි සංඛ්‍යාවක් තමන්ගේ ශිෂ්‍ය නය සඳහා වන පොලියට ලැබෙන බදු අඩු කිරීම් සහිතව බදු වාර්තා ඉදිරිපත් කලේය.

බොහෝකොටම සහායක ගුරුවරුන් ලෙස, සිය ඉගෙනුම් ගාස්තු නොගෙවා සිටීමේ හිමිකම් ලබන විශ්ව විද්‍යාල වල සේවය කරන උපාධිධාරීන් 145,000ට ලැබෙන එම සහනය බදු ගෙවිය යුතු ආදායමක් ලෙස සැලකීමට මෙම පනතින් සැලසුම් කෙරේ. විශේෂයෙන්ම ඉහල ගාස්තු අය කරන පාසල් වල ගාස්තු, උපාධිධාරියෙකු සිය සේවය වෙනුවෙන් ලබන සැබෑ ගෙවීම මෙන් දෙගුනයක් හෝ තුන් ගුනයක් විය හැක. ඒසීඊ යට අනුව මෙහි ප‍්‍රතිපලය වන්නේ උපාධිධාරී ශිෂ්‍යයන්ගෙන් විශාල ප‍්‍රමානයක් විසින් ගෙවිය යුතු බදු මුදල විශ්මයජනක ලෙස 400 ගුනයකින් ඉහල යනු දැකගනු ඇත.

මෙම වෙනස විශාල ප‍්‍රමානයක් උපාධිධාරී ශිෂ්‍යයන්ට පාසල් අතහැර යාමට බල කෙරෙනු ඇති අතර, කම්කරු පන්තික සහ අඩු ආදායම් ලබන ශිෂ්‍යයන්ට පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි ලබාගැනීමට සැබවින්ම නොහැකි තත්වයක් ඇති කරයි. ඊටත් වඩා අධික වියදමක් දැරිය යුතු වන නීති සහ වෛද්‍ය විද්‍යාල වලට ඇතුලු වීම කෙසේවත් කල නොහැක්කක් බවට පත්වේ. එමෙන්ම එය, තමන්ගේ දරුවන් තමන් සේවය කරන විද්‍යාලයටම ඇතුලු වුවහොත් ඔවුන්ට අධ්‍යාපනය ලැබීම සඳහා වට්ටම් හෝ නොමිලේ අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථා හිමි වන, විද්‍යාල වල සිටින කාර්ය මන්ඩල වලට සහ සේවකයන්ටද බලාපානු ඇත. මෙම සේවකයන්ට ටියුෂන් ගාස්තු වලින් නිදහස් කිරීම වෙනුවෙන් ද බදු ගෙවීමට සිදු වනු ඇත. ඒ එම ටියුෂන් ගාස්තු වලින් නිදහස් කිරීම් බදු සහ රක්ෂන වලට ගෙවූ පසුව ඉතිරිවන ආදායමේ කොටසක් ලෙස සලකාය.

මන්ත්‍රීමන්ඩල ඡන්දය, ශිෂ්‍යයන් සහ ඔවුන්ගේ පවුල් වෙත ද්වේශසහගතව එල්ල කෙරුනු බව පෙනෙන්නට ඇති, ට‍්‍රම්ප් පරිපාලනය විසින් සිදු කරන ලද පරිපාලනමය ක්‍රියාමාර්ග සහ අයවැය යෝජනා මාලාවක් අනුගමනය කරයි:

එක වාර්තාවකට අනුව, අඩුවෙන් ගෙවීම් කරන රජයේ රැකියා තෝරාගන්නා ශිෂ්‍යයන්ගේ නය බර සීමා කිරීමට, 2006 දී පනවන ලද සමාජ සේවා නය සමාජ වැඩපිලිවෙල විනාශ කෙරෙමින් ඇත. ඒ පරිපාලනමය වශයෙන් සියලු ඉල්ලුම්කරුවන්ගෙන් අඩකටත් වඩා වැඩසටහන සඳහා තෝරාගැනීම ප‍්‍රතික්ෂේපවීමත් සමගය. ට‍්‍රම්ප්ගේ අය වැය 2018 ජුලි වලින් පසු මෙම වැඩසටහන සම්පූර්නයෙන්ම නවතා දැමීමට යෝජනා කරයි.

විශ්වවිද්‍යාලයකට හෝ විද්‍යාලයකට ඇතුලත්ව සිටියදී, සාම්ප‍්‍රදායිකව, ශිෂ්‍යයන්ට වාරික සඳහා කල්ගැනීමට ඉඩ දී තිබෙන සහ උපාධි ප‍්‍රධානයෙන් පසුව යම්තාක් දුරකට අඩු පොලියක් පවතින, ෆෙඩරල් සහනාධාර ස්ටැෆර්ඩ් නය, සම්පූර්නයෙන්ම නවතා දැමීමට ද ට‍්‍රම්ප්ගේ අයවැයෙන් විධි විධාන සපයයි.

පෙල් ග‍්‍රාන්ට් වැඩපිලිවෙලින් ඩොලර් බිලියන 3.9ක් සහ ලදරුවන් සිටින ශිෂ්‍යයන් සඳහා වන විශ්වවිද්‍යාල ලමා රැකවරනයට ලබාදෙන සහනාධාර වලට කරන අඩුකිරීමක්ද ඇතුලුව, සමස්තයක් වශයෙන් ට‍්‍රම්ප් පරිපාලනය 2018 මුල්‍ය වර්ෂය සඳහා අධ්‍යාපන වියදම් වලින් ඇමරිකානු ඩොලර් බිලියන 9ක් කපා දැමීමට යෝජනා කරයි.

අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වංචා මැඩලීමේ ඒකකයේ ප‍්‍රධානී ලෙස, ලාභය සඳහා පවත්වාගෙන යන ඩිව්රි විශ්ව විද්‍යාලයේ හිටපු පරිපාලකයෙකු වන ජුලියන් ෂර්මොක් ට‍්‍රම්ප් විසින් නම් කර තිබේ. උපාධිය ලබාගත් පසුව ඔවුනට හොඳින් ගෙවීම් කරන බවට බොරු පොරොන්දු දෙමින්, ලාභ අරමුනු කරගනිමින් ක්‍රියාත්මක වන විද්‍යාලය තමන් රවටා ඇති බව ප‍්‍රකාශ කරමින් 2000කට ආසන්න ඩිව්රි ශිෂ්‍යයන් පිරිසක් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඉල්ලීම් ද සහිතව “ආපසු ගෙවීමේදී නය ගැතියාගේ ආරක්ෂාව” යන නය ක්ෂමාව සඳහා ඉල්ලුම් කලේය. ඩිව්රි ඩොලර් මිලියන 100කට ෆෙඩරල් වෙලඳ කොමිසම සමග එකඟතාවකට පැමිනි අතර එහි නම ඇඩ්ටලෙම් බවට වෙනස් කලේය.

මෙම ක්‍රියාමාර්ග ගැනෙන්නේ, නිරන්තරයෙන් රැකියා, නය ආපසු ගෙවීමේ සැලසුම් සහ පන්ති කාමරයේ පීඩනයන් තුලනය කරගැනීමට වෙහෙසෙමින් සිටින විද්‍යාල ශිෂ්‍යයන් මුහුන දෙන ජීවන තත්වයන් තවත් නටකාකාර ලෙස අර්බුදයට ගොස් තිබියදීය. ඇමරිකානු විද්‍යාල සෞඛ්‍ය සංගමය විසින් එලි දැක්වූ වාර්තාවකට අනුව “දැඩි ලෙස කනස්සල්ලෙන්” සිටින බවට වාර්තාවන උපාධි අපේක්ෂකයන් ගේ අනුපාතය 2011 දී සියයට 50 සිට 2016 දී සියයට 62 දක්වා ඉහල නැග ඇත.

ධනපති රාජ්‍යයේ සියලුම තලයන්හිදී විද්‍යාල ශිෂ්‍යයන්ට එල්ල කරන මහා පරිමානයේ ප‍්‍රහාරයක් ලෙස පමනක් විස්තර කල හැකි තත්වය තුල ප‍්‍රාන්ත ආන්ඩු සිය වගකීම් ඉටු කරයි. එක් සංගනනයකට අනුව, ඇමරිකාවේ ප‍්‍රාන්ත 50න් 44ක් ම, 2008 මුල්‍ය අර්බුදයේ සිට, විද්‍යාල සහ විශ්ව විද්‍යාල වෙනුවෙන් සිදු කරන වියදම් කපා හැර ඇත.

තම නය වාරික ගෙවා ගැනීමට නොහැකි වූ ශිෂ්‍යයින්ට එරෙහි සුවිශේෂී ප‍්‍රහාරයක් පිලිබඳව නිව් යෝර්ක් ටයිම්ස් ඉරිදා වාර්තා කලේය. ඇමරිකානු ප‍්‍රාන්තයන් විස්සක්වත් සිය නය ගෙවා ගැනීමට නොහැකි වූ ශිෂ්‍යයන්ගේ රැකියා බලපත‍්‍රය -දකුනු ඩකෝටා හී රියදුරු බලපත‍්‍රයද- තාවකාලිකව අත් හිටුවා ඇත.

ලුවිසියානා සහ ටෙනසී ප‍්‍රාන්තවල හෙද සේවයේ නිරත සිය ගනනකගේ, ටෙක්සාස් හී සිය ගනනක් ගුරුවරුන්ගේ සහ විවිධ ක්ෂේත‍්‍රයන්ගේ සේවයේ නියතු ශිෂ්‍යයන් 8700කගේ බලපත‍්‍ර තාවකාලිකව අත්හිටුවා ඇති අතර ඇතැම් විට අවලංගු කර ඇත. බලපත‍්‍රයක් නොමැතිව සේවයේ නිරත විය නොහැකි හෙද සේවයේ නිරත වන්නෙකුට හෝ ගුරුවරයෙකුට සිය නය වාරික ගෙවීමට ද නොහැකි වන නිසා, මෙම ක්‍රියා මාර්ගය එහි ස්වයං ප‍්‍රකාශිත ඉලක්කයේ අර්ථයෙන් ගත් විට අපේක්ෂිත ප‍්‍රතිපලයට විරුද්ධ ප‍්‍රතිපලයක් ගෙනඑන්නකි.

ට‍්‍රම්ප් පරිපාලනය සහ කොන්ග‍්‍රස් රිපබ්ලිකන් පාක්ෂිකයන් විද්‍යාල සහ විශ්වවිද්‍යල ශිෂ්‍යයන් ඉලක්ක කරගැනීම, ඩිමොක‍්‍රටිකයන් හට වඩා සමාජීය වශයෙන් ප‍්‍රබුද්ධ න්‍යායපත‍්‍රයක් ඇතැයි මොනම ආකාරයකින්වත් ඇඟවුම් නොකරයි. රිපබ්ලිකන්වරුන්ගේ බදු පනතට ඩිමොක‍්‍රටිකයන්ගේ විරෝධය හුදු මවා පෑමක් පමනි: නීති සම්පාදනයේ මූලික කරුනු වලට, සංස්ථාපිත බදු අනුපාතයේ නාටකාකාර පහල දැමීමට ඩිමොක‍්‍රටිකයන් සම්පූර්න සහයෝගය දක්වන අතර එය ගෙවීම සිදුවන්නේ කෙසේද යන්නට පමනක් විරුද්ධත්වය දක්වයි.

ප‍්‍රාන්ත මට්ටමෙන් ඩිමොක‍්‍රටිකයන් බලයේ සිටින ස්ථානයන් හී ඔවුන් සිය රිපබ්ලිකන් ප‍්‍රතිවාදීන් මෙන්ම කෲර ලෙස අයවැය කප්පාදු ක්‍රියාවට නංවා ඇත. ඔබාමා පරිපාලනය යටතේ ඩිමොක‍්‍රටිකයන්, වෝල් වීදියේ බිඳවැටීමේ වන්දිය ලෙස, කම්කරු ජනතාවගේ වියදමින් බැංකු සඳහා ආධාර සැපයුවේ, රජයේ අධ්‍යාපන රැකියා 300,000කට වඩා අතුගා දමමිනි.

පක්ෂ දෙකම මුල්‍ය කතිපයාධිකාරයේ සහ ධනපති පද්ධතියේ අවශ්‍යතාවන්ට ආධාර කරයි. ඔවුන් තොරතෝංචියක් නොමැතිව පාසල්, විද්‍යා හෝ වෙනත් අව්‍යාජ සමාජ අවශ්‍යතාවන් සඳහා “මුදල් නොමැති” බව නැවත නැවත කියමින් පෙන්ටගනය සහ බුද්ධි අංශ හා රාජ්‍ය ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ස්ථාපනය කරමින් සිටින පොලිස් රාජ්‍ය උපකරන මත මුදල් වක්කරමින් සිටී.

ශිෂ්‍ය නය පරිමානය ඩොලර් ට්‍රිලියන 1.4 ඉක්මවද්දී මන්ත්‍රී මන්ඩලය, ඩොලර් 1.5ක බදු සහන පෝසතුන් හට ප‍්‍රධානය කිරීම යන කරුන තුල යමක් ඉගෙන ගත හැකි සමමිතියක් ඇත. සරලවම සුපිරි ධනවතුන්ට මෙම මහා වස්තු සම්භාරය නොදීම මගින් පමනක් ශිෂ්‍යයන්ගේ එක පරම්පරාවකම නය සම්පූර්නයෙන්ම අහෝසි කල හැකි බවයි.

සමාජවාදී ප‍්‍රතිපත්ති සඳහා තරුන පරම්පරාව අතර උනන්දුවක් සහ සහයෝගයක් තිබීම අහම්බයක් නොවේ. ඇමරිකාව තුල සිටින තරුනයින්ගෙන් විශාල පිරිසක්, ඔවුන්ට තෝරා ගැනීමට අවස්ථාවක් ලැබුනොත්, ධනවාදය යටතේ ජීවත් වෙනවාට වඩා සමාජවාදය හෝ කොමියුනිස්ට්වාදය යටතේ දිවි ගෙවීම තෝරාගනු ඇති බව මෑතකදී කරනු ලැබූ සමීක්ෂනයක් මගින් සොයා ගනු ලැබීය.

ඔවුන්ට එම තෝරාගැනීමේ අවස්ථාව ලැබෙනු ඇත. කම්කරු පන්තියේ සහ තරුනයන්ගේ පලල් ව්‍යාපාරයක් සමාජවාදී ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක් මත පදනම්ව ගොඩනැගීම සමාජවාදී සමානතා පක්ෂයේ සහ අපගේ තරුන ව්‍යාපාරය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ව්‍යාපාරයේ ඉදිරි දර්ශනයයි.

සසප සහ සසජාතශි, කම්කරු පන්තියේ සහ තරුනයන්ගේ දේශපාලන ව්‍යාපාරයක්, විශාල ව්‍යාපාරික පක්ෂ වලට සහ ධනපති ලාභ පද්ධතිය යන දෙකටම විරුද්ධව ගොඩනැගීමට සටන් කරයි. බැංකු සහ ප‍්‍රධාන සංස්ථාවන් ජනසතු කිරීම හා කම්කරු ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය යටතේ ඒවා පොදු ප‍්‍රයෝජනය සඳහා පරිවර්තනය කිරීම සඳහා වූ සමාජවාදී වැඩපිලිවෙලේ කොටසක් ලෙස රජයට සහ බැංකු වලට ගෙවීමට තිබෙන ශිෂ්‍ය නය සම්පූර්නයෙන්ම අහෝසි කිරීම අපි ඉල්ලා සිටිමු.

අපි සියලුම තරුනයින්ගෙන් සහ ශිෂ්‍යයින්ගෙන් ඉල්ලා සිටින්නේ, සසජාතශි සමග එක්වන ලෙසත් සසප සහ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පාඨක සංඛ්‍යාව ගොඩනැගීමට එක්වන ලෙසත්ය.

පැට්‍රික් මාටින්

Share this article: