මුගාබේගෙන් පසු සිම්බාබ්වේ සඳහා ඉදිරි මාවත

The way forward in Zimbabwe after Mugabe

2017 නොවැම්බර් 24

සිම්බාබ්වේ මුහුන දෙමින් සිටින විනාශකාරී ආර්ථික තත්ත්වයෙන් පැන නැගි දුෂ්කරතාද, එම සමාජ පරිහානිය සමග අතිනත ගෙන පැමිනෙන කෲර මර්දනය හා ප‍්‍රජාතන්තවාදී අයිතින් දියවී යාම මිස වෙනත් කිසිවක් අත්දැක නැත්තා වූ, එරට මහජනයා, ජනාධිපති රොබට් මුගාබේගේ ඉල්ලා අස්වීම උත්සවශ‍්‍රීයෙන් සැමරූහ.

එහෙත් මුගාබේගේ ඇදවැටීම තම ජීවන කොන්දේසිවල වර්ධනයක් ගෙනඑනු ඇතැයි විශ්වාස කරන්නන් කටුක අපේක්ෂා භංගයකට මුහුන දෙනු ඇත. මිලිටරිය හා එමර්සන් නැන්ගැග්වා විසින් නායකත්වය දෙන පාලක සනු-පීඑෆ් (ZANU-PF) පක්ෂය, වසර 37ක මුගාබේගේ රාජ්‍ය නායකත්වය දැරු කාලය පාවිච්චි කරමින්, වර්ධනය වෙමින් ඇති පුලුල් සමාජ අතෘප්තිය, මුගාබේ ද ඔහුගේ බිරිඳ වන ග්‍රේස් හා ඇය ප‍්‍රධානත්වය දරන 40 පරම්පරාව (ජෙනරේෂන්40) නමැති කන්ඩායම සැදුම් ලත් අලුතින් ධනවත් වූ කල්ලියට එරෙහිව හැරවීමට උත්සාහ දරයි.

එහෙත්, අද දින ජනාධිපති ධුරයේ දිවුරුම් දෙන නැන්ගැග්වා, “ප‍්‍රජාතන්ත‍්‍රවාදය අලුතින් පුලුල් කිරීම” “රැකීරක්ෂාවල්” ගැන දෙන පොරොන්දුවල කිසිදු වටිනාකමක් නැත. ඔහුගේ ඉලක්කය වන්නේ, දැනට මත් අතිමහත් දුෂ්කරතාවන් නිර්මානය කර ඇති ධනේශ්වර පිලිවෙත්වලම වඩාත් උත්තේජිත ආකාරයේ ප‍්‍රභේදයක් ජනතාව මත පැටවීම යි. අවශ්‍ය වන්නේ හුදෙක් මුගාබේ ඉවත් කිරීම නො ව, අධිරාජ්‍යවාදී ආධිපත්‍යය, මුර්ග සූරාකෑම හා රටෙහි පොහොසත් ස්වාභාවික සම්පත් කොල්ලකෑම අවසන් කිරීමට කිසිදු අයුරකින් අසමත් සිම්බාබ්වේ ධනපති පන්තිය සමග ගනුදෙනු බේරාගැනීම යි.

මුගාබේ බලයට පැමිනියේ, දකුනු රොඬේෂියාවේ ධවල කොලනිකාර තන්ත‍්‍රයට එරෙහි ව 15 වසරක් තිස්සේ ගෙනගිය සන්නද්ධ අරගලයකින් ඉක්බිති ව ය. ඔහු නායකත්වය දුන් සිම්බාබ්වේහි අප‍්‍රිකානු ජාතික සංගමය (සනු - ZANU) එහි සහයෝගී පදනම බහුතර ෂෝනා ජනයා අතරින් ඇදගත් අතර, එහි ප‍්‍රධාන ප‍්‍රතිමල්ලවයා වූ ජොෂුවා එන්කොමෝ නායකත්වය දුන් සිම්බාබ්වේ අප‍්‍රිකානු ජනතා සංගමය (සපු - ZAPU) දෙබෙලේ ජනයා මත පදනම් විය.

මෙම කැරලිකාරීත්වය, මාග‍්‍රට් තැචර් නායකත්වය දුන් බ්‍රිතාන්‍යයේ කොන්සවැටිව් ආන්ඩුව සමග එක්සත් ජනපදයේ උපදෙස් යටතේ සාකච්ඡාවලට සිම්බාබ්වේ තල්ලු කලේ, සෝවියට් සංගමය අප‍්‍රිකාවේ දකුනු ප‍්‍රදේශයන් තුල ගොඩනගා ගනිමින් තිබූ සුරක්ෂිත සබඳතා හේතුවෙනි. චීනය සමග තිබූ කිට්ටු සම්බන්ධකම්වල උදව්වෙන් මහජන සහයෝගය ගොනුකර ගැනීමට සමාජවාදී වාගාලාප දෙඩවූ සනු පක්ෂය, රුසියාව සමග සපූ පක්ෂයට තිබූ සම්බන්ධකම් ගැන (අධිරාජ්‍යවාදීන්ට) තිබු බිය පාවිච්චි කරමින්, බ්‍රිතාන්‍යයේ සහයෝගයද සුරක්ෂිත කර ගත්තේය.

“ලැන්කැස්ටර් මාලිගාවේ ගිවිසුම”, සනු පක්ෂයට ජයග‍්‍රහනය හිමි වූ 1980 පැවති මැතිවරනයට මග පෑදුවේ ය. බලය ලබාගැනීම සඳහා පූර්ව කොන්දේසියක් ලෙස, නව ස්වාධීන සිම්බාබ්වේ රාජ්‍යයේ ධනපති පාලනය ආරක්ෂා කරන්නා වූ ද ප‍්‍රධාන ආකර හා කෘෂිකාර්මික කර්මාන්ත ක්ෂේත‍්‍ර තුල ජාත්‍යන්තර සංගතයන්ගේ ආධිපත්‍යය සුරක්ෂිත කරන්නා වූ ද පිලිවෙත්වලට මුගාබේ අත්සන් තැබුවේ ය. වසර 10ක් ගතවන තෙක් සුදු ජාතික ඉඩම් හිමියන්ගේ අවශ්‍යතාවලට කාවැදීම් නො කිරීමට ද ඉඩම් අත්පත් කරගන්නේ නම් එසේ කරන්නේ, “විකිනීමට කැමති” ඉඩම් හිමියන්ට සම්පූර්නයෙන් වන්දි ගෙවීමෙන් පසුව ය යන කොන්දේසිය රැකීමට ද මුගාබේ පොරොන්දු විය.

කැලිකසල ඉවත් කිරීම හෙවත් “ඔපරේෂන් ගුකුරාහුන්ඩි” නමැති මිනිස් සංහාරක මෙහෙයුමක්, දෙබෙලේවරු බහුතරයක් ජීවත් වූ මැටබෙලේලෑන්ඩ් ප‍්‍රදේශය තුල නැන්ගැග්වා නායකත්වයෙන් මුගාබේ 1982 දී දියත් කලේ ය. මුගාබේ 1987 දී ක්ෂමාවක් ප‍්‍රදානය කල අතර ප‍්‍රතිමල්ලව පක්ෂ දෙක සනු-මහජන පෙරමුන (සනු-පීඑෆ්) තැනීම සඳහා ඒකාබද්ධ වූහ.

පොහොසත් සම්පත් ඇති දියුනු ආර්ථිකයක් භුක්ති විඳි සිම්බාබ්වේ රාජ්‍යයට, 1980 ගනන් මතුපිට සාර්ථකත්වයකින් යුතු කාලපරිච්ඡේදයක් වූ අතර, සෝවියට් බලපෑම ආපසු හැරවීමට බටහිර බලවතුන් විසින් ද අනුග‍්‍රහය දුනි. මේ යටතේ සුභසාධක පියවරයන් සහ සෞඛ්‍යාරක්ෂනය හා අධ්‍යාපනය වැනි අනෙකුත් ප‍්‍රතිසංස්කරන පියවරයන් ක‍්‍රියාවට දමන ලදී.

1991 දී සෝවියට් සංගමය බිඳ විසුරුවනු ලැබීම මෙම කාලපරිච්ඡේදය සමාප්තියකට ගෙන ආවේ ය. පශ්චාත් සීතල යුද සමයේ, වොෂින්ටනය, ලන්ඩනය හා යුරෝපා සංගමය, එක් කාලයක සිම්බාබ්වේ වෙත දුන් උපාමාරු දැමීමේ සීමිත ඉඩකඩ තවදුරටත් දීමට සූදානම් නො වූහ.

ආධාර සහ ඥාති සංග‍්‍රහය මත පදනම් වූ මුගාබේගේ පාලන තන්ත‍්‍රය දැන් දැකගන්නා ලද්දේ, ජාත්‍යන්තර ආයෝජකයන්ගේ අවශ්‍යතාවන්ට බාධාවක් ලෙස යි. මුගාබේ එකඟ ව තිබූ ව්‍යුහාත්මක වෙනස්කම් කිරීමේ පිලිවෙතෙහි කොටසක් ලෙස, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 1990 ගනන් පුරා අරමුදල් කපාහරිමින් සිම්බාබ්වේ වෙත බලකලේ විදේශ ආයෝජන, පුද්ගලීකරනය හා වඩ වඩා ඉහල දමන සූරාකෑමේ මට්ටම් සඳහා එම රට විවෘත කරන ලෙස යි.

1997 හා 1999 අතර මහා වැඩවර්ජන ඇතුලු සමාජ කැලඹීම්වලට මෙය හේතු විය. එහෙත්, 2000දි ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙනසක් සඳහා වූ ව්‍යාපාරය (එම්ඩීසී) තනා ගනිමින් සිම්බාබ්වේ වෘත්තීය සමිති සම්මේලනය (ඉසෙඩ්ටීයූසී) මුගාබේට දකුනෙන් විරුද්ධ වූයේ, “පුද්ගලීකරනය ක‍්‍රියාවට දමා ව්‍යාපාරික විශ්වාසය පුනස්ථාපනය කරන බවට” පොරොන්දු වෙමින් සුදු ජාතික ව්‍යාපාරික හා කෘෂිකාර්මික සංගත සමග සන්ධානයක් අටවමිනි.

මහ ව්‍යාපාරික අවශ්‍යතාවන්ට එරෙහි ව අව්‍යාජ ප‍්‍රතිප‍්‍රහාරයක් දියත් කිරීම සඳහා මුගාබේ කිසිවක් කලේ නැත. නාගරික මධ්‍යස්ථානවල කම්කරු පන්තිය මතට එල්ල කරන ප‍්‍රහාර, සනු-පීඑෆ් සන්ධානයේ අතිමහත් ග‍්‍රාමීය පදනම ශක්තිමත් කිරීම සඳහා සීමිත ඉඩම් අල්ලා ගැනීම් සමග ඒකාබද්ධ කරමින් ප‍්‍රතිචාර දැක්වූ මුගාබේ, “අපේ මුල් තිබෙන්නේ භූමියෙහි මිස කම්හල්වල නො වේ” යයි ප‍්‍රකාශ කලේ ය.

ඔහුගේ ඉඩම් පිලිබඳ පිලිවෙත ග‍්‍රාමීය දිලින්ඳන්ගේ හෝ නාගරික කම්කරුවන් හා රැකියා විරහිතයන්ගේ සමාජ ආර්ථික ගැටලුවලට අව්‍යාජ විසඳුමක් නො වී ය. විශාල කෘෂිව්‍යාපාරික වතු කුඩා ගොවිපොලවල් බවට බෙදීම, කෘෂිකාර්මික ස්ථරයන් සනු-පීඑෆ් සන්ධානය වෙතට බැඳ තැබුවත් එමගින් ඉහල ඵලදායීතාවක් ඉඩකඩ ලබාදීමට නියමිත වූ සාමූහික ඉඩම් හිමිකමේ විකල්පය නැති කිරීම නිසා, කලින් ඵලදායී වූ කෘෂිකාර්මික ඉඩම් යැපුම් කෘෂිකර්මය සඳහා වන ඒවා බවට පිරිහෙලුනි.

ඉඩම් අත්පත් කරගැනීමට හා එම්ඩීසීය මර්දනය කිරීමට අධිරාජ්‍යවාදී බලයන් උත්තර දුන්නේ 2002 දී හා 2008 දී ඔරොත්තු නො දෙන සම්බාධක පනවමිනි. 2003 දී මුගාබේ, විශේෂයෙන් ම චීනයෙන් හා රුසියාවෙන් එන විකල්ප ආයෝජන හා වෙලඳපොල සඳහා “පෙරදිග දෙස බැලීමේ පිලිවෙත” ආරම්භ කලේ ය. එහෙත්, සිම්බාබ්වේ රාජ්‍යය ප‍්‍රධාන අධිරාජ්‍යවාදී බලයන්ට අතිශයින් යටහත් ව තිබීමේ කරුන නිසා, කර්මාන්තයේ, ආකර කර්මාන්තයේ හා පාරිභෝගික භාන්ඩ නිෂ්පාදනයේ බොහෝ අංශ නව වෙලඳ හවුල්කරුවන්ට යටත් කිරීම පමනක් මෙමගින් සිදු විනි. මුගාබේගේ ප‍්‍රකාශිත පිලිවෙත වූ “දේශීයකරනය” සඳහා පහසුවක් වනවා වෙනුවට, මෙමගින්, යෝධ වෙලඳ හිඟයක් ජනනය කරමින් දේශීය ආර්ථිකය වැඩිදුරටත් කඩාවැටුනි.

දේශීයකරනය පතල් ඇතුලු “නිස්සාරන කර්මාන්ත” දක්වා පුලුල් කිරීමට මුගාබේ කල තර්ජනය, නැන්ගැග්වා හා සන්නද්ධ හමුදා ප‍්‍රධානී කොන්ස්තන්තීනු චිවෙන්ගා විසින් යොදාගන්නා ලද්දේ, මුගාබේට එරෙහි මාලිගා කුමන්ත‍්‍රනය සඳහා චීනයේ පිටුබලය ලබාගෙන ඇමරිකාව හා බ්‍රිතාන්‍යය ආදී රටවලටත් යොමු වූ වඩා ලිබරල් ආර්ථික පිලිවෙතක් අනුයන බවට පොරොන්දු වීමට යි. වඩාත් වැදගත් දෙය වන්නේ, ඇමරිකානු අධිරාජ්‍යවාදය, චීනයට හා රුසියාවට එරෙහි ව දියත් කරනු ලබන අරගලයේ හරිමැද සිම්බාබ්වේ රාජ්‍යය දැන් තමන් ව ම පිහිටුවාගෙන සිටීම යි. එය ලෝක යුද්ධයක තර්ජනය සමග නැගෙන, අප‍්‍රිකාව සඳහා වන බලුපොරයේ වර්තමාන ප‍්‍රභේදයකි.

සිම්බාබ්වේ අත්දැකීමත්, දකුනු අප‍්‍රිකාවේ, නයිජීරියාවේ, කොංගෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනරජයේ හා සමස්ත අප‍්‍රිකා මහාද්වීපයේ කම්කරුවන් හා ගොවි ජනයා මුහුන දෙන අත්දැකීමත් එක හා සමාන වේ.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව සිදු කල විජිතහරනය යටතේ පිහිටුවන ලද රාජ්‍යයන් වන මේ එකක් වත් අධිරාජ්‍යවාදයෙන් අව්‍යාජ නිදහසක් හිමිකරගෙන හෝ ශිෂ්ට සම්පන්න රැකියා, නිවාස, අධ්‍යාපනය හා සෞඛ්‍යාරක්ෂනය සම්පාදනය කරන තථ්‍ය ආර්ථිකයක් වර්ධනය කරගෙන හෝ නැත. ජාතික ආර්ථික වර්ධනය පිලිබඳ පොරොන්දු ඒ වෙනුවට පාර කපා තිබෙන්නේ, අධිරාජ්‍යවාදී ආන්ඩු, අන්තර්ජාතික සංගත හා බැංකුවල නග්න දේශපාලන ඒජන්තයන් ලෙස ක‍්‍රියාකරන දේශීය ප‍්‍රභූතන්ත‍්‍රයන්ට ය.

සනු-පීඑෆ් විසින් ඉදිරියට දමන ව්‍යාජ මූලෝපායට විරුද්ධ ව කම්කරු පන්තිය අව්‍යාජ සමාජවාදී මූලෝපායක් තෝරාගත යුතු ය. සමාජවාදය සඳහා වන මාවත දිග්ගැස්සුනු ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංවර්ධනයේ අවදියක් හරහා යනු ඇතැයි කියූ, අප‍්‍රිකාව තුල ව්‍යසනකාරී භූමිකාවක් ඉටුකර ඇති, ස්ටැලින්වාදී “අවධි දෙකේ” ඉදිරිදර්ශනයට, ට්‍රොට්ස්කි ඔහුගේ නො නවතින විප්ලව න්‍යායයේ පදනම මත විරුද්ධ විය.

සමාජවාදය සාක්ෂාත් කිරීම පදනම් කරනු ලැබිය යුත්තේ, ගෝලීය ආර්ථිකයේ හා කම්කරු පන්තියේ ජාත්‍යන්තර ස්වභාවයේ එම වෛෂයික යථාර්ථය මත ම ය. ග‍්‍රාමීය ජනකායන්ට නායකත්වය සම්පාදනය කරන සිම්බාබ්වේ කම්කරුවෝ බලය අල්ලාගෙන තමන්ගේ ම රාජ්‍යය ස්ථාපනය කිරීමට සටන් වැදිය යුතු ය. එහෙත් සමාජවාදී විප්ලවය එක් රටක් තුල ඇරඹුනත්, එහි සාර්ථක රඳාපැවැත්ම සඳහා, එම විප්ලවය අප‍්‍රිකාවේ අසල්වැසි රටවලට පැතිරවීම ඉල්ලා සිටින අතර සම්පූර්න වන්නේ ලෝක තලය තුල පමනි.

කම්කරු පන්තිය, සනු-පීඑෆ් හා ප‍්‍රතිමල්ලව එම්ඩීසී යන කන්ඩායම් දෙක ද ඇතුලු ජාතික ධනේශ්වරයේ හා අධිරාජ්‍යවාදී බලයන්ගේ සියලු නියෝජිතයන්ගෙන් සහ ඒවාට පිටුබලය දෙන වෘත්තීය සමිති සම්මේලනවලින් තම දේශපාලන ස්වාධීනත්වය පවත්වා ගත යුතු ය. ඉදිරිගාමී කම්කරුවන් හා තරුනයන්, සමාජවාදී සිම්බාබ්වේ රාජ්‍යයකට හා අප‍්‍රිකානු සමාජවාදී සමූහාන්ඩු සංගමයකට සටන් වැදීමට හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ සිම්බාබ්වේ ශාඛාවක් ගොඩනැගීමටත් එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය හා අනෙකුත් අධිරාජ්‍යවාදී රටවල කම්කරුවන් සමග සමාජවාදය සඳහා වන ඒකාබද්ධ ව්‍යාපාරයක් නිර්මානය කිරීමටත් ආරම්භකත්වය ගත යුතු ය.

ක‍්‍රිස් මාස්ඩන්

Share this article: