වැටුප් හා සේවා කොන්දේසි කප්පාදුවට එරෙහිව තැපැල් සේවකයන් උද්ඝෝෂනය කරයි

අපගේ වාර්තාකරුවන් විසිනි, 2017 දෙසැම්බර් 29

වැටුප් සහ සේවාකොන්දේසි කප්පාදුවට එරෙහිව තැපැල් සේවකයන් විසින් විරෝධතා උද්ඝෝෂනයක් ආරම්භ කර ඇත. එහි කොටසක් ලෙස ඔවුහු බදාදා (27) දහවල් කෑම පැයේ මාතර, ගාල්ල, මහනුවර, කුරුනෑගල, මාතලේ, පොලොන්නරුව සහ යාපනය යන නගරවල ද, 18 වෙනිදා කොලඹ ප‍්‍රධාන කාර්යාලය ඉදිරිපිට ද පිකට් උද්ඝෝෂනවල නිරතවූහ.

වැටුප් විෂමතාවයන් ඉවත් කරන ලෙස හා වෙන ම සේවා ව්‍යවස්ථාවක් මගින් තැපැල් දෙපාර්තමේන්තුව ද සංවෘත සේවයක් බවට පරිවර්තනය කරන ලෙස ඔව්හු ඉල්ලා සිටිති. උද්ඝෝෂනය මෙහෙයවනු ලැබුවේ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුන (ඒතැවෘසපෙ) විසිනි. තැපැල් සමිති පෙරමුන යනු, තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය, සමස්ත ලංකා විදුලි පනිවුඩ සේවකයන්ගේ සංගමය, ජාතික තැපැල් හා විදුලි පනිවුඩ සේවක සංගමය සහ ලංකා තැපැල් සේවක සංගමය ඇතුලු සමිති 27 ක එකතුවකි.

2006/6 රාජ්‍ය සේවා පරිපාලන චක‍්‍රලේඛය මගින් සිදු කරන ලද සේවා ගැලපීම් යටතේ වැටුප්, උසස්වීම්, වැටුප් වර්ධක හා සමහර ශ්‍රේනිවල තනතුරු ද අහිමී වී ඇතැයි සේවකයෝ චෝදනා කරති. උක්ත චක‍්‍රලේඛයට අනුව කෙරුන සංශෝධන යටතේ කලින් තිබුන තැපැල් ස්ථානාධිපති ශ්‍රේනි දෙක වෙනුවට තුන්වන පෙල, දෙවන පෙල හා පලමු පෙල ලෙස ශ්‍රේනි තුනක් නිර්මානය කර ඇත. නව බඳවා ගැනීම් කෙරෙන්නේ තුන්වන පෙලටය. ඊට පෙර බඳවා ගැනීම් කෙරුනේ දෙවන පෙලට ය. එමගින් නව බඳවා ගැනීම් සඳහා ආරම්භක වැටුප 16,640 සිට 15,005 දක්වා රුපියල් 1,635 න් කප්පාදු කර ඇත.

එමෙන් ම වසර 7 ක සේවා කාලයකින් පසු අදාල විභාගය සමත්වීමෙන් උසස්වීම් ලබා ගැනීමට තිබුන අවස්ථාව අහිමිකර වසර 10 ක සේවා කාලයකින් පසු උසස්වීම් දීමේ නව ක‍්‍රමයක් හඳුන්වා දී තිබේ. එමගින් සේවකයන්ට පහලම ශ්‍රේනියේ සිට නියෝජ්‍ය තැපැල්පති දක්වා උසස්වීම් ලබා ගැනීමට තිබුන අවස්ථාව අහිමි වී ඇත. තැපැල් බෙදන්නන්, තෝරන්නන්, කාර්යාල කාර්ය සහායකයින් ආදී වසයෙන් තිබුන ශ්‍රේනි 18 ක් අහෝසි කර තැපැල් සහායක වසයෙන් තනි ශ්‍රේනියකට ගොනු කිරීම මගින් තවත් වැටුප් කප්පාදුවක් හා උසස්වීම් වලට මග ඇවිරීමක් කර ඇති බව ද සේවකයෝ කියති.

තැපැල් සමිති පෙරමුන වසර දහයක් පුරා මෙම ඉල්ලීම් මත බලයේ පැවති ආන්ඩුවලට බලපෑම් දැමීමේ නිස්සාර විරෝධතා උද්ඝෝෂන වලට තැපැල් සේවකයන් මෙහෙය වූ අතර ඒවා අචසන් කෙරුනේ ආන්ඩුවේ ඇස්බැන්දුම් පොරොන්දු වලට යටකර විසුරුවා හැරීමෙනි. “2006 වර්ෂයේ සිට ම මැදිහත්වීම් සිදුකල ද මේ දක්වා මෙම ගැටලු නිරාකරනය කර ගැනීමට නොහැකිව ඇතැ” යි ද , පසුගිය ජුනි මාසයේ වර්ජනය නතර කිරීමේ දී ආන්ඩුව තමන් සමග ඇතිකර ගත් එකඟතා බිඳ දැමීම මගින් ”සමස්ත තැපැල් සේවය ම රවටා ඇතැ”යි ද වර්තමාන උද්ඝෝෂනය සඳහා නිකුත් කල පත්‍රිකාවක සමිති පෙරමුන කනපින්දම් ගසා ඇත.

තැපැල් සමිති පෙරමුනට යලිදු උද්ඝෝෂනයක් කැඳවීමට බල කෙරී ඇත්තේ මෙම රැවටීම් නිසා ආන්ඩුවත්, වෘත්තීය සමිතිත් කෙරෙහි බරපතල විරුද්ධත්වයක් සහ කෝපයක් තැපැල් සේවකයන් අතර වර්ධනය වන නිසාවෙනි. බදාදා පිකට් උද්ඝෝෂනයේ දී ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් සමග කතාකල මාතර තැපැල් කාර්යාලයේ කම්කරුවන් කිහිප දෙනෙක්ම ආන්ඩුව සහ සමිති කෙරෙහි තැපැල් සේවකයන් අතර පවතින කෝපය සහ නොසතුට ප‍්‍රකාශයට පත් කලහ.

වයස අවුරුදු 45ක් වන කම්කරුවෙක් මෙසේ පැවසීය. “අප මේ වනවිට අරගල කිහිපයක යෙදුනා. පසුගිය වර්ජනය අවසන් කලේ ඉල්ලීම් සඳහා විසඳුම් ලබා දීමට කටයුතු කරනවා කියන රජයේ පොරොන්දුව වෘත්තිය සමිති නායකත්වය පිලි අරගෙන. ඒත් කිසි දෙයක් ලැබුනේ නැහැ. ඇතැම් වෘත්තිය සමිති නායකයෝ යහපාලන ආන්ඩුවේ ආරක්ෂකයෝ. ඒ තත්වය තුලයි අපි නැවත උද්ඝෝෂනයට එන්නේ. පසුගිය ආන්ඩුව වාගේම මේ ආන්ඩුවත් අපේ ඉල්ලීම් වලට ඇහුම් කන් දෙන්නේ නැහැ. මේ පවතින දේශපාලන තත්වය කෙරෙහි පවතින්නේ කලකිරීමක් පමනයි.”

තැපැල් නිලධාරි වරයෙක් සඳහන් කලේ “මම වෘත්තිය සමිති සාමාජිකයෙක් වුනත් සමිති ගෙනයන වැඩ පිලිවෙල උඩ අපේ ඉල්ලීම් දිනාගන්න බැරි බව හොඳටම පැහැදිලියි” දුම්රිය සහ අනිකුත් කම්කරුවන් සමග ඒකාබද්ධව අරගලයට යාම සූදානම් කලයුතු බව රැස්වීමක දී ඔහු විසින් යෝජනා කල නමුත් එවිට “අපේ ඉල්ලීම් අනිත් වෘත්තිය සමිති වල ඉල්ලීම් සමග ගැලපෙන්නේ නැති” බව කියා සමිති පෙරමුන විසින් එය ප‍්‍රතික්ෂේප කල බව ද ඔහු පැවසුවේ ය.

දෙසැම්බර් 18 වෙනිදා විරෝධතා උද්ඝෝෂනයේ සිට දින 14 ක් ඇතුලත විසඳුමක් නොලැබුනොත් පුර්ව දැනුම්දීමකින් තොරව “අඛන්ඩ” වැඩ වර්ජනයකට යන බව ට සමිති පෙරෙමුන බොරු ගෝරනාඩුවක් ද කර ඇත. එසේවුනොත් පලාත් පාලන මැතිවරනය සඳහා කෙරෙන තැපැල් බෙදා හැරීම් ඇනහිටින බව ට ද ආන්ඩුවට ඔවුන් අනතුරු අඟවා ඇත. එබඳු අනතුරු ඇඟවීම් විභාග, මැතිවරන හා ජාතික උත්සව වැනි අවස්ථාවල කරන වර්ජන මගින් ධනපති ආන්ඩුවට වැඩි බලපෑමක් කිරීමෙන් කිසියම් සහනයක් ලබා ගත හැකිය යන්න, කම්කරුවන්ගේ අව්‍යාජ අරගලයක් සංවිධානය කිරීමට එරෙහිව සමිති නිලධරය විසින් තොරොම්බල් කරන අවස්ථාවාදී සූත‍්‍රයකි.

රැකියා, වැටුප් හා සේවා කොන්දේසි පිලිබඳ තැපැල් සේවකයන්ගේ ඉල්ලීම් සාධාරන ය. ඒවා දිනා ගත යුතු ය. ඒ සඳහා සටන් කලයුතු ය. එහෙත් ඔවුන්ගේ රැකියා, වැටුප් හා සේවා කොන්දේසිවලට එල්ල කෙරෙන ප‍්‍රහාරයන්ගේ ආර්ථික දේශපාලන මූලයන් තේරුම් ගැනීමෙන් හා ඊට උචිත ලෙස සිය අරගලය සංවිධානය කර ගැනීමෙන් තොරව අලුතින් අයිතීන් දිනා ගැනීම තබා අතීත අරගල මගින් දිනාගෙන තිබෙන අයිතීන් රැක ගැනීම පවා කල නොහැකිය.

තැපැල් සේවකයන්ගේ මෙන් ම, කම්කරු පන්තියේ අවශේෂ කොටස්වල රැකියා, වැටුප් හා සේවා කොන්දේසිවලට එල්ල කෙරෙන ප‍්‍රහාර වඩ වඩා ගැඹුරුවන ලෝක ධනවාදයේ අර්බුදය තුල සෑම රටකම ධනපති පාලක පන්තීන් විසින් ක්‍රියාවට දමන සමාජ ප‍්‍රතිවිප්ලවයේ කොටසකි. එය ක්‍රියාවට දැමෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝග හරහා රාජ්‍ය ආයතන පුද්ගලීකරනය, වැටුප් හා සේවා කොන්දේසි කප්පාදුව තුලිනි.

ඒ අනුව පුද්ගලීකරන සැලසුම් යටතේ විදුලි සංදේශ දෙපාර්තමේන්තුව දෙකඩ කර තැපැල් තැපැල් දෙපාර්තමේන්තුව දියකර හැරීම ආරම්භ කෙරුනේ 1997 දීය. එහි මුල් පියවර ලෙස සංස්ථාවක් බවට පරිවර්තනය කර දෙපාර්තමේන්තුව දියකර හැරීමේ සැලැස්මක් යෝජනා කෙරුන නමුත් සේවකයන්ගේ විරුද්ධත්වය නිසා එවකට පැවති චන්ද්‍රිකා කුමාරතුංග ආන්ඩුව විසින් එය තාවකාලික කල් දමන ලදී. එහෙත් කුමාරතුංග ගේ සහ මහින්ද රාජපක්ෂගේ ආන්ඩු යටතේ ලිපි සහ පාර්සල් බෙදීමට පුද්ගලික සමාගම්වලට බලපත‍්‍ර දීම, පුද්ගලික අංශයේ නියෝජිත තැපැල් කාර්යාල පිහිටුවීමට අවසර දීම, ඇතැම් ප‍්‍රධාන තැපැල් කාර්යාල උප කාර්යාල බවට පත් කිරීම හා රැකියා කප්පාදුව හරහා එම සැලසුම් ක්‍රියාවට දැමුනි.

වර්තමාන ආන්ඩුව විසින් එම ප‍්‍රහාර තව තවත් තීව‍්‍ර කර ඇතිවා පමනක් නොව, තම අයිතීන් සඳහා සටන් කරන කම්කරු පන්තියේ හෝ වෙනත් සමාජ කන්ඩායමකගේ අරගලයක් රුදුරු ලෙස තලා දැමීමට නොපැකිලෙන බව ද මෛත්‍රිපාල සිරිසේන-- රනිල් වික‍්‍රමසිංහ ආන්ඩුව විසින් දැනටමත් ඔප්පුකර ඇත. තැපැල් සේවක ගැටලූ විසඳා දෙන ලෙස “අතිගරු ජනාධිපතිතුමා ඇතුලු දේශපාලනාධිකාරියට, තැපැල් කලමනාකාරිත්වයට ලිඛිතව දන්වා ඇත” ත් තවමත් ප‍්‍රතිචාරයක් නැතැයි සමිති පෙරමුන නාහෙන් අඬන්නේ ඒ තතු තුල ය.

තැපැල් සේවකයන් මත එල්ල කෙරෙන ප‍්‍රහාරවලට සමිති පෙරමුන සෘජුව වගකිවයුතුය. මන් ද, එහි කොටසක් රාජපක්ෂ ආන්ඩුවටත්, තවත් කොටසක් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවටත් පන්දම් ඇල්ලීම මගින් හා තැපැල් සේවකයන්ගේ අරගලය යලි යලිත් දුර්මුඛ කිරීම මගින් තැපැල් සේවකයන්ට මෙන් ම අවශේෂ කම්කරුවන්ට එරෙහි ප‍්‍රහාර ක්‍රියාවට දැමීම සඳහා ධනපති පාලක පන්තියේ අත් ශක්තිමත් කිරීමට ඔවුන් දායක වී ඇත.

එහෙයින් ධනපති ආන්ඩුවට බලපෑම් දමන “අඛන්ඩ” අරගල මගින් සේවක අයිතීන් දිනා ගත හැකියැයි සමිති පෙරමුන විසින් වගා කරන මිථ්‍යාවට තැපැල් සේවකයන් මුලා නොවිය යුතුය.

තැපැල් සේවකයන් මුහුන දෙන ගැටලු සමස්ත කම්කරු පන්තිය මුහුන දෙන ගැටලුවල කොටසකි. එබැවින් ඔවුන්ට මෙන් ම කම්කරු පන්තියේ අවශේෂ කොටස්වලට ඔවුන්ගේ අයිතීන් දිනා ගත හැක්කේ වෘත්තීය සමිතිවලින් මුලුමනින් ම ස්වාධීන වූ ක්‍රියාකාරී කමිටු ගොඩ නගා ගනිමින්, ආන්ඩුවේ කප්පාදු පිලිවෙත්වලට එරෙහිව කරන පොදු අරගලයක් තුලින්, සැලසුම්ගත සමාජවාදී ආර්ථික පිලිවෙතක් ක්‍රියාවට දමන කම්කරු ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමෙන් පමනි.

Share this article: