ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය පලාත් පාලන ඡන්දයට ඉදිරිපත්වෙයි

Socialist Equality Party (Sri Lanka) stands for local government elections

අපගේ වාර්තාකරුවන් විසිනි, 2017 දෙසැම්බර් 23

එලඹෙන මැතිවරනයේදී අපේක්ෂකයින් 61ක් ඉදිරිපත් කරමින්, පලාත් පාලන සභා තුනකට සමාජවාදී සමානතා පක්ෂය (සසප) තරඟ වදියි. මහ නගර සභා, නගර සභා හා ප‍්‍රාදේශීය සභා ඇතුලු පලාත් පාලන ආයතන 341ක් සඳහා පෙබරවාරි 10දා මැතිවරනය පැවැත්වීමට නියමිතව ඇත.

කොලොන්නාව නගර සභාව, අඹගමුව ප‍්‍රාදේශිය සභාව හා යුද්ධයෙන් පීඩාවට පත් උතුරේ කයිට්ස් ප‍්‍රාදේශීය සභාව සඳහා පිලිවෙලින්, සසප දිගු කාලීන දේශපාලන කමිටු සාමාජිකාවක් වන විලානි පීරිස්ගේ නායකත්වයෙන් අපේක්ෂකයින් 23ක් ද දේශපාලන කමිටු සාමාජිකයින් වන එම්. දේවරාජාගේ හා පී. සම්බන්ධන්ගේ නායකත්වයෙන් අපේක්ෂකයින් 24ක් හා 16ක් ද තරඟ වදියි.

කම්කරුවන් හා තරුනයන් අතරින් දිනාගත් පක්ෂ සාමාජිකයින් හා ආධාරකරුවන්ගෙන් සැදුම් ලත් අපගේ අපේක්ෂකයින්ට කම්කරු පන්තිය, තරුනයින් හා පීඩිත ජනතාව අතර ජාත්‍යන්තර සමාජවාදී ප‍්‍රතිපත්ති සඳහා පෙනී සිටීමේ නොකැලැල් වාර්තාවක් ඇත.

ජාත්‍යන්තරවාදී හා සමාජවාදී ක්‍රියාමාර්ගයක පදනම යටතේ, අධිරාජ්‍යවාදී තුන්වන ලෝක යුද්ධයක තර්ජනයට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) අන පරිදි ආන්ඩුව ගෙනයන කප්පාදු වැඩසටහනට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට එල්ල කරන ප‍්‍රහාරයන්ට එරෙහිව මැතිවරනයට තරඟ වදින එකම පක්ෂය සසප පමනි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහ, පලාත් පාලන මැතිවරන දෙවසරකට වැඩි කාලයක් තිස්සේ වරින් වර කල්දැමීය. අවසානයේ ඔවුන්ට මැතිවරනය පැවැත්වීමට බලකෙරුනේ, ආන්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පියවර ගැන පලවූ මහජන විරෝධය හමුවේ ය.

මැතිවරන කොට්ඨාශ සීමා නීර්නය ගැන වාර්තාව ප‍්‍රසිද්ධියට පත්කිරීම, නව පලාත් පාලන මැතිවරන නීතියක් හඳුන්වාදීම වැනි විවිධ කරුනු දක්වමින් ආන්ඩුව මැතිවරන කල්දැමීය. කෙසේ වුව ද ඇත්ත හේතුව, සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) හා වික‍්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂයේ (එජාප) හවුල් ආන්ඩුව කම්කරු පීඩිත ජනතාව අතරින් ප‍්‍රතික්ෂේප වනු ඇති බවට වූ බියයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය කරමින් 2015 ජනවාරියේ පැවති ජනාධිපතිවරනයෙන් සිරිසේන බලයට පත් විය. ජීවන තත්වයන් නගා සිටුවන බවටත්, බලයට පැමිනි ආන්ඩු විසින් බෙදුම්වාදී එල්ටීටීඊයට විරුද්ධව ගෙන යනු ලැබූ 26 වසරක වර්ගවාදී යුද්ධයෙන් පීඩාවිඳි උතුරු නැගෙනහිර දෙමල ජනතාවගේ ගැටලු විසඳන බවටත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් සුරක්ෂිත කරන බවටත් ඔහු පොරොන්දු විය.

නව සමසමාජ පක්ෂය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ එක්සත් සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ වාම කන්ඩායම් හා ශාස්ත‍්‍රාලිකයින් මෙන්ම ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) හා දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) වැනි ධනපති පක්ෂ ද සිරිසේනගේ “යහ පාලන” ප්‍රෝඩාවට පිටුබලය දෙමින් ජනතාව නොමග යැවූහ.

බලයට පත්වූ විගසම ආන්ඩුව, චීනයෙන් ඈත් වෙමින්, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ද එහි කලාපීය සහචරයා වන ඉන්දියාවේ ද වාසිය පිනිස දිවයිනේ විදෙස් පිලිවෙත වෙනස් කලේය. පසුගිය තෙවසරක කාලය පුරා ආන්ඩුව, චීනය ඇමරිකානු ආධිපත්‍යයට යටත් කර ගැනීමේ එල්ලය ඇතිව, අවශ්‍ය නම් යුද්ධයක් දියත් කිරීම ද ඇතුලු, බීජිනයට එරෙහිව වොෂින්ටනයේ මිලිටරි ව්‍යායාමයට ශ්‍රී ලංකාව ඒකාග‍්‍ර කර ඇත.

ඇත්ත වසයෙන්ම, ඊනියා යහ පාලන ව්‍යාපාරය ආවරනය සැපයුවේ රාජපක්ෂ ඉවත්කර සිරිසේන ජනාධිපතිකමේ පිහිටුවා ගනිමින් ලංකාව භූමූලෝපායික වසයෙන් තමන් යටතේ පෙල ගස්වා ගැනීම සඳහා වොෂින්ටනය දියත්කල තන්ත්‍රමාරු මෙහෙයුමටයි. වොෂින්ටනය සතුරු වූයේ රාජපක්ෂගේ අත්තනෝමතික පාලනයට නොව, අවි ආයුධ හා මූල්‍ය ආධාර සඳහා ඔහු බීජිනය මත වාරුවීමටයි.

තෙවසරක ඇවෑමෙන් ආන්ඩුව තරයේම අපකීර්තියට පත්ව ඇත. 2008 මූල්‍ය බිඳවැටීමෙන් සලකුනු කෙරුනු ගෝලීය ධනවාදයේ බිඳවැටීමෙන් බැටකන ආන්ඩුව, රාජපක්ෂ මෙන්ම ඇපයට නය ගැනීම සඳහා ජාමූඅ වෙත හැරී සිටියි. එහි නිර්දේශ පරිදි ආන්ඩුව, 2020 වන විට අයවැය හිඟය 2014 පැවති දල දේශිය නිෂ්පාදිතයෙන් සියයට 7.5 සිට 3.5 දක්වා අඩකටත් වැඩි ප‍්‍රමානයකින් කපාහැරීම සඳහා පියවර ගනිමින් සිටී. ආන්ඩුව, බදු වැඩිකරමින්, නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය හා ශුභසාධන සහන වැනි සමාජ වැඩසටහන් කපා හරිමින් ද පුද්ගලීකරනය වේගවත් කරමින් ද සිටී.

මෙම ප‍්‍රහාරයන්ට විරුද්ධත්වය පල කරමින් පසුගිය මාස කිහිපය තුල පමනක් දස දහස් ගනන් විදුලිබල, තෙල්, සෞඛ්‍ය හා වතු කම්කරුවෝ අරගල කලහ. ඔවුන් ඉල්ලා සිටියේ වටුප් වැඩි කිරීම, රැකියා සුරක්ෂිත භාවය හා සේවා කොන්දේසි නගා සිටුවීමය. මේ මැතිවරනයේ නාමයෝජනා භාරගත් අවසාන දිනයේ සේවයෙන් පහ කල හම්බන්තොට වරාය කම්කරුවෝ සිය රැකියා ආපසු දෙන ලෙස බලකරමින් කොලඹදී විරෝධතා දැක්වූහ. ඔවුන් නෙරපන ලද්දේ, වරාය චීන සමාගමකට පැවරීමට ආන්ඩුව පියවර ගැනීමත් සමගය.

තවමත් මිලිටරි පාලනයට යටත් කර ඇති උතුරේ දෙමල ජනතාව, මර්දනය ද පැවති යුද්ධය ද හේතුවෙන් තමන්ට සිදුව ඇති ව්‍යසනයට පිලියම් යෙදීමට ආන්ඩුව සැලකිය යුතු පියවර ගෙන නැති නිසා අඛන්ඩව විරෝධතාවන්හි යෙදෙති.

මේ දක්වා වෘත්තීය සමිති, ව්‍යාජ වාම සංවිධාන වල ද උදව් ඇතිව කම්කරු අරගල පසුබැස්වීමට කටයුතු කර තිබේ. මාස ගනනාවක් දිගට ඇදී ගිය විශ්වවිද්‍යාල සිසු විරෝධතාව නොවැම්බරයේදී, අන්තර් විශ්වවිද්‍යල ශිෂ්‍ය සංගමයේ ව්‍යාජ වාම නායකයින් විසින් පාවාදෙනු ලැබීය.

ආන්ඩුව කම්කරුවන්ගේ සිසුන්ගේ හා පීඩිත ජනතාවගේ විරෝධතාවන්ට එරෙහිව මිලිටරිය, පොලිසිය හා මැරවර ප‍්‍රචන්ඩත්වය යොදවා ඇත. ජූලියේ දී ආන්ඩුව, තෙල් කම්කරුවන්ගේ වැඩවර්ජනය කැඩීමට, අත්‍යවශ්‍ය සේවා නියෝග පනවා හමුදාව යොදවන ලදී. සතියකට පෙර ද ආන්ඩුව, දුම්රිය වර්ජනය මැඬීම පිනිස යලි වතාවක් රුදුරු අත්‍යවශ්‍ය සේවා නියෝග යොදාගත්තේය. මෙම පොලිස්-රාජ්‍ය ක‍්‍රමෝපායන්, අර්බුද ග‍්‍රස්ත ධනපති ක‍්‍රමය රැකගැනීමට ආඥාදායක විධික‍්‍රම වෙත හැරී සිටින සෑම රටකම පාලක පන්තීන් යොදාගෙන සිටින ක‍්‍රමවේදයේ කොටසකි.

වැඩී යන අරගල වලින් පාලක පන්තියේ සෑම කොටසක්ම තැතිගැන්මට පත්ව සිටිති. “එකමුතුවේ ආන්ඩුව” තිබියදීම සිරිසේනගේ ශ්‍රීලනිප හා එක්සත් ජනතා නිදහස් සන්ධානය (එජනිස) මැතිවරනයට තරඟ කරන්නේ එජාපයෙන් වෙන්වය. පාර්ලිමේන්තුව තුල බහුතරයක් ඇතිව ආන්ඩුව කරවන එජාපයෙන් වෙනස්වූ අනන්‍යතාවක් තමන්ට ඇතැයි පෙන්වීමට ශ‍්‍රීලනිපය මංමුලා සහගත උත්සාහයක යෙදී සිටී.

පාර්ලිමේන්තුව තුල ශ්‍රීලනිප හා එජනිස මන්ත්‍රීන් කන්ඩායමකට නායකත්වය දෙන තම එදිරිවාදියා වන රාජපක්ෂට මුහුන දීමට ද සිරිසේනට සිදුවී තිබේ. රාජපක්ෂ වෑයම් කරන්නේ, ආන්ඩුව කෙරෙහි වැඩෙන විරුද්ධත්වය ගසාකමින්, එය පෙරලා දැමීමේ ව්‍යාපාරයක් ගොඩනැගීමටය. පසුගිය මාස ගනනාව තුල සිරිසේන හා ඔහුට පක්ෂපාත ඇමතිවරු රාජපක්ෂගේ සාමාජිකයින් බිලිබාගෙන ආන්ඩුවට එල්ල වන විවේචන නිහඬ කිරීමේ උත්සාහයක යෙදී සිටිති. රාජපක්ෂ කන්ඩායම, ශ්‍රීලනිපය ආන්ඩුවෙන් කැඩිය යුතුය යන කොන්දේසිය දැමීම නිසා දෙකොට්ඨාශය එක් කිරීම සඳහා ගෙන ගිය සාකච්ඡා අසාර්ථක විය.

අලුතෙන් පිහිටුවාගත් පොදුජන පක්ෂයේ නමින් අපේක්ෂකයන් ඉදිරිපත් කොට ආන්ඩුව මුහුනපා සිටින අර්බුදයේ වාසිය ගසාකෑමේ උත්සාහයක රාජපක්ෂ කන්ඩායම නිරත වී සිටියි. දෙමල විරෝධී වර්ගවාදය උසිගන්වමින් හා බෞද්ධ භික්ෂූන්ට ආමන්ත‍්‍රනය කරමින් රාජපක්ෂ, ආන්ඩුව සමග තරඟයක යෙදී සිටින්නේ, බලයට පැමින වැඩකරන ජනතාව තලා දැමීමට වර්ගවාදී ව්‍යාපාරයක් ගොඩනගා ගැනීමේ එල්ලය ඇතිවය.

“රාජපක්ෂගේ ආඥාදායකත්වය” හා ඔහුගේ දූෂිත තන්ත‍්‍රය පලවා හැරීමට බව පවසමින් ජවිපෙ, සිරිසේන බලයට ගෙන ඒමට සහාය දුන්නේය. මාස ගනනක් තිස්සේ සෘජුවම ආන්ඩුවට සහාය දීමෙන් පසුව ජවිපෙ, දූෂනය පිටුදැක ගමේ දේශපාලන බලය ගොඩනැගීමේ සටන් පාඨයක් සහිතව දැන් ආන්ඩුවෙන් ඈත් වීමේ උත්සාහයක නිරතව සිටියි.

ප‍්‍රධාන දෙමල ධනපති සන්ධානය වන ටීඒන්ඒ තරඟ වදින්නේ, උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල පලාත් පාලන සභා වලට පමනි. නිල වශයෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂය වශයෙන් සිටිය ද එය, ආන්ඩුවේ හවුල්කරුවෙක් ලෙස කටයුතු කරයි.

මෙය පලාත් පාලන මැතිවරනයක් වුව ද කම්කරු පීඩිත ජනතාව හා තරුනයෝ, සෑම රටකම වැඩකරන ජනතාව මෙන් අති මූලික ප‍්‍රශ්න වලට මුහුනපා සිටිති. සමාජ හා ජීවන තත්වයන්ට එල්ල කෙරෙන ප‍්‍රහාර ද ආඥාදායක පාලනයන් කරා ගමන ද සමග ගෝලීය මිලිටරි ගැටුමක තර්ජනය උග‍්‍ර වෙමින් තිබේ. පාලක පක්ෂ හා ඊනියා විපක්ෂය මේ මැතිවරනය යොදාගන්නවා ඇත්තේ, මෙකී තීරනාත්මක ප‍්‍රශ්න වලින් ජනතා අවධානය ඉවත හැරවීමටය.

ජාත්‍යන්තර සමාජවාදයේ පදනම මත පක්ෂයේ විකල්ප ක‍්‍රියාමාර්ගය ගෙනහැර දක්වමින් හා පාලක පැලැන්තියේ අර්බුදය පැහැදිලි කරමින් සසප, ඉදිරියේදී මැතිවරන ප‍්‍රකාශනයක් නිකුත් කරනු ඇත. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව ලෙස සසප හා එහි පූර්වගාමී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය, ධනේශ්වරයේ සියලූ කොටස් වලින් කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය පිහිටුවා ගැනීමට ද සමාජවාදී ප‍්‍රතිපත්ති ක්‍රියාවට නගන කම්කරු ගොවි ආන්ඩුවක් සඳහා ගම්බද පීඩිත ජනතාවගේ නායකයා ලෙස එය කම්කරු පන්තිය මෙහෙයවා ගැනීමට ගෙන ගිය අරගලයක පැහැදිලි වාර්තාවකට හිමිකම් කියයි.

මේ ක්‍රියාමාර්ගය පැහැදිලි කරමින්, සසප තරඟ වදින ප‍්‍රදේශවල පමනක් නොව අනෙක් තැන් වල ද රැස්වීම්, වැඩපොලවල උද්ඝෝෂන හා දේශන සංවිධානය කිරීමට අපි බලාපොරොත්තු වන්නෙමු. එසේම සසප, රුපියල් මිලියනයක මැතිවරන හා පක්ෂ සංවර්ධන අරමුදලක් දියත් කර ඇත. මේ උද්ඝෝෂනයට සහයෝගය දෙන මෙන් අපි කම්කරුවන්ගෙන් හා තරුනයින්ගෙන් ඉල්ලා සිටිමු.

Share this article: